රංගනය පිළිබඳ මා උගත් දේ උපරිමයෙන් දෙන්න බැරි වුණා

ප්‍රවීණ රංගවේදී ඩග්ලස් රණසිංහ
දෙසැම්බර් 7, 2023

හෙළ සිනමාවේ රෝමියෝ - ඩග්ලස් රණසිංහ කෘතිය පසුගිය දා ජනගත වූයේය. සරත්චන්ද්‍ර මුතුබණ්ඩා විසින් රචිත මෙම ග්‍රන්ථය ප්‍රවීණ රංගනවේදී ඩග්ලස් රණසිංහයන්ගේ රංගන දිවිය සේම, පෞද්ගලික දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයන් විවරණය කරන්නක් විය.

මෙරට කලා මාධ්‍යයේ, වේදිකාව, සිනමාව හා රූපවාහිනිය යන ත්‍රිවිධ මාධ්‍යයන්හි සිය රංගන භාවිතය මැනවින් විශ ද කළ රංගන ශිල්පියෙකු ලෙසින් ඩග්ලස් රණසිංහයන් මෙරට පේ‍්‍රක්ෂකාගාරය තුළ ගෞරව බහුමානයට ලක් වන්නෙකි. ඔහුගේ යුගයේ බොහෝ කලාකරුවන්ට නොලැබෙන, රංගනය පිළිබඳ වූ ආයතනගත දැනුම හා පුහුණුව ලැබීමට තරම් භාග්‍යවන්තයකු වූ ඔහු සිය කලා දිවිය ආරම්භ කරනුයේද වේදිකාවෙනි. එහෙත් පසු කලක ඔහුගේ අනන්‍යතාවය වඩ වඩාත් තහවුරු වූයේ මෙරට සිනමා ක්ෂේත්‍රය තුළය.

ඩග්ලස් රණසිංහයන් ජන්ම ලාභය ලබනුයේ කුරුණෑගල තෝරවතුර ප්‍රදේශයේය. ඔහුගේ පියා එවකට ගම්සභාපතිවරයකු වූ ඉඩම් හිමි වැවිලිකරු ජේම්ස් රණසිංහය. මව සීලාවතී රණසිංහය. පවුලේ සිව්වැන්න ලෙසින් මෙලොව එළිය දකින ඔහු කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. පාසල් යන සමයේ ක්‍රීඩාව සඳහා දැඩි ළෙන්ගතුකමක් පෑ ඔහු ජවන හා පිටිය මලල ක්‍රීඩා කණ්ඩායම් නිත්‍ය සාමාජිකයෙකු ලෙසින් සේම බොක්සිං ශූරයකු ලෙසින් ද කටයුතු කළේය.

ඩග්ලස් සිය ශිෂ්‍ය අවධියේම සාහිත්‍ය කටයුතු සඳහා ද උනන්දු වූවෙකි. පාසල් වේදිකාව තුළ ද ඔහු සිය හැකියාවන්, දක්ෂතාවයන් පෙන්නුම් කළෙකි. එහෙත් ඔහුගේ අභිප්‍රාය වූයේ නීතිඥයකු වීීමටය. මේ නිසාම ඔහු නීති විභාගය සමත් වී නීති විද්‍යාලයට ඇතුළත් වීමට කොළොම්පුරයට පැමිණෙන්නේය. මේ ගමන සිය ජීවිතයේ දෛවය තීරණය කිරීමට සමත් වන්නක් බව එදා ඔහු ද දැන සිටින්නට නැත. එහෙත් ඒ ගමන මෙරට කලා ක්ෂේත්‍රයට ප්‍රතිභාපූර්ණ නළුවෙකු හිමිකර දීමේ සුවිශේෂී අවස්ථාවක් වූයේය.

පොලිස් දෙපාර්තමේන්තු විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල වේලාසන දැන ගැනීමට අවශ්‍ය වූ ඩග්ලස් එදා කුරුණෑගල, තෝරවතුර ග්‍රාමයේ සිට කොළඹට පැමිණෙන්නේ එවකට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් හමුවීමේ බලාපොරොත්තුවෙනි. ඒ ඔහුගේ සහෝදරයා එවකට ආරක්ෂක අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ බැවිනි. සතිස්චන්ද්‍ර එදිරිසිංහන් ගේ උපකාරයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ සිටින ඔහුගේ සහෝදරයාගේ මාර්ගයෙන් නීති ප්‍රවේශයේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල දැන ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. අභිප්‍රාය සඵල වූවා සේම, සතිස්චන්ද්‍රයන් මේ මොහොතේ ඩග්ලස් ගෙන් උදව්වක් ද බලාපොරොත්තු විණ.

සතිස්චන්ද්‍රයන් ඒ වන විටත් නාට්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රචලිතව සිටි බැවින් ඔහු හමුවීමට පැමිණි ඩග්ලස් තරුණයාගේ ඉරියව් ඔහු සුපරීක්ෂාකාරීව විමසමින් සිටියේය. තමන්ට ඒ වනවිට ආරාධනා කර තිබූ නාට්‍යයක චරිතයක් සඳහා මේ තරුණයා සුදුසු යැයි ඔහුට සිතුණි. ඔහු ඒ සඳහා ඩග්ලස් යොමු කළේය.

ඒ නාට්‍යය වූයේ ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්ගේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍යයයි. ඩග්ලස් ද සතිස්චන්ද්‍ර ගේ උපදෙස් පරිදි නාට්‍ය පිටපත ද රැගෙන ගොස් හෙන්රි ජයසෛ්නයන් මුණ ගැසෙන්නේය. හෙන්රි ජයසේනයන්ගේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වන ඩග්ලස් හුණුවටයේ කතාව නාට්‍යයේ සොල්දාදුවාගේ චරිතය ඩග්ලස්ට හිමිවන්නේය. ඩග්ලස් රණසිංහ නළුවකු වන්නට නියත විවරණ ලබන්නේ එලෙසිනි.

එසේ ආරම්භ වූ ඔහුගේ රංගන දිවිය, පුරා දශක ගණනාවක් ගෙවමින් මෙරට කලාකෙත පෝෂණය කරන්නට සිය නිසඟ හැකියාවන් දායක කරමින් පැමිණි දීර්ඝ චාරිකාවේ එක් සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙසින් ඔහු ගැන පළ වූ මෙම කෘතිය සඳහන් කළ හැක. මෙම අදහස වසර කිහිපයක් පුරා ඔහුගේ සිතේ පැල පදියම් තිබුණකි. එහෙත් එය මේ අයුරින් ඉෂ්ට සිද්ධ වන්නට හේතු වූ සුවිශේෂී කරුණක් වූයේය.

‘මේ අදහස පසුගිය අවුරුදු 3 - 4 ඇතුළත කීප දෙනෙකුගෙන්ම මට යෝජනා වුණා. ඒ වුණාට මම ඒකට එච්චර උනන්දු වුණේ නෑ. නමුත් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මට හමුවන හැම මොහොතකම අහනවා ඩග්ලස් ඔයා ඔයාගේ ජීවිත කතාව ලියන්නේ නැද්ද කියලා. ඔහොම කිය කිය ඉඳලා දවසක් ඔහු මට මෙහෙම කිව්වා.

‘ඩග්ලස්, ඔයා වෙහෙස මහන්සිවෙලා. මේ උගත් දේ අපතේ යවන්න ද හදන්නේ. ඔයාට හුඟාක් අත්දැකීම් තිබෙනවා. ඔයාව මේ වෙනකොට බොහෝ දෙනාට ගුරු හරුකම් දෙන්නත් පුළුවන්. මේ සියල්ලම අරගෙන වලපල්ලට යන්න එපා’’ කියලා ඔහු මට කිව්වා. ඇත්තටම ඒ කතාව මගේ හදවතට තදින් වැදුණා. ඊට පස්සේ මම ඒ ගැන ටිකක් කල්පනා කරන්නට පටන් ගත්තා. මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් සමඟ සාකච්ඡා වට කිහිපයකුත් පැවැත්වුවා. ඊට පස්සේ මං ගැන ලියන වැඩේට මම ආරාධනා කළා. වසර 40ටත් වඩා වැඩි ඇසුරක් තිබෙන, මගේ සහෝදරයකු වගේ සිටින අපේ පවුලේ සමීප මිතුරෙක් වන සරත්චන්ද්‍ර මුතු බණ්ඩා මහතාට.

ඉතින් මගේ මේ යෝජනාව ඔහුට කිව්වා. ඔහු කියනවා ඔහුගේ හිතේත් කාලයක් තිස්සේ මේ අදහස තිබුණා කියලා මා ගැන ලියන්න. ඉතින් අපි දෙන්නගේ අදහස් සම වුණා. ඒ නිසා මම ඔහුට බාර දුන්නා මේ පොත ලියන්න.’

සරත්චන්ද්‍ර මුතුබණ්ඩා අතින් මේ අකුරු කර ඇත්තේ ඩග්ලස් රණසිංහ නම් වූ සුවිශේෂ කලාකරුවාගේ ජීවන විත්තිය. පුරා දශක ගණනාවක ඉතිහාසය, රංගන ජීවිතයේ සුවිශේෂි කඩඉම් සනිටුහන් කරමින් පැමිණි දුෂ්කර ගමන් මඟක අතීත ස්මරණයන්ය. මේ සියල්ල සමඟ ඩග්ලස් සිය ජීවන ගමන්මගේ ආපස්සට යන්නේය.

‘සමස්තයක් විදියට මගේ ජීවිතේ දිහා ආපස්සට හැරෙත්දි මට සතුටක් තිබෙනවා. නමුත් ඉතින් එතැන බොහෝ අඩුපාඩු තිබෙනවා. එතනදී මම අදහස් කරන්නේ උගත් දෙයින් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නෑ කියලා මට හිතෙනවා. කලාකරුවකු වුණාම, විශේෂයෙන් නළුවකු වුණාම ඔහුගෙන් ප්‍රයෝජන ගන්න එපායැ. රංගනය පිළිබඳ මම උගත් දේ අති විශාලය. නමුත් ප්‍රායෝගිකව අපේ කලා ක්ෂේත්‍රයට එයින් ඵල ප්‍රයෝජනයක් ගත්තේ නෑ. පස්සේ කාලෙක අධ්‍යක්ෂවරයෙක් විදියට, පිටපත් රචකයෙක් විදියට මගේ ජීවිතේ හැකියාවන් වලින් ප්‍රයෝජන ගත්තා. නමුත් මගේ නළු ජීවිතෙන් ඒ ප්‍රයෝජනය ගත්තේ නෑ. ඒක වුණා මදි.”

ඩග්ලස් රණසිංහ යනු රංගනය. අධ්‍යක්ෂණය ඇතුළු කලාවන් පිළිබඳ විධිමත් ලෙස අධ්‍යයනයක පුහුණුවක ආයතනයට උගත් අයෙකි. ඔහුගේ ජීවිතයට හමු වූ ජර්මන් ජාතික විශිෂ්ට සිනමාකරුවකු වූ පෝල් සීල්ස්’ නිසා මෙම හැරවුම් ලක්ෂ්‍යයට යන්නට ඔහුට සිත් වී ඇත. පෝල් සීල්ස් යනු යුද විරෝධී අහිංසාවාදියෙකි. මේ නිසා ඔහු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයන් ඇසුරින් නිර්මාණය වූ ‘හුණුවටයේ කතාව‘ නාට්‍යයට බෙහෙවින් ආශක්ත විය. එහි ඩග්ලස් ගේ රංගනයට ද ඔහු ඉමහත් කැමැත්තක් දැක්වීය. ඔහු විසින් නිර්මාණය කරන්නට යෙදුණු ‘භාවනා’ (ර්ඥඤඪබචබඪධද) යන චිත්‍රපටයට ද ඔහු ඩග්ලස් සම්බන්ධ කර ගත්තේය. එපමණක් නොව එහිදී චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් ද ඔහු තෝරා ගත්තේය. සිනමාකරණය පිළිබඳ වැඩිදුර හැදෑරිය යුතුය යන්න ඩග්ලස් ගේ සිත්හි පහළ වන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව ඔහු ඹ්ධදඤධද ධ්දබඥපදචබඪධද ජ්ඪතථ ඉජඩධධත හී සිනමාකරණය පිළිබඳ විධිමත් ශාස්ත්‍රීය අධ්‍යයනයක් හා පුහුණුවක් ලබන්නේය. එහිදී ඔහු තිර රචනය, කැමරාකරණය, සංස්කරණය හඬ කැවීම, ආලෝකකරණය ආදී වූ සිනමා මාධ්‍යයේ සියලු අංශයන් පිළිබඳව පුහුණුවක් ලබන්නේය.

‘පෝල් සීල්ස් ලංකාවට ඇවිත් ඉන්න කාලේ තමයි මම ඔහු මුණ ගැහෙන්නේ. ඒ කාලේ අපි නිතරම බ්‍රිතාන්‍ය කවුන්සියට යනවා. එතකොට තමයි මට ඔහු මුණ ගැහෙන්නේ. ඊට පස්සේ තමයි ඔහුගේ ‘භාවනා’ කියන චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ. ඔහු ඉන්න තීරණය කරල තිබුණේ මෙහේ සහ බාලි දිවයිනේ. අපි කිව්වා මෙහේ ඉන්න කියලා. එයාට ගෞරවනීය පුරවැසිභාවය දීලා මෙහේ නවත්තා ගත්තා. ඔහු රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා වුණා.ඒ ඉන්න කාලේ තමයි ‘භාවනා’ කළේ. ඒකේ මම ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සහාය අධ්‍යක්ෂ විදියටත් වැඩ කළා. ඒ අත්දැකීමත් එක්ක තමයි කැමරාව පිටුපස්සට යොමු වෙන්නේ. ඒ උනන්දුවෙන් පස්සේ තමයි මම ඉගෙන ගන්න ලන්ඩන් යන්නේ.

ලන්ඩන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ස්කූල් එකෙන් කැමරා අධ්‍යක්ෂණයට, රංගනයට අවශ්‍ය සෑම දෙයක්ම මම ඉගෙන ගත්තා. රංගනය විතරක් නොවෙයි චිත්‍රපටය අදාළ හැම විෂයක්ම ඉගෙන ගත්තා. එහෙදී මම හිතුවා කවදාහරි ලංකාවට ටෙලි විෂන් මාධ්‍ය එන නිසා ටෙලි විෂන් ඉගෙන ගන්න. ඒ කාලේ මෙහෙට ටෙලි විෂන් එන්න හිතලවත් නැති කාලෙක තමයි මම ටෙලි විෂන් ඉගෙන ගත්තේ. ඒ කාලේ මට පෝල් සීල්ස් කිව්වා අපි මෙහේ රංගන පාසලක් කරමු කියලා. ඒකට චිත්‍රපට, නාට්‍ය ටෙලිවිෂන් ඔක්කොම ඇතුළත් වෙනවා. මම ඒ සඳහා නැවත වරක් අධ්‍යාපනය ආරම්භ කළා. ඒ අවසානයේ මට එහේ නාට්‍ය ලෝකයට බැඳෙන්නත් ආරාධනා කළා. ඒකට බැඳෙන එක ලේසි නෑ. ඒකට ලයිසන් එකක් ගන්න ඕන. ඒක හරියට හීනයක් වගේ. නමුත් මට ඒ අවස්ථාව ලැබෙනවා. මම ඒක ප්‍රතික්ෂේප කරලා ලංකාවට ආවා මෙහේ රංගන පාසල පටන් ගන්න. ඒ එනකොට පෝල් සීල්ස් සිරෝසිස් හැදිල. ආපහු ජර්මනියට ගිහින් තිබුණා. ඒ කාලේ දැන් වගේ සන්නිවේදන තාක්ෂණය දියුණු නැති නිසා මට ඒක දැනගන්න ලැබුණේ ආවට පස්සේ. ඒක දැනගන්න ලැබුණා නම් සමහරවිට මම එන එකක් නෑ. එහෙමනම් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා.’

ඩග්ලස් රණසිංහයන් නැවත ලංකාට පැමිණෙන විට මෙහේ කලා පසුබිම බෙහෙවින් වෙනස් වී තිබුණි. ඔහු පවසන ආකාරයට විචාර කලාව මෙන්ම, පුවත්පත් කලාව පවා ඔහු මෙහෙන් යන විට තිබූ තත්ත්වයෙන් වෙනස් වී තිබුණි.

‘මම ලංකාවෙන් යනකොට ‘හුණුවටයේ කතාව‘ අපට පුතේ මඟක් නැතේ වැනි වේදිකා නාට්‍යයත්, රෝමියෝ ජුලියට්, අක්කර පහ වැනි චිත්‍රපටයක් කරල තිබුණේ. ආපසු මම ලන්ඩන්වල ඉඳලා එන්නේ 70 දශකයේ ලංකාවට එනකොට මට අල්ලපු අත්තක් නෑ. පය ගහපු අත්තක් නෑ. වගේ වැඩක් වුණේ. මම සෑහෙන කාලයක් නිකං බලා හිටියා. මට මතකයි මම ඒ කාලෙ දෛවය ගැන කවියකුත් ලිව්වා. මේක තමයි දෛවය කියලා මම හිතුවා.

ලංකාවට ආවට පස්සේ මම ඉස්සරලම කරපු චිත්‍රපටය වුණේ ‘සාරංගා’ ඒ චිත්‍රපටය ගැන ලොකුවට කතා බහක් ඇති වුණේ නෑ. ඒ ඇයි කියන ඒක මට අදටත් ප්‍රශ්නයක්. ඒ චිත්‍රපටය ගැන කතා කළේ ගුණසිරි සිල්වා පමණයි. නමුත් ‘සාරංගා’ චිත්‍රපටයට මම ගොඩක් කැමතියි. ගාමිණී හේවාවිතාරණ තමයි අධ්‍යක්ෂණය කළේ. මේ චිත්‍රපටයේ රංගනයට මට පූර්ණ නිදහස ලැබුණා. දවසක් මේ චිත්‍රපටය බලලා ලෙස්ටර් ජේම්ස් පීරිස් කිව්වා ‘සාරංගා’ ඔහු කැමතිම චිත්‍රපටයක් කියලා. මමයි, අනෝජා වීරසිංහය, සනත් ගුණතිලකයි රංගනයෙන් එක් වුණේ.

කොහොම වුණත් මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ හරියට වෙඩිල්ලක් පත්තු කළා වගේ. වේදිකාවේ ඉන්නකොටම චිත්‍රපට ලැබෙනවා. ඒවගේම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න ලැබෙනවා. කොහොම වුණත් ඉතාම ඉක්මනින් කාර්ය බහුල පුද්ගලයෙක් බවට පත්වෙනවා. හුණුවටය, බලලා ලෙස්ටර් මට අක්කර පහට කතා කරනවා. අපට පුතේ මඟක් නැතේ බලල ජී.ඩී.එල් මට කතා කරනවා.

පසු කලෙක ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වනුයේ ආචාර්ය තිස්ස අබේසේකරයන් නිර්මාණය කළ විරාගය චිත්‍රපටයය. එහි අරවින්ද චරිතයට කරට කර රංගනයක යොදමින් ඩග්ලස් නිරූපණය කළ චරිතය කාගෙත් කතා බහට ලක්විය.

‘බොහෝ දෙනෙකුගේ අවධානයට මේ චරිතය ලක්වුණාට ඒ ගැන මගේ මතකය වෙනස්. එකේ ඉජපඪනබ එක අන්තිම ලස්සනයි. නමුත් එකම හේතුව කෙනෙකුගේ දක්ෂතාවය ඉහළ ඒම. මේකට හරි ලස්සන උදාහරණයක් තිබෙනවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘අක්කර පහ’ කරනකොට කියපු ධ් ඩචඤ ඨපඥචබ ඤඪටටඪජභතබර ඉචමඪදඨ ර්ර ඩඥපධඥඵ ටපධථ ච්ධභඨතචඵ’ කියලා. එයා එහෙම කියයිද එයා ඒකට අසමත් වුණා නම් එයා ඒක දැකලා ලස්සනට කර ගන්න ඇති. නමුත් මෙතනදි එයගේම ගෝලයාට ඒක කරගන්න බැරි වුණ තැන ඒවා කපා හැරුණා.

මගේ රංගන ජීවිතේ මම කැමතිම චරිතයක් තමයි ‘සාරංගා’ චිත්‍රපටයේ නිරූපණය කළේ. ඒ චරිතයේ විවිධ අවස්ථාවන් නිරූපණයට ඉඩක් තිබුණා. නළුවෙක් විදියට ලොකු පරාසයන් වලට යෑමට ඉඩ කඩ තිබුණා. ඒක වෙන්නේ බොහෝ දුරට හොඳ පිටපතක් තිබුණම. සාරංගා ලිව්වේ සුගත් වටගෙදර. ඔහුම තමයි දූ දරුවෝ ලිව්වේත්. පසු කාලීනව යුවතිපති, කුලගෙය වගේ චිත්‍රපට කළා. කුලගෙය මට ලැබුණෙත් කිසියම් ලස්සන කතාවකින් පසු. එච්.ඩී. පේ‍්‍රමරත්න කියන්නේ තවත් වෙනස් අධ්‍යක්ෂවරයෙක්. එයාට කිව්වේ මැද මාවතේ සිනමාකරුවෙක් කියලා.

ඒ කාලේ දේශපාලනයට සම්බන්ධ නොවුණ සරත් අමුණුගම මහතා දවසක් කතා කරනවා. ඔහු මගේ මිත්‍රයෙක්. ඔහු මට කියනවා මේ අපි චිත්‍රපටයක් කරන්න කතා කර කර ඉන්නේ. ඔයාගේ නම මම ඒ සඳහා යෝජනා කළා. නමුත් මෙතන කියවුණා. ඔයා එක්ක වැඩ කරන්න බෑ කියලා. ඔයාගේම ප්‍රවීණයෝ, සමකාලීනයෝ විසින් කතාවක් ගෙනහින් තියනවා කියලා. ඒක එච්.ඩී. පේ‍්‍රමරත්නගේ කනටත් ගිහින් තියනවා. ඒ වුණාට මං ඔයා ගැන දන්නවා. කියලා කිව්වා.

මම එච්.ඩී.ට කතා කරල කිව්වා ‘මමත් ඒ ගැන වැඩිදුර කියන්නේ නෑ. මා ගැන අමුණගම මැතිතුමා කියන්න ඇති. ඔබ තුමා ලොකු අවධානමක් අරගෙන මේ චිත්‍රපටය කරන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ චිත්‍රපට තුනක් මම ඔහුත් සමඟ කළා.

ඩග්ලස් සිනමා ටෙලි විෂන් කලාව තුළ ද විධිමත් අධ්‍යයනයන නිරත වූවෙක්. මේ නිසාම ඔහු ලංකාවට පැමිණි මුල් යුගයේම ‘කුලසේන ෆොන්සේකාගේ ‘රන්මුසු උයන’ නවකතාව ඇසුරින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කළේය. ඉන්පසු කාලයක ඔහු අධ්‍යක්ෂවරයෙක් ලෙසට මෙරට ටෙලි නාට්‍ය කලාව තුළ නිර්මාණකරණයේ නියැළිණ. ටෙලි නාට්‍ය නළුවෙකු ලෙසින් ඔහු බොහෝ නිර්මාණයන්ට දායක වී ඇතිබව අප කවුරුත් දන්නා කරුණකි. අද මේ මොහොත වන විටත් ඔහු ‘සංගීත්’ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වේ.

‘වර්තමානයේත් මම අපේ තරුණ නළු නිළියන් සමඟ රංගනයේ නියැළෙනවා. ඒක මට හරිම සතුටක්. තරුණ පරපුරේ මම හොඳ ආදරයක් ලබනවා. මේ දවස්වල සංගීතේ ටෙලි නාට්‍යය කරගෙන යනවා. මේ දවස්වල චිත්‍රපට තුනකට විතර මට කතා කරල තිබෙනවා. ටෙලි නාට්‍යයත් කීපයක්ම තිබෙනවා. දර්ශන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන චිත්‍රපට තුනක් තිබෙනවා. කොහොම වුණාත්, මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණ අපේ රටේ සිනමා කලාකරුවන්ට හමුවෙන්න, කතාබහ කරන්න. තැනක් හදන්න. ඒකට මූලික අඩිතාලමත් මම දැම්මා. නමුත් ඒකට විවිධ බාධා ඇවිත් මට කලකිරිලා මම එතනින් අයින් වූවා. නමුත් දැන් මට හිතෙනවා මම එදා කලකිරුණේ නැතිනම් අද ඒ ස්ථානය අපට තියනවා නේද කියලා.

‘කොහොම වුණත් මගේ ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුණු මේ පොත දොරට වැඩීම ගැන මට විශාල සතුටක් තිබෙනවා. මේ පොත මම පිළිගැන්වූයේ මගේ පුතාට. එයින් මම නියෝජනය කරන්නේ මේ රටේ අනාගත පරම්පරාව.

ඇත්තටම මේ කාර්ය වෙනුවෙන් ලොකු වියදමක් දරන්න සිද්ධ වුණා. ඒ බරපැන දැරුවේ ඉසිමඟ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති සම්පත් බන්නැහැක මැතිතුමා සහ උපසභාපති සනෝජා සිරිවර්ධන මැතිනිය. මේ දෙදෙනාටම මගේ නොවක් තුතිය හිමි වෙනවා. ඒ වගේම මේ උත්සවය වර්ණවත් කරන්න විශාල පිරිසක් සම්බන්ධ වුණා. ගීත ගායනා කරන්න, දේශන පවත්වන්න වගේම මේ සඳහා සපැමිණ සහයෝගය දක්වපු සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය මේ මොහොතේ පුද කරන්න ඕන.

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]