අපේ රටේ චිත්‍ර පිළිබඳ ධනවත් චින්තනයක් නෑ

ප්‍රවීණ චිත්‍ර ශිල්පි එස්.එච්. සරත්
නොවැම්බර් 3, 2022

 

මම ඉපදුණේ මාතර තල් අරඹේ. මූලික අධ්‍යාපනය ලැබුවේ වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඊට පස්සේ සිද්ධාර්ථ මහා විද්‍යාලයේ. බහ තෝරන කාලේ ඉඳන් මාතර වැලිගම ප්‍රදේශයේ තිබුණු සංස්කෘතික ලක්ෂණ මම ආසාවෙන් උකහා ගත්තා. ඒ කාලේ අත්කම් ආදිය හොඳීන් දියුණු වූ කාලයක්. ගම්මානයකට ගියොත් කම්හල් පනහක් හැටක් තිබෙනවා විවිධ වර්ගයේ. අනෙක් අතට බලිතොවිල්, ධීවර ගම්මාන, වෙල් ඉපනැල්, සතාසීපාවා සියලු සොබා සෞන්දර්ය දැකලා තිබෙනවා. ඒ වගේම ගංවතුර වගේ ආපදා ආදියේදි යාළු මිත්‍රාදීන්ට උදවු උපකාර කරලා ඒ අත්දැකීම් තිබෙනවා. හවසට වෙරළ අයිනේ යාළුවන් සමඟ සතුටු සාමීචියේ යෙදෙද්දි ධීවර පන්න ආදී සොඳුරු දසුන් දකින්න වාසනාව ලැබුවා. වැලිගම කොත්රාජාගල අයිනෙන් පාසල් ගිය නිසා අපට ඒ නිර්මාණ දිනපතා දකින්න ලැබුණා. පාසල් දෙක අසලම තිබුණේ පන්සල් නිසා බෞද්ධ සංස්කෘතිය හා පන්සල් චිත්‍ර සම්ප්‍රදාය නිරන්තර අපේ ඇස ගැටුණා. අවසානයේ එම්. ඒ. සිල්වා කියන අපේ චිත්‍ර ගුරුවරයා තමයි අපේ චිත්‍ර දැකලා හේවුඩ් (වර්තමාන කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය) එකට එන්න කීවේ. අපි ගියේ මිශ්‍ර පාසල් නිසා යහළු යෙහෙළියන් දෙපිරිසම අපට හිතවත්. අපි ඒ වෙද්දි නිවාඩුවට රුහුණු කුමාරියේ ඇවිත් උඩරට මැණිකේ කෝච්චියේ නැඟී හැටන් දික්ඔය දිහා කොළඹ පහුකරගෙන ගියාට කොළඹ කියන්නේ මොකක්ද කියලා දැකලා තිබුණේ නැහැ. කඳුකරයේ නැන්දලාගේ ගෙවල්වල ගිහින් දෙමළ ජනතාවගේ ස්වභාවය දැකීම වගේම පීල්ලෙන් නාන්න ලැබීමත් අපට වෙනස් අත්දැකීමක්. වැලිගම කියන්නෙත් බහු සංස්කෘතික පෙදෙසක්. මුස්ලිම් ජනතාව සෑහෙන හිටියා. පල්ලි කෝවිල් තිබුණා. ඒ වගේම මගේ හිතට තේවතු ගැන සුන්දර රූපමය සංකල්ප ගොඩනැඟීමටත් ඒවා චිත්‍රයට නැඟීමට ඒ කඳුකර ගමන් බිමන් හේතුවුණා. අද වෙද්දි මගේ අතින් වතුකරයේ දෙමළ ජනතාව දෙවියන්ගෙන් ‘මොඩර්න් ටොයිලට්ස්‘ ඉල්ලන බව කියන චිත්‍රයක් පවා නිර්මාණය වෙන්න ඒ පෙර අත්දැකීම් හේතු වෙන්න ඇති කියා මම හිතනවා.

කොළඹට එද්දි මගේ මාමා කොටා රෝඩ් ස්ටේසමේ මාස්ටර් වීම මට වාසියට හිටියා. මට වගේම අපේ ඥාති කීපදෙනකුට කොළඹ ඉන්න උදවු කළේ ඒ මාමා. අපි කොළඹ ආවේ 1968දි.

එස්. එච්. සරත් චිත්‍ර ශිල්පියා සිය ළමා වියේ සිට භද්‍ර යෞවනය දක්වා අතීතය හකුළුවා ලීය.

හේවුඩ් එකේදී අපට මුණ ගැසුණේ තිස්ස රණසිංහ විදුහල්පතිවරයා. එතුමා නිවාඩු කාලෙදි ස්කෙච් පොත් ගොඩක වැඩ කරගෙන එන්න කියලා අපට කියනවා. ඉතින් අපි මීහරකෙක් දිහා බැලුවත් එයින් ස්කෙචස් පනහක් හැටක් අඳීනවා. (ඔහු සුපුරුදු නිහතමානී සිනාවෙන් යුතුව කියයි) එතුමා ඒවා අගය කරනවා. අපේ චිත්‍ර හේවුඩ් එකේ අනෙක් ළමයින්ට පෙන්වනවා. ඔය අතර තමයි සෝවියට් මිත්‍ර සංගමයෙන් ලෙනින් ශත සංවත්සර චිත්‍ර තරගය පැවැත්වුවේ. මම හිටියේ පහළ වසරවල. මම එයට ඇන්ද චිත්‍රයේ තිබුණේ ලෙනින් රුසියාවේ ඇස් නැති ජනතාවට චිත්‍ර පැලටයක් ආධාරයෙන් ඇස් පාදන අයුරු. එයට තමයි පළමු තැන ලැබුණේ. මගේ චිත්‍රයක් පළමු වතාවට බොහෝ ජනප්‍රිය වුණු අවස්ථාවත් එයයි. ඉන් පසු බොහෝ චිත්‍ර තරගවලින් මට ජයග්‍රහණය කරන්න හැකි වුණා. ඒ අතර තිස්ස රණසිංහ මහත්මයා ලංකාව එපා වෙලා එංගලන්තයට ගියා. ඒ අවස්ථාවේ මගේත් හෙන්රි නිවුටන් පෙරේරා කියන මිතුරාගේත් දක්ෂතා දැකලා අපට නොදන්වාම මුදල් බැඳලා, අපව ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට ගෙන ගොස් ඒ ස්ථානය පෙන්වලා කීවා ඔහු රට යනවා ඒත් අපේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න කියලා. ඒ ආකාරයට තමයි පළමුවැනි වතාවට ලයනල් වෙන්ඩ්ට් ආයතනයේ චිත්‍ර ප්‍රදර්ශනයක් තබන්න හැකි වුණේ. 1972 වසරේ.

ලයනල් වෙන්ඩ්ට් එන අතර රණසිංහ මහත්මයා එච්.ඩී. සුගතපාල මහත්මයා ළඟට මාව ගෙනගොස් හඳුන්වා දුන්නා. අපට ඉතින් ඒ දවස්වල කීයක් හරි හොයාගන්න ක්‍රමයකුත් අවශ්‍යයිනේ. හංස පබ්ලිෂර්ස් එකට ගිය වෙලේ ඔහුගේ පළමු පොත ‘සුනිල්ගේ දිනපොත‘ සඳහා පිටකවරය අඳීන්න මට අවස්ථාව හිමි වුණා. ඒ කාලේ 2.50ට විකුණුවේ පොත. ඉන්පසු තමයි පොත්කවර අඳීන්න මට අවස්ථාව උදා වුණේ. ඒ වගේම රෙදි කම්හල තිබුණේ ඒ ආසන්නයේ නිසා ඒවාට මෝස්තර ඇඳලත් අපි කීයක් හරි හොයා ගත්තා.

අපේ චිත්‍ර ප්‍රදර්ශනය ගැන සයිමන් නවගත්තේගම මහත්තයාත් ලිපියක් ලීවා. සරසවිය පුවත්පතට පියසේන වික්‍රමගේ මහත්මයා තමයි මගේ මුල්ම ලිපිය ලීවේ. එදා සිට අද දක්වා සරසවිය මට බොහෝ සහාය දෙනවා මගේ කලාකටයුතුවලදි.

ඔහු සරසවියට මෙන්ම ලේක්හවුස් ආයතනයට ද කෘතඥ පූර්වක විය.

ඒ යුගයේ මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය පෙන්වනවා, 43කණ්ඩායම ඒ අයගේ චිත්‍ර ප්‍රදර්ශන එක අතකින් පෙන්වනවා හැරී පීරිස්ගේ සපුමල් පදනමේ, මේ පැත්තෙන් මම ලයනල් වෙන්ඩ්ට් එකේ තරුණ ශිල්පියකු ලෙස මගේ ප්‍රදර්ශන තැබුවා. හරිම ස්වර්ණමය යුගයක් කලා ක්ෂේත්‍රයේ ගෙවුවේ අපි.

වසර පහකට පස්සේ හේවුඩ් ආයතනයෙන් අපි පිටවුණා. 1974 මගේ ප්‍රථම කේවල චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කළේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ අතින්. මහගම සේකර, චිත්‍රසේන, මංජු ශ්‍රී, සුගතපාල ද සිල්වා වැනි දැවැන්තයන් සමඟ මට කටයුතු කරන්න ලැබුණේ ඒ අවස්ථාවල ඔවුන් හඳුනා ගැනීමත් සමඟයි. පෙම්බර මධූ චිත්‍රපටයෙන් පසු මම චිත්‍රපට රැසක කලා අධ්‍යක්ෂණය, අංගරචනය වැනි කටයුතුවල යෙදුණා. බන්දුල විතානගේ නිර්මාණය කළ බෙකට් වේදිකා නාට්‍යයෙන් තමයි මම වේදිකාවේ කලා අධ්‍යක්ෂණයට යොමු වුණේ. ඉන්පසු සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස වේදිකා සැරසිලි කළා. සෝමරත්න දිසානායකගේ පළමු වේදිකා නාට්‍යයේ කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණේ ඔය ආකාරයෙන්. පසු කාලයේදී, බොහෝ නාට්‍යවල පසුතල, කලා අධ්‍යක්ෂණය වගේම අංගරචනයටත් යොමු වුණා. සත්‍ය ගීතය වැනි ප්‍රාසංගික කටයුතුවලටත් සම්බන්ධ වුණා.

 

ඔහුගේ මහසයුරක් වැනි අත්දැකීම් සියල්ල දියදෝතකට ලඝු කොට දක්වන්න ඔහු සමත්විය. ඉන්පසු ඔහුගේ දිගු ගමනේ අත්වැල පිළිබඳ හෙළි කරමින් ඔහු මුළු මහත් දිවියේම කළ යුතු තුති පිදුමක් සරසවියෙන් හෙළි කරන්නට සතුටු බව පැවසුවේය.

ඇත්තෙන්ම මගේ මේ ගමනේ මුල තමයි මගේ බිරිඳ, චේකා ප්‍රේමසිරි. ඇය නීතිපීඨයේ සිටින කාලේ තමයි අපි මුණ ගැසුණේ. මගේ ජීවිතේ යහමඟට ගනිමින් පිළිවෙළක් ඇතිව දෙවැනි අම්මා වගේ මා බලාගනිමින් මිනිසෙක් බවට පත් කළ නිසා තමයි අද මම මේ ආකාරයෙන් යම් ගමනක් ඇවිත් ඉන්නේ. ඒ ගෞරවය මම ඇයට දිය යුතුමයි. අඛිල සෙල්ලහැන්නදි මගේ ලොකු පුතා. කුෂ්ලානි සෙල්ලහැන්නදි මගේ දුව. ඒ දෙදෙනා විදෙස්ගතව යහතින් දිවි ගෙවනවා.

ඒ තුති පිදුමෙන් පසු යළිත් ඔහු චිත්‍රකර්මය සහ ප්‍රදර්ශනය වෙත අවධානය යොමු කළේය.

ලයනල් වෙන්ඩ්ට් ආයතනයේම ප්‍රදර්ශන විස්සක් විසිපහක් විතර තියන්න මට හැකි වුණා. ඒත් මේ ප්‍රදර්ශනය විශේෂයි. 2022 දි මම සමරන්නේ මගේ චිත්‍රප්‍රදර්ශන ජීවිතේ 50 වැනි වසර. මට ලෝකේ වටේම චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්න වාසනාව ලැබුණා. ජිනීවාහි එක්සත්ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේත් මගේ චිත්‍රයක් එල්ලා තිබෙනවා. එය මට සතුටක්.

70 වැනි නිදහස් සමරුවටත් මගේ කේවළ චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළා.

 

පසුගිය කොරෝනා සමය ද ඔහු ප්‍රයෝජනයට ගත්තේ චිත්‍ර වෙනුවෙන්මය.

කොරෝනා සමයේ අපි ගෙවල් තුළටම වී සිටියදී ගෙවල්වලම අපි ප්‍රදර්ශන පැවැත්වූවා. පසුව නවීන් ගුණරත්න මහත්මා සමඟ එක්ව ශාක්‍ය චිත්‍රාගාරයේ පැවැත් වූ චිත්‍ර ප්‍රදර්ශනයට තමයි හනා මහත්මිය ලංකාවට මුලින්ම සපැමිණියේ.

 

ඔහු චිත්‍රයෙන් සමාජය විවේචනය කරන අයුරු පිළිබඳ කීවේ මෙසේය.

මම බොහෝ වෙලාවට සමාජයේ අප මුහුණ දෙන ප්‍රශ්න කැන්වසයට ගන්න උත්සාහ කරනවා. පාස්කු ප්‍රහාරයේ ජනතාවගේ පැත්ත, විදුලි බිල, ජලබිල, බඩු මිල ගැන තමයි දැන් පින්සල මෙහෙයවෙන්නෙ. මූචලින්ද නාගරාජයා දන් වලඳන ආකාරය ගැන මම චිත්‍රයකින් ප්‍රකාශ කළේ හැත්තෑව දශකයේ. මම උපතින් බෞද්ධ වුවත් සිතෙන් සෑම ආගමකට දහමකටම ගරු කරනවා. ගෙදරත් බහු ආගමික දේවල් දකින්න ලැබෙනවා. ඕනෑම රටක හොඳ දෙයක් කීවොත් එය පිළිගන්න මම කැමැතියි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එකට එක්ව ඉන්නවා දකින්න මම කැමැතියි. මේ දේවල් තමයි මගේ පින්සලෙන් ඇඳෙන්නේ. සීගිරි ළඳ ගැබ්ගෙන ඇති බව මම කීවේ බොහෝ කාලෙකට කලින්. අද සමහරු කියන දේවල් අපි එදා දැක්කේ වගේම ප්‍රකාශ කළේ ඒ විදිහට. අපේ සංස්කෘතිය කොහිද යන්නේ කියලා අපි දැක්කා. සමාජ සංස්කරණය සඳහා තමයි අපි චිත්‍ර ඇන්දේ. පොලීසියේ මහත්තුරු තුවක්කුව අතේ තබාගෙන භාවනා කරන චිත්‍රය වැනි දේ වගේම අරගලය ගැනත් මම ඇන්දේ දශක ගණනාවකට පෙර. පසුගිය කාලේ මගේ අතින් අඳුණේ ඡන්දදායකයන් මිනීපෙට්ටියට ඡන්දය දාන්න යන ආකාරය.

කලාකරුවකු වශයෙන් චිත්‍රයක් විකුණලා ගන්න මුදලට වඩා අපට චිත්‍රයකින් කෙරෙන සමාජ විවරණය වැදගත්. මම ප්‍රභාකරන්ට කතිරයට යන්න කියා මගේ චිත්‍රයකින් කීවේ ඒ නිසා.

 

චිත්‍ර ප්‍රදර්ශන පිළිබඳ අපේ රටේ ඇති උනන්දුව පිළිබඳවද ඔහු කීවේ අපූරු කතාවකි.

සින්දු ගැන නැත්නම් සංගීතය ගැන කතා කළොත් එය දේශපාලනඥයොත් අහනවා, කලාකරුවොත් අහනවා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවොත් අහනවා. චිත්‍රපට බලන්නත් ඒ බොහෝ දෙනා යනවා. නාට්‍ය බලන්නත් යනවා. ඒත් චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න දේශපාලනඥයෙක් එහෙම එන්නේ හරිම අඩුවෙන්. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. සමාජයේ චිත්‍ර රසවින්දනය පිළිබඳ තිබෙන්නේ අඩු අවබෝධයක්. මම මගේ චිත්‍ර ප්‍රදර්ශනයේ චිත්‍ර 60-70 පමණ ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවර ප්‍රදර්ශනයේදී 1970 දශකයේ සිට ඔබේ සරසවිය පුවත්පත ඇතුළු මා පිළිබඳ පළ වූ බොහෝ පුවත්පත් ලිපි පිටපත් ප්‍රදර්ශනයටත් කටයුතු යොදනවා. එයින් උත්සාහ කරන්නේ 70 දශකයේ සිට මේ දක්වා පිටු සැකැසුම් සම්ප්‍රදාය වෙනස් වූ ආකාරය පිළිබඳ යම් අදහසක් ප්‍රේක්ෂකයාට ඇති කිරීමයි. එහිදී ඔබට පෙනේවි එදා කියූ මාතෘකා තමයි අදත් අප කතා කරන්නේ. එදා තිබුණු ප්‍රශ්නමයි අදත් තිබෙන්නේ.

 

චිත්‍රය යනු කුමක්ද? ඔහුගෙන් විමසිය යුතුම පැනය යැයි සිතමි. එයට පිළිතුර ලැබුණේ මෙසේය.

අපි රචනාවක් ලියද්දි අකුරු තිබෙනවා, ව්‍යාකරණ තිබෙනවා, වාක්‍ය තිබෙනවා. ලබා දෙන පණිවිඩයක් තිබෙනවා. ඒ කියන ගුණාංග සියල්ලම චිත්‍රයකත් තිබෙනවා. අපි චිත්‍රයක් කරන්න ප්‍රථම ශිල්පියා ළඟ රචනාවක් තිබිය යුතුයි. එය තමයි කොළයට හෝ කැන්වසයට ගන්නේ. චිත්‍ර ශිල්පියා දැනුමෙන් පොහොසත් වූ තරමට තමයි ඒ රචනාවත් සාරවත් වන්නේ. අකුරු ලියන්න පුළුවන් වූ සැමටම ලස්සන රචනා ලියන්න බෑ වගේ, පින්සල අතට ගන්න පුළුවන් වූ පමණින් සැමදෙනාටම සාරවත් චිත්‍රයක් අඳීන්න බෑ. හැබැයි චිත්‍ර කලාව පිළිබඳ යම් ශාස්ත්‍රීය කරුණු ටිකකුත් ඉගෙන ගත යුතුයි. ඒ උගත් දෙය ඔස්සේ චිත්‍රයක් රසවිඳීමට අප සියලු දෙනා පුරුදු විය යුතුයි. නාට්‍යයක් රස විඳීන්න පැය දෙකහමාරක් ගත වෙනවා. චිත්‍රපයක් රස විඳීන්නත් පැය දෙකතුනක් යනවා. ඒ සඳහා අපි සූදානම් වෙලා ගිහින් හොඳට වාඩි වෙලා ඒ දේට යොමු වෙනවා. ඒත් චිත්‍ර ප්‍රදර්ශනයක චිත්‍රයක් ඉදිරියේ කෙනෙක් නතරවෙනවා හරි අඩුයි. විදේශවල අපේ අත්දැකීම තමයි චිත්‍රයක් දෙස රස විඳීන්නා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නවා දකින්න පුළුවන් වීම.

නෝර්වේ වගේ රටවල උදේ පාන්දර සාප්පු අරින අය සවස දෙක තුන වෙද්දි ඒවා වසා දමලා තමන්ගේ සාමාන්‍ය ජීවිත පටන්ගන්නවා. ඒත් අපේ රටේ දහයට සාප්පු ඇරලා මහ රෑ වනතුරු එතැන ඉන්නවා. බැංකුවක සේවකයකුටවත් තමන්ගේ ජීවිතය හරියට ගෙවා ගන්න ක්‍රමයක් අපේ රටවල හැඩගැසී නෑ. ඒ නිසා ලංකාවේ අයට එහෙම විවේකයක් නෑ. මම ඉතින් ඒ ගැනත් චිත්‍රයක් ඇන්දා ලංකාවේ මිනිස්සු වගේම භූත බලවේගත් හරි කාර්යබහුලයි කියලා. මොකද ඉස්සර නම් එක වළව්වක එක ප්‍රධානියෙක් තමයි සියල්ල බලා කියාගෙන ඒවාට තණ්හා වුණේ. දැන් එක ප්‍රධානියකුට ආයතන දෙසීයක් විතර අයිතියි. ඉතින් කට්ටඬියන්ට ඒ භූතයාව අල්ලන්නත් බෑ මොකද භූත ආත්මයත් ආයතන දෙසීයටම යද්දි හරි බිසීනේ. (ඔහු සෝපාහසාත්මකව කියයි) ඉතින් අපේ වගේ චිත්‍ර ප්‍රදර්ශනයකට කවුරුන් හෝ අඩිය තියනවා කියන්නේත් අපට අසීමිත සතුටක්.

අපි කිසිම ලේබලයක් ගසාගත් කලාකරුවන් නෙවෙයි. කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධව කටයුතු කළේත් නෑ. කොයි ආණ්ඩුවක් ආවත් අපි අඳීන්නේ මහජනතාවට දැනෙන ප්‍රශ්න. අපි කොච්චර චිත්‍ර ඇන්දත් විදුලි බිල ගෙව්වේ නැත්නම් විදුලිය කපා හරිනවා. වතුර, දුරකථන කපා දමනවා. ඉතින් මම මෑතක චිත්‍රයක් ඇන්දා අවසන් බිල්පත කනත්තේ දී ගෙවිය හැකිය කියලා. කනත්තේ ඒ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. ඥාතීන් මළ ගෙදරට සහභාගී වෙන්නේ ඒ බිල්පත් ගෙවා දමමින්. මෙවැන්නක් අඳීන්න හේතුව තමයි සමාජය ජීවත් වන්නේ මිනිසුන්ගෙන් සල්ලි ගනිමින්. ඒ බවයි මට කියන්න ඕනෙ වුණේ. පරිසර ප්‍රශ්නය ගැන මම කීවේ අලියාගේ ශරීරය තුළ ජනපදයක් ඇති කරගෙන ඉන්න මිනිසුන් චිත්‍රයට නඟමින්.

 

ඔහු විදෙස් අධ්‍යාපනයට යොමු වූ අයුරුද වරින් වර හෙළි වූයේ වෙනත් කතා අතරතුරය.

පිටරටවල සමාජයේ සෑම දෙනාටම එක විදිහට සලකන්නේ. අපේ රටවල වගේ විශේෂතා නෑ. අපි චිත්‍ර ශිල්පීන් විදිහට සමාජයේ දුර්වල තැන් පිළිබඳ කතා කළ යුතුයි. මම අසූව මුල භාගේ බැංකොක්වල ශිල්පකෝන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. ඒ කාලේ එක පුද්ගලයෙක් පන්සිය නමකට දානය දුන්නා. ඒ අතිනුත් ඔවුන් හරි දියුණුයි. දකුණු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ කාර්මික චිත්‍ර ශිල්පය අධ්‍යාපනයට එකතු කර තිබෙනවා. මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙදි ඒ දේවල් අපේ නිර්දේශවලට එකතු කරන්න උත්සාහ කළත් ඒවා සාර්ථක වුණේ නැහැ. ලංකාවේ චිත්‍රකලා අධ්‍යාපනය හරි දුප්පත්. පිටරටවල සෞන්දර්ය ගුරුවරුන්ට වැඩ කරන්න වෙනම ස්ථාන තිබෙනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ වුණත් නම එතැනට සුදුසුද කියලා බලන්න කියලා මම යෝජනා කරනවා. මොකද උපාධිධාරීන් එළියට දාන්නේ වෘත්තීය සුදුසුකම් ඇතිවද කියන එක හිතලා බලන්න. ඊට වඩා නාලිකාවල තරගවලින් දක්ෂයන් එළියට එනවා. විදේශ විශ්වවිද්‍යාලවල අවසන් වසර වද්දි තමන් සීඩී එකක් හදන්න ඕනෙ. ගායන අංශයේ අය නම් තමන් ශබ්දාගාරයක් තනාගෙන කටයුතු කරන තැනට එන්න  ඕනෙ. එංගලන්තෙ මහරැජින ඉඳන් කළේ චිත්‍ර එකතු කළ එක. ඒත් අපේ රටේ කලාගාර කීයද තිබෙන්නේ. කලාකරුවන් පිළිබඳ තොරුතුරු එකතුවක් තිබෙනවාද පිටරට තානාපති කාර්යාලයකට දෙන්න? ඒවා අපේ අඩුපාඩු. ඒවා කළොත් අපේ කලාකරුවන්ට ලෝකයේ තැනක් ලැබෙන අවස්ථා එළැඹෙන්න පුළුවන්. පිටරැටියන්ගේ චිත්‍රයක් ඩොලර් දහ පහළොස්දාහට විකිණෙද්දි අපේ රටේ චිත්‍ර ශිල්පියෙකුට ඩොලර් දාහකට චිත්‍රයක් විකුණගන්න බැරි වෙලා තිබෙනවා. එහෙම තැනක් නැති වෙන්න හේතුව තමයි අපේ බලධාරීන් කලාකරුවන් පාපිසි ලෙස සිතාගෙන සිටීම. චිත්‍ර ශිල්පියෙකුට උත්සවේකට ආරාධනාපත්‍රයක් නොදුන්නාට උදේ ඉඳන් වඳීන්නේ පුදන්නේ කවුරුන් හෝ ශිල්පියෙක් ඇන්ද බුදුරුවකට, දේවරූපයකට නේද කියලා මතක නෑ. කවුරුන් හෝ නිර්මාණය කළ වාහන මෝස්තරයක යන්නේ. ඉන්නේ කවුරුන් හෝ හැදුව නිවෙසක. පිටරටවල කලාකරුවන් පිළිබඳ දරුවන්ට උගන්වනවා. ඒත් අපේ ලොතරැයියක පිටිපස්සේවත් කලාකරුවෙක්ගේ පින්තූරයක් දානවාද? ලංකාවේ චිත්‍ර කලාව කියලා හිතන්නේ කලා පොළේ චිත්‍රවලින්. කලාකරුවන් යන්න ඕනෙ පොළට නෙවෙයි. ගැලරිවලට, කෞතුකාගාරවලට. මම එහෙම කියන්නේ කැනඩාවේ ඔටාවා නුවරට මට ආරාධනා කර එහි මෝල්ටන්ඩ් කෞතුකාගාරයේ මගේ චිත්‍රයක් තබන්න මහත්මයෙක් කටයුතු කළ නිසා. දැන් එහි ආසියානු කොටස නියෝජනය කරන්නේ මගේ චිත්‍රය පමණයි.

අපේ රටේ ආර්ථික අතින්, වාහන අතින් ධනවත් වුණාට චිත්‍ර ආදිය පිළිබඳ ධනවත් චින්තනයක් නෑ. කලාකරුවන් හැමදාම අරගලයක යෙදෙන අය. ඒත් මගේ ප්‍රතිපත්තිය ඒ වෙනුවෙන් බෝඩ් එකක් අල්ලගෙන ඉඳීම නොවේ. අපිට කලාව සංසාර පුරුද්දෙන් හෝ ඇවිත් නිසා හුස්ම තිබෙනතුරු අපි කරන්නේ මේ චිත්‍ර ඇඳීම තමයි. මම ඉපදෙන ආත්මයක් පාසා චිත්‍ර ශිල්පියෙක් වෙන්න තමයි පතන්නේ. මොකද හිත පිරිසුදුවෙන් ජීවත් වෙන්න පුළුවන් කලාකරුවකු වුණාම විතරයි.

 

 

[email protected]