පෙම් සිහින තොටින් 'කිඳුරු කුමාරි'

ජුනි 11, 2020

 

ලෝක සිනමාව තුල විවිධ 'කැටගරි' වලට අයත් චිත්‍රපට බිහිවේ . ආදරය, රොමැන්තය, ගොපලු කථා, ඉතිහාස කථා, ත්‍රසජනක කථා, හොල්මන් කථා, සංගීත, රහස් පරික්ෂක ,ඔය එකී නොකී බොහෝ දේවල් පාදක කරගත් චිත්‍රපට නිර්මාණය වේ. ඒ අතරට 'ඇඩ්වෙන්චර්' නොහොත් 'වික්‍රමයන්' පිරුණු කථා ඇතුළත් චිත්‍රපටද බහුලව බිහිවේ. 'පයිරෙට්ස් ඔෆ්ද කැරිබියෙන්' චිත්‍රපට මාලාව, ' 'රෙයිඩස් ඔෆ් ද ලොස්ට් ආර්ක්', ' ජුවෙල් ඔෆ් ද නයිල්' ' ජර්නි' කථා මාලාව වැනි චිත්‍රපට අයත් වූයේ මේ වික්‍රමයන් නොහොත් ඇඩ්වෙන්චර් ගනයේ චිත්‍රපට ගොන්නටය. ඒ අතර, අහස් යාත්‍රා කඩා වැටීමෙන් හා, බෝට්ටු වල ගොස් එහී කර්මීක දෝෂ එසේත් නැත්නම් වෙනත් අකරතැබ්බ සිදුවී පාලු දූපත් වල හිරවෙන ගනයේ චිත්‍රපටද බෙහෙවින් බිහි විය. ඒවාද මේ 'ඇඩ්වෙන්චර්' ගණයේ චිත්‍රපට ගොන්නට එකතු වේ.

සුනිල් ආරියරත්න සිනමාව අත පත ගාන්නට පටන් ගත්තේ 1970 දීය. ඒ, 'සරාගී' නම් කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි. ඉන් අනතුරුව 1975 දී පමණ 'දුෂ්කර ක්‍රියා' චිත්‍රපටය නිම කර ඉදිරිපත් කළේය. එයද කෙටි චිත්‍රපටයකි. ඔහුගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වූ 'අනුපමා'ට අත තැබුවේ ඉන් පසුවය.

කුමාරි සිය දිවි හානි කර ගැන්ම සදහා දුම්රියට පනින්නට ගියේ ඇයගේ පෙම්වතා වූ තිලක් ඇයව රැවටූ නිසාය. ඇය, ඔහුට පණමෙන් ආදරය කළේ තම දෙමාපියන්,නිවස,ඒ සියල්ලම අතහැර ඔහු සමඟ පැන ගොස් හෝ විවාහ වීමටය. ඒ, ඇයගේ පියා මේ සම්බන්ධයට කිසිසේත් කැමති නොවූ නිසාය. පියාටත් වඩා ඇය තිලක්ට ආදරය කළ නිසා,ඇය පියාගේ විරුද්ධතාවය තඹ සතේකටවත් මායිම් නොකර තිලක් සමඟ එක්වන්නට ගියද , තිලක් යනු විවාහක පුද්ගලයෙක් බව ඇය දැනගත්තේ අවසානයේදීය. එතැනින් පසු සිය දිවිහානි කර ගන්නවා ඇරෙන්නට වෙන විකල්පයක් ඇය දුටුවේ නැත. ඇය දුම්රියට පැන දිවි තොර කරගන්නට උත්සහ කළේ ඒ නිසාය. එහෙත් ඒ උත්සහයද ව්‍යවර්ථ වූයේ ඇය දුම්රියට පනින අවස්ථාවේදී නාඳුනන පුද්ගලයෙකු විසින්

ඇයව බේරාගත් නිසාය. ඇයව බේරාගන්නා අවස්ථාවේදී ඇය සිටියේ සිහිසන්වය.

සුනිල් ආරියරත්නගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වූ "අනුපමා" තිරගත වූයේ 1976 දීය. එතැන් සිට 2020 වන තෙක් ඔහු විවිධ තේමාවන් යටතේ චිත්‍රපට ගනනාවක්ම අධ්‍යක්ෂණය කළේය. ඇතැම් විට ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂක වරයාද ඔහු වන්නට ඇත. සංඛ්‍යාත්මකව ගත් කල 1976 සිට 2020 වන තෙක් ඔහු චිත්‍රපට 23ක් නිර්මාණය කර , ප්‍රදර්ශනය කර ඇත. අනුපාතිකව හැම අවුරුදු 2 කටම එක් 

චිත්‍රපටය බැගින් අව්රුදු 44 ක් තුළ චිත්‍රපට 23 ක් එම නිර්මාණ කරණයට එකතු වී තිබුණි.

සේන සහ පාල, මුහුදු කරයේ ගම්මානයක සිටි අවිවාහක තරුණ ධීවරයන් දෙදෙනෙකි. හැමදාම මොවුන් දෙදෙනා එක්ව මුහුදු රැකියාවට යන්නේ

ඔවුනට අයිති බෝට්ටුවේය. එදිනද සුපුරුදු ලෙස ඔවුන් දෙදෙනා බෝට්ටුව දියඹෙට දමා ගැඹුරු මුහුදට ගියේ මාළුන් ඇල්ලීමටය. මුහුද මැදට ගිය පසුය ඔවුන් දෙදෙනා දුටුවේ බෝට්ටුවේ කෙළවර, සුන්බුන් වලින් වසා දමා තිබු රූමත් තරුණියකගේ නිසල සිරුරක්. ඇය සිහිමූර්ජා වී සිටි බවක් ඔවුනට වැටහුණි. කුමාරිව ඔවුනට මුණ ගැසුණේ ඒ අයුරිනි. එම බෝට්ටුව තුළට ඇය කෙලෙස ආවාදැයි ඇයම නොදත්තාය.

මේ අතරේදී මුහුදු කොල්ලකරුවන් වැනි දාමරික කණ්ඩායමක් රැගත් බෝට්ටුවක්ද, සේන හා පාලගේ බෝට්ටුව අසලින් යන්නට විය. කුමාරි බෝට්ටුවට ආ හැටි නොකියු නිසා පාල හා සේන, ඇය සමඟ බහින් බස් වූ අතර, තවත් ජීවත් වීමට තමාට අවශ්‍ය නැතැයි කියමින් කුමාරි මුහුදට පැන්නාය. ඒ සමගම එතැනින් ගිය අර දාමරිකයන් කුමාරිව තම බෝට්ටුවට ගෙන ඇයට අතවර කරන්නට සැරසීය. එය දුටු සේන හා පාල, වහා එම බෝට්ටුවට පැන එම දාමරිකයන් සමඟ සටන් කර කුමාරිව බේරා ගත්හ. එම සටනේදී එක් දාමරිකයෙක් පාලට පිහියකින් ඇන්නද, පාල එවෙලේ මිය ගියේ නැත. ඔවුන් තිදෙනා නැවතත් තම බෝට්ටුව වෙත ගොස් එය පදවා යන විට, ඔවුන් වෙනදා යන මාර්ගයෙන් පිට පැන, තමන් අතරමං වී ඇති බවක් ඔවුනට වැටහිනි. ඒ අතරම ඔවුනගේ බෝට්ටුවේ ඉන්ධනද නිම වී, ඔවුන් අන්ත අසරණ තත්වයකට පත්විය. එදින රාත්‍රියේ පාල කුමාරි සමඟ සිටියද, පහුවදා උදේ වන විට, අර පිහි ඇනුමෙන් වාහනය වුණු අධික ලේ නිසා, පාල මියගොස් තිබුණි. අවසානයේ සේන හා කුමාරි බෝට්ටුවේ තනිවූ අතර, එය පාවී ගොස් පාලු දුපතක නැවතුණි.

සුනිල් ආරියරත්න, තම චිත්‍රපට 22 ක හරහා, අර ලෝක සිනමාව තුළ නිර්මාණය වන විවිධ තේමාවන්ට අනුගත වන්නට උත්සහ කළේය. ඔහුගේ අතින් තවම, හොල්මන් කථා, සංගීත කථා, ගොපලු කථා නිර්මාණය නොවුනාට, ආදරය, රොමැන්තය, ඉතිහාස කථා, ආගමීක කථා, ත්‍රාසජනක කථා, අතරට වික්‍රමයන් හෙවත් ඇඩ්වෙන්චර් කථාද නිර්මාණය වී තිබුණි. 'අනුපමා' තුළද තරමක 'ඇඩ්වෙන්චර්' බවක් තිබුණද, ඔහු පුර්ණව ඇඩ්වෙන්චර් 'කැටගරියට' අනුව නිර්මාණය කළේ 'කිඳුරු කුමාරි' චිත්‍රපටයය. ලංකේය සිනමාවට " කිඳුරු කුමාරි" විශේෂත්වයක් වන්නේ ඒ නිසාය.

බෝට්ටුව දූපතට පාවී ආ පසු , සේනටත්, කුමාරිටත්, කිසිවෙක් හෝ වෙනත් බෝට්ටුවකින් පැමිණ ගලවා ගන්නා තෙක් ඒ දූපතේම ජීවත් වන්නට සිදුවිය.

මෙවන් කැටගරියට අයත් චිත්‍රපට ලංකාව තුළ නිර්මාණය වූයේ ඉතාමත් අල්පවය. "රහස් දූපත", "වහල් දූපත", "මඩොල් දූව' මේ කැටගරියට අයත් වූ අනෙක් චිත්‍රපටයන්ය. එලෙසම, "ජෝඩු වළලු','පස මිතුරෝ' පමණක් නොව 'රන් දම්වැල්' චිත්‍රපටවලද මේ 'ඇඩ්වෙන්චර්' බව තරමක් දුරට රැඳී තිබුණි. නමුත්"කිඳුරු කුමාරි" චිත්‍රපටය විශේෂත්වයක් වූයේ එය තනිකරම ඇඩ්වෙන්චර් කැටගරියේ චිත්‍රපටයක් වූ නිසාමය.

සුනිල් ආරියරත්න ගේ චිත්‍රපට ලැයිස්තුව දෙස එක එල්ලේ බලන විට, ඔහු විවිධ තේමාවන් පිපාසයකින් සිටි බවක් පෙනේ. ' අනුපමා' චිත්‍රපටයෙන් ආරම්භ වූ ඔහුගේ ඒ චිත්‍රපට ලැයිස්තුවට හැත්තැ දශකයේ එකතු වූයේ, "සරුංගලය" හා "පොඩි මල්ලි" යන චිත්‍රපටයන්ය. 80 දශකය තුළ, 'සිරි⁣බෝ අයියා', 'කිඳුරු කුමාරි', ' කෝලංකාරයෝ, ' බඹා කෙටූ හැටි', 'සතර පෙර නිමිති', 'වජිරා',බඹර ගීතය', 'ජීවිතයෙන් ජීවිතයක්', 'කැලැ මල්' 'මුහුදු ලිහිණි', 'මිහිඳුම් සළු', ද, 90 දශකය තුළ 'ක්‍රිස්තු චරිතය', හා 'අහස් මාළිගා', ද, 2000 දශකය තුල 'සුදු සෙවණැලි' හා ' උත්පලවණ්නා' ද , 2010 දශකයේ 'කුස පබා', 'පත්තිනී', ' අලි කථාව', 'යසෝධරා' ' 'විජයබා කොල්ලය' ද නිර්මාණය කර තිබුණි.

සේන සහ කුමාරි දූපත තුළ ජීවත් වූයේ සහෝදර, සහෝදරියන් මෙනි. ආරියරත්නට හිරිමල් යොවුන් වියේ ගැටවර නළු නිළි දෙපලක් රඟපෑ 'බ්ලූ ලැගූන්' චිත්‍රපටයේ අභාසය ගන්නට නොහැකි වූයේ, 'කිඳුරු කුමාරි' චිත්‍රපටය වෙනුවෙන් ඔහු තෝරා ගෙන තිබුණේ ලාවට තරුණ බව පන්නා යන යුවලක් නිසා වන්නට ඇත. එහෙයින් ඔහු එතැනට සහෝදර ප්‍රේමයක් එකතු කළේය. චිත්‍රපටය 'ඇඩ්වෙන්චරයක්' වන්නේ මෙතැන් සිටය. ඒ, දුපත තුළ බල්ලෙකු බුරන හඩකුත්, වැල්ලේ මිනිස් අඩි පාරවල් කිපයකුත් දුටු පසුවය. එයින් ඔවුන් එක් දෙයක් තේරුම් ගති. ඒ , මේ දූපත තුළ තවත් මිනිසෙක් ජීවත් වන බවය.

'ගල් ගමේ පොඩ්ඩෙ' නම ගිය අපරාධ කාරයෙකි. මිනීමැරුමකට හිරේට ගිය පොඩ්ඩෙ, හිරෙන් පැන ආවේ තම බිරිඳව බැලීමට ඇති ආශාවෙනි. ඔහු නිවසට යන විට, බිරිඳ සිටියේ තවත් මිනිසෙකුගේ තුරුලේය. එයින් සියලු බලාපොරොත්තු බිඳ දැමු පොඩ්ඩෙ, තම බිරිඳ හා ඇයගේ හොර සැමියාව මරු තුරුලට ඇර, එතනින් පැන ගත්තේ කොහේ හෝ ගොස් සැඟව ජීවත්වීමටය.

දුම්රියට පැන දිවිනසා ගන්නට ගිය කුමාරිව බේරා ගත්⁣තේ, මේ පොඩ්ඩෙය. ඒ, තම බිරිඳත්, ඇයගේ සහකරුත් මරා දමා එන අතරේදීය. කුමාරිව බේරගන්නා අවස්ථාවේදි ඇය සිහිසන්වූ හෙයින්, ඔහු ඇයව උස්සාගෙන විත් බෝට්ටුවකට දමා පැන ගියේය. පොඩ්ඩේ කුමාරිව දමා තිබුණේ සේන හා පාලගේ බෝට්ටුවටය. ඔවුන් දෙදෙනා මුහුදු යන අතරේ බෝට්ටුවෙ සිටි කුමාරිව හමුවූයේ ඒ හේතුවෙනි.

සුනිල් ආරියරත්න, මෙය බටහිර උරුවට නිර්මාණය කරන්නට ගියද, චිත්‍රපටය තුළින් ඒ ගැම්ම ආවේ නැත. ඔහු මතු කර ගත් ඒ තේමාව, ලාංකේය සිනමාවට තරමක් නුහුරු වූවද, ඒ තේමාව හරහා ත්‍රාසජනක චිත්‍රපටයක් කිරීමේ අවකාශය තිබුණි. ආරියරත්න, ඔහු ඒ තේමාව තුළින් දුන් ත්‍රාසය ප්‍රමාණවත් නොවීය.

සේන හා කුමාරි ජීවත් වුණු ඒ දුපතේ තුන්වැන්නා ඔවුනට හමුවූයේ මේ අතරේදීය.. ඔහු, ඔවුනට පෙර පැමිණුනු අයෙක්ය. එලෙසම ඔහු දූපත තමන්ගේම කර ගත්තෙක්ද විය. එසේ වූවද, ඔහුත් කුමාරිලා දූපතට පැමිණුනු කිට්ටු දවස්වල ආ කෙනෙක් බව කුමාරිලා දැනගති. ඔවුන් තිදෙනා දූපතේදී හමුවීම, මෙයට වඩා ත්‍රාසජනක කිරීමට, ආරියරත්නට, හොඳ හැටි ඉඩ තිබුණි. නමුත් ඔහු ඒ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බවක් නොපෙනුණි. එසේ වූවා නම්, චිත්‍රපටයට හොඳ 'ත්‍රිලක්' එකතු කර ගන්නට ඉඩ තිබුණි.

එතැන් සිට චිත්‍රපටය තුළ සිදුවුනේ තරමක් බාලගණයේ සිදුවීම්ය. විශේෂයෙන්ම කුමාරිගෙ ගැබ් ගැනීම එවන් සිදුවීමක්ය .සේන එය කිසිසේත් බලාපොරොත්තු වූවක් නොව. එතැන් සිට ඔහු කුමාරිව අනාචාරයේ හැසිරෙන කෙල්ලෙක් ලෙස පිළිගන්නට විය. එහෙත් ඇය කියන්නෙ, ඇය එලෙස ගැබ් ගැනුනේ පාල නිසා බවය. එදා බෝට්ටුවෙ එන විට, පාලට පිහි ඇනුම සිදුවූවද,ඒ රාත්‍රියේ ඔවුන් එක්වී තිබුණි.

ඉන්පසු චිත්‍රපටය ඉතා ඉක්මනින් නිම කරන්නට, සුනිල් ආරියරත්න උත්සහා ගත් බවක් පෙනුනි. ගුහාව තුල තිබූ පත්තරේකින් මේ සිටින්නේ ගල් ගමේ පොඩ්ඩේ කියන මිනීමරු දාමරිකයා බව සේන හදුනා ගනී. තමාව සේන හදුනා ගත් නිසා එතනින් පසු සේනට හා කුමාරිට දූපතෙන් පිටවීමට පොඩ්ඩේ විසින් තහනම් කරන්නට විය. ' බැටල්' එක පටන් ගන්නේ එතැන් සිටය.

චිත්‍රපටයේ අවසානය, මා ප්‍රිය කරන්නක් විය. පොඩ්ඩෙගේ හා සේනගේ සටනින් දෙදෙනාම විනාශ වන්නේ තම තමන් විසින් එල්ල කරගන්නා ⁣බෝම්බ ප්‍රහාර වලිනි. අවසානයේදී මුළු දුපතේම තනිවෙන්නෙ කුමාරිත්, පොඩ්ඩෙගෙ බල්ලාත් පමණි.

පසුගිය කල දූපත තුළ ජීවත් වූ අත්දැකීම් නිසා කුමාරි දිගටම දූපතේම ජීවත් වේද?, නොඑසේ නම්, සේන හා පොඩ්ඩේ නොමැතිව තනිකම හා පාළුව විඳ දරා ගැන්මට නොහැකිව, ඇය මුහුදට පැන මිය යාද?. එසේත් නැතිනම් කව්රු හෝ බෝට්ටුවක් පැමිණ ඇයව රැගෙන යාවිද? මෙලෙස, කෝණ කීපයක්ම ඉතිරි කරය, සුනිල් ආරියරත්න චිත්‍රපටය නිම කර තිබුනේ. මෙතෙක් රැකවරණය ලැබූ පිරිමි දෙදෙනාම එකවර මිය ගිය පසු, ගැහැනියක් මේ දුපතේ තනිවම කුමක් කරන්නද?

එසේ අවිනිශ්චිත වූ අවසානයක් දීමත් එක් අතකට එහී අමුත්තක් විය.

පොඩ්ඩෙ හා සේනගේ චරිත යුගල තුළින් චිත්‍රපටයට දනවන්නට තිබූ අවස්ථාවන් සුනිල් ආරියරත්නගෙ අතින් මඟ හැරුණේ, කෙසේද යන්න එක් ගැටලුවකි. ඒ වන විටත් ඔහු 'අනුපමා' පොඩි මල්ලි', හා 'සරුංගලය' නිර්මාණය කර, සිනමා කරණයේ අත්දැකීම් රාශියක් එකතු කරගෙන තිබුණි. අන් අතකට, දැවැන්ත, ක්‍රියාශීලි, දක්ෂ නළු දෙපළකගෙන් සුනිල් ආරියරත්න ප්‍රයෝජන ගෙන තිබුණේම නැත. ඒ, සේන ලෙස රඟපෑ රොබින් ප්‍රනාන්දු ගෙන් සහ පොඩ්ඩෙ ලෙස රඟපෑ විජය කුමාරණතුංග ගෙන්ය. චිත්‍රපටයේ කථාශාරය අනුව, ක්‍රියාදාම දර්ශන කීපයක් එකතු කර, රොබින් හා විජයගෙන් ⁣නිසි ප්‍රයෝජන ගත්තේ නම් "කිඳුරු කුමාරි' චිත්‍රපටය, වේගවත් 'ඇඩ්වෙන්චර්' චිත්‍රපටයක් වීමට හොඳටම ඉඩ කඩ තිබුණි.

කුමාරි ලෙස රඟපෑ ජෙනීටා සමරවීර, රොබින් ප්‍රනාන්දු හා විජය කුමාරණතුංග අතරට ආ කල, කැපී පෙනෙනවා මදි යැයි සිතේ. ඔවුන් හා සසඳන විට ජෙනීටා ගේ රඟපෑම තිබුණේ ළාබාල මට්ටමේය. ඒ නිසාදෝ, රොබින් හා විජයද, එතරම් හිතට ගෙන රඟපෑමක් ඉදිරිපත් කළා යැයි කිව නොහැක. ඉතාමත් සුළු චරිත කීපයක් හරහාය කථාව දෝලනය වූයේ. සිසිර කුමාරතුංග නම් නළුවෙක් පාලගේ චරිතය රඟපෑ අතර, විල්සන් කරුණාරත්න, මුහුදේ බෝට්ටුවේ හමුවූ දාමරිකයා විය. දෙනවක හාමිනේ හා නෙලි ප්‍රනාන්දු සේනගේ මව හා නැගණිය ලෙස රඟපෑහ. ආගන්තුක චරිත දෙකක් , විජය නන්දසිරි හා පියරත්න එම් සෙනරත් රඟපෑවෝය . ඒ ⁣කුමාරිගේ මුල් පෙම්වතා හා පියා ලෙසිනි.

නිෂ්පාදක වරුන් 9 දෙනෙක් එක්ව හැදූ 'කිඳුරු කුමාරි' මෙතරම් ළාබාල අන්දමට ඉදිරිපත් වුනේ ඇයිදැයි ප්‍රශ්නයක්මය. මෙතරම් නිෂ්පාදකවරුන් එකතු වුනා නම් මොනතරම් දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉඩ කඩ තිබුණාද? එලෙසම, 'කිඳුරු කුමාරි' චිත්‍රපටයේ තිබූ තේමාව අනුව, කාලෙකට අමතක නොවන වින්දනයක් හා විනෝදයක් , මෙන්ම , ත්‍රාසය හා විශ්මය දනවන චිත්‍රපටයක් නිර්මාණ කිරීමේ හැකියාව සුනිල් ආරියරත්නට තිබූ බවක්, චිත්‍රපටය නරඹන විට හැඟේ. යළිත් සිතෙන්නෙ ඔහු එයින් ප්‍රයෝජන නොගත්තා කියාය.

'කිඳුරු කුමාරි' 1980 දෙසැම්බර් 26 වෙනිදා සිට තිරගත කිරීම ආරම්භ කළේය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)