නිළි රැජන වේදිකාවට ගෙන ආ සුමන ආලෝක බණ්ඩාර

ජූලි 22, 2021

 

මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න ආ ශිෂ්‍යයෙකුට ඉංග්‍රීසි පන්ති කාමරයට මෙහායින් අලුත් උඳගාව තිබුණ ලස්සන මයිල ගහ යට ඔහුගේම වයසේ කොලු ගැටයෙක් අඬ අඬා ඉන්න අයුරු දැක ගන්නට ලැබිණ. ඔහු කොලු ගැටයා ළඟට කිට්ටු කළේය. කොලු ගැටයාව පන්තියට ඇරලුවේය. මේ කොලුගැටයාගේ නම එන්.ආර්. උක්කුවාය. නවගත්තේගම රංකිරාගේ උක්කුවාය.

පාසලේ ගුරුවරුන් නිෂ්පාදනය කළ ‘පබාවතී” නාට්‍යයේ ඔක්කාක රජුගේ චරිතය රඟ පෑ අර උක්කුවාට උදව් කළ ශිෂ්‍යයා පසුගියදා ජීවිතයෙන් සමුගත් සුමන ආලෝක බණ්ඩාරය. ඔහුගේ පාසල් කාලය ගැන කියා තිබුණේ මේ ආකාරයෙන්ය.

‘පබාවතී නාට්‍යයේ රඟපෑවට පස්සේ ඒ ගොල්ලම නිෂ්පාදනය කරපු ‘ආලෝකය’ නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍යයේ රඟපාපු චරිතේ මොකක් ද කියන්න මතක නෑ. ඒත් ‘තිලෝගුරු නාට්‍යයෙන් මෙමටා’ කියල සිංදුවක් තියෙනවා මතකයි. ඒ වේලාවේ නාට්‍යය බලපු අය වේදිකාවට ශත පහේ දහයේ කාසි විසිකෙරුවත් මතකයි. ඊට පස්සේ රඟපෑම අබිං කෑම වගේ වැඩක් වුණා. මමත් පිරිමි ළමයි ටික අල්ලාගෙන නාට්‍යයක් කරන්න ඕනෑ කියල හිතුවා. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ 'දෛව විපාකය’ නාට්‍යය. (ඩබ්ලිව්. ඒ. සිල්වා ලියා ඇති නාට්‍යය ‘මායා යෝගය’ යි. ඔහු ලියා ඇති ‘දෛව යෝගය’ නමින් නවකතාවක් ලියා ඇති. ආලෝකබණ්ඩාරයන්ට අමතක වීද? යන ප්‍රශ්නය මෙම ලියුම්කරු සඳහන් කරන්නේ ඔහු අපහාස කිරීමේ අදිටනින් නොවේ.)

මේ නාට්‍යයේ කොල්ලා උක්කුවා නොහොත් සයිමන් නවගත්තේගම (ප්‍රකට නාට්‍යකරු සම්මානනීය ලේඛකයා) කෙල්ල සිරිල් බණ්ඩාරනායක ශිෂ්‍යයා. සිරිල් අන්දලා ගත්තහම හැබැම ගැහැනු ළමයෙක්. මට හරි සන්තෝසයි. ඒ සන්තෝසයත් එක්ක කොලොප්පමට පපුව අතගෑවා. එනකොටම සිරිල් ‘හෑයි’ කියා පැත්තකට පැන්නා. බැලින්නම් ඒ සිරිල් නොවෙයි. සිරිල්ව අන්දවන්ට උදව්වට ආපු ගැහැනු බෝඩිමේ බේබි නෝනා ශිෂ්‍යාවයි. ඒක එතනින් එහාට දුර දිග නොගිය වැරදීමක් වුණත් නාට්‍යයේ මම රඟපෑවේ දුෂ්ටයාට.”

සුමන පාසල් ජීවිතය නිමා කොට කොළඹ ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස වැඩ කරන කාලේ දවසක් ඔහු කන්තෝරුවේ ඉන්න කොට දකින්නට ලැබුණේ විජයබා වේදි කරපු නාට්‍යයේ කොල්ලා සයිමන් නවගත්තේගම පේමන්ට් එක දිගේ ඇවිදිගෙන එන අයුරුය. දුෂ්ටයාට ලොකු සතුටක් ඇතිවිය. කොල්ලයි දුෂ්ටයයි හමුවිය. නවගත්තේගමට තවත් යාළුවෙක් සිටියේය. ඔහුගේ නම ඇස්. කරුණාරත්න නම් නාට්‍යකරුය. ඒ දවස්වල සුමන ලුමිබ්ණි රඟහලේ වේදිකා නාට්‍ය හැම එකක්ම බැලුවේය. මේ සුමන එක්කම නාට්‍ය නැරඹූ කෙනෙක් දිනක් ඔහුගෙන් මෙසේ ඇසුවේය.

“මොකද නාට්‍ය බලන්න මෙච්චරර ආසා? ආස නං අපි නාට්‍යයක් කරමුද?

“කරමු”

මේ අමුත්තාගේ නම විමලධර්ම ජයවීර. ජයවීර ‘අකල් වැස්ස’ නම් නාට්‍ය පිටපත ලියා තිබුණි. දයා රණතුංග (පසුව අල්විස්) විසින් ලියූ ‘තුත්තිරි’ කෙටිකතා සංග්‍රහයේ එන ත්‍රිකෝණය කෙටිකතාව ඇසුරෙන් ‘අකල් වැස්ස’ නාට්‍යයේ පිටපත ජයවීර හා සුමන දවස් දෙක තුනක් නිදිමරාගෙන නැවත නැවත ලියා ඇත. මේ නාට්‍යයේ ප්‍රධාන චරිත තුනකි. නිමල්ගේ චරිතය සුමන වූ අතර ජයවීර සරත්ගේ චරිතය රඟපෑමට තීරණය විය. ප්‍රධාන නිළිය මාලි ට නිළියක් නැත. ඔය අතර වාෙර්ය සුමන හා සයිමන් සමඟ මහව විජයබා විද්‍යාලයේ ඉගෙන ගත්ත ඒකනායක හමු වන්නේ. නිළියගේ ප්‍රශ්නය සුමන ඔහුට කීවේය.

“අපේ පැත්තේ (කැළණියේ වරාගොඩ පැත්තේ) අවුරුදු දාහතක දහ අටක විතර අවුරුදු කුමාරියක් ඉන්නවා. සුමන කැමති නං අහල බලන්න.”

‘කොච්චර එකක් ද?” සුමන කීවේය.

මේ කාලයේ සුමනගේ බලාපොරොත්තු ඉටුකර ඒකනායක අවුරුදු කුමාරියගේ දෙමාපියන්ගේ කැමත්ත අරගෙන ඇයගේ මව සමඟ ඇය කැටුව ආවේය. දැන් සුමනගෙ සිහිනයක මල් පිපිලාය. එහෙත් ජයවීරට අලුත් නිළිය පිළිබඳ පැහැදීමක් නැත. නාට්‍ය රිහසල් කරගෙන යන අතර සුමනගේ සමීප මිතුරෝ තිදෙනෙක් වූ එස්. කරුණරත්න, සයිමන් හා ප්‍රේමරංජීත් තිලකරත්න ආහ. අවුරුදු කුමරියගේ රඟපෑම බලා සිටි ඔවුන් ඒකමතිකව කීවේ ‘මේ අවුරුදු කුමාරි චරිතයට නොගැළපෙන බවය. ජයවීර සන්තෝෂයෙන් එය අනුමත කළේය. ඒත් සුමන තම මතය වෙනස් නොකළේය. රිහසල් කරගෙන යන අතරේ අවුරුදු කුමාරියගේ පියා විරෝධය පෑවේය.

“තුන් දෙනාගෙන් කරන්න පුළුවන් නාට්‍ය මොකක්ද? ඔන්න ඔහේ අපි ගෙදර යමු.”

මේ අත්දැකීම සුමන ආලෝක බණ්ඩාර විසින් 2000 වසරේ ‘රාවය’ පත්‍රයට ‘සුමන මතක’ නමින් ලියු ලිපි පෙළක විස්තර කර තිබුණි. 2001 දී ඒ ලිපි පොතක් වශයෙන් පළ විය.

එදා අවුරුදු කුමාරි සිය පියා සමඟ ගිය ගමන මෙසේ විස්තර කර තිබුණි.

‘අපි පුහුණුවීම්වලට සුදානම් වෙලා හිටියා. නාට්‍යයේ මාලි නෑ. රෑ වෙනකං හිටියා. එත් මාලි නෑ. අපිට ඉවසන්න බැරි තනිකමක්, පාළුවක්, කාන්සියක් දැනෙන්න පටන් ගත්තා. තමන් වටේට දැවටෙන ගැහැනියකගේ ගුණ සුවඳේ ඇති අරුමය අවබෝධ වුණේ එදා වෙන්න ඇති. මට විතරක් නෙවෙයි ජයවීරටත් ඒක දැනිලා. ඒක නැති කරගන්න අපි චැතැම් වීදිය දිගේ ලෝඩ් නෙල්සන් (අවන්හල) එකට ගියා. පසුදා මගේ පාසල් මිත්‍රයා ඒකනායක අල්ලගෙන අපි වැටිලා ඉන්න අමාරුව පැහැදිලි කරලා දුන්නා. පහුවදා අපිට ලැබුණේ සතුටුදායක පණිවිඩයක්. ළමයගේ අම්මගේ කැමැත්ත උඩ මාලි එදා ඉඳලා පුහුණුවීම්වලට ආවා.

1965 රාජ්‍ය නාට්‍ය උත්සවයට ‘අකල් වැස්ස’ ඉදිරිපත් කළා. අපේ ප්‍රධාන හා එකම නිළිය මාලි, මාලිනී ෆොන්සේකා, හොඳම නිළිය වෙලා. සම්මානෙ අරගත්තු මාලිනී සෙනඟ පීරාගෙන දුවගෙන ඇවිත් ඒක මගේ අතේ තිබ්බා. මට ඇති වුණේ ලොකු ආඩම්බරකාර හැඟීමක්. එක අතකින් මගේ තීරණේ හරි යාම. අනෙක් අතින් මිනිස්සු අතරට එන්න දරාපු මගේ පළමුවෙනි උත්සාහයෙන්ම කිසියම් සාර්ථකත්වයක් අත් කරගන්න ලැබීම.

හැබැයි ඒත් එක්කම කියන්න ඕනෑ කාරණේකුත් තියෙනවා. මගේ යාළුවොත් වැරදි නෑ. ඒ දවස්වල මාලිනී ඒ චරිතෙට හොඳටම ළාබාල වැඩියි. ඒ හින්දයි ඔවුන් කීවේ එයා ඒ චරිතෙට ගැළපෙන්නේ නෑ කියලා. ඒක බොරුවක් නූණත් වෙන මොනවා කරන්න ද? ආයේ අමුතුවෙන් මාලිලා වදන්ඩයැ. කොහොම වුණත් නාට්‍යය පෙන්නන දවසේ මේ ළාබාල කෙල්ලට සහලෝල උණ. ඒ උණේ හැටියට අපි නම් හිතුවේ නෑ එයාට ගැළපෙන චරිතයක් රඟපාන්නවත් පුළුවන් වෙයි කියලා. ඒත් පුදුම මරන්නදඩි කමකින් මාලිනී ඒ අභියෝගයට මුහුණ දුන්නා. එදා හැදුණු උණේ තදකමට ද කොහෙදෝ එයාගේ ළාබාල පෙනුමත් මැකිල ගිහිල්ල තලත්තෑනි ගතියක්, පෙනුමක් ලැබිල තිබුණා.”

සුමන අලෝකබණ්ඩාර කවුද?

ඔහු නාට්‍ය රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකයකු මෙන්ම වේදිකා නළුවෙකි. ද්වි භාෂා අධ්‍යාපනය ලැබු ඔහු මාර්ටින් එස්ලින්, ජීන් ජෙනේ, ලුයි පිරැන්ඩලෝ, බ්‍රෙෂ්ට්, ආතර් මිලර්, ආදීන්ගේ නාට්‍ය පොත් කියවූ, එමෙන්ම සාත්රේ, කැමූ, බෙකට්, මල්වි වගේ උදවිය ගැන ලියන, සිරිල් බී. පෙරේරා, සුගතපාල ද සිල්වා, ධර්මසිරි වික්‍රමරත්න, සයිමන් නවගත්තේගම වගේ උදවිය ඇසුරෙන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති නාට්‍යකරුවෙකි. නවකතා, කෙටිකතා රචකයෙකි. ඒ සැමටම වඩා ඔහු විසින් නාට්‍ය වේදිකාවේ රත්තරන් යුගය හා තම නාට්‍ය අත්දැකීම් ගැන ඔහු ලියූ ‘සුමන මතක’ තුළින් ඔහුගේ නිර්මාණ ශක්තිය, මොනවට විදහපාන කෘතියකි.

සත්කෝරළයේ බලල්ලේ වාඩිවැව පිටිසර ගමක 1939 ඔක්තෝබර් 31 වෙනිදා උපන් මලල අසෝක බණ්ඩාරලාගේ සුමන ආලෝක බණ්ඩාරගේ ගම එදා වනාන්තරවලින් ගහන පොල් අතු සෙවිලි කළ ගෙවල්වලින් යුක්ත විය. ඔහු මිය යන විට පදිංචිව සිටියේ වලල්ල - 60604, වාඩිවැව ශාන්ති විහාර් හීය. මහව මධ්‍ය මහා විද්‍යාලයේ මුල සිටම ඉගෙන ගත් අකල් වැස්ස (ධර්මදාස ජයවීර සමඟ (1965) පසු නිදිකුම්බා (1966) අපි කවුද (1970) කිරිකඳුල (1973) නාට්‍ය නිෂ්පාදනය කළේය.

සුමන 1966 වසරේ නිෂ්පාදනය කළ ‘නිදිකුම්බා’ නාට්‍යයේ ද මාලිනී රඟපෑවාය. ‘අකල්වැස්ස’ නාට්‍යය මහනුවර පුෂ්පදාන විද්‍යාලයේ රඟ දැක් වූ අවස්ථාවේ අමතක නොවන අවස්ථාවක් සුමනට හොඳීන් මතකය. පොරොන්දුවේ හැටියට නාට්‍ය සංවිධායකයෙක් වේලාවට ඇවිත් නැත. පළමු දර්ශනය ඇත්තේ සවස තුනටය. එක හමාරට විතර කබල් ලොරි බාගයක් ආවේය. සුමනට දවල් තරු පෙනී ඇත. මේ ලොරියේ කට්ටිය ගියොත් හයේ ෂෝ එකටවත් නුවරට යන්න ලැබෙන්නේ නැත. නාට්‍ය කට්ටිය ලොරි බාගෙ බර කරත්තයක වගේ නැඟ මාලිනි ෆොන්සේකාව ගන්න කැළණියේ වෙදමුල්ලට පිටත් විය. ලොරි බාගේ කඩවත දී නවතා පාරේ ගිය වොක්ස් වැගන් ටැක්සියක් නවතා සුමන, ජයවීර, මාලිනි හා ටේප් රැකෝඩය සහිත සහායකත් නංවා ඉක්මනින් නුවර බලා පිටත්ව ඇත. පුෂ්පදාන විද්‍යාලයයට යන කොට ප්‍රේක්ෂකයන් සංවිධායකයන්ට තඩි බානව දැක්කාම මාලිනි බිය වුවාය. කාර් එක වේදිකාව නවතා පිරිස වේදිකාව පිටුපසට ගියෝය. විදුලි ආලෝක ශිල්පී සරත් පෙරේරා සියල්ල සුදානම් කර තිබුණි. සුමන ගිය ගමන්ම පළමුවැනි බෙල් එක නාද කළේය. මුළු නුවරම හෙල්ලෙන හූ හඬ මැද මාලිනිත්, ජයවීරත් කෑ ගැසුහ. සුමන දෙවැනි සීනුව හැඬ වූ පසු තිරය ඇරුණේය. නාට්‍යය අවශ්‍ය මේකප් බොක්ස් එක, වේදිකාවට අවශ්‍ය බඩු මුට්ටු සහිත ලොරි බාගේ පළාතක නැත. මේ අවස්ථාව සුමන මතකය මෙසේය.

‘දැන් මාලිනී වේදිකාවට එන්න ඕනෑ. නමුත් එන්නේ නෑ. මම (නිමල්) පත්තරේ බැලුවා. කමිසේ බොත්තම් ගැලෙව්වා. සපත්තු ගැලෙව්වා. පවන් ගහ ගත්තා. ටිකක් ඒ මේ අත ඇවිද්දා. ඒත් මාලිනී එන්නේ නෑ. දැන්නම් නිකං හිටිය හොඳටම ඇති වෙලා. ටිකක් ඇතුළට ඇහුම්කන් දීලා බැලුවා. ඇතුළේ ගාලගෝට්ටියක්. මාලිනී පීරිසි කුට්ටමක් ඉල්ලනවා. සංවිධායකයෝ පීරිසි කුට්ටම් නෑ කියනවා. ඒවත් ලොරි කබලේ මාලිනිත් අන්ද මන්ද වෙලා. පීරිසි කුට්ටමක් නැතිව මාලිනිට එන්න විදිහක් නෑ.

‘අකල් වැස්ස’ පිරිද්දලා තියෙන්නේ පීරිසි කුට්ටමක් එක්ක. මාලී පීරිසි කුට්ටමක් අරගෙන ඇවිත් අහනවා ‘නිමල් ඔයාට ඕනෑ තේ ද කෝපි ද” කියලා. එතකොට නිමල් කියනවා ‘කෝපි එකක් නං වඩා හොඳයි’ කියලා. ‘එහෙනං මෙන්න ඔයාගේ කෝපි එක’ කියලා මාලී පීරිසි කුට්ටම දික් කරනවා. ඒ උඩ තමයි කතාව දිග් ගැහෙන්නේ. එත් පීරිසි කුට්ටමක් නැතිව ඒක කියා ගන්නේ කොහොමද? ඒ කාලේ අභිරූපණ රංග කියල එකක් සිංහල වේදිකාවේ තිබුණෙත් නෑනෙ. තවත් වේදිකාවේ නිකං ඉන්න පුළුවන් කමක් නැති වූ තැත ‘මාලි ඔය තේ එක කුස්සි අම්මාට හදන්න කියල මෙහෙ එන්ඩකෝ’ කීවා. මාලීනි ආව නෙවෙයි ඇදුණා. එතකොටනං ආවේ ‘ෂූවක්’ නෙමෙයි ‘ෂූ‘ වක්. අවුරුදු කුමාරියක්නෙ වේදිකාවේ ආලෝකේ මැද්දැවේ බැබළි බැබළී ඉන්නේ. ඊට පස්සේ කෝපි එක වෙනුවට පොළොස් ඇඹුලක කතාන්දරයක් ගළපලා ගත්තා. පිටපත මතක් කරන කෙනා තවම ලොරියේ සරත් පිටපතේ පිටු පෙරළනව පොළොස් ඇඹුල හොයන්න. නාට්‍ය තේමාවේ තිබුණ භාවතිශයකම හින්ද, එහෙම නැත්තම් මාලිනීගේ රඟපෑමයි, රූප සෝබාවයි හින්ද නාට්‍යය අවසානයේ අයහපත් ප්‍රතිචාරයක් ඇති වුණෙත් නෑ.’

සුමනට සිය අනාගත බිරිය හමුවන්නේ අහම්බෙනි. තම නංගී කෙනෙකුගේ ආකාල මරණය හා ප්‍රේම වියෝවක් නිසා මධුවිතට පෙම්බැඳ සිටියදී යළිත් නාට්‍යයක් කිරීමට උනන්දු කර ඇත්තේ වේදිකා නාට්‍ය රංගශිල්පී සේනක තිලකරත්න හා සම්මානනීය නළු සංගීතඥ මියගිය දයා අල්විස් විසිනි. රිහසල් කිරීමට මධුවිතින් සංතර්පණය වී පැමිණි සුමන නවාතැනට ඇරලවුයේ දේවිකා වීරසිංහ හා කුමුදුනී විජේකෝන්ය. එදා ඔහුට උවටැන් කළ දේවිකා ඔහු ජීවත්වන කාලය තුළම උවටැන් කළාය. ඇය සුමනගේ දරුවන් පස්දෙනාගේ ආදරණීය මව වුවාය.

දේවිකා මෙන්ඩිස් වීරසිංහ නම් ඇගේ උපන් ගම මාලඹේ තලාහේනය. ඇය වේදිකා නිළියකි. ‘එරබදු මල් පිපිලා’, කිරි කඳුලක්, අපි කවුද? ඒ නාට්‍යයයි. ඇය විමලදාස පෙරේරා අධ්‍යක්ෂණය කළ තිරගත නොවූ ‘රතු කැටය’ චිත්‍රපටයේ බන්දුල විතාන සමඟ ප්‍රධාන චරිත රඟපෑවාය. ආලෝක බණ්ඩාර යුවළට සුමන (කණිෂ්ඨ), දර්ශන, ප්‍රියංකර, ප්‍රියරංජිත් හා සුරංජිත් නම් පුත්තු පස්දෙනෙක් වුහ. ප්‍රියන්ජිත් කවි ලිවීමට හැකියාවක් දක්ෂතාවක් දක්වයි. ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාද් ඩිප්ලෝමා ලැබු ඔහු ‘අනිද්දා’ පුවතපතේ කර්තෘ මණ්ඩලයේ සේවය කරයි. තම පියා ගැන ඔහු පවසන්නේ මේ කතාවය.

‘මගේ තාත්තා සරල ගැමියෙක්. බුලත්විට කමින් ගැමියන් සමඟ විහිළු කරමින් පුංචි මිනිසුන් සමඟ ඇසුරු කළා. අපි දරුවන් පස්දෙනාට වරදක් කළත් දඬුවම් කළේ නැහැ. තාත්තා නිතරම එයාගේ පරණ යාළුවන් ගැන ආදරයෙන් කතා කළා. ඒ අතර කරුණරත්න අමරසිංහ විශේෂයි. තාත්තා ලියූ මුල්ම පොත ‘පැටිකිරිය’ පිළිගන්වා තිබුණේ ‘මජීඩ් හෙවත් මීරා සයිබු මිත්‍රයාටය. මේ මජීඩ් තාත්තාගේ අවසාන කටයුතුවලට සහභාගි වුණා. ඔහු කිව්වේ ගමේ අපට නායකත්වය දුන්නේ තාත්තා කියලා. තාත්තා ‘සොඳුරු මේ ජීවිතේ’ නම් කෙටිකතා සංග්‍රහයක්, ‘පුසුඹ් පෑදවිය’ නම් නවකතා දෙකක්, නිරෝලා නම් නාට්‍යයක් ලිව්වා. ‘නිරෝලා’ 1999 රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුවා. 'සොඳුරු මේ ජීවිතේ’ කෙටිකතා සංග්‍ර‍්‍රහය 2001 වයඹ පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබා ගත්තා.

ප්‍රියන්ජිත් කියන්නේ මියයාමට පෙර පුතුන් 5දෙනා කැඳවා තමා මිය ගිය පසු සැරසිලි, ගුණකථනවලින් තොර, අලංකාරවලින් තොරව මැස්සක තබා ඉතා ඉක්මනට ආදහනය කළ යුතු බවය. 2021 ජූනි 11 වෙනිදා පුතුන් මැස්සක් වෙනුවට මිනී පෙට්ටියක බහා ආදාහනය කර ඇත්තේ අනිත් ඉල්ලීම් ඉටු කරමිනි.