සිඳු ළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළිණ වෙලා

ඔක්තෝබර් 13, 2022

 

 

සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ

පාවඩ පලස එලා

සිඳු ළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ

ඔබ මට තිළිණ වෙලා

යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ

මුකුලිත සිතැඟි සලා

අරුණැල්ලක් සේ ... නුඹ මිණ පායා

සනහස ජනිත කළා

සැඩරළ රැල්ලේ සැලෙන කැදැල්ලේ

රැඳුණෙමි සරණ සොයා

පවනැල්ලක් සේ.. නොමහැර ආවෙමි

ඔබ හද සැදෙන තුරා

ගී පද - කුලරත්න ආරියවංශ

ගී නද - ආචාර්ය රෝහණ වීරසිංහ

ගී හඬ - නීලා වික්‍රමසිංහ / ටී.එම්. ජයරත්න

චිත්‍රපටය - ආදර හසුන 1986

 

“ආදර හසුන” චිත්‍රපටය 1986 වසර අවසානයේ රිදී තිරයේ දිග හැරුණු, වෙනස් කතා තේමාවක් රැගත් සුන්දර සිනමා සිත්තමකි.

එය හෙළ සිනමාවේ මැද මාවතේ සිනමාකරුවකු ලෙස ප්‍රකට වූ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ,එච්.ඩී.පේ‍්‍රමරත්නයන්ගේ තවත් එක් සිනමාපටයකි.

ආදරය පිළිබඳ ඇති වූ හැඟීමක් පරාජය විමට නොදී කෙසේ හෝ අයිතිකර ගන්නට උත්සහවන්ත වූ පේ‍්‍රමවන්තයකුගේ ‘ආදර අරගලයක්’ කතාවට පාදක වී තිබේ. ඔහු සිත්ගත් යුවතියකට බැඳුණු සෙනෙහස කුමන බාධක පැමිණියත් ඒ සියල්ල මැඩගෙන අවසන ඔහු ජයගනියි.

යුද්ධය පැවති සමයේ දෙමාපියන් අහිමිව තනිවුණු සොඳුරු යුවතියකට පිහිටවන හමුදා නිලධාරියෙක් හා ඒ යුවතියව විවාහ කරගන්නා ඔහුට වඩා උසස් හමුදා නිලධාරියකු හේතුවෙන් ඇය පිළිබඳ ඇති වූ සෙනෙහස සිහිනයක්ව බොඳ වේ. එහෙත් එය එසේ සිහිනයක් ලෙස බොඳව යා නොදී ඔහු ඇයව හිමිකර ගන්නට සටන් වදී. ඒක පාර්ශ්වික පේ‍්‍රමය ජයගැනීමට ඔහු තනිවම සටන් කරයි. ඒ සටන වෙනස්ම ආරක සටනකි. එය ආදර හසුනකි.”

රිදී තිරයේ කඩවසම් පෙම්වතා වු රවීන්ද්‍ර රන්දෙණිය ජෝ අබේවික්‍රම හා වසන්ති චතුරාණිගේ ප්‍රබල රංගන දායකත්වයෙන් මෙම සිනමාපටය හැඩ විය.

තමන්ට වඩා වයසින් බොහෝ වැඩිමල් උසස් හමුදා නිලධාරියාගේ බිරිඳවන අහිංසක, සුන්දර යුවතියගේ විවාහය අසාර්ථක වීමට හේතුව දන්නේ ඇයට තනිවම පේ‍්‍රම කළ ඔහු පමණයි.

විවාහ දිවියේදී අනපේක්ෂිත ගැටලුවකට මුහුණ දෙන යොවුන් බිරිඳකගේ භූමිකාව ඉතාම අපූරුවට නිරූපණය කිරීමට, හෙළ සිනමාවේ අහිසංකාව වූ වසන්ති චතුරාණිට හැකිවිය.

රළු බව සහිත උසස් හමුදා නිලධාරියකු වූ ස්වාමියගේ චරිතයට ජෝ අබේවික්‍රම නම් විශිෂ්ට රංගවේදියා උපරීම සාධාරණය ඉටු කරයි.

තම සිත්ගත් යුවතිය හිමිකර ගනු වස් තනිවම සටන් වදින යොවුන් පේ‍්‍රමවන්තයා ලෙස රවීන්ද්‍ර රන්දෙණිය මැනවින් ඒ චරිතය තුළ ජීවත් වේ.

ආදරය පුදුමාකාර හැඟීමකි. එය කාට, කෙසේ, කවදා ඇතිවේද? කවදා නැතිවේද යන්න පැවසිය නොහැකි ආත්මීය හැඟීමකි, බැඳීමකි.

ඇය කෙරෙහි ඔහු තුළ ඇතිවන ප්‍රේමය ඒ වගෙය. ඈ දුටු මොහොතේ පටන් ඇති වුණු හැඟීම, ඈ වෙනත් අයකු හා විවාහ වී වෙන අයකුට අද හිමි වුණත්, ඈ කෙරෙහි, ඔහු තුළ වූ පේ‍්‍රමය වෙනස් නොවේ.

ඇයට නොගැළපෙන අයෙකු හා විවාහවන්නට සිදු වුණත්, ඇය ඔහුගේ කරගැනීමට ඔහු තනිවම සටන් කළේය.

ඒ සටනේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ විවාහය දෙදරා ගොස් තනි වේ. එය ඔහු අපේක්ෂිත මොහොතකි. ඈ වෙනුවෙන් ඔහුගේ සෙනෙහස පුදන්නට ඔහු අවස්ථාව හිමිකර ගන්නේ. ඒ දෙසිත එක්තැන් කරමින් ඔවුන් පෙම්වතුන් වීමෙනි. ඒ ප්‍රේමය මල්ඵල ගන්වමින්, ඇයගේ ජීවිතය සතුටින් පුරවාලන්නට ඔහු සමත් වූවේය.

සුන්දර මනාලියක් ලෙස ඔහුගේ පතිනිය කරගෙන ඇය සිය නිවෙසට කැන්දාගෙන එන මොහොත මේ ආදර දෙහද තුළ ඇතිවන හැඟිීම් ලස්සන ගීතයක් ලෙස රූපරචනය කර තිබේ.

සෙනෙහස සතුට, හා හිමිවීමේ පී‍්‍රතිය ඔවුන් විඳගන්නා ආකාරය රූප රචනය තුළ මැනවින් ඉස්මතු කර තිබේ. මෙම ගීයට සමස්ත සිනමාපටයේම කතා තේමාව සාරාංශ කොට ඇති බවක් පෙනේ. ප්‍රවීණ ගීත රචක, කුලරත්න ආරියවංශයන් විසින් මනාව එය සුසංයෝග කර තිබේ. එසේම එම ගීතයට මියුරු තනුව හා සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් යොදා ඇති අතර නීලා වික්‍රමසිංහ ටී.එම්. ජයරත්නගේ මධුර මනෝහර හඬ එම ගීතයට උපරිම සාධාරණය ඉටුකර තිබේ.

යුග ගීතයක් ලෙස ගැයෙන මෙම ගීතය චිත්‍රපටයේ කතාව හා මුසු වී තිබේ.

සුදු මුතු රළ පෙළ

කිඳුරු කොදෙව්වේ

පාවඩ පලස එලා

සිඳු ළඳ ගෙන දුන්

මුතු කැකුළක් සේ

ඔබ මට තිළිණ වෙලා

තමන්ට වඩා වයසින් මුහුකුරා ගිය, රළු සැමියකු සමඟ ගෙවුණු යුගදිවියට සමු දී, ඇයට බොහෝ සේ පේ‍්‍රම කරන, ඇයගේ සිතුම් පැතුම් හඳුනාගෙන, ඇයට අවශ්‍ය සෙනෙහස රැකවරණය ලබාදිය හැකි, ඇයට ගැළපෙන පේ‍්‍රමවන්තයකුගේ බිරිඳ වී ඔහු අතගන්නට ලැබුණු මොහොත ඇය ලද භාග්‍යයකි. ඒ සතුට සොම්නස මනාව ඔවුන් දෙපළ විඳගනිති.

ඈ කෙරෙහි ඔහු තුළ වූ පේ‍්‍රමය කොතරම් අවංක, අව්‍යාජ පේ‍්‍රමයක් ද යන්න ඔහු ඈ ගැන සිතන ආකාරයෙන් දැනේ. ඇය විවාහය දෙදරා ගිය කාන්තාවක් ලෙස නොව, කිඳුරු කොදෙව්වකින්, කිඳුරංගනාවක් ඔහු වෙත ගෙනත් දුන්න. ‘මුතු කැකුළක්’ ලෙසයි ඇයව ඔහු හඳුන්වන්නේ. ඇය, ඔහුගේ ජීවිතයට ලද වටිනාම ත්‍යාගය බව. ‘ඔබ මට තිළිණ වෙලා’ යැයි පැවසීමෙන් හැඟේ. එය සැබෑම ආදරවන්තයකුගේ අව්‍යාජ අවංක නිර්මල පේ‍්‍රමයකි. ඒ සඳහා තවත් කවර නම් උපමා ද? ඒ අවංක ප්‍රේමය ඇයව පිළිගන්නා අයුරු අපුරුය.

“යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ

මුකලිත සිතැඟි සලා...”

ඇය ගෙවු යුග දිවිය අසාර්ථක අසතුටින් පිරුණු ජීවිතයක් බව ඉන් ගම්‍ය වේ. යොවුන් බිිරිඳක් ලෙස තමන්ට නොගැළපෙන පුරුෂයකු හා ගෙවූ ජීවිතය අඳුරු ඉසව්වවකට උපමා කර තිබේ. ඇය මුකුලිතව සිටි බවක් හැඟීම්, ආශාවන් සඟවා ගෙන ජීවත් වූ බවක් හැඟේ.

එවන් දිවියක් ගෙවූ ඇයගේ ජීවිතයට අරුණැල්ලක් වෙලා ඔහුගේ පැමිණිම කෙතරම් වාසනාවක් ද? ඔහුට ඇයව දැන් හැමදාම සතුටින් තබන අතර ඇගෙන් සැඟව ගිය සිනහව ඇයට නැවත ළං කරන්නට ද දෙනෙත් ආදරයෙන් ආලෝකවත් කරන්නට ද හැකි වු බව අලංකාර ලෙස ව්‍යාංග්‍යයෙන්, පවසන අයුරු කදිමය.

ඇයට කිසිදු බියක් සැකක් නොමැතිව ඔහුගේ සෙවණේ රැඳිය හැකි බවත්, සුළං රොදක් සේ ඔහු ඈ පසුපසම ආ බවත්, ඇගේ හිත හදාගෙන ඔහු හා සරණ එනතුරු ඔහු ඈ අත් නොහැර සිටි බවක් පද බැඳ ඇති අයුරු අපූරුය.

කලක් සංගීත ක්ෂේත්‍රයේ තරු යුවළක්ව සිටි ප්‍රවීණ ගායන ශිල්පීන් යුවළක් වූ, නීලා වික්‍රමසිංහ හා ටී.එම්. ජයරත්න විසින් එක්ව, අවසන්වරට චිත්‍රපටයකට ගායනා කළ ද යුග ගීතය වන්නේ මෙයයි.

හෙළ සිනමා ගීතාවලිය තුළ ඇති තවත් නොමියෙන, මියුරු සුභාවිත ප්‍රේමගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය.