මෙහි සර්පයින් බාර ගනු නොලැබේ

යොං හෑලි
සැප්තැම්බර් 23, 2021
A/L
හොඳම පොත්

 

පහුගිය දවස්වල වයින් ස්ටෝර්ස් ඇරියාම අපේ මිනිස්සු ඒ වටේ රොක්වුණේ ආයිත් මේ සම්මජ්ජාතියේ මේ පානය ලෝකෙන් තුරන් වෙයි කියලා හිතාගෙන. ඒවා ටෙලිවිෂන් එකේ සමාජ ජාලාවල පෙන්වූ අයත් ඒවා පෙන්වූවේ අපි නම් ඕවට නෑ කියන්නා වගේ. පරණ කතාවක් තියෙනවා ඔවා දෙනු පරහට කියලා. මාධ්‍ය ඒක පෙන්වුවාම ඔය පෙන්වපු මාධ්‍ය හිතවතුන්ගේ වගතුග දන්නා අපිට මතක් වුණේ ඉස්සර එක ඉබ්බෙකුටවත් ඉන්ඩ දුන්නේ නැති හාදයෙක් සිල් අරගෙන කළා කියන වැඩක්. සිල් අරගෙන එනකොට මිනිහා දකිනවා කොල්ලො ටිකක් ඉබ්බෙක් බාබකියු කරන්න හදනවා. හැබැයි උන්ට මේක කර ගන්ඩත් බෑ . සිස්ටම් එක වැරදියි. උපාසක මේකට එක්ස්පර්ට්. එත් කොහොමද කියන්නේ සිල් අරගෙන . බැරිම තැන මෙහෙම කියුවලු. අපට මොටද අපි දසසිල් උපාසක- ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට කියලා. ඔය බෝතල් අරන් යන කට්ටිය ගැන චැනල්වල පත්තරවල සමාජ ජාලාවල පෙන්වපු අය විතරක් නෙවේ. ඒකට විරෝධය පළ කරලා ස්ටේෂන් හන්දි ගානේ කෑගහන කට්ටියටත් එක්කයි ඒක ලිව්වේ.

කොහොම වුණත් මේ කතාවට අරක්කු සමබන්ධයි. අරක්කු කිව්වේ පොදු අර්ථයෙන්. ඕනෑ ජාතියක බීමක්. හැබැයි රජයට බදු ගෙවන නීත්‍යානුකූලව පෙරපු. ඔන්න මෙයට අවුරුදු ගණනාවකට කලින් කොළඹ ලොකු හෝටලයක ලොකු පාටියක්. මොකද්දෝ එළි දැක්වීමක් ගැන. ඕකට සෙට් වෙලා හිටියා කවියෙක් හැටියට නමක් දිනූ මහත්තයෙකුත්. නාට්‍ය නිෂ්පාදක මහත්තයෙකුත්. මේ දෙන්නා එකම කන්තෝරුවක වැඩ කරන්නේ. කවි මහත්තයා ලොක්කා. නාට්‍ය මහත්තයා දෙවැනියා. දැන් ඒකට ඇවිත් හිටියා එම ආයතනයේම වැඩ කරපු ගැටවු දෙන්නෙකුත්. දැන් ඒ ගැටවු තලත්තෑනියි. ඒකාලයේ කවි මහත්තයාගේ ගේ ළඟ තමයි නාට්‍ය මහත්තයාගේ මහගෙදර තියෙන්නේ. කවි මහත්තයා ඒ අසලින්ම අලුත් ගෙයක් හදාගෙන පදිංචි වෙලා හිටියේ. කොහොම වුණත් මේ ජිවත්වන පරිසරය ගැන කිව්වේ මේ කතාව වටහා ගන්න මේ පරිසරය ගැන දැන ගත යුතු නිසා. මේ හතර දෙනාම හිටියේ හයිලෙවල් පාරේ. ඒ කියන්නේ කොළඹ ඉදන් ගත්තොත් කොළඹත් මහරගමත් අතර. නාට්‍ය මහත්තයා තමයි දුරින්ම සිටියේ. ඉතින් කොහොම හරි දැන් සාදය මාරයි. අර ගැටවරයන් දෙන්නට හැර අනිත් කටිටය ගැන කියනවා නම් වීදුරු එක දෙක විය දෙක තුන විය මගේ කරුමෙට වගේ වැඩේ සෙට් වුණා. ඒ බීපු ඒවා ආවේ තැපෑලෙන්. ටික වේලාවක් ගියාට පස්සේ කවි මහත්තයාට තේරුණා පුතෝ කාර් එක එළවන්න බෑ කියලා. ඒ පාර බීම නතර කරන්න හදන කොට අර ගැටවු දෙන්නත් කියාපි කමක් නෑ අපි කාර් එක එළවා ගෙන යන්නම් මහත්තයා බොන්න කියලා. දැන් ඉතින් සීමා රහිතව කවියාටත් නාට්‍ය මහත්තයාටත් වැඩේ සෙට් වුණා. දැන් ඉතින් ඇති පදම් වුණාම. අර කාර් එක අයිති මහත්තයා ඉස්සරහ සීට් එකටත් එක් ගැටවරයෙක් රියැදුරු අසුනටත් නැංගා. ඉතින් කොහොම හරි මගදී නාට්‍ය මහත්තයා බැහැලා ගියා. ඉතිරි ටික බස් එකක යනවා කියලා. අර හාදයෝ දෙන්නාම කවි මහත්තයා ගෙදරට අරන් ගියා. ගිහින් ගේ ගාව වාහනය නවත්තලා. හීන්සීරුවේ කවිමහත්තයාව උස්සලා රියැදුරු අසුනේ තිබ්බා. ප්‍රශ්නයක් නෑ. ගේ ඉස්සහනේ. මහත්තයාව එහෙම තියලා දෙන්න බැහැලා පාරට ඇවිත් බස් එකෙන් ගෙදර ගියා. දැන් ඔන්න පහුවදා. කට්ටිය කන්තොරුවේ. නාට්‍ය මහත්තයා තාම නෑ. ලොකු මහත්තයා වුණ කවි මහත්තයාත් ආවා. ගැටවු දෙන්නා දිහා බලලා කිව්වා.

"ඊයේ මං කොහොමද ගෙදර ගියේ."

ඒ පාර ගැටවු දෙන්නත් ගිය හැටි විස්තර කළා. ඊට පස්සේ මහත්තයා මෙහෙම විස්තරයක් කිව්වා. ඔන්න අර ගැටවු ගියාට පස්සේ ටික වෙලාවකින් මහත්තයාට ඇහැරුණා. වටපිට බලන විට ගේ ඉස්සරහමයි. හැබැයි කවුරුවත් පෙන්න නෑ. දැන් ඒ තරම් වෙරි ගතියක් නෑ. ඒ පාර කාර් එක ස්ටාට් කරගෙන ගානට ගෙදර ගරාජ් එකටත් දාගත්තා. දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. ගේ ඇතුළටත් ගියා. අඩුම ගණනේ අඩියක් ගැහැව්වා කියලා ගෙදර අය දන්නේ වත් නැති තරම්. දැන් ඉතින් මහත්තයාටත් සන්තෝශයි. ඔන්න උදේ පාන්දර නැගිටලා නාගෙන එහෙම ලෑස්ති වෙලා කෑම කන කොට අල්ලපු ගෙදර හිටපු අම්මා ඇවිල්ලා. ඇවිත් එකපාරට මෙහෙම කියාපි

"මං දැක්ක ඊයේ ආපු අපූරුව."

ඔන්න එතකොට මහත්තයාගේ නෝනත් බැලුවලු මේ මොකද කියලා. ඇයි දෙය්යනේ ඊයේ හොඳට ගෙදර ආවානේ.

"මං දැක්කා . ඉලන්දාරි දෙන්නෙක් හීන් සැරේ උස්සලා සීට් එකේ තියලා දුවනවා. මං උන් දෙන්න දන්න හින්දා පැත්තකට වෙලා බලන් හිටියා. ඊට පස්සේ තමා දැන ගත්තේ කෙලින් කටින් ඉන්න බැරි විධියටයි ගෙදර ආවේ කියලා. "

ඉතින් ඔය පටි රෝල් වෙච්ච කතාව කියලා ටික වේලාවකින් තුම්මුනින් දුම් දාගෙන නාට්‍ය මහත්තයාත් කන්තොරුවට ආවා. දැන් ඉතින් ලොක්කාට වෙච්චි සංගදිය ගැන කට්ටිය රස කර කියන කොට දෙවැනි මහත්තයාට වෙච්ච කතාව කියලා.

දෙවැනි මහත්තයාගේ ගෙදරට මහ පාරේ ඉඳන් ටික දුරක් යන්න තියෙනවා. ඒ හරියේ පුංචි කැලෑ රොදක් වගේ තිබුණා. (දැන් නම් එහෙම ඒවා පේන්නවත් නෑ) . ඉතින් මේ රාත්‍රියේ යන කොට අතරමඟ මහ කලබලයක්. ටිකක් නතර වෙලා විස්තරේ අහලා බලන කොට තඩි නයෙක්. අර ෆ්‍රෙඩී සිල්වාගේ සින්දුවේ වගේ එකෙක් ගහපිය මරපිය ඔළුවට කොටපිය ආදි වශයෙන් කියන විට තව එකෙක් පාලි සංස්කෘතත් කියනවා. ගෑනු කෑගහනවා. දැන් නයා කොටුවෙලා. කට්ටිය පොලු අරගන්නේ නයා මරන්න. අනේ ඉතින් පස් වැනි සිල්පදය කැඩුවට පළමුවැනි සිල් පදය ගැන අපේ නාට්‍ය මහත්තයාට මතක් වුණා. ඒ විතරක් නෙවේ. ඔය මසක් මාංශයක් මරා ගෙන කෑවට ඔය නාට්‍ය මහත්තුරු හරි මානව දයාවෙන් යුතු නිසා එක පාරට පැනලා කිව්වා.

මල්ලි නයා මරන්ඩ එපා මල්ලී. පවු. අපි කවුරුත් මල්ලි ප්‍රාණයට ආදරෙයි. ඒ නිසා අපි මූව බේරමු. කළ කළ දේ පළ පළ දේ කියල තියෙනවානේ. ඒකම ඉංග්‍රීසියෙන් නිව්ටන් කියනවා එව්රි ඇක්ෂන් හෑස් අ රි -ඇක්ෂන් කියලා. (දන්නවනේ බිව්වම ඉංග්‍රිසි මතක් වෙනවා. මහත්තයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නයිට් ස්කෝලෙක. ඒකට ගිහින් තිබුණේ බීලා) ඒ නිසා මරන්න එපා. .

මරන්ඩ එපා කියන්නේ මූ විෂඝෝර සර්පයා - අත නෑරු මෝඩයා කියලා අහලා නැද්ද?

දැන් අර පාලි සංස්කෘත කියපු හාදයා අහපි. හැබැයි අපේ නාට්‍ය මහත්තයා ටෙලි නාට්‍යවල එහෙම දැකලා පොඩි දන්නා හඳුනන එකකුත් තියෙනවා. පොඩි ගෞරවයක් තියෙනවා. නාට්‍ය මහත්තයා වඩාත් සන්සුන්ව කියනවා

"නැහැ මල්ලි. මෙයාව මෙහෙ තියා ගන්න බෑ. අපි මෙයාව සූ එකට ඒ කියන්නේ සතුන්වත්තට බාර දෙමු."

මේකටත් දැන් වාදයක්. කොහොම හරි කරලා නයාටත් දැන් වුවමනා ඉන්න තැනින් මාරු වෙන්න.

පස්සේ අපේ නාට්‍ය මහත්තයාම මෙහෙම කියාපි .

හරි ඔය ගොල්ල බය වෙන්න එපා මම ඒක කරනනම්. ගේන්න මල්ලි ගෝනියක්.

ඔහු වැඩේ කරන හැටි කියන්න පටන් ගත්තා. අපරාදේ කියන්න බෑ ඔය කෑගහන එවුන් මැද්දේ බය නැති එකෙකුත් ඉන්නවානේ. ඒ ඉලන්දාරියාත් වැඩේට සෙට් වෙන්ඩ කැමැතියි. ගෙනාවා ගෝනියක් . ඉස්සෙල්ලාම ඒක කනපිට ගැහැව්වා. දැන් වෙරි පිට කොහෙද බය? ඊළගට පැන්නා නයා ගාවට ටක් ගාලා නයාගේ පෙනෙන් අල්ලා ගත්තා. එහෙම්ම ගෝනිය ඇතුළට දැම්මා ගෑනු මුලින් මරලතොනි දුන්නත් ඉවර උනාට පස්සේ පුදුම සැලකිල්ලක්. ඇයි යකෝ නයෙක් අල්ලාගෙන ගෝනියකට දානවා කියන්නේ. ( නොබිවුවොත් කැරපොත්තෙක් දැක්කොත් පණ එපා කියලා දුවනවා කියන එක ඒ අය දන්නේ නෑ) නාට්‍ය මහත්තයා අර ඉලන්දාරියාත් එක්ක ගෝනියත් ගැට ගහ ගත්තා. ඒ විතරක් නෙමේ මිනිසුන්ගේ ප්‍රංශසාවටයි ප්‍රශස්තියයි කොච්චර හිතට ගත්තාද කිව්වොත් නයා සහිත ගෝනියත් අර ගත්තා. යන්න කලින් කාටත් අවවාදයක් දුන්නා.

හැම සතෙක්ම තමන්ගේ පණට ආදරෙයි. ඒ හින්දා කිසිවිටෙකත් පර පණ නසන්න එපා. පර පණ නැසුවොත් කවර විපාකේ. අපමණ දුක් දෙයි සතර අපායේ. අහල තියෙවානේ. දහම් පාසැලේ ගිහින් ඇතිනේ. අපි නම් ඕවා ඉගෙන ගත්තේ දහම් පාසැලෙන්. ඒ හින්දා මින් පස්සේ සර්පයෙක් දැක්කම මරන්න එපා. අල්ලලා ගෝනියක දා ගන්න . අපි සූ එකට බාර දෙමු.

මේ අවවාදයෙන් පස්සේ මහත්තයා තනියම ගෙදර ගියා. නිකම් නොවේ නයි ගෝනියත් අරගෙන. ගෙදර ගිහින් නයි මල්ල තිබ්බා මේසේ උඩ. දැන් නයා ගෝනිය ඇතුලේ පුස් පුස් ගගා දඟලනවා. ගෙදර නෝනා මේක ලිහන්ඩ යනවා. දරුවාගේ හිතේ බළල් පැටියෙක් ගෙනල්ලා කියලා. ඒ වන විට ටිකක් නාට්‍ය මහත්තයාටත් වෙරි හිඳීලා.

"එපා .එපා ඕකෙ නයෙක්."

නෝනා ඉස්සෙල්ල හිතුවේ විහිළුවට කියලා.

මහත්තයා නෝනාට ඇත්තම කිව්වා. නෝනා මරලතෝනි දුන්නා. දරු පැටියත් අරගෙන අල්ලපු ගෙදරට දුවපි. කොහොම හරි එළි වෙළා තවම නයා ගෝනියේ . මහත්තයාට රෑටත් කන්ඩ නෑ උදේට කන්ඩත් නෑ. ඒ මදිවට නෝනා බැන්ද දවසේ ඉඳන් කරපු සියලු අතීත කතා ඇදගෙන බණිනවා. දැන් ඉතින් වෙච්ච දේට එන්න සෙය්යදු කියලා ත්‍රි වීලර් එකක් හොයාගෙන දෙහිවලට ගිහින් බොහොම අමාරුවෙන් නයා බාර දුන්නාලු. අනේ එතැන හිටපු උන්නැහේත් මුහුණවත් බලන්නේ නැතිව ඔන්න ඔහේ තියලා යනවා කියාපි. මේ වුණ සියලු දුක් ගැහැට විඳගෙන දෙවැනි මහත්තයා ඒ කියන්නේ නාට්‍ය මහත්තයා කන්තෝරු ආපි.

හැබැයි කතාව මෙතැනින් ඉවර නෑ. ඔන්න ඊළඟ ඉරිදා මහත්තයා ගෙදර ඉන්නකොට හවස හතරට විතර ඉලන්දාරි දෙන්නෙක් ගෙදරට ඇවිත්. නෝනාගෙන් මහත්තයා ගැන ඇහැව්වාම එතුමියත් මහත්තයාට කතා කරලා. දාවල් නින්දක හිටපු මහත්තයා ඉස්සරහට එනකොට කොල්ලො ලොකු ගෝනියක් අරගෙන දුන්නා.

ඇයි මල්ලි

නාට්‍ය මහත්තයා ඇහුවා.

මහත්තයා මේ නයෙක් ගෙනාවා.

ඇයි

නෑ මහත්තයා එදා නයෙක් අල්ලාගෙන ගියානේ. ඉතින් අපි මූව මැරුවෙත් නෑ. අරං ආවා.

හැරිලා බලන කොට නෝනගේ මුහුණ නයි නෙමෙයි පොළොං විමානයක් වෙලා. ඒ කොල්ලලො ටික යවලා දවසක් ගියේ නෑ . කන්තෝරුවට කෝල් එකක් ඇවිත්. ගෙදර හිටපු නෝනාගෙන්. ටෙලිෆෝන් එක අතට ගත්තු මහත්තයාගේ මූහණ රතු වෙනවා කට්ටියම බලා ගෙන.

"අන්න එකෙක් මහත්තයා අහනවා. සර්පයෙක් ගෙනත් කියලා"

නෝනා ඇඟට ගොඩ වෙලා.

අන්තිමට බැරිම තැන කන්තෝරුවේ හිටපු ගැටවරයන්ගේ උපදෙස් පරිදි තවත් සතියකට පස්සේ ගේ ඉස්සරහ ලොකුවට මෙහෙම බෝඩ් එකක් තිබුණා.

'මෙහි සර්පයන් බාර ගනු නොලැබේ'

හැබැයි තවත් ටික කාලයක් ගියාට පස්සේ කවි මහත්තයා විශ්‍රාම ගියා. නාට්‍ය මහත්තයා හදිසියේ සියල්ලන්ගෙන් වෙන් වුණා. පොඩ්ඩෝ ලොක්කො වුණා. අර කන්තොරුවේ හිටපු ගැටවරයෙකුත් ලොක්කෙක් වුණා. ඉතින් ඔය ලොක්කන්ගේ පාරක ගිහින් පොඩි වැඩක් වුණා. දවසක අර විධියෙම වැඩකට සෙට් වෙලා මිනිහා ගෙදර යන්න බස් එකකට නැංගා. පිටකොටුවෙන් රෑ අටට විතර. හොඳ අසුනකට වාඩි වුණා. ඔන්න ටික වේලාවකින් වෙළෙන්දෙක් ඇවිත් පොත් විකුණනවා. දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම දායාදය ඉගෙන ගන්න එක. බලන්න මේ පොත් හවස දරුවෙකුට දුන්නාම ඒ දරුවාගේ සතුට. දරුවා ඉගෙන ගන්නවා. ඉතින් මේ වෙළෙන්දාගේ කතාව කොච්චර ද කිව්වොත් අපේ ගැටවර මහත්තයාට තමන්ගේ දරුවා සිහිපත් වුණා. සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ පොත් සෙට් එකම ගත්තා. තව ටික වේලාවකින් බස් එකත් පිම්මේ ගෙදර ගියා.

ගෙදර ගිය ගමන් දරුවාට පොත් ටික දුන්නා. තව ටික වේලාවකින් නෝනාත් දරුවාත් මොකක්දෝ කියමින් හිනහවෙමින් කසුකුසුවක. ඒ පාර මනුස්සයා එබිකම් කරලා බැලුවා.

"ඈ අනේ මොකද අනේ මේ දරුවාට මේ පොත් බිව්වයි කියලා ඔහොම අපරාදේ වැඩ කරනවද?"

නෝනා ඇඟට ගොඩ වුණා.

"ඇයි?"

මොනවද මේ පොත්.

"දරුවටනේ."

"දරුවටනේ. තමයි." නෝනාත් කියාපි. ඒ පාර පොත් ටික එකෙන් එක බැලුවා.

ලස්සනට අකුරු ලියමු. පින්තූර පාට කරමු. කපා අලවන ජාතික වීරයන්ගේ පින්තූර පොත. ඉංග්‍රිසි අකුරු පින්තූර සමඟ. ඒ පොත් සෙට් එකේ තිබුණ පොත්.

මහත්තයා මුකුත් කිව්වේ නෑ. . වෙනදා නම් බත් කනකොට ලුණු වැඩිය. අරක නැද්ද මේක නැද්ද වගේ මැසිවිලි නැඟුවෙත් නෑ. ඔක්කොටම වඩා දරුවාගේ ඔලොක්කු හිනාව තමයි ඉවසන්න බැරි. දන්නවාද හේතුව. මොන්ටිසෝරි පොත් ගෙනත් තියෙන්නේ ඒ ලෙවල් පන්තියේ ළමයෙකුට.