‘ද නිව්ස්පේපර්’ දිනූ බැංගලුරු උලෙළේ ආසියාවේ හොඳම චිත්‍රපටය සම්මානය පැහැර ගත්තේ කවුද?

මාර්තු 24, 2022

 

පුවත්පතක පළ වූ පුවතක් නිසා සිදුවන අසාධාරණයට එරෙහි වන්නට අහිංසක ගැමියන් දෙදෙනෙකු ගන්නා උත්සාහය සහ මාධ්‍ය මාෆියාවේ ස්වභාවය මොනවට හුවා දක්වන 'ද නිවුස්පේපර්' චිත්‍රපටය ඒ ආකාරයේම අත්දැකීමකට මුහුණ දීම කෙතරම් දෛවෝපගතද? බැංගලූරු අන්තර්ජාතික සිනමා උලෙළ යනු මේ වන විට ජගත් පිළිගැනීමකට ලක් වූ සිනමා උලෙළකි. 1996 වසරේ සුචිත්‍ර සිනමා සංගමය මඟින් සුචිත්‍ර බැංගලෝර් සිනමා උලෙළ ලෙස ඇරඹූ එය මේ වන විට කර්නාටක චලන චිත්‍ර ඇකඩමිය විසින් සංවිධානය කරන්නේ කර්ණාටක ප්‍රාන්තයේ අනුග්‍රාහකත්වය යටතේය. ලොව පුරා චිත්‍රපට හා වාර්තා වැඩසටහන් සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරමින් 2006 වසරේ සිට අන්තර්ජාතික උලෙළක් බවට පත් වූ එය මෙවර පැවැත්වූයේ 13 වැනි වතාවටයි.

2020 වසරේ තරගකාරී අංශයට ඉදිරිපත් කෙරුණු 'ද නිවුස්පේපර්' චිත්‍රපටය බැංගලූරු අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම ආසියාතික චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ මාර්තු 10 වැනිදා පැවැති උත්කර්ෂවත් උත්සවයේදී සියලු මාධ්‍ය ඉදිරිපිටය.

එය ඉන්දියානු සිනමා උලෙළකදී මුල්ම වරට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටය කළ ජයග්‍රහණය සිහි කරවන්නක් වූවා පමණක් නොව ලාංකේය සිනමාව අර්බුදයක පවතින බව පැවසෙන මොහොතක සිනමාලෝලීන්ගේ සිත්කතරට ඉසි පැන් බිඳක් සේ විය. එසේම එය අපේ රටේ නිර්මාණශීලීත්වය ලද ඉමහත් ගෞරවයක් විය.

කෙසේ වෙතත් පවතින කෝවිඩ් -19 වසංගත තත්ත්වයේ බලපෑම යටතේ සිනමා උලෙළට විදේශිකයන් සහභාගී නොකරගැනීම හේතුවෙන් සිනමා උලෙළේදී සම්මානය දෝතට ගැනීමේ වාසනාව මෙහි අධ්‍යක්ෂවරුන් දෙදෙනා වනකුමාර තිරමාදුරට සහ සරත් කොතලාවලට ද ප්‍රධාන නිෂ්පාදක වන අමාත්‍ය බන්දුල ගුණවර්ධනටද අහිමි විය. එහෙත් උලෙළේ සජීවී විකාශය නරඹමින් ඔවුහු ඒ සතුට විඳ ගත්හ. ද හින්දු වැනි පිළිගත් පුවත්පත් මෙන්ම දූරදර්ශන් වැනි ඉන්දියාවේ ප්‍රධාන නාලිකා ඒ පුවත මාර්තු 11 වැනිදා වාර්තා කළේ 'ආසියාවේ හොඳම චිත්‍රපටය ලංකාවෙන්' යන අදහස කැටි වූ ප්‍රවෘත්ති සමඟිනි.

එහෙත් ඒ සතුට පැවතියේ දින දෙකක් පමණි. බැංගලූරු අන්තර්ජාතික සිනමා උලෙළේ ට්විටර් ගිනුම හා මුහුණු පොත මාර්තු 12 වැනිදා වන විට පවසන්නට වූයේ ආසියාවේ හොඳම චිත්‍රපටය ලංකාවෙන් නොවන වගයි. එසේ උත්සවාකාරයෙන් එය පැවසීම මානව අත්වැරැද්දක් ලෙස පෙන්වාදීමට ඔවුහු තැත් කරති.

එහෙත් අන්තර්ජාතික සම්මාන උලෙළක් යනු පෙරපාසලක උත්සවයක් නොවේ. පළමුවැනියාට සම්මානය දුන්නේ වැරදීමකින් බවත් හරි පළමු වැනියා දෙවැනියා බවත් පැවසීමට තරම් ළාමක සංවිධානයක් ලෙස වසර 13ක් පැවැත් වූ අන්තර්ජාතික සිනමා උලෙළක් හැඳීන්වීමට අප කෙසේවත් උත්සුක වන්නේ නැත. එසේම එවැනි 'අත්වැරදීම්' ඔත්තේ සංඛ්‍යාවකින් සැදි අන්තර්ජාතික විනිසුරුවන් පිරිසකගෙන් යුත් ජූරි සභාවකින් හෙබි තීරණයක මෙන්ම හේතු පාඨ සහිතව ලබා දෙන සම්මානයකට පවතී යැයි අපට විශ්වාස කිරීමටද නොහැකිය. අනෙක් අතට මෙය ඔලිම්පික් තරගාවලියක පදක්කමක් මෙන් තහනම් උත්තේජක භාවිත කිරීම නිසා යැයි ඒත්තු ගන්වා දෙවැනියාට රන්පදක්කම ලබා දිය හැකි භෞතික ශරීරයක් සහිත තරගකරුවන්ගේ තරගයක් ද නොවේ. වට ගණනාවකින් තේරී පෙරී ආ චිත්‍රපට සිය ගණනකින් අවසන් වටයේ දී ජයග්‍රාහී සිනමා පටය ලෙස ජූරියකින් ගත් විනිශ්චයක ප්‍රතිඵලයකි.

'ද නිවුස්පේපර්' කතා පුවතේ අදාළ ප්‍රවෘත්තිය නිවැරැදි නොකෙරුණා මෙන් ශ්‍රී ලාංකික චිත්‍රපටයකට ලැබුණු මේ විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළ පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවලින් මේ වෙනස පළ නොකෙරෙන තාක් ලෝකයම පිළිගන්නේ බැංගලූරු අන්තර්ජාතික සිනමා උලෙළේ 2020 සඳහා ආසියාවේ හොඳම චිත්‍රපටය 'ද නිවුස්පේපර්' බවය. අපි ද එසේ වෙමු. එසේම බැංගලූරු අන්තර්ජාතික උලෙළ සංවිධායකයන් ප්‍රසිද්ධියේ ලබා දුන් සම්මානය දෙදිනකට පසුව රහසේ වෙනස් කිරීම සදාචාරාත්මක නොවන බවද ලොවම පිළිගන්නවා නිසැකය. එසේ කරනවා නම් ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් මඟින් හෝ නිසි ප්‍රචාරයක් ලබා දී එය නොකරන්නේ මන්ද? අත්වැරැද්දක් වූවා නම් උලෙළ පවතින මොහොතේම එය නිවැරැදි නොකළේ මන්ද?

මේ පිළිබඳ අපි චිත්‍රපටය මේ උලෙළට යොමු කෙරූවන්, සිනමා උලෙළ විනිශ්චයකරුවන්, චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගෙන් විමසුවෙමු.

 

 

 

අන්තර්ජාතික උලෙළක අත්වැරදීම් බෑ

අන්තර්ජාතික සිනමා උලෙළ - ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක -

ඈෂ්ලි රත්න විභූෂණ

මේ බැංගලුරු අන්තර්ජාතික සිනමා උලෙළ පැවැත්වුණේ 13 වැනි වතාවට. මෙහි ජුරිය මාර්ගගත (Online) ක්‍රමයටත් උලෙළ සාමාන්‍ය පරිදි පිරිසගේ සහභාගීත්වයෙනුත් පැවැත්වුණා.

2020 හා 2021 යන දෙවර්ෂය සඳහාම සම්මාන ලබාදීම සජීවීව ලොව පුරා ප්‍රේකෂකයන්ට නැරඹීය හැකි අයුරින් විකාශය කළා. ඒ සජීවි විකාශයේ 2020 හොඳම ආසියාතික චිත්‍රපටය ලෙස සම්මානය ලැබුවේ ශ්‍රී ලංකාවේ කුමාර තිරමාදුර සහ සරත් කොතලාවල විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටය බව නිවේදනය කළා.

2021 වසර සඳහා සම්මානය ලැබුණේ ‘Not today’ කියන චිත්‍රපටයට.

කොහොම වුණත් ද නිවුස් පේපර් සඳහා ලද සම්මානය බාර ගන්න කිසිම කෙනෙක් ඉඳලා නැහැ. හදිසියේවත් කවුරුන් හෝ ඒ සම්මානය බාර ගත්තා නම් එය වෙනස් කරන්න කිසිම කෙනෙකුට බැහැ.

කෙසේ වෙතත් සම්මාන උලෙළේ සියලු කටයුතු නිම වී දින දෙකකට පමණ පසු ඔවුන් කියන්න ගත්තා ද නිවුස් පේපර් චිත්‍රපටය නොවේ God on the Earth චිත්‍රපටයයි පළමු තැනට ආවේ. නිවුස් පේපර් චිත්‍රපටයට හිමි දෙවැනි ස්ථානයයි කියලා.

මේ පිළිබඳ බැංගලුරු අන්තර් ජාතික සිනමා උලෙළේ අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළාම කීවේ මෙය අත්වැරැද්දක් කියලා. එහෙම වෙන්න බෑ. ජූරියක ඉන්න ඔත්තේ සංඛ්‍යාවක් වූ සාමාජිකයන්ගේ වැඩි කැමැත්ත හෝ ඒකමතික තීරණය අනුව සම්මානයක් සඳහා නිර්දේශයක් ලබා දුන් පසු එයට හේතු පාඨකයක් ලියනවා. උත්සවයේදී එය කියවූ පසුවයි සම්මානය ලබා දෙන්නේ. ඒ නිසා මේ තරම් බරපතළ අත්වැරදීමක් වෙන්න ඉඩක් සම්මාන උලෙළක නැහැ.

සම්මාන උලෙළකදී වැරදීමක් වුණොත් හෝ චිත්‍රපට දෙකම එකවගේ ඇගයිය යුතු බවට විනිශ්චය මණ්ඩලය තීරණය කරනවා නම් විසඳිය හැකි ක්‍රමය වන්නේ නිර්මාණ දෙකටම සම සම්මාන ලෙස සම්මානය හා ත්‍යාග මුදල බෙදා දීමයි.

 

වෙලාව මදි නිසා වැරැදි එකම නිවේදනය කළාලු

අන්තර්ජාතික සිනමා උලෙළ සම්බන්ධීකාරක -

උදිත ලක්මාල් කහඳව ආරච්චි

අපි චිත්‍රපටය උළෙලට ඉදිරිපත් කළාට පසුව එය තේරුණු බවට අපට දැනුම් දුන්නා. සාමාන්‍යයෙන් උලෙළේ දී චිත්‍රපට ප්‍රදර්ශනයට අධ්‍යක්ෂවරුන්ට ආරාධනා ලැබෙන මුත් මෙවර කොවිඩ් වසංගත තත්ත්වය නිසා බැංගලුරු උලෙළට විදේශීකයන් ගෙන්වා ගත්තේ නැහැ.

සම්මාන උලෙළ දිනයේ ආසියානු චිත්‍රපට සඳහා ඛාණ්ඩ දෙකකට බෙදා සම්මාන පිරිනැමුවේ 2020 සහ 2021 වෙනුවෙන්.

2020 වසරේ ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙස තේරුණේ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය උලෙළේ නිල ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කළා. ඒ බව එහිත් සඳහන් වී තිබෙනවා. සම්මාන ප්‍රදානය සජීවව ප්‍රදර්ශනය කරන විට එය එහි දකින්නට ලැබුණා. ඒ වගේම පුවත්පත්වල පවා වාර්තා පළ වුණා. ‘ද නිවුස්පේපර්’ තමයි පළමු ස්ථානයට තේරුණේ කියලා.

මේ උලෙළ පැවැත්වුණේ 10 වැනිදා. ඉන් දින දෙකකට පසුව එනම් 12 වැනිදා ඔවුන්ගේ මුහුණු පොතේ සහ ටිවිටර් ගිණුමේ පළ කරනවා. වෙන කිසිම සම්මානයක වෙනස් කමක් නොකර අපේ සම්මානය පමණක් පළමු ස්ථානය නොවේ දෙවැනි එක කියලා.

එය දුටු ගමන්ම මම ඔවුන්ගෙන් විමසීමක් කළා. අපි සියලු මාධ්‍යවලටත් නිල ප්‍රතිඵලය ලබා දී අවසන්ව තිබිය දී මේ කරන දේ කුමක් ද කියලා.

එවිට උලෙළේ සම්බන්ධීකාරක අපට ලියා ඒවා තිබෙනවා. ප්‍රතිඵල ලේ්ඛනය මුද්‍රණය කරන්නට තිබුණේ සීමිත කාලයයි. එය මුද්‍රණය කළ ස්ථානයෙන් ප්‍රතිඵලයේ පළමු වැනි හා දෙවැනි ස්ථාන මාරු කරලයි මුද්‍රණය කර තිබෙන්නේ කියලා.

හේතුපාඨය මුද්‍රණය කර තිබීම ගැනත් විමසුවාම ඔවුන් කීවේ එය මාරු කරගන්න වෙලාවක් නැති වුණා. මහ ඇමැතිතුමා ඔවුන්ට ලබා දුන්නේ විනාඩි ගණනයි. ඒ නිසා වැරදියට මුද්‍රණය වූ ප්‍රතිඵලයට උත්සවයේ දීත් නිවේදනය කළා කියලා.

ඒ පිළිතුර එවු කෙනාගේ නම සඳහන් කර තිබුණේ නැති නිසා මම ඒ පිළිබඳවත් විමසමින් වගකිව යුතු පුද්ගලයකු මේ සඳහා පිළිතුරක් දෙන ලෙස ඉල්ලීමක් කළාම ඔවුන්ගේ නිර්මාණ අධ්‍යක්ෂවරයා අපට එවා තිබුණා ජුරිය විසින් මෙය දෙවැනි තැනට තෝරා ඇති බව තහවුරු කරන ආකාරයට වෙනත් චිත්‍රපටයකට ලියු හේතු පාඨකයක්.

ඒ අය අතින් වුණ වැරැද්දට සමාවත් ඉල්ලා තිබුණා. බැරිවෙලාවත් අපේ කවුරුන් හෝ එතැන සිට සම්මානය අතට ගත්තා නම් දින දෙකක් ඇතුළත ලංකාවටත් එන්න කාලය ඇති. ඒ වගේම සම්මානය ආපසු ගන්න ඒ අයටත් හැකියාවක් නැතිව යනවා. ඇත්තෙන්ම ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ එය වෙනස් කළෙත් මම විමසුවාට පසුවයි.

මීට පෙර අපි ගිය කිසිම චිත්‍රපට සම්මාන උලෙළක මෙවැනි දෙයක් සිදු වී නෑ. කලින් අවස්ථාවල බැංගලූරු සම්මාන උලේළේ පිරිනැමුවේ ආසියාතික හොඳම චිත්‍රපටය සඳහා එක සම්මානයක් පමණයි. මෙවර සිට තමයි පළමු හා දෙවැනි ස්ථාන ලෙස නම් කිරීම් සිදුවන්නේ.

ඒ වගේම කලින් කළේ ලකුණු මට්ටම අනුව හොඳම චිත්‍රපටයට වඩා දශම ගණනකින් අඩු ලකුණ ලබන චිත්‍රපටයට ජුරියේ විශේෂ සම්මානයක් පිරිනැමීමයි. මෙවර පළමු හා දෙවැනි ස්ථාන ලබා දීමට අමතරව විශේෂ සම්මානයකුත් දුන්නා.

මේ කුමක් කීවත් ඒ අය නිකුත් කළ සම්මාන ලැයිස්තුවේත් ‘ද නිවුස් පේපර්’ හොඳම ආසියාතික චිත්‍රපටය ලෙස සඳහන් වී තිබෙනවා. මා සතුව ඒ බාගත කරගත් තොරතුරුත් තිබෙනවා. ආසියානු, කාණ්ණාඩ වැනි වර්ගීකරණ සියල්ල යටතේ දුන් සම්මාන තිබිය දී වැරදීමක් වී ඇත්තේ අපේ චිත්‍රපටයටම පමණයි.

 

උලෙළ හා ජූරිය පිළිබඳ විශ්වාසය බිඳෙනවා

සම නිෂ්පාදක - රවීන්ද්‍ර ගුරුගේ

මටත් හිතාගන්න බැ මේ සිදුවීම කුමක්ද කියලා. අපිත් විවිධ ජුරි නියෝජනය කරන සභිකයන් ලෙස තිබෙන අත්දැකීම තමයි ජුරි සභිකයන් ඉතාම වගකීමෙන් සාකච්ඡා කරලයි පිටස්තර අයට ප්‍රතිඵල දැනගන්න සලස්වන්නේ. අනෙක මෙය තනි පුද්ගල ජුරියක් නොවෙයි. අපටත් තිබෙන ප්‍රශ්නය මෙවැනි තීරණයක් වෙනස් වන්නේ කෙසේ ද යන්නටයි. අනෙක ඒ අයගේ සමාජ මාධ්‍යජාලවල වගේම ජාතික පුවත්පතක් වන හින්දු පුවත්පතේත් පළ කළ පසු මේ අයුරින් දින දෙකකට පසු ප්‍රතිඵල වෙනස් කිරීම හිතාගන්න බෑ. මෙයින් ඒ උලෙළේ ජුරියේ තීරණ පිළිබඳවත් ලෝකයාට අවිශ්වාසයක් ඇති වෙනවා.

අනෙක නිවේකදයන් අතින් වැරැද්දක් වුණානම් ඒ මොහොතේම එය නිවැරැදි කරනවා. ඒත් දින ගණනක් ගතවෙලා කල්පනා කරලා පස්සේ වෙනස් කරන්න ක්‍රමයක් අප කවදාවත් දැකලා නැහැ.

අන්තර්ජාතික සම්මාන උළෙලක මෙවැනි දෙයක් සිදු වුණාම උලෙළ පිළිබඳ ඇති නිවැරැදිභාවය හා විශ්වසනීයත්වය පිළිබඳවත් ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න ඇති වෙනවා.

 

අපි ප්‍රධාන මාධ්‍ය වාර්තා විශ්වාස කරනවා

සම අධ්‍යක්ෂවරු -

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල

අපේ චිත්‍රපටය පළමු තැන තමයි. ඒකේ වෙනසක් නැහැ. මොකද දවස් දෙකකට විතර පස්සේ වෙන කවුරුහරි පෝස්ට් එකක් දාලා තිබුණා අපේ චිත්‍රපටය පළමු තැන නොවෙයි කියලා. ඒක ඉතින් අපි වැඩිය හොයන්න ගියෙත් නැහැ. මොකද ‘ද හින්දු’ පුවත්පත අපේ චිත්‍රපටය පළමු තැන බව පළ කරලා තිබුණා. අනෙක ඒ සම්මානය ප්‍රකාශ කරන වීඩියෝ පට ආදිය සියල්ලේ මෙය නිවැරදිව තිබෙන නිසා. අනෙක හින්දු පුවත්පතට වරදින්න විදිහක් නැනේ. ඒක ලෝකයේම පිළිගත් පුවත්පතක් නේ. අපි ඒ ප්‍රවෘත්තිය පිළිගන්නවා. විශ්වාස කරනවා. හඬ පට නිසා ඇති වූ ප්‍රශ්න අපි දනන්වානේ. එහෙනම් වීඩියෝ පටත් තියෙන කොට එය පිළිනොගෙන ඉන්න හේතුවක් නෑනේ.

අනෙක ජයග්‍රහණයේ දී මුකුත් නොකියන සමහරු මේ වගේ පොඩි දේවල් අල්ලගෙන බොහොම සතුටක් ලබන්නත් උත්සහා කරනවා. ඒක ලංකාවේ හැටිනේ.

බැංගලුරු උලෙළේ කිසිම කෙනෙක් මේ වනතුරු හින්දු පුවත්පතටත් කියලා නෑ එය වෙනස් කරන්න කියලා. එතැනින් එහාට අපට හිතන්න දෙයක් නෑ. හින්දු පුවත්පත පළ කරන්නේ සිනමා උලෙළින් නිල වශයෙන් නිකුත් කළ ප්‍රතිඵලනේ. ඒ නිසා අපට ඒ නිල ප්‍රතිඵලය විශ්වාසයි. ඒ නිසා අපි අපේ ඉදිරි නිර්මාණ කටයුතු වල නිරත වෙනවා. ඔය ප්‍රශ්න ගැන නොහිතා.

 

වැරැද්දට සමාව දෙමු

සම නිෂ්පාදක -එච්.ඩී.පේ‍්‍රමසිරි

අන්තර්ජාතික සිනමා උලෙළක් ලෙස ඒ සංවිධානය වගකීමෙන් කටයුතු කරනු ඇති කියා මම විශ්වාස කරනවා.

ඒ අය වැරදීමක් යැයි කියනවා නම් එයට අපේ චිත්‍රපටය වගේම අනෙක් චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වෙනුවෙනුත් ඔවුන්ට වගකීමක් පැවරෙනවා. ඉතින් මෙය සුළුවෙන් තකන්න නම් බැහැ තමයි. හැබැයි සංවිධානය කලොත් ඒ අය තීන්දු තීරණ ගන්නෙත් ඒ අය නිසා මගේ නම් ප්‍රතිපත්තිය ඒ අය වැරදීමක් කියනවා නම් එය පිළිගෙන සමාව දීමයි.

 

ආයේමත් එහෙම වෙන්නේ නෑ

නිෂ්පාදක - ආචාර්ය බන්දුල ගුණවර්ධන

 

මේ සම්මාන උලෙළ අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් තිබෙන එකක්. මෙයට ඉන්දියාවේ සහ වෙනත් රටවල විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සහභාගී වෙනවා.

ලෝකේ විවිධ චිත්‍රපට 28 ක් අවසන් වටයට තේරුණු බවට ලංකාවත් දැනුම්වත් කරලා තිබුණා. කොවිඩ් 19 වසංගතයක් පසුකාලීන බලපෑම් නිසා එයට වැඩි දෙනෙකු කැඳවන්නේ නැති බවත් ඔවුන් ප්‍රකාශ කළා.

ඒ අනුව අප මාධ්‍ය ඔස්සේ එය නැරඹුවා. එහිදී ආසියාවේ හොඳම චිත්‍රපටය හිමි සම්මානය ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයට ලැබෙන බව ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයේ අධ්‍යක්ෂවරු දෙදෙනා ලංකාවේ සරත් කොතලාවල සහ කුමාර තිරමාදුර බවත්, නිෂ්පාදක බන්දුල ගුණවර්ධන වන මම බවත් ප්‍රකාශ කළ වීඩියෝ පටත් අප හැමෝම ළඟ තිබෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවියෙත් ආසියාවේ හොඳම චිත්‍රපටය ලංකාවේ ‘ද නිවුස්පේපර්’ බව පළ වුණා.

ඒ අනුව ඉන්දියාවේ ‘ද හින්දු’ වැනි වැදගත් පුවත්පත්වලත් ආසියාවේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’ බවට පළ වුණා. දින දෙකකට පසු ඔවුන්ගේ වෙනත් වෙබ් අඩවිවල පළ වුණා ලංකාවේ චිත්‍රපටය දෙවැනි තැනටයි තේරුණේ, ඉන්දියානු චිත්‍රපටයයි පළමු ස්ථානයට පත් වුණේ කියා.

මේ පිළිබඳව මම ඉන්දියානු මහකොමසාරිස් තුමා ලංකාවේ මේ දිනවල නැති නිසා නියෝජ්‍ය මහ කොමසාරිස් තුමාට කතා කරලා රාජ්‍ය දෙකටම මෙය හොඳ නැති නිසා මේ පිළිබඳව සොයා බලන්න කියලා කීවා.

ඒ සම්මානය සමඟ ඩොලර් 6000ක මුදල් ත්‍යාගයකුත් ලැබෙන බව ඔවුන් පළ කළා. මෙය ලංකාවේ චිත්‍රපටයකට පළමු වතාවට සිදු වූ දෙයක්. ඇත්තෙන්ම මට මෙහි වැදගත්කම තිබෙන්නේ මේ නවක අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ පළමු චිත්‍රපටයටම මෙවැනි සම්මානයක් ලැබීම නිසයි. පෞද්ගලිකව මට නම් කීප වරක් හොඳම නිෂ්පාදක ලෙස සම්මාන ලැබී තිබෙනවා. එහෙත් සරත් සහ කුමාර කියන්නේ රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඔවුන් තිර නාටකය රැගෙන මා වෙත ආවාම මමයි ඔවුන්ට කීවෙත් ඔවුන්ගේ දක්ෂතාව අනුව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කියා. ඔවුන්ම තිර නාටකය ලියලා අධ්‍යක්ෂණය කරලා ඔවුන්ම ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපටයක් අන්තර්ජාතික උලෙළකදී ආසියාවේ පළමු තැනට පැමිණි පසු දෙවෙනි තැන යැයි කීවත් මට මොවුන් දෙදෙනා ලෝකයට හඳුන්වා දීමට හැකි වීම සම්බන්ධව විශාල ආත්ම තෘප්තියක් තිබෙනවා.

මෙහිදී අප අමාත්‍යවරයා වෙත යොමු කළ යෝජනාව වන්නේ ඉදිරි සිනමා උලෙළ වලදී අවසන් වටයට යම් චිත්‍රපටයක් තේරුණහොත් චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමෙන් යමෙකුට යා නොහැකි වුවත් ශ්‍රී ලංකාව නියෝජනය කරන එරට තානාපති සේවයෙන් කෙනෙකු හෝ එම උලෙළට සහභාගී වීමේ වැදගත් කම සලකා ඒ පිළිබඳ පියවරක් ගන්නා ලෙසය. එයට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුන් පිළිතුර මෙසේය.

“මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි, මේවා අදෘශ්‍ය අපනයන ලෙස අපනයන වෙළෙඳපොළක් තනාගත හැකි තත්ත්වයක් පවතින නිසා අන්තර්ජාතික සිනමා උළෙලකට යම් චිත්‍රපටයක් යොමු කර එය අවසන් වටයට තේරුණ බවට දැනුම් දුන් පසු අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දෙන ලෙස. එයට හේතුව අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක් හා වෙළෙඳ කොමසාරිස්වරයකු සෑම රටකම සිටින බැවින් ඔහු මඟින් සෑම උලෙළක්ම නියෝජනය කිරීමට ඉදිරියේ දී පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.”

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න