HMV තැටි සඳහා පෙම් ගී ගැයූ මුල්ම ගායිකාව

“පර්ල් වාසුදේවී”
ජූලි 8, 2021

 

සිංහල ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ නුර්ති ගී යුගයෙන් (1906-1927) පසුව හින්දුස්ථානි හෝ නුර්ති නොවන තනු ඇසුරින් “පෙම් ගීත” නිර්මාණය වීම අභිනවයෙන් ආරම්භ වූයේ, වර්ෂ 1928 වසරේ පටන් “හිස් මාස්ටර්ස් වොයිස්” තැටි සමාගම සහ 1934 අගභාගයේ පටන්“බ්‍රෝඩ්කාස්ට්” ගීත තැටි සමාගම් විසින් “නව ගීත” නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමත් සමගිනි. මෙම වකවානුවේ ද, එවකට ප්‍රකට නුර්ති ගායක-ගායිකාවන් වූ ලක්ෂ්මී බායි, ඇනී බොතේජු, සුසිලා ජයසිංහ, රොමානිස් පෙරේරා, රෙජිනා පෙරේරා,රොමියුලස් සිල්වා ආදීහු මෙකී ගීත තැටි ලේබල වෙනුවෙන් ගීත ගායනා කළ ශිල්පීහු අතර ප්‍රමුඛ වූහ. වර්ෂ 1939 දී හිස් මාස්ටර්ස් වොයිස් (HMV) සහ කොළොම්බියා (COLUMBIA) තැටි ලේබල සඳහා ගායක ගායිකාවෝ සහ සංගීතඥයෝ වෘත්තීමය වශයෙන් පස් අවුරුදු ගිවිසුම් අත්සන් කර සම්බන්ධ වූහ. හිස් මාස්ටර්ස් වොයිස් තැටි සමාගමේ එවකට කළමනාකාරීත්වය විසින් එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් එහි ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ලෙස තෝරාපත් කරන ලද අතර, ගේබ්‍රියල් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තැටිගත කිරීම් සිදු විය. වර්ෂ 1939 ට පෙරාතුව පටන්ම හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයේ ගීත තාරකාවන් වූ, රෙජිනා පෙරේරා, ලක්ෂ්මී බායි, කෝකිලදේවි රත්නසභාපති, ඇනී බොතේජු, රොමියුලස් සිල්වා ආදී ප්‍රවීණ ගායක ගායිකාවන් මෙන්ම, රුක්මණී දේවී, නිර්මලා, එඩී මාස්ටර්, ලීලාවතී, අනුලාවතී, ඇම්.කේ. වින්සන්ට්, ලතීෆ් බායි, ඇලන් රත්නායක, ලන්තීනු ප්‍රනාන්දු ආදී නවක ගායක ගායිකාවන් රාශියක් රූපසිංහ මාස්ටර් විසින් හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයෙන් හඳුන්වාදෙන ලදී. එසේම, 1939 පටන්, බිහිවූ “නව ගීත” ගොන්න එවකට අතිශය ජනප්‍රිය හින්දි, වංග, මරාඨ, දමිළ සහ තෙළඟු ගීත තනු ඇසුරින් නිර්මාණය කෙරුණු අතර, ඒවා දේශාභිමානී ගීත, ඓතිහාසික කතා, බුද්ධ චරිතය, ජාතික ගී, විකට ගීත සහ ජවනිකා, ගීත නාටක, පෙම් ගී, අවවාදාත්මක/ උපදේශාත්මක ගී, ළමා ගී ආදී වශයෙන් කාණ්ඩ කරන ලදී. වර්ෂ 1939 ට පෙර නුර්ති ගී කීපයක් හැරුණු කොට “පෙම් ගී” (ඹ්ර්‍ණඍඡ් ඉර්‍ණව්ට්ඉ) රචනා වූයේ ඉතා අල්ප වශයෙනි. රූපසිංහ මාස්ටර් විසින් මෙම නව ගී රැල්ල බිහි කිරීමේදී ශ්‍රාවක අවශ්‍යතා සපුරනු වස් “පෙම් ගී” ඇතුළත් කළ ද, ඒවා ගායනා කිරීමට නවක ශිල්පීහු යොදාගැනීමේ අවශ්‍යතාවක් මතු විය.

එවකට ජනප්‍රිය වූ ගායක-ගායිකාවන් වූ කෝකිලදේවී, ලක්ෂ්මී බායි, ඇනී බොතේජු, රෙජිනා පෙරේරා, ලතීෆ් බායි ආදී ශිල්පීහු ශ්‍රාවකයන් වැලඳ ගත්තේ අවවාදාත්මක, බෞද්ධාගමික ගීත ගායනා කරන ශිල්පීන් වශයෙනි. එබැවින් 1939-45 වකවානුවේ මෙම ශිල්පීන් කිසිවෙකු අතින් ප්‍රේම ගීත ගැයුණේ නැත. එසේම එවකට හිස්මාස්ටර්ස් වොයිස් සමාගමේ ජනප්‍රියම ගීත තාරකාව වූ රුක්මණී දේවිය 1939-1946 දක්වා එනම්, ඇය “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටයේ ගීත ගායනා කරන තුරා කිසිදු පෙම් ගීතයක් HMV ලේබලය වෙනුවෙන් තැටිගත කළේ නැත. එසේම මෙම වකවානුවේ කිසිදු නවක ගායකයෙක් සමග ඇයගේ යුග ගීත තැටිගත වූයේද නැත. එම වකවානුවේ ඇයගේ යුග ගීත ගැයූ එකම ශිල්පියා වූයේ ඇයගේ ගුරුදේව රූපසිංහ මාස්ටර් පමණකි. එනමුත් වර්ෂ 1940 පමණ සිට රුක්මණී වේදිකාවේ සුප්‍රසිද්ධ ශිල්පිනියකව සිටි නමුත් වේදිකා නාටක සඳහා ඇය විසින් ගායනා කරන්නට යෙදුණු ප්‍රේම ගීත කිසිවක් ග්‍රැමොෆෝන් තැටිවලට නැගුණේ ද නැත. මේ නිසා හිස්මාස්ටර්ස් වොයිස් ලේබලය මඟින් නිකුත් කෙරුණු ප්‍රේම ගීත ගැයීම සඳහා රූපසිංහ මාස්ටර් විසින් මුල්වරට නවක ගායක ගායිකා යුවළක් හඳුන්වා දෙන ලදී.

මෙසේ හඳුන්වා දුන් සුප්‍රකට ගීතරු යුවළ වූයේ ඉංගිරිස් මැන්ඩලීන් වාදන ශිල්පියෙක් වූ “එම්. කේ. වින්සන්ට්” සහ පසු කලෙක සුප්‍රකට වේදිකා සහ චිත්‍රපට නිළියක වූ “පර්ල් වාසුදේවී" ය. වර්ෂ 1939 HMV තැටි අංක ව් 9305 අංකය යටතේ තැටිගත කළ “පිපි කුසුම සේ“ යන ගීතයත් එහි අනෙක් පස “සිරි ඔබගේ වත පෑ සුදිලේ“ යන ගීතයත් HMV ලේබලයෙන් වාසුදේවී සහ ඇම්. කේ. වින්සන්ට් තැටිගත කළ පළමු පෙම් ගී යුගලය විය. ග්‍රැමොෆෝන් තැටිය බහා ලූ කවරයේ කංචුකයේ දෙදෙනාගේම සේයා රූ නිකුත් කෙරුණි. ගීත තැටිය සමග නිකුත් වූ ගීත පොතෙහි මෙලෙස සදහන් වුණි . “මෙන්න ග්‍රැමොෆෝන් ලෝකයට හඳුන්වා දෙන අලුත්ම යුවලක්. පර්ල් වාසුදේවා නෝනා සහ ඇම්. කේ වින්සන්ට් තරුණ මහතා. මේ දෙදෙනාගේ ප්‍රේම ගීත ගැයීමේ සමර්ථකම එම දෙපළගේ ගීත ඇසීමෙන්ම ඔබ වටහාගත යුතු ය” යනුවෙනි. ගීත යුවළම සම්පාදනය කළේ ඩබ්ලිව්. මර්සිලිනු ඇල්බට් මහතා විසිනි. සංගීතය රූපසිංහ මාස්ටර් ගෙනි. “සිරි ඔබගේ වත පෑ” ගීතයේ ගී තනුව එවකට අතිශය ජනප්‍රිය වූ “අචුථ් කන්‍යා” (1936) සිනමාපටයෙන් ද, “පිපි කුසුම සේ” ගීතය ජනප්‍රිය දෙමළ ගීත තනුවකින් ද සපයා තිබුණි. නමුත් පිපි කුසුම සේ ගීතයේ ආරම්භක වාදනයට, මුල් ගී තනුවට වඩා මඳක් වෙනස් කොට වින්සන්ට් මහතාගේ කර්ණ රසායන මැන්ඩලීන වාදනයක් යොදා තිබුණි.

වාසුදේවී මහත්මිය ගීත ලොවට පැමිණීමට ප්‍රථම වේදිකා නිළියක ලෙස ඉහළ ජනප්‍රසාදයක් දිනා සිටියා ය. වර්ෂ 1915 ක් වූ මාර්තු මස 30 වැනි දින ගාල්ලේ දී “පර්ල් පීටර්ස්” නමින් උපත ලැබූ මෙතුමිය, අධ්‍යාපනය ලබන්නේ කොටහේනේ ශුද්ධ වූ එඬේරාගේ කන්‍යාරාමයේ ය. කුඩා කල සිටම ගායනයට සහ රංගනයට දක්ෂ වූ කුඩා පර්ල් ගේ සිත නිතැතින්ම රංගනය කෙරෙහි ඇදී යන්නේ පාසල් දැරියකව සිටි සමයේ විටින් විට කොළඹ ටවර් නෘත්‍යශාලාවේදී පෙන්වන්නට යෙදුණු නුර්ති නැරඹීමෙනි. ඇනී බොතේජු , ලක්ෂ්මි බායි, සහ සුසිලා ජයසිංහ විසින් ඉදරිපත් කළ නාට්‍ය ජවනිකා සහ ගීත ඇයගේ සිත බොහෝසෙයින් අද බැඳ ගත්තේ ය. සිය මවුපියන්ගේ සහ ඥාතී හිතවතුන්ගේ විරෝධාකල්ප නොතකා කෙසේ හෝ නාට්‍යයක චරිතයක් රඟපෑමේ දැඩි අදිටන තරුණ පර්ල් සතු විය. යන්තම් පසළොස් විය සපිරෙන විටදී 1930 වසරේ “අපරීක්ෂාකාරී නඩු තීන්දුව” නාට්‍යයේ චරිතයක් නිරූපණය කළ පර්ල්ට, අනතුරුව විලියම් ශේක්ස්පියර් ගේ “THE MERCHANT OF VENICE”  කතාව ඇසුරින් සීමාසහිත පෙරදිග නෘත්‍ය සමාගම විසින් නිෂ්පාදනය කළ “වැනීසියේ වෙළෙන්දා” නාට්‍යයෙහි රංගනයටත් ගීත ගායනා කිරීමේ අවස්ථාවත් උදා වුණි . එසේම එතුමිය සතුව පැවැති ඉංගිරිසි බසෙහි ව්‍යක්තභාවය නිසාම ඉංගිරිසි නාට්‍ය පිටපත කියවා ඒ අනුව චරිතයට ඉතා උපරිම ලෙස සිය සාධාරණය ඉටු කරන්නට හැකි විය. වර්ෂ 1935 පමණ වන විට ටවර්හෝල් හි බොහෝ නුර්ති සඳහා පර්ල්ගේ දායකත්වය ලැබුණි. එතුමියගේ රංගන සහ ගායන හැකියාවන් එවකට පැවැති නෘත්‍ය සමාගම් සහ ඒවායේ සංගීතඥයන් අතර ප්‍රසිද්ධ විය.

හිස් මාස්ටර්ස් වොයිස් සමාගමට නිත්‍ය ගායිකාවක ලෙස බැඳුණු පර්ල්ගේ නම වර්ෂ 1939-41 දක්වා තැටි ලේබලවල සදහන් වූයේ ර්පඵ. ඍචඵභඤඥමච (“වාසුදේවා නෝනා”) ලෙසිනි. ඉහතින් සඳහන් කළ “පිපි කුසුම සේ” නම් පළමු ගීතයෙන්ම ඇම්. කේ. වින්සන්ට් ජනප්‍රියම තරුණ ගායකයා බවට පත් විය. වින්සන්ට්- පර්ල් වාසුදේවී ගායක යුවළට රුපියල් දෙසිය පණහක මූල්‍යමය පරිත්‍යාගයක් ද කෙරුණි. මේ දෙපළගේ තවත් අලුත් ප්‍රේම ගීත ලබා දෙන ලෙස HMV සමාගමට ඉල්ලීම් රාශියක් ලැබුණි. ඒ අනුව තවත් යුග ගීත පහක්‌ මේ දෙදෙනා ලවා පෙම් ගීත රාශියක් යුග ගී වශයෙන් තැටිගත කෙරුණි. “අඹරේ දිලෙනා සේ සඳ පායා “( “කරුණා මුහුදේ නාමු ගිලීලා” තනුවට ) , “පානු ආලේ මාවෙත ප්‍රේමී”, “ප්‍රේම ලතාවේ සුපිපි මාලා“, “රම්‍ය ශ්‍රීනි කුසුමන් බෝ සුගන්ධා” සහ “ පූර්වේ පැතූ සේමා” යන ගීත එවකට තරුණ- තරුණියන් අතර අතිශය ජනප්‍රිය පෙම් ගීත විය. එකී පෙම් ගී අතුරින් වර්ෂ 1939 දී තැටිගත කෙරුණු “රම්‍ය ශ්‍රීනි කුසුමන්” ගීතයත්, සුප්‍රකට “ චින්තාමණි” දෙමළ චිත්‍රපටයේ රාග ඇසුරින් නිමැවුණු “පූර්වේ පැතූ සේමා ප්‍රේමාදරී” ගීතයත් අතිශය ජනප්‍රිය විය.

 

රම්‍ය ශ්‍රීනි කුසුමන් බෝ සුගන්ධා දේ

මේ උද්‍යානෙ //

අප සිත් ලෙසා වෙමු

ප්‍රීති ප්‍රීති ප්‍රීති එය නරඹා

 

කෝකිලාදී නේකා රාශි වීමෙන්

නාදේ ගී මිහිරී

ප්‍රියාදරීන් හා වාසේ කරයි

ලේනුන් හා වී ප්‍රීති //

 

රස වෑස්සෙනා මේ මී අමා

බී ප්‍රීති වේ සෑමා

මේ ශ්‍රී බලා ප්‍රීති වැඩේ

ලෝකේ හි වාසීන්ගේ //

 

බටහිර ගී තනුවක ආභාසයෙන් නිපද වූ මේ ගීතය උද්‍යාන සිරි නරඹමින් අන්‍යෝන්‍ය ප්‍රේමය තීව්‍ර කරගන්නා පෙම් යුවළක විසින් ගැයෙන ගීතයක් ලෙසින් සම්පාදිතය. වර්ෂ 1939 HMV ගීත තැටි අංක ව් 9315 යට‍තේ මෙම පෙම් ගීතය තැටිගත විය. මෙම තනුවටම පසුව 1953 වසරේදී ඇලන්සන් මැන්දිස් ගායකයා විසින් ගැයූ “ටික වෙන්න නාලා කොණ්ඩේ කඩාගෙන” (මෙම ගීතයේ ගීත පද වෙනස් කොට පසුකාලීනව එක්තරා සංගීත කණ්ඩායමක් විසින් එම ගීතය නැවත පටිගත කරන ලදී ). එසේම මෙම ගී තනුව වර්ෂ 1941 දී ජි.දොන් බෙනඩික්ට් සහ සුසිලා ජයසිංහ ඇතුළු පිරිස විසන් ඉදිරිපත් කළ “මංගෝ නෝනා ගේ තේ කෝප්පය” යන ශ්‍රී ලංකා තේ ගැන කියවෙන සංවාදයක් සහිත ග්‍රැමොෆෝන් තැටියට සංවාදය අවසානයේ ගැයෙන ගීතයටද ඇතුළත් විය.

 

වර්ෂ 1935 නිව් තියටර්ස් කල්කටාහි නිෂ්පාදනය කළ “ධූප් චෞන්” චිත්‍රපටයට උමා ශෂී සහ පහරි සන්‍යාල් විසින් ආර්.සී. බෝරාල්ගේ සංගීතයට රඟපාමින් ගැයූ ගීතයක තනුව වර්ෂ 1937 දී දකුණු ඉන්දියාවේ මෙන්ම මෙරට ද ජනප්‍රිය චිත්‍රපටයක් වූ “චින්තාමණි” සිනමාපටයට යොදා ගැනුණි. එම චිත්‍රපටයේ කේ. අස්වත්තම්මා සහ ඇම්.කේ. ත්‍යාගරාජා භාගවතාර් ගැයූ ගීත තනුව ඇසුරින් ඇම්.කේ. වින්සන්ට් සහ පර්ල් වාසුදේවී විසින් “පූර්වේ පැතූ සේමා ප්‍රේමාදරී” නම් ප්‍රේම ගීතය තැටිගත කරන ලදී.

 

පි : පූර්වේ පතු සේමා ප්‍රේමාදරී අප

ගැ / පි : ප්‍රීති සැපා විඳ ආදර බැඳ හද //

ගැ : ප්‍රීති සැපා විඳ ආදර බැඳ හද

වාසය වන්නේ ලොවේ සිතු සේමා

නෑ මෙලෙසා සැප දෙව් විමනේහි //

පි : ප්‍රේමිය වැඩූ මගේ අදර හදේ හී

ප්‍රාණය සේමා පාමිය ආලේ

ගැ / පි : සිතු ලෙස සිරි සැප

විඳීමු ලොවේ //

ගැ : ප්‍රීති සැපා විඳ ආදර බැඳ හද

පි : ආලය රන්රස සේම බැඳී අප

මෙලොවින පරලොව ගිය දිනයේදී

මෙලෙස සැප සේ වාසය වන සේ

ගැ / පි: ආලෙන් පතමු

අපි නොකඩා ප්‍රේමේ

සිතු ලෙස සිරි සැප විඳීමු ලොවේ //

ගැ : ප්‍රීති සැපා විඳ ආදර බැඳ හද

 

වාසුදේවී ගේ ස්වරයෙහි එවකට සිටි අනෙකුත් ගායිකාවන්ට වඩා සුවිශේෂී බවක් තිබුණි. ඒ ඇයගේ ස්වරයෙහි තිබු බටහිර ඌරුව යි. එබැවින් මේ සියලුම ගීත සදහා අනන්‍ය වූ මුද්‍රාවක් තැබීමට එතුමිය සමත් වූවා ය. එවකට 1930 දශකයේ හින්දි සිනමාවේ ජනප්‍රිය නිළි -ගායිකා “මායා බැනර්ජි” ගේ හඬට වාසුදේවිගේ හඬ බොහෝ සෙයින් සමීප විය. එබැවින් මායා බැනර්ජි සහ මෝතිලාල් ගැයූ හින්දි ප්‍රේම ගීත තනු කිහිපයක්ම පර්ල් සහ වින්සන්ට් විසින් HMV ලේබලයෙන් තැටිගත කරන ලදී. “පානු ආලේ මා වෙත ප්‍රේමි” එවැනි එක් පෙම් ගීයකි.

 

වර්ෂ 1939 අග භාගයේ දී කොළොම්බියා තැටි සමාගමෙන් ඉවත්ව HMV තැටි සමාගමට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ සංගීතඥ බි.එඩී. ද සිල්වා මාස්ටර්ගේ යුග ගීත සියල්ලකගේම සහාය ගායිකාව ලෙස වාසුදේවි මහත්මිය වර්ෂ 1940 සිට කටයුතු කළා ය. එඩී ද සිල්වා- වාසුදේවී විසින් 1940-42 වකවානුවේ ගායනා කරන ලද යුග ගීත රාශියක්ම අදටත් අප අතර ජනප්‍රිය ය . “අති සුන්දර ජයසිරිමහා බෝ වඳීමු”, “ජනරංජන ශ්‍රී අනුරාධපුරේ” , “ජීවිත කලකදී යාවි ගෙවීලා”, “සැනසීම දෙයි සැමදා”, “බෝසතාණෝ බෝධි මුලේ“, “බුදු සසුන දිලේවා”, “නාමේ දැන් නාමේ දැන්”, “සෑසි තුන් ලෝකා” යන යුග ගීත ද, “ ශ්‍රී සිදුහත් රාජ ස්වාමී” සහ “බුදු වන දින බෝධී ගයාවේ” යන කේවළ ගායනා ද වාසුදේවී විසින් 1940-42 වකවානුවේ HMV තැටි වෙනුවෙන් ගායනා කළා ය. එවකට ග්‍රැමොෆෝන් තැටි සඳහා නැගුණු ග්‍රැමොෆෝන් “ගීත නාටක”වලටද එතුමිය චරිත නිරූපණයෙන් ද, ගායනයෙන් ද සම්බන්ධ වූවා ය. ව් 13085-1387 අංක සහිත ග්‍රැමොෆෝන් තැටි තුනකින් නිකුත් වූ ජේ.පි.රාජපක්ෂ සහ පිරිස ඉදිරිපත් කළ ”රාමායණය”ග්‍රැමොෆෝන් නාටකයෙහි සීතා ගේ භූමිකාව ද, ව් 13055 අංකයෙන් නිකුත් වුණු තැටියෙහි “ශ්‍රී වික්‍රම - දරුවන් කෙටවීම“ නාට්‍යයෙහි “ ඇහැලේපොළ කුමාරිහාමි” ලෙසද චරිත නිරූපණය කළා ය. මේ සියල්ලකම සංගීත නිර්මාණය එඩී ද සිල්වා සහ රූපසිංහ මාස්ටර් අතින් සිදු විය. ගායනයට සමගාමීව 1940 දශකය තුළ නාට්‍ය වේදිකාවේ ද, ජය කෙහෙළි නැංවූ වාසුදේවී සිය ගුරුවරයා වූ, එඩී ද සිල්වා මාස්ටර් ගේ වැඩිමහල් පුත්, හියුබට් ද සිල්වා නොහොත් අප කවුරුත් දන්නා “එඩී ජූනියර්” මහතා සමගින් 1940 වසරේදී විවාහප්‍රාප්ත වූවා ය.

 

තංගල්ලේ සිරිසේන විමලවීර මහතාගේ සිංහල නාට්‍ය සමාගමට 1940 දශකයේ බැදුණු පර්ල් සහ එඩී ජූනියර් එම නාට්‍ය සමාගමේ බොහෝ නිෂ්පාදනයන් හි ප්‍රධාන භූමිකා නිරූපණය කළහ. සිරිසේන විමලවීරගේ “අම්මා” නාට්‍යයේ ”නීලා” නොහොත් අම්මා ලෙස වාසුදේවි විසින් ඉදිරිපත් කළ ප්‍රතිභාපූර්ණ රංගනය නිසා 1943-46 වකවානුවේ ජනප්‍රියම නාට්‍ය අතුරින් එකක් බවට විමලවීර මාස්ටර් ගේ “අම්මා“ නාටකය පත් විය. අම්මා නාටකයට අමතරව, “ රොඩී කෙල්ල”, “සිංහලේ“, “හෙළදිව පුරඟන“, “ගම්බද මනමාලි”, “ රොඩී කොල්ලා” “තුම්පනේ බණ්ඩා”, “ පිටිසර කෙල්ල", ආදී නාට්‍ය රැසක වාසුදේවී මහත්මිය චරිත නිරූපණය කළා ය. එඩි- රුක්මණී යුවළ මෙන්ම එඩී ජූනියර්- වාසුදේවී යුවළද එකල අතිශය ජනකාන්ත නළු-නිළි යුවළක් වුව ද, මේ දෙපළට ද, එඩි- රුක්මණී ට මෙන් කිසි දිනෙක ග්‍රැමොෆෝන් තැටි සඳහා යුග ගීත ගැයීමට නොහැකි වූයේ වාසුදේවී HMV සමාගමේ ද , එඩී ජූනියර් කොළොම්බියා තැටි සමාගමේද ලියාපදිංචි වී සිටි බැවිනි.

 

විමලවීර මාස්ටර් ගේ “අම්මා“ නාටකයෙහි වාර්තාගත ජනාකර්ෂණය නිසාම “සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම” විසින් එය 1949 වසරේ චිත්‍රපටයට නැඟූ විට ද, චිත්‍රපටයේ ද අම්මාගේ චරිතය පර්ල් වාසුදේවි විසින් ම නිරූපණය කළා ය. 1949 අගෝස්තු 19 දින තිරගත වූ “අම්මා“ චිත්‍රපටය, සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විසින් අධ්‍යක්ෂණය කළ පළමු සිනමා පටය ලෙස සැලකෙයි. මෙම චිත්‍රපටයේ වාසුදේවී මහත්මිය විසින් ගායනා කළ “ ජීවිත යාත්‍රා” ගීතය, එතුමියගේ ස්වරයෙහි වෙනත්ම මානයක් පෙන්වන සරල ශාස්ත්‍රීය ගීතයකි. අවාසනාවකට මෙන් ඇයගේ ස්වරය නැවත චිත්‍රපට සදහා භාවිත වුයේ නැත. 1984 තිරගත වූ “ බඹර පැටික්කි “ චිත්‍රපටයේ “ මේ අහල්ලා අහල්ලා” ගීතයේ සමූහ ගායනයේ එක් කොටසකට එතුමියගේ හඬ නැවත ඇතුළත් විය. ඒ, වසර තිස් පහකට පසුව ය. එනමුත්, එඩි ජූනියර් සහ වාසුදේවි යුවළ 1950 සිට 1980 දශකය දක්වා මිය යන තුරුම මෙරට සිංහල චිත්‍රපට බොහොමයක චරිත නිරූපණය කළහ. මෙම දෙපළගේ එකම දියණිය වන සුජීවා ලිලී මහත්මිය ද, 1970 දශකයේ සිනමා තාරකාවක වූවාය.

 

වරෙක මවක, තවත් වරෙක ගැමි කාන්තාවක ලෙසද, හාස්‍යෝත්පාදක චරිත මෙන්ම රළු -පරළු චරිත ද, මනා ලෙස නිරූපණය කිරීමේ නිසර්ග හැකියාවක් වාසුදේවී මහත්මිය තුළ පැවතුණි . ඒ නිසැකවම වේදිකාවෙන් එතුමිය ලද පරිචය නිසා විය යුතුමය. “ සුරංගනී”, “සුසී“, “ඇමතිකම”,”ශාන්ති”, “ක්ෂිතිජය”, “ මහදැන මුත්තා”, “ලොකුම හිනාව“, “බඹර පැටික්කි”, “කවුද හරි“ යනාදී එකසිය පණහකට ආසන්න චිත්‍රපට සංඛ්‍යාවක විවධ චරිත (ප්‍රධාන වශයෙන්ම විවිධ හාස්‍යෝත්පාදක චරිත) අති දක්ෂ ලෙස ඉදිරිපත් කළ එතුමිය 1987 ජුනි මස සිය ජීවන රඟමඩලින් සදහටම සමුගත්තා ය. ස්වකීය රංගනයෙන් සහ ගායනයෙන් මෙරට සිනමා - වේදිකා සහ ගායන ක්ෂේත්‍රයන්හි එක්තරා යුගයක් එකලු කළ “පර්ල් වාසුදේවී” නම් වූ මෙම අද්විතීය කලා ශිල්පිනියගේ නාමයට මෙම සටහන උපහාරයක්ම වේවා !

 

විශේෂ ස්තූතිය :

ගීත තැටි සංරක්ෂක දයා ලියනගේ මහතා

 

මූලාශ්‍ර : “HMV කැටලොග් ලැයිස්තුව” 1941, කාගීල්ස් සමාගම ; “සිරිසේන විමලවීරගේ නාට්‍ය හයක්” , මහාචාර්ය සුනිල් ආරියරත්න, “දිනමිණ” 1949 අගෝස්තු

 

ඉසුරු උදයංග කාරියවසම්

කථිකාචාර්ය,

උද්භිද විද්‍යා අධ්‍යානාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය