වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
මතුයම් දිනක කියවීම උදෙසා

සරසවිය පුවත්පතේ කර්තෘ පදවිය නමැති තනතුරින් පසුගිය සතියේ මම ඉසිඹු ලැබුවෙමි. එයින් පසු වර්තමානයේ සරසවිය හිමිකරුවෝ හැත්තෑව දශකයේ උපන් පිරිසකි. කොටින්ම සරසවිය අලුත් පරම්පරාවකට මුල් වරට බාර දී තිබේ. සරසවිය කර්තෘ පදවියට පත් වූ අය අතරින් පුවත්පතට වඩා වයසින් බාල මුල්ම තැනැත්තා මා වුවත් ඒ වසර කිහිපයකටය. සිනමාව යනු හැමවිටම අලුත් පරම්පරාවකට අයත් විෂයයක්යැයි අදහන මා වර්තමාන පෙරැළිය පුවත්පතට ආ ආශිර්වාදයක් සේ සළකමි.
සරසවිය සිනමා උලෙළේ දී පිරිනැමුණු සම්මාන අතරට අධ්‍යක්ෂවරයකුගේ මුල් කෘතිය වූ මෙතෙක් තිර ගත නොකළ චිත්‍රපටයක් සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් නමින් අලුත් සම්මානයක් ගෙන එන්නට මා උත්සුක වූයේ ද එබැවිනි. සරසවිය පුවත්පතේ කර්තෘ පදවිය හෙබ වූ දැවැන්තයන් අතර මම දොළොස් වැනියා වීමි. ඒ අතරින් ද දොළොස් වසක් තරම් දීර්ඝ කාලයක් එහි මුල් පුටුව හොබවා සරසවියේම අවුරුදු විසි හතක් කර්තෘ මණ්ඩල සාමජිකයකුව සිටිමට මම වාසනාවන්ත වීමි. ලේඛකයකු ලෙස එයට මුලින් දායක වූයේ 1989 වසරේ මැයි මාසයේ 18 වැනිදාය. ඒ අනුව මුළු කාලය අවුරූදු තිස් දෙකකි. තිස් දෙවසරක් එකම පුවත්පතක සේවය කිරිම සෙල්ලමක් නොවේ. තමා ජීවිතයේ වඩාත් ආදරය කළ විෂයයක් සමඟ එසේ සිටිමට ලැබීම පෙර පිනකැයි මම සිතමි. එමෙන්ම බොහෝ දෙනා කියන පරිද්දෙන් කිසිදු කැපිල්ලකට හසු නොවී එලෙස රැඳී සිට ගෞරවනීය ලෙසින් එයින් සමුගැන්මට ලැබීම ද මට හිතෙන හැටියට වාසනාවකි.
නිරන්තරයෙන් චිත්‍රපට නැරඹිමේ පුරුද්ද මට ඇතිවූයේ කවර කාලයකදැයි මට සිහියට නොඑතත් ඒ ඉතා පැටි වියේ සිට බව නම් විශ්වාසයයි. සිනමාව ගැන කියවන්නට එකල පළ වූ වෙනත් සිනමා පුවත්පත් වෙතට යොමු නොකොට සරසවිය කියවන්න යොමු කරන ලද්දේ කවුරුන් විසින් දැයි මට මතකයේ නැත. එය කියවන්නට ගත්තේ මා පාසල් වියේදීය. සෙසු සිනමා පුවත්පත් පුරා වීහිදුණ සිනමා තාරකාවන්ගේ රසාලිප්ත ඕපාදූපයන්ට වඩා සරසවිය බොහෝ විට ලොව හොඳම චිත්‍රපට ගැන කියා දුන්නේය. සිනමාවේ ඉතිහාසය කියා දුන්නේය. එම ඇතැම් කරුණු මා මවිත කරවනසුලු ඒවා විය. මා සරසවිය පුවත්පතේ පාඨකයකු වූයේ එහෙමය. සරසවිය කිසි විටෙකත් සිනමා පුවත්පතක් නොවිණ. එය සිනමාව ප්‍රමුඛ විෂයය කර ගත් නමුදු සියලු කලාවන්ගේ දොර එයට විවෘතව තිබිණ.
1980 වසර පමණ වන විට හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණ යළි මෙරටට ගලා එමින් තිබුණ යුගයයි. දේශිය මෙන්ම විදේශිය සිනමාව ගැන අද මෙන් මා දැනුම්වත් වීමට පරිසරයක් එකල නොවිණ. මේ තොරතුරු ගැන කියවන්නට පොත් පත් සිංහලෙන් තිබුණේ ද නැත. තිබුණු පොත් පත් ද යාවත්කාලින ඒවා නොවිණ. එබැවින් සරසවිය යහපත් සිනමාවක් පමණක් නොව ලොව මහා සිනමාව සොයා යන්නට අත්වැලක් එකල සැපයුවේය. මා සරසවිය සොයා ගෙන මුල්වරට ගොඩ වූයේ පාසැල් අවදියේය. 1983 වසෙර්ය. ලිපියක් ලියන්නට නොවේ. චිත්‍රපටයක් ගැන ප්‍රවෘත්තියක් පළ කරවා ගන්නටය. කොළඹ ආනන්දයේ සිටි මා වැනිම පික්චර් පිස්සෙක් වූ හේමසිරි අබේරත්න නම් මිතුරා ‘සිහිනය‘ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. මම ද එයට දායක විමි. අප ලේක්හවුස් ආයතනයට විත් එම ප්‍රවෘත්තිය සරසවියට බාර දුන්නෙමු. පුවත්පතේ ප්‍රවෘත්තිය ඉස්තරම් ලෙස පළ කොට තිබිණ. එයින් පසු චිත්‍රපට නැරඹීමේ ආසාව සන්සිදුණේ නැත. චිත්‍රපට ගැන කියවන්නටත් ඒවා නරඹන්නටත් මම තදින් ඇබ්බැහි වීමි. ඒ කාලයේ අද මෙන් පහසුවෙන් චිත්‍රපට සොයාගත නොහැකි වුවත් සතියකට සෑහෙන සිංහල, දෙමළ, ඉංග්‍රිසි චිත්‍රපට සිනමාහල්වල තිබුණු අතර විදෙස් තානාපති කාර්යාල ආශ්‍රිත සතිපතා චිත්‍රපට දැක ගන්නට ලැබිණ. 1986 වසරේ පමණ සරසවිය පුවත්පතේ පළ වූ සිනමා ඉතිහාස ලිපි මාලාවක සදොස් තැන් නිදොස් කොට යැව් ලිපියක් පුවත්පතේ පළ කොට තිබිණ. ඉක්බිති ඒ සමයේ සිදු වූ ලොව මහා සිනමාකරුවකු ලෙස සැලකෙන ඕසන් වේල්ස්ගේ අභාවය අලළා ලියන ලද ලිපියක් ද සරසවියේ පළවුණ ද පුවත්පත් කලාවේදියකු ලෙස ජීවත් වන්නට මට ඇවැසි නොවිණ.
අවශ්‍ය වූයේ සිනමාව ගැන මා දන්නා කරුණු ලියන්නට ඉඩක් හදා ගන්නටය. සර්වෝදය ආයතනය මඟින් නිකුත් කළ පුවත්පතේ කර්තෘ පදවිය හෙබැවූ සඳා අහුබුදු මැතිනිය මගේ සිනමා ලිපිවලට ඉඩ දුන්නාය. ප්‍රේම් දිසානායක මහතා සංස්කරණය කරමින් සිටි විචිත්‍ර පුවත්පතට ද මම ටික දිනක් සම්බන්ධ වීමි. ඒ සියල්ල හැරුණු විට අන් කාලය ගතවුණේ දිනපතා චිත්‍රපට නැරඹීමෙන්ය. කෙසේ වෙතත් තවත් වසර ගණනාවකට පසු ඒ.ඩී.රංජිත් කුමාර මහතා සරසවිය කර්තෘ පදවියට පත් විය. මට රංජිත් අය්යා මුණ ගැසෙන්නට ඉඩ ලැබුණේ ඔහුගේ මිතුරකු වූ රාවය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ පදවිය හෙබවූ උපාලි කොළඹගේ මහතා ගේ යාළුකමටය. 1989 වසරේ මැයි මස 7 වැනි දින මා ලේක් හවුස් ආයතනයට පැමිණ රංජිත් අය්යා මුණ ගැසුණේ එහෙමය. මුල් හමුවේම රංජිත් අය්යා මට මෙරට කාර්මික ශිල්පින් ගැන ලිපි මාලාවක් ලියන්නට ඉඩ දුන්නේය. මා ලිපි මාලාව ඇරඹුවේ වී.වාමදේවන් ගැන ලියමිනි.
රංජිත් අය්යා මට පියෙකු මෙන් විය. ඔහු මට නොපැකිළවම අත දුන්නේය. වයසේ හැටියට කළ තක්කඩිකම් ඉවසමින් පුවත්පතේ නිදහසේ ලියන්නට මට ඉඩ සළසා දුන්නේය. මා කර්තෘ මන්ඩලයට ස්ථිරව ඇතුළත් වූයේත් එය වෘත්තිය බවට පත් කර ගත්තේත් රංජිත් අය්යාගේ දැඩි උනන්දුව මතය. ආයතනයට ඇතුළත් වීමේදී මා ලබා දිය යුතු ඉල්ලුම් පත්‍රය සහමුලින්ම සකසනු ලැබුවේ පසුකලෙක සරසවිය කර්තෘ පදවිය දැරූ දීප්ති ෆොන්සේකාය. අනතුරුව පිවිසි තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා නැතහොත් තිලක් අය්යා ද රංජිත් අය්යා මෙන්ම මගේ සිනමා උනන්දුවෙන් වැඩ ගත්තේය. සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් ඔහු මා වෙත පැවරූ විශ්වාසය කෙතරම් ද යත් එදා මෙදා තුර මට පූර්වයෙන් කතු කම් කළ සියලු කතුවරු එම කටයුත්‌තේ දී මා කෙරෙහි විශ්වාසය තැබූහ. තිලක් අය්යා ඉන්දියාවේ කේරළ හා කල්කටා සිනමා උලෙළ දෙකටම ඔහුට ලැබුණු අවස්ථාවන් මට පැවරුවේ එවකට කර්තෘ මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨයන් ද අබිබවා යමිනි. මම ලෝක සිනමාව පිළිබඳ එයින් ලත් පරිචය වසරින් වසර අලුත් කර ගෙන එය සරසවිය පාඨකයන්ට තිලිණ කළෙමි. එයින් පසු සරසවිය හොබ කළ සියලු කතුවරුන්ගේ ආශිර්වාදයත් ඔවුන්ගේ මඟ පෙන්වීමත් මට නොපැකිළවම ලැබිණ. එයින් පසු කතු පදවියට පිළිවෙළින් පත් වූ සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිදුකුල හා ගාමිණි සමරසිංහ යන සුධීමතුන්ගේ ආදරය නොවන්නට මට මේ දුර එන්නට නොහැකි වනු ඇත. 2010 වසරේ මා සරසවිය කර්තෘ පදවියට පත් කරන ලද්දේ එවකට ලේක් හවුස් සභාපතිව සිටි බන්දුල පද්මකුමාර මහතාය. එසේ නොවන්නට මා සැලසුම් කර සිටියේ සිනමා කෘති හදන්නට එළියට යන්නටය.
මා කතු පදවිය දැරුව ද පරණ චිත්‍රපට නැරඹීමේ පුරුද්දෙන් නොමිදුණු මගේ බර උසුලන ලද්දෝ මගේ කර්තෘ මන්ඩලයේ සිටි සෙසු සගයෝය. ඔවුන් මේ වගකීම කෙතරම් දරා ගත්තේ දැයි කියන්නේ නම් ආයතනයේ ඇතැම් දෙනා සරසවිය කතු මඩුල්ලේ ස්වරූපය හා සහෝදරත්වය ගැන හැමිවිටම පැසසුම් කළහ. එය කර්තෘ මණ්ඩලයක් නොවිණ. පවුලක් විය. මේ අතරින් මෙහිලා සඳහන් කරන්නේ මගේ කර්තෘ පදවිය සමයේ මගේ සගයන්ය. මේ දොළොස් වසර පුරාම මා සමඟ සිටින චන්දන දයා සිරිවර්ධන මෙන්ම මේ දොළොස් වසරේම පිටු සැලසුම් කළ චක්සු අබේවික්‍රම මුලින් සිහිපත් කරමි. මා විදෙස්ගත වූ ඇතැම් දිනවල චන්දන එහි බර තනිවම දරා සිටි සමයක් විය. වර්තමානයේ මගේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මෙන්ම නියෝජ්‍ය කර්තෘ අරුණි මුතුමලී ඇතුළු යතේජා ඥානරත්න ද මෑතක එක්වූ තිලිණි රාජපතිරණ, සුගත් ප්‍රියන්ත, ඉන්දික පෙරේරා ද මෙහිදි සදහනක් කළ යුතුය. සරසවියේ මගේ කාලයේ සිට එයින් ඉවත් වූ චතුර ගීතනාත් බන්ඩාර, අසංක දේවමිත්‍ර පෙරේරා, තිස්ස ධම්මික, සංජීව සම්පත් බාලසූරිය, ප්‍රසාද් සමරතුංග, තිලානි විතානාච්චි, තුෂාරි වික්‍රමසිංහ, ශෙනාල් එරාන් ජයසේකර, මාලන් කරුණාරත්න, ටෙනිසන් එදිරිසංහ, බුද්ධිනි ජයවර්ධන, නදීෂා රාජපතිරණ , ගාමිණී පෙරේරා, පුබුදු ඩිලාන්, තිවංක ආදි නම් වශයෙන් සදහන් කළ නොකළ සියලු දෙනා කතු මණ්ඩලයේ සිට පුවත්පතට නොපැකිළව උර දුන්හ. ලේක් හවුස් ආයතනයේ සිට සරසවියේ විවිධ අවස්ථාවන්හි දී එයට ආදරය පෑ හේමාලි විජයරත්න, මනෝලි සුබසිංහ, තිලක් පෙරේරා, කපිල උබේසේන, කුමාර සිරිවර්ධන ආදින් ද මෙහි සදහන් කළ යුතුය. පසුගිය සම්මාන උලෙළ ද්විත්වයෙහිම හිටපු කතුවරියක වූ දිප්ති ස්වෙච්ඡාවෙන් සරසවිය උලෙළේ සම්බ්නධිකරණය කරට ගත්තාය. සරසවිය යනු අප පිරිසගේ හුදෙකලා ප්‍රයත්නයක් නොවිණ. එය ගෙන ඒමට ආයතනයේ සියලු දෙනාම කැපවී කටයුතු කරති. මේ සියලු දෙනාටම මම ශිර්ෂ ප්‍රණාම ආචාරය කරමි.
පසුගිය වකවානුවේ කොවිඩ් වසංගතය සමඟ පුවත්පත මුල්වරට ඊ ප්‍රකාශනයක් ලෙස එළි දැක්විණ. එය ලේක්හවුස් වාර ප්‍රකාශනයන් ඊපුවත්පතක් ලෙස එළි දුටු මුල්ම අවස්ථාව විය. සරසවිය හැමවිටම යාවතාකිලන විය යුතුව තිබිණ. ලොව පුරා වර්තමානයේ සිනමා කලා ප්‍රකාශන පවතින්නේ ඒ ආකාරයෙනි . සරසවිය සිනමාවට පමණක් පොදු පුවත්පතක් නොවිණ. එහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සියලු කලාවනට සරසවියක් විය. එමෙන්ම එය සජිවි වස්තුවක් ලෙස මම අදහමි. මා සරසවියට ආදරය කළ තරමට සරසවිය ද මට ආදරය කළ බව හැරි බලන විට මගේ විශ්වාසයයි. සිනමාව පිළිබඳ සියල්ලන්ගේ මතවලට ඉඩ දුන් සරසවියේ මගේ මතය සඳහා මතු යම් දිනෙක කියැවීම සඳහා හා එඩිටර්ස් කට් නමින් ලිපි පෙළක් කලක් පළ කරනු ලැබුවෙමි. එය අදින් නිමවනු ඇත. සරසවිය අදින් පසු පෙරටත් වඩා වැජඹෙනු දකින්නට මම ආසා කරමි. එය එහි වර්තමානිකයෝ ඉෂ්ට කරදෙනු ඇතැයි මගේ විශ්වාසයයි. මෙතුවක් මා සමග සිටි සියලු කලාකරුවන්ටත්, පාඨක සහෘද ඔබටත්, මගේ ඇස් පෑදු මවිපියන් ඇතුළු සියලු ගුරුවරුන් හා ක්ෂේත්‍රයේ වැඩිහිටියන්ටත් මගේ ප්‍රණාමය පුද කරමි. දොළොස් වසරක් මුළුල්ලේ කටයුතු කරද්දී කිසිවකුගේ හෝ සිත් පෑරුණේ නම් එයට ද සමාව ඉල්ලන්නට මේ වෙලාවයි.
මට සදා දිරියක් වූ ඔබට පින්සිදු වේවා!
අරුණ ගුණරත්න
සරසවිය කර්තෘ