විප්ලවීය, විකල්ප නිළි පෞරුෂය

අප්‍රේල් 29, 2021

"විකෘති" සහ "පුන්තිලා" නාට්‍ය ද්වයෙහි රඟපෑමෙන් වේදිකා නාට්‍ය අරභයා මුල් යුගයේදීම අගනා අත්දැකීම් සම්භාරයක් ලබා ගත් කෞශල්‍යා ප්‍රනාන්දු හට ඉක්බිතිව රඟපෑමට භාග්‍යය ලැබුණේ මෙරට වේදිකා නාට්‍ය කලාවෙහි කලාත්මක ධාරාව ස්ථාපිත කළ පුරෝගාමී පංච මහා නාට්‍යවේදීන්ගෙන් එක් අයකු වූ සුගතපාල ද සිල්වා සූරීන්ගේ "මාරාසාද්" පතිකෘතියෙහිය (Masterpiece). මේ වූ කලී සුප්‍රකට ජර්මානු නාට්‍යවේදී පීටර් වෙයිස් 1963 නිර්මාණය කළ "The Persecution and Assassination of Jeanpaul Marat as performed by the inmates of the Asylum of charenton under the Direction of the Marquis de sade"  නමැති නාට්‍යයෙහි පරිවර්තනයකි. මෙහි කෙටි නාමය "Marat/Sade" විය. 1986 දී මුල්වරට සුගත්ගේ "මරාසාද්" වේදිකා ගත කෙරිණි. මේ නාට්‍යය වේදිකා ගත කෙරෙන පැය දෙකක් ඉක්ම වූ කාලය පුරා මෙහි රඟපාන සියලු නළු නිළියන් වේදිකාවේ රඳවා ගැනීමත් සුගත්ගේ ශූර ප්‍රයුංජන කාර්යය ඔස්සේ ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය වරින් වර මතු කිරීමත් විශිෂ්ට අත්හදාබැලීමකි. මුළු නාට්‍යය පුරාම බෙහෙත් ඔරුවේ සිටින මරා ඉන් බසින්නේ දෙවතාවක් පමණකි. මෙරට බිහි වූ ප්‍රශස්ත බුද්ධිගෝචර දාර්ශනික නාට්‍යය අතර තවමත් "මරාසාද්" අග්‍රස්ථානයෙහි වැජඹේ. මානසික රෝහලක නේවාසිකයන් රඟ දක්වන්නක් ලෙස මේ නාට්‍යය ඉදිරිපත් කෙරේ. ප්‍රංශ විප්ලවයෙන් පසුව ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය මීට ප්‍රස්තුත විය. ප්‍රංශ විප්ලවයේ පශ්චාත් ප්‍රතිඵල අරභයා මරා සහ සාද් අතර ඇති වන බුද්ධිමය සංවාදය ඔස්සේ මෙකී දේශපාලන ව්‍යාකූලත්වය විදාරණය කෙරේ. ප්‍රංශ ජනතාව විප්ලවීය මඟක් ඔස්සේ එතෙක් පැවති 14 වැනි ලුවී රජුගේ අත්තනෝමතික රාජාණ්ඩුව පෙරළා දමන නමුත් එමඟින් ඔවුන්ගේ ඊප්සිතාර්ථය වූ නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය ඈ පරමාදර්ශ ස්ථාපිත කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජය බිහි වූයේ නැත. ඒ වෙනුවට පහළ වූයේ කුමක්ද ? මර්දනකාරී ආඥාදායකත්වයකි. "මරාසාද්" මැයෙන් සුගත් ගොඩනැඟු ප්‍රශස්ත, සම්භාව්‍ය විසල් ගොඩනැගිල්ල ශක්තිමත්ව ඉහළට ඔසවාගෙන දෙපස සිටින රූපණ කුලුනු ද්වය මරා ලෙස රඟන ජැක්සන් ඇන්තනි සහ සාද් ලෙස රඟන ඩබ්ලිව්.ජයසිරිය. ඔවුහු එක සමානවැම මේ නාට්‍යමය ගොඩනැගිල්ල ඔසවා සිටිය යුත්තෝය. මක්නිසාද යත් එක කුලුනක් බුරුල් වුවහොත් ගොඩනැගිල්ල සෙලවීම නොවැළැක්විය හැකි බැවිනි. සුප්‍රකට නළු රොජර් සෙනෙවිරත්න රංගනයෙන් මතු නොව කටේ ගුරාගේ (Prompter) කාර්යභාරය ඉටු කරමින්ද කලා ලොවට ප්‍රවිෂ්ට වූයේ මේ නාට්‍යයෙනි. 

"මරාසාද්" නාට්‍යයේ මරා සහ සාද්ට පසුව ඉස්මතු වූ චාලට් කෝර්දේගේ භුමිකාව කෞශල්‍යා රැඟුවාය. මේ බැරෑරුම් චරිතය සඳහා කෞශල්‍යා තෝරා ගැනීමට සුගතපාල ද සිල්වා සූරීන්ගේ අවධානය යොමු වූයේ "පුන්තිලා" නාට්‍යයේ ඇය කළ රංගනය දැකීමෙනි. චාලට් කෝර්දේ වූ කලී ප්‍රංශ විප්ලවයේ දී මරා සමඟ වෙසෙස් කාර්යභාරයක් ඉටු කළ ගැහැනියකි. මෙහි චාලට් කෝර්දේගේ චරිතය නිරූපණය කළ කෞශල්‍යා එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ ජූරියේ විශේෂ සම්මානයෙන් ඇගැයීමට ලක්විය. පීටර් වෙයිස්ගේ නාට්‍යය ඇසුරෙන් පීටර් බෲක් අධ්‍යක්ෂණය කළ "Marat/Sade"(1967) චිත්‍රපටයේ චාලට් කෝර්දේගේ භූමිකාව රඟපෑ ග්ලෙන්ඩා ජැක්සන්ට නොදෙවැනි රංගනයක් "මරාසාද්" නාට්‍යයේ කෞශල්‍යාගෙන් ඉස්මතු වූ බව පැවැසීම යුක්ති යුත්තය.එවක රාජ්‍ය නාට්‍ය උලෙළේ වසරේ හොඳම නිෂ්පාදනය (සුගතපාල ද සිල්වා), හොඳම රචනය (පරිවර්තනය - සුගතපාල ද සිල්වා), හොඳම නළුවා (ජැක්සන් ඇන්තනි), හොඳම සංගීත අධ්‍යක්ෂණය (ආචාර්ය ප්‍රේමසිරි කේමදාස), හොඳම රංග වින්‍යාසය (සුගතපාල ද සිල්වා) ඈ සම්මාන "මරාසාද්" කෘතියට හිමි විය.

කෞශල්‍යාගේ රූපණ කෞශල්‍යය ප්‍රේක්ෂක,විචාරක උභය පාර්ශ්වය හමුවේ වඩාත් විදාරණය වූයේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ "ධවල භීෂණ" හී ලුසීගේ භූමිකාවෙන් යැයි මම සිතමි.කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය (Theory of method acting) පිළිබඳ ආරම්භයෙහි පටන්ම ඉසියුම් ලෙස ඕ කළ හැදෑරීම් "ධවල භීෂණ" නාට්‍යයෙන් පටන් ගෙන ක්‍රමිකව ඉදිරියට මුහුකුරා ගොස්, පරිපාකයට පත් අයුරු ඇගේ පශ්චාත් කාලීන චරිත නිරූපණවලින් දෙස් දේ. "ධවල භීෂණ" වූ කලී ප්‍රංශ ජාතික ෂාන් පෝල් සාත්‍රෙගේ "The Victors (Men without shadows)" (1946) නාට්‍යයේ පරිවර්තනයකි.මේ නාට්‍යයේ ලුසීගේ භූමිකාව උදෙසා එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ වසරේ හොඳම නිළියට හිමි සම්මානය කෞශල්‍යාට පිරිනැමිණ.එසේම හොඳම පරිවර්තන නිෂ්පාදනය (ධර්මසිරි බණ්ඩාරනායක),හොඳම වේදිකා සැරසිලි (ධර්මසිරි බණ්ඩාරනායක), හොඳම වේදිකා ආලෝකය (ලක්ෂ්මන් පෙරේරා), හොඳම වේදිකා පරිපාලනය (පාලිත බණ්ඩාර) යන සම්මානද "ධවල භීෂණ" කෘතියට හිමි විය. මින් ඉහත එනම් 1974 දී සාත්‍රෙගේ යථෝක්ත කෘතිය පරිවර්තනයෙන් ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුනි "මාංචු මුදන්නට කෙනෙක් නැද්ද අපට" මැයෙන් නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේය.1971 කැරැල්ල හේතු කොට හටගත් භීෂණ සමය නිසා මේ නාට්‍යය තහනමට ලක් කෙරිණ. මෙය එදා නැරැඹූ එච්.ඩී.සුගතපාල, චාල්ස් අබේසේකර, ආචාර්ය එස්.ජී. සමරසිංහ, ආචාර්ය ඒ.ජේ. ගුණවර්ධන ඇතුළු නාට්‍ය අනුමණ්ඩලය එය තහනමට ලක් කළ බැව් පෙනේ. සාත්‍රෙගේ එකම කෘතියක් පාදක වූවත් නාමෙල් වීරමුනිගේ "මාංචු මුදන්නට කෙනෙක් නැද්ද අපට" සහ ධර්මසිරි බණ්ඩාරනායකගේ "ධවල භීෂණ" එකිනෙකට වෙනස් නාට්‍ය ද්වයකි. නාට්‍යවේදියාගේ ප්‍රතිභාව සහ දෘෂ්ටිය අනුව මුල් කෘතියට ලැබෙන ස්වරූපය වෙනස් වේ. 

දේශපාලන විමුක්ති ව්‍යාපාරයක් සහ එය දැඩි සේ මර්දනය කරන රාජ්‍ය ක්‍රියාවලියක් ඔස්සේ එහි නිස්සාරත්වය යම්බඳු පමණකින් "ධවල භීෂණ" නාට්‍යය ඔස්සේ විදාරණය කෙරිණ.පාවාදීම්, හුදෙකලා වීම්,සිරකරුවන්ට වධ හිංසා, කුරිරු මර්දන, ඝාතන ඔස්සේ මිනිස් ජීවිතයේ නිස්සාරත්වය, ක්ෂණභංගුර බව, අරුත් සුන් බව ප්‍රාබල්‍යය ලෙස ජනනය කිරීමට ධර්මසිරි බණ්ඩාරනායක මින් සමත් වූයේය. මේ නාට්‍යය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ලාංකේය පරිවර්තන සාහිත්‍යයෙහි අග්‍රේසරයකු වූ සිරිල් සී. පෙරේරා සූරීන් විසිනි. මේ වූ කලී දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී තම රට යටත් කොට ගත් ජර්මානු ආක්‍රමණිකයන්ට හා ඔවුන්ට ගැතිකම් කළ මහ සෙනෙවි පැටේන්ගේ රජයට විරුද්ධව සටන් කළ ප්‍රංශ විමුක්ති භටයන්ගේ ජීවිතයෙහි බිංදු මාත්‍රයක් වස්තු විෂය කොට ගත් නාට්‍යයකි. "ධවල භීෂණ" අරභයා එහි පරිවර්තක සිරිල් සී. පෙරේරා සූරීහු මෙසේ (ධවල භීෂණ නාට්‍යය ප්‍රස්තාවනාව) කීහ.

"සාත්‍රෙ මේ නාට්‍යය තුළින් විවිධ ජාතිවලට, විවිධ වයස් සීමාවන්ට අයත්, ජීවිතය පිළිබඳ විවිධ අත්දැකීම් ඇති, විවිධ අදහස් දරන ඉතා අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින පුද්ගලයන් නවදෙනකු රංග භූමියට ගෙනවුත් ඔවුන්ගේ චිත්ත චෛතසික විභාගයක යෙදෙයි.අප ඔවුන් දකින්නේ සටන්කාමී විමුක්ති භටයන් මෙන් නොව ජීවිතයත් මරණයත් අතර බිහිසුණු ප්‍රශ්නයකට මුහුණ පා සිටින සාමාන්‍ය මනුෂ්‍යයන් මෙනි. ජීවිතය අගය කරන ඔවුහු මරණය තෝරා ගනිති. මරණය තෝරා ගන්නේ ජීවිතය ගැන ඇති කලකිරීමකින් නොවෙයි. ඔවුහු මරණයට බිය නොවූවද නිකරුණේ මියයාමට කැමැති නොවෙති. තම සගයන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම පිණිස එකෙක් ජනේලයෙන් පැන මියයන අතර තවකකු ගෙල මිරිකා මරා දමනු ලබයි. මුලදී ජීවිතය ප්‍රතික්ෂේප කරන ඔවුහු අවසානයේදී පරාර්ථ සේවය පිණිස ජීවත් වීමට තීරණය කරති. ඔවුන් මේ සියල්ල කරන්නේ කිසියම් දර්ශනයක් මත පිහිටාගෙනය. නාට්‍යයට දේශපාලනය හා යුද්ධය පසුබිම් වී ඇතත් මින් සාකච්ඡා වන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ දාර්ශනික ප්‍රශ්නයකි"

ෂාන් පෝල් සාත්‍රෙ, ඇල්බෙයා කැමූ, ෂාන් ජෙනේ වැනි ප්‍රංශ සාහිත්‍යවේදීන්ගේ නිර්මාණ සාංදෘෂ්ටිකවාදය හෙවත් භවසත්තාවාදය,භව්‍යවාදය (Existentialism)  හා අභූතරූපවාදය (Absurdism)  පිළිබිඹු කළ කැඩපත් වැන්න. "Man is a victim of circumstances" (මිනිසා තත්ත්වයන්ගේ ,අවස්ථාවන්ගේ ගොදුරකි), "Man is lonely Creature in an absurd and meaningless universe"(අරුත්සුන්, විකාරරූපී, විශ්වයේ මිනිසා වූ කලී හුදෙකලා සත්වයෙකි) ඈ දෘෂ්ටිවාද එහි ආත්මය විය.

"ධවල භීෂණ" නාට්‍යය පිළිබඳ මෙනෙහි කරන කල්හී එහි වේදිකා සැලැස්ම අමතක කළ නොහැකිය. උඩු මහලේ සිරකරුවන්ගේ කුටියත් එයට පහළින් පහත මහලේ නිලධාරීන්ගේ කාමරයත් පවතින බව දැක්වෙන ආකාරයෙන් එය නිර්මාණය වීම මෙහි තාත්වික හා යථාර්ථවාදී රංග රීතියටද ඖචිත්‍යපූර්වක විය. මේ නාට්‍යයෙහි වේශ නිරූපණයද ධර්මසිරි බණ්ඩාරනායකයන්ගෙනි. කෞශල්‍යා මෙහි ශූර ලෙස රඟපෑවේ කැරැලිකාරී ලුසීගේ භූමිකාවය.සැබැවින්ම ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ විකල්ප, විප්ලවවාදී නිළි පෞරුෂය ස්ථාපිත කරන ලද්දී ඇය බැව් මෙහිදී පැවැසීමට මම මැළි නොවෙමි. මෙතෙක් මා විසින් විග්‍රහ කරන ලද "මරාසාද්" හී චාලට් කෝර්දේ, "ධවල භීෂණ" හී ලුසී මෙන්ම ඉදිරියට මා විග්‍රහ කිරීමට අපේක්ෂා කරන "ඇන්ටිගනී" හී ඇන්ටිගනී, "දෝන කතරිනා" හී දෝන කතරිනා මෙන්ම කෞශල්‍යා රැඟු තවත් භූමිකා බොහොමයක් ඔස්සේ මගේ මතවාදය මණ්ඩනය, සමර්ථනය කළ හැකි වේ.

ඉතිරි කොටස ලබන සතියේ...