විලක් නම් එය විලක් වුව මැන නීල ඉඳුවර ... දියෙන් උපදින....

දෙසැම්බර් 15, 2022

 

හෙමින් සැරේ පියා විදා ..

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

පලා ඇවිත් සිතුම්... සියොතුන්

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් ...

 

 

මලක් නම් එය මලක් වුව මැන

සිනිඳු සුකොමල.... රුවෙන් සරසන

 

විලක් නම් එය විලක් වුව මැන

නීල ඉඳුවර ... දියෙන් උපදින....

 

 

නැවුම් වත්සුණු රොනින් මත් වී

සිහින නිම්නය .... සුපිෂ්පිත වෙයි

 

සිහින් හඬකින් මහද අමතයි

මුදා හැරදා ... පවුරු සිරි යහනේ...

 

ගී පද - ධර්මසිරි පතිරාජ

ගී නද - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගී හඬ - ටී.එම්. ජයරත්න/සුනිලා අබේසේකර

චිත්‍රපටය - හංසවිලක්

 

 

සිංහල සිනමා වංශකතාවේ 472 වන චිත්‍රපටය ලෙස 1980 වසරේ ඔක්තෝම්බර් මස 24 දින දින “ හංසවිලක් ” චිත්‍රපටය තිරගත විය. එවක දේශීය සිනමා ක්ෂේත්‍රයේ ඉමහත් කතාබහට ලක් වූ සහ සිනමා රසිකයින්ට වෙනස් කෝණයකින් ජීවිතය දකින්නට විඳීන්නට ඉඩහසර සැලසූ ආන්දෝලනාත්මක බවක් සිනමාව තුළ ඇති කළ චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය හැඳීන්විය හැකි ය.

සිංහල සිනමාවට නවක අධ්‍යක්ෂකවරයකු ලෙස පිවිසෙමින් සිංහල සිනමා වංශකතාව තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කිරීමට සමත් වූ ධර්මසි බණ්ඩාරනායකගේ කුලුඳුල් සිනමා සිත්තම මෙය වන අතර, එය ඇල්බට් ජයසිංහගේ නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටයේ සිනමානුරූපී කැමරා ශිල්පියා වූ යේ ඇන්ඩෲ ජයමාන්න ය.

එසේම සිනමාපටයේ කතා තේමාවට මනා සේ උචිත ලෙස මෙහි සංගීතය අධ්‍යක්ෂණය කළ ප්‍රේමසිරි කේමදාසයන්ගේ විශිෂ්ට සංගීත සංයෝජනය චිත්‍රපටය පුරා ම එක සේ විඳගත හැකි ය. ජන සංගීතය, බටහිර සංගීතය මෙන්ම ඔපෙරා සංගීතයත් මුසුකොට නවමු ආරක දේශීය සිනමා සංගීතයක් මුසුකිරීමේ ගෞරවය කේමදාස මාස්ටර් සතු වේ.

“හෙමින් සැරේ පියා විදා.... ගීතය තුළ වචනය ඉක්මවා ගොස් සංගීතය ප්‍රබලව ඉස්මතු වී තිබේ. මෙම ගීතය වචනයෙන් වචනය ගලපා විවරණය කළ නොහැකි ගීතයකි. මන් ද යත් සිනමාපටය තුළ සිනමානුරූපී අත්දැකීමකට බද්ධ වුණු, සාම්ප්‍රදායික කතා කලාවෙන් ඔබ්බටගිය තේමාවක් සහිත වූ , මෙම සිනමාපටයම කියැවීමකට ලක්කිරීමට මෙම ගීතය හා සංගීතය සමත් වී තිබේ. මේ වන විට දශක පහක ට ආසන්න කාලයක් පුරා අදටත් එක සේ රසවිඳීන අමරණීය ගීතයක් බවට මෙම ගීතය පත්වී තිබෙන්නේ ද එම විශිෂ්ටත්වය නිසාවෙනි.

හංසවිලක් චිත්‍රපටයේ කතා තේමාව එවක සිනමා කතාන්දර කලාවෙන් බැහැර වන්නේ, එය ප්‍රායෝගික ජීවිතයේ සඟවාගෙන රහසින් විඳීන අත්දැකීමක් සමාජයට නිරාවරණය වූ විට සිදුවන ඝට්ටනය සිනමාවට නඟා ඇති නිසා ය. එවැනි අත්දැකීමටකට මුහුණ දුන් විට පුද්ගලයකුගේ මානසික කැලැඹීම, පසුකම්පනය හා ඔහුගේ ඇතුළාන්තය සියුම්ව විවරණය කිරීම මෙහි දී සිදු වේ. එසේම අනියම් ඇසුරක සුවය තාවකාලික බවත් එහි ප්‍රතිඵලය දිගුකාලීනව මෙන්ම, ජීවිතය පුරාම විඳවීමට ලක්වන කරුණක් වන බවත් මෙයින් ප්‍රකාශ කරයි.

විවාහක ස්ත්‍රීයකගේ සහ විවාහක පුරුෂයකුගේ ආදර සම්බන්ධතාවය අනියම් ඇසුරක් ලෙස සමාජ සම්මතයක්ව ඇති පසුබිමක, එය සමාජ විරෝධී අපරා‍ධයක් සේ සලකනු ලබන සමාජ වටපිටාවක ඔවුන් මුහුණදෙන අත්දැකීම හා පසුකම්පනයත්, එම හේතුව නිසා පවුල් සංස්ථාව තුළ සිදුවන බිඳ වැටීම හා එහි අතුරු ප්‍රතිවිපාක සිනමානුරූපී ලෙස ගොඩනැගීමට චිත්‍රපට අධ්‍යක්ෂ සමත්ත වී තිබේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ම එහි රංගනයෙන් දායක වන ධර්මසිරි බණ්ඩාරනායක‍්, නිස්සංක ලෙසත් මිරැන්ඩා ලෙස ස්වර්ණා මල්ලවාරච්චිත් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරයි. හෙන්රි ජයසේන, වසන්ති චතුරාණි, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, දෙනවක හාමිනේ ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපනයෙන් දායක වෙති.

සිනමාපටයේ කතා තේමාව හා බද්ධව යමින් ගීතය හරහා මනෝරූප මවමින් ගීතය තුළ රසිකයා ජීවත් කිරීමට මෙම ගීතය හා සංගීතය සමත් වේ. එසේම ටී.එම්. ජයරත්නයන්ගේ හා සුනිලා අබේසේකරයන්ගේ ගායන පෞරුෂය ගීතය වඩ වඩාත් ඉස්මතුකරලීමට සමත් වී තිබේ.

ගීතයේ මුල් පදවල අරුත එකින් එක ගත්විට තරුණ යුවළක් රාගයෙන් බැඳී එක්වන මොහොතක් පිළිබඳව චිත්තරූප මවයි. ඔවුන්ගේ සිතුවිලි කෙතරම් නොසන්සුන් ද යත්, පියාසරණ සියොතුන් සේ වේගවත් ය. ඔවුන්ට ද පාලනය කළ නොහැකි තරම් ය. ප්‍රේමයත්, රාගයත් මුසුව එක්වන යුවළක් ගැන ගීතයෙන් ඉඟි කරයි.

 

මලක් නම් එය මලක් වුව මැන

සිනිඳු සුකොමල.... රුවෙන් සරසන

විලක් නම් එය විලක් වුව මැන

නීල ඉඳුවර ... දියෙන් උපදින....

 

මෙහි දී ඇයව මලක ට උපමා කර තිබේ. ඇය මලක් නම්, මලක් ම විය යුතු වේ. එනම්, සුවඳ හමන, සුසිනිඳු පියකරු මුදුමොලොක් මලක් ම විය යුතුයි. මෙහි දී ඇය විවාහක ස්ත්‍රියක් බව නොකියා පවසන ව්‍යංගාර්ථය ඉතා ගැඹුරු ය. ඔවුන්ගේ තාවකාලික හමුව අවසානයේ දෙදෙනාම සමුගෙන යා යුතු වන්නේ තම තමන්ගේ කුටුම්භය වෙතයි. ඇයට ස්වාමියෙකුත් ඔහුට බිරිඳකුත් සිටී. එවිට ඇයටත් ඔහුටත් ඔවුන් සමඟ එක්ව ජීවත් වීමට සිදු වේ. අනියම් ප්‍රේමය කෙතරම් සුන්දර වුවත්, අතිශය වේදනාකාරී වන්නේත් ඒ නිසා ය. තාවකාලිකව හමු වී සතුටු වී වෙන්වීම තුළ ඈ කෙරෙහි පවතින දැඩි ලෝභකම, ආදරය හා මුසුවුණු ඊර්ෂ්‍යාවෙන් ඔහුගේ හද සසල වෙයි. ඒ සසල වීම තුල නැගෙන ප්‍රශ්නාර්ථය ව්‍යංගාර්ථවත් ලෙස මෙහි දී මතු කර තිබේ.

 

නැවුම් වත්සුණු රොනින් මත් වී

සිහින නිම්නය .... සුපිෂ්පිත වෙයි

සිහින් හඬකින් මහද අමතයි

මුදා හැරදා ... පවුරු සිරි යහනේ...

 

මොවුන් රහසේ හමුවන අනියම් පෙම් යුවළක් බව මෙම කොටසින් ව්‍යංග්‍යාර්ථවත්ව මතුකොට තිබේ. ඉඳහිට හමුවන හමුවීමක දී ඒ සුවය විඳගන්නා අයුරු උපමා රූපක මඟින් පවසන අයුරු ගී පද රචනයේ ඇති විශිෂ්ටත්වය කියා පායි. ඔවුන්ගේ රහස් හමුවේ අවසානය දෙදෙනාම කායිකව ලබන සංතෘප්තිය පිළිබඳව ගැඹුරින් හා සියුම්ව පවසන අයුරු අපූරු ය. සිහින් හඬකින් මහද අමතයි ...

මුදා හැරදා පවුරු සිරි යහනේ...

 

හංසවිලක් චිත්‍රපටය එවක සිනමාවේ ගමන් මග වෙනස් කළ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් බවත් පත් වූ වා සේම, ස්වර්ණා මල්ලවාරච්චි නම් නිලිය, ප්‍රවීණ, ප්‍රතිභාපූර්ණ නිළියක් ලෙස ඉස්මතු කර දැක්වීමේ මූලාරම්භය සනිටුහන් කිරීමට ද සමත් විය.

 

 

[email protected]