ජෝන් ද සිල්වා සූරීන්ගේ සියවස් සැමරුම

පෙබරවාරි 3, 2022

 

ශ්‍රී ලාංකික නාට්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සිංහල නාට්‍ය කලාවට පණ නළ පෙවූ සිංහලේ අසහාය නාට්‍යකරු ජෝන් ද සිල්වා ශූරීන් වියෝවී පසුගිය 28 දාට සියවසක් සපිරිණි. එතුමන්ගේ උත්කෘෂ්ට කලා දිවිය අනුස්මරණය කිරීම අදට වඩාත් කාලෝචිතය.

වර්ෂ 1857 ජනවාරි 13දා උපත ලද ජෝන් ද සිල්වා කිතුනු පරිසරයක හැදී වැඩී ඉංග්‍රීසි අධ්‍යාපනය මනාව ලැබූ අයෙකු විය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය පළමුව ආරම්භ කළේය. මේ අතර ඔහු ලේඛන කලාවට පිවිසි අතර කවි නිර්මාණය කිරීම ඔහුගේ ප්‍රියතම කාර්යය විය. කවි කොළ හා කවි පත්‍රිකා ඔහු වෙතින් බොහෝ අවස්ථාවලදී පළවිය. එම නිසඟ හැකියාව උපරිම ප්‍රයෝජනයට ගත් ජෝන් ද සිල්වා ශූරීන් කෙටි කලෙකින් ඉතා ජනප්‍රිය තත්ත්වයට පත් වූයේ ස්වීය නිර්මාණකරණය නිසාය.

බෞද්ධ කැරොල් ආකාරයේ නව සම්ප්‍රදායක් මෙම අවධියේ ආරම්භ වූ අතර නූර්ති සම්ප්‍රදාය ගොඩනැඟී ප්‍රසාංගික අත්දැකීමක් බවට පත්ව තිබුණි. නූර්තියට අත්පොත් තැබූ මෙරට ප්‍රථම පුද්ගලයා වූයේ සී. ‌දොන් බස්තියන් වුවත් එය ව්‍යාප්ත කිරීමට ජෝන් ද සිල්වා දැරූ පරිශ්‍රමය විශිෂ්ට වු එකකි. මේවා ඉන්දියානු පාර්සි නාට්‍ය කණ්ඩායමේ ආභාසය නිසා ඇති වූවත් එය දේශීය සම්ප්‍රදායක් ලෙස ඉදිරියට යන්නේ ජෝන් ද සිල්වාගේ උත්සාහයෙනි. ඔහු සිංහල සාම්ප්‍රදායික ජනකවි ආභාසය කොටගත් කලා මාධ්‍යයක් ලෙස ඉතා සෞන්දර්යවාදීව එය අභිවර්ධනය කළේය.

1886 රාමායණය නමින් ඔහුගේ ප්‍රථම නිර්මාණය වේදිකාගත වන්නේ ඒ අනුවය. ඉතිහාස කතා බෞද්ධ ජාතක කතා වස්තු විෂය කර ගනිමින් එවක බ්‍රිතාන්‍ය පාලන අවධියේ දේශීයත්වය ඉහළට ගෙන ඒමට ඔහු කටයුතු කළේ ඉතා දූරදර්ශීවය. එමඟින් සිත් සතන්වලට ජාතික අභිමානය එකතු විය. කලා අස්වැන්නෙන් පෝෂණය වූ ජන හදවත් නව ආරකට ගලා යන්නට විය.

අලකේශ්වර චරිතය දේවානම් පියතිස්ස වැනි කාව්‍ය කෘති දෑ එඩිය සවිමත් කරලන්නට සමත් වූ ඔහුගේ කෘතීන් විය. මේ වන විට නීතිඥවරයකු ලෙස ද ඔහුගේ ගමන ශක්තිමත් වී තිබුණු නිසා උගත්කමත් බුද්ධිමත් කමත් සෞන්දර්යවාදී මානව හදවතත් ඔහුගේ නිර්මාණ තුළින් මතුව ආ බව සත්‍යයකි. ශ්‍රී වික්‍රම, සිරිසඟබෝ, දුටුගැමුණු, රත්නාවලී වැනි විශිෂ්ට නූර්ති මෙරට නාට්‍ය කලාවේ ජෝන් ද සිල්වා සලකුණ සිනිටුහන් කළේය.

ඔහුගේ ජාතික කර්තව්‍යය ඉවසාගත නොහැකි වූ පිරිසක් එක් අවස්ථාවක රාමායණය රඟ දැක් වූ රඟහලට ගිනි තැබූහ. මින් උරණ නොවූ මේ සොඳුරු මිනිසා එය ගිනිගත් රාමායණය නමින් ඉදිරියට ගෙනගියේ ධෛර්යවන්තවය.

දන්නෝ බුදුන්ගේ, සුවඳ පත්ම ඕලු ආදි, සිරි සංඝබෝධි මාළිගාවෙ දී මං වැනි ගීත ජෝන්ද සිල්වාගේ නූර්ති ඔස්සේ ජන සමාජය වැලඳ ගත් ගීත නිර්මාණ විය. සංගීතමය විෂය අතින් ගත් කල බටහිර රැප් සම්ප්‍රදාය සිංහල ගීතයක දුටු ආකාරයක් සිරි සංඝබෝධි මාළිගාව ගීතයත් කළ එළි වූ ආකාරය සුවිශේෂීය. සිංහල අපටත් එබඳු සම්ප්‍රදායක් තිබූ බව එකී නිර්මාණ විනිවිද දකින පර්යේෂකයින්ට ගෝචර වූයේ දැයි සැක සහිතය. නමුත් ජෝන් ද සිල්වා ඉතා පරිපූර්ණ නිර්මාණකරවෙකු බව ඔහුගේ මෙම කෘති සාක්ෂි දරයි. නාට්‍ය කෘති ඇතුළුව නිර්මාණ පණස් හතරක් කළ ඔහු නූර්ති යුගයේ අද්විතීය නාට්‍ය කරුවා විය.

වර්ෂ 1992 ජනවාරි 28දා ඔහු දැයෙන් සමුගත්ත ද ඒ සොඳුරු නාට්‍ය නිර්මාණ තුළ අදටත් ඔහු අප හදවත් තුළ ජීවමානය. ඔහු නික්ම ගොස් සියවසක් ගත වුවද සිංහල නාට්‍ය කලාවේ පතාක යෝධයා වූ ජෝන් ද සිල්වා ශූරීන් මෙරට නාට්‍ය කලාවේ නොමැකෙන චරිතය බවට පත්විය. ජාතික නිදහස වෙනුවෙන් සිරගත වූවන් අතරට ද ගිය මානව වාදී අව්‍යාජ මිනිසෙකු විය. ජාතික නිදහසේ අභිමානය ඔප් නැංවෙන මෙවැනි වකවානුවක ඔහුගේ ගුණ සමරුව සිදුවීමද ආශ්චර්යයකි.

 

නිශාන්ත චාමින්ද පීරිස්

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)