රුක්මණී දේවි සහ මනමේ බිසව යා කිරීම

ජනවාරි 21, 2021

ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "සඳගිර"(1998) අධ්‍යාපනික අගයක් ඇති දැවැන්ත නාට්‍ය නිෂ්පාදනයකි.මේ වූ කලී වාර්තා රංග (Docudrama) සම්ප්‍රදායට අයත් නාට්‍යයකි.දයානන්ද ගුණවර්ධන සූරීන් "ගජමන් නෝනා"(1975) නාට්‍යය ඔස්සේ ප්‍රාරබ්ධ කළ වාර්තා රංග නාට්‍ය ශෛලිය ඉක්බිතිව ඔහුගේ "මධුර ජවනිකා" (1983), "ආනන්ද ජවනිකා"(1986) යන නාට්‍ය ඔස්සේ තවදුරටත් වේදිකාවේ ස්ථාපිත කෙරිණ.ලාංකේය නාට්‍ය ඉතිහාසයේ නාට්‍ය ලක්ෂණවල බීජ අවස්ථා පිළිබිඹු වන ශාන්තිකර්ම යුගයේ සිට කලාත්මක ධාරාවේ පුරෝගාමී පතිකෘතිය (CHEF-D'OEUVRE) වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යය බිහිවීම දක්වා දේශීය නාට්‍ය කලාවේ ඉතිහාසයේ මංසලකුණු "සඳගිර" ට ඇතුළත් විය.නාට්‍ය ආරම්භයේ නිදහස් නාට්‍ය කණ්ඩායමක නළු ,නිළියෝ වේදිකාවට පිවිස විවිධ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී රංගනයට පිවිසෙති.උඩරට,පහතරට, සබරගමු ශාන්තිකර්ම ,කෝලම්, සොකරි, නාඩගම් ,නුර්ති,මිනර්වා,ටවර්හෝල්,විශ්වව්ද්‍යාල නාට්‍ය ඔස්සේ "මනමේ"නාට්‍යය බිහිවීම දක්වා ගමන් මඟ මේ නාට්‍යයේදී ඔවුහු නිරූපණය කරත්.මෙහිදී මිනර්වා නාට්‍ය යුගය නියෝජනය කරමින් මෙරට ප්‍රථම නිළි රැජන රුක්මණී දේවියගේ භූමිකාවත් ඉක්බිතිව "මනමේ"නාට්‍යයේ මනමේ බිසවගේ චරිතයත් නිරූපණය කිරීමට රත්නා ලාලනීට භාග්‍යය ලැබිණ.පසුව චිත්‍රපටයක් බවට ද පත් වූ ඉන්පෙර බී. ඒ. ඩබ්ලිව්.ජයමාන්නගේ මිනර්වා නාට්‍යයක් වූ "කපටි ආරක්ෂකයා" හී රුක්මණී දේවි ගැයූ මනරම් ගීතයක් "සඳගිර" හී රත්නා ලාලනී රඟමින් මෙලෙස ගයන්නීය.

ශ්‍රියා දෙනා .......

ශ්‍රියා දෙනා උදය ගිරේ

රන්වන් වේ අම්බරේ

රැජිනිය අහසෙ නැගේවි

චන්ද්‍රා රාජිනී මේ අහසේ නැගේවි

 

කාන්තිය දේ රාත්‍රී මේ සන්ධ්‍යා වලාවෙන්

පද්ම ගිලේ සීත වැදී සූර්ය වියෝගෙන්

 

ඒ සඳුන් මලේ සුවඳීන් හර්දය ආනන්ද වේ

රාජිනි ඒ අහසේ නැගේවි

ශ්‍රියා දෙනා

 

ගිරව් නගින්නේ - දියේ රැල්ල පෙනෙන්නේ

අරලිය මල් පියලි වැටී මාළු කොටන්නේ

සූර්ය කිරණ කිරණ මැකී සයුරෙ ගිලෙන්නේ

සන්ධ්‍යා වලාවේ මේ

සන්ධ්‍යා වලාවේ සුන්දර ශ්‍රී පරමානන්ද වේ

රාජිනි ඒ අහසෙ නැගේවි

 

"සඳගිර" ඔස්සේ එකම නාට්‍යයකදී රූපණ ශෛලීන් ද්වයකින් රඟපෑමේ අවස්ථාව රත්නාට ලැබිණ.එනම් මෙහි රුක්මණී දේවියගේ භූමිකාව හරහා එකල මිනර්වා නාට්‍යවල දිස් වූ නාට්‍යාතිශය (Melodramatical) රංග ශෛලියෙනුත් එහිම මනමේ බිසවගේ චරිතයෙන් කාව්‍යාත්මක හෙවත් ශෛලිගත (Poetic theatre) රූපණවේදයෙනුත් රඟපෑමට සිදු වූ බැවිනි.

"සඳගිර" නාට්‍ය නිර්මාණය කිරීමේ දී දයානන්ද ගුණවර්ධනයන්ගෙන් ලැබූ ආභාසය ආචාර්ය ජයලත් මනෝරත්නයෝ මෙලෙස හෙළි කළහ.

"සිංහල නාට්‍ය ක්ෂේත්‍රය පෝෂණය කළ විවිධ නාට්‍ය ශෛලීන් අතර තාත්වික, ශෛලිගත, අර්ධ ශෛලිගත, අසම්මත හෙවත් අභූතාර්ථ ආදිය මෙන්ම කුරිරු රංගය, මැර රංගය, දැහැමි නළුව ආදී වශයෙන් හැඳීන්වූ ශෛලීන්ද වීදි නාටක වැනි අංගද කීපයක්ම විය. මේවා ඉතා පැහැදිලි මායිම් ,වැටකඩුලු මඟින් වෙන් කොට හඳුන්වාදිය නොහැකි වූවත්, එකිනෙකට අනන්‍ය වූ ගති ස්වභාවයන්ද නොපෙන්වූවා නොවේ. කෙසේවතුදු මේ හැම නාට්‍ය ශෛලියකටම අයත් වේදිකා නාට්‍ය නිර්මාණ හැම එකක්ම පාහේ අඩු වැඩි වශයෙන් මෙරට ස්ථාපිත නාට්‍ය කලාව නැංවීමෙහිලා යම් දායකත්වයක් ලබා දුන් බව නොරහසකි. විටෙක පරිපූර්ණ නිෂ්පාදන ලෙසින්ද තව විටෙක පර්යේෂණ අවස්ථා ලෙසින් ද ඉදිරිපත් වූ හැම නාට්‍ය කෘතියක්ම අංශු මාත්‍රයකින් හෝ දේශීය නාට්‍ය කලාවේ ඉදිරි ගමනට සේවාවක් ඉටු කළ බව පැහැදිලිය. මෙබන්දක් රචනා කිරීමට මා පෙලඹ වූ එක් කරුණක් වූයේ 1976 දී ගජමන් පුවත කෘතියේ පෙරවදන සඳහා දයානන්ද ගුණවර්ධනයන් ඇතුළත් කළ අදහසකි. එය මෙසේය.

"......1966 වර්ෂයේ එංගලන්තයේ ස්ටොක් ඔන් ට්‍රේන්ට් නගරයේ වික්ටෝරියා නෘත්‍යාගාරයේ අධ්‍යක්ෂ පීටර් විස්මන් මහතාගේ වාර්තා නාට්‍ය නිෂ්පාදනය නැරැඹීමෙන් පසු එබන්දක් නිෂ්පාදනය කිරීමේ ආශාවක් මට උපන.ඔක්ස්ෆර්ඩ් නගරයේ දුටු බර්නාඩ් ෂෝ සහ කැම්බල් ආර්යාව අතර හුවමාරු වූ ලිපි ඇසුරින් නිෂ්පාදනය කරන ලද "ඩියර් ලයර්" නම් නාට්‍යයද මට බලපෑ කෘතියකි. 'සිංහල නාට්‍ය කලාවේ වර්ධනය' පිළිබඳ වාර්තා රංගයක් නිපදවීමට මා මුලින් කටයුතු කළ ද එය බොහෝ කල් ගත වන්නක් හා වියදම් අධික නිෂ්පාදනයක් බැවින් 1971 දී පමණ 'ගජමන් පුවත' සඳහා ලෑස්ති වුණෙමි "

ගජමන් පුවත සහ මධුර ජවනිකා මුල්ම නිෂ්පාදනවල රංගන ශිල්පියකු ලෙස මා සහභාගි වූ වකවානුවේ දී වාර්තා රංගනය පිළිබඳව වැඩිමනත් කරුණු දැනගැනීමට මට කුහුලක් විය.ගුණවර්ධනයන් සඳහන් කළ 'සිංහල නාට්‍ය කලාවේ වර්ධනය' පිළිබඳ වූ වාර්තා රංගය ගැන මතකය යළිත් මා තුළ අලුත් වූයේ එසේ එක් රැස් කරගත් කරුණු ගවේෂණය කිරීමේදීය."

ජයලත් මනෝරත්න, රත්නා ලාලනී,සම්පත් තෙන්නකෝන්,අජිත් ලොකුගේ , ලක්ෂ්මි දමයන්ති ,දයාදේව එදිරිසිංහ, ඇන්ටන් ජූඩ්,ප්‍රියන්ත සෙනෙවිරත්න, සුසිල් වික්‍රමසිංහ, සෝමසිරි කොළඹගේ, සෝමපාල පතිරගේ, කුමාර ලියනගේ, ප්‍රසන්නජිත් අබේසූරිය,කුසුම්සිරි ලියනාරච්චි, නිශ්ශංක ගුණසුමන,එච්.එම්.රත්නායක,ප්‍රේමන් මන්ත්‍රීපති,අනූෂා පෙරේරා යනාදීහූ "සඳගිර" නාට්‍යයට රංගනයෙන් දායක වූහ.

කපිල කුමාර කාලිංගගේ "නෙළුම් පොකුණ"(1988) නැවක් මුහුදුබත් වීමෙන් දූපතකට කොටු වී සිටින පිරිසක් වටා ගෙතුණු යථාර්ථය සහ මනස්සෘෂ්ටිය (Fantasy) සහසංකලනය වූ නාට්‍යයකි.මෙහි රත්නා ලාලනී සිල්වියා නම් වූ වියපත් නිළියක ලෙස රඟපෑවාය.ආචාර්ය ජයලත් මනෝරත්න මෙහි කාලදේව නම් මහාචාර්ය වරයකු ලෙසත් සම්පත් තෙන්නකෝන් ධනංජය නම් වූ ධනවත් මිනිසකු ලෙසත් එච්.ඒ. පෙරේරා ග්‍රේ නම් මැරවරයා ලෙසත් ප්‍රදීපා ධර්මදාස රාධා නමැති ආබාධිත විශ්වව්ද්‍යාල සිසුවියක ලෙසත් වසන්ත විට්ටච්චි ජීවානන්ද නමැති විද්‍යාඥයකු ලෙසත් නිශ්ශංක දිද්දෙණිය සිරකරුවකු ලෙසත් අජිත් ලොකුගේ ගෝත්‍රික වඩුවකු ලෙසත් රවින්ද්‍ර යසස් ගෝත්‍රික නැවියකු ලෙසත් සකුන්තලා පීරිස් විස්මා ලෙසත් චන්ද්‍රසෝම බිංදුහේවා ටැක්සි රියැදුරකු ලෙසත් රංගනයෙන් දායක වූහ.

ඉතිරි කොටස ලබන සතියේ...