දැන් මට ඕනෑ ඇනිමේෂන් චිත්‍රපටයක් කරන්න

ආයූ තැනූ-චත්‍ර වීරමන්
නොවැම්බර් 11, 2021

 

සිනමාව කියන්නේ මෙහෙම දෙයක් කියලා නිශ්චිත අර්ථකථනයක් කියන්නත් බෑ

මං ‘පොර’ වෙයි කියලා නිර්මාණ කරන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි තක්කඩිකමකුත් තිබෙනවා

 

ප්‍රශ්න තිබෙන බව කියමින් හිටියොත් අපි හැමදාම එක තැන පල් වෙනවා

 

 

'ආලෝකෝ උදපාදි' සිනමා කෘතියෙන් ලාංකික ප්‍රේක්ෂකයන්ට පළමු වරට ආමන්ත්‍රණය කළ චත්‍ර වීරමන් ඒ සඳහා 2018 සරසවිය සම්මාන උලෙළේදී වඩාත් සිනමාකර්ෂණීය කෘතියට හිමි සම්මානය ඇතුළු සම්මාන අටක් දිනාගන්නට සමත් විය. ඕසීඅයිසී වැනි අනෙකුත් සිනමා උලෙළ ද නියෝජනය කරමින් ඔහු සිය කුලුඳුල් චිත්‍රපටය සඳහා ලබාගත් සම්මාන සංඛ්‍යාව තිහකට ආසන්නය. ඊට පෙර ඔහු නිර්මාණය කළේ 'සයිලන්ට් නෝට්' නම් සජීවීකරණ කෙටි චිත්‍රපටයයි. ඔහුගේ දෙවැනි සිනමා සිත්තම වන 'ආයු' පසුගිය දා ආසියාවේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට බැංගලෝරයේ Inovative International Film Festival  නම් උලෙළේදී සමත් විය. ඒ සම්මානයට සුබ පතමින් අද අප චත්‍ර වීරමන් සමඟ කතාබහ කරන්නේ සිනමාකරණය පිළිබඳ හැදෑරූ නව පරපුරේ සිනමාකරුවකු ලෙස ඔහු මේ ක්ෂේත්‍රය පිළිබඳ දරන අදහස් දැනගැනීමටයි.

 

ඔබ සිනමාවට පිවිසි හේතුව මුලින්ම සඳහන් කරමු?

මට සජීවීකරණය (ඇනිමේෂන්) පිළිබඳ ආසාවක් ඇති වුණේ අයියා නිසා. අනුරාධ වීරමන් අයියා සහ මා අතර තිබෙන්නේ අවුරුදු අවුරුදු 6 ක පමණ පරතරයක්. පොඩි කාලේ ඔහු පරිගණකය භාවිත කරන කොට මම ඒ දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඔහු මේ වන විට software architect  කෙනෙක්. සංගීතයේදී වුණත් නිතර ප්‍රධාන ධාරාවේ සංගීතයට වඩා ස්වාධීන කලාකරුවන්ගේ ගීත ඔහු අගය කළා. මටත් පොඩි කාලේ ඉඳන්ම ඒ ආභාසය ලැබුණා.

ඒ අතර තාත්තගේ (මෑතක අප අතරින් වියෝ වූ සමන් වීරමන් මහතා) නිර්මාණවලත් පළමුවෙනි විචාරකයා වුණේ අයියා. ගෙදර ඒ තිබුණු පරිසරය මට නිරන්තර බලපෑවා. තාත්තා කිරිමදුවැල් චිත්‍රපටය සම අධ්‍යක්ෂණය කළා. සංගීතඥ ප්‍රේමසිරි කේමදාස මහතාගේ මානස විල සඳහා නිෂ්පාදනයෙන් දායක වී තිබුණා. මම ඒ වෙනකොට ඉතාම පුංචි යි. ඒත් තාත්තා මාව නිරන්තර ඒවට ගෙනිච්චා. මම මුල් වරට ශාලාවක නැරඹූ චිත්‍රපටය වුණේ 'ටෝයි ස්ටෝරි' එය සජීවිකරණ චිත්‍රපටයක්. ඊට පස්සේ ජුරාසික් පාර්ක්. ඒ වයසට අපට හැමදේම පේන්නෙත් තරමක් විශාලව. විශේෂයෙන් සාමාන්‍ය වැඩිහිටි කෙනෙක්ට වඩා පොඩි අයට හැමදේම තරමක් විශාලව පේනවා ඒ නිසා larger than life  කියන දේට මම පොඩි කාලේ ඉඳන්ම කැමති වුණා.

'සයිලන්ස් නෝට්' සජීවීකරණ චිත්‍රපටය ඔබේ කුලුඳුල් නිර්මාණය?

ඔවු. මම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගනිද්දී උසස් පෙළ සඳහා කළේ ගණිත විෂය ධාරාව. කලාවට ආශා කළත් අපට කැමැති විෂයයන් කිරීම සඳහා ක්‍රමයක් තිබුණෙ නෑ. 6 වසරෙ ඉඳන්ම මම ඇනිමේෂන් පැත්තට නැඹුරු වෙලා හිටිය නිසා නමය වසරේදී පමණ තාත්තා මාව ග්‍රැෆික් පාඨමාලාවකට ඇතුළත් කළාම තමයි හරියටම ඒ ඒ දේ කරන්න පටන් ගත්තේ.

උසස් පෙළින් පස්සේ මම උසස් අධ්‍යාපනය සඳහා මැලේසියාවට ගියා. මම එහිදී සිනමාව සහ සජීවීකරණය පිළිබඳ (film and animation) උපාධිය හැදෑරුවා. අවුරුදු පහක් අවසානයේ ව්‍යාපෘතිය ලෙසයි 'සයිලන්ට් නෝට්' කෙටි චිත්‍රපටය නිර්මාණය කළේ. ඒ සඳහා මා සමඟ තව තිදෙනෙක් සම්බන්ධ වෙලා හිටියා.

ලංකාවට ඇවිත් මා සමඟ සම අධ්‍යක්ෂණය කළ භාරත හෙට්ටිආරච්චි, කලත් වර්ණකුලසූරිය, සමීර ප්‍රනාන්දු, ෂෙහාන් ඔබේසේකර වැනි සහෝදර ශිල්පීන් මට මුණගැසුණෙත් මැලේසියාවේ සිටි කාලෙ.

මම උත්සාහ කළේ ඒ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන අන්තර්ජාතික මට්ටමේ නිර්මාණයක් කරන්න මොකද ලංකාවට ආ විට නිෂ්පාදකවරුන් සොයා ගැනීමේදී මම විධිමත් අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් බව පෙන්වන්න එය හුඟාක් වැදගත් වෙයි කියා සිතුණ නිසා.

 

ඒ විශ්වාසය සැබෑ වුණා?

තාත්තා සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙන් හොඳ ආදායමක් ලබා තිබූ නිසා නිෂ්පාදකවරුන්ට අවශ්‍යව තිබුණා තාත්තා සමඟ එකතුව බෞද්ධ තේමා ඔස්සේ චිත්‍රපට කරන්න. මට අවශ්‍යතාව තිබුණේ ඇනිමේෂන් චිත්‍රපටයක් කරන්න. ඒත් එය බොහෝ සම්පත් අවශ්‍ය කටයුත්තක් නිසා මගහැරුණා. ඒ අතර තාත්තට වුවමනාව තිබුණා ඊළඟ සිනමා ව්‍යාපෘතිය මට පවරන්න. එය මා සමඟ විශ්වවිද්‍යාලයේ සිටි මිතුරන්ට වගේම අලුතෙන් මේ කර්මාන්තයට අවතීර්ණ වන්න කැමැත්තෙන් සිටි කීප දෙනෙකුටම හොඳ අවස්ථාවක් වුණා. නිෂ්පාදක තුසිත විජයසේන මහත්මයා අප කෙරෙහි ලොකු විශ්වාසයක් තැබූ නිසා මිසක ලේසියෙන් ආධුනිකයෙකුට ඒ වගේ ලොකු පිරිවැයක් දරන චිත්‍රපටයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ආලෝකෝ උදපාදි නිසා ලාංකේය සිනමාව පිළිබඳ අපට විශාල අවබෝධයක් ලබන්න අවස්ථාව ලැබුණා.

 

මොන වගේ අවබෝධයක්ද?

අප ඒ වන විටත් තාක්ෂණික දැනුමක් සහ සෛද්ධාන්තික දැනුම ලබා සිටියා. ඒත් වසර ගාණක් පුරා මෙරට සිනමා කර්මාන්තය තුළ ගොඩනැඟී ඇති ක්‍රමවේදය අප ඉගෙනගත් දේවල්වලට වඩා බොහෝ පරස්පරයි. අවිධිමත් දේවල් බොහෝ තිබුණා. මෙයට හේතුව අපේ තිබෙන දුප්පත්කම. ඒ නිසා ඇතිවන සීමාවන් හඳුනාගෙන වැඩ කිරීමේ ක්‍රමය තමයි අපට ඉගෙන ගන්න සිදු වුණේ.

 

ඒත් ඔබට සම්මාන හිමි වුණා?

සරසවිය ඕසීඅයිසී ඇතුළු සම්මාන 30ක් පමණ ආලෝකෝ උදපාදි වෙනුවෙන් අපිට දිනාගන්න හැකි වූණා. ඒ වගේම අපට අන්තර් ජාතික මට්ටමේ ඒ ශ්‍රේණියේ සිනමා උලෙළ දෙකකත් තවත් උලෙළ රැසකත් චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගන්න හැකි වුණා. හැබැයි මම යළි ඓතිහාසික චිත්‍රපටයක් කරයිද කියන්න බැහැ සමහර විට ආලෝකෝ උදපාදී මගේ ප්‍රථම සහ එකම ඓතිහාසික චිත්‍රපටිය වන්නත් පුළුවන්.

 

හේතුව?

ඇත්තෙන්ම මට කිසිම විදිහකින් අවශ්‍ය වුණේ නැහැ එකම ප්‍රවර්ගයක චිත්‍රපට කරන්න. මම නිතර කැමැති කුතුහලය දනවන කතා ඉදිරිපත් කරන්න. ඒ තුළ නිරන්තර අභියෝගයක් පවතින්නත් ඕන වුණා. 'ආයු' නිර්මාණය වුණේ ඒ අනුව.

 

ඒ කියන්නේ ආයු වලින් පස්සේ තවත් ප්‍රචාරයක් ඔබ සොයනවා?

එකක් නෙමෙයි කීපයක්. ඒ අතරින් එකක් දැන් හොඳීන් සැලසුම් කර තිබෙනවා. එය කලින් චිත්‍රපට දෙක ළඟින්වත් යන්නෙ නැහැ. ඇත්තටම මට අවශ්‍යයි ඇනිමේෂන් චිත්‍රපටයකුත් කරන්න. නැත්නම් අඩුම තරමේ එහෙම චිත්‍රපටයක් කරන්න පුළුවන් තැනකට ගේන්න. ඒත් අපට තිබෙන සම්පත් ඉතාම අඩුයි.

 

'ආයු' සහ එයට ලැබුණු සම්මානය ගැන කීවොත්?

ඇත්තටම අධ්‍යාපනයෙන් අපට ලැබුණ ප්‍රායෝගික දැනුම ඊළඟට ක්‍රමවත්ව භාවිත කරන්න පුළුවන් වුණ හොඳම තැන තමයි 'ආයු' කියන්නේ. ආලෝකෝ උදපාදී සිට ආයු දක්වා අවුරුදු හතරක කාලයක් ගත වුණා ඒ අතර මම මේ කර්මාන්තයේ බොහෝ හැකියාවන් සහ පෞරුෂයන් පිළිබඳ හොඳීන් පර්යේෂණ කරලා නිර්මාණයට අවශ්‍ය හරිම කෙනා හරිම අවස්ථාවේදී තෝරාගන්න පුළුවන් මට්ටමකට පැමිණ සිටියා. ඒ සියලු දේට අවශ්‍ය පරිසරය ගොඩනඟමින්, පූර්ණ සහය දුන් නිෂ්පාදක වුණේ හිටපු හමුදාපති දයා රත්නායක මහත්මයා.

අපි සම්මාන උලෙළ කිහිපයකටම සහභාගි වුණා. ඒවායේ නිල තේරීම්වලටත් ලක් වුණා. ඒ අතර අපට සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයෙන් ආරාධනාවක් ලැබුණා බැංගලෝරයේ Inovative International Film Festival  (ඉනොවේටිව් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්) සඳහා ලංකාවේ නියෝජනය හැටියට සහභාගී වන ලෙස. අපි ඔක්තෝබර් 16 වැනිදා බැංගලෝර්හි චිත්‍රපටය ප්‍රදර්ශනය කළ පසු 17වෙනිදා අපට සම සම්මානය ලැබෙනවා හොඳම ආසියානු චිත්‍රපටය (Best Asian Film)හැටියට. අනෙක් චිත්‍රපටය ඉන්දුනීසියාවෙන් දිරිපත් වුණ එකක්. මීට පෙරත් තරගකාරී අංශවලින් ආයු සඳහා සම්මාන කිහිපයක් ලැබුණා ඒත් මෙය ඊට වඩා වෙනස්.

 

මෙරට සිනමාව පිළිබඳ ඔබේ අදහස?

මොන දේ කළත් පැහැදිලි කරගත යුතු ප්‍රධානම කාරණය තමයි ලංකාවේ වෙළෙඳපොළ. අපි හීන මවනවා අපේ සිනමාව කවදා හෝ බොලිවුඩ්, හොලිවුඩ් එකක් වන බවට. ඒත් ඒක හීනයක්ම පමණයි. මොකද අපේ වෙළෙඳපොළත් සමඟ අපට යා හැකි දුරක් තිබෙනවා. එහෙත් අපට මෙය පුළුල් කර ගත හැක ක්‍රමවේදත් තිබෙනවා. ඒ තමයි ලාංකික ප්‍රේක්ෂකයන්ට වගේම අන්තර්ජාතික මට්ටමේ ප්‍රේක්ෂකයන්ට ගැළපෙන නිර්මාණ කිරීම. එය අපේ කර්මාන්තයේ උන්නතියට අනිවාර්යනේම බලපානවා වගේම එමඟින් තමයි අද අපට දකින්න තිබෙන අර්බුදවලින් ගොඩ එන්න හැකි වන්නේ. ප්‍රශ්න තිබෙන බව කියමින් හිටියොත් අපි හැමදාම එක තැන පල් වෙනවා. චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයේ ඇති අක්‍රමිකතා වැනි කතා කළ හැකි බොහෝ දේ තිබුණත් සියලු ප්‍රශ්නවල මුල හැටියට මම දකින්නේ වෙළෙඳපොළ ම තමයි. ඒ වගේම බොහෝ දෙනා චෝදනා කරනවා අද සිනමාවේ තරු නැති බවට. එයට හේතුව හෙව්වත් අපිට කියන්න තියෙන්නේ ප්‍රේක්ෂක වෙළෙඳපොළ සීමා වීමම තමයි.

ඔබේ පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳ ඔබේ අදහස?

ඇත්තටම අලුත් රංගන ශිල්පී ශිල්පිනියන්ගේ සාධනීය නොවන ලක්ෂණයක් කියලා හොයාගන්න මට නැහැ. ඔවුන් උපරිමයෙන්ම තරුගුණය පවත්වා ගන්න උත්සාහ කරන පිරිසක්. එහෙත් ඔවුන්ට තරු ලේබලය වදින්න තරමට වෙළෙඳපොළ හැඩ ගැසී තිබෙනවා ද යන්න මට ප්‍රශ්නයක්.

 

දුරකතන කැමරා ආදියෙන් සිනමා නිර්මාණ කිරීම පිළිබඳ ඔබේ මතය?

ඒක අපට බාර ගන්න වෙනවා, වලක්වන්න බෑ. ඒවාත් විකල්ප සිනමා ක්‍රම. හැබැයි සිනමාව කියන්නේ මෙහෙම දෙයක් කියලා නිශ්චිත අර්ථකථනයක් කියන්නත් බෑ. කාලෙන් කාලෙට එයත් වෙනස් වෙනවා ආරම්භක සිනමාව තිබුණු ආකාරයෙන් නෙමෙයි දැන් සිනමාව තියෙන්නෙ මිනිස්සුන්ගේ ඇතුළාන්තයෙන් සිදු වන විකාශනයත් සමඟ සිනමාවත් වෙනස් වෙනවා. මතකනේ ලුමියර් සහෝදරයෝ මුලින්ම කෝච්චියක් පෙන්නපු වෙලාවේ මිනිස්සු බය වෙලා දිවුවා කියනවා. ඒත් දැන් එහෙම වෙන්නේ නෑ. ඒ තමයි පළමුවෙනියටම මිනිසා සිනමාව හඳුනාගත් විදිය. ප්‍රේක්ෂකයාගේ අත්දැකීම අනුව මිනිසා සමගම සිනමාව විකාශනය වෙනවා. ඒ නිසාම නිශ්චිතවම සිනමාව කියන්නේ මෙයයි කියලා කියන්න බෑ.

 

ඒ කියන්නේ රිදී තිරය කියන එකත් වෙනස් වෙයි ?

එහෙම වෙන්න පුළුවන්. එය බාරගන්න අකමැති අය එයට වෙන වචනයක් දාගනී විකල්ප සිනමාව කියලා.

 

නෙට්ෆ්ලික්ස් වැනි වේදිකා සඳහා චිත්‍රපට කරන්න ඔබ අරමුණු කරනවාද ?

අනිවාර්යනේම. ඔය ඕඩීපී ප්ලැට්ෆෝර්ම්වලට චිත්‍රපට කරන එක ඉදිරියේ දී කළ යුතු දෙයක් බවට පත් වේවි. බොහෝ නිර්මාණකරුවන් ඒ වේදිකා සඳහා නිර්මාණ කිරීමටත් පෙලඹේවි. අපේ තිබෙන අර්බුදවලටත් විසඳුම් ඒ තුළ තිබෙනවා. අද බොහෝ වෙලාවට නෙට්ෆ්ලික්ස් බලද්දි පැහැදිලිව පෙනෙනවා එහි සිටින නිර්මාණකරුවන් ප්‍රධාන ධාරාවේ නිතර දකින අය නොවෙයි අලුතෙන් එන අය. හැකියාවක් ඇති තරුණ පිරිසට වගේම ප්‍රධාන චිත්‍රාගාරවල වැඩ කිරීමට අවස්ථාව නොලැබෙන පිරිසට මේ වේදිකා හොඳ තෝතැන්නක් වෙලා. එනිසා එය ඉදිරියේදී අපේ රටෙත් එය වර්ධනය වෙයි කියලා මම විශ්වාස කරනවා. එහිදීත් අපට මුහුණ දෙන්න වන එකම අභියෝගය ලංකාවේ ප්‍රේක්ෂකයා කියන වෙළඳපොළට එහා ගිය අන්තර්ජාතික වෙළෙඳපොළ වෙනුවෙන් නිර්මාණ කිරීමට සිදුවීමයි. එහෙම නොවුණොත් ඒ වේදිකාව තුළ පවා නිර්මාණකරුට පැවැත්මක් නැතුව යයි.

 

ඒ වෙළෙඳපොළ සඳහා කරන නිර්මාණ ඔබ හිතන ආකාරයට වඩාත් යොමුවිය යුත්තේ ආත්ම කතනයටද ප්‍රධාන ධාරාවටද?

අන්තර්ජාතික වශයෙන් සිනමාව සැලකූ විට ඔය බෙදුම් රේඛාව මැකී ගිහින් වගේ පේන්නේ. ඉදිරියට එන ප්‍රවණතාව වන්නේත් එයයි. මම ආයු චිත්‍රපටියෙදි පුළුවන් තරම් උත්සාහ කළේත් ඉදිරියේදී උත්සාහ කරන්නේත් ඒ ආකාර දෙකම එකතුවුණු නිර්මාණ සඳහා යොමුවන්න.

 

ඒත් අද තරුණ නිර්මාණකරුවන් බොහෝ දෙනෙකු 'කලාත්මක' ගණයේ චිත්‍රපට සඳහා යොමු වන ප්‍රවණතාවයක් දක්නට තිබෙනවා?

එය බොහෝ විට සිදු වන්නේ අධ්‍යාපනය නිසායි. අප සතුව තිබෙන චිත්‍රපට ඉගැන්වීමේ ආයතනවල සන්නිවේදනය ප්‍රශ්නයක් එය. ඒවායේ අනිවාර්යයෙන් පෙන්වන චිත්‍රපට ටිකක් තිබෙනවා. ඒ දැක්ම අවිඥානකව හෝ ශිෂ්‍යයා තුළ ගොඩනැගෙනවා. මේ තමයි සිනමාව කියන අදහස අනුව ඔවුන් උත්සාහ කරනවා ඒ වගේ චිත්‍රපට කිරීමට. මම දන්න සිනමාව කියන්නේ ස්වාධීනව තමන් තුළින් අවංකවම මතු විය යුතු දෙයක්. බර්ග්මාන්ගේ හෝ තර්කෝව්ස්කිගේ චිත්‍රපට බලලා ඒ ආකාරයෙන්ම චිත්‍රපට තැනිය යුතුයි කියලා හිතන අය ඉන්නවා. ඇත්තෙන්ම ඒ කතා කරන දේවල් තමන්ගේ හදවතට ආමන්ත්‍රණය කරනවා නම් එවැනි නිර්මාණ කළාට කමක් නැහැ. හැබැයි බලෙන් එය ග්‍රහණය කරගන්න යන්න අවශ්‍ය නෑ. තමන්ගේ රසයට අනුව චිත්‍රපට කිරීමයි සිදුවිය යුත්තේ. අපේ ජීවිතවලට ආදර්ශ තිබෙනවා. සමහර විට ඒ සිනමාකරුවෙකු හෝ ආයතනයේ දේශකයෙකු හෝ විය හැකියි. ඒත් සිදුවිය යුත්තේ තමන්ගේ ස්වාධීන නිර්මාණයක් කිරීම මිස ඒ ආදර්ශය මත පදනම්ව තමන්ගෙ නිර්මාණය කිරීම නොවේ. මොන විදියකින් හෝ මිනිසුන් හිනැස්සීම හෝ බය කිරීම වැනි දේ ලේසි පහසු වැඩ නෙමෙයි. ඒ වගේ දෙයක් කිරීම බාරගන්න නිර්මාණකරුවාත් ඇත්තෙන්ම 'මාර පොරක්'. ලෝකෙ හොඳ වාණිජ චිත්‍රපටත් තිබෙනවා. තමන් බුද්ධිමත් කියලා පෙන්වන්න හිතාගෙන සහ මෙයින් මං පොරක් වෙයි කියලා නිර්මාණ කරන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි තක්කඩිකමකුත් තිබෙනවා. තමන්ට අවංක නැති, හදවතට නොදැනෙන තැනක ඉඳගෙන නිර්මාණ කරනවා නම් ඔහු සැබෑ නිර්මාණකරුවෙක් නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය විවිධ න්‍යාය පත්‍ර සම්පූර්ණ කර ගන්නයි.

 

ඔබ අධ්‍යක්ෂවරයා යන්න හඳුනාගන්නේ කෙසේද?

හරියටම කිව්වොත් මානව සම්පත් ඇතුළු සියලුම සම්පත් සහ හැකියාවන් නියමාකාරයෙන් පරිපාලනය කරන කෙනා තමයි අධ්‍යක්ෂවරයා ලෙස මම හඳුන්වන්න කැමැති. ඒ වගේම හරි විදිහට සන්නිවේදනය කරන්න පුළුවන් නම් ඔහු තමයි දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන්නේ. සිනමාව යනු තනිව කරන දෙයක් නෙවේ. ඒ සඳහා පිරිසක් අවශ්‍යයි. අධ්‍යක්ෂවරයා නියම තැනට නියම කෙනා සහ නියම දෙය යොදා ගත්තොත් පමණයි මේ සියල්ල නියමාකාරයෙන් සැකසෙන්නේ. හරියට බිල්ඩිං බ්ලොක්ස් වගේ. එහෙම නොවුණොත් බිල්ඩිම විකෘති වෙලා ඇද වෙලා තියෙයි.

 

හොඳ චිත්‍රපටයක් සඳහා අවශ්‍ය ප්‍රධාන කරුණ මොකක්ද?

අපි ඕනම කෙනෙක් පිළිගන්න දෙයක් තමයි 'story is the king'  (කතාව තමයි ප්‍රධාන) කියන එක. ඒ නිසා පිටපතටත් වඩා කතාව තමයි වැදගත් වන්නේ. ජංගම දුරකථනයෙන් බැලුවත් 'වැඩේ මරු' කියලා කියන්න හේතු වෙන්නේ ඔය කියන ආඛ්‍යානය හොඳ වීමයි.

 

නළු නිළියන් තෝරා ගැනීමේදී ඔබේ නිර්ණායක?

ප්‍රධාන නළුවකු හෝ නිළියක් නම් ඒ සම්මුඛ පරීක්ෂණය එක දවසකින් පමණක් නිමවන එකක් නෙමෙයි. අදියර කිහිපයකින් සිදුවන එකක්. යම් තෝරා ගැනීමකින් පසු අපි ඔහු හෝ ඇය පිළිබඳ අධ්‍යයන කරනවා. ඔහුගේ පසුබිම අපි සොයා බලනවා. පසුබිම යන්නෙන් මා මෙහිදී අදහස් කරන්නේ ඔහුගේ පවුල් පසුබිම නෙමෙයි. ඔහු හෝ ඇය ලෝකෙ පිළිබඳ කියවා ගන්නා ආකාරයයි. ඒ වගේම ඔහුගේ පසුබිම කියන දේ කෘතියේ චරිතය ගොඩ ගොඩනැගීමේදී මිනිසුන්ගේ මනෝභාවයන් ආදිය හඳුනා ගැනීමට වැදගත් වෙනවා. පොතපත කියවන, ලෝකය පිළිබඳ කියවීමක් තිබෙන, සමාජය පිළිබඳ දැනීමක් ති‌‌බෙන කෙනෙකුට චරිතයක් ග්‍රහණය කරගන්න පුළුවන් කියන විශ්වාසය අප තුළත් ගොඩනැගෙනවා. විශේෂයෙන් ආධුනිකයකු නිර්මාණයකට යොදා ගන්නවා නම් කියවීම කොතරම් ද යන්න පිළිබඳව ඒ පියවරෙන් පියවර ගොඩනඟා ගන්නා ක්‍රියාවලිය තුළ තමයි ඇතැම් විට චරිත ලබා දීම පවා තීරණය වන්නේ.

 

රංගන පාසලක් තිබුනානම්?

තිබුණානම් හොඳයි. මොකද අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරැද්ද නිසා එක දිශානතියකට තමයි හැමවිටම අධ්‍යයනය යොමුවන්නේ. එහෙම නොවී ක්‍රමවත් කරන්න පුළුවන් නම් අධ්‍යාපනය ඉතා වටිනවා. යමක් වුණාම එය සිදු වන්නේ මොකද කියන හේතුව සොයා ගැනීම සමහර විට අත්දැකීමෙන් පමණක් කරන්න බැහැ. හැබැයි අධ්‍යාපනය ලබා දෙන අයටත් ලොකු වගකීමක් තිබෙනවා ස්වාධීන මාවතකට ශිෂ්‍ය අධ්‍යාපනය යොමු කිරීමට.

 

ලංකාවේ වී එෆ් එක්ස් ගැන ඔබේ අදහස?

මේ විෂයය ඔස්සේ අපට යා හැකි සීමාවක් තියෙනවා. නිර්මාණයකට වැය කළ හැකි පිරිවැය මත සහ ඒ විෂය පිළිබඳ දැනුම ඇති පිරිස මත දේවල් වෙනස් වෙනවා. විශේෂයෙන් හොලිවුඩ්වල චිත්‍රපටයක් සඳහා දහදාහක් විසිදාහක් පමණ ශිල්පීන් සංඛ්‍යාවක් එක් නිර්මාණයක වීඑෆ්එක්ස් වෙනුවෙන් කැපවෙනවා. එත් ලංකාවේ මේ විශේෂ සඳහා ඉන්න සියලුම ශිල්පීන් එකතු කරත් ඒ තරම් නොවෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා අපිට සීමාවක් තිබෙන බව. එය හඳුනා ගැනීම තමයි ප්‍රධානම කාර්යය. අපිට ඕනේ තරම් හීන තිබෙන්න පුළුවන්. ඒත් අපි යම්කිසි මට්ටමකදි පොළොවට පැමිණ සිතන්න වෙනවා අපට තිබෙන දේ තුළ කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව

 

තාත්තා ගැනත් කියන්න ඔබට යමක් ඇති?

මේ සියලු දේට මූලික වුණේ තාත්තා සමන් වීරමන් ඇත්තෙන්ම ඔහු මුදල් නෙමේ හම්බ කළේ මිනිසුන්. තාත්තට ඕනෙ වුණා මට මේ හැම අවස්ථාවක්ම ළඟාකර දෙන්න. ආයු චිත්‍රපටිය පසුගිය ජනවාරි 21 වෙනිදා ශාලාවේ නරඹන්න තාත්තට හැකිවීම මට ලොකු සතුටක් තාත්තාට තාත්තගේ කාර්යභාරය අවසන් කියා මුලින්ම හිතුණේ 'ආලෝක උදපාදි' චිත්‍ර පටය අවසන්වූ වෙලාවේ. ඒ නිසාම ආයු චිත්‍රපටය මම කැමති විදියටම ස්වාධීනව කරගන්න තාත්තා මට ඉඩ දුන්නා.

 

මේ මොහොතේ ඔබේ ප්‍රේක්ෂකයන්ට සහ හිතවතුන්ට දෙන්න තිබෙන පණිවිඩය?

සිනමාව කියන දේ පිළිබඳව නිශ්චිත අර්ථකථනයක් නැහැ, සීමා විය යුතුයි කියලා දෙයකුත් නැහැ වගේම අපි දන්නවා කොරෝනා ව්‍යසනය සමඟ අපේ ජීවන ක්‍රමය වෙනස් වුණා නව සාමාන්‍යය කියන දේ සමඟ විවිධ විනෝදාස්වාද වෙත අප යොමු වුණා. කොහොමත් විනෝදාස්වාදය කියන දෙයට තිබෙන ඉල්ලීම කවදාවත් අඩු වෙන්නේ නෑ. මිනිසුන්ට විනෝදාස්වාදය කියන දේ අත්‍යවශ්‍යයි. කොරෝනාව සමඟ එය තවත් දැඩිව දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා නිතරම නිර්මාණකරණය ගැන හිතන්න පුරුදු වෙන්න. මේ නිවාඩුව භාවිත කරලා තව තවත් නිර්මාණකරණයට යොමු වෙන්න කියලා තමයි සිනමාව හා සම්බන්ධ අයට මෙන්ම අනිත් නිර්මාණකරුවන්ට කියන්න තියෙන්නේ.