වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
තාත්තාගේ දේහය සමඟ කාමරයේ අම්මට තනිවෙන්න අපි ඉඩදුන්නා

“අපෙ තාත්තාගෙ හැම වැඩකදීම, හැම දෙයකදීම කිසියම් රිද්මයක් හැඩයක් තිබුණා.”
හය, හතර තේරුම් ගත් දා පටන් මගේ ජීවිතයේ සේම බොහෝවිට මේ කතාව කියවා යන ඔබ මනසේ ද අපේ ප්‍රතාපවත් මේ සොඳුරු කතා නායකයා “වීරයා” වන්නට ඇති, මාගේ ළමා වියෙහි ද තුරුණු වියෙහි ද එතුමාගේ ගමන බිමන, කතා විලාශය අනුකරණය කළ සැටි දැන් දැන් සිහිවෙයි. එතුමා රඟපෑ සෑම චිත්‍රපටයක් ම පාහේ එකට හත් අට වතාවත් නරඹන්නට ගිය සැටි! මා දැන් පසුවෙනුයේ එතුමා දිවි ගෙවූ සොබා සෞන්දර්යයෙන් පිරි සුවිසල් නිවහනේය.
මේ අන් කිසිවකු හෝ නොව හෙළ සිනමා සක්විති නමින් පිදුම් ලද ගාමිණි ෆොන්සේකා නම් විශිෂ්ට රූපණවේදියාණෝ ය. මේ සුවිසල් නිවසේ මැද සාලයේ සුව පහසු අසුනකට මා කැඳවා පැමිණියේ ඉතා සුහදශීලිව මා පිළිගත් එතුමාගේ දියණියක වන තනූජා මහත්මියයි.
ටිකක් ඉන්න. දමිත් මහත්තයා දැන් ඒවි’ යැයි සිනාපිරි මුවින් පැවසූ ඕ කාන්තාවක අත එවූ ප්‍රණීත කිරි කෝපි සංග්‍රහයකින් ද සප්පායම් වූ මට මේ මහ බරාඳයේ සතර අත එතුමාගේ රුව රැගත් සිතුවම් මට පෙනෙයි. ගරු ගම්භීර, බැල්මෙන් මෙන් මං දෙස ම බලා සිටින එතුමා “මාගෙන්” කොහොමද? යැයි විමසන්නාසේ හැඟෙයි. මේ ප්‍රතාපවත් රංගවේදියාගේ පිය සටහන් දකිනු රිසියෙන් බිම බැලුයෙමි. දුම්වැටියක් දල්වා මෙහි ඔබ – මොබ බිම හෙතෙම සක්මන් කරන්නාසේ මට පෙනෙයි.
එතුමාගේ රුව දෙසම බලා සිටියදී “කොහොමද?” යැයි ඇසුණු හඬින් මා දැහැන බිඳීය. මේ ගාමිණි ෆොන්සේකා නම් මහා රංගධරයාගේ එකම පුත්‍ර රත්නය වන දමිත් ෆොන්සේකා මහතා දැන් මා සමීපයේ ය.
දමිත් මහතා තුළින් මා හමුවේ මේ ජීවමානව පසුවන්නේ ගාමිණි ෆොන්සේකා මහතා යැයි ගළපන්නට නිහඬ වෑයමක යෙදුණෙමි. ඒ අතරේ දී දමිත් මහතාගේ කටහඬින් මා ගාමිණි මහතා හා බැඳී සිටි සිහින ලොවින් පියවි ලොවට පිවිසුණෙමි.
“මේ අපි දෙන්නා ඉන්න මේ මැද සාලය ඒ කාලෙ නිෂ්පාදකවරුන්ගෙන්, දේශපාලකයන්ගෙන්, විවිධ ක්ෂේත්‍රවල අයගෙන් හැම තිස්සෙම සාකච්ඡාවෙන් පිරිලා. “මා සිතේ හුන් දමිත් නම් නොවේමය. නිහතමානිය. අතිශයින් පි‍්‍රයමනාපය. කතාවෙහි ආදරණීයය. දිගු කලෙක සිට මා දන්නා හඳුනන නියාවෙනි. ඔහු කෙරෙහි මා සිත ඔහු වෙනුවෙන් ම උපන් ආදරයකින් පිරී යයි.
මම ඔහුට සවන් දෙමි.
1936 වසරේ මාර්තු මස 21 වන දින රෑ මැදියාමේ මෙලොව එළිය දුටු අද අපේ කතාවේ අසමසම පෞරුෂත්වයකට හිමිකම් කී විශිෂ්ට සිනමාවේදී අපේ ප්‍රතාපවත් සොඳුරු කතා නායකයාගේ පියාණන් වූයේ සෙම්බුගේ විලියම් ෆොන්සේකාය. රන්සි ජූලියට් සේරම් (ඩේසි අක්කා) අපේ කතානායකයාගේ මෑණියන් වූ අතර, ඕ සිය විවාහයෙන් පසුව රන්සි ජූලියට් ෆොන්සේකා නම් වූවාය. තාත්තා දෙහිවලය. අම්මා ගම්පහ ය. මේ දෙපළට ජූන් ෆොන්සේකා සහ වයලා ෆොන්සේකා නම් දියණියන් දෙදෙනකු ද වූ අතර, අපේ කතානායකයාට බාල සොහොයුරෙකු ව උපන් රන්ජන් ෆොන්සේකා කුඩා වියේ දී මිය ගොසිනි. මම දමිත් මහතා දෙස බලමි.
සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණි ෆොන්සේකා නම් අපේ ආදරණීය කතා නායකයාණෝ ඉමහත් ප්‍රකට චරිතයකට පත්වෙමින් ගාමිණි ෆොන්සේකා නම් වූයේද ඔහුම ය. ඔහුට ගෙදරට තිබුණු නම වූයේ ෂෙල්ටන් ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලද අපේ ෂෙල්ටන් හෙවත් ගාමිණි විද්‍යාලීය ඉංගී‍්‍රසි හා සිංහල සාහිත්‍ය සංගම් ආදියෙහිද නිලතල හොබවමින් වාද විවාදයෙහිද ප්‍රකට කථිකයෙකි. ගුරුවරයාගෙන් දුටු දොසක් වුවද දුටු තැන දීම මුහුණට ම කියනා ඍජු පිළිවෙතින් අනූන ඔහු පිළිබඳව වඩාත් පසසන්නේ තමන්ගේ හොඳම ගෝලයා යැයි කී එම විදුහලේ ම ගුරුවරයකු වූ අරිසෙන් අහුබුදු ශූරීන් ය. චතුර කථිකත්වයෙන්ද දැනුමින් ද පිරිපුන් හේ කථික තරඟාදියෙන් ජයග්‍රහණ ලද අවස්ථාද බොහෝ ය. චිත්‍ර ශිල්පයෙහි ද ලිවීමෙහි දක්ෂයකු ද වූ අපේ කතා නායකයා අහුබුදු ශූරීන්ගේ නාට්‍යවලදී ද රංගනයෙහි සමත්කම් පෙන්වීය.
‘අපේ තාත්තා රඟපෑ පළමු පාසල් වේදිකා නාට්‍යය ‘මයුරි’ පසු කලෙක තාත්තා ප්‍රධාන චරිතය රඟපෑ මයුරිගෙ කතාව චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද තාත්තාම යි. ඇත්තම කියනවා නම් අපේ තාත්තා ළඟ සිනමාව පිළිබඳ ව තිබුණු දැනුම් සම්භාරය නම් අප්‍රමාණයි. ඒ වගේ ම කවර විෂයක් ගැන වුණත් අපේ තාත්තාට තිබුණේ පුළුල් අවබෝධයක් කියල කීවොත් හරි.”
අහන්නකෝ අමල් – අපෙ තාත්තාගෙ පැත්තෙ අයට යහමින් යමක් කමක් තිබුණාට රජයේ රස්සාවක් කියන එක ගැන ඒ අයට ලොකු පිළිගැනීමක් හිත්වල තිබුණා. ඉතින් එයාලට ඕන වුණේ අපෙ තාත්තාව රජයේ රස්සාවකට යොමු කරන්නයි. ඒත් අපේ තාත්තා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් නෙ. ඒ තුළින් දෝ තාත්තා කැමරා ශිල්පියෙක් වීමේ උනන්දුවකින් තමයි ඉඳලා තියෙන්නෙ. ඒ කියන්නෙ සිනමාව පැත්තට ඒකට ඉතින් ඒ කාලෙ එයාලා තාත්තාට තහංචි කතා කියල තියෙනවා. ඔය බයිස්කෝප් කෙරුවාවල් වැඩක් නැහැ. රජයේ රස්සාවකට පලයන් කිය කිය බලපෑම් කරල තියෙනවා. තාත්තාගෙ තාත්තා අම්ම මහප්පලා එහෙම පස්සෙ ඉතින්. අපෙ තාත්තා බැරිම තැන ඒ අයගෙ ඕනාවට පොලීසියට බැඳෙන්න සම්මුඛ පරීක්ෂණයකට ගියා කියමුකො. ඔක්කොම සුදුසුකම් හරි. තාත්තාගෙ උස අඟලකින් අඩුයි කියලා පරීක්ෂණයෙන් ෆේල්වෙලා.
ඉතින් ඊට පස්සෙ ඒ කාලෙ කොළඹ ප්‍රසිද්ධ ආයතනයක් තිබිල තියෙනවා. ලීවර් බ්‍රදර්ස් කියලා. ඔන්න එහි සහකාර වෙළඳ කළමනාකාර රස්සාවකට පරීක්ෂණයට ගියා. සම්මුඛ පරීක්ෂණය අතරතුර එහි හිටපු ලොකු මහත්තයෙක් තාත්තාගෙන් තොරතුරු විමසල තියෙනවා. ඉතින් අපේ තාත්තා එතුමාට කියල තියෙනවා මගේ කැමැත්ත චිත්‍රපටවලටයි මේ මං රස්සාවක් කරන්න ආවේ මගෙ ඕනකමකට නෙමෙයි ගෙදරින් බල කරන හින්දයි කියලා. කොහොම හරි එදා ඒ මහත්තයා අපේ තාත්තාට මෙහෙම කියල තියෙනවා.
“ඔයාට සුදුසු මෙතැන නෙමෙයි සිනමාවයි. මෙතැන ඔයා අවුරුදු 20ක් වැඩ කළා කියල හිතමු. ඉන් පස්සෙත් මේ මං වගේ ඔයත් එදාට මෙතැන. මං ඔයාට හදවතින්ම සුබ පතනවා. රස්සාවක් කරන්න කියල මෙහෙ තෝරාගන්න එපා. සිනමාව තමයි ඔයාගෙ අනාගතය. ඒ තුළින් ඔයාට ඉහලට ම යන්න පුළුවන් තරම් හැකියාවක් ඇති බව මම ඔයාගෙන් දකිනවා. ඔයා සිනමාවෙන් අනාගතේ දි ඉහළම තැනකට එනවාමයි. මං සුබ පතනවා” කියල තාත්තව ආපහු එවලා.”
පේ‍්‍රමනාත් මොරායස්ද තවත් මිතුරෙකි. කෙසේ හෝ ඡායාරූපකරණයට සිතැති ගාමිණි ගැන පැහැදුණු පේ‍්‍රමනාත් මොරායස් හිතවතා හරහා ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හඳුනාගත්තා. ඉක්මනින් කෝපවන සුලු එහි ප්‍රධාන කැමරා ශිල්පී විලී බ්ලේක් සමඟ ගැටුමකට බඳුන් වූ අපේ සොඳුරු කතානායකයා ලෙස්ටර් මහතා තම සහායක ලෙසින් ළඟ තබා ගත්තේ ය.
“ඒකට ලෙස්ටර් මහත්තයට තාත්තා ගැන බොහෝ හේතු තිබුණා. ඉංගී‍්‍රසි, සිංහල, දමිළ භාෂා තුනෙන්ම චතුරව කතා කිරීමේ හා ලිවීමේ හැකියාව, රූප සටහන් ඇඳීමේ හැකියාව වගේ දේවල් එක්ක පැහැදුණු ලෙස්ටර් මහත්තයා අපේ තාත්තා ගැන කිව්වේ ගාමිණිගෙ සුදුසුකම් මාලාව එක්ක තිබුණු රියැදුරු බලපත්‍රය විශේෂ සුදුසුකමක් වුණා කියලයි. “අපේ ආදරණිය දමිත් එසේ කියන්නේය.
කාලය ගත වී ගියේය. ගාමිණී ෆොන්සේකා නම් රටක් වැලඳගත් නළුවා පිළිබඳ තුඩ තුඩ කතා බොහෝ ය. අපේ ආදරණීය කතා නායකයාගේ රංගන දිවියේ මේ ඇරැඹී ඇත්තේ ජනපි‍්‍රයත්වයේ මුල් අදියරයි. පේරාදෙණිය ප්‍රකට හෝටලයක අපේ ආදරණීය කතා නායකයා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.
එම සුවිසල් හෝටලයට පැමිණෙන ගාමිණී ෆොන්සේකා නම් හෙළ සිනමාවේ ජනපි‍්‍රයතම නළුවා දැක බලා ගැනීමේ නොතින් ආසාවෙන් පෙළුණු සිනමා ලෝලීහු සිය දහස් ගණනින් පේරාදෙණිය මංසන්ධියේ රැඳී සිටියහ.
අපේ ගාමිණී පැමිණි වාහනයෙන් බැස ගත්තා පමණි. ඔහුට ජීවිතය වුව ප්‍රදානය කරන්නට තරමට සැදී පැහැදී හුන් රසික සමූහයා පැලැන්දූ මල්මාලා කොතරම් ද යත් ඔහුගේ දෑසද වසා ගත්තේය. රසික සමූහයාගේ නන් වැදෑරුම් සතුටු ප්‍රකාශ මධ්‍යයේ හෝටලයට පැමිණි අපේ ආදරණීය කතානායක තෙමේ සංග්‍රහය භුක්ති විඳීමට අසුනකට බරදුන්නා පමණි. එම ශාලාවේ එක් කෙළවරෙක මේසයක් ළඟ වාඩි වී හුන් තට්ටය පෑදුණු මහත්මයෙකු දුටු අපේ ගාමිණි තමන් ගෙල වටා පිරී ඉතිරී ගිය මල්මාලා අතරින් ලොකුම මල්මාලය සුරතින් ගෙන ‘මහත්මයා’ වෙතට පිය මැන්නේ ය. මඳක් කතා කළේය. ඔහු දෙඅත දල්වා ගත්තේ ය. මහත්මයා ද කැටුව පිරිස අතරට පැමිණි අපේ ගාමිණී ඒ මහත්මයාගේ ගෙලට ලොකුම මල් මාලය “පැලැන්දුවේ ය.
“මෙතුමාගේ සුබ පැතුමන්, දිරිගැන්වීමත් ගාමිණි ෆොන්සේකා කෙනකු බිහිවන්නට තවත් හේතුවක්ම වූ බව කියා පිරිස වෙතින් මහත්මයාට පැසසුම් ගෙන දුන්නේය. ඒ අනිකකු නොව ලිවර් බ්‍රදර්ස් ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට ගියද, ඔබට ලොකු ගමනක් යන්නට පුළුවන්. ඒ ගමන යන්න මං සුබ පතනවා කියමින් හදවතින්ම සුබ පැතුම් එක්කළ මහත්මයයි. දමිත්ගේ නෙත් මේ වන විට රැඳී ඇත්තේ ඔහුට දකුණු පැත්තෙන් බිත්තියේ එල්ලා ඇති රාමු කරන ලද පින්තූරයේ පේ‍්‍රමණීය තාත්තාගේ මුහුණ දෙසටම ය. මම ඊට බාධා නොදුන්නෙමි.
“අපේ තාත්තා සමහර තාත්තලා වගේ දරුවාගේ ඇඟ පුරා අතගාමින් මගේ පුතේ – පුතේ කිය කියා හුරතල් කරන සිරිතක් නැහැ. ඒත් ඒ ආදරයක් නැතිව නෙවි. හදවතින්ම ආදරෙයි. ඒත් ඒක ප්‍රදර්ශනය කරවන්නෙ නැහැ. දරුවන්ගෙ පීඩනයකදි අසනීපයක දි ළඟින්ම හිතනවා.”
මා කළ තවත් විමසුමකදී අපේ ආදරණීය දමිත් සැප පහසු අසුනේ හරි බරි ගැසුණේ ය.
“අපේ තාත්තා ආඩම්බරකාරයෙක් කියන එක මං පිළිගන්නේ නැහැ. මිනිස්සුන්ට අපේ තාත්තාව එහෙම පේනවත් ඇති. අපේ තාත්තාගෙ හැම දෙයකදීම හැම වැඩකදීම කිසියම් රිද්මයක්, හැඩයක් තිබුණා.
අනික අමල් අපි දන්නවනෙ. අපේ බොහොම අය කැමති අන් අය කියන කියන දේවල් සන්සුන්ව අහගෙන, දරාගෙන නිහඬව ඉන්නවට නේ. ඒකනෙ ඇත්තම කතාව. ඒත් අපෙ තාත්තා නැතිනම් ගාමිණි ෆොන්සේකා කියන මනුෂ්‍යයා එහෙම නැහැ. තමන්ගෙ ආත්මාභිමානය ආරක්ෂා කරගත්ත අදීන මනුස්සයෙක්. ඒ තමන්ගෙ ආත්මාභිමානය ආරක්ෂා කර රැක ගනිමින් අපේ තාත්තා ජීවත්වුණු ආකාරයට ඔය සමහරුන් ආඩම්බරයි කියන කතා කියන්නෙ. මිනිස්සුන්ට ආදරෙයි. පීඩිත මිනිහා ගැන තාත්ත හරියට වද වුණු අවස්ථා අපිත් දන්නවා.
“අමල් මං එක කතාවක් කියන්නම් ඔයාට. අපේ තාත්තා ශිෂ්‍යයා අවධියේ පාසල් ගියේ රික්ෂෝවෙන්. ඒ කාලෙ ගමන් ප්‍රවාහනයට ඒවත් තිබුණනෙ. රික්ෂෝව අදින්නෙ මනුස්සයෙක් නැඟල යන්නෙත් තවත් මනුස්සයෙක්. මේ පීඩනය ගැන එදා ළමයකු වුණූ අපෙ තාත්තාට තදින් දැනිල තියෙනවා. ඒත් වැඩිහිටියන් එක්ක මේ ගැන කතා කළාට පලක් නැති නිසා මවුපියන්ට පේන්න රික්ෂෝවට නගිනවා. එයාලට නොපෙනෙන දුරකදි ජෑම් ගහක් තියෙනවා.
එතැනින් තාත්තා රික්ෂෝවෙන් බහිනවා. ඔයා ඔයාට ඕන ගමනක් ගිහින් එන්න. මං මේ තැන ඉඳලා ඉස්කෝලෙට පයින් යන්නම් කියල පයින්ම යනවා.”
කවදාවත් ජාතිවාදි හැඟීම් අපෙ තාත්තා ළඟ තිබුණෙ නැහැ. අපේ තාත්තා දමිළ බස ඉගෙන ගත්තෙ දෙහිවල සුරුට්ටු කඩේක මුදලාලි කෙනකුගෙන්. එයා දමිළ ජාතිකයෙක්. ඒ මනුස්සයා ඉන්දියාවේ කෙනෙක්. ඒ කාලෙ චිත්‍රපටයකට ඉන්දියාවේ ෂූටින්වලට ගියාම තාත්තා ඒ දෙමළ මුදලාලි ව හමුවන්න අමාරුවෙන් සොයාගෙන ගිහිල්ලා. දුරතියාම තාත්තාව දැකපු ඒ මනුස්සයා අත්දෙකම උස්සගෙන කෑ ගහගෙන අපේ මහත්තයා මාව බලන්න ආවා කිය කියා වීදියේ අනික් මිනිස්සුන්ටත් තාන්තාව හඳුන්වල දීල බොහොම ගරු සරු කරල තියෙනවා. තාත්තාගෙ මනුස්සකම හදුනාගන්න නම් සමීපව ඇසුරු කරන්නම ඕනා.”
තාත්තා දුන් යාළුකම් ලාබ නැහැ. එදා තාත්තා තමන්ගෙ යාළුකම් දුන්න අය අදටත් අප බලන්න සොයන්න එදා වගේම ගෙදරට එනවා.
“අපේ තාත්තව එදා හැඳින්වූයේ ඇමෙරිකන් ඇක්ටර් කියලා. ඒකට හේතුව තාත්තාගෙ රඟපෑමේ නිදහස් කලාවයි. අනික, අපේ තාත්තා චිත්‍රපට වලදී තාත්තගෙ පෞරුෂය පැත්තෙන් හිතපු කෙනෙක් දන්නවද අමල් .අපේ තාත්තාගෙ උප්පැන්නයෙ පුරවැසිභාවයට ඒ කාලෙ සඳහන් කරල තියෙන්න සිලනියස් කියල නෙවි. බ්‍රිටිෂ් කියලා. එංගලන්තෙදි වුණත් තාත්තාට බැංකු ගිණුමක් පවා අරින්න බ්‍රිටිෂ් නිසා පුළුවන්.
අපේ ආදරණීය සොඳුරුතම කතා නායකයා කටයුතු කළ බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි චිත්‍රපටය වෙනුවෙන් වැල්ලවත්තේ පිහිටි සුවිසල් නිවසක පී‍්‍රතිමත් සාදයකි. ශී‍්‍ර 296 චිත්‍රපටයේ රඟපෑ සුරූපිණියක්ද මේ අවස්ථාවට ඇරියුම් ලබා තිබිණි. ලද ඇරියුමකට අනුව එහි ගිය අපේ කතා නායකයාට සුරූපී ඕ තොමෝ ඇස ගැටෙන්නේ මෙතැනදීය. ඕ ඔහු නොහුඳුනයි. ඔහුද ඈ නොහඳුනයි. එහෙත් ඔහු සිත ඈ මත්තෙත්ම කතා කරයි. අපේ කතා නායකයා ඈ වෙතට ගියේය. “මං ඔයාට කැමැතියි” ඕ තොමෝ ආගන්තුක තරුණයාගේ හිත නොරිදවාම අකැමැති යැයි ද නොකියාම ප්‍රශ්නාර්ථයක් පමණක් තබා එතැනින් ඉවතට යන්නීය.
“ඉතින් අමල්, අපෙ තාත්තා අපේ අම්මා බලන්න ඒ ඇකඩමියට යන ගමනට තාත්තාට සහායට ඩැනි කෙනකුත් හමුබ වුණාය කියමුකෝ., ඒ තමයි ජෝ. අබේවික්‍රම, ජෝ මහත්තයා පසුව විවාහ වුණ බිරිඳත් ඒ කාලෙ ඒ නැටුම් පන්තියෙමයි.”
අපේ කතානායක පේ‍්‍රමණිය වසර හතක් ඇවෑමෙන් ඇය හා අතිනත ගත්තේය. ඒ ඔහුගේ ජීවන සහකාරිය වූ සුමිත්‍රා ෆොන්සේකා මහත්මියය.
“අපෙ අම්මා අපෙ තාත්තා එක්ක විවාහ වුණාට පස්සෙ චිත්‍රපට රඟපෑම අත්හැරියා. තාත්තා කාර්ය බහුලයි. අපෙ අම්මා තමයි දූ දරුවන් වන අපට මහා සෙවණක් ශක්තියක් වුණේ, එතුමිය සරල චාම් ගති පැවතුමින් යුතු කාන්තාවක්. අම්මා රඟපෑවේ එක චිත්‍රපටයක විතරයි. හොඳ පවුල් ජීවිතයක් වෙනුවෙන් එතුමිය තමන්ට කළ හැකි හැම කැපවීමක්ම පරිත්‍යාගයක් ම කළා.
ආදරණීය අපේ දමිත් පි‍්‍රයමනාපව සිනාසෙයි. “අපේ පවුලේ මගෙ ලොකුම අක්කා චමිලා. දෙවැනි අක්කා තනුජා. මම තමයි තුන්වැන්නා. මගෙ නංගි ඉෂාරා. “ඉතින් අපෙ තාත්තාට පසුකලෙකදි ඕන වුණා අපෙන් දුරස්වෙලා තනිවම ඉන්න. නිදහස්ව කාලය ගෙවන්න. තාත්තා නිර්මාණශීලි කෙනෙක්. දේශපාලනයත් තිබුණ. ගේය පද පද රචනයත් කළා. චිත්‍රපට කටයුතුත් එහෙමයි. නුවර පැත්තෙන් අපෙ තාත්තා විශාල වත්තක් ගත්තා. බලන්ඩ එපායැ අමල් ඒ වත්තෙ ලස්සන වත්ත. වටේටම දිය පොකුණු. ඒ වගේම විවිධ සත්තු. ගහකොළවලට තාත්තා පුදුම ආදරයක්. සොබාදහමට තිබුණු ආදරය නම් හරිම පුදුමයි. ගහක අත්තක් කපනවා දැක්කත් තාත්තාට තරහ යනවා. උදේ අවදි වෙලා නා ගන්නවා. ඉන් පස්සෙද වත්තට ගිහින් සතුන්ට ආහාර දෙනවා. කොටි පැටව්, ඇතින්නක් හිටියා. කූඹින්, කපුටන් පවා තාත්තාගෙ මේ ආහාර ටික දෙන පුරුද්දට හුරු වෙලයි උන්නෙ.
නිශ්ශබ්දතාවය ගොඩක් ම අගය කළා. තාත්තා විවේකයෙන් ගෙදර ඉන්න දාට තාත්තාම ගීතයක් ගයමින් පියානෝව වාදනය කරනවා. තාත්තා ගෙදර උන්නත් පිටත උන්නත් අපි අම්මා එක්කමයි. අම්මාට එකම වස්තුව වුණේ වටිනාම දේ වුණේ දරුවන් වන අපවමයි. යුග දිවියක සුන්දර බව වගේම කටුක බවකුත් තියෙනවානෙ. ඒ හැම විටකදීම අපෙ අම්මා උපරිමයෙන් කළ කැපවීම් පරිත්‍යාග නම් බොහොමයි.
දැන් මම මගේ සිනමා නිර්මාණකරණයකට අත ගහල තියෙනවා. එය චිත්‍රපටයක් “බෆලෝ ට්‍රැවලින්’ චිත්‍රපටයේ නම. එයට අතගහලා දැනට වස තුනක් පමණ වෙනවා. ඔය ජනපි‍්‍රය සිනමාවයි කලාත්මක සිනමාවයි කියා වර්ගීකරණය කළාට සිනමාව ඉදිරියට යන්නෙ ජනපි‍්‍රය සිනමාවෙන්. එය අපෙ තාත්තත් නිතර කියූ දෙයක් වගේම මගේද විශ්වාසය එයමයි. මේ මගේ චිත්‍රපටයේ මම සුළු චරිතයක් කරන්නේ. වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, රොනී ලීච්, බන්දු සමරසිංහ ආදින් මෙහි චරිත රූපණය කරන්නෙ. ඉතින් අද මේ සිනමාව කඩා වැටීමට හේතුවත් ජනපි‍්‍රය සිනමාව නැතිවීමයි. චිත්‍රපට කියා කියන්නෙ හොඳ හා නරක යනුවෙන් පමණයි. පේ‍්‍රක්ෂකයා හිත්නනේ. තාත්තා ඇදහූයේ මේ ටිකයි.
මගේ චිත්‍රපටයේ වැඩ අවසන්. මේ වසරේදී ප්‍රදර්ශනයටයි බලාපොරොත්තුව,
අපේ ආදරණීය දමිත් නිහඬව බලා සිටී. හදිසියේ අලුත් යමක් මතක් වූවාක් මෙන් අසුන් හරි බරි ගැසී මදෙස බැලුවේය.
‘අමල්, අපේ තාත්තා කියාදුන්න වැදගත්ම දෙයක්.
සමහරු චිත්‍රපටයක රඟපාන්න ආවාම මේක මට ලැබුණු සුළු චරිතයක්නෙ. පොඩි කෑල්ලක් නෙ කියලා මැසිවිලි නගන අයට වටිනා කතාවක් මේක. මොකද්ද දන්නවද, සුළු චරිතයක් වුවත් නිවැරැදිව මුහුණින් හැඟීම් පළකරමින් ඒ සුළු චරිතයට නිසියාකාරව සාධරණය ඉටුකරයි නම් එම සුළු චරිතය ප්‍රධාන චරිතය රඟපාන කෙනාට වඩා ඉස්මතු ව එනවා. මේ කතාව අපෙ තාත්තා මට නිතර කියාදුන් දෙයක්. ඒ කතාව හරියට ම හරි. ඒ බව අපෙ තාත්තා සන්දේශය චිත්‍රපටයෙන් ම ඔප්පු කර පෙන්නුවානෙ.
මමත් ඒ තාත්තා කියු කාරණය තදින් හිතට ගත්තා. මින් ඉදිරියට මමත් ප්‍රධාන චරිත නොව සුළු චරිත කෙරෙහි සැලකිලිමත් වෙනවා. හෙතෙම තිර හඬකින් කියන්නේය.
පරසතු මල් හි බොනී මහත්තයා, සරුංගලේ හි නඩරාජා යුගාන්තයේ සවිමන් කබලාන, ගම්පෙරළියේ ජිනදාස මා මතක තිරයේ දිස්වෙයි. ඔහුගේ ගම්භීර හඬ සවනත මැකෙන්නාසේ ය. දසන් නොදක්වා දෙතොල් තෙරපා විහිදුවන ආඩම්බරකාර සිනහව මට මැවී පෙනෙන්නාසේ ය.
‘ඔව් අමල්....අපේ තාත්තා ජාඇල ගෙදර තනිවම උන්නා. මං කලිනුත් කිව්වේ තාත්තාට තනි වී ඉන්න ඕනෑකම තිබුණ කියලා. තාත්තගෙ උදව්වට උන්නෙ ජයලත්. ඒ ගෙදරත් මිදුලත් හරිම ලස්සනට තාත්තා තියාගෙන උන්නෙ තාත්තාගෙ නිදන ඇඳ විශාලයි. ඒ කාමරයත් හරිම පිළිවෙළයි. බෙඩ් ෂීට් එකේ රැල්ලක් තියෙනවාට පවා කැමතිම නැහැ.
අපි ඒ දවසත් කතා කරමුකො. එදත් අපෙ තාත්තා පුරුදු විදිහට උදෙන්ම නාලා ඊට කලින් ඇන්දෙ නැති අලුත්ම සරමක් ඇඳලා තියෙනවා. හැමදාම උදෙන් රැවුල කපන අපේ තාත්තා එදා රැවුල කපලත් නැහැ. උඩ තට්ටුවෙ ඉඳන් පහළට ආවා. උදේට ආහාරත් අරන් තාත්තා ආදරය කරන සත්තුන්ට පුරුදු විදිහට තාත්තාගෙ අතින්ම එදත් කෑම දීලා. පත්තර බලන්න හැදුවත් එදා පත්තර පරක්කු වෙලා. ආපහු උඩට ගිහින්. තාත්තාගෙ ඇඳේ තාත්ත ඇලවෙලා තියෙනවා. එදා උදේ 10.30ට විතර අපේ තාත්තා ඇඳේ ඇලවෙලා තියෙන්නෙ. පැයක විතර නිදාගෙන ඒත් තාත්තා දහවල් කෑමට අවදි වී තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් තාත්තා නිදා ඉන්නකොට අපි කවුරුවත් කතා කරන්න යන්නෙ නම් නැහැ. කේන්ති යනවා. බනිනවා. ඒත් අපෙ තාත්ත අවදි නොවන නිසා සහායක ජයලත් ගිහින් තාත්තාට කතා කරල තියෙනවා. ඒත් තාත්තා නිහඬ නිස ජයලත් මට කතා කරල කිව්ව ගාමිණී මහත්තයා කතා කරන්නෙ නැහැනෙ කියලා.
තාත්තාට හාර්ට් මසාජ් දෙන්න කියල මං ජයලත්ට කියලා ජයන්ත ධර්මදාස මහත්තයට දැනුම් දුන්නා.” ගාමිණි පුතු දමිත්ගෙ හඬ බිඳුණු ස්වරයෙන් ඇසේ.
ගිලන්රිය, ජාඇළ නිවසට සේන්දු වන විට එහි අපේ ආදරණීය කතා නායකයා පවුලේ අය මෙන් ම ඔහුගේ සමීපතම හිතවතා විමල් කරුණාරත්න ඇතුළු දේශපාලකයින් කිහිප දෙනකු ද එහි පැමිණ සිටියහ. සහායක ජයලත් කාමරයට ගොස් අවදි කරවන්නට පෙරදීම අපේ විශිෂ්ට ආදරණීය කතා නායකයා යළි අවදි නොවනා දිගු නින්දකට වැටී සිටියේය.
මං හිතන්නෙ අපෙ තාත්තා සැනසිල්ලෙන් නික්ම ගියා කියලයි. “පුතු දමිත් දෑස නැඟි කඳුළක් මට රහසේ සඟවන්නේ යැයි සිතිණි. ඔහු සුසුමකින් ළය සැහැල්ලු කරගත්තා විය යුතුය.
අපේ හෙළ සිනමා වංශ කතාව නවමු ආරකට ගෙන එමින් නවමු මඟකට අවතීර්ණය කරවමින් එතුවක් ගැහැටට ද පත්ව සිටි නළු නිළියන්ගේ සුබ සාධනය කිසියම් පමණකට ඉහළට ඔසවා තබන්නට සමත්වූ විශිෂ්ට රූපණවේදියකු ලෙසින් ගෞරව බහුමානයට පාත්‍රවූ අපේ ගාමිණී ෆොන්සේකා නම් ප්‍රතාපවත් මිනිසා තවමත් සුව නින්දකට වැටුණු ඒ යහන මත ම ය. මරණ සහතිකයද ලියා දී අවසන් ය. ඔහුගේ ආදරණීය සෙවණැල්ල සුමිත්‍රා මහත්මිය පි‍්‍රය හිමිගේ නික්මන වචනයකුදු නොදොඩා හදවතින් උහුලා සිටින්නීය.
“තාත්තාගෙ ඇඳ කොනක අපෙ අම්මා වාඩි වුණා. අම්මා දරාගෙන හුන් හැටි මට තවමත් මැවී පේනවා වගේ. තාත්තාගෙ දේහය එක්කම කාමරයේ අම්මාට තනිවෙන්නට ඉඩ දීලා අපි හැමෝම එළියට වුණා. ඒ දේහය එක්ක ඉන්න අපි අම්මාට නිදහස දුන්නා. අම්මයි තාත්තයි විතරයි ඒ කාමරේ උන්නෙ.
මේ සෝබර පුවතින් ඇලළී දිව පැමිණි රසික දනන් පාලනය කිරීමට මහත් වෙහෙසක් දැරීමට ද සිදුවිය. ඒ 2004 වසරේ සැප්තැම්බර් 30 වනදාය. “ඕනෑවට වඩා ඕනම දෙයක් දරා ගන්නවයි කියන දේ ජීවිතයට දරන්න අමාරුයි. එය අපි තාත්තගෙන් තේරුම් ගත්තා. තාත්තා හැමවිටම තනිවී ඉන්නෙ ගත් තීරණ නිසා අපට දුක පාලනය කරගන්න පහසු වුණා. ඒ වන විට එතුවක් තාත්තා කරගෙන ආපු හැම කාර්ය භාරයක්ම තාත්තා කල්තියාම ඒ ඒ අයට ඒ වගකීම් පවරල තිබුණා. රාජ්‍ය ගෞරව සහිතව තාත්තාගෙ අවසන් කටයුතු සිදු කෙරුණා.”
ඡායාරූප - දයාන් විතාරණ - පාලිත ශ්‍රී ලාල් ආටිගල