අද මැයි 19

මැයි 19, 2022

අදට හරියටම අවුරුදු 86 කට එපිට එනම් 1936 වසරේ මැයි මස 19 වැනි දා කොළඹ පිහිටි සිනමාහල් අතර කොම්පඤ්ඤවීදියේ රීගල් සිනමාහලේ තිරගත වූයේ ‘ද ලාස්ට් අවුට්පෝස්ට්‘ චිත්‍රපටයයි. බම්බලපිටියේ මැජස්ටික් සිනමාහලේ ‘ද ලැඩ්‘ නම් චිත්‍රපටයයි. ආමර් වීදියේ කැපිටෝල් සිනමා ශාලාවේ ‘ද රිටර්න් ඔෆ් චන්දු’ චිත්‍රපටයයි. ඉබ්බන්වල එම්පයර් සිනමාහලේ ‘ද මියුසික් ගෝස් රවුන්ඩ්’ චිත්‍රපටයයි. මරදානේ නිව් ඔලිමිපියා සිනමාහලේ ‘විවා විලා’ චිත්‍රපටයයි. මේ අතරින් කැපිටෝල් සිනමාහලේ තිරගත වූ ද රිටර්න් ඔෆ් චන්දු එවකට සීරියල් චිත්‍රපටයක් විය. ඒ ඇතුළු ඉහත දැක්වූ සියලු චිත්‍රපට හොලිවුඩ් , බ්‍රිතාන්‍ය හා යුරෝපා චිත්‍රපට විය. කොටින්ම ඉංග්‍රිසියෙන් කතා කළ චිත්‍රපට විය. එදින මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගත වූයේ රත්නාවලී හින්දි චිත්‍රපටයයි. වැල්ලවත්තේ ප්ලාසා ටෝකිස් ශාලාවේ තිරගත වූයේ ‘ක්‍රිෂ්ණ අර්ජුන්‘ නම් දෙමළ චිත්‍රපටයි. කොටහේ‌නේ පිහිටි ගෙයිටි සිනමාහලේ එදින තිරගත වූයේ 1935 වසරේ නිෂ්පාදිත දෙමළ චිත්‍රපටයක් වන ‘මේනකා’ ය. මේ වන විට මෙරට කථානාද යුගයට පරිවර්තනය ව අවසන්ය. එමෙන්ම මෙරට සිනමා කර්මාන්තය ගොඩ නැඟීමෙහි ලා දැවැන්ත මෙහෙයක් කළ ඉන්දියානු සිනමා සමාගම වන මදාන් තියටර්ස් මෙරටින් නික්ම ගොසිණ. මෙරට සිනමාවේ ආධිපත්‍යය සියයට සියයක් දේශිය ව්‍යාපාරයක් වූ සීමාසහිත සිලෝන් තියටර්ස් ඇතුළු සමාගම් දරමින් සිටියේය. ඉහත සඳහන් සිනමාහල් අතරින් තවමත් ක්‍රියාත්මකව පවතිනුයේ රීගල් සිනමාහල පමණකි. එහෙත් මෙදින තිරගත වූ චිත්‍රපට නරඹන්නට සිනමා ශාලාවලට ගොඩ වූ ප්‍රේක්ෂකයන් අතරින් ගෙයිටි සිනමාහලට පිවිසිය අයට වෙනස්ම අත්දැකීමකට මුහුණ දෙන්නට ඉඩ ලැබිණ.

ගෙයිටි සිනමාහලේ තිර ගත වූ මේනකා දෙමළ සිනමාවේ වැදගත් පුරෝගාමියකු වූ පී.කේ.රාජා සැන්ඩෝ විසින් නිර්මාණය කළ එකකි. චිත්‍රපටය මෙරට ප්‍රචාරය කරනුයේ ඉන්දියානු ගීත කිරිල්ලිය (ඵඪදඨඪදඨ ඡඪපඤ ධට ධ්දඤඪච) විජයල් මෙනෙවිය රඟන යනුවෙනි. ඒ ඇය නිළියක මෙන් පතළ ගායිකාවක ද වූ හෙයින්ය. දෙමළ සිනමාවේ සුප්‍රකට විකට නළු එන්.එස්. ක්‍රිෂ්ණන්ගේ මුල්ම චිත්‍රපටය ද වන මේනකා ගෙයිටි සිනමාහලේ තිර ගත වූයේ පස්වරු 6.15 හා රාත්‍රි 9.30 දර්ශන පමණකි. එහෙත් මෙදින 6.15 දර්ශනය තවත් පැය භාගයක් දික් වූයේ මේනකාට අමතරව තවත් චිත්‍රපටයක් දැක ගැනීමට ඉඩ දීමෙනි. එය නිහඬ චිත්‍රපටයකි. එහි නිහඬ වත බිඳීන්නට තිරය ඉදිරිපිට වාදනයක් පැවතිණ. කතාව ද කියැවිණ. මේ වන විට නිහඬ සිනමාව ලෝකයෙන් ඉවත්ව ගොස්ය. එහෙත් ගෙයිටි සිනමාහලේ තිරගත වූ චිත්‍රපටය එහි ආභාසය ගුරු කොට ගත්තේ පැරැණි ආකාරයට වාදනයක් ඉදිරිපත් කිරිමෙනි. මෙම නිහඬ චිත්‍රපටය වෙනත් කිසිම රටක දී දැක ගන්නට නොලැබුණු නිර්මාණයක් විය. ඒ එය සියයට සියයක් දේශිය නිෂ්පාදනයක් නිසාය. නම ‘පළිගැනීම‘ යි. අධ්‍යක්ෂණය කරන ලද්දේ ඩබ්ලිව්.දොන් එඩ්වඩ් ය. ධාවන කාලය මිනිත්තු 30 කි. රීල් වශයෙන් ගත් කල තුනකි. ඒ වන විටද ලොව පුරා වෘත්තාන්ත චිත්‍රපට ධාවන කාලය මීනිත්තු 55 ඉක්මවිය යුතු බවට සම්මුතියකට ලෝකය එළැඹෙමින් පැවැතිණ.

මෙයට පෙර දේශිය චිත්‍රපට දෙකක් අසන්නට ලැබෙයි. එකක් මෙරට කිසි දිනෙක ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ඉඩ නොලැබුණු ගුප්තා නම් ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් විසින් නිර්මාණය කරන ලද ටී.ඒ.ජේ නූර්බෝයි විසින් නිෂ්පාදනය කරන ලද ‘ශාන්තා’ හෙවත් ‘රාජකීය වික්‍රමය’ යි. එය මෙරට තිර ගත වූයේ නැත. දෙවැන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත ප්ලාටේ සමාග නිෂ්පාදනය කරන ලද ‘රොමානිස්ගේ කතාව’ යි. එය 1929 අප්‍රේල් මස 21 වැනි දින මරදානේ එල්‌ෆින්ස්ටන් සිනමාහලේ තිරගත වූවකි. එහි අධ්‍යක්ෂ කවුරුදැයි නිශ්චිතව කිය නොහැකි නමුත් නම් දෙකක් අනුමාන කළ හැකිය. ඒ ප්ලාටේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හර්බට් හයින්මාන් හෝ එහි චිත්‍රාගාරයේ නිෂ්පාදන කළමනාකරු ලෙස සේවය කළ එඩ්වඩ් එම්. වික්‍රමරත්න ය.

ඒ වන විට ඔවුන් මෙරට වාර්තා චිත්‍රපට නිර්මාණයෙහි යෙදුණ බව අතීත පුවත් සාක්ෂි දෙන බැවින් එම දෙදෙනාගෙන් කෙනෙකුට රොමානිස්ගේ කතාවේ ගෞරවය ලබා දිය යුත්තේ සැකයේ වාසිය උඩය. එහෙත් පළිගැනීම අධ්‍යක්ෂ හා නිෂ්පාදක කවුදැයි පහසුවෙන් සොයා ගත හැක්කේය. ඔහු ඩබ්ලිව්. දොන් එඩ්වඩ්ය. වැලිවිට ලියනගේ දොන් එඩ්වඩ් උපන්නේ කොළඹය. ඒ 1901 වසෙර්ය. ඉගෙන ගත්තේ කොළඹ වෙස්ලි වදුහලේය. ඔහුගේ පියා, වැලිවිට ලියනගේ දොන් ජේම්ස් වයලීන වාදකයකු ලෙස නමක් දිනා ගත්තෙකි. තාත්තාගේ වයලීන වාදන හැකියාව කෙතරම් ද යත් ඔහු සුද්දන් ද මවිත කළ අන්දමේ වාදකයකුයැයි කියනු ලැබේ. එමෙන්ම ඔහු ව්‍යාපාරිකයකු ද විය. ජේම්ස්ට අයිති කඩ සාප්පු කිහිපයක් කොළඹ වේල්ල වීදියේ තිබිණ. පුතා ද තාත්තා මෙන් දක්ෂ වයලීන වාදකයකු විය. ඔහු වයලීන වාදනය ඉගෙන ගත්තේ තනිවමය. ඒ පාසැල් අවදියේමය. එයට අමතරව ඔහු මෙරටට පැමිණි මැජික් ශිල්පියකුගෙන් මැජික් ද ඉගෙන ගත්තේය . ලෝක සිනමාවේ පුරෝගාමියකු වූ ප්‍රංශයේ ජෝර්ජ් මේලියස් ද මැජික්කරුවකි. මේලියස් මෙන් ගිය සියවසේ මුල් යුගයේ මෙරටට පැමිණි බොහෝ මැජික් ශිල්පීන් සිය මැජික් අතර විසි වැනි සියවසේ ඇස්බැන්දුම ලෙස චිත්‍රපට පෙන්වීම සිරිතක් කොට තිබිණ. එඩ්වඩ් මැජික්වලට අමතරව කැමරාව ගැන ද උගත්තේය. ඒ වන විට මෙරට ඡායාරූප කලාව දියුණු තත්ත්වයක පැවැතිණ. එබැවින් එඩ්වඩ් පියාගේ ව්‍යාපාරවලට අමතරව වේල්ල වීදියේ ඡායාරූපාගාරයක් ද ඇරඹුවේය. මෙහිදි ලබාගත් ඡායාරූප අතර තමාගේම ඡායාරූපයක් පැති දෙකකින් රූ ගන්වා මුදුණය කොට කාලයේ හැටියට ලොකු දෘෂ්ටි ප්‍රයෝගයක් කරන්නට ද එඩ්වඩ් සමත් ව තිබිණ. ඔහු ව්‍යපාරවලට අමතරව වයලීන වාදකයකු ලෙස ඒ අවධියේ පැවැති වටර් හෝල් ඇතුළු නාට්‍යවලට ද වෙනත් සංගීත ප්‍රසංග සදහා ද දායක වි තිබිණ. එබැවින් එඩ්වඩ් බොහෝ දේ සොයා ගිය අලුත් තාලයේ මිනිසකු බැව් පෙනෙණ කරුණකි. මේ අවදියේ මෙරටට පැමිණි විදේශිකයකුගෙන් ඔහු චලන චිත්‍ර කැමරාවක් ද මිලයට ගත්තේය. එඩ්වඩ් පළිගැනීම නම් චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ එම කැමරාවෙනි.

චිත්‍රපටයට පාදක කර ගත්තේ ඔහුගේම කතාවකි. චිත්‍රපටය නිපදවීම සඳහා ඔහු සිය සගයන් කිහිප දෙනකුගේම සහායෙන් කලම්බු මූවි ක්ලබ් නම් ආයතනය පිහිටුවා ගන්නා ලදී. චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂ කතාරචකයා වීමට අමතරව ඔහු එහි කැමරා ව ද මෙහෙයවූයේය. පළිගැනීමේ කතාව මෙහෙමය.

පළාතේ බලවතා කෝරළේ මහත්තයාය. ඔහු පළාතේ දුගී පවුලක පියා මරා දමා දියණියට අතවර කරයි. ඒ පවුලේ පොඩි එකා රොමාගේ ඇස් ඉදිරිපිටය. කලක් ගතවේ. දැන් රොමා ගජ ඉලන්දාරියෙකි. ඔහු සිය පවුල විනාශ කළ කෝරළේ මහත්තයාගෙන් බිහිසුණු ලෙස පළිගනියි. චිත්‍රපටයේ රොමා ලෙස රගපෑවේ එන්.ආර්.ඩයස්ය. එඩ්වඩ්ට අවුරුද්දක් බාල එන්.ආර්. හෙවත් නාවුලගේ රිචඩ් ඩයස් පළිගැනීම චිත්‍රපටයට පෙර රාජකීය වික්‍රමයේ ද රඟපෑවේය. එමෙන්ම ඔහු මෙරට නිහඬ හා කථානාද සිනමාව යන යුග දෙකම සම්බන්ධ කරන එකම නළුවා හැටියට වාර්තාවක් තබා ඇත්තේය. ඔහු පසුව කථානාද සිනමාවට එක්වනුයේ සිරිසේන විමලවීරගේ අම්මා චිත්‍රපටයේ රඟපෑමෙනි. එමතු නොව ඔහු එමඟින් චිත්‍රපට පසුබිම් ගායකයකු ද විය. අම්මා චිත්‍රපටයේ ආ ‘ගාල කඩා ගෙන හරකා දුවනවා‘ ගීතය ගැයුවේ ඔහුය. පිටිසර කෙල්ල චිත්‍රපටයට ‘ආලේ කළ මුත් පණට පණ සේ‘ ගැයුවේ ද ඔහුය. ඩයස් වඩාත් ඉතිහාස ගත වනුයේ රේඛාව චිත්‍රපටයේ පොඩි මහත්තයා හැටියට රඟපෑමෙන්ය. සංදේශය, චණ්ඩියා, සේයාවක් පසුපස, අශෝකා, පොඩි පුතා ආදි චිත්‍රපට රැසක ඩයස් රඟපෑවේය. පළිගැනීම චිත්‍රපටයේ රොමාගේ සොහොයුරිය ලෙස රඟපෑවේ ශ්‍රියා කාන්තා ය. ශ්‍රියාකාන්තා ඒ කාලයේ ජනප්‍රිය වේදිකා නිළියකි. ඇගේ ඇත්ත නම මිලි ආරියවතී ය. ඇය රඟපෑ එකම චිත්‍රපටය පළිගැනීම යි. චිත්‍රපටයේ කෝරළේ මහත්තයා ලෙස රඟපෑවේ ඩී.ඒ.සංඝපාල ය. එච්.ඩබ්ලිව්.සුගතදාස ජෝශප් සංඝපාල, මෙහි රඟපෑ සෙස්සෝය. ඔවුන් සියල්ලෝම එකල වේදිකා නාට්‍යවල රගපෑ නමක් දිනූ පිරිසකි. එබැවින් පළිගැනීමේ නළු නිළියෝ සියල්ලම පාහේ පළපුරුදු පිරිසක් විනා ආධුනිකයන් නොවන බව පැහැදිලිය.

එහෙත් පළිගැනීම කතාව ප්‍රචණ්ඩත්වයෙන් පිරි එකකැයි ඒ වන විට සිටි සුචරිතවාදීන් ප්‍රකාශ කිරිම නිසා ගෙයිටි සිනමාහලෙන් චිත්‍රපටය ඉක්මනින් ඉවත් කිරිමට හේතු විය. එම ජූලි මාසයේ කොළඹ ආනන්ද මහා විදුහ‌ලේ පැවැති ප්‍රදර්ශනයක දී චිත්‍රපටයේ දර්ශන වාර කිහිපයක් පැවැත්වීමටට එඩ්වඩ් සමත්වූයේය. චිත්‍රපටයට වැය කළ මුදල සතයුකුදු පියවා ගැන්මට එඩවඩ් අපොහොසත් විය. ඔහු එයින් කම්පාවුයේය. සිංහල සිනමාවේ නිහඬ යුගය එතෙකින් සමාප්ත විය.

එහෙත් සිනමා හා කලාව පිළිබඳ ඇල්ම ඔහ‍ගෛ් සිතින් බැහැර නොගියේය. මේ නිසාම ඔහු වාදකයකු හැටියට හා නළුවකු හැටියට වේදිකානාට්‍ය රැසකට දායක වූයේය. මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වන්නට වෙර දැරූ එහෙත් දෙවැනි කථානාද චිත්‍රපටය ලෙස එළි දුටු අශෝකාමාලා චිත්‍රපටයට එඩ්වඩ් දායකවූයේ කැපී පෙනෙන චරිතයක් රඟපාන්නට අවස්ථාව උදා කර ගනිමින්ය. ඒ අශෝකාමාලාගේ පියා වූ රන්කිරාගේ චරිතයයි. මෙම භුමියේ දී නිහඬ චිත්‍රපටයක් තනන්ට වෙර දැරූ එඩ්වඩ් කථානාද සිනමාව වෙනුවෙන් නළුවකු වූයේ දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් නගරයේ සෙන්ට්‍රල් චිත්‍රාගාරයේදීය. එම චිත්‍රපටයෙන් පසු එඩ්වඩ් බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ රංගනයට දායක විය. එය මෙරට ඉදි කරන ලද මුල්ම සිනමා චිත්‍රාගාරය වන සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ ප්‍රථම නිෂ්පාදනයයි. එහි නිෂ්පාදක වූයේ මුල්ම සිංහල කථානාද චිත්‍රපටය නිපදවීමෙහි ලා පුරෝගාමී වූ වූ එමෙන්ම චිත්‍රාගාරය ද ගොඩ නැංවූ එස්.එම්.නායගම්ය. දෛවෝපගත කරුණ නම් මෙරට දී රූ ගැන්වෙන මුල්ම කථානාද චිප්‍රටයේ ද රඟපාන්නට එඩ්වඩ්ට ඉඩ ලැබීමයි. එහෙත් රූ ගැන්වීම අරඹා දෙදිනක් ගත වූ තැන චිත්‍රාගාරය ඇතුළතදීම ඔහුට හෘදයාබාධයක් වැලඳීණ. ඔහු අවසන් හුස්ම හෙළුවේ එම දර්ශන තලයේමය. ඒ වනවිට යළි කථානාද චිත්‍රපටයක් නිර්මාණය කිරිමේ සිහිනය ඔහු තුළ පැළපදියම්ව තිබිණ. ඒ වන විට එඩ්වඩ් යන්තම් පනස් එක් වැනි විය පසු කළා පමණකි.