වසර 66කට පසු රේඛාවේ සිරියාලට

ජුනි 23, 2022

 

ප්‍රථම වරට චිත්‍රාගාරයකින් බැහැර ව එළිමහන් දර්ශනතල සහ ශබ්ද යොදාගෙන චිත්‍රපටයක් රූපගත කිරීමේ අත්දැකීම ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු ‘රේඛාව’ සිනමා කණ්ඩායමට අභියෝගාත්මක කාර්යයක් වූනමුත් නෙතැන ගම්වාසීන් සමඟ පුරා සමසක් පමණ ගෙවූ කාලය ඔවුන්ට ආස්වාදනීය අත්දැකීමක් වූවාට සැක නැත.එහි මුල් කොටසේ රූපගත කිරීම් සිදු වූයේ බණ්ඩාරවෙල දී ය. වර්ෂාවෙන් සිදු වූ බාධා නිසා ඉන් පසු චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලය හෙවත් ‘සිරියාල’ ගම්මානය බවට පත් වූයේ දඹදෙණි උඩුකහ දකුණු කෝරලයේ අලව්ව බද ‘වෑවල’ ගම්මානයයි.

“ඒ කාලේ ලෙස්ටර් මහත්තයයි, ටයිටස් මහත්තයයි, බ්ලේක් මහත්තයයි නැවතිලා ඉඳලා තියෙන්නේ අපේ දිහා. එතකොට මට අවුරුදු තුනක් විතර ලු. බ්ලේක් මහත්තයා මාව කැනඩාවට එක්ක යන්න අම්මාගෙන් අහල තියෙනවා. අම්මා මාව දීලා නෑ. ‘කරන්න වෙන උදව්වක් නෑ. ළමයාව එක්කන් යන්නම්. ගෙදරට වියදම් දෙන්නම්’ කියල බ්ලේක් මහත්තයා කියල.”

වෑවල ‘බෝතලේ ගෙදර’ කරුණාරත්න මහතාඒ කාලය ගැන සිය මවගෙන් අසා තුබූ ඇතැම් දෑ අමන්දානන්දයෙන් සිහිපත් කළේ එසේ ය. ඒ මහතාගේ මව සතු ව ඔවුන් සිනමා කණ්ඩායම සමඟ ගත් ඡායාරූප සහිත ඇල්බමයක් තිබී ඇතත් එය වේයන් කා විනාශ වී ගොස් තිබීම කනගාටුවට කරුණකි. අදත්පැරැණි තත්ත්වයෙන් ම ඇති ඒ නිවසෙහි වෙනසකට ඇත්තේ එදවස පොල් අතු සෙවිලි කළ වහලය වෙනුවට දැන් උළු සෙවිලි කළ වහලයක් තිබීමයි. පසු කාලීනවත් විලියම් බ්ලේක් මේ පෙදෙසින් යමින් ගමන මේ ගෙට ගොඩ වැදී නිවැසියන් බැහැ දැක යාමට අමතක නොකළ බව ඔවුහු සිහිපත් කරන්නෝ අභිමානයෙනි; මහත් ළෙන්ගතුකමිනි.

අලව්ව-මාහරගම ප්‍රධාන මාර්ගයේ උරුලෑමුල්ල (7 කණුව) මංසන්ධියෙන් හැරී කි.මී. 05ක් පමණ ගොස් වල්දොළුව හන්දියෙන් වමට හැරුණු තැන ‘වෑවල’ ගම් පියස හමු වෙයි. ඊට පෙර රැල්ෆ් කීන්ගේ “නෙළුම්ගම” නමැති වාර්තා චිත්‍රපටයේ දර්ශන තලය බවට පත් වූයේ ද මේ ගම්මානයයි. ඒ පිළිබඳ තතු දත් වැසියන් අද එහි නැතත් ‘රේඛාව’ රූපගත කළ සමයේ ඒ අපූර්ව අත්දැකීම විඳගත් කොලුකුරුට්ටෝ අද වියපත් වැඩිහිටියන් ව නොසිඳුණු ආස්වාදයකින් සිය අතීත මතකය සිහිපත් කරති. ‘අද ළමයින්ට මේවයෙ වටිනාකමක් නැති වුණාට රේඛාව චිත්‍රපටිය ටීවි එකේ හරි පෙන්නනව කියන්නෙ අපිට නම් ඊට වැඩිය දෙයක් නෑ’යි ඇතැමෙකු පවසද්දී ‘අසුවල් දර්ශනයේ ඇත්තේ අසුවල් අසුවල් තැන යැ’යි ඇතැමෙක් කියන්නෝ ඒ අතීතකාමයෙනි.

“‘ඕලු නෙළුම් නෙරිය රඟාලා....’ සින්දු කියකියා ඔරුව පදින්නෙයි, අලියා නාවන්නෙයි මහඔයේ ඕලුස්සාව මංකඩේ. මේ පාරේ දිගට ම ගියා ම බලන්න පුළුවන්.” යැයි කවුරුත් කියති.

චිත්‍රපටයට හසු ව ඇති දර්ශන තල ඇසුදුටු අය නොවී නම් දැන් ඒ තැන් කිසිසේත් හඳුනාගත නොහැකි ය. ඉදින් ඔවුන් සොයා ගිය ගමනට අපට මඟ පෑවේ වෑවල පදිංචි සාහිත්‍යකලාවේදියකු වන ප්‍රභාත් එන්. එස්. කලාජීව සහෘද මහාත්මා ය.

‘රේඛාව’ වෑවලට ආනන්දනීය ඉතිහාසයකි; ජනශ්‍රැතියකි. ඒ අගය වඩවන්නේ අදටත් නිරුපද්‍රිත සිරියාල ගම්මානයේ නටබුන් ය. වල්දොළුව හන්දියෙන් වෑවල ගම දෙසට මඳ දුරක් ගමන් කරද්දී වෑවල විහාරය හමු වෙයි. ‘රේඛාව’ චිත්‍රපටයේ මහලු ගැමියන් තිදෙනෙකු සේනගේ අද්භුත බලය ගැන කතා කරමින් සිටින දර්ශනයේ ඇත්තේවිහාරයේ අදටත් ඇති කොඩි කණුවයි. රූකඩ සන්දර්ශනය සඳහා යොදාගෙන ඇති විහාරයට පහළ පරිශ්‍රය නම් දැන් අත්පන්දු පිටියකි.

ආබාධිත කකුලක් සහිත ළමයා සිටි නිවස ‘උඩහ ගෙදර’ හෙවත් ‘ලෙඩ කපුටා හිටපු ගෙදර’ යැයි අදටත් ගම්මු හඳුන්වති.ආබාධිත ළමයා හොවා සිටි යකඩ ඇඳ තවමත් ඒ නිවසෙහි සුරැකෙන්නේ පුරා වස්තුවක් මෙනි. මිය ගිය දරුවා සෑයක් බැඳ ආදහන කටයුතු සිදු කළ දර්ශනය වෑවල ‘මැල්ල කන්දේ’ සකසා ගත්තකි. සිරියාල ගම්මුලාදෑනි තැනගේ නිවස අද සෝමසිරි ජයසිංහ තැපැල් මහතාගේ නිවස හෙවත් ‘අලුත් වත්ත’ ගෙදරයි. මේ සියලු තැන් හමු වනුයේ ගම මැදින් දිවෙන මඟ දෙපස ය.

රූපගත කිරීම් සඳහා වෑවල ගම්මානයට යාබ ඳ බෝවල සහ අග්බෝව ගම්මාන දෙකෙන් ද දර්ශන තල සකසාගෙන ඇත. ගැමියන් සිහිපත් කරන පරිදි සේන සමඟ සරුංගල් යවන අනුලා සිහිසුන් ව පෙරලී යන්නේ අග්බෝව වෑකන්දේ ය. මඟුල් ගෙදර පැවැත්වෙන්නේ බෝවල ය. සිරියාල ගම්මානය කැලණියෙහි මානෙල් වත්තට ගෙන යාමට සිදු වූයේ චිත්‍රපටයේ අවසානයට ඇවැසි වැස්ස කෘත්‍රිම ව නිර්මාණය කරගැනීම සඳහා පමණි.

‘සිරියාල සයිකල් වර්ක්ස්’ නමැති වින්කලයවෑවල මිල්ටන් කුරුප්පු මහතාගේ ගෙවත්ත පාමුල අභිනවයෙන් ඉදි කරන ලද්දක් වන අතර කුරුප්පු මහතා එදවස අවුරුදු නවයක පමණ කොලු ගැටයෙකි. ‘සිරියාල සයිකල් වර්ක්ස්’ කියන තැන අලුතින් ම හදපු තැනක්. බඩු ඔක්කොම අලුතින් ගෙනාපුව. සති ගාණක් බඩුත් එක්ක ම කඩේ ඇරලා දාලා තිබුණේ. ඒත් එක බයිසිකල් බෝලයක්වත් නැති වුණේ නෑ’යි ඔහු කීවේ සිය ගම් වැසියන් ගැන අභිමානයෙනි. ඔහුගේ නිවස වසර සියයකටත් වඩා පැරැණි විසල් නිවසකි. එය ‘අලුත් ගෙදර’ යනුවෙන් ගම්මු හඳුන්වති. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දිවා භාගයේ වැඩිමනත් කාලය ගත කළේ එහි ය. පසු කාලීනව ‘සත්සර රංගන’ ඒකාංගික ටෙලියේ කතාංග

ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු සිනමා කණ්ඩායම මාස කිහිපයක් ම වෑවල ගම් පියසේ රූපගත කිරීම් සිදු කළහ. සතියට දින හයක් පමණ එක දිගට ය. ඔවුනට එහි කටයුතු පහසු කිරීමට මුල් වූයේ කලක් සර්වෝදය මූලස්ථානයේ නේවාසිකය අධිපති ව සිටි කේ. විජේසේකර විදුහල්පතිතුමා ය. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් ද සිල්වා (ටයිටස් තොටවත්ත), විලියම් බ්ලේක් තිදෙන සඳහා ‘අලුත් ගෙදර’ ආසන්නයේ ම පිහිටි ‘බෝතලේ ගෙදර’ හඳුන්වා දුන්නේත් ඔහු ය.ගම් වැසියන් පවසන පරිදි නළු පිරිසතාවකාලික ව නවාතැන් ගත්තෝවල්දොළුව හන්දියේ පිහිටි නිවසක ය. ඒ නිවස ඉදිරියේ ‘රේඛාව ලැගුම් හල’ යනුවෙන් පුවරුවක් ද සවි කර තිබී ඇත.

චිත්‍රපටය රූපගත කළ සමයේ එහි සිදු වූ වෙසෙස් සිදුවීමක් ගැන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සඳහන් කර ඇත්තේ පහත පරිදි ය.

“මේ චිත්‍රපටය තැනූ සමයේ සිදු වූ එක් සිදු වීමක් වෙසෙසින් කැපී පෙනේ. අපගේ කථාවේ කියැවෙන ආකාරයේ ම දරුණු නියගයකින් එම ගම්මානය පෙළෙන්නට විය. ඉන් පසුව පැපොල රෝගය ව්‍යාප්ත වූ අතර දිනක් අපගේ සිනමා ශිල්පියෙකුටත් එම රෝගය වැලඳුණේ ය. ගැමියන්ගේ පැරැණි, මිථ්‍යා විශ්වාස සියල්ල මතු විණ. මේ චිත්‍රපටය හදන නරක මිනිසුන්ට කැමැත්තක් කර ගන්නට ඉඩ දීම නිසාවෙන් දේව කෝපයක් සිදු වී තිබේ යැයි ගමේ වැඩිහිටියෝ කොඳුරන්නට වූහ. මෙයින් අපට ඒත්තු ගියේ මිථ්‍යා විශ්වාසයත්, ගැමියන්ගේ භීතියත් පිළිබඳ අපගේ කථාව සත්‍ය වශයෙන්ම අප හමුවේ සිදු වී ගෙන යන බවය.” (ලෙස්ටර් ජේම්ස් පීරිස්: 1957, පරි. නුවන් නයනජිත් කුමාර).

එහෙත් මිල්ටන් කුරුප්පු මහතා පැවැසූයේ සිනමා කණ්ඩායමේ එක් ශිල්පියෙකුට පැපොල රෝගය වැලඳුණ නමුත් එය ගමේ ව්‍යාප්ත නොවූ බව සහ එවක එතරම් දරුණු නියඟයක් ද නොවුණු බව ය. මහඔයේ වතුර ගලා යන දර්ශනවලින් නියඟයක් නොපැවැතිබව පැහැදිලි වන අතර චිත්‍රපටයෙන් ප්‍රකාශිත පාරිසරික සන්දර්භය ද එයින් පරස්පර විරෝධ වී ඇති බව පෙනේ.

වසර 66කට පසු එදා වෑවල ගම්මානයේ ‘රේඛාව’ හැදුණු හැටි යන්තමින් හෝ අසා දැනගන්නට සිටින්නෝ අල්ප ය.චිත්‍රපටයේ බොහෝ අවශේෂ චරිත වෙනුවෙන් පෙනී සිටි ගම් වැසියෝ කිසිවෙක් අද ජීවතුන් අතර නැත. ‘සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ...’ යන ගීතය ගැයෙද්දී තොටිල්ලේ නැළැවෙන ළදරුවාත් අද ජීවතුන් අතර නැති ගැමියෙකි. ප්‍රධාන චරිත අතුරින් නිමල්ගේ චරිතය රඟ පෑ ආනන්ද වීරකෝන් මහතා, කැතරිනා හාමිගේ චරිතය රඟ පෑ අයිරාංගනී සේරසිංහ මහත්මිය ආබාධිත දරුවාගේ චරිතය රඟපෑ කැමිලස් ප්‍රනාන්දු ආදි කිහිප දෙනෙකු ඇරෙන්නට රේඛාවේ රඟ පෑ වෙනත් චරිත ද අද අප අතර නැත.

සටහන හා ඡායාරූප

දිලංජන මධුෂාන් පතිරණ