කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු!

ලක්ෂ්මන් විජේසේකරගේ වියෝව නිමිත්තෙනි...
නොවැම්බර් 18, 2021

 

අවසන් ගමන් ගිය 14 වැනිදා ඔහුගේත් හා චන්ද්‍රාගෙත් විවාහ සංවත්සරය යෙදීම දෛවෝපගත කරුණකි

 

ඔහු ද අන් කවරකුවත් නොව ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරය. මෙනමින් සිය දහසක් ගී මතකයට නොආවද 70 දශකයේ ආදරයට රන්දම්වැල් ලෙස බැඳි ගී අතළොස්සක් තිළිණ කළේය. ගායකයකුගේ හඬ පෞරුෂය හෝ රඳා පැවැත්ම ගායනය කළ ගීත සංඛ්‍යාවෙන් හිතිය නොහැක්කකි. මෙරට වින්දනාත්මක සහෘද හදවත් තුළ නොමියෙන මතකයක් ලෙසින් තැන්පත් වන ගීත කලාවක් ඔහුටම අනන්‍ය ලෙස ඔහු ගොඩනඟා ගත්තෙකි. ඒ ලොව තුළ අපි එදා මෙන්ම අද ද මෝහනය වන්නෙමු.

ජීවිත ගමනේ වසර 73ක් වැනි කාලයක් ආයු වලඳා රෝගාතුර වීමෙන් පසු ඔහු පසුගිය සිකුරාදා මෙරට සියලු ශ්‍රාවක සමූහයෙන් දුරස් වූයේ සිය අමරණීය නාමය ඔවුන්ගේ හදවත් තුළ මතකයේ රඳවා තබමිනි.

වෝල්ටර් විජේසේකර සහ ඩේසි විජේසේකර මව්පියන්ට දාව ලක්ෂමන් විජේසේකර ඉපදුණේ 1948 දීය. කලා ලෝකය තුළ අපි ඔහුව ලක්ෂ්මන් විජේසේකර නමින් හඳුනාගත්ත ද උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වනුයේ රවීන්ද්‍රනාත් ලක්ෂ්මන් ද අල්විස් විජේසේකර යනුවෙනි. ලක්ෂ්මන් සෞන්දර්යකාමියෙකු වූයේ සිය පියාගේ ආභාසයෙනි. ඔහුගේ පියා කලක් ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයකුව සිටි අතර එහි සංගීතඥයකු මෙන්ම රසකාමියකු ද විය. ඔහු පළාත් පාලන සේවයේ නිතර වූ රාජ්‍ය නිලධාරියකු වූ නිසා දිගින් දිගටම සංගීත දිවිය තුළ රැදෙන්නට නොහැකි විය. එසේ ඔහු තුළ තිබූ ආශාවන් හා හැකියාවන් නිසා අනිකුත් සංගීත ශිල්පීන් සමඟ තිබූ ඇසුර නිරන්තරයෙන්ම පවත්වා ගැනිණි. එබැවින් ලක්ෂ්මන් ගේ නිවෙස භාරත සංගීත ශිල්පීන් යන එන තැනක් බවට පත් වී තිබිණි.

පියාගේ රැකියාව අනුව අවුරුදු 5න් පහට ලංකාවේ තැනින් තැනට යෑමට සිදුවීමෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු හා පාසල් කීපයකටම යෑමට සිදුවිය. මූලික අධ්‍යාපනය අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයේ සහ පසුව කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් සිදුවිය. ලක්ෂ්මන් ගේ ජීවන ගමන වෙනස් කළ තක්සලාව වූයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයයි.

සිය උරුමයෙන් ලද සංගීත හැකියාව ඔප මට්ටම් කිරීමට එවකට මලියදේව විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ කේ.එම්.දයාපාල මහතාට හැකිවිය. ඔහුගේ මඟ පෙන්වීම සහ පුහුණුවත් සමඟ ඔහු 1968 දී රජයේ සංගීත විද්‍යාලය ඇතුළත් වන්නේය. ඔහු මෙරට ශ්‍රාවක ජනතාවගේ ආදරය දිනාගත් ගායකයකු හා සංගීතඥයකු මං පෙත් විවර වන්නේ (හේවුඩ්) රජයේ සංගීත විද්‍යලයෙනි. ආචාර්ය රෝහණ වීරසිංහ සහ ආනන්ද වීරසිරි ද මෙන්ම ලක්ෂ්මන් විජේසේකර සමඟ සංගීත විද්‍යාලයට පැමිණි සමකාලීනයෝය.

රජයේ සංගීත විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ විදවත් සංගීතවේදීන්ගේ ඇසුර ලබන්නට මෙන්ම ඔවුන්ගේ වැඩ සටහන්වලට සම්බන්ධ වී සමූහ ගීත ගායනා කිරීමේ අවස්ථාව ලක්ෂ්මන්ට හිමිවිය. ඒ 1975 වසරේ දී ගුවන් විදුලි ගායන ශිල්පියෙකු වශයෙන් ඔහු සාමාර්ථය ලබන්නේය. එම වසරේදීම ඔහු ඔහුගේ ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේය.

 

‘ඇයි තරහින් -

මාන්නකාරි

පලා දුවන්නේ දමලා

මා මෙහි

පලා දුවන්නේ

දමලා මා ....

 

ඒ ඔහු සිය ප්‍රථම සරල ගී වැඩසටහන වෙනුවෙන් ගැයූවකි. දශක ගණනාවක් ඉක්ම ගිය ද අදද මේ ගීතයට ලැබෙනුයේ නොමඳ ජන ප්‍රසාදයකි. සරල නවක ගායන ශිල්පියෙකු වශයෙන් ගුවන් විදුලියේ ගීත ගායනට එක් වූ ඔහු ගේ නැවුම්, ආදරබර හඬට ගීත ශ්‍රාවක බොහෝ පිරිසකගේ ප්‍රශංසාව හිමි වුයේය.

ගායනා දිවියේ ආරම්භය සේම, ගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹන ලක්ෂ්මන් සංගීත ගුරුවරයකු ලෙස සිය පළමු පත්වීම අනුරාධපුරයේ මධ්‍ය මහා විද්‍යලයට ලබන්නේය. 1975 වසරේ සිට පුරා වසර 18ක් ඔහු ගුරුවරයෙකු වශයෙන් දිවයිනේ විවිධ පාසල් වල දූ දරුවන්ට සංගීතඥානය බෙදා දුන්නේය. කොළඹ ඉසිපතන විද්‍යලය, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය වැනි පාසල්වලද කලක් ඔහු සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළේය. පසුව ගුරු සේවයෙන් ඉවත් වී සංගීත විද්‍යාලයේ සිය සමකාලීන මිතුරන් වූ රෝහණ වීරසිංහ හා ආනන්ද වීරසිරි සමඟ එක් වී ‘කලාභූමි’ නමින් සංගීත නිකේතනයක් ආරම්භ කළේය. එදා සිට මිය යන මොහොත දක්වාම සක්‍රියව පැවතෙන අතර වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ ඉන් සංගීත අධ්‍යපනය ලද ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ජනපි‍්‍රය ගායන ශිල්පීන්, ශිල්පිනියෝ බවට පත්ව සිටිති. ගුරුවරුයකු වශයෙන් ඔහු සිය ජීවන ගමන් මඟ තුළ තම ශිෂ්‍ය ශිෂ්‍යවන් හට නිවැරැදි සතර පෙන්වමින් ඔවුන්ගේ හැකියාවන් ඔප් නංවා ගනිමින් ඉදිරියට යන්නට කිසිදු ලෝභ කමකින් තොරව ඉනිමං බැන්දෙකි.

ගායකයකු වශයෙන් ඔහු මෙරට ගීත ශ්‍රාවකයන් අතර අපූර්ව මතක ඉතිරි කළ අයෙකි. ගණනින් අල්ප ගීත සංඛ්‍යාවක් ගායනා කළ ඒ සියල්ලම මිනිස් හද සන්්තානය ප්‍රකම්පන කළ අපුරු නිර්මාණ විය. ආදරය, පේ‍්‍රමය, වෙනුවෙන් අවදිවන ආදරණීය හ¾ඩක් ඔහු සතු විය. ඔහුගේ ඒ ආදරණීයන් කැටි වුණු හඬින් සන්නිවේදනය සංවාද කළ සංවේදනා ගීත ශ්‍රාවක හදවත් තුළ මියුරු මතක මවන්නේ ඒ නිසාය.

 

‘දැල්ලූ පහන් - දැල් වී තිබේවා

සුන් වූ පැතුම් - දලු ලා වැඩේවා

 

චන්ද්‍රලේඛා පෙරේරා සමඟ ගායනා කළ මේ ගීතය ඩි.බී. නිහාල්සිංහයන් ගේ ‘රේඛා’ ටෙලි නාට්‍යයට ඔහු ගායනා කළ ගීතයකි. එදා ඇය සමඟ ගැයූ ගීය දශක ගණනකට පසු ද ඇගේ දියණිය රයිනි චාරුකා සමඟ ගායනා කිරීම තරම් ද ඔහු වාසනාවන්ත වුයේය. අතළොස්සක් පමණ වූ ඔහුගේ ගීත අතර බාල ළමාවරුනේ, සිනා පිපෙනා මේ වසන්තේ, සුපෙම් හැඟුම් ඔබෙන් එපා. සඳ කිනිති නැවීම, ඇති දේ ඇති සැටියෙන්, ඔබ මට තරුවකි මේ ප්‍රේම සීමා මාලකේ.’ වැනි ගීත කියලා අප සිත් තුළින් මැකී නොයනුයේ ඔහුගේ ආදරණීය හඬ තුළ මහිමය නිසාවෙනි.

ගායකයකු වශයෙන් ළයාන්විත හඬ පෞරුෂයක් හිමි වුවා සේම නෙත් සිත් පැහැර ගන්නා රූපකායක් ද ඔහුට උත්පත්තතියෙන්ම හිමි වුයේය. කඩවසම් රූපයෙන් ද ඔහු මෙරට ප්‍රේක්ෂක සිත් වසඟයට ගත්තෙකි. ක්ෂේත්‍රයට පැමිණි මුල්ම යුගයේ ඔහු චිත්‍රපට නළුවකු වශයෙන් ද කටයුතු කළේය. අමරනාත් ජයතිලකගේ ‘පි‍්‍රයංගා’ චිත්‍රපටයේ මෙන්ම ‘යුවතිපති චිත්‍රපටයේද, පි.යු.ඩී. පෙරේරා ගේ ‘අතුරු මිතුරු චිත්‍රපටයේ ද ඔහු නළුවෙක් වශයෙන් රංගනයට එක් වූයේය. පසුකාලීනව මෙරට රූපවාහිනි නාට්‍ය කලාව හඳුන්වාදීමෙන් පසු පුංචි තීරයේ නළුවකු ලෙස ද රූපවාහිනි පේ‍්‍රක්ෂක ආදරය දිනා ගත්තේය. ඔහු රංගනයේ ඔපවත් වූ ඩී.බී. නිහාල් සිංහයන් රේඛා මෙන්ම ගංගා සහ නිශ්ශංක පේ‍්‍රක්ෂක ජනදරය ගත්තේය.

සංගීතඥයෙකු වශයෙන් ඔහු ඔහුගේ දක්ෂතා ප්‍රකට කළ අවස්ථා කොතෙකුත් විය. සි.යු.ඩි. පෙරේරා ගේ ‘සින්ඩරෙල්ලා ගේ සෙරෙප්පුව, සුදු ඇතාගේ කතාව වැනි කෙටි චිත්‍රපට මෙන්ම කලක් මෙරට ජනපි‍්‍රයතම ටෙලි නාට්‍යය ලෙසින් විකාශය වූ බුමුතුරුණ , හිමි අහිමි, මවකගේ ගීතය, පස්සේ ගෙනා මනමාලි වැනි ටෙලි නාට්‍යවල සංගීත අධ්‍යක්ෂණය වුයේ ඔහුයි. වේදිකා නාට්‍ය කලාව තුළ ඔහුගේ සංගීතයේ හැඩ වූ නව්‍ය නිර්මාණ ද රාශියකි. ඒ අතර සපතේරු හාමිනේ (මුල් නිෂ්පාදනය) ජයලත් මනෝරත්නගේ පුත්‍ර සමාගම, නීල් අලස්ගේ් ‘සිහින සාප්පුව. බන්දුල විතානගේ ‘සෙනෙහෙ බර ඩොලී’ වැනි ජනපි‍්‍රය වේදිකා නිර්මාණ වේ. 1985 දී ඔහු නීල් අලස්ගේ ‘සිහින සාප්පුව’ සඳහා හොඳම සංගීත නිර්මාණය සඳහා රාජ්‍ය සම්මානය ද දිනා ගත්තේය.

රූපවාහිනි සංගීත වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු වශයෙන් ලක්ෂ්මන් ගේ නාමය ඉහළින් වැජඹෙන්නේය. 1980 දශකයේ දී ඔහු ඉදිරි පත් කළ ‘ගායනා’ ළමා වැඩ සටහන කොතරම් ජනපි‍්‍රය වූයේ ද යන්න එවකට ළමා වියේ සිටි බොහෝ දෙනෙකුට අදටත් අමතක විය නොහැකිය. එසේම ‘රන්පත් රටා, බක්මහේ මල් මංගල්ලේ, ගම හිනා වුණා, ඇතුළු වැඩසටහන් ගණනාවක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී.

ලක්ෂ්මන්ගේ කලා ජීවිතයට තව දුරටත් කල එලිවන්නට ඔහුගේ විවාහය හේතුවක් විය.කලා ක්ෂේත්‍රය තුළම නමක් රඳවා ගත් ප්‍රවීණ ශිල්පිනියක වූ චන්ද්‍රා කළුආරච්චි ඔහුට හමු වන්නේ ද කලා කටයුතු වල නියෙළෙද්දීමය. දෙදෙනා අතර ඇතිවන හිතවත් කම ආදරයක් බවට පෙරළීමෙන් ඔවුන් දෙදෙනා 1975 දී එක මඟ යන්නට ගිවිස ගනිමින් විවාහ දිවියට ඇතුළත් වන්නේය. විවාහයෙන් ඔවුන් ලද අමා විජේසේකර, විහඟ විජේසේකර හී යන දෙදෙනාම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වී අමා සරසවිය සම්මාන උලෙළේ දී හොඳම නැඟී එන නිළිය සම්මානය දිනා ගත්තාය.

ලක්ෂ්මන් ගේ නිර්මාණ දිවිය තුළ ඔහුටම අනන්‍ය වූ ගුණාංග දක්නට ලැබිණි. රංගනය, ගායනය සංගීත අධ්‍යක්ෂණය, රූපවාහිනි නිර්මාණකරණය, දැන්වීම් නිර්මාණකරණය වැනි නන් වැදැරුම් අංශ තුළ ඔහු සිය නිසඟ කෞශල්‍යය ප්‍රකට කළ අයෙකි. ඔහු කිසි දිනෙක කලාව මිල මුදලට පාවා නොදුන්නෙකි. එසේම නිර්මාණකරණය පසෙකලා ආර්ථිකය පසුපස දුවන්නට මෙන්ම ඒ තුළින් තම මමත්වය බබළාවා ගැනීම ද උත්සාහ නොකළෙකි.

කලාකරුවකු තුළ තිබිය යුතු මානව දයාව මෙන්ම නිහතමානී ගති ගුණ ද උපරීමයෙන් සිය ජීවිතයට ළංකර ගත් ඔහු ඉතාම සාමකාමී දිවි පෙවෙතට උරුමකම් කීවේය. තරඟකාරී ලෝකය තුළ ඔහුට හැල්මේ දිව යැමේ උවමනාවක් කිසිදු දිනක නොවීය. ඔහුට තිබුණේ ඉතාම සෙමින්, සාධාරණව, නිර්මාණයේ ගුණාත්මකභාවය පිළිබඳ පමණක් සිතමින් යන ගමනකි. ඔහු මිනිසුන්ට. මනුෂ්‍යයන්ට හදවතින්ම ආදරය කළ කෙනෙකි. තම මිතුරන්ට, නැදැයින්ට දූ දරුවන්ට, බිරිදට ඉතාම සෙනෙහෙවන්ත වූවෙකි. තම ජීවන ගමන එක්ව යන්නට අතිනත් ගත් සෙනෙහබර බිරිය 2019 වසරේ දී ඔහු හැර යාම ද ඔහු දරාගත්තේ මහත් වූ වේදනාබර හදවතකිනි. සිය දූ දරුවන්ගේ ආදර සැලකිලි මධ්‍යයේ පසුගිය කාලය ගත කලා ලෝකයටම ආදරය කළ මේ සෙනෙහෙ බර මිනිසා පසුගිය සෙනසුරාදා, සන්ධ්‍යා භාගයේදී සිය අවසන් ගමන නික්ම ගියේ ලෝකයට අවැසි ආදරබර මිනිසුන් මෙතරම් ඉක්මනින් නික්ම යන්නේ මන්දැයි අප හදවත් තුළ ප්‍රශ්නාර්ථය ද මතු කරමිනි. ඔහු අවසන් ගමන් ගිය 14 වැනිදා ඔහුගේ හා චන්ද්‍රා ගේ විවාහ සංවත්සරය යෙදීම දෛවෝපගත කරුණකි. ඔහු ගැන කියන්න ඔහුම ගැයූ මේ පද පේළිය සුදුසු යැයි හැඟුණ බැවින් එය මෙසේ සටහන් කරමි.

‘කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු!

සේයාරූ -  නිශ්ශංක විජේරත්න