මුල් යුගයේ දේශාභිමානී ගීත ප්‍රවණතාව

ජුනි 11, 2020

වෙන කවරදාකටත් වඩා ‘දේශාභිමානය’, ‘දේශානුරාගය’ ගැන සිතන කාලයක මීට වසර 73 කට පෙර සිංහල චිත්‍රපටවල ආ දේශාභිමානී ගීත ගැන ලිවීමට සිත් විය. කොරෝනා වෛරසය නිසා අප ජාතියක් ලෙස එකට සිතා වැඩ කරන කාලයකි මේ.

‘දේශාභිමාන’ යන වචනයට ආචාර්ය කේ. ඒ. බී. ඒ. එඩ්මන්ඩ් විසින් සම්පාදිත ‘මහා සිංහල සාහිත්‍ය ශබ්ද කෝෂයේ අර්ථ දක්වන්නේ (දේශ+අභිමානය) දේශය කෙරෙහි ඇති වන අභිමානය, මාතා භූමිය කෙරෙහි ඇති ආඩම්බරය කියාය. ‘දේශානුරාගය’ වචනය පර්සි ජයමාන්න විසින් සම්පාදිත ‘සරසවි සිංහල සිංහල ශබ්ද කෝෂයේ අර්ථ ගන්වන්නේ දේශානුරාගය තම රට කෙරෙහි ඇති ඇල්ම, භක්තිය, අනුරාගය Patriotism කියාය.

මුල් යුගයේ සිංහල චිත්‍රපටවල දේශීය කලාකරුවන් දේශානුරාග ගීත නිර්මාණය කළ අන්දම මොනවට පැහැදිලි වෙයි. මුල් යුගයේ සිංහල චිත්‍රපට නිපදවූයේ දකුණු ඉන්දියා, තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරාසියේ හා කොයිබතූර් චිත්‍රාගාරවලය. අධ්‍යක්ෂවරුන්, කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පින් වූයේද දකුණු ඉන්දියානුවන්ය. සංගීත අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය වැඩි වශයෙන් ලැබුණේ ද දකුණ ඉන්දියාවෙනි. ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ (1941 - 1966) නමින් කාණ්ඩ තුනකින් යුතුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ අගනා පර්යේෂණාත්මක කෘතිවලින් හෙළිවන කරුණු අනුව මුල් යුගයේ සිංහල චිත්‍රපට සඳහා ඇතුළත් වූ ජාතිකාභිමානී ගීත කිහිපයක් සඳහා භාරතීය සංගීත අධ්‍යක්ෂවරුන් හා ගායක ගායිකාවන්ගේ ද සහභාගිත්වය ලැබී ඇත. මේ ගීත රචනා කළෝ සිංහල ගීත රචකයෝය.

ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටයේ කතා පිටපත සකස් කළ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න චිත්‍රපටයේ නාමාවලිය පසුබිමින් එන ගීතය ලියූ කේ. හියුගෝ ප්‍රනාන්දු ඒ සඳහා දේශාභිමානී අදහස් ගැබ් කිරීමට උත්සාහ ගත් බව පෙනේ. මලයාලි ජාතික නාරායන අයියර් සංගීත අධ්‍යක්ෂණය කළ මේ ගීත ගයනු ලැබුව් රුක්මණී දේවි, එඩී ජයමාන්න, ජෙමිනි කාන්තා, ස්ටැන්ලි මල්ලවාරච්චි, පීටර් පීරිස්, හියුගෝ ප්‍රනාන්දු, බර්ට්‍රම් ප්‍රනාන්දු, රූපා දේවි ඇතුළු පිරිස යයි සිතිය හැකිය. මිනර්වා නළු නිළියෝ රඟපෑමට මෙන්ම ගායනයට සමත්තුය. ඒ මේ ගීතයයි.

 

‘ශ්‍රී ජය විජය සිරින් පිරි

අප සිරි ලංකා මාතා ලෝ කූ

සිංහල ජාතිය කීර්ති ධජා

නංවා දිනේවා නිතරා’

 

1953 වසරේ තිරගත වූ ‘සුජාතා’ චිත්‍රපටයට කොපි ගීත 10 ක් ඇතුළත් නිෂ්පාදක කේ. ගුණරත්නම් හා විධායක නිෂ්පාදක ටී. සෝමසේකරන් චිත්‍රපටයේ දෙබස් රචක හා ගීත ප්‍රබන්ධක ආනන්ද සමරකෝන් ලවා ‘මනරංජන දර්ශනීය ලංකා’ වැනි ගීතයක් රචනා කර ගත්තේ ඒ වන විට රට පුරා පැවති ජාතික ගීය පිළිබඳ උණුසුමෙන් හා උද්‍යෝගයෙන් බව මහාචාර්ය ආරියරත්න පවසයි. ආනන්ද සමරකෝන් ගේ අධීක්ෂණය යටතේ ‘නමෝ නමෝ මාතා’ ගීතය පටිගත කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක් ‘සුජාතා’ චිත්‍රපටය වෙනුවෙන් නිකුත් කළ ඉංග්‍රීසි සමරු කලාපයේ පළ වී තිබූ අතර එහි හඳුන්වාදිම දක්වා තිබුණේ මෙසේය.

Young and old, Sinhalese, Tamil and Muslim from Ceylon being trained by Ananda Samarakone to sing our beloved motherland’s anthem in ‘Sujatha’.

මේ පටිගත කිරීමේ අවස්ථාවට ආනන්ද සමරකෝන්, ටී. සෝමසේකරන් හා දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ හා මුස්ලිම් ගායක කණ්ඩායමක් සහභාගි වූ බව මේ ඡායාරූපයෙන් පෙනේ. තවමත් අප අතර නොනැසී පවතින ‘සුජාතා’ හි ‘මනරංජන දර්ශනීය ලංකා’ ගීතය දකුණු ඉන්දිය ගායිකා කේ. රාණි සහ පිරිස ගැයූ ජාතික හැඟුම් දනවන ගීතයකි. එහි ප්‍රබන්ධය හා ස්වාධීන තනු නිර්මාණය ආනන්ද සමරකෝන් ගෙනි. සංගීත සංයෝජනය දක්ෂිණ මූර්තිගෙනි.

 

‘මනරංජන දර්ශනීය ලංකා

මාතා අති රමණී

කිත් පැසසුම් ලැබ දස දෙස පූජිත

සුන්දර අප ශ්‍රී ලක් මෑණී

සැරදේ සැරදේ ලක් මවුනි

වැජඹේවා සව් සිරිනි

 

මනරංජන...

 

ශුද්ධ නගර අනුරාධපුරේ පොළොන්නරුව පැරණී

සීගිරිය ද සිහිපත් කරවයි පෙර

බැබලුම දීප්තිය දස අතිනී

සැරදේ...

 

පුරාතනේ විසූ රජ දරුවෝ

ගාමිණී මහසෙන් පැරකුම්බා

නිම කළ මහ වැව් පොකුණු ද දාගැබ්

අද දින ඇත නොනැසී සෝවා

සැරදේ...

 

පෙම්බර ලක් මව අද දින නිදහසේ

සුවයෙන් නැළවෙන්නී

සුවඳැති මල් කෙත් ගොයමින්

බර වී සුළඟේ රඟ දෙන්නී

සැරදේ...

 

ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ

මව්බිම සුන්දර අතිරමණී

සව් සිරියෙන් සරු කරනට අපි හැම

ඉදිරිව යමු හද බැතිනි

මනරංජන දර්ශනීය ලංකා

 

‘මනරංජන දර්ශනීය ලංකා’ චිත්‍රපට ගීතය 1956 ලේක්හවුස් ආයතනය සංවිධානය කළ ‘දිනමිණ’ චිත්‍රපට තරඟයේ ජනප්‍රිය ගීතය ලෙස පාඨක ඡන්ද 81,090 ලබා ගත්තේය. 1955 තිරගත වූ ‘සුරංගණී’ චිත්‍රපටයෙහි එන දේශාභිමානි ගීතයක් ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ (1947 - 1957) කෘතියේ සඳහන් වෙයි. මෙහි එන සියලුම ගීතවල පදරචනා උපුටා ගත්තේ ද මේ කෘතියෙනි. සිරිල් පී. අබේරත්න රචනා කළ මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ඉන්දිය ජාතික ටී. ආර්. පාපා ය. ජී. එස්. බී. රාණි නම් ශ්‍රී ලාංකික මැලේ ජාතික ගායිකාව සහ පිරිස ගැයූ මේ ගීතය චිත්‍රපටයේ නාමාවලියේ එයි.

 

දීපේ ශ්‍රී ලංකා දිලෙනා වූ ලෝකයේ

පහනෙකි මිණි දෙන ලොවට ශ්‍රීයේ

 

හෝ - පැරණි ලංකා ඉසුලූ සිරියා

ඓතිහාසේ දක්වන විලසේ

කාලිදාස ආදී හු රජ කාව්‍ය ලිවහු

ඒ වර්ණනාවෙන් දීපාලංකාරේ

 

දීපේ ශ්‍රී ලංකා දිලෙනා වූ ලෝකයේ

පහනේකී මිණි දෙන ලොවට ශ්‍රීයේ

 

හෝ - දඹුළු ලෙනෙහි බුද්ධ ප්‍රතිමා

මිහින්තලයේ නැඟුම වටිනා

රාජ මලිගා ද වැව් විහාර දා ගැබාදියෙන්

පැරණි ලංකා ලංකාර විදහා

දීපේ ශ්‍රී ලංකා...

 

දර්ශනීයයි නයන පිනවයි

සිහලුන්ගේ ජීවේ පුබුදුවයි

කාලිදාස ආදීහු රාජ කාව්‍ය ලිවහු

ඒ වර්ණනාවෙන් දීපාලංකාරේ

 

1955 තිරගත වූ ‘සැඩසුළං’ චිත්‍රපටයේ එන භාරත ගීත කෝකිලාව වූ ලතා මංගේෂ්කාර් පළමුවරටත්, අවසන්වරටත් ගැයූ ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර’ සිංහල ගීතය ගැයුවේ ආනන්ද සමරකෝන්ගේ ප්‍රශස්ත ලෙස රචනා කළේ ඔහුගේම තනු නිර්මාණයකට බවත් ලතා මංගේෂ්කාර්ට සිංහල උච්චාරණය පුහුණු කළේ ද ඔහු විසින් බව මහාචාර්ය ආරියරත්න පවසයි. මේ ඒ ගීතයයි.

 

 

 

ශ්‍රී ලංකා මාතා - මා ප්‍රියාදර ජය භූමි

ජය භූමී - ජය භූමී - ශ්‍රී ලංකා

 

සිරි දුරු හෙළ දිව පුරාතනේ

ජයකොඩි - නැංවූ වීර විකුමැති මා

රම්‍ය දරුවනේ

කෝ අනේ - අද දිනේ - කිම වුණේ ද

දරුවනි අහො

නෑ පෙනෙන්නට කිසි තැනේ

කොයි ගියේ ද මා දමා

පෙම්බර මා පැටවුනේ - පෙම්බර මා පැටවුනේ

 

ලකඹර ජය කේළි නඟා

සැමට සුසිරි සෙත සදා

කර ශ්‍රී සෞභාග්‍ය ළඟා

ගියේ ඇයි මා දුකෙහි දා

කෝ අනේ අද දිනේ...

 

දන අද දුකදුරෙහි ගිලී

ඇයි මේ ලෙස දිළිඳු වී

ඇසැර බලවු හිඳ අවදිව

ලක යයි පිරිහී

 

සැහැසි ක්‍රියා නිතර කෙරෙති

දුසිරිතට ම ඇදි ඇදී

නොමඳ මේ මට නින්දේ අද

එනු එනු පිබිදී - එනු එනු පිබිදී

එනු එනු පිබිදී

 

ලතා මංගේෂ්කර් හා මොහිදීන් බෙග් ගැයූ ගීතයක් ‘සැඩසුළං’ චිත්‍රපටයේ එයි.

 

ඉදිරියටා යමු සැවොමා

නිදහස ලබනට බැමි සිඳ දා

 

තවත් වහල් ව ඉන්නේ නෑ

මේ දුක් විඳින්නෙ නෑ සදා

සම වු යට වූ සිත් සන්තොසින්

විමුක්ති ශාන්ති වෙයි උදා

ඉදිරියටා...

 

මේ ලංකා දීපයේ සුරම්‍ය

දූ පුතුන් අපියි උතුම්

විනීත වූ ගුණාංග ලෝක සාමයයි අපේ විකුම්

මේ දේ ගැනයි අපේ සටන්

අපේ අවී උතුම් දහම්

ඉදිරියටා

 

අපේ මේ ජීවිතේ මෙ ලෝ

බොහෝ උදාර වස්තුයි

හොඳින් ගෙවා නැසී ගියොත්

නිඟා ලැබෙන්නේ නෑ සුබයි

එසේ හෙයින් මේ ජීවිතේ

විමුක්ති වීමට සැණේ

පුදන්නට ඕනෑ ජීවිතේ

 

මේ ගීතයේ සංගීත සංයෝජනය ද දක්ෂිණමූර්ති ගෙනි. 1956 තිරගත වූ ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ ද අමතක නොවන දේශාභිමානී ගීතයක් ඇතුළව ඇත. ඉන්දිය ජාතික ඒ. එස්. ඒ. සාමි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්සනය කළේ ඉන්දිය ජාතික එස්. එස්. වේදා (වේදාචලම්) හා ලාංකික සංගීත අධ්‍යක්ෂ පී. එල්. ඒ. සෝමපාල විසිනි. එහි එන කරුණාරත්න අබේසේකර රචනා කළ ලතා වල්පොල සහ පිරිස ගැයූ චිත්‍රපටයේ නාමාවලි ගීතය වූ ‘පෙර දිග මුතු ඇටයයි මේ - ලෝකේ සිරිබර සිරි ලංකා’ ගීතය සඳහා සංගීතය මෙහෙයවා ඇත්තේ එස්. එස්. මේ බවත් එය අනුකරණ ගීයක් ලෙස තමා අනුමාන කරන බවත් මහාචාර්ය ආරියරත්න පවසයි.

1956 තිරගත වූ ඉන්දිය ජාතික කේ. මිත්‍රදාස් අධ්‍යක්ෂණය කළ ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේත් ඇස්. දක්ෂණමූර්ති සංගීත අධ්‍යක්ෂණය කළ දේශාභිමානී ලක්ෂණ ඇතුළත් ගීතයක් එයි.

‘ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ

වේවා බැබළේවා’ නම් මේ ගීතයේ තවත් තැනක ‘ජාති ආලෙන් ප්‍රේමෙ පා - ලක් මවුගෙ දරුවෝ’ යන කොටසක් ද එයි. ලතා සහ පිරිස ගැයූ මේ ගීතයේ රචනය ඩී. ටී. ප්‍රනාන්දුය.

1957 තිරගත වූ ඉන්දිය ජාතිකයන් වූ ටී. ආර්. සුන්දරම් හා එස්. වී. ක්‍රිෂ්ණා රාවෝ අධ්‍යක්ෂණය කළ ‘ශූරයා’ චිත්‍රපටයේ ඇස්. දක්ෂිණමූර්ති සංගීතවත් කළ ‘දිනේව ශ්‍රීනේ ලංකා මාතාවෝ’ ගීතයද දේශාභිමානී ලක්ෂණ සනිටුහන් කරයි. ජමුනා රාණි සහ පිරිස ගැයූ මේ ගීතය අනුකරණ ගීතයක් වූ අතර එය රචනා කළේ කේ. හියුගෝ ප්‍රනාන්දු ය. ඉන්දීය ජාතික ටී. ආර්. පාපා සංගීත අධ්‍යක්ෂණය කළ අනුකරණ ගීතයක් වූ ‘මේ දීපේ සිංහලේ අපේ සුරම්‍ය වූ‘ ගීතයෙන්ද, ලංකාවේ අගය මතු කරයි. එහි ‘පින්සර වූ ලංකා දීපේ - මනහරයි ප්‍රියයි වාසෙ’ වැනි අදහස් ද වරින්වර මතුවේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්න රචනා කළ මේ ගීතය ගැයුවේ ස්වර්ණා පී. අබේරත්න සහ එච්. ආර්. ජෝතිපාලය.

‘සුජාතා’ ‘සැඩසුළං’ චිත්‍රපට සඳහා දේශාභිමානි ගීත ඇතුළත් කිරීමට පුරෝගාමි වූ ටි. සෝමසේකරන්, කිංස්ලි රාජපක්ෂ සමඟ අධ්‍යක්ෂණය කළ 1963 තිරගත වූ ‘වෙන ස්වර්ගයක් කුමට ද?’ චිත්‍රපටයට ද එවැනිම ගීතයක් ඇතුළත් කිරීමට අමතක නොකළේය ‘සිරිබර මගෙ සිරි ලංකා - දීපේ ලංකා දේසේ’ නම් ඒ ගීතය සංගීතවත් කළේ ඉන්දීය සම්භවයක් ඇති ලංකාවට පැමිණ ලංකාවේ පුරවැසිභාවය ලැබූ ආර්. මුත්තුසාමිය. එම ගීතය ගැයුවේ කවුද? ගීත රචකයා කවුදැයි අවිනිශ්චිත බව ‘සිංහල චිත්‍රපට ගීතාවලිය (1962 - 1966) කෘතියේ සඳහන් කර ඇත. මුත්තුසාමි විසින් සංගීත අධ්‍යක්ෂණය කළ 1964 තිරගත වූ කේ. කේ. ජග්තියානි නිෂ්පාදනය කළ ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ ‘කළ කළ දේ පල පල දේ’ චිත්‍රපටයේ සියලු ජාතීන් එකමුතුව මෙසේ පළ කරයි. “අමතක කරලමු පැරණි කතා - එක්වෙමු ජාතික දියුණ පතා - සිරිලක් මවගේ අනාගතේ රැඳි තිබෙන්නේ ඔබේ අතේ” නම් මේ ගීතය මොහිදින් බෙග් සහ පිරිස ගැයූ අතර කරුණාරත්න අබේසේකර එය රචනා කළේය. රොබින් තම්පෝ විසින් 1964 අධ්‍යක්ෂණය කළ ‘සුලලිත භෝභනි’ චිත්‍රපට හමුදා ගීතයක් ලෙස ඉදිරිපත් කළ ‘ලංකා මෑණිගේ පුතුන් තමයි අපි – ධීර වීර තේජවන්තයින් අපි‘ නම් එච්. ආර්. ජෝතිපාල සහ පිරිස ගැයූ ගීතය ද සංගීතවත් කළේ මුත්තුසාමි ය. එය චිත්‍රානන්ද අබේසේකරගේ රචනයකි.

චිත්‍රපටයක නිළි චරිතයක් ලවා ජාතික ඇල්ම ගැන රංගනය කරමින් ඒ සඳහා ගීතයක් උපයෝගි කරගත් අවස්ථාවක් 1965 තිරගත වු ‘සතුටයි කඳුළුයි’ චිත්‍රපටයට ඇතුළත් විය. ‘ජාතික ආලය ද අනුරාගය - හෙළ වනිතාවන් හට ඕනෑ - හෙළ මවගේ හොද දූවරු බව කියලා - රට දැය රැකුමට යමු එක්සත් වීලා’ නම් ඒ ගීතය සංගීතවත් කළේ මොහොමඩ් සාලිය. ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ අධ්‍යක්ෂණය කළ සතුටුයි කඳුළුයි චිත්‍රපටයේ එම ගීතයේ රචකයා චිත්‍රානන්ද අබේසේකරය. ගායනය ලතා සහ පිරිසගෙනි.

ඇස්. රාමනාදන් 1966 අධ්‍යක්ෂණය කළ ‘සම්පත’ චිත්‍රපටයේ ‘සිරි බර ශ්‍රී ලංකා මනහර ශ්‍රී ලංකා - ජය ජය ලංකා - විජයතු විජයතු වීර නිකේතන - ජය බිම සාර සදාතන - නම දිමු පුද දෙමු දෝත නගා’ නමින් රුක්මණි දේවි ඇතුළු පිරිස ගැයූ ජාතිකාභිමානී ගීතයක්. එහි කරුණාරත්න අබේසේකර ලියූ මේ ගීය ආර්. මුත්තුසාමිගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි.

1968 තිරගත වූ කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘සිඟිති සුරතල්‘ චිත්‍රපටයට ඉතා ජනප්‍රිය වූ ජාතිකාභිමානි ගීත දෙකක් ඇතුළත් විය. මිල්ටන් පෙරේරා ගැයූ ‘නිදහස් කාහල නාදය රැව් දේ හෙළ දිව අඹර පුරා - සිරිලක් රැජිනිය වැජඹෙයි දියුණුවෙ මිණි මුතු කිරුළු දරා’ ගීතයත් සුජාතා අත්තනායක සහ පිරිස ගැයූ ‘සුවඳ කැකුළු වැනි රන් බඳුනේ - දරුවනි ඉපදුණ හෙළ දෙරනේ’ ගීතයත් සංගීතවත් කළේ ශ්‍රී ලාංකික දමිළ සංගීත අධ්‍යක්ෂවරයකු වූ ඇම්. කේ රොක්සාමි විසිනි. රොක්සාමි විසින්ම සංගීතවත් කළ තවත් රණ ගීයක් 1969 ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘සූරයන්ගෙත් සූරයා’ චිත්‍රපටයට ඇතුළත් විය.

ධර්මසිරි ගමගේ රචනා කළ මේ ගිත ගැයුවේ සුජාතා අත්තනායකයි. මේ ඒ ගිතයයි.

 

ඔබේ මවු බිම සිංහලයි

ඔබේ මවු බස සිංහලයි

ඔබ උපන් රට හදවතයි

පුතේ මවු බස ප්‍රාණයයි

 

අතට ගත් අසිපතයි එඩිතර

සිංහයා දුටුවද පුතේ

සිංහ ධජය ලබමින්

පෙරමුණට යනු මැන පුතේ

 

‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ විමර්ශනය කරන කල්හී අපේ සිනමාවට එදා (1947 - 1969) ඇතුළත් වූ ජාතිකාභිමානි ගීත තුළින් ඒ හැඟීම් දීමට දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, සංගීතඥයන් ගායිකාවන් ද ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික චිත්‍රපට නිෂ්පාදකවරු - අධ්‍යක්ෂවරු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරුද මුස්ලිම් ජාතික ගායකයන්ද මැලේ ජාතික ගායිකාවන්ද සිංහල හෙට්ටි ජාතිය ලෙස හැඳින්වූ ප්‍රකට ගායිකාවක් හා අධ්‍යක්ෂවරයකුගේද වූ දායකත්වය ලැබූ බව ද පෙනේ. මේ කුමන ජාතිකයට අයත් වුවද ඔවුන් තුළ ශ්‍රී ලංකාවට දැක්වූයේ අසිමිත ආදරයකි. ගෞරවයකි. එය තුළින් පටු ජාති භේදයට වඩා උත්තරීතර මනුෂ්‍යත්වයක්, සහෝදරත්වයක් මතු වූ බව ඔවුන් ශ්‍රී ලාංකික සිංහල ජාතිකයින් සමඟ එක්ව කළ නිර්මාණවලින් මොනවට පැහැදිලි වේ. මෙවැනි කෙටි ලිපියක් ලිවීමේදී අඩුපාඩු, මඟ හැරීම් ඇති විම ස්වභාවයකි. අපට හසු නොවූ එවැනි ගිත ඇත්නම් පාඨක පිටුවෙන් පෙන්වා දිම අපේ දැනුම වැඩිමට හේතුවක් වනු ඇති.

මේ ලිපිය ලිවීමේදී දැක්වූ සහායට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ප්‍රවීණ චිත්‍රපට විචාරක අජිත් ගලප්පත්තිට හා මෙහි සංකල්පය මා වෙත ඉදිරිපත් කළ ප්‍රවීණ ලේඛිකා ජයන්තා රුක්මණි සිරිවර්ධනට ස්තුතිය හිමි විය යුතුය.