වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
මා හා ඒ හද නතු වුණේ ඈත සංසාරේ පෙර දා

ආදරයේ මන්දිරේ
ඇරුණා වාගේ ...
ගීතේ ඇසේ යොවුන් මල්
බඹර කලාපේ.....//
ගැවසෙන්නේ ...දෙනෙත ළඟ
පුර සඳ දෝ
සුවඳ හුරු බව තෙරේ
දෛවය ද මේ අපේ
මා හා ඒ හද නතු වුණේ
ඈත සංසාරේ පෙර දා....
සංසාරේ පෙර දා
හිනැහෙන්නේ අසල හිඳ
ඉරණම දෝ ....
දෙනෙත කිම විමසන්නේ...
දෛවයයි මේ අපේ...
මා හා ඒ හද නතු වුණේ
ඈත සංසාරේ පෙර දා
සංසාරේ පෙර දා
ගී පද - සෝමපාල ලීලානන්ද
ගී නද - සරත් දසනායක
ගී හඩ - චන්ද්‍ර ලේඛා පෙරේරා / වික්ටර් රත්නායක
චිත්‍රපටය - යළි හමුවන්නයි
තවත් ආදරණීය කතාවක් හෙළ සිනමාවට දායාද කරමින් 623 වන චිත්‍රපටය ලෙස සේන සමරසිංහයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද, යළි හමුවෙන්නයි චිත්‍රපටය 1986-02-07 දින තිරගත විය.
ගාමිණි ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, හරිස් ජයරත්න, සබීතා පෙරේරා, ප්‍රධාන චරිත නිරූපනයෙන් දායක වූ මෙහි හියුගෝ ප්‍රනාන්දු, දමිත් ප්‍රනාන්දු (ළමා), ශිරාණි නුගේරා, ශාන්ති ලේඛා, විමල් කුමාර් ද කොස්තා, රිචාඩ් වීරක්කොඩි, නන්ද ජයමාන්න, ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර, සිසිර කුමාරතුංග, ඊ. ඒ. වීරසිංහ, මිල්ටන් මල්ලවආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරාසෙසු චරිත සදහා රංගනයෙන් දායක වූහ.
අකාරුණික, දුෂ්ට ප්‍රයෝගයක් හේතුවෙන් වෙන්වන්නට සිදුවන පෙම්වතුන් යුවළකගේ යළි හමුවීමක් මෙහි කතා තේමාව වී තිබේ. ඉතාම ජනප්‍රිය හින්දි සිනමා පටයක් වූ, 1973 බොලිවුඩයේ තිරගත කරපු “ආ ගලේ ලග්ජා (Aa Gale Lag Jaa)” චිත්‍රපටය ඇසුරින් මෙය නිර්මාණය කෙරුණි. මේ චිත්‍රපටය කොතරම් ජනප්‍රිය වී ද යත්, එය දමිළ සහ තෙළිගු සිනමාවටත් එක් විය. ඒ අනුව ජනප්‍රිය සිනමා අධ්යක්ෂ, සේන සමරසිංහයන් විසින් සිංහල සිනමාවට මෙය දායාද කළ අතර, වාණිජ සිනමා පටයක් ලෙස මෙය ඉතා සාර්ථකව ප්‍රදර්ශනය විය.
මෙය, ප්‍රේමය, ප්‍රේමයම බැව් පසක් කරමින්, කෙතරම් බාධක පැමිණිය ද කෙදිනක කෙලෙසින් හෝ සැබෑ ප්‍රේමය ජයගන්නා බැව් ලොවටම පෙන් වූ ආදරණීය පෙම්වතුන්ගේ ආදරණීය කතාවයි.
චිත්‍රපටයේ ගාමිණි හා ශ්‍රියාණි එක් පෙම් යුවළක් ලෙසත්, හරිස් හා සබීතා තවත් පෙම් යුවළක් ලෙසත් රංගනයේ යෙදෙන අතර, මොවුන් දෙගොල්ලගේම පෙම් කතාව අතර මග නතර කරන්නට සිදු වන්නේ ඔවුනගේ ප්‍රේමයට කුරිරුකම් කරන අය හේතුවෙනි. එය එසේ වුව ද, නැවතත් ඔවුන්ගේ එම ප්‍රේමය සියලු බාධක විඳදරා ජයගෙන අවසානය සියලු දෙනා සතුට ට පත් කරමින් සුඛාන්තයකින් කතාව නිමා වේ.
මෙහි ගීත 07 ක් ඇතුළත් වූ අතර, ආදරයේ මන්දිරේ.. ගීතය ආදරයේ ප්රහර්ශය විඳීමින් සතුටුවන මොහොතක ගැයෙන අතර එම ආදරය අහිමි වූ මොහොතේ එහි වේදනාව විඳගනිමින් දුක්වන විටක ද ගායනා කෙරේ.
ආදරයේ මන්දිරේ අරුණා වාගේ ...ගීතය, ඒ ආදරය සතුටින් විඳී මොහොතක දැනුණු හැඟීමයි.
ආදරයට, ආදරය හිමි වූ සඳ ජීවිතයම වසන්තයකි. මේ ලොව අන් කිසිවක් එවන් ප්‍රේමයක් හා සම නොවේ. නොදන්නා දෙසිතක් හැඳීනගෙන, ප්‍රේමයෙන් එක්විම තරම් සොඳුරුතම හැඟීමක්, සුවයක් තවත් ලොව තිබේ ද? වරක ප්‍රේමය තරම් හද මවිත කරන වෙනත් සිතිවිල්ලක් නොවේ.
ඔබ අද මට හිමි වුවද, ඔය නෙතු බැල්ම, ඔය සුවඳ සංසාරික පුරුද්දක් ලෙසින් දැනේ. අද පමණක් නොවේ...ඔබ මෙයට පෙරත් මේ සංසාරේ මා හා පැමිණි බව මම දනිමි. මෙය අහඹුවක් නොව අපේ සංසාරික බැඳීමේ තවත් එක් හමුවීමක් පමණි.
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන් හා චන්ද්‍ර ලේඛා පෙරේරාගේ මියුරු හඩින් හැඩ වුණු මෙම ගීතය ආත්මිය ප්‍රේම කතාවක සොඳුරු බව වඩාත් දැනෙන ලෙස රසික සහෘද හදවත් ස්පර්ශ කරයි. එසේම සරත් දසනායකයන්ගේ මධුර තනුව ගීතයේ අර්ථය වඩාත් රසගන්වා තිබේ.
1987 සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායිකාවට හිමි සම්මානය චන්ද්‍රලේඛා පෙරේරාට හිමිවූයේ මේ ගීතය ගැයීම උදෙසාය.
අචලා මුතුතන්ත්රි