‘පරඬැල්’ චරිතවලට සකර්ම සාධාරණයක්

- ශාන්ති දිසානායක
ජූලි 1, 2021

 

වන්නි හත්පත්තුවේ මිනිසුන්ගේ ජන ජීවිතයේ විදි අනේක දුක් ගැහැට, කර්කෂ ජීවීතය ඇගේ පත පොත ඇසුරින් ඈ මොනවට ප්‍රකට කළාය. ඒ පත පොත ඇසුරින් තවත් නිර්මාණ රාශීයක් ලාංකේය ප්‍රේක්ෂකයා වෙත තිළිණ විය. ඒ සඳහා එම නිර්මාණයන්‍ට සම්මාන ඇගයීම් ද ලැබිණි. මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශයවන සකර්ම නිමැවෙන්නේ ඇගේ පරඬැල් කෘතියෙනි. නිර්මාණ ගොන්නකට ජීවය ලබා දෙන්නට ඇගේ පත පොත ඉවහල් විය. නමින් ඇය ශාන්ති දිසානායක. මේ සරසවිය අප ඇගේ හඩ අවදි කර ගත් මොහොතකි.

ඔබේ කතාවක් ඇසුරින් නිර්මාණිත සකර්ම මේ දිනවල දිග හැරෙනවා. ටෙලිනාට්‍යය බලද්දි මොකද හිතුණේ?

ඇත්තටම මෙය මගේ පොතකින් නිර්මාණයක් කළ පළමු අවස්ථාව නොවෙයි. මම හැමවෙලේම හිතන්නේ මේ මාධ්‍යයන් දෙකක් කියලා. පොත සම්පූර්ණයෙන්ම ටෙලිනාට්‍යයක් බවට පත් කරන්නත් බැහැ. මම හිතනවා මගෙ නිර්මාණයක් ඇසුරෙන් තව කෙනෙකුට නිර්මාණයක් කරන්න නිදහස තියෙන්න ඕන කියලා. අකුරක් හෝ වෙනස් කරන්න බැහැ කියන මතයේ මම නැහැ. මෙහි අධ්‍යක්ෂ සහ තිර රචක ඉතාම වෙහෙස මහන්සි වී කළ නිර්මාණයක් කියලා පේනවා. එසේ වෙහෙස වී උවමනාවෙන් නිර්මාණයක් කර තිබීම දැකීම ලොකු සතුටක්.

ඔබේ කෘති හරහා ඔබ නිර්මාණය කළ චරිතවලට ජීවය ලැබිලා තිබෙනවිට මොකද හිතුණේ?

චරිත දෙස බලන විට ඒ චරිතවලට ලොකු සාධාරණයක් වෙලා තියෙනවා කියලා පේනවා. ඒ චරිතවලට ගැළපෙනම නළු නිළියන් යොදාගෙන තිබෙනවා. එය කොහොම වුනත් මා හැම මොහොතකම මගේ කාර්යය කළ පසු, එය ජනගත කළ පසු එය අතහරිනවා. ඉන්පසු එය අයිති පාඨකයාටයි. මම ඒ නිර්මාණයේම එල්ලිලා ඉන්නේ නෑ. එය ලොකු පහසුවක් මට.

පරඬැල් කෘතිය තුළ එන බළලාගෙන් සංකේතවත් වෙන්නේ මොකද්ද? ඇයි ඔබ සතෙක් යොදා ගන්නේ?

පරඬැල් අවසානය තේරුම් ගන්න අමාරුයි කියලා බොහෝ දෙනෙක් කියනවා. මිනිසා සමඟ ළගින්ම බැදුණු සතෙක් බළලා. ඒ සතා හා බැඳුණු නොයෙකුත් මත තිබෙනවා. ඌට පණ නවයක් තිබෙනවා ආදී වශයෙන්. එතැනදි මම කියන්න උත්සාහ කළේ අපි විද්‍යාවෙන් ඉහළට ගියාට තවමත් ගුප්ත පැත්ත නැති කරන්න බැහැ. හැමදාම මිනිස්සු අවිද්‍යාවට නැඹුරු වනවා. එය පිළි ගන්නවා. එය තමයි මා මේ තුළින් කියන්න උත්සාහ කරන්නේ.

ඔබේ නිර්මාණ ‍කෘති රැසක් පාදක කරගනිමින් සම්මානිත නිර්මාණ බිහි වී තිබෙනවා. මේ දිහා බලන විට මොකද හිතෙන්නේ?

මම ඇත්තටම සතුටු වෙනවා. මොකද මේ නවකතා හරහා මම යමක් කියන්න උත්සාහ කරලා තියෙනවා. මම හුඟාක් වෙහෙසිලා කරන මගේ පොත් යොදාගෙන ඒ ඇසුරින් තවත් නිර්මාණ බිහි වෙද්දි අලුත් කතා බහක් ඇති වෙනවා. අවධානයක් යොමු වෙනවා. ඒ ඒ අධ්‍යක්ෂවරයාට අනූව නිර්මාණය වෙනස් විය හැකියි. නමුත් මම කියන්න ඕන ඇතැම් අවස්ථාවල මගේ කෘතීන්ට වඩා ඒ ඇසුරින් නිර්මාණය කළ නිර්මාණ ප්‍රබල වුණා. උදාහරණයක් වශයෙන් මගේ හිරු මඬල පොතෙන් සුනෙත් රත්නායක මද්දහන කළා. ඒ ටෙලිනාට්‍ය එය ඉතා ප්‍රබල නිර්මාණයක් බවට පත් වුණා. සමහර අවස්ථාවලදී පොතට වඩා ඒ තුළින් කරන නිර්මාණය දියාරු වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මම නම් ඒ දෙස බොහොම උපේක්ෂාවෙන් බලන්නේ. හොඳ නිර්මාණයක් කරන්න අවශ්‍ය තරුණ පිරිසයි මගේ පොත් ඇසුරෙන් මේ නිර්මාණ කරන්නේ. ඒ දෙස මම හරිම ආදරයෙන් හා ගෞරවයෙන් තමයි බලන්නේ.

ඔබේ සියලු නවකතා ගත්කළ ඒ හැම එකකම පාහේ ග්‍රාම්‍ය පරිසරයේ කඨෝරත්වය හා බැඳී තිබෙනවා. මේකට හේතුව මොකද්ද?

මම ජිවත් වෙන්නේ අනුරාධපුර, සේනපුර කියන ගොවිජන පදයේ. මෙය එක්දහස් නවසීය තිහ දශකයේ අග භාගයේ හා හතළිහ දශකයේ මුල් භාගයේ ඩී.එස්. සේනානායක අගමැතිතුමා තමයි මේ ගොවිජනපද නිර්මාණය කළේ. සිංහල දෙමළ මුස්ලීම් ක්‍රිස්තියානි මේ සියලු ජන කොටස් එකට ඒකරාශී කර වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වූ පිරිසකගෙන් සැදුණු ගම්මානයක් මෙය. බොහොම නිදහසේ මගේ ළමා කාලය ගත වුණා. තැනිතලා බිමකට උරුමකම් කියන මේ ප්‍රදේශවල ඉමක් කොනක් නැතුව දකින්න පුළුවන්. හැම තැනකම වැව් තියෙනවා. ගස් කොළන් තියෙනවා. හරිම රමණීයයි පරිසරය. පරිසරය කොතරම් සුන්දර වුණත් ගිනි අව්වට පිච්චෙමින් පොළොව සමඟ අරගල කරන ගැහැනු මිනිසුන්ගේ ජීවීතවල ඒ සුන්දරත්වය මම දැක්කේ නෑ. කුඩා කාලයේ සිටම මට ලොකු කනගාටුවක් තිබුණා. මේ පරිසරය වගේම මේ මිනිසුන්ගේ ජීවීතත් සුන්දර වුණානම් කෙතරම් හොඳද කියලා. ඒ සිතුවිල්ල තමයි මූලික පසුබිම වෙන්නේ.

ඔබේ කෘතීන් දෙස බලන කළ ඒවායේ සෑම චරිතයක්ම පාහේ විශේෂිත වූ භූමීකාවක් නිරූපණය කරනවා.

මම කුඩා කාලයේ සිටම මේ ගම්වල ජීවත්වන මිනිසුන්ගේ වේදනාව දුක කටුකත්වය දුටු කෙනෙක් නිසා එය ගැඹුරින්ම මගේ හදවතට දැනුණු නිසා ඔවුන්ගේ අභ්‍යන්තරයට යන්න මගේ නිර්මාණ තුළින් මම උත්සාහ කරනවා. ඒ උත්සාහයේදී සුවිශේෂී චරිත බිහිවනවා. ඒත් එක්කම මම දකිනවා මිනිස්සු යම් යම් කාරණාවලදී පීඩාවට පත්වනවා. ජාතී ආගම් කුලය පවුල් පසුබිම දුප්පත්කම දේශපාලනය වගේ දේ තුළින්. මේ කාරණාවල සැබෑ ස්භාවය ඉස්මතු කිරීම තුළින් ඒ හා බැදුණු චරිතද සුවිශේෂීවනවා.

ගිරිදේවී හී ආශාගේ චරිතය අද්දැකීමක්ද? අත්විදීමක්ද? ඒ චරිතය තුළින් ඔබ සමාජයට දීමට උත්සාහ කළ පණිවිඩය මොකද්ද?

නිර්මාණයක් කරනවිට අපි අහන දකින අපි අත්විදින දේ එක්ක අපේ පරිකල්පනයත් එකතු කරනවා. මම හුඟක් පත පොත කියනවන කෙනෙක්. මම ඉතාම ප්‍රිය කරන ලේඛකයෙක් කරුණාසේන ජයලත් සූරීන්. ඔහුත් තරුණ පිරිස මුහුණ දෙන ගැටළු ඔවුන් විදින පීඩාවන් ඉතාම ලස්සනට ඔහුගේ කෘතිවලට තේමා කර ගත්තා. එතැනදි මම දුටු දෙයක් තමයි ඔහුගේ ගැහැණු ළමයි නවකතාවේ කුසුම් හැමදේම නිහඩව ඉවසනවා. ඒ නවකතාව කියවද්දි මට හිතුණා ඇයි මෙහෙම වෙන්නේ කුසුම්ට තිබුණා එරෙහි වෙන්න කියලා. මගේ ජීවීතයේත් දරුවන් හා පවුල රැක ගන්න බොහෝ වෙලාවට නිහඩව ඉන්න සිදු වෙනවා. අසාධාරණය පීඩාව දැක දැක එයට එරෙහි වීමට නොහැකි වනවා. කුසුම් එසේ අසාධාරණය වෙනුවෙන් නිහඩ වුණත් මට අවශ්‍ය වුණේ ආශා හරහා අසාධාරණය වෙනුවෙන් නැඟෙන මගේ සිතැඟි ඉදිරිපත් කිරීමයි.

ඔබ නිර්මාණය කළ ඒ ආශාගේ චරිතයට ජීවය ලැබිල ඇය එය මේ රටේ ප්‍රේක්ෂකයා ඉතාම ආදරයෙන් වැළඳගන්නවා?

මම සතුටක් දැනුණත් එයින් බොහෝ සේ උද්දාමයට පත්වන කෙනෙක් නෙවෙයි මං. ආශා මුහුණ දුන් ඒ ප්‍රශ්නවලට තාමත් පිළිතුරක් නෑ. ඒ ප්‍රශ්න අදත් තියෙනවා. මතුවටත් තියෙනවා. ඇත්තටම සතුටු වෙන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් ලැබුණු දවසකයි. මේ කතාව අවසානයේ සඳුන් අත්අඩංගුවට පත් වෙන්නේ ගංජා ටිකක් ළඟ තිබුණු නිසා. ඇත්තටම පාඨකයා හා ප්‍රේක්ෂකයා මේ දෙදෙනාගේ වෙන්වීමට දුක් වූවා මිසක ඒ මේ යල් පැනගිය අසාධාරණ නීතී පිළිබඳ අවධානයක් යොමු කරේ නැහැ . මේවා වෙනස් විය යුතුයි.

ඔබ ලියූ කෘති අතර ඔබේ ජීවිතයට වඩාත් සමීප කෘතිය මොකද්ද?

පාසලේ ඉගෙන ගන්නා කාලයේ හොස්ටල් එකේදී මගේ යාහළුවන් නිවාඩුවට ගමේ යනවා. එ අය අයෙත් ආවම ගමේ නිවාඩු කාලේ කරපු දේවල් අපි එකතුවෙලා කතා කරනවා. ඒ අය ගම ගැන ගමේ ඥාතීන් ගැන කතා කරද්දි තමයි මට තේරුණේ මම ඉන්නේ ගමක නෙවෙයි කියන එක. මම මගේ අග් මුල් සොයායෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි වරාමල් ලියන්නේ. වෙනත් ප්‍රදේශවල තිබුණ නිසා ඉඩම් මේ ප්‍රදේශවලින් දුන්නත් කාලෙන් කාලෙට විවිධ ලෙඩ රෝග හැදෙන්න ගත්තා. පවුල්වල දරුවො නවයක් දහයක් ඉපදෙනවා ඒ අය ඉගෙනගෙන නගරෙට යනවා නගරයට ඔවුන් බිලි ගන්නවා. ඒ වගේ දේවල් තමයි වරාමල් පොතට පාදක වුණේ. ඒ පොත ලියද්දි මට අවුරුදු විසි අටක් විතර. ඒ වයසෙදි එවැනි පොතක් ලිවීම ගැන බොහෝ දෙනා පුදුම වුණා. එය පරිණත කෘතියක් කියලා. නමුත් මගේ හොඳම කෘතිය ලෙස මා දකින්නේ වාලුකා පොත.

මේ වන විට ඔබේ පොත් කීයක් ටෙලිනාට්‍ය චිත්‍රපට සඳහා යොදාගෙන තියෙනවාද?

වරාමල් විය සිදුර නමින්, අග්නි කවිය නුඹ නමින්, හැන්දෑව, හිරුම¾ඩලින් මද්දහන, එරන් ලන්දු, ගිරිකුළ, ගිරිදේවී, මහපොළොව, සකර්ම ත් මේ දිනවල රූ ගත කිරීම් සිදු කරනවා මගේ අඳුන් ගිර නවකතා පොතෙන් දඬමංකඩ පොතෙන්. ඒ වගේම චිත්‍රපට දෙකක් කළා. මගෙ සංග්‍රාමය පොතෙන් කළා ධවල දූවිලි. ඒ වගේම රන්කොල්ලා පොතෙන් රන්කොල්ලා චිත්‍රපටය කළා.

ග්‍රාම්‍ය පරිසරය එහි ප්‍රශ්න ගැටලු විසදුම් මේ ආකාරයේ නොයෙකුත් තැන් ස්පර්ශ කරමින් මෙතරම් නිර්මාණ ගොන්නක් බිහිකළ ඔබට ලැබුණ දරුණුම ප්‍රතිචාරය මොකද්ද?

(සිනා සෙමින්) මම අංගනා නමින් පොතක් ලිව්වා. ඒ පොතට තේමාව කර ගත්තේ ලිංග විපර්යාසයට ලක්වීම පිළිබඳව. ග්‍රාමීය පරිසරයක පිරිමි දරුවෙක් ගැහැණු දරුවෙක් වූ පසු පවුලෙන් පිටුවහල් කරනවා. ඉන් පසු ඔවුන්ව මේ සමාජය පහත් කරනවා. ඔවුන් මිනිසුන් ලෙස දකින්නේ නෑ. සමාජය හැම වෙලේම වෙනස ප්‍රතික්ෂේප කරනවා. මෙය කියවූ බොහෝ දෙනා කිව්වේ වෙනදා හාස්‍යයෙන් කුතුහලයෙන් ඔවුන් දෙස බැලුවත් දැන් නම් එහෙම නෑ කියලා. ඒ අතර කිහිපදෙනෙක් කිව්වා ආයේ කවදාවත් මගේ පොතක් කියවන්නේ නෑ කියලා. ඒ අය ගැන ලියපු නිසා. එයට මගේ හිත තරමක් දුකට පත් වුණත් මා සතුටු වුණා ඒ සංක්‍රාන්ති ලිංගිකයන් කතා කර මට ප්‍රසංශා කිරීම නිසා.

ඔබේ අලුත් නිර්මාණ මොනවද?

ඔව් මගේ අලුත්ම නවකතාව අගාද ගුණසේන ප්‍රකාශනයක් විදිහට පිටවුණා. එයට පාදක කරගත්තේ ගම්වල තාමත් ප්‍රචලිත කැලෑපත්තර ගැසීමේ කතන්දරය. අනෙක් පොත වේ තරණි එය පිටවනවා සී කේ මීඩීයා ප්‍රකාශනයක් ලෙස. එය තුළින් කතා කරන්නේ ග්‍රාමීය දේශපාලනඥයින් ඔවුනගේ බලය ලබා ගැනීමට කරන විවිධ ක්‍රියාකාරකම්. ඒ වගේම ළපලු සරසවි ප්‍රකාශනයක් ලෙස පිටවුණා. ඒත් එක්කම තරුණි පත්තරයට නූ පුර ලියනවා. දිණමිණෙහි කැදැල්ලට නෙත තීරු ලිපිය පළවනවා සතිපතා. ඒ වගේම මේ දිනවල මම තිරනාටකයක් රචනා කරමින් ඉන්නවා. ඉන්දික ධර්මතිලක මල්ලි එය අධ්‍යක්ෂණය කරනවා අඳුන්ගිර නමින්.