සිනමාකරුවකුගේ හංස ගීතය

මැයි 27, 2021

සිනමාකරුවකුගේ ආත්ම කථනය යනු කුමක්ද? නැතහොත් හංස ගීතය ලෙස හැඳීන්වෙන්නේ කුමක්ද? ඕසන් වේල්ස් විසින් නිර්මාණය කරන ලද අවසන් චිත්‍රපටය වූ THE OTHER SIDE OF THE WIND හෝ ඒ පිළිබඳ තැනුණු වාර්තා චිත්‍රපටය වන, මෝර්ගන් නෙවිල් විසින් අධ්‍යක්ෂණය කරන ලද THEY WILL LOVE ME WHEN I AM DEAD  නරඹන්නෙකුට මතු වන ප්‍රශ්නය එයයි. වේල්ස් නොඅනුමානවම විසිවැනි සියවසේ සිනමාවේ සිටි වඩාත්ම වැදගත් සිනමාකරුවන්ගෙන් කෙනෙකි. අසූ වසරකට පසු පවා ඔහු තැනූ සිටිසන් කේන් ලොව විශිෂ්ටතම චිත්‍රපට දහයට ඇතුළත්ය. එයින් වසර ගණනාවකට පසු ඔහු විසින් නිර්මාණය කරනු ලබන ඔහුගේ අවසාන චිත්‍රපටය ලෙස ප්‍රේක්ෂක අපට හමුවන THE OTHER SIDE OF THE WIND ලොව වැඩිම කාලයක් නිෂ්පාදනයේ පැවැති චිත්‍රපටය ලෙස වාර්තාවක් තැබුවාදැයි සොයා බැලිය යුතු කරුණකි. 1970 වසරේ නිෂ්පාදනය ඇරඹෙන එය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකිවනුයේ 2018 වසෙර්ය. ඒ වන විට ඕසන් වේල්ස් මියගොස් විසි වසරකට ආසන්නය.

THE OTHER SIDE OF THE WIND සිනමා කෘතියක් ගැන කියන සිනමා කෘතියකි. එක් අතකින් බලන විට සිනමාකරුවකුගේ අභ්‍යන්තරය සොයා යන ගමනකි. තම මුල්ම චිත්‍රපටයේ සිටිසන් කේන් හරහා දන්නා මිනිසකුගේ නොදන්නා කථාව සොයා ගිය වේල්ස් අවසාන චිත්‍රපටයෙන් සිනමාකරුවකුගේ ආත්මය විවරණය කරන්නට සැරසෙනුයේ හිතා මතා නොවූව ද එය තම අවසන් නිර්මාණය ලෙස ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්නේ නොදැනුවත්වමද? මිනිසුන්ගේ බොහෝ සිදුවීම් උප විඥානය විසින් බල කරනු ලැබ සිදු වූ අවස්ථාවන්ය. ඇතැම්විට දෛවෝපගත සිදුවීම් ලෙස එකී සිදුවීම් නිර්වචනය කරන්නට අප කැමැතිය.

සිනමාකරුවකු වන ජේක් හැනෆෝඩ්ගේ හැත්තෑවැනි ජන්ම දිනය ගෙවනුයේ ඔහුගේ අඩක් නිම කළ චිත්‍රපටය ආරාධිතයන් හමුවේ තිර ගත කරවමින්ය. ඔහුගේ ස්වර්ණමය යුගය ගෙවී අවසන්ය. ඔහු එක්තරා ආකාරයකට හොලිවුඩයේ එක් පුරාවෘත්තයකි. එහෙත් තව දුරටත් එලෙස නොවේ. ඔහු නව පරපුර අතර වීරයෙකි. එහෙත් කාලය සමඟ අලුත් නොවීම ඔහුගේ සිනමාවට බලපායි. චිත්‍රපටය නිම කරන්නට මුදල් අවශ්‍යය. ලස්සන තරුණියක් නිරුවතින් දුව යයි. එහි වචනයක් හෝ කියැවෙන්නේ නැත. චිත්‍රපටය ලිංගික දර්ශන මෙන්ම ප්‍රචණ්ඩත්වය ද පිරි දර්ශන පෙළකින් යුක්තය. මේ චිත්‍රපටය වේල්ස් විසින් ආරම්භ කරනු ලබනුයේ හොලිවුඩ් සිනමාව එක්තරා අර්බුදයකට මුහුණ දුන් අවධියකය. මේ වන විට හොලිවුඩ් සිනමාව පැරැණි හිමිකරුවන් වෙතින් ඉවත්ව වෙනත් ආයෝජකයන් අතට පත්ව අවසානය. ආරම්භයේ කිරුළු පළන් සිනමා චිත්‍රාගාර වෙනුවට ලාභදායි චිත්‍රපට රැල්ලක් ඒ යුගයේ පැවතිණ. අනික් අතට ඊසී රයිඩර් වැනි තරුණ පරපුරේ සිනමාවක් එහි ආකර්ෂණය වෙමින් තිබිණ. දැවැන්ත හොලිවුඩ් සිනමා සම්ප්‍රදාය යළි ගොඩ නැංවෙන්නේ හැත්තෑව දශකය ආරම්භය වගේමය. එමෙන්ම ප්‍රංශය කේන්ද්‍ර කොට ගනිමින් බිහි වූ ප්‍රංශ නවරැල්ල තුන් වැනි ලෝකය සිසාරා තරුණ සිනමාකරුවන් අවදි කරමින් සිටි යුගය එයයි. එය හොලිවුඩ් සිනමාවටද එලෙසම බලපෑවේය. එහෙත් චිත්‍රපටය තිරගත වන සමය වන විට වේල්ස්ලා කිසිවිටෙකත් නොසිතූ ආකාරයක යුගයකට සිනමාව එළැ‌ඹී අවසානය. හැත්තැව දශකයේ නිර්මාණය වුණ චිත්‍රපටයක් මුල්වරට නරඹන්නට සිදුවනුයේ අන්තර්ජාල සිනමා ධාරාවන් ඔස්සේ යැයි වේල්ස්ට තබා ඔහුගේ හත් මුතු පරම්පරාවේ එකෙකුටවත් සිහියට නොඑන්නට ඇත. එමෙන්ම චිත්‍රපටය යනු දළ සේයා පටයක රූප ගත කරන්නක් නොව එයට වඩා වෙනස් එකකැයි වේල්ස්ලා මියයන තුරුම සිතා සිටින්නට නැත.

එහෙත් හතළිස් වසරකට පසු THE OTHER SIDE OF THE WIND දැක ගත හැකි වන්නේ සිනමාකරු ප්‍රාර්ථනා කළ ආකාරයට නොවේ. එහි පිටපත් රසායනාගාරවල මුද්‍රණය වී, රීල එතී, අඳුරු සිනමාහලක දැක ගන්නට වන්නේ නැත.

ජේක් හැනෆෝඩ්ගේ සිනමා කෘතිය දැකගන්නට පැමිණි ආරාධිතයන් අතර සිනමාවේ විවිධ අංශවල ඔහුගේ හිතවත්තු පමණක් නොව මිතුරෝ ද සතුරෝද විචාරකයෝ ද ආදි සියල්ලෝම සිටිති. අපට සිහිපත් වනුයේ සිටිසන් කේන් චිත්‍රපටයේ එන විලියම් කේන්ගේ සාදයයි. නැතහොත් මේ වසරේ ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට නාමයෝජනා දිනූ ර්ඒව්ම් චිත්‍රපටයේ එන සිටිසන් කේන් චිත්‍රපටයට පාදක වුණ සැබෑ මිනිසුන්ගේ සාදයයි. (මේ පිළිබඳව ගිය සති කිහිපයේම ලියා ඇත්තෙමි)

හැනෆෝර්ඩ්ගේ චිත්‍රපටය අතරමඟ නතරව ඇත්තේ එහි සිනමා තරු යුවළ ඉවත්වීම වැනි නොයෙක් ගැටලු නිසාය . මුදල් ප්‍රශ්නය එකකි. මේ චිත්‍රපටය නම් කර ඇත්තේ ද THE OTHER SIDE OF THE WIND නමින්ය. චිත්‍රපටයේ ඉතිරි මුදල් සඳහා චිත්‍රාගාර ප්‍රධානී මැක්ස් ඩේවිඩ් මේ චිත්‍රපටයේ කොටස් කිහිපයක් තිරගත කරවනු ලබයි. එයට අධ්‍යක්ෂ හැනොෆෝර්ඩ් සහභාගි නොවෙයි. ඒ වෙනුවට හැනෝ‌ෆෝඩ්ගේ ළමා තරුවක්ව සිටි බිලි බොයිල් චිත්‍රපටය ගැන විස්තරයක් කිරීම ආරම්භ කරයි. එය නිශ්ඵල උත්සාහයකි.

සිනමාකරුගේ සාදය පවතිනුයේ ඇරිසෝනාවේය. මේ සාදයේ බොහෝ ප්‍රශ්න ඇති කරවනු ලබයි. පුවත්පත් කලාවේදීන්ට එක් ගැටලුවක්ව ඇත්තේ හැනෝෆෝර්ඩ්ගේ ලිංගික ජීවිතයයි. ඔහු සමරිසි ඇසුරක් පවත්වන්නේ ද යන ගැටලුව ද ඔවුන්ට පවතී. ඔවුන්ට චිත්‍රපටය ගැන ඇත්තේ අල්ප ගැටලුය.

තවත් අයගේ ගැටලුව චිත්‍රපටයේ ප්‍රධාන නළු ජෝන් ඩේල් එහි නොමැති වීමය. ඩේල් මුහුදට පැන දිවි නසා ගැන්මට ගොසින්ය. හැට හැත්තෑව දශකවල තරුණ උන්මාදයක් බවට පත්ව සිටි හිපියකු වන ඩේල් පිළිබඳ හැනෆෝර්ඩ්ගේ ක්‍රියාකලාපය මුළුමනින්ම පරස්පර වි‌රෝධී එකකි. මේ සාදය මිනිසුන්ගේ ජීවිත නිරාවරණය කරයි. මේ ක්‍රමය වේල්ස්ගේ සිනමා කෘති සියල්ලේම දැකිය හැකි සිරිතකි. සාදයට එන නාට්‍ය ගුරුවරයෙකුට ඩේල් ගැන ඇත්තේ වෙනම කියැවීමකි. චිත්‍රපටයේ එක් ජවනිකාවක ඩේල් එය හැර ගියේ මන්දැයි අපට වටහා දෙනු ලබයි.

සාදයේ මැද වන විට හැනෆෝඩ් කෙමෙන් මත්පැනින් සන්තර්පණය වී සිටියි. ඔහුට චිත්‍රපටය ඉදිරියට ගෙන යාමට අවශ්‍යය. සාදය සඳහා ඔහු සමග පැමිණෙන තරුණ සිනමාකරුවා වෙතින් ඔහුට සහායක් නොලැබෙයි. සම්බන්ධතා බිඳ වැටීම, ගොඩ නැඟීම, ලුහු බැඳීම මේ සියල්ල එකිනෙක පරයන සිදුවීම්ය. තරුණ සිනමාකරුවාට හැනෆෝඩ් වීරයෙක් වන නමුදු, ඔහු වෙනුවෙන් ආයෝජනයට ඔහුගේ තුන් සිතකවත් නැත. චිත්‍රපටය නරඹන අතර සිනමාහලේ විදුලිය බිඳ වැටෙයි. ප්‍රක්ෂේපණ යන්ත්‍රයට දාහක් ලෙඩය.

චිත්‍රපටය අවසාන ජවනිකාවට එළැ‌ඹෙන විට එය නරඹන එකම තැනැත්තිය එහි රඟපාන නිළියයි. මේ වන විට චිත්‍රපට ප්‍රදර්ශනය වනුයේ එළිමහන් සිනමාහලකය. සිනමා මාලිගාවක සිට එය එළිමහනට මාරු වී ඇත. සැබැවින්ම වර්තමානයේ සිනමාව යනු හැමවිටම හැමතැනම පවතින දෙයකි. වේල්ස් සිනමාවේ වර්තමානය අහම්බෙන් මෙන් දැක ගත්තාද? නැතහොත් එය එසේ වනු ඇතැයි විශ්වාස කළා ද? එසේත් නැතිනම් එලෙස විය යුතුයැයි ප්‍රාර්ථනා කළේ ද? වර්තමාන සිනමාවට තැනක් නැත. එයට වේලාවක් නැත සිනමාව හැම විටම හැම තැනම පවතින්නකි. සිනමා හලෙන් බැහැරව හැම විටම පවතින්නකි. වේල්ස්ගේ බොහෝ සිනමා කෘති අතරමඟ අත්හැර දැමීමට සිදුවිය. නැතහොත් ඔහු විසින් එසේ කරන ලද්දේය. විසිහය හැවිරිදි වියේදී කළ සිටිසන් කේන් නම් දස්කමට වඩා ඉදිරියෙන් යනවාට වඩා ඔහුට එය ශාපයක් වීදැයි ඔහු ගැන සොයා බලද්දී දැනෙන කාරණයකි. THE OTHER SIDE OF THE WIND හරහා නැතහොත් ජේක් හැනෆෝඩ් හරහා කියන්නට වේල්ස් තැත් කරනුයේ ඔහුගේම ආත්ම කථනයක සේයාවක්දැයි සිතන්නට වන්නේ එහෙමය. එයටත් වඩා ඔහු එම චරිතය සඳහා තෝරා ගන්නේ හොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම එක්තරා හිතුවක්කාරයකු වූ ජෝන් හූස්ටන් නම් සිනමාකරුවාය.

ජේක් හැනෆර්ඩ්ගේ අවසානය සිදුවනුයේ සිනමා දැක්මෙන් පසු මාරාන්තික මෝටර් රථ අනතුරකට ගොදුරුව මිය යෑමෙනි. අඩක් නිම කළ චිත්‍රපටයක් අවසන් කරන්නට බැරි නම් සිනමාකරුවකුට අත් වන හොඳම ඉරණම එය විය හැකිය.

සිටිසන් කේන්, ද මැග්නිෆිසන්ට් ඇම්බර්සන්ස් හා ටච් ඔෆ් ඊවිල් යන වේල්ස් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට ත්‍රිත්වයම වේල්ස්ගේ මේ සිනමා කෘතිය සමඟ අපට සිහිපත් වෙයි.

චිත්‍රපටයේ සම තිරනාටක රචිකාව මෙන්ම ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කරනු ලබන ක්‍රොඒෂියානු නිළි ඔජා කොඩාර් චිත්‍රපටය පුරා අපූරු රංගනයක යෙදෙයි. කොඩාර්, වේල්ස්ගේ අවසාන සමයේ ඔහුගේ පෙම්වතියව සිටියාය.

මේ චිත්‍රපටය සම්පූර්ණ කිරිමේ ගෞරවය එහි ප්‍රධාන චරිතයක් රඟන ඇමෙරිකානු නව රැල්ලේ සිනමාකරුවකු වූ පීටර් බොග්දනවිච්ට හිමි වේ. බොග්දනවිච් වේල්ස්ගේ ජීවිතයේ බොහෝ දේ දැන සිටි කෙනෙකි. සිටිසන් කේන් චිත්‍රපටයේ කේන් මෙන්ම වේල්ස්ගේ ජීවිතයේ ද නොලියැවුණු සැඟවුණු බොහෝ කාරණා ති‌බෙන්නට ඇතැයි අප වටහා ගත යුතුය. හැමවිටම ස්වයං චරිතාපදානයකින් හෝ අනෙකෙකු විසින් ලියන ලද ගවේෂණාත්මක චරිතාපදානයකින් පවා මිනිසකුගේ ජීවිතයේ හෙළිදරව් කරන ප්‍රමාණය හෙළිදරව් නොකරණ ප්‍රමාණයට වඩා අඩුය. මිනිසකු ඇසුරු කිරීමකින් පවා කෙනෙකු තේරුම් ගත හැක්කේ කවර ප්‍රතිශතයක් පමණක් ද යක ගැටලුව මෙහිදී අපට අසන්නට සිදුවෙයි. වේල්ස් විසින් ගොඩ නඟනු ලබන සිනමාකරුවා ජේක් හැනෆර්ඩ් විසින් අනාවරණය කරනු ලබනුයේ එහි සියයට කීයක් දැයි අපටම සිතා ගත නොහැකිය. එසේ නම් වේල්ස් මේ චිත්‍රපටය ආරම්භ කරනුයේ 1970 වසෙර්ය. මිය යනුයේ 1985 වසෙර්ය. පුරා පහළොස් වසරක් ඔහු කියන්නට තැත් කරන ලද්දේ මේ අවසන් නොකළ වියමන ද? නැතහොත් සිනමාකරුවකුගේ නිර්මාණයක් පසුපස ඇති නොපෙනන දුක්ඛ දෝමනස්යන් හෙළිදරව් කිරිමක් විය හැකිය. එසේත් නැතිනම් හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සිනමාකරුවකුව සිටි මේ චිත්‍රපටයේ සිනමාකරුගේ චරිතය රඟන සම්මානනීය සිනමාකරු ජෝන් හූස්ටන්ගේ ජීවන චරිතාපදානය ද? නැතහොත් සිනමාවේ සැබෑ මිනිසුන්ගේ කථාවක් ද?

THE OTHER SIDE OF THE WIND චිත්‍රපටය මේ පිළිබඳ අපූරු කතාවක් හෙළිදරව් කරයි. එය සැබැවින්ම හොලිවුඩ් සිනමාවේ පැරැණි පරම්පරාවේ හා අලුත් පරම්පරාවේ ගැටුම සිහිපත් කරයි.

මෙහිදී THEY WILL LOVE ME WHEN I AM DEAD වාර්තා චිත්‍රපටය කරනුයේ වේල්ස්ගේ අවසාන චිත්‍රපටයේ පසුබිම හෙළදරව් කරන්නටය. චිත්‍රපටයට දායක වූ පිරිස මෙන්ම වේල්ස්ගේ දියණිය ද එමඟින් අප සමීපයට ගෙන එයි. එහෙත් ඕසන් වේල්ස් හෝ ඔහුගේ කර්තව්‍යය එයින් වටහා ගත හැකි යැයි විශ්වාස කළ නොහැකිය. මේ චිත්‍රපට දෙකම එකවර නැරඹිය යුතුය. එකක් චිත්‍රපටයක් ඇතුළත සිට චිත්‍රපටයක් දැක ගන්නටය. අනෙක චිත්‍රපටයේ පිටත සිට චිත්‍රපටයේ ඇතුළත දැක ගන්නටය.