වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
චන්දන ඇල්ලෙන් නාලා

කාන්ති ලංකා සිංහල සිනමාවට එකතු වූයේ අමරනාත් ජයතිලකගේ 'ප්‍රියංගා' චිත්‍රපටයෙනි. එවකට නැඟී එන කඩවසම් සිනමා තාරුණ්‍ය වූ විජය කුමාරණතුංගගේ පෙම්වතිය වීමේ වරම කාන්ති ලංකාට ලැබිණි. එකල මාලනී ෆොන්සේකා ද සිනමාවට ආ අලුත වගේය. කාන්ති ලංකා යොවුන් වයසේ තරුණියකි. ඇය ප්‍රියංගාට එකතු වී තිබුණේ පාසල් යන කාල වකවානුව තුළය. කලාත්මක හා විනෝදාත්මක චිත්‍රපට යුගලටම ගැලපෙන සුන්දර රූපයක් ඇය සතු විය. 'ප්‍රියංගා' තිරගත වීමටත් පෙර සිටම, එකල සිනමා පුවත්පත් පිටු අතරේ ඇයගේ මනස්කාන්ත රුව සැරිසරන්නට විය.
70 දශකය අවසන් භාගයේ තිරගත කළ, හින්දි චිත්‍රපටයක් වූ 'බොබි' හී රඟපෑ ඩිම්පල් කපාඩියාටත් සිදු වූයේ, කාන්ති ලංකාට සිදු වූ දෙයමය. ඩිම්පල් ද 'බොබී' තිරගත වීමට ප්‍රථම හැම සිනමා සගරාවකම පිටු අතරේ සැරිසරන්නට වුවා පමණක් නො ව, ප්‍රථම චිත්‍රපටය වූ 'බොබි' තිරගත වීමටත් ප්‍රථම, ඇයට චිත්‍රපට වැල නොකැඩී එන්නට පටන් ගතී. කාන්ති ලංකාටද සිදු වූයේ එයමය. 'ප්‍රියංගා' තිරගත කිරීමටත් ප්‍රථම ඇයට චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිත රඟපෑමට ලැබිණි. ජී.ඩී.එල් පෙරේරාගේ 'රෝමියෝ ජුලියට් කතාවක්' චිත්‍රපටයට ජී.ඩී.එල්. විසින් මුලින්ම රෝමියෝට, විජය කුමාරණතුංගත් ජුලියට්ට කාන්ති ලංකාත් තෝරා ගතී. එහෙත් පසුව ජී.ඩී.එල් එයට ඩග්ලස් රණසිංහ හා මෝනා මංගලා තෝරා ගත්ත ද, එහී විජයට හා කාන්ති ලංකාට චරිත යුගලක් ලැබිණි. ජුලියට් වන්නට ගිය ඇයට, ජුලියට්ගේ සේවිකාවගේ චරිතය කරන්නට සිදු විය. 'ප්‍රියංගා' හී ප්‍රධාන චරිතය රඟපෑ ඇයට 'රෝමියෝ ජුලියට්' හී සහාය චරිතයක් ලැබුණු අතර, එය 'ප්‍රියංගා'ට ප්‍රථම තිරගත විය. මේ හෙයින් කාන්ති ලංකාගේ ප්‍රථම තිරගත කළ චිත්‍රපටය වූයේ 'රෝමියෝ ජුලියට්' කතාවක් ය.
1958 වර්ෂයේදී උපාධිය සම්පුර්ණ කර ගත්, ජෝ දෙව් ආනන්ද නම් තරුණයා යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත් වීම භාර ගතී. එසේ වූවද, ඔහුගේ සිරුර තුළ නලියමින් තිබුණේ සිනමාවය. එහී දී ඔහු තවත් සිසුන් දෙදෙනකු සමඟ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. එලෙසම ඔහු එහීදී 'පාස නිලා' යනුවෙන් දමිළ භාෂිත චිත්‍රපටයක් නිර්මාණය කළේ එය එංගලන්තයේ පෙන්වීමටය.
යාපනයෙන් පැමිණ කාගිල්ස් සමාගමට රැකියාවට එකතු වුණු ජෝ දෙව් ආනන්ද එතැන සිට තම ප්‍රථම සිංහල චිත්‍රපටය නිර්මාණය කරන්නට පෙළඹිණි. 'ගීතා' නමින් තිරගත කළේ එය යි.
ලංකාවේ විනෝදාත්මක චිත්‍රපට නිෂ්පාදනය වූයේ එක් එක් ශෛලයෙන්ය. ලෙනින් මොරායස්ගේ ඉදිරිපත් කිරීමට, හාත්පසින් වෙනස් ක්‍රමයකි ජෝ දෙව් ආනන්දගේ නිර්මාණයන්හී තිබුණේ. ලෙනින් මොරායස්, ජේ. සෙල්වරත්නම් ,රාසරත්නම්, නීල් රූපසිංහ, වැන්නන්ගේ තිබුණේ බටහිර, හින්දි, දමිළ, සම්මිශ්‍රණයකි. එහෙත්, ජෝ දෙව් ආනන්ද තනිකරම දමිළ චිත්‍රපට ආකෘතින් සිංහල කර ඉදිරිපත් කළේය. ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ 'ගීතා' ඒ ආකෘතිය තුළ සෑදුණු චිත්‍රපටයකි. එතෙක් ජානකි කුරුකුලසූරියට කිසිවකු තනි ප්‍රධාන චරිතයක්දී තිබුණේ නැත. ජෝ දේව් ආනන්ද නොබියව ජානකීව, 'ගීතා' චිත්‍රපටයේ ප්‍රධානම චරිතයට තෝරා ගතී. දමිළ ආකෘතියක හැදුණු 'ගීතා' ජනප්‍රිය විය. රෝයි ද සිල්වා ලාංකේය සිනමාව තුළ ජනප්‍රිය බොක්ස් ඔෆිස් පෙම්වතෙක් විය.
'ගීතා' චිත්‍රපටයෙන් ලද ජනප්‍රියත්වය මත ජෝ දෙව් ආනන්ද් හට සිංහල සිනමා කර්මාන්තය තුළ නමක් ඇති කර ගැන්මට හැකි විය. මෙහී ස්ථාවර වීමට ඔහු තම දෙවන චිත්‍රපටය සැලසුම් කරන්නට විය. ඒ 'සුජීවා' ය. ඔහු එයට ද තෝරා ගත්තේ රෝයි ද සිල්වා හා ජානකි කුරුකුලසූරියමය. එහෙත්, ජානකි ඒ කාලවකවානුව තුළ විවාහ ජීවිතයට ඇතුළු වන්නට ලක ලෑස්ති වූ හෙයින්, ජානකී විසින්ම එම චරිතයට වෙනත් නිළියක්ව යෝජනා කරන ලදී. ඒ 'ප්‍රියංගා' චිත්‍රපටයෙන් හඳුන්වා දුන්, යොවුන් සුරූපිනිය කාන්ති ලංකාව ය. 'ප්‍රියංගා' තරමක් 'ක්ලැසිකල්' ගනයේ චරිතයකි. එහෙත් 'සුජීවා' 'කොමර්ෂල්' චිත්‍රපටයකි. එම චරිතය, නාගරීක පන්නයේ ඇඳුම් ඇඳගෙන, විවිධ කොණ්ඩ මෝස්තරවලින් සැරසී, ගී ගයමින්, නටමින් කළ යුතු චරිතයක් විය. නවක නිළි කාන්ති ලංකාට නම් මෙය අභියෝගයක්ම විය.
සුජීවා සැහැල්ලුවෙන් ජීවත් වන, පෝසත් පවුලක දෙටු දියණියයි. ඇය නිතරම, සිනා මුසු මුහුණින්, විනෝදයෙන් කල්ගත කළ තරුණියෙකි.
“ඈත වනපෙත සරසාලා
පාට වනමල් පිබිදීලා
නීල කඳුමත ගෑවිලා
යාවි මේ කඳු පාවිලා
ඈත වනපෙත සරසාලා”
සමන්ත ඇයගේ පෙම්වතාය. ඔහුට හරි හමං රැකියාවක් තිබුණේද නැත. එහෙයින් ඔහු තමනට ගැලපෙන රැකියාවන්ට ඉල්ලුම් පත් දමමින් සිටියේය. දිනක් ඔහුට විශාල සමාගමකින් සම්මුඛ පරීක්ෂණයකට කතා කළේය. ඒ මුදල් අයකැමි තනතුරකටය. සමන්ත එම සම්මුඛ පරික්ෂණයට ගිය විට එතැන සිටියේ සුජීවාය. ඒ සමාගම සුජීවාගේ පියාට අයිති වූවකි. එහෙයින් කිසිදු කරදරයක් නොමැතිව සමන්තට එහී මුදල් අයකැමි තනතුර ලැබිණි.
මේ 'සුජීවා' පටන් ගත් ආකාරය ය. මෙහි තවත් කතාවක් ප්‍රධාන චරිතවලට අමතරව ඇදී යයි. ඒ සුරම්‍යාගේ කතාවය. ඇය සුජීවාගේ වැඩිමහල් සොහොයුරියයි. ඇය ඉතාමත් කට සැර,තරුණියෙකි. මාපියන් හා මඟුල් කපුවන් මොන තරම් උත්සහ කළත් , ඇයව විවාහ කර දීමට තරුණයකු සොයා ගැන්මට නොහැකි වූයේ ඇයගේ මේ නපුරු, කට හැකරකම නිසාය. ඇය නිතරම කියන්නේ ඇය විවාහ වෙන්නේ විශාල ලෙස මුදල්, හදල් තිබෙන, තමාට අතට පයට වැඩකාරයන් දීමට හැකි තරුණයකු සමඟ කියාය.
නන්දසේන, මෙම කතාවට එකතු වෙන්නේ, ඇයව විවාහ කර ගන්නා තැනැත්තා ලෙසටය. නන්දසේන ධනවත් පුද්ගලයකුගේ නිවසක් බලා ගෙන සිටින දුප්පත් තරුණයෙකි. හදිසියේම ධනවත් පුද්ගලයා සෑහෙන කාලෙකට පිටරට බලා යයි. මේ හේතුවෙන් නන්දසේන , මඟුල් කපුවා සමඟ එකතු වී, එම නිවසේ ධනවත් පුද්ගලයා ලෙස පෙනී සිට, සුරම්‍යා සමඟ යහළු වේ.
“ ආදරණීය බබෝ,
ළඟටම එන්න බබෝ
දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ
දැන්වත් එන්න බබෝ,
දෑතම දෙන්න බබෝ
ආලය ඔබට නේද පළමුව මා දුන්නේ ”
සුරම්‍යා සමඟ විවාහ වුණු නන්දසේනට සුරම්‍යා විසින් ඉල්ලු බොහෝ දේවල් දීමට බැරි විය. අතට පයට වැඩකාරයන්, හිතේ හැටියට වියදම් කරන්නට මුදල්, ඔය කිසිවක් දීමට බැරි වු නිසා සුරම්‍යා නැවත තම නිවසට යාමට උත්සහා කළාය.
ජෝ දේව් ආනන්ද බොහෝ බර වූයේ දකුණු ඉන්දියාණු මසාල සිනමාව පැත්තටය. ඔහුගේ චිත්‍රපටවල නිවෙස්වල පසුතල, වූයේ දෙපැත්තෙන් උඩට පහළට යා හැකි විශාල පඩි පෙළවල් සහිත තට්ටු දෙකේ නිවෙස්ය. එම විශාල නිවෙස්වල ජීවත් වන අය, නිතරම ඇඳගෙන සිටිනුයේ මඟුල් ගෙදරකට යනවා වගේය. ගෘහ මුලිකයා ගෙදර සිටින්නේ ටයි කෝට්, කලිසම් ඇඳ පාවහන් පැළදගෙනය. ඔහුගේ බිරිඳ සිටින්නේ ඉස්තරම්ම වර්ගයේ සාරි ඇඳ, කොණ්ඩා මෝස්තර දමාගෙනය. ඔවුන්ගේ දූවරු, හා පුත්තුද නිතරම ඇඳ පැළඳ සිටිනුයේ 'පාටිය'කට යන්නට මෙනි. ඔවුන් රෑට නිදියන්නේද ඒ වටිනා ඇඳුම් ඇඳගෙන, කණකර ආභරණ පැළඳ ගෙන, කොණ්ඩ මෝස්තර දමාගෙනය. උදේට නැඟිටින විටත් මේ කිසිවක් අවුල් නොවී තිබේ. සිංහල සිනමාවට නම් මේවා ගෙනාවේ දමිළ හා හින්දි චිත්‍රපට තුළින්ය. ජෝ දෙව් ආනන්ද, ඉන්පසු අධ්‍යක්ෂණය කළ, 'සුනේත්‍රා", '‘සූකිරි කෙල්ල' ' ඔබයි මමයි' 'මිනිසුන් අතර මිනිසෙක්' යන චිත්‍රපට හැම එකකම පාහේ අර දකුණු ඉන්දියානු 'ෆ්ලේවර්' එක ඒ අයුරින්ම තිබිණි.
සුජීවා හා සමන්තගේ ප්‍රේමයට දුෂ්ඨයෙක් සිටියේය. ඒ ඩග්ලස්ය. ඔහු සුජීවාව විවාහ කරගන්නට තැත් කරනුයේ ඇයගේ බූදලය ගැන බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහු සල්ලාලයෙකි, ඔහුට තව තවත් තාවකාලික පෙම්වතියෝ සිටියහ.
මේ අතර, එකල සිංහල විනෝදාත්මක සිනමාවේ අනිවාර්ය අංගයක් වූ 'බර්ත් ඩේ පාටිස්' සුජීවා චිත්‍රපටයටද ඇතුළත් විය. ඒ සුජීවාගේ උපන් දිනයයි. මෙයට සම්ප්‍රදායානුකූලව පෙම්වතා පැමිණ ගීතයක් ගයයි. පෙම්වතිය හා ඇගේ යෙහෙළියන් නටයි. දුෂ්ඨයා බලා සිටී.
“ චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල් විහිදාලා
හැංගුන බඹරා ආවා
ලස්සන රහසක් කීවා”
ගලගෙදර එම්. හක්ගේ අපූරු තනුවක් වූ මෙම ගීතය ගැයුවේ එච්.ආර්. ජෝතිපාලය. සිංහල විනෝදාත්මක සිනමාවේ වඩාත්ම ජනප්‍රිය වූ ගීතයක් ලෙස මෙය හැඳීන්විය හැක. 'සුජීවා' චිත්‍රපටය මෙගා හිට් එකක් වූයේත්, එච්.ආර් ජෝතිපාල තව තවත් ජනප්‍රිය වූයේත්, මෙම ගීතමය ජවනිකාවේ රඟපෑ රෝයි ද සිල්වා බොක්ස් ඔෆිස් නළුවෙකු කළේත් මේ 'චන්දන ඇල්ලෙන් නාලා' ගීතයය.
ජෝ දේව් ආනන්ද සමඟ එකටම යන නමකි රෝයි ද සිල්වා. රෝයි ද සිල්වා නිසා ජෝ දෙව් ආනන්ද ජනප්‍රිය වූවා ද, නොඑසේ නම් ජෝ දෙව් ආනන්ද නිසා රෝයි ද සිල්වා ජනප්‍රිය වූවා ද කියා සිතා ගැන්මට බැරි තරම්ය. ජෝ දේව් ආනන්දගේ 'ගීතා, සුජීවා, සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, දක්වා ප්‍රධාන චරිතයට ජෝ දෙව් රෝයි ද සිල්වාව සම්බන්ධ කර ගති. ඔහුගේ 'මිනිසුන් අතර මිනිසෙක්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ගාමිණී ෆොන්සේකාට ලබා දුන්න ද, ගාමිණි හා සමව රෝයි ද සිල්වාට ද එහී ප්‍රධාන චරිතයක් ලබා දිනි. රෝයිව ජුබිලි නළුවෙකු කළේ ජෝ දෙව්ය. එ ලෙසම ජෝ දෙව්ව, ආදායම් වාර්ථා තබන අධ්‍යක්ෂවරයකු කළේ රෝයි ද සිල්වාය.
සුජීවාගේ පියාගේ කාර්යාලයේ රැකියාව කරමින් සිටින සමන්තට දැන් සුජීවා සමඟ පෙම් ලෝකයේ ගී ගයමින් සැරිසරන්නටද, අවස්ථා එමටය.
“ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිඳෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ ”
දිනක් මෙම සම්බන්ධය සුජීවාගේ පියාට අසුවිය. එහෙත් ඒවා විශාල ප්‍රශ්න වූයේ නැත. නමුත් එය ඩග්ලස්ට ප්‍රශ්නයක් විය. ඔහු කෙසේ හෝ මෙම සම්බන්ධය කඩා දමන්නට උත්සහ ගත්තේය. ඔහු එයට උදවු ගත්තේ ඔහුගේ අනියම් පෙම්වතියකගෙනි. සමන්ත විසින් කාර්යාලයට අයිති රුපියල් පනස්දාහක මුදලක්, බැංකුවෙන් රැගෙන එනවිට, එය නන්නාඳුනන කෙනෙක් සොරා ගන්නට විය. පසුව ඒ මුදල් සමන්ත නැවති සිටින කාමරයේ අල්මාරියේ සඟවා තැබුවේ, මෙම හොරකමට සමන්තව අසු කර, ඔහු හොරෙක්, වංචාකාරයෙක් බව, සුජීවා හා ඇයගේ පියාට ඔප්පු කර පෙන්වන්නටය. සුජීවා සමන්තව සොයා ඔහුගේ කාමරයට පැමිණ මෙම සොරකම ගැන ඇසුවේ, ඇයත් ඔහුව යාන්තමින් හෝ සැක කෙරූ නිසාය. සමන්ත දිව්ර දිව්රා කීවේ ඔහු මේ සොරකමට කිසිසේත් සම්බන්ධ නොවූ බවය. කමිසයක් ගැනීමට ඔහු සුජීවා ඉදිරියේම අල්මාරිය අරින විට එහි අර රුපියල් පනස්දාහ තිබුණි. සුජීවාගෙ සැකය නිවැරදි විය. එහෙත් සමන්ත මෙය තමා නොගත් බවත්, කවුරු හෝ තරහාකරුවෙකු සමන්තව අසු කිරීමට මෙවැනි දෙයක් කර ඇති බවත් කීය.
මේ අතරේ නන්දසේනගේ නිවසේ අයිතිකරු පිටරට සිට හදිසියේම පැමිණියේය. නන්දසේන මෙතෙක් කර ඇත්තේ ප්‍රෝඩාවක් බව සුරම්‍යාට වැටහුණද, ඒ ප්‍රෝඩාව කර තිබෙන්නේ, තමාට ඇති ආදරය නිසා නොවේදැයි ඇයටම වැටහිනි. ඒ වන විට ඇයගේ සැරපරුෂ බව තුරන්වී ඇය නන්දසේනට සුවිනීත භාර්යාවක් වූවාය. නන්දසේනගේ නිවසේ අයිතිකරු තම වතුයායේ හා කර්මාන්තශාලාවේ කළමනාකාරීත්වය නන්දසේනට පැවරුවේය. ජෝ දෙව් ආනන්ද සුරම්‍යා හා නන්දසේනගේ ප්‍රශ්න හරි 'කූල්' එකේ විසඳුවේ එලෙසය.
ඩග්ලස් සමන්තව අමාරුවේ දැමීමට උපකාර කෙරූ ඩග්ලස්ගේ අනියම් පෙම්වතිය, සුජීවගේ පියාට සියලු දේ කීවේ, ඩග්ලස් ඇයව විවාහ කරන බවට බොරු පොරොන්දු දී, සුජීවාගේ බූදලය ඉලක්ක කරගෙන ඇයව විවාහ කරගන්නට මාන බලන නිසාය. සමන්ත බැංකුවෙන් මුදල් ගෙන එන විට ඒවා කොල්ල කා ඇත්තේ ඩග්ලස් බවත්, ඉන්පසු ඒවා තමාටදී සමන්තගේ කාමරයේ අල්මාරියේ තබන ලෙස උපදෙස් දුන් බවක් ඩග්ලස්ගේ අනියම් පෙම්වතිය, සුජීවාගේ පියාට කීවාය. සමන්තගේ නැති වුණු මුදල් ප්‍රශ්නයද එලෙස 'සුපර් කූල්' එකේ විසඳූ ජෝ දෙව් ආනන්ද සුජීවා හා සමන්තව සියලුදෙනාගේ ආශිර්වාදය මැද එක් කළේය.
ප්‍රෙඩි සිල්වා හා දොන් සිරිසේනගේ විකට කෑලි එහෙන් මෙහෙන් දමා, ජෝ දෙව් ආනන්ද තම දකුණු ඉන්දියානු ආකෘතිමය චිත්‍රපටය තව තවත් විනෝදාත්මක කළේය. ප්‍රෙඩි සිල්වා ගයන 'අලුත් කලාවක්' හා එච්.ආර්. ජෝතිපාල ගයන 'ඇස් මේ ලස්සන දේ' ගී යුගලත් ඉහත සඳහන් ගීතවලට අමතරව එකතු කර තිබුණි. මේ හැම ගීතයක්ම එක ලෙස ජනප්‍රිය විය. සියලුම ගීත ස්වතන්ත්‍ර වූවද, ජෝතිපාල ගයන 'ඇස් මේ ලස්සන දේ' ගීතය පමණක් හින්දි චිත්‍රපටයක් වූ 'තුම්සේ අච්චා කෝන් හේ' හී 'කිසිකෝ ප්‍යාරෙ කරුන්' ගීතය අනුසාරයක් විය. මතක හැටියට එයට සංගීතය සපයා පසුබිමින් ගායනා කළේ එවකට ලංකාවේ ඉංග්‍රිසි ගීත ගයන සංගීත කණ්ඩායමක් වූ 'ඉන්ද්‍රරාජ් ඇන්ඩ් ද ග්‍රැජුවට්ස්ය'.
රෝයි ද සිල්වා,(සමන්ත), කාන්ති ලංකා (සුජීවා),ස්ටැන්ලි පෙරේරා (නන්ද සේන), නීටා ප්‍රනාන්දු (සුරම්‍යා), එච්.ආර්. ජෝතිපාල (ඩග්ලස්), ධර්මශ්‍රී රණතුංග ( සුජීවා,සුරම්‍යාගේ පියා), මේබල් බ්ලයිත් ( සුජීවා, සුරම්‍යාගේ මව), අග්‍රා සජීවනී ( ඩග්ලස්ගේ අනියම් පෙම්වතිය) දොන් සිරිසේන (මඟුල් කපුවා) සමඟ ප්‍රෙඩි සිල්වා ප්‍රධාන චරිතවලට පණ දුනි. ෆරීනා ලායි, කාන්ති ලංකා සමඟ නැටුම් ජවනිකාවකට පෙනී සිටියාය. හෙලන් කුමාරිද ,ඇන්ජලින් ගුණතිලක ගැයූ 'රැජිණිය මාගේ' ගීතයට රැඟුමක් ඉදිරිපත් කළාය.
සුපර් හිට් එකක් වූ 'සුජීවා' කාන්ති ලංකාව ඉහළටම ඔසවා තැබුවද, ඇය ඉක්මන් විවාහයකට ඇතුළත් වී සිනමාවෙන් අයින් විය. ඒ වනවිට, ඇයට චිත්‍රපට පහළොවක් පමණ ප්‍රධාන චරිතය ලැබී තිබුණි. ඒ සියල්ලම ඇය ඉවත දමාය විවාහ ජීවිතයට එකතු වූයේ. එදා ඇයට තිබූ ජනප්‍රියත්වය උඩ තව ටික කලක් හෝ සිනමාවේ රැදී සිටියා නම් ඇය මාලනී ෆොන්සේකා මෙන් සුපිරි නිළියක් වීමට ඉඩ තිබුණි. පසු කලෙක ඇය යළි සිනමාවට පැමිණියද, ඒ වන විට, අර ඇගේ යෞවනත්වයෙන් ඇය ඉක්ම වී තිබූ නිසා, එම දෙවනි සිනමා ගමන තුළින් ඇයට දිගු ගමනක් යෑමට නොහැකි විය.
1972 අප්‍රේල් 12 වෙනිදා සිට තිරගත කිරීම ආරම්භ කළ 'සුජීවා' චිත්‍රපටය තිර රචනය ලියා, කැමරාවද මෙහෙයවා, අධ්‍යක්ෂණයට අමතරව නිෂ්පාදනය ද කළේ ජෝ දෙව් ආනන්දය.