2021 ගැන කියන්නට පෙර

ජනවාරි 7, 2021

අද 2021 වසරේ ජනවාරි මාසයේ හත් වැනිදාය. මහත් බලාපොරොත්තු තබාගෙන පිළිගන්නා ලද 2020 අවුරුද්ද ගෙවී ගියේ පෙර විරූ නොවූ අයුරින් මානව වර්ගයාට පාඩමක් උගන්වමින්ය.

මෑත කාලයේ ලොව වෙළා ගත් දැවැන්තම රෝග ව්‍යසනයට සියලු මානව වර්ගයා උස් පහත් භේදයකින් තොරව ගොදුරු වන්නට පටන් ගැන්ම ගෙවුණු වසරේ ඇතිවූ බරපතළ සිදුවීමය. ජීවත්වීම , රෝගි බවට පත්වීම මෙන්ම මරණය ලෝක ස්වභාවය වුව ද සමස්ත මානව වර්ගයා ගිය වසරේ තරම් ඒ සම්බන්ධව භීතියෙන් ඇලළී යද්දී ජීවිත හා පැවැත්ම පිළිබඳ අලුතින් සිතන්නට පටන් ගත් වෙනත් අවස්ථාවක් නොමැති තරම්ය. මේ ව්‍යසනය එක් අතකින් බලන විට මිනිස් වර්ගයාට තමන් ගමන් කළ මාර්ගයෙන් මොහොතක් මිදී ආපසු හැරී බලන්නට මෙන්ම හුස්මක් ගන්නට ද ඉඩ ලබාදුන්නේය. එමෙන්ම ඒ වන විට ඇබ්බැහි වෙමින් සිටි අලුත් සිරිත් විරිත් රාශියකට යළි හිතා බලන්නට ද ඉඩකඩ ලබාදුන්නේය. කාලය කෙතරම් වේගවත්දැයි අප සිතා නොමැති බව පසක්වූයේ මාස කිහිපයක් නිවෙසටම වී ගත කළ කාලය ඇතුළතය. බොහෝ කලකට පසු පරිසරය තමන්ට අවශ්‍ය පරිදි සිත්සේ හුස්ම ගන්නට පටන් ගත්තේ ගහ කොළට ද අලුත් පණක් ලබාදෙමින්ය. එහෙත් පවතින ලෝක සම්ප්‍රදාය එලෙස පරිසරයට රිසි ලෙස හුස්ම ගන්නට ඉඩ දුන්නේ මාස කිහිපයකට පමණකි. යළිත් මිනිසා කාර්ය බහුල වූයේය.

ලෝක සිනමාව ආරම්භ වී සිය වසක් ගතවූවාට පසු එය දරුණුතම අර්බුදයට මුහුණ පෑවේ ගිය වසෙර්ය. මේ අර්බුදයට දේශසීමා තිබුණේ නැත. එහෙත් හැම රටකටම පාහේ සිනමාවට විකල්ප තිබිණ. පසුගිය වසරේ ලොව බලාපොරොත්තුව සිටි දැවැන්ත චිත්‍රපට රාශියක් ප්‍රදර්ශනය කල් දමා ගත්තේය. වොන්ඩර්වුමන් හා ටෙනට් වැනි චිත්‍රපටයක් දෙකක් තුනක් හැර අන් කිසිදු ඩොලර් මිලියන ගණනක ආයෝජනයන් සහිත චිත්‍රපට එළි දැක්වූයේ නැත. ලොව පුරා සිනමා කර්මාන්තය පමණක් නොව සෙසු කලා මාධ්‍යයන්ගේ ද නියැළෙන්නෝ පවා ජීවන අර්බුදයට මුහුණ දුන්හ. ලෝක සිනමාව ආරම්භ වී පළමු අර්බුදයට මුහුණ දුන්නේ පළමු ලෝක මහා සංග්‍රාමය සමඟය. මේ සංග්‍රාමය අවසන් වන විට එතෙක් සිනමාවේ බල තුලනයන් ද වෙනස් ව තිබිණ. එනම් ඒ වන තෙක් එහි බලාධිකාරය රඳවා සිටි යුරෝපයේ සිනමාව නැඟී එන හොලිවුඩ් සිනමාව මඟින් ගිල ගෙන තිබිණ. යුරෝපය යුද්ධයේ පැටලෙද්දී යුරෝපා සිනමා සමාගම් සිය පැවැත්ම උදෙසා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුනි. යුද පිටියෙන් ඈත ඉන්දියාවේ එවකට ළදරු අවධියේ පැවැති සිනමා නිෂ්පාදනය වසර ගණනාවක් ඇණ හිටියේ යුරෝපයෙන් අවශ්‍ය දළ සේයා පට ආදිය ආනයනය කිරිමෙහි ලා පැනවුණ තහංචි හේතු කොට ගෙනය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු මුල්ම චිත්‍රපටය වූ රාජා හරිශ්චන්ද්‍ර නිෂ්පාදනයේ සිට වර්ධනය වීම සඳහා තවත් සය වසරක්ම ගතවිණ. එහි දෙවැන්න දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයයි. සිනමා කර්මාන්තය එවර ද ලොව පුරා අර්බුදයට පාත්‍ර විය. කොටින්ම දෙවැනි ලෝක මහා සංග්‍රාමය නොවන්නට මෙරට මුල්ම කථානාද චිත්‍රපටය වනුයේ කඩවුණු පොරොන්දුව නොව දිව්‍යමය ප්‍රේමයයි. එය රූ ගන්වන්නට ඉන්දියාවට ගිය ද එය ප්‍රමාද වන්නට හේතුවූ බරපතළ ම කාරණය වනුයේ එවකට දළ සේයා පට ලබා ගැන්මට ඉඩ කඩ නොවීමය. එයට හේතුව නම් යුරෝපයෙන් දළ සේයා පට ආනයනට පැවැති තහංචි එවර ද ඉන්දියාවට ඇති කළ බලපෑමය.

ලංකා ඉතිහාසයේ මෙතරම් දීර්ඝ කාලයක් සිනමා ශාලා වසා දමන ලද්දේ පසුගිය වසෙර්ය. මාර්තු මස 14 වැනි දින සිට ජූනි මස 27 වැනි දින දක්වා පළමු වරට ද දෙවැනුව ඔක්තෝබර් මස 27 වැනි දින සිට දෙසැම්බර් 31 වැනි දින දක්වා ද එලෙස සිනමාහල් වසා දැමිණ. මෙලෙස සම්පූර්ණයෙන් සිනමාහල් වසා දමන ලද්දේ 1983 වසරෙන් පසුව මුල් වතාවටය. එවර එය සති දෙකකට සීමා විණ. දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ පවා සිනමාහල් වසා දැමුණේ 1942 වසරේ අප්‍රේල් මාසයේ පස් වැනි දින සිට සති තුනක් පමණකි. ඒ කොළඹට ජපනුන් බෝම්බ දැමීම හේතුවෙන්ය. ඉන් පසු 1971 වසරේ දී මෙරට සියලු සිනමා ශාලාවල ප්‍රදර්ශනය අත් හිටුවා දමන ලද්දේ ද අපේල්‍ මස පස් වැනි දින දිවයින පුරා ඇඳීරි නීතිය පැනවූ පසුවය. එවර ජූනි මස 14 වැනි දා යළි සිනමාහල් විවෘත කරනු ලැබිණ. එයින් පසු මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය රට පුරා සහමුලින් අත්හිටුවනු ලද්දේ 1983 වසරේ ජූලි මාසයේ කලබල සමයේය. ජූලි 21 වැනි දින සිට අගෝස්තු මස 15 වැනි දින දක්වා එවර සති තුනක් චිත්‍රපට ප්‍රදර්ශනය අත්හිටවනු ලැබීය. එයින් පසු 1989-90 වසර හමුවේ නිල නොලත් තුණ්ඩු කැබලි මඟින් වරින්වර සිනමා ශාලා වසා දමන ලද නමුත් පොදුවේ දිවයින පුරා සමස්ත සිනමා ශාලා සංඛ්‍යාව ම එකවර වසා දැමීමක් සිදු නොවිණ. එයට පෙර සෑම අවස්ථාවකම සිනමා ශාලා වසා දමන ලද්දේ රජය මඟින් ආරක්ෂක හේතුමතය. සෞඛ්‍ය හේතුන් මත සිනමාශාලා දිවයින පුරා වසා දමන ලද්දේ මෙවර මුල් වතාවටය. එක් දහස් නමසිය විසි ගණන්වල කොළඹ නගරය වසංගත රෝගවලට ගොදුරු වද්දී සිනමා රංග ශාලා වසා දමන ලද නමුත් එය නගරයට පමණක් සීමා විය.

පසුගිය වසරේ සාමාන්‍ය පරිදි චිත්‍රපට තිර ගතවූවා නම් අවම වශයෙන් චිත්‍රපට විසි පහක් හෝ එයට වැඩි ගණනක් තිර ගත වීමට ඉඩ තිබිණ. සාමාන්‍ය චිත්‍රපට ගැලවුණු වේගය අනුව ගණනය කරන්නේ නම් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් තිර ගත කළ 1982 වසරේ වාර්තාව වුව බිඳ වැටෙන්නට ඉඩ තිබිණ.

එකල සිනමාහල් වසා දමන අවස්ථාවන් වෙතොත් චිත්‍රපටවලට ඇබ්බැහි ව සිටි බයිස්කෝප් පිස්සන්ට සිදුවූයේ උඩ බලා ගෙන සිටීම වුවත් තාක්ෂණයේ බල මහිමයෙන් මෙවර එසේ වුයේ නැත. ඕනෑ තරම් දින ගණනක් සිනමාහල් වසා දැමුවාට කමක් නැතැයි සිතූ නූතන මානවයෝ අලුත් තාක්ෂණය ඔස්සේ දිගින් දිගට චිත්‍රපට නැරඹූහ. එහි වියදම සාමාන්‍යයෙන් සලකා බලන කල සිනමා කෘතියක් නැරඹීමට සිනමාහලට ගොඩ වැදීම සඳහා වැය වන මුදලට වඩා අඩු අගයක් ගන්නේය.

අන්තර්ජාලයේ චිත්‍රපට නැරඹීමේ ප්‍රවණතාව ඉතා ඉක්මනින් ඉහළ ගියේ මේ සියලු කාරණා ඔස්සේය. එමෙන්ම ඒ සඳහා පහසුකම් ද ඇතිවිණ. නෙට්ෆ්ලික්ස් වැනි අන්තර්ජාල චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රම සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයන් අතරට ගියේ අලුත් අවුරුද්දේ සිනමා ශාලා ප්‍රදර්ශනය පිළිබඳ යළි සිතා බැලිය යුතුය යන හැඟිම ඇති කරලමින්ය. එමෙන්ම මෙරට ද එලෙස අන්තර් ජාලය හරහා උණු උණුවේ චිත්‍රපට බෙදාහැර සයිබර් අවකාශය අල්ලා ගන්නට බොහෝ දෙනා කල් බැලූහ. ඉතා මෑතක මේ ගොන්නට එක්වූයේ මෙරට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවීමෙන් වාර්තාවක් තැබූ සුනිල් ටී ප්‍රනාන්දුය. චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස පමණක් නොව සිනමාහල් හිමියකු ලෙස ද කලක් වැජඹුණු සූර ව්‍යාපාරිකයකු වූ සුනිල් මේ නව සිනමා ප්‍රවණතාව හා අත්වැල් බැඳෙගැනීම සුළුවෙන් තැකිය යතු නැත. කරුමයකට මෙන් ඩේටා සපයන්නන් සිතා සිටින්නේ මෙරට පාරිභෝගිකයන් බහුතරය වවුලන් හෝ බකමූණන්ගෙන් පැවැත එන්නෝ හැටියටය. එසේ නොවන්නට නිදි වරා ගෙන ඩේටා එකතු කොට සිනමා කෘති නරඹන්නට අපට සිදු නොවනු ඇත.

අන්තර්ජාල වෙළෙඳපොළ පිළිබද කෙතරම් උණසුම් සහගත තත්ත්වයක් ඇති‍වේද යත් පෙට්ටිකඩ ගාණට යූටියුබ් නාළිකා බිහි වන්නට පටන් ගත්තේය. වර්තමානයේ මෙලෙස බිහිව ඇති යූ ටියුබ් නාළිකා දකින විට සිහිපත් වන්නේ අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු දයා අල්විස් කී කතාවකි. දයා අය්යා භාත්ඛණ්‌ඩේ විශ්වවිද්‍යාලයට යන්නට සූදානම් වන සමයේ ඔහුගේ ගමේ එනම් වාද්දුවේ දොදොල් කඩයක් ආරම්භ විණ. මේ කඩය සරුසාර එකක් වූයේ ගාලු පාරේ යන බොහෝ වාහන එයින් දොදොල් මිළයට ගත් හෙයින්ය. පළමු වසරෙන් පසු නිවාඩුවට ගමේ ආ දයා අය්යා දුටවේ එයට තරගකාරිව තවත් කඩයක් බිහිවි ඇති වගය. තෙවැනි වසරේ නිවාඩුවට එන විට වාද්දුව එහා කෙළවර සිට මෙහා කෙළවර දක්වාම දොදොල් කඩ වැහි වැහැලාය. සිව් වන වර එනම් අවසාන වර දයා අය්යා ලංකාවට ආවේ ගම පුරා බිහිවූ දොදොල් ව්‍යාපාරය සරු සාරව පැතිර ඇති අන්දම දකින්නටය. එහෙත් ඒ වන විට වාද්දුවේ දොදොල් කඩ එකක් වත් නොවිණ. ඒ වෙනුවට ගමේ එහා කොනේ සිට මෙහා කොන දක්වාම තිබුණේ දොදොල් තාච්චි ඇතළු නිෂ්පාදන භාණ්ඩ විකුණන්නට ඇත යනුවෙන් සඳහන් කළ පුවරුය.

ගිය වසරේ මාර්තු මාසයේ පුවත්පත් කලාව ද සිනමාව තරම් අර්බුදයකට පත්වදදී සරසවිය පුරා වසර පනස් හතක් සිය පාඨකයන් වෙනුවෙන් අඛණ්ඩව කළ මෙහෙය වඩාත් පුළුල් කරමින් එහි මුල්ම ඊ පුවත්පත එළි දැක්වූයේය. කවර අර්බුදයක් හමුවේ වුව ද කිසිදු සතියක පුවත්පත පාඨකයන්ට ගෙන ඒමේ වගකීම අත් නොහැරි සරසවිය මුද්‍රණය සදහා බාධා ඇති වුණ ද බාධාවට බාධවක් ඇති කොට වහා විද්‍යුත් පුවත්පතක් ලෙස කිසිදු බ්‍රහස්පතින්දාවක් අත් නොහැරම පාඨකයාට සමීප විය. පුවත්පත යළි ජූනි මාසයේ මුද්‍රණ ද්වාරයෙන් ඵළි දුටුව ද නූතන පාඨකයාට ගැළපෙන අන්දමින් එහි විද්‍යුත් පුවත්පත නිසිපරිදිම එළි දකින්නේය.