තාගෝර් නම අනුව රබීන්ද්‍ර වූ ඔහු සිනමාවට රොබින් වූයේය

රොබින් තම්පෝ 90 වැනි ජන්ම සංවත්සරය (1930-2000)
දෙසැම්බර් 24, 2020

සිංහල සිනමාවේ යුග පුරුෂයකු ගැන දියණියක ලියූ ග්‍රන්ථයක් ගැන ඔබ අසා තිබුණා ද? එය සිංහලෙන් නම් වූයේ මේ ගෙවී ගිය යුගයක අන්තිම තරුව රොබින් තම්පෝය. රොබින්ගේ වැඩිමහල් දියණිය විලාස්නි විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ Robin Tampoe ‘Last of the Big Ones’  කෘතිය 2008 වසරේ ප්‍රකාශයට පත් වූ අතර එහි සිංහල පරිවර්තනය ‘රොබින් තම්පෝ : ගෙවී ගිය යුගයක අන්තිම තරුව‘ නමින් ප්‍රකට චිත්‍රපට විචාරක ඊ. එම්. ජී. එදිරිසිංහ විසින් පරිවර්තනය කරන ලදුව එම වසරේදීම ප්‍රකාශයට පත් විය.

මීට හරියටම වසර 90 කට එපිට ඉපිද හරියට මීට වසර 20 කට ඉහත ජීවිත සිනමාවෙන් සමු ගත් රොබින් තම්පෝ ගැන කතා කරන විට ඔහුගේ පියා වූ ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ (1902 - 1986) ගැන කතා නොකරම බැරිය. මුලින්ම සිනමාවට පිවිසි පියා නිසා පුතාට එය බෝ වීම අරුමයක් ද?

ප්‍රකට දේශපාලඥයකු වෘත්තීය සමිති නායකයකු වූ බාලා තම්පෝ ඩබ්ලිව්. එම්. එස්. ගේ ඥාති සොහොයුරෙකි.

1930 දෙසැම්බර් 29 වෙනිදා යාපනේ උපන් රබීන්ද්‍ර කුමාරස්වාමි නොහොත් රොබින් තම්පෝ ප්‍රකට නීතිඥ පවුලකට අයත් සාමාජිකයෙකි. දරුවාට රබීන්ද්‍ර යැයි නම තැබුණේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ලංකා ගමන සිහිවීමටය. ඔහුගේ මුත්තා වූ තමෝදන් පිල්ලෙයි මැක්වෙන් තම්පෝ විශ්‍රාම ලත් පොලිස් මහේස්ත්‍රාත්, විනිශ්චයකරුවෙකි. අත්තා වූයේ ගුරුසාමි තනානියෙල් හන්ට් තම්පෝ දිස්ත්‍රික් උසාවියේ නීතිඥවරයෙකි. පියා වූයේ විලියම් මැක්ගෝවින් සෙල්ලසාමි තම්පෝ නීතිඥයකු, චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයෙකි. චිත්‍රපට ලෝකය දැන සිටියේ ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ නොහොත් ‘පප්පා තම්පෝ’ නමිනි. ඔහු සේපාලි, සැමියා බිරිඳගේ දෙවියාය, ළඳක මහිම, දෙවියන්ගේ තීන්දුව චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය.

රොබින් තම්පෝ ජීවතුන් අතර සිටියදී ඔහු ‘සරසවිය’ පත්‍රයේ සමීප හිතවතෙකි. ඔහු ‘පික් පොකට්’ චිත්‍රපටය තිරගතවීමට සූදානම්ව සිටියදී 1969 දී පමණ මට හඳුනා ගන්නට ලැබිණි. මා ඔහුට වඩාත් සමීප වූයේ ‘අද මෙහෙමයි’ (1972) චිත්‍රපටය කරන කාලයේදීය. ඒ චිත්‍රපටය ගැන විශේෂාංගයක් ලිවීමට ‘සරසවිය’ පත්‍රයේ කුමාරදාස වාගිස්ට හා කැමරා ශිල්පී රෙජී බුලත්සිංහල සමඟ වැල්ලම්පිටියේ ආර්. ටී. චිත්‍රාගාරයට ගිය අප හොඳ මිතුරන් වීමු.

යාපනේ සෙන්ට්‍රල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රොබින් ඉන්දියාවට ගොස් මදුරාසියේ තම්බ්‍රපානියේ ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලබා ලංකාවට පැමිණ නීති විද්‍යාලයට බැඳුණත් ඔහු සිත ඇදී ගියේ සිනමාවටය. සිය පියා සෘජුවම සිනමාව හා බැඳී සිටියේය.

‘මගේ පියා ඩබ්ලිව්. එම්. එස්. ඉන්දියාවේ දැන සිටියේ ‘සිලෝන් තම්බි’ කියලා. පියා 1942 දී ඉන්දියාවේදී දෙමළ චිත්‍රපට කීපයක් නිෂ්පාදනය කළා. මම එතකොට දොළොස් හැවිරිදි ළමයෙක්. 1958 වසරේ මම නීතිය ඉගෙනීම පසෙකලා පියා මුලින්ම අධ්‍යක්ෂණය කළ ‘සේපාලි‘ චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස සිනමාවට සම්බන්ධ වුණා. මේ චිත්‍රපටයේ ෆ්ලොරිඩා ජයලත්, ස්ටැන්ලි පෙරේරා, රීටා රත්නායක, මාක් සමරනායක, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා රඟපෑවා. මේ චිත්‍රපටය ‘දුලාරි’ හින්දි චිත්‍රපට කතාව ඇසුරෙන් මදුරාසියේ වාහිනි චිත්‍රාගාරායේ හැදුවේ. මේ චිත්‍රපටයේ සංගීතය ඉන්දීය ජාතින ටී. ක්‍රිෂ්ණමුර්ති. අද අතිශයින්ම ජනප්‍රිය ධර්මදාස වල්පොල ගායනා කළ මේ ගීතය ඔබට අමතක වේවිද?

‘මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී

කිම තාම නාවේ මගේ ශ්‍රීමතී’

මේ ගීතය ලිව්වේ හර්බට් එම්. සෙනෙවිරත්න.

රොබින් ‘සේපාලී’ චිත්‍රපටයෙන් පසු තනිවම චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වෙයි. ඒ 1958 වසරේදීය. එය තිරගත වූයේ 1959 දීය. මේ චිත්‍රපටයෙන් රොබින් තම්පෝ නවක නළුවකු හා නිළියක වූ බොනිෆස් ප්‍රනාන්දු හා සුජාතා විජේසේකර නිර්භයව හඳුන්වා දුන්නේය. සෙසු චරිත රඟපෑවේ ජෝ අබේවික්‍රම, අශෝක පොන්නම්පෙරුම, ක්‍රිස්ටි ලෙනාඩ්ය. මේ චිත්‍රපටයේ ලතා සහ වල්පොල ගැයූ ‘ආකාසෙ ආවා සෙ සූර්යා නැඟී - අපේ ජීවිතේ යයි සැපේදී රැඳී’ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා හා කේ. රාණි ගැයු ‘ඇයි වදේ මේ බය වෙලා - බැන්ද වෙස් යයි ගැලවිලා’ ගීත ජනප්‍රිය වී ඇත. මේ චිත්‍රපටය සමඟ රජයේ චිත්‍රපට අංශය නිපද වූ බණ්ඩාරනායක මහතාගේ අවමඟුල දැක්වෙන ‘ගමනක අවසානය’ තිරගත වීම විශේෂයකි.

‘මා නිෂ්පාදනය අධ්‍යක්ෂණය කළ ‘සුවිනීත ලාලනී’ චිත්‍රපට අතර කඩඉමක් පෙන් වූ චිත්‍රපටයක්. 1961 වසරේ තිරගත වූ මේ චිත්‍රපටයට වාර්තාගත ගීත 14 ක් ඇතුළත් වුණා. 1964 පැවති පළමුවන සරසවිය චිත්‍රපට උලෙළේදී පාඨක ඡන්ද 24712 ක් ලබාගෙන ‘සුවිනීත ලාලනී’ පස්වන ස්ථානයට පත් වුණා. කොළඹ අසෝකා සිනමාහලේ චිත්‍රපට සතියේ ද මේ චිත්‍රපටය තිරගත වුණා. එදා පුදුම සෙනඟක් ඇවිත් හිටියා. චිත්‍රපට බලන්න නොහැකි විශාල පිරිසක් එළියට වෙලා හිටියේ නළු නිළියන් දැක ගන්න.’ රොබින් එදා සිදු වූ අසිරිමත් අවස්ථාවක් සිහිපත් කළේය.

1962 වසරේ තිරගත වූ ‘සුහද දිවි පිදුම’ චිත්‍රපට කතාව වෙනත් කෝණයකින් හසුරුවන ලද පවුලේ කතාවක් බවයි රොබින්ගේ අදහස. ශ්‍යාමා ආනන්ද ළමා නිළියක් ලෙස ප්‍රථම වරට රඟපෑවේ මේ චිත්‍රපටයේය. නවක චිත්‍රපට පසුබිම් ගායකයකු වූ සිරිල් හියුමන්, ප්‍රධාන චරිතය රඟපෑ බොනිපස් ප්‍රනාන්දු වෙනුවෙන් රොබින් යොදා ගත්තේය. රතු කුරුස හමුදා සංගීත කණ්ඩායමේ සේවයේ නියුතු සිරිල් මේ චිත්‍රපටයේ ගැයූ ‘බලන්න ලස්සන ආකසේ කුරුල්ලෝ පියාඹති යති සුවසේ’ ගීතයත්, ඇන්ජලින් ද ලැනරෝල් සමඟ ‘ඔබේ ඇඳුම නිසා - රූපෙ නිසා - මගේ හිත ඇදුණා’ යන යුග ගීිතය ගැයූහ. ජෝතිපාල ගැයූ ‘මා පැතූ දේ කෝ පාළු වී ලෝකේ’ ගැයූ අතර ඔහු ප්‍රධාන නිළි ක්ලැරිස් ද සිල්වා සමඟ යුග ගීතයක් ගැයුවේය. මේ චිත්‍රපටයෙන් මුල්වරට රොබින්ගේ හිතවත් පොලිස් පරික්ෂකවරයකු වූ විජේරත්න වරකාගොඩත් නීතිඥයකු ලෙස හඳුන්වා දුන්නේය. කලින් චිත්‍රපට දෙකක සුළු චරිත රඟපෑ පියදාස විජේකෝන්ගේ හිස බූ ගා රොබින් ප්‍රනාන්දු සමඟ මාරාන්තික සටන් දර්ශනයකින් සටන් නළුවකු කළේ රොබින්ය. මේ චිත්‍රපටය කොතරම් ශෝකජනකන දර්ශනයකින් රොබින් ඉදිරිපත් කළා ද කිවහොත් කඳුළු පිරි දෙනෙතින් චිත්‍රපටය බලා සිනමා ශාලාවෙන් පිටවන නරඹන්නන්ට ලේන්සු විකුණන වෙළෙඳුන් සිටි බව ද වාර්තා වේ.

රොබින් තම්පෝ තමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සිනමාහල්වල ප්‍රදර්ශනය වන විට සවස දර්ශනය බලා ඇත්තේ සිනමා ශාලාවේ ගැලරියේ සිටය.

මම සාමාන්‍ය ඇඳුමින් සැරසී ගැලරි ආසනයක ඉඳගෙන මගේ චිත්‍රපටය බලන විට ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර දක්වන හැටි හොඳට බලාගන්න පුළුවන්. ප්‍රේම ගීත තිිරයේ පතිත වන විට ගැලරියේ අය කියන විට මම දන්නවා එයා මීට පෙරත් මේ චිත්‍රපටය බලා ඇති බව. රොබින් ප්‍රනාන්දුගේ සටන් දර්ශනවලදී ගැලරියේ සිටියකු නැඟිට අසළ සිටි සිය හිතවතාට පහර දුන් අවස්ථාවක් මම දැක්කා. කොයි දෙබසට ද හිනා වෙන්නේ, මම දැන ගන්නේ මගේ ආදරණීය ගැලරි රසිකයන්ගෙන්. අපිට ඔවුන් අමතක කොට ජනප්‍රිය චිත්‍රපට හදන්න බෑ’ රොබින් වරක් මට කීවේය.

‘මිස්ටර් තම්පෝ ‘සුදෝ සුදු’ වගේ සාහිත්‍යයේ ජනප්‍රිය කවි කතාවක් තෝරා ගත්තේ ඇයි? එයින් ජනප්‍රිය චිත්‍රපටයක් හදන්න බැහැ නේද?’ මම වරක් ඔහුගෙන් ඇසුවෙමි.

‘සුදෝ සුදු’ චිත්‍රපටයට කලින් මම 1963 ‘සුදු සඳේ කළු වලා’ චිත්‍රපටය මුල්වරට සංගීතඥයන් පස් දෙනෙක් (ප්‍රේමසිරි කේමදාස, රොක්සාමි, ඇල්ප්‍රඩ් පෙරේරා, ලතීෆ්, මොහොමඩ් සාලි, ස්ටැන්ලි ද අල්විස්) යොදා ගත්තා. කැමරා ශිල්පීන් හතර දනෙක් (ඒ. ටී. අරසු, එම්. ඒ. ගෆූර්, ආර්. කුමාරසිංහ, සුමිත්ත අමරසිංහ) යොදා ගත්තා. මේ වගේ මම චිත්‍රපටයෙන් චිත්‍රපටයට අලුත් අත්හදා බැලීම් කළා. අලුත් පරපුරක් සිනමාවට හඳුන්වා දුන්නා. සුවිනීතා වීරසිංහ සිනමාවට හඳුන්වා දුන්නේ මේ චිත්‍රපටයෙන්. ඇය පසුව විශිෂ්ට රංගන ශිල්පිනියක් වුණා. ජනප්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාල චරිතාංග නළුවෙක් හැටියට රඟපෑවේ මගේ මේ චිත්‍රපටයේ. 1964 දී මම ‘සුලලිත සෝභනී ‘අධ්‍යක්ෂණය කළාට පසු එම වසරේ මම නිෂ්පාදනය කළ ‘සමාජේ අපි ඔක්කොම සමානයි’ චිත්‍රපටය අපේ මුල් යුගයේ චිත්‍රපට නළුවකු වූ හර්බි සෙනෙවිරත්නට අධ්‍යක්ෂණය පැවරුවා. එකල ‘ළමා යෝධයා’ ලෙස රටේ හැඳින් වූ හේරත් බණ්ඩා රඟපෑමට තෝරා ගත්තේ මම. මට ආදරයෙන් කියන්න පුළුවන් සුලලිත සෝබනි, සමාජේ අපි ඔක්කොම සමානයි චිත්‍රපට හා මගේ පියා අධ්‍යක්ෂණය කළ ‘සැමියා බිරිඳගේ දෙවියා’ චිත්‍රපට තුනම නිපද වූයේ මගේම වැල්ලම්පිටියේ ආර්. ටී. චිත්‍රාගාරයේ. 1966 මම ‘සැඟවෙන සෙවැනැල්ල’ චිත්‍රපටය කළා. රොබින් එදා මා ඇසූ ප්‍රශ්නයට පෙරවදනක් එක් කළා.

‘දැන් අපි ‘සුදෝ සුදු’ගැන කතා කරමු. මගේ සිනමා කතාව කියන්නේ ‘සිංහල සිනමාවේ ඉතිහාසය’ රොබින් යළිත් කතාව පටන් ගත්තා.

‘මම සාහිත්‍යයට ආදරෙයි. කවියට ආදරෙයි. විශ්ව සාහිත්‍ය කෘති මම කියවන්නේ ලොකු සතුටකින්. තාගෝර්, ප්‍රේම් චාන්ද්, විභූති භූෂණ බන්ද්‍යෝපාධ්‍යය, ටෙනිසන්, වර්ඩ්ස්වර්ත්, මිල්ටන්, ෂෙලී ආදීන්ගේ කවි, නවකතා කියවා තිබුණා. ඒක තම්පෝ මුතුන් මිත්තන්ගේ පුරුද්දක්. මුත්තා, අත්තගේ, පියාගේ නිවෙස්වල ඉංග්‍රීසි, වංග, සාහිත්‍යධරයන්ගේ පොත්පත් සහිත පුස්තකාල තිබුණා. මම සිංහල කවියන් ගැන අහලා තිබුණේ මගේ හැම චිත්‍රපටයකම ගී රචනය කරන, දෙබස් (සමහරක්) ලියන මගේ සිංහල උපදේශ කවියකු වූ චිත්‍රානන්ද අබේසේකරගෙන්.

මේ පසුබිම යටතේ 1964 වසරේදී මුල අපේ රටේ කීර්තිමත් කවියකු වූ සාගර පලන්සුරිය කවියාගේ. ඔහු ‘කේයස්’ නමින් හැඳින් වුණේ. ඔහුගේ ජනප්‍රිය කවි කතාව ‘සුදෝ සුදු’ කාව්‍යය සිනමාවට නැඟීමට හිතුවා. ඊට කලින් මම ඒ කවි කතාවට පාදක වුවා යයි කියන ටෙනිසන් කවියාගේ ‘ඊනොක් ආඩන්’ කියවලා තිබුණා. ‘සුදෝ සදු’කවි පොතේ සේරම කවි චිත්‍රානන්ද මට ඉංග්‍රීසියන් ද විටක සිංහලෙ න් විස්තර කළාම එය පරිවර්තන කෘතියක් නොවන බව මට වැටහුණා. ගැමි සුවඳ සුදෝ සුදු තුළින් මම දැක්කා. මම අපේ සාහිත්‍යයට, සංස්කෘතියට සේවයක් කිරීමේ අදහසින් ‘සුදෝ සුදු’ සිනමාවට නඟන්න හිතුවා. තිර රචනය ලිවීමට මම තෝරා ගත්තේ ඊ. ආර්. එරත්න සහ මහාචාර්ය සෝමසිරි සෙනෙවිරත්න. චිත්‍රානන්ද දෙබස් ලිව්වා. චිත්‍රා කිව්වා ‘රොබින් අපි මේකේ සංගීත අධ්‍යක්ෂණයට සෝමදාස ඇල්විටිගල හඳුන්වා දෙමු. තේමා ගීතය හා ඇතැම් ගීත ගයන්න අමරදේව තෝරා ගමු කියලා. අපි කේයස් ගේ සොහොයුරු පියදාස පළන්සුරිය මහත්තයා උපදේශක වශයෙන් තෝ

රා ගත්තා. චිත්‍රානන්දත් මමත් කේයස් උපන් ගමටත් ගියා. අදිරි ලෙස ගාමිණි ෆොන්සේකාත්, හීන් මැණිකේ ලෙස සුවිනීතා වීරසිංහත්, ටිකිරි ලෙස ෆොනිපස් ප්‍රනාන්දුත් අන්ධ පුතා ලෙස ළමා නළු තිලක් පුෂ්ප කුමාරත් තෝරා ගත්තා. කැමරා ශිල්පියකු ලෙස මුල් වරට තිමති වීරරත්න මගේ චිත්‍රපටයට තෝරා ගත්තා. අපි කටුරොද ගම්මානය මගේ ආර්. ටී. චිත්‍රාගාගරයේ මැව්වා. 1965 අප්‍රේල් 28 තිරගත වුණා. චිත්‍රානන්ද රචනා කළ අමරදේව ගැයූ ‘සිතැඟි සුදු - සුදෝ සුදු ජීවිතවල - මිහිර සැදූ මිහිර සැදූ’ ගීතය ගැන විචාරක ප්‍රසංශාන ලැබුණ. සිංහල සිනමාවට නැඟුණු මුල්ම කවි කතාව තිරයට ගෙන එන්ට ලැබීම මගේ වාසනාවක්’ රොබින් කීය.

සුදෝ සුදු ට පසු රොබින් අපේ ජනශ්‍රැතියේ ජනප්‍රිය කතාවක් වූ ‘මහදැනමුත්තා’ කතාව ප්‍රවීණ පත්‍ර කලාවේදී මීමන ප්‍රේමතිලක කතාව හා තිර නාටය ලියවා ගත්තේය. මේ චිත්‍රපටය ආර්. ටී. චිත්‍රාගාරයේදී දින හතකින් රූප ගත කොට නිමා කිරීම විශේෂයකි. රොබින් 1966 නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘සැනසිලි සුවය’ චිත්‍රපටය ගාමිණි ෆොන්සේකා, ජීවරාණි හා සන්ධ්‍යා, විජිතා මුල්වරට ප්‍රධාන චරිත නිරුපණය කිරීම නිසා ජනප්‍රිය චිත්‍රපටයක් විය. 1968 රොබින් ‘දෙහදක දුක’ ද 1969 ‘පික් පොකට්’ 1972 ‘අද මෙහෙමයි’ 1974 දී ‘සුරේඛා’ රොබින් විිසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය.රොබින් වැල්ලම්පිටියේ විලස්නි’ නමින් සිනමාහලක් ඉදි කළේය. එහි මුලින්ම ප්‍රදර්ශනය වයේූ ‘සුජීවා’ චිත්‍රපටය යි. ඔහු දෙ

හිවල ද කහවත්තේ ද සිනමා ශාලා දෙකක් ඉදි කිරිීම රොබින්ගේ තවත් දස්කමකි. යාපනේ මුල්වරට 1978 දී සිංහල චිත්‍රපට උලෙළක් පැවැත් වූයේ ද රොබින්ය.

1959 රොබින් හා සිංහල යුවතියක වූ රීටා කාමලින් ප්‍රනාන්දු හා විවාහයෙන්, විලාස්නි, ටිරානි, දුලානි, යුවානී, සංජීව හා රොබින් යන දූ දරුවන් හය දෙනෙක් වූහ. තම පියා ගැන ග්‍රන්ථයක් ලියූ විලාස්නි තම්පෝ හොතෑන් කොළඹ විශ්ව විද්‍යාලයේ නිරා වික්‍රමසිංහගේ සහ ද ලා රියුනියන් විශ්වවිද්‍යාලයේ ජේක්ස් තුවල්ගේ අධීක්ෂණය යටතේ ආචාර්ය උපාධිය සඳහා ශ්‍රී ලාංකික සිනමාව පිළිබඳ නිබන්ධයක් ලියුවාය. ඇය ඇග්‍රෙගේෂන් ද ඇන්ග්ලයිස් උපාධිය ද ද ලා රියුනියන් විශ්වවිද්‍යාලයෙන් D.E.A  ඩිප්ලෝමා ද ලබා ගත්තාය. ඇය විවාහ වී සිටින්නේ ‘හඳයා’ හා ‘වීර පුරන් අප්පු’ චිත්‍රපටයේ ද රඟපෑ ජින් පියරේ හොතෑන් සමඟය. විලාස්නි තම්පෝ හෝතෑන්ස් සිංහල සිනමාවේ කිවිඳිය ලෙස ප්‍රකට ආචාර්ය සුමිත්‍රා පීරිස් ගැන Sumitra Peries;Sri Lankan Film maker  නමින් ඉංග්‍රීසි කෘතියක් 2011 දී පර්යේෂනාත්මක ග්‍රන්ථයක් රචනා කළාය. රීටා කමලින් සිරිමලී චිත්‍රපටයේ රඟපෑවාය.

රොබින් තම්පෝ පරම්පරා තුනක් සිනමාවට දායාද කළ පියෙකි. ඔහුගේ වැඩිමහල් දියණිය ලේඛිකාවක් වූ අතර සංජීව තම්පෝගේ පුතා වූ රොබින් තම්පෝ (කණීෂ්ඨ) ද සිනමාවට සම්බන්ධ ව සිටී. රොබින්ගේ ආදරණීය බිරිය රීටා 2018 ජූලි 16 වෙනිදා දෙව්මව් තුරුලට ගියාය. රොබින් තම්පෝ 2000 මාර්තු 22 වෙනිදා ස්වර්ගස්ථ වූහ.