වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
තෙළිඟු සිනමාවේ ප්‍රේමණීය නොසන්ඩාලයා.....

තරුවලින් බබළන රාත්‍රී අහසත්, සිනමාතරුවලින් බබළන ඉන්දීය සිනමාවත් එක හා සමානය.
වර්තමානය වන විට මුළු මහත් ලෝකයම බබළවන සිනමාතරු බවට පත් වීමට ඉන්දීය හින්දි, දෙමළ සුපිරි තරුවලට හැකියාව ලැබී ඇත.
එහෙත් එයට ප්‍රබල සටනක් දීමට දැන් දැන් කේරළ සිනමාවේ සිනමා තාරකා ඉදිරියට පැමිණ ඇත. කඩවසම් තෙළිඟු නළු පොකුර අතර ඉදිරියෙන්ම සිටින චරිතයකි විජේ දේවරකොන්ඩා සායි. සිනමාවේදී ඔහු විජේ දේවරකොන්ඩා ලෙස භාවිත කරයි.
අඩි පහකුත් අඟල් නවයක් උසින් යුත් මොහු මනා කඩවසම් බවකින් යුත් සුන්දර තාරුණ්‍යයක් ගත කරමින් සිටින රංගන ශිල්පියෙකි. 2011 දී පමණ විජේ කේරළ සිනමාවට එක්වන්නේ රංගනය පිළිබඳ මනා හැදෑරීමකින් සහ පුහුණුවකින් පසු බව කියැවේ. මේ වන විට විජේ චිත්‍රපට 12 පමණ චරිත නිරූපණය කර ඇත. ඒ අතරින් ‰ Taxi waala, Geeth Govindam, Dear Comrade, Arjun Reddy, The World Famous Lover, Nota ඉන් කිහිපයකි. ඔහු රඟපෑ සිනමාපට අතරින් ඉහත දක්වා ඇති සිනමාපට කිහිපය අතිසාර්ථක සහ අතිශයින් ජනප්‍රිය වී ඇත. ඒවා විජේගේ රංගන දක්ෂතා කැපී පෙනෙන සිනමා පට බව ඉන්දීය සිනමා තොරතුරු ඔස්සේ වාර්තා වී ඇත. විජේ, ඉන්දියාවේ ප්‍රධානතම සිනමා උලෙළක් වන ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් සහ සිනමා සම්මානයෙන් සම්මානනීය වී ඇත. ඔහු රංගන ශිල්පියෙකුට අමතරව චිත්‍රපට නිෂ්පාදකයකු හා නිරූපණ ශිල්පියකු වශයෙන් කටයුතු කරන බව ප්‍රකටය. ඔහු රඟපෑ “Arjun Reddy” චිත්‍රපටය විජේගේ රංගන විලාසය මනාව කැපී පෙනෙන නිර්මාණයක් වූ බව 2017 වසරේදී ඉන්දියාවේ පළවූ සිනමා පුවත්පත් මඟින් අනාවරණය කර තිබුණි. විජේගේ රංගනයෙහි කිසියම් විශිෂ්ඨ බවක් ඇති බවත්,
තමා බාර ගන්නා ඕනෑම චරිතයකට ආරූඪ වීමේ දක්ෂතාවක් මෙම තරුණ රංගන ශිල්පියා තුළ ඇති බව ඔහු සමඟ කටයුතු කළ විවිධ අධ්‍යක්‍ෂකවරුන්ගේ මතය වී තිබේ.
කොලිවුඩයේ සහ සමස්ත ඉන්දියාවේ මෙන්ම ඔහුට ප්‍රියකරන ලොව අනෙකුත් රටවල සිනමා රසික රසිකාවියන්ගේ මහත් ආකර්ෂණයට පාත්‍ර වූ චිත්‍රපටයක් ලෙස විජේ රඟන “Arjun Reddy” චිත්‍රපටය හැඳීන්විය හැක. එහි වෛද්‍ය අර්ජුන් චරිතයට පණ පොවන්නේ විජේය.
වෛද්‍ය විද්‍යාලයේදී තමාට මුණගැසෙන සුන්දර තරුණියක හා පෙමින් බැඳෙන අර්ජුන්, ඇය තම ලෝකයේ එකම ආදරණීය සම්පත බවට පත්කර ගනී. එතැන් පටන් ඔහු හැසිරෙන්නේ ප්‍රේමයෙන් මුසපත් වූ ප්‍රේමවන්තයකු ලෙසය. එහෙත් තරුණියගේ මාපියන්ගේ බලපෑම මත වෙනත් තරුණයකු සමඟ විවාහයකට ඇතුළු වීමට තරුණියට සිදුවේ. ඒ හේතුවෙන් මහත් කම්පනයටත්, අසරණභාවයටත් පත්වන අර්ජුන් එතැන් පටන් තම ජීවිතය පවත්වාගෙන යන අයුරු කියැවෙන කතා පුවතක් රැගත් චිත්‍රපටයකි. “Arjun Reddy” තම පෙම්වතිය අහිමි වීමත් සමඟ මත්පැනට හා විවිධ වූ මත්ද්‍රව්‍ය වලට තම ජීවිතය හුරු කර ගනිමින්, තම වටිනා තරුණ ජීවිතය අගාධයකට ඇද දමා ගන්නා අයුරු මනා ලෙස රඟ දක්වමින් විජේ දක්ෂ චරිත නිරූපණයක යෙදෙන බව සිනමා විචාරකයින් පවසා ඇත.
විටෙක වෛද්‍ය ශිෂ්‍යයකු ලෙසත්, විටෙක වෛද්‍යවරයකු ලෙසත්, විටෙක ආදරයෙන් උන්මාදයට පත් වූ යෞවනයකුගේ භූමිකාවත්, තවත් විටෙක මත්ලෝලියෙකුගේ විලාසයත් රඟ දක්වන්නේ ඉතා අපූරුවටය.
ඔහුව හඳුන්වන විශේෂිත නාමයක් ඔහුගේ නම ඉදිරියේ සඳහන්ව ඇති බව ඔහුට ආදරය කරන කවුරුත් දන්නා කරුණකි. “Rowdy විජේ, “නොසන්ඩාල විජේ”. ඔහුගේ හැසිරීම් විලාසය, කතා විලාසය, ගතිගුණ, ඇවතුම් පැවතුම් සහ විජේ රඟපෑ සමහර චරිත අනූව ඔහුට “Rowdy නාමය පටබැඳුණු බව සඳහන් වේ.
කවුරු කෙසේ ඔහුව හැඳීන්වූවත් සමස්ත ඉන්දීය සිනමාව තුළම පෙරළියක් කළහැකි ගතිලක්ෂණ “Rowdy විජේ, තුළ දක්නට ලැබෙන බව ඔහුගේ සිනමාපට නැරඹූ ප්‍රේක්ෂකයින්ගේ මතයයි. ඒ බව සනාථ කිරීමට කදිම සාක්ෂියක් වනුයේ මේ දිනවල තිරගත වන නවතම සිනමාපටය වන “Liger” සිනමාපටයයි. එහි විශේෂත්වය නම් හින්දි සිනමාව තුළ ජය කෙහෙලි නංවා සිටින ප්‍රවීණ අධ්‍යක්‍ෂක හා නිෂ්පාදක කරන් ජොහාර් මෙම චිත්‍රපටය සඳහා නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වී සිටීමයි. කරන් ජොහාර් නමැති අපූර්ව මිනිසාගේ සම්බන්ධතාවක් ඇති සිනමා පටයකට සම්බන්ධ වීමට විජේහට අවස්ථාව ලැබීමම ඔහුගේ සිනමා ගමන් මඟේ තව බොහෝ දුර ඇවිද යාමට ලැබුණු වටිනා අත්වැලකි. දැනටමත් ඉන්දියාවේ හා ලොව පුරා සිටින සිනමා ලෝලීන් තුළ විශේෂයෙන්ම තරුණ පරපුර තුළ,“Liger” චිත්‍රපටය පිළිබඳවත්, විජේ දේවරකොන්ඩා නමැති සුකුමාර, දඟකාර රංගන ශිල්පියා පිළිබඳවත් ඇත්තේ විශාල බලාපොරොත්තුවක් බව, මේ දිනවල ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත, නගර පුරා ක්‍රියාත්මක වන ප්‍රචාරණ වැඩසටහන් දෙස බැලූකල සිතාගත හැක. “Liger” චිත්‍රපටයෙන්
කියැවෙන්නේ දක්ෂ, ජවසම්පන්න තරුණ බොක්සිං ක්‍රීඩකයකු වටා ගෙතුණු, ප්‍රේමයද මුසු වූ කතා පුවතකි.
ඉන්දියාවේ පලවන “Firstpost” හා පැවති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ විජේ පවසා ඇත්තේ මෙම චිත්‍රපටය ඔහුට බොහෝ අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවූ බවය. එසේම මෙම චරිතය සඳහා කායික හා මානසික වශයෙන් ද ඔහුට වෙනස් වීමට සිදු වූ බව විජේ එහිදී ප්‍රකාශ කර ඇත. ඔහු සතු හිසකේ පවා එම චරිතයට ගැළපෙන පරිදි සකසා ගත් බවද ඔහු සඳහන් කර ඇත.
එකිනෙකට වෙනස් වූ චරිත නිරූපණයෙහි ඔහු තුළ ඇති දක්ෂතාව මැන බැලිය හැකි චිත්‍රපටයක් ලෙස “Liger” චිත්‍රපටය හඳුන්වා දිය හැකි බව සහ ඔහු මෙම චිත්‍රපටය සඳහා විශාල මුදලක් අයකර ඇති බවද වාර්තා වේ.
ඉන්දියාවේ ඇතැම් උදවිය ඔහුට කෙසේ සැලකුවත්, කෙසේ නම් පටබැන්දත්, ඔහුගේ හැසිරීම් රටා, ගතිගුණ විවේචනයට ලක් කළත් ඉන්දීය තරුණ තරුණියන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ චරිතයක් ලෙස විජේ දේවරකොන්ඩා හැඳීන්විය හැකිය. ඔහුත් එලෙසම තම රසික රසිකාවයන්ට මහත් සේ ඇලුම් කරයි. ඔවුන්ට, විජේව නොසන්ඩාලයෙක් නොවන බව ඔහුට ආදරය කරන, ඔහුගේ සිනමා ශෛලියට ආදරය කරන තරුණ, තරුණියන්ගේ මතය වී ඇත.
කෙසේ වෙතත් “Liger” ප්‍රදර්ශනය පටන් ගෙන එහි ප්‍රතිචාර ලැබීමටත් මත්තෙන් සිනමා අධ්‍යක්‍ෂ පූරි ජගනාදන්ගේ මීළඟ සිනමා සිත්තම වන Jana gana mana” සඳහා රූපගත කිරීම්වලට සහභාගී වීමට විජේට සිදුව ඇතැයි වාර්තා වේ. එයත් නිසැකම විජේගේ දක්ෂතාව ඔප් නැංවෙන සිනමාපටයක් වන බව බොහෝ දෙනා විශ්වාස කරති.