වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
අන්තර්ජාලයේ නව රැල්ල “කචා බදම්”

දෛවය - වාසනාව - රටකජු
දෛවය සහ වාසනාව අප ජීවිත සමඟ නිරන්තරයෙන් යෙදෙන වචන දෙකකි. වාසනාව තම තමන්ගේ ජීවිතය සමඟ කෙසේ සම්බන්ධ වන්නේ දැයි කිසිවෙකුට දැන ගත නොහැකි වන්නා සේම කෙනෙකුගේ දෛවය කොයි මොහොතේ කෙසේ වෙනස් වේ දැයි කිසිවෙකුට කිව නොහැකිය. වාසනාව සහ දෛවයට අනුව තත්පර කිහිපයක කුඩා සිදුවීමකින් පවා කෙනෙකුගේ මුළු ජීවිතයම වෙනස් විය හැකිය. වාසනාව සහ දෛවය සමඟ රටකජු යෙදෙන්නේ කෙසේද?
වාසනාවට අනුව පසුගිය කාලයේ මේ ලෙසින් නොසිතූ පරිදි වෙනස් වූයේ බූබන් බද්‍යාකර් නැමැත්තෙකුගේ දෛවයයි. බෙංගාලි ජාතිකයෙකු වූ බූබන්ගේ දෛවය වෙනස් වූයේ සමාජ මාධ්‍ය ඔස්සේය. අන්තර්ජාලය ඔස්සේ මේ වන විට නව රැල්ලක් ඇති කරමින් බූබන් ලොවේ අවධානය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වී ඇත. අපේ රටේ යොවුන් ගායිකාවක වන යොහානි ද සිල්වා මීට ටික කලකට ඉහතදී මෙලෙසින් අතිශය ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වූ අයුරු අප දුටුවෙමු. අන්තර්ජාලය ඔස්සේ ඇය "මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ලොව ආකර්ෂණය කර ගැනීමට සමත් වූවා මෙන්ම බූබන් ද මේ වන විට ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වී සිටී.
"බදම් බදම් දදා කචා බදම්
අමර් කචේ නිකෝ බුබු භජා බදම්
බදම් බදම් දදා කචා බදම්
අමර් කචේ පබෙන් සුධු කාචා . . . බදම්"
තාලයට තරුණ තරුණියන් මෙන්ම කුඩා දරුවන්ද නර්තනයේ යෙදෙන වීඩියෝ බොහොමයක් අන්තර්ජාලයේ දැකගත හැකියි. ඒ සමඟ 'කචා බදම්' ගීතය අන්තර්ජාලයේ උමතුවක් බව පත් වී අවසන්ය.
බූබන් බද්‍යාකර් නම් කවුරු ද?
'කචා බදම්' ගීතයෙන් කියන්නේ කුමක් ද?
බොහෝ දෙනෙකුට මතු වූ ගැටලුවකි.
බූබන් බද්‍යාකර් යනු බටහිර බෙංගාලයේ රටකජු වෙළෙන්දෙකි. 'කචා බදම්' ගීතයේ ආරම්භය ගෙන එන්නේ, දස දෙනෙකුගෙන් යුත් පවුලක් පෝෂණය කිරීමේ ඔහු සතු වූ වගකීමය. ඒ වෙනුවෙන් වෙහෙසෙන බූබන් සෑම උදෑසනකම රටකජු ගෝනියක් තම මෝටර් බයිසිකලයේ පිටුපස තබා ගෙන නිවෙසෙන් පිට වී යන්නේය. බූබන් විසින් 'කචා බදම්' ගීතය නිර්මාණය කරන ලද්දේ රටකජු විකිණීම වෙනුවෙනි. බිර්භූම් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ පුරා සැරිසරමින් ඔහු රටකජු විකුණන්නේ තමා විසින් නිර්මාණය කරගත් 'කචා බදම්' ගීතය ගයමිනි.
බූබන් ළඟ තිබෙන්නේ අමු රටකජුය. අමු රටකජු වෙනුවට ඔහු පැරැණි භාණ්ඩ ලබා ගනී. භාණ්ඩ හුවමාරුවේදී ඔහු පැරණි ජංගම දුරකතන, 'ඉමිටේෂන්' ස්වර්ණාභරණ සහ වෙනත් පැරණි භාණ්ඩ ලබා ගනී. පරැණි භාණ්ඩ වෙනුවට රටකජු හුවමාරුවේ වෙළෙඳ දැන්වීම වූයේ "කචා බදම්" නම් ගීතයයි. මෙම ගීතය බූබන්ගේ පද රචනයක් වීමද විශේෂත්වයකි. පද රචනයේ හැකියාව මෙන්ම ජනාකර්ෂණය වන පරිද්දෙන් ගායන හැකියාවද ඔහු සතු විය. එදා එලෙස රටකජු විකිණූ බූබන් අද ලොව ප්‍රසිද්ධ ගායකයෙකු බවට පත් වී අවසන්ය. වාසනාව සහ දෛවය සමඟ රටකජු සම්බන්ධ වූයේ මෙලෙසිනි.
එක් දිනෙක බූබන් 'කචා බදම්' ගීතය ගයමින් රටකජු විකුණන අයුරු දුටු තරුණයෙකු එය වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැරියේය. එය දුටු යොවුන් සංගීත ශිල්පියෙකු සහ ශිල්පිනියක වන රොනී සහ ප්‍රාග්‍යා දත්තා, බූබන් සොයා ගොස් ඔහුගේ ගීය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු යෙදූහ. බූබන්ගේ දායකත්වයෙන් නර්තන නිර්මාණයක් සමඟ 'කචා බදම්' ගීතය ලොවපුරා ප්‍රචාරය වීමට මඟ සැලසුණේ මෙලසිනි. කචා බදම් ගීතය සමඟ බූබන් බද්‍යාකර් වටා දැනටමත් මිලියන 80ට අධික ශ්‍රාවක පිරිසක් රැස් වී සිටිති.
මීළඟට පැන නඟින ගැටලුව වන්නේ, මෙම ගීතයේ අර්ථය කුමක්ද? යන්නයි. 'බදම්' යන වචනය හින්දි සහ වෙනත් භාෂා කිහිපයකදී ආමන්ඩ් නම් අර්ථය යෙදෙන අතර බෙංගාලයේ සහ ඇසෑම්හි එය ධාන්‍ය ඇට වර්ග හැඳීන්වීමට සාමාන්‍ය යෙදුමක් ලෙස භාවිත කරයි. මෙලෙසින් බෙංගාලයේ සාමාන්‍ය ව්‍යවහාරයේදී 'රටකජු' හඳුන්වන්නේ 'බදම්' ලෙසිනි. තමා ළඟ ඇත්තේ හොඳ තත්ත්වයේ අමු රටකජු පමණක් බවත් තමා බැදපු රටකජු විකුණන්නේ නැති බවත් ඔහු පවසයි.
"කැඩණු ජංගම දුරකතන ආවරණයක් රුපියල් පහයි.
ඔබ සතුව රන් මාල, වළලු හෝ අත් පළඳනා තිබේ නම්
ඒවා මට දෙන්න. එයට සමාන අමු රටකජු ඔබට ලැබෙනු ඇත."
'කචා බදම්' ගීතයේ අරුත කියයි.
මේ වන විට බූබන්ගේ 'කචා බදම්' ගීතය ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රම් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ වෛරසයක් මෙන් පැතිර ගොස් අවසන්ය. ලොව විවිධ රටවල බාල, තරුණ මෙන්ම වැඩිහිටියන්ද එයින් විනෝදය ලබන අයුරු දැකගත හැකිය. 'කචා බදම්' ගීතයෙන් නර්තන අභියෝගයක්ද ආරම්භ වී තිබේ. මේ අයුරින් ලොව පුරා ජනප්‍රිය වූ 'කචා බදම්' තවත් ඉහළට ගෙන යාමට බොලිවුඩයේ සම්මානනීය නර්තන නිර්මාණ ශිල්පියෙකු වන ගනේෂ් ආචාර්යා එක් වී සිටී. ඔහු ද තම පිරිවර සමඟ 'කචා බදම්' නර්තන අභියෝගයට එක්වීය. රීමික්ස් කළ කචා බදම් ගීතයේ තාලයට නර්තනයේ යෙදෙන ජනප්‍රිය ඉන්දියානු ටික්ටොක් තරුවක වන නීෂා භාත්ගේ රංගනය අනුකරණය කරමින් තරුණියන් නර්තයේ යෙදෙන ටික්ටොක් වීඩියෝ රැසක් අන්තර්ජාලයට එක් වී තිබේ.
'කචා බදම්' ගීතය ලද ජනප්‍රියත්වය සමඟ බූබන් මේ වන විට රටකජු වෙළෙඳාමෙන් ඉවත් ව සිටී. ඒ වෙනුවට ඔහු සුපිරි හෝටලවල ඔහුගේ ගීතය ගායනා කරන්නේය. "මං කලාකරුවෙක් වෙන්න ලොකු ආසාවකින් හිටියේ. මෙතැනට එන්න ලැබේවි කියා කවදාවත් හිතුවේ නැහැ . මේ දෙවියන්ගේ කරුණාවයි" බූබන් පවසන්නේය. බටහිර බෙංගාල පොලිස් මූලස්ථානය බූබන්ගේ දක්ෂතාවය අගයමින් පසුගිය දිනෙක ඔහු හට උපහාර පුද කළේය. තවද හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සෞරව් ගංගුලි විසින් මෙහෙයවන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකටද බූබන් සහභාගි වූයේය.
නමුත් පසුගිය දිනෙක අසන්නට ලැබුණේ, ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටියද බූබන් කනගාටුවට පත් වී ඇති බවයි. එක රැයකින් ජනප්‍රිය වූ තමාගේ ගීතය යූ ටියුබ් හරහා හුවමාරු කර ගනිමින් විශාල පිරිසක් ලක්ෂ ගණන් මුදල් උපයා ගත්තද එම ගීතයේ නිර්මාණකරු ලෙස තමා හට කිසිදු මුදලක් ලැබී නොමැති බවට ඔහු පැමිණිලි කළේය. බුබන් බද්‍යාකාර් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ තම ගීතය යොදා ගනිමින් නිර්මාණය කළ වීඩියෝවලින් තමා හට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට උපකාර කරන ලෙසයි. ගීතයේ නිර්මාතෘවරයා ලෙස තමා බව සඳහන් නොකර බොහෝ දෙනා එම ගීතය ගායනා කර ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එක් කර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් විය. තම ගීතය භාවිත කරමින් පිරිසක් ලක්ෂ ගණන් උපයා ගත්තද තමාගේ දෑත් තවමත් හිස් බව ඔහු පැවසීය.

