වසත් සඳ බැස විසිතුන් වසරකි

දෙසැම්බර් 7, 2023

 

සොබා දම් සතර සෘතුවෙහි ම සඳ පොලෝ තල සිඹියි. ඉන් වසත් ස‍‍‍‍ඳ සොමිගුණය, උද්දීප්තිය කවීහු වෙසෙස් කොට දකිති. ඒ වසන්තයේ පෑයූ සඳ රැස්පරිසරයේ මනරම් බව දෙගුණ තෙගුණ කරවන බැවිනි. සඳ පෑයීම සේම බැස යාම ද ලෝ දහමයි. හෙළ ගී කෙතට මුදුන් ව, ගී කෙත අස්වැද්දූ වසත් සඳ බැස ගොස් පසුගිය 24 වැනිදාට විසිතුන් වසකි. ඒ වසන්තා සන්දනායක යි. මේ ලිපිය ඈ යුග මෙහෙවර හා ගී පෙළහර පිළිබඳ මතකාවර්ජනයකි.

සිරි සමනොල කඳු මුදුනින් හිරු නැ‍‍‍‍ගෙද්දී වසර 1917 ඉල්මහ පසළොස් වැනිදින උතුවන්කන්ද කඳු මුදුනින් නැඟි සඳ එදා මා පියන්ගෙන් නම් ලබන්නී මුදුන්කොටුව මුණසිංහ ආරච්චිගේ ලීලා මුණසිංහ ලෙස ය.

ලීලා ගේ පියා එම්.එම්.ඒ. පෙරේරා වෘත්තියෙන් පොලිස් සැරයන් වරයෙකි. එකල අද මෙන් නොව පොලිස් රාජකාරියට බැඳීමට ආගම, ජාතිය, කුල-මල, පරපුර මෙකී නොකී දහසක් ප්‍රමිතීන් සපුරාලිය යුතුය. එම්. එම්. ඒ. පෙරේරා පොලිස් නිලයකු පමණක් නොව එකල ටීටර්, නාඩගම් ආදියෙහි ගැයුමට සහ රංගනයට දස්කම් පෑ ප්‍රාමාණික කලාකරුවකු ද විය. එබඳු කලාකාමී පවුලක උපන් ලීලාට සංගීතයට අත්පොත් තබන්නේ ද එ පියාණන්ම ය. ලීලා ගේ මව බලපිටියේ නැනී නෝනා ය. ඒ අනුහසින් කන්ද උඩරට වීරත්වයත් දකුණු ලක ශූරත්වයත් සංකලනය ව ලීලා ට ජානගත, ශක්තිමත්, මධුර, සුපිරිසිදු ස්වරයක් උරුම වේ.

සිය පියාණන් පොලිස් සේවා ස්වභාවය පරිදි නොයෙක් ස්ථාන වලට මාරුවීම් ලබා යද්දී යටියන්තොට, ඌරපොල, කරවනැල්ල සහ කෑගලු බාලිකාව ආදී විවිධ පාසල් වලින් මූලික අධ්‍යාපනය සපිරූ ඈ, පසුව කොළඹට පැමිණ පියාගේ හිත මිත්‍ර පොලිස් සැරයන් වරයකුගේ නිවසේ නවාතැන් ගෙන කොල්ලුපිටියේ ජිනරතන මිශ්‍ර පාසලට ඇතුළත්ව ඉංග්‍රීසි බස ඇතුළුව සිංහල ප්‍රාරම්භය සමත් විය.

මෙකල ලීලාගේ පවුලේ වැඩිමහල් සොහොවුරු වූ මුදුන්කොටුව මුණසිංහ ආරච්චිගේ ධර්මදාස යුග දිවියට පිවිසෙන්නේ එම යුගයේ කීර්තිමත් ටවර් හෝල් නිළියක් වූ විමලා කාන්තා සමඟ ය. ධර්මදාස, විමලා කාන්තා දෙපළගේ දරුවන් ද පසුව කලා ලොවේ මහා පෞරුෂ බවට පත්විය. ඒ සුජාතා අත්තනායක, රංජනී පෙරේරා, සුසිල් පෙරේරා, ධර්මසිරි පෙරේරා, ෆ්ලෝරි දේවි ආදීහුය. ලීලාවන්ට ද කලා ලොවට පිවිසීමට අත හිත ලැබෙන්නේ විමලා කාන්තාවන්ගෙනි.

ඒ අනුව මඳීන් මඳ ඈ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙද්දී එකල කොළොම්බියා තැටි සමාගමේ නිත්‍ය ගේය පද රචක යූ. ඩී. පෙරේරා මාස්ටර් හමු වේ. එය ලීලා ගේ දිවියේ පරිවර්තනීය සන්ධිස්ථානයක් බවට පත් වන්නේ ඇගේ ගායන ලීලාව එකල භාරතයේ ගී සිළුව වූ ෂම්ෂාද් බෙගම් ගේ මධුර ස්වරයට නිච්චියටම සමපාත බව යූ.ඩී. පෙරේරා මාස්ටර් විසින් හඳුනා ගැනීමත් සමඟ ය.“හෙළ කලා ලොවෙහි ජය කෙහෙලි නංවන්නට තරම් ප්‍රබල සහජ ගායන කුසලතාවක් ඔබට හිමියි, ඒ සඳහා ආකර්ෂණීය නමක් ඉතා වැදගත්, ඔබ අද පටන් ලීලා නොව වසන්තා” යන්න යූ.ඩී. මාස්ටර් ගේ ආදරණීය යෝජනාව විය. දැන් ගායිකාව ලීලා මුණසිංහ නොව වසන්තා මුණසිංහ ය. මේ අතර යූ.ඩී. මාස්ටර් ගේ මඟ පෙන්වීමෙන් ඇයට එකල ප්‍රවීණ සංගීතඥ මොහොමඩ් ගවුස් හා එච්. ඩබ්. රූපසිංහ මාස්ටර් ගේ ගුරුහරුකම් ලබන්නට ද වාසනාව පෑදුණි. ගවුස් මාස්ටර් ගෙන් සර්පිනා වාදනය උගත් ඇය සර්පිනා වාදනයෙහි ද දක්ෂතා දැක්වීය.

ග්‍රැමෆෝන් තැටි සඳහා ගී ගැයීමට වරම් ලැබීම පිණිස එවක සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් වූ එච්. ඩබ්. රූපසිංහ මාස්ටර්, ජේ. සාදිරිස් සිල්වා මාස්ටර් සහ එඩී මාස්ටර් ආදීහු සම්මුඛයේ පැවති ප්‍රායෝගික පරීක්ෂණයකින් ඈ විශිෂ්ට ලෙස සමත් වූවාය.

දිනක් ඈ නැවතී සිටි වැඩිමහල් සොයුරු ධර්මදාසයන් ගේ නිවහනට ඔහුගේ පොලිස් මිතුරකු පැමිණියේ ලු. මිතුරා කළුතර, එතනමඬල, දොන් ධර්මපාල සන්දනායක නම් විය. අයියා ගේ ඉල්ලීම පිට ඈ ඔහුට ගීයක් ගයා පෙන්වී ලු. එම ගී නදින් මන මෝහනයට පත් ධර්මපාල පසුදින ම වසන්තා බලන්නට පැමිණෙන්නේ ඇයට තෑගි ලෙස මැන්ඩලීනයක් ද රැගෙන ය. නොබෝ දිනකින් ප්‍රේම සම්බන්ධයකට පෙරළුනු මේ බැඳීම මල් පල දරනුයේ වර්ෂ 1937 ඉල්මහ 10 වැනිදින දෙදෙනා යුග දිවියට එළඹීමෙනි. උප්පැන්නයේ ලීලා මුණසිංහ ටික කලකින් වසන්තාමුණසිංහ විය.විවාහයෙන් පසු දැන් ඈ වසන්තා සන්දනායක ය.

වසන්තා සන්දනායක ට කලා ලොව කඩතිර විවර වන්නේ 1942 දී ඕඩියන් ලේබලය යටතේ තැටියට නැඟුණු “රුදු ගතියෙනි ප්‍රාණේ නසන්නේ- ඇයි කරුණා මෛත්‍රී නැති සේ” නම් ඇගේ කුලුඳුල් ග්‍රැමෆෝන් ගීයෙනි. එය යූ.ඩී. පෙරේරා මාස්ටර් ගේ පද රචනයකි.

එකල ග්‍රැමෆෝන් ගී තැටි සමාගම් ලේබල කිහිපයකි. ඔවුහු කොළොම්බියා, ඕඩියන්, පාර්ලෆෝන්, ඩ්ඪඵ ර්චඵබඥපඵ ඍධඪජඥ (ඩ්ර්ඍ) ආදී විවිධ නම් වලින් පෙනී සිටි අතර, ඇගේ සමකාලීන ගායිකාවන් වූ කෝකිල දේවී, පී. මදුරාවතී, චිත්‍රලේඛා, ලීලාවතී ආදීහු මෙම සමාගම් විසින් සින්නක්කරයට ගිවිසුම් ගත කරගෙන සිටියහ. එහෙත් වසන්තා සන්දනායක ගායන ශිල්පිනියට පමණක් මෙම තැටි සමාගම් සියල්ලටම ගී ගැයීමේ වාසනාව හිමි විය. එසේ වුව ද වෙනත් ගායිකාවන් අතර ඇය විශේෂිත වන්නේ තම සංගීත දිවිය තුළ එකදු ප්‍රේම ගීයක්වත් නො ගැයූ ගායිකාව ලෙස ය.

ඇය ගැයූ බොහෝ ගීත හින්දි චිත්‍රපට වලට ෂම්ෂාද් බෙගම් භාරත ගී රැජින ගයන ලද ගීත හා ලතා මංගේෂ්කර් ගේ මුල් යුගයේ ගී වලට මෙහි නිර්මාණය වූ සිංහල අනුකාරක ගීතයි. මේ නිසාම 50 දශකයේ ඇය හැඳීන්වූයේ ලංකාවේ ෂම්ෂාද් බෙගම් යනුවෙනි. එම ගීත අතර

කල්‍යාණි ගංගා රාජිනී -

කලන සම්ජා ප්‍යාරි කා-

ෂම්ෂාද් බෙගම් - 1952

දොල ළඟ ගුරු පාර දිගේ -

ජබ තක සංසාර රහේ හෝජී -

ෂම්ෂාද් බෙගම්-1952

මහවැලි නදියේ - දූර් කොයි ගායේ -

ෂම්ෂාද් බෙගම්-1952

නොකියාම එදා ඇසල මහේ -

දුනියාමෙ හම් ආයේං හෛ

- ලතා මංගේෂ්කර් - 1957

මීට අමතර ව

සුර ලලනාවියේ - ඔරු මුරයි තාන් වරුම්

(දෙමළ)- ජික්කි

යන ගීත එදත් අදත් එකලෙස ජනප්‍රියත්වයේ පවතී.

ගී පද නිර්මාණයෙන් එදා ඇයට යූ.ඩී. පෙරේරා, සරත් විමලවීර, මර්වින් සේනාරත්න, විමල් අභයසුන්දර, ඇලෝයි ගුණවර්ධන දුන් අග්‍රගණ්‍ය පදමාලාවන් ද, මුල් යුගයේ ඈ වටා සිටි ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරුන් වන එච්. ඩබ්. රූපසිංහ මාස්ටර්, යූ.ඩී. පෙරේරා, එම්.කේ. වින්සන්ට්, නඩරාජා ආදීහු සැපයූ මියුරු සංගීතයට විවිධ තැටි සමාගම් වලට තැටි ගී ගැයීමෙන් ද වසන්තා සන්දනායක ප්‍රතිරූපය ග්‍රැමෆෝන්යුගයේ දේශීය ගීයේ සන්නාමයක් බවට පත් කරගනී.

පසුකාලීන ව ආර්. මුත්තුසාමි, එම්.කේ. රොක්සාමි, ඒ.ජේ. කරීම්, ඩී.ඩී. ඩැනී හා සාර්ඩීන් වැනි ප්‍රවීණයන් ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ද, සරස්වතී ලේබලයෙන් මොහොමඩ් සාලි ගේ සංගීතයට ද, ජෙම්ටෝන් ලේබලයෙන් සරත් බාලසූරිය ගේ සංගීතයට ද ඈ තැටි ගී රැසක් ගැයුවා ය.

වර්ෂ 1942 දී බොරැල්ලේ කොටා පාරේ කුඩා මැදිරියක පවත්වාගෙනගිය ලංකා ගුවන් විදුලියේ දී “වන්දේ ලෝනාගෙ ශ්‍රී පා” ගීතය ගයමින් ඇය ගුවන් විදුලි ගායන ශිල්පිනියක් බවට පත්විය. එම වර්ෂයේ ම ටවර් රඟහලට රංගන හා ගායන ශිල්පිනියක ලෙස එක්වන ඇය පියාගේ පොරොන්දුව, බලගතු කාසිය, මරුහඬ ආදී ටවර් නාට්‍යවල රඟමින්, ගයමින් ඉමහත් රසික ප්‍රසාදයක් අත්කර ගත්තා ය.

ප්‍රවීණ භාරතීය සංගීතඥ පණ්ඩිත් රතන් ජංකර්ගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1952 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් පවත්වන ලද ශ්‍රී ලාංකේය ගායන ශිල්පීන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයේ දී “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙස ඇය ශ්‍රේණිගත විය.

විවාහයෙන් පසු ධර්මපාල සන්දනායකයින් ගේ ජීවිතයට වසන්තය උදාවූවා සේම සරත්, සිසිර, හේමන්තාදී දරුවන්ගෙන් අනෙකුත් සෘතූන් ද උදාවූ අතර, ශ්‍රීමතී, සුජාතා, ගාමිණී නම් ලැබ තවත්දරු තිදෙනෙක් ද ඇතුළුව සන්දනායක කලා පරපුර නියෝජනයට දරුවන් සය දෙනෙකු දායාද කළහ. වසන්තා සන්දනායක මෑණියන්ගේ අනන්‍ය ගායන ලීලාව හා මධුර ස්වර චලන ලෙයින් ම උරුම වූ ඔවුහු අතර සරත් සන්දනායක සහ දයා හේමන්තා සන්දනායක (විවාහයෙන් පසු අබේසේකර) හෙළ ගී අඹරෙහි උදුල තරුකැට බවට පත්ව අද ද ජනාදරය විඳීමින් සුවසේ පසුවෙති. ඔවුහු සරල ගීයෙන් මෙන්ම චිත්‍රපට පසුබිම් ගායනයෙන් ද රසික හදවත් අමන්දානන්දයට පත්කළ “මඳ සීත නලරැල්ල දැඟලිල්ල පා” නම් අමරණීය පෙම් ගීයේ මුල් ගායක යුවළ ද වේ.

වසන්තා තම දෙටු පුත් සරත් සන්දනායක, ධර්මදාස වල්පොල, හෙන්රි ෆොන්සේකා, තිලකසිරි ප්‍රනාන්දු ආදීහු සමඟ යුග ගී ගැයූ අතර එච්.ආර්. ජෝතිපාල ප්‍රථම වරට ගායන ලොවට හඳුන්වා දෙන්නේ ඇගේ “මහවැලි නදියේ අසබඩ සැදි ඒ” ගීයේ “තොටියෝ” යන කොටස ගැයීමට අවස්ථාව ලබාදීමෙන් බව ඇය නිරන්තර සිහි ගැන්වූයේ උතුරා යන සතුටිනි.

ශ්‍රී ලංකාවේ විශාලතම කලා පවුල් ගසෙහි මුල් පුරුකක් වූ වසන්තා සන්දනායක තම දරු සය දෙනාට අමතර ව මුනුපුරු මිනිපිරියන් හා මී මුනුපුරන් 23 දෙනෙකුගෙන් යුක්තව මෙ මහා වෘක්ෂය ශාඛා අතු ඉති දළු ලා වැඩෙන්නට හරිමින් හෙළ කලාකෙත සුපෝෂිත කොට ඇත. ඔවුනතර එළිමහන් වේදිකාවේ සහ ප්‍රේක්ෂාගාරයේ රසික හදවත් අමන්දානන්දයෙන් පුරවන සුප්‍රියා අබේසේකර හා සධානා රණතුංග වසන්තාගේ දියණී ගායන ශිල්පිනී දයා හේමන්තා සහ චිත්‍රපට අධ්‍යක්ෂ මෙන්ම රංගධර ශාන්ති අබේසේකර දෙපළ ගේ දයාබර දියණිවරුන් ය. එපමණක් නොව ඈ පිළිබඳ මෙම ගුණානුස්මරණ සටහන තබන මා ද එම පවුල් ගසෙහි කිනිත්තක් වීම පිළිබඳ සියුම් ආත්මාභිමානයක් ඇත.

ඉල් මහේ ඉපිද, ඉල් මහේ ම විවා පත් ව, වර්ෂ 2000 ඉල් මහේ 24 දින දැයෙන් සමුගත් වසන්තා සන්දනායක හෙළ ගායන පෞරුෂය වසර 83 ක් පුරා සංගීත ක්ෂේත්‍රයට කළා වූ අමිල මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා රජය විසින් කලාශූරී සහ කලාභූෂණ සම්මාන පිරිනමා ඇත.දැයක් නැළ වූ ජාතික කලාකරුවකුට සතුටින් හා නිරෝගී ව විසුමට, රැකුමට සම්මාන පමණක් ප්‍රමාණවත් ද?

“මගේ ජීවිතේට මොන තරම් දුක් කරදර ආව ද? ඒත්.. එදත් අදත් ගීතයත් කලාවත් නිසා මං ඒව තුනී කරගත්ත. ඉවසන්න මට පුළුවන් වුණා. සංගීතෙ කියන්නෙ මහ පුදුම දෙයක්”

ජීවිතයේ අවසන් භාගයේ පත්‍ර කලාවේදී මර්වින් දෙනගම මහතා සමඟ කළ පුවත්පත් සාකච්ඡාවකට පිළිතුරු දෙමින් ඈ එසේ පැවසූ බව “ශ්‍රියාවී” පුවත්පත 1998 සැප්. 07 දින වාර්තා කර තිබිණි.

 

සංගීත විශාරද, ශාස්ත්‍රපති

(ගායන හා වාද්‍ය ශිල්පි,

ලේඛක හා ප්‍රවීණ දේශක)

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුරු අධ්‍යාපන)/ අධ්‍යක්ෂ (සෞන්දර්ය අධ්‍යාපන)- විශ්‍රාමික

 

[email protected]