නෙළුම කියන්නේ මඩ කලල්වලට නෙමෙයි...

ජූලි 22, 2021
"Swings of love" හී ජූලියා ෆිලිප්පෝ

 

"Swings of love"" (ආදරයේ ඔංචිල්ලා) හී එකම කාන්තා චරිතය ඔස්සේ ස්ත්‍රීත්වය හා ප්‍රේමය මෙහි පිළිබිඹු කරන සන්නිවේදන මාධ්‍ය ලෙස ඇගේ ඉඟිය, සිරුරේ රිද්මය හා කටහඬ නාට්‍යවේදියා මැනවින් භාවිත කොට ඇත. මේ අතර අදෘශ්‍යමාන චරිත කීපයක් වේදිකාවේ සැරිසරනු දක්නා ලැබේ. තේමාවට අනුව විවිධ වර්ගයේ ඔංචිල්ලා පහක් ,වීඩියෝ නිර්මාණ, සුදු පසුබිම හා ජලය රංගනය සඳහා යොදාගෙන ඇත. එසේම මෙහි රංගාලෝක තාක්ෂණයෙහි අත්හදාබැලීම්ද අමතක කළ නොහැකිය. කතා තේමාව සහ ස්ත්‍රියකගේ අධ්‍යාත්මය තුළ තිබෙන අංග පහක් සංකේතවත් කරනු පිණිස මෙහි විවිධ වර්ණයෙන් යුත් ඔංචිල්ලා පහක් භාවිත කොට ඇත. ඒ අනුව රතු ඔංචිල්ලාවෙන් ආදරයද නිල් ඔංචිල්ලාවෙන් ශෘංගාරයද සුදු ඔංචිල්ලාවෙන් ස්වාධීනත්වයද දම් ඔංචිල්ලාවෙන් අධිපතිභාවයද කළු ඔංචිල්ලාවෙන් ශෝකයද සහෘදයා වෙත සන්නිවේදනය කෙරේ. මේවා ජීවිතයේ ඇයට ඇසුරු කිරීමට සිදු වූ මිනිසුන්ද විය හැකිය. නිල් පැහැය ආදරයේ සැනසුම ලෙසත් රතු පැහැය ආදරේ තෙරපුම ලෙසත් දම් පැහැය ආදරයේ නැවතුම ලෙසත් කළු පැහැය ආදරයේ බිබිළුම ලෙසත් සුදු පැහැය අවසානය ලෙසත් නාට්‍යයෙන් කුළුගැන්වේ. මෙහි නාට්‍යය පුරාම එකම නිළිය වේදිකාව මත රැඳී සිටින්නී අල්ප වේලාවකි. මුළු නාට්‍යය දිවෙන පැය එකකුත් විනාඩි 15 ක කාලය පුරාම ඇය ඔංචිල්ලා පහ මත සිටිනු දක්නට ලැබේ. විවිධ ඉරියව්වලින් ඇය ඔංචිල්ලාව මත ස්වකීය රංග කාර්යය පවත්වාගෙන යන අයුරු දැක්ක හැකිය. වරෙක වේදිකාව මත වර්ෂාව කෘත්‍රිම ලෙස ඇද හැලේ. වින්දක වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාට්‍යයට ලැබුණු ආලෝකය සුළුපටු නැත.පෙර අපර දෙදිග මුසුව සිහිගන්වමින් පහත රට බෙරය හා ගිටාරය මැනවින් සුසංයෝග වූ ඖචිත්‍යපූර්වක සංගීතයක් ඔහු මේ උදෙසා නිර්මාණය කොට තිබිණ.

"Swings of love" නාට්‍යයේ මංගල දර්ශනය ඉන්දියාවේ පුනේ හීදී වේදිකාගත කෙරිණ. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා හීද කොරියාවේ සෝල් හීද වේදිකාගත කොට තිබේ. ලොව සුප්‍රකට අන්තර්ජාතික නාට්‍ය උලෙළවලින් එකක් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ලංකාව නියෝජනය කළ පළමු නාට්‍යය ලෙස මෙය ඉතිහාසගත වෙයි. මේ වූ කලී ලොව බිහිවන ඒකපාත්‍ර නාට්‍ය (Monodrama) උදෙසා පමණක්මැ වෙන් වූ අන්තර්ජාතික නාට්‍ය උලෙළකි. "Swings of love"" හී රඟපෑම් මතු නොව සංගීතය, පසුතල නිර්මාණය හා රංගාලෝක තාක්ෂණයද ෆුජෙයිරා අන්තර්ජාතික නාට්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ටෝබියාස් බියැන්කෝගේ ඇගැයුමට ලක් විය. මෙහිදී සෆීර්, ඉතාලියානු නිළි ජූලියා ෆිලිප්පෝ මෙහෙයවා ඇත්තේ රඟ නොපා රඟපෑමේ ((Non - Acting) රූපණ විලාසයෙනි. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ "ආදරයේ ඔංචිල්ලා" නාට්‍යය සඳහා හොඳම පසුතල නිර්මාණයට හිමි සම්මානය එම්.සෆීර්ට පිරිනැමිණි.

කෙබඳු කලා මාධ්‍යයක වුවත් පෙර අපර දෙදිග මුසු වීමෙන් ප්‍රශස්ත නිර්මාණ බිහිකළ හැකි බැව් සැබවි.එහෙත් ඒ කවර කලා කෘතියකින් හෝ පෙර අපර දෙදිග කිසිදු කලෙක යා කළ නොහැකිය.ඊට හේතුව පෙරදිග හා අපරදිග අතර පවත්නා එකිනෙක යා කළ නොහැකි ප්‍රබල අනන්‍යතාව වේ. මිනිස් ජීවිතයේ ආධ්‍යාත්මික පක්ෂයට ප්‍රමුඛත්වය ලබා දෙන පෙරදිග සම්ප්‍රදාය හා මිනිස් ජීවිතයේ භෞතික පක්ෂයට ප්‍රමුඛත්වය ලබා දෙන අපරදිග සම්ප්‍රදාය අදාළ සීමාවෙන් පසුව එකිනෙකට නොපෑහෙනුයේ එක් එක් භාෂා හා සංස්කෘතික අනන්‍යතාව ඉස්මතු වීමෙනි. එහෙයින් ඉන් ඔබ්බට එය පෑහෙනු පිණිස වෙර දරන කවර කලාකරුවකුගේ වුව ප්‍රතිභාව අපතේ යනු මිස ඉන් ලබාගන්නා වූ සාරවත් ඵලයක් නොමැත. කවරවූද සංස්කෘතියක අක්මුල් නොමැතිව, අවිචාරයෙන් අපරදිගට ගැති හීන මානිකයන් මා කී මතය පිළිනොගන්නා බැව් මම දනිමි. ඔවුන් පිළිගත්තත් නැතත් "West will never meet East"" යන කියුම සම්පූර්ණ සත්‍යයකි. සෆීර්ගේ නාට්‍යයෙහි පෙර අපර දෙදිග මනා මුසු වීමක් දක්නා ලැබුණද ඔහු යථෝක්ත යථාර්ථය හොඳීන් වටහා ගෙන සිටියේය.

මේ නාට්‍යය නිර්මාණය කරද්දී සෆීර් ලැබූ අත්දැකීම, අපරදිග ශිල්පීන් සමඟ මෙබඳු නිර්මාණ කරන බොහෝ අය මෙන් හීනමානයෙන් නොසඟවා, ඔහු ඉතා අව්‍යාජව වරක් මට හෙළි කළේය. එමඟින් මා යට සඳහන් කළ යථාර්ථය සනාථ වේ.

"මේ නාට්‍යය පුහුණුවීම් ආරම්භයේ දී මා දන්නා ඉංග්‍රීසි භාෂාවෙන් ජූලියා ෆිලිප්පෝ හට මෙහි තේමාව අවබෝධ කරදෙන්නට උපරිමයෙන් උත්සාහ කළා.එහෙත් ඇයට අවබෝධ වුණේ නැහැ. පසුව මා දන්නා ඉංග්‍රීසි මේ සඳහා ප්‍රමාණවත් නැහැයි සිතූණු නිසා මා පරිවර්තකයකුගේද සහාය ලබා ගත්තා.ඒ පැහැදිලි කිරීමෙනුත් ඇයට වැටහුණේ නැහැ. පසුව අපි තාවකාලිකව පුහුණුවීම් නතර කළා.ටික දිනකට පසුව ජූලියා ෆිලිප්පෝ මේ ගැටලුව හරියටම අවබෝධ කරගෙන අපට පැහැදිලි කළා. "සෆීර් මේකයි හේතුව ඔයා සිංහලෙන් හිතලා එය ඉංග්‍රීසියට නඟා මට පැහැදිලි කරනවා.මං එය ඉංග්‍රීසි භාෂාවෙන් අරන් මගේ ඉතාලි මවු භාෂාවෙන් හිතලා වටහා ගන්න උත්සාහ කරනවා. ඉතින් කොච්චර ඉංග්‍රීසි පුළුවන් වුණත් අපි හිතන්නේ මවු භාෂාවෙන් නිසාත් ඒ ඒ භාෂාවල අනන්‍යතාව නිසාත් අපට ග්‍රහණය වන්නේ ටිකයි නේද ?." ඇයගේ මේ වැටහීම සම්පූර්ණ සත්‍යයක්.පසුව අපි පුහුණුවීම් තාවකාලිකව නවතා සංස්කෘතික වශයෙන් එකිනෙකා අවබෝධ කරගැනීමට යම් කාලයක් ගත කළා.ඇය තේමාව ග්‍රහණය කොට ගත්තේ ඉන්පසුවයි."

ලොව කවර රටක වුවත් ආදරය,

ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වයට අදාළ මිනිස් හැඟීම්වල සාම්‍යයක් දිස් වූවත් මේ සියලු හැඟීම් අදෘශ්‍යමානව හසුරුවන ප්‍රබල බලවේගය එනම් කිසිදා සමතික්‍රමණය නොකළ හැකි නිම්වළල්ල (Horizon) සංස්කෘතික අනන්‍යතාව බව බොහෝදෙනා අමතක කරති. ලොව කවර කලා මාධ්‍යයක වුව මේ සංස්කෘතික අනන්‍යතාව අමතක කොට නිර්මාණ කළවුන් අසාර්ථක වූයේ එහෙයිනි.

සෆීර් ස්වකීය නාට්‍ය නිර්මාණ සඳහා තාක්ෂණය බෙහෙවින් ඉවහල් කොට ගන්නා නාට්‍යවේදියෙකි. තම නාට්‍යයක සම්පූර්ණ පුහුණුවීමක් සිදු වන විට එය වීඩියෝ මාධ්‍යයට නැඟීම ඔහුගේ සිරිතකි. ඉක්බිතිව පසුදා ඒ වීඩියෝව ශිල්පීන් සමඟ නැරැඹීමෙන් මංගල දර්ශනයට ප්‍රථම එහි දෝෂ නිවැරැදි කොට ගැනීම ඔහුගේ ක්‍රමවේදය වේ. නූතන නාට්‍යවේදීන් නාට්‍ය නිර්මාණයෙහි සෑම පියවරකදීම තාක්ෂණය ඉවහල් කොට ගැනීමෙන් ලබා ගත හැකි මහඟු ඵල මේ නිදර්ශනයෙන් පෙනේ.

සෆීර්ගේ "Swings of love"", "ආදරයේ ඔංචිල්ලා" නාට්‍ය ද්වය දෙස විමංසනාක්ෂිය හෙළීමේදී මා හට සිහිපත් වූයේ කලකට ඉහත නැරැඹූ, ඓතිහාසික වාර්තාවක් තැබූ පර්යේෂණාත්මක හින්දි චිත්‍රපටයකි.මේ වූ කලී නළුවකු පමණක් රඟපෑ ලොව බිහිවූ ප්‍රථම ඒකපාත්‍ර (World's first one-actor movie) වෘත්තාන්ත චිත්‍රපටය වේ. සුප්‍රකට ඉන්දියානු නළු සුනිල් දත් නිපදවා, අධ්‍යක්ෂණය කොට රඟපෑ "Yaadein" (1964) මෙලෙස ලෝක ගිනස් වාර්තා පොතටද ඇතුළත් විය. මේ වූ කලී මිනිසකුගේ ආත්ම භාෂණයක් (Soliloquy))අන්තර්ගත වූ චිත්‍රපටයකි. සාර්ථක ව්‍යාපාරිකයකු වූ අනිල් , නිවසට පැමිණ තම බිරිඳ හා පුතුන් දෙදෙනා සොයයි. එහෙත් ඔවුන් එහි පෙනෙන්නට නොමැත. ඔවුන් අනිල් හැරදමා ගොස් ඇති බැව් පෙනේ. මෙතැන් සිට ඔහු තම ජීවිතයේ අතීත සැමරුම් සිහිපත් කරයි. අතීතයේ තමාගෙන් සිදු වූ වැරැදි මෙනෙහි කොට පසුතැවිලි වෙයි. "aadein"" චිත්‍රපටයේ අන්තර්ගත වූයේ මෙබඳු කතා තේමාවකි. කළු සුදු, විනාඩි 113 ක ධාවන කාලයක් පුරා එහි රංගනයෙන් දායක වනුයේ සුනිල් දත් පමණි.මේ වූ කලී ඉතා සාර්ථක ඵල නෙළාගත් පර්යේෂණාත්මක චිත්‍රපටයකි. ලතා මංගේෂ්කර් ගැයූ (වසන්ත් දේසායි සංගීතවත් කළ) ගීත ද්වයක් චිත්‍රපටයට ඇතුළත් විය. චිත්‍රපටයේ ඇතැම් දර්ශනවල නර්ගීස්ගේ කටහඬ පමණක් ඇසේ. අවසාන දර්ශනයේ ඇයගේ රුව සහෘදයාට දිස්වනුයේ බිත්තියෙහි පතිත වූ සෙවණැල්ලක එනම් කැලිසේයාවක (Silhouette) විලාසයෙනි. මුළු චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂක අවධානය අඛණ්ඩව තමා වෙත නතු කොට තබා ගැනීමට සුනිල් දත් සමත් වේ.

සෆීර්ගේ ""Swings of love", "ආදරයේ ඔංචිල්ලා" නාට්‍ය ද්වයද එබඳුම සාර්ථක, පර්යේෂණාත්මක අත්හදාබැලීමක් ලෙස මම දකිමි.

මේ අරභයා ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයෝ වරක් මෙසේ කීහ.

"ස්ත්‍රියකගේ කවිකාර හැඟීම ප්‍රේක්ෂක විඥානයට බල කරන්නේ ආදරය හඳුනාගන්නට නම් ඇගේ ඔංචිල්ලාවට ගොඩ වී බැලිය යුතු බවයි. පංච වර්ණ ඔංචිල්ලා මත සිට ආකර්ෂණීය දේහය විදහා දක්වමින් චලනය වන මේ කවිකාර ස්ත්‍රිය "ආදරේ නම් මේ යැයි " තෝරා දෙන විට එක මොහොතකටවත් ඇය කෙරෙන් ඇස් ඉවතට ගැනීම නොහැකිවීම ඔංචිල්ලාවේ ඇති විස්මය වේ. අපට හුරු පුරුදු අපේ රංගය පොළොව පාගමින්, නටමින්, වයමින්, භාෂණයේ යෙදෙමින් කරන රංගනයකි. පොළොවෙන් උඩ වෙනත් අවකාශයක හිඳ, ශරීරයේ සමබරතාව නොබිඳ, එය උඩු යටිකුරු කරමින්, කරනම්, හරඹ පාමින් රංගනයේ යෙදීම ලාංකික රංගන ශිල්පිනියකගෙන් බලාපොරොත්තු විය නොහැකිය.එසේම ස්ත්‍රී දේහය උද්දීපනය කරන රංග වස්ත්‍ර අඳීන්නටද අපේ ශිල්පීන් මැළි වීමට ඉඩ ඇත. එහෙත් ඔංචිල්ලාවෙහි රඟන ඉතාලියානු ජාතික ජූලියා ෆිලිප්පෝ ඇගේ රංගන අභ්‍යාසයේ හා නිදහස් සංස්කෘතික පෝෂණයේ මහිමයෙන් එබඳු රංගනයකට උචිත හුරුබුහුටිකම ලබා ඇත්තීය.ඇගේ ශරීරයේ කාව්‍යමය සෞන්දර්යය මේ කාව්‍යමය රංගය සමඟ මනාව සුසංයෝගයෙන් බැඳෙයි."

සෆීර්ගේ ""Swings of love" (ආදරයේ ඔංචිල්ලා) හී ඇය වරෙක ආදරය සහ විසඹ රසය හෙවත් සම්භෝග රතිය එකිනෙකට තුලනය කොට මෙලෙස පවසන්නීය.

"Solace can emerge within coition.

Love can prevail within solace.
but coition doesn't mean love.
A lotus may be born through muddy moarts.
but lotus means lotus
and it doesn't mean mud.
 

(සම්භෝගය ඇතුළෙ සැනසිල්ල උපදින්න පුළුවන්. ඒ සැනසිල්ල ඇතුළෙ ආදරය පවතින්නත් පුළුවන්. නමුත් සම්භෝගය කියන්නෙ ආදරය නෙමෙයි. මඩ කළල් අතරින් නෙළුමක් පුබුදන්න පුළුවන්.

ඒත් නෙළුම කියන්නෙ නෙළුමට මිසක් මඩ කලල්වලට නෙවෙයි"

 

ඉතිරි කොටස ලබන සතියේ...