දොස්තර නිසා පීරිස් සිංඤෝට කනක් අහිමි වෙයි

මැයි 6, 2021

 

 

දොස්තර චිත්‍රපටය සීමාසහිත සිනමාස් සමාගමේ පස්වැනි නිෂ්පාදනය විය. එය ඔවුන්ගේ මුල්ම හවුල් නිෂ්පාදනය ද විය. මුල්ම ඉන්දීය හා ශ්‍රී ලාංකික හවුල් නිෂ්පාදනය ලෙස දොස්තර සැලකීම යුක්ති සහගතය. මේ අවදියේ මෙරට චිත්‍රපට නිෂ්පාදනයේ ප්‍රධාන වශයෙන් රැඳී සිටියේ සිලෝන් තියටර්ස්, සිනමාස් සහ මුල්ම සිංහල කථානාද චිත්‍රපටය නිපද වූ එස්.එම්. නායගම්ය. සිංහල ජාතික නිෂ්පාදකයෙකුව සිටියේ සිරිසේන විමලවීරයන්ය. මේ අතරින් නායගම් මෙරට මුල්ම චිත්‍රාගාරය ද සුන්දර සවුන්ඩ් නමින් කඳානේ ඉදිකොට තිබිණ. දෙවැනුව ඉදි කළ චිත්‍රාගාරය වූයේ විමලවීරයන්ට අයත් නවජීවන චිත්‍රාගාරයයි. එය කිරිබත්ගොඩ පිහිටුවා තිබිණ. සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද්දේ සිලෝන් තියටර්ස් හා සිනමාස් යන සමාගම් මඟින්ය. එබැවින් කවුරු චිත්‍රපට නිපදවුව ද චිත්‍රපට තිර ගත කරන ලද්දේ එම සමාගම් මඟින් පාලනය කරන ලද සිනමාහල්වලය.

දොස්තර චිත්‍රපටය තිරගත වන සමයේ නායගම් හා ගුණරත්නම් අතර ආරවුලක් ඇතිවිණ. මේ ආරවුලට මුල පිරුවේ චලන චිත්‍ර පුවත්පත මඟින්ය. නායගම් සිය චිත්‍රපට නිෂ්පාදන සඳහා ප්‍රචාරයක් ලබා ගැන්මේ අරමුණින් සිනමා පුවත්පතක් ද ආරම්භ කළේය. ඒ චලන චිත්‍ර පුවත්පතයි. සෝමපාල රණවීර එහි කර්තෘවරයා විය. මේ සිනමා පුවත්පත එකල චිත්‍රපට සඳහා හොඳ ප්‍රචාරයක් ද ලබා දුන්නේය. ඒ වන විට මෙරට දිනපතා පුවත්පත් දෙක වූ ලේක් හවුස් ආයතනයේ දිනමිණ හා ටයිම්ස් ආයතනයේ ලංකාදීප පුවත්පත් සිනමා විචාර අරඹා තිබිණ. දිනමිණේ සිනමා විචාර ලියන ලද්දේ ජයවිලාල් විලේගොඩ විසින් වන අතර ලංකාදීපයේ සිනමා විචාර ලියන ලද්දේ පසුකලෙක සුප්‍රකට නවකථාකරුවකු වන කරුණාසේන ජයලත් විසින්ය. මේ දෙදෙනාගෙන් නායගම්ගේ චිත්‍රපටයක් බැට කන විට එයට පිළිතුරු ලිපියක් සෝපාරවී නමින් චලන චිත්‍රයට ලියන ලද්දේ රණවීර විසින්ය. මේ අතරවාරයේ දිනමිණ පුවත්පත මඟින් මුල්වරට සිනමා සම්මාන උලෙළක් සංවිධානය කරන ලද අතර එයට පසු ලංකාදීපය මඟින් ද දීපශිඛා නමින් සම්මාන ප්‍රදානෝත්සවයක් අරඹන ලදී. මේ සම්මාන උලෙළ පිළිබඳ චලන චිත්‍ර පුවත්පත දැක් වුයේ නයාට අඳුකොල ප්‍රතිපත්තියකි.

මේ අතරවාරයේ දොස්තර චිත්‍රපටය තිර ගත වූ දවසේ දැන්වීම් අතිරේකයක් පළ කරන්නට සිනමාස් සමාගම කටයුතු කර තිබිණ. ඒ එදින ලංකාදීප පුවත්පතේය. එම දැන්වීම බලාපොරොත්තුව සිටි චලන චිත්‍ර පුවත්පත එමඟින් කෝපයට පත්විය. එබැවින් නායගම්ගේ අනුදැනුම ඇතිව හෝ නැතිව දොස්තර චිත්‍රපටයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නට චලන චිත්‍ර කතුවරයා කටයුතු කළේය. මෙයට තවත් හේතුවක් වූයේ දීපශිඛා සම්මාන උලෙළේ දී නායගම් නිපද වූ මාතලන් චිත්‍රපටයට සම්මාන ලැබෙතැයි ඔවුන් අපේක්ෂා කළ ද එය එසේ නොවීමය. මේ හේතුවෙන් චලන චිත්‍ර පුවත්පතේ 1956 මාර්තු මස පළමුවැනි දා කලාපයේ යටිපතුල නම් විශේෂාංගයක් යටතේ ලිපියක් පළ කරන ලදී. එය ලියන ලද්දේ ගණ දෙවි යන අන්වර්ථ නාමයෙන් යුතුව සෝමපාල රණවීරයන්මය.

එහි පළ කරන අන්දමට, 'සිනමාස් නිෂ්පාදකයා ගොනා කර අතිරේකයන් පළ කර ගැනීමට මාර්ගය ලංකාදීපකාරයා පාදා ගත්තේය. ලැබුණු මුදල හා අතිරේක පගාව අනුව දොස්තර අතිරේකයක් පළ කළේය. ලංකාවේ කිසිම සිංහල චිත්‍රපටයකට මෙවැනි තැනක් නොදුන් පුවත්පත අමුඅමුවේ හින්දි දෙමළ නළු නිළියන් සිංහල නළු නිළියන්ගේ කරේ නටන චිත්‍රපටයට ප්‍රමුඛ තැනක් දුන්නේය.'

කෙසේ වෙතත් ඊළඟ චලන චිත්‍ර පුවත්පතේ එනම් මාර්තු මස 15 වැනි දින පසුගිය පත්‍රයේ යටි පතුලෙන් එළිදරවු කරනු ලැබූ කරුණු 'දොස්තර චිත්‍රපටයේ විවේචනයක් නොවන බවත් ලංකාවේ පළවන සිංහල දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් විසින් සිංහල චිත්‍රපට පිළිබඳව අනුගමනය කරන පක්ෂපාති ප්‍රතිපත්තීන් හෙළිදරවු කිරීමක් ඒ ලිපියෙන් විස්තර කළ බවත් අපේ පාඨකයන්ට දන්වනු කැමැත්තෙමි' යනුවෙන් කර්තෘ සටහනක් තබා තිබිණ. එහෙත් අදාළ ප්‍රවෘත්තිය පිළිබඳ ගුණරත්නම් තදින් ක්‍රියා කළ බව පෙනෙන්නේ 1956 අප්‍රේල් මස 15 වැනි දින නිකුත් වූ චලන චිත්‍ර පුවත්පත කියැවීමේදීය. එහි පිටු භාගයක පමණ කොටසක් වෙන් කොට ගුණරත්නම් මහතාගේ ඡායාරූපයක් සමඟ 'සමාව අයැදීමකි' මැයෙන් පුවතක් පළ කොට ඇත.

'1956 මාර්තු 1 වැනි දා චලන චිත්‍ර පත්‍රයෙහි යටිපතුළ ශීර්ෂය යටතේ වූ ලිපියෙහි දොස්තර අතිරේකය මැයෙන් පළ වූ කොටසෙහි ඇතුළත් වූ ඇතැම් කරුණු සම්බන්ධව චලන චිත්‍ර පත්‍රයේ කර්තෘ මුදුණකරු, ප්‍රකාශක සහ අයිතිකරුවන්, දොස්තර චිත්‍රපටයේ නිෂ්පාදක කේ. ගුණරත්නම් මහතාගෙන් කොන්දේසි විරහිත සමාව භජනය අපේක්ෂා කරත්.

දොස්තර චිත්‍රපටය හෝ එහි නිෂ්පාදකගේ චරිතය සම්බන්ධ වන පරිදි එම ලපියෙහි කිසිවක් පළ වී ඇති නම් ඒ පිළිබදව කර්තෘ කණගාටුව ප්‍රකාශ කරන අතර ඔහුට අපහාස කිරිමේ චේතනාවෙන් කිසිවක් එම ලිපියට ඇතුළත් නොකළ බව ද ප්‍රකාශ කරමු.

අපගේ සමාව අයදීම නිෂ්පාදක ගුණරත්නම් මහතා පිළිගෙන ඒ සම්බන්ධව ඇති කර ගත් තීරණයන් වෙනස් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.' එහි සඳහන් විස්තරය එපරිද්දෙන්ය.

කෙසේ හෝ දොස්තර 'අති සාර්ථක ප්‍රදර්ශනයක්' විය. එකල චිත්‍රපට නැරඹීම සඳහා නොමිළයේ ලබා දෙන පාස් සහ වෙනත් පහසුකම් එය තිර ගත වන මුල් සති කිහිපය ඇතුළත අත් හිටුවා ඇති බව එකල සිනමාහල් ඉදිරියේ පුවරුවක් විය. සති අන්තයේ දිනක හලාවත සාගර සිනමාහලේ දොස්තර චිත්‍රපටය නරඹන්නට සිවිල් ඇදුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු එම පුවරුව නොතකා අසුන් ගැන්මට යාමේදී සිනමාහලේ කළමනාකරු හා ඔවුන් අතර බහින්බස් වීමක් සිදුවිය. මේ ආරවුල දුර දිග යන බව පෙනුණ කල එය සමථයකට පත්කිරිමට පැමිණි එච්. පීරිස් සිංඥෝ නමැත්තාගේ කන කොස්තාපල්වරයෙක් විසින් සපා කඩා දමන ලද බව පුවත්පත්වල පළ විය. පසුව පැමිණි පොලිසිය එහි සිටි පිරිස අත් අඩංගුවට ගත් අතර පීරිස් රෝහල් ගත කරන ලදී. ඔහුගේ කන පොලිසියට ගෙන යන ලදී.

දොස්තර චිත්‍රපටයේ සියලු දර්ශන ඉන්දියාවේ ඒ.වී.එම්. චිත්‍රාගාරයේ රූප ගත කළ ද එහි එන ගීත සම්බන්ධ බාහිර දර්ශන රූප ගත කරන ලද්දේ ලංකාවේදීය. මෙම ජවනිකා සඳහා දළ සේයා පට අඩි පනස් දහසකට වඩා වැය කළ බවත් මෙම ගීත රූප ගත කරන්නට ලංකාවේ සැතැපුම් 3250 ක් සංචාරය කළ බවත් එකල සඳහන් විය. පේරාදෙණියේ සංගිලි පාලම මත දී රුකමණි දේවිය 'ආදරේ පුරාම හදේ මතු වේවි උල්පත සේ' ගීතය ගයමින් රඟපෑවේ ය. එම ගීතය මහනුවර වැව රවුමේ රූප ගත කරද්දී අවට පිරුණු රසිකයන්ගෙන් එකම හිස් ගොඩක් බවට පත් විනැයි පුවත්පත් වාර්තාවල සඳහන්ය. චිත්‍රපටයේ එන ධර්මදාස වල්පොල හා රුක්මණි දේවි ගයන 'වාසනාවන්ත කල ලබා' ගීතය ලංකාවේ තැන් කිහිපයකම රූප ගත කරන ලදී. මේ ගීතය ඒ.වී.එම් නිෂ්පාදන සමාගමේ චිත්‍රපටයක් සඳහා යොදා ගත්ත ද මේ ගීතයේ තනුව මුලින්ම ඇසුණේ එවකට දකුණු ඉන්දියාවේ දැවැන්තම චිත්‍රාගාරයක් වූ මොඩර්න් තියටර්ස් මඟින් 1955 වසරේ නිෂ්පාදිත 'අලිබබාවුම් නර්පතු තිරුඩර්ගලම්' චිත්‍රපටයෙනි. එම චිත්‍රපටයේ එස්. දක්ෂිණමූර්තිගේ සංගීතයට ඒ. එම්. රාජා සහ භානුමතී විසින් ගායනා කරන ලද 'මාසිලා උන්මයි කාදලේ' , 'වාසනාවන්ත කල ලබා' ගීතයේ මුල් තනුව විය. දොස්තර චිත්‍රපටයට පෙරාතුව සිනමාස් නිපද වූ චිත්‍රපට සඳහා සංගීතය මෙහෙයවූයේ දක්ෂණමුර්ති ය. එමෙන්ම වාසනාවන්ත කල ලබා ගීතයේ මෙන්ම දෙමළ ගීතයේ ද ගායිකාව වූයේ අදාළ චිත්‍රපටයේ ප්‍රධන නිළිය වීම විශේෂයකි. අලිබබා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එම්.ජී. රාමචන්ද්‍රන් විසින් රඟපෑ අතර එහි ගායිකාව වූයේ එහි ප්‍රධාන චරිතය රඟපෑ පී.භානුමතීය. (රාජා දොස්තර චිත්‍රපටයට ගැයූ ගීය ගැන පසුගිය සතියේ ලියැවිණ.)

දොස්තරට පෙර ගුණරත්නම් නිපදවූ සුජාතා, වරද කාගෙද?, රදළ පිළිරුව, යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද්දේ සුන්දරම් විසින් සේලම් නගරයේ පිහිටි මොඩර්න් චිත්‍රාගාරයේ දීය.

වාසනාවන්ත කල ලබා ගීතය රූප ගත කරද්දී නොසිතූ සිදුවීමකට රුක්මණී හා හර්බට් එම්. සෙනෙවිරත්න මුහුණ දුන්හ. ගීතයේ කොටසක් රූප ගත කරන ලද්දේ රම්බොඩ දූර්ගයේය. මෙම ජවනිකාවට රුක්මණී සහ හර්බට් ඇම්. සෙනෙවිරත්න මෝටර් රථයක නැඟ රම්බොඩ දුර්ගය ඔස්සේ ගමන් කළෝය . එකල එහි මාර්ගය අදමෙන් පුළුල් එකක් නොවිණ. අධ්‍යක්ෂකගේ විධානය අනුව රූප ගත කිරිම ඇරඹිණ.

වල්පොල-

වාසනාවන්ත කල ලබා

ජීවිතේ ආදරෙන් පිරී ගියා

රුක්මණී-දුක් නිවාලා- ශාන්ති පාලා

හර්දයේ ආදරෙන් විනෝද වී ගියා

වාසනාවන්ත.....

 

වල්පොල- දිවි හිමියෙන්ම තී මගේය සෝබනී

රුක්මණී- ස්වාමිනී ඔබේ නමින් ම

දිවි පුදන්නෙමි

වල්පොල- චාන්දනී නටන්නේ නෑ

තවත් ඉතින් මෙහි

රුක්මනී- චාන්දනී නටන්නේ

දැන් ඔබේ තුරුල්ලෙ හී

දෙදෙනාම-මධුර ආලේ බැදි විවාහේ -

ජීවිතේ අනාගතේ ස්වර්ගෙකී මහා

වාසනාවන්ත කල.....

 

වල්පොල- වංගු බෝ වැඩියි

දැන් ඉතින් මේ මාර්ගයේ

රුක්මණී- හොඳ ප්‍රවේශමෙන්

යන්නකෝ සුදා මගේ

වල්පොල-සමඟියෙන් ගියොත් දුර හැකි වගේ

රුක්මණී- වැරදි මා තවත් නෑ කරන්නේ

මේ වගේ

දෙදෙනාම-ප්‍රීතියෙනී නිදහසේනී

ඉන්න කල් විඳීමු සැපත පෙම් ලොවක් මවා

වාසනාවන්ත කල...

චිත්‍රපටයේ රූප ගත කරන කණ්ඩායමට අමතරව අවට ප්‍රදේශවාසිහු ද ඒ වන විට චිත්‍රපටය රූපත කරන ආරංචියට එහි රොක් ව සිටියහ. සිනමා ශිල්පින්ට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරිහු කිහිප දෙනෙක් ද සිටියහ. එක් වංගුවකදී හර්බට් එම් අතින් මොකක් හෝ වරදක් සිදුවිණ ද නොදනී. රථය එකවරම පාරෙන් ඉවතට පැන අඩි සිය ගණනක ප්‍රපාතයට පෙරළිණ. ////////අවට සිටියවුන් විලාප දෙමින් කෑගැසුහ සැබැවින්ම එය බිහිසුණු රිය අනතුරක් විය. අවට සිටියවුන් වහා මේ ප්‍රපාතයට බැස ගත්තේ කිසිදු බලකිරීමකින් හෝ අණකිරීමකින් තොරවය. රථය සහමුලින්ම කුඩු පට්ටම්ව ගියේය. නළු නිළි යුවළ බරපතළ තුවාල නොලද ද වහා රෝහල් ගත කෙරිණ. සැබැවින්ම මේ යුවළ බේරුණේ දෛවයේ හාස්කමක් හැටියටය.

එයින් වසර ගණනාවකට පසු රුක්මණි දේවිය පුවත්පතක් සමග කළ සංවාදයකදී මේ බැව් යළි සිහිපත් කළාය.

'ඒ මාරක අනතුරින් බේරුණු මම යළි කිසිදවසක රිය අනතුරකින් නොමැරෙන බව විශ්වාසයි.' ඉදිරි දිනෙක තමාට ජීවිතයෙන් සමුගන්නට තිබෙන්නේ බිහිසුණු රිය අනතුරකින් බැව් එදා ඇයට සිහිනෙන්වත් නොසිතෙන්නට ඇත.

චිත්‍රපටය රූප ගත කරද්දී සිදුවන අනතුරට මුහුණ පාන මොහොතේ ගීතයේ රූප ගත වෙමින් පැවතුණේ එහි ගීතයේ එන මේ දෙපදයම වීම කෙතරම් දෛවෝපගත කරුණක් ද?

වංගු බෝ වැඩියි දැන් ඉතින් මේ මාර්ගයේ

හොඳ ප්‍රවේශමෙන් යන්නකෝ සුදා මගේ