මම දීපාට හාත්පසින්ම වෙනස්

ප්‍රාර්ථනා සෙව්වන්දි
ජුනි 17, 2021

 

රාවණ ටෙලි සිතුවමේ ප්‍රධාන සෙන්පතිනිය ලෙස ඔබ වඩාත් හඳුනාගත් ඇය මේ වන විට කාර්යබහුල රංගන ශිල්පිනියක වී අහවරය. ප්‍රේක්ෂක ජනාදරය මධ්‍යයේ විකාශය වන මැටි කඩුලු ටෙලි සිතුවමේ දීපාගේ චරිතය නිරූපණය කරන්නේද ඇයයි. ප්‍රාර්ථනා සෙව්වන්දි යන නමින් මම ඇය ඔබට හඳුන්වා දෙමි.

 

 

ප්‍රාර්ථනාව ඔබ කොපමණ කල්ද දැන් රංගනයට පිවිසිලා?

දෙදහස් දහ අට වර්ෂයේදී තමයි මම මුලින්ම රඟපාන්න ආවෙ. මේ වන කොට අවුරුදු තුනක් විතර ඇති නේද.

 

මේ කාලය අතරතුරදී ඔබ කළ චරිත පිළිබඳ සෑහීමකට පත්වෙනවාද?

ඇත්තටම ඒ ගැන මම සෑහීමකට පත්වෙනවා.පොඩි පොඩි චරිත කර කර ඉඳලා ප්‍රධාන චරිතයක් කියලා මට ලැබුණේ රාවණ ටෙලි සිතුවමේ සෙන්පතිනිය. එතැනින් පසුව මට දිගින් දිගටම හොඳ නිර්මාණයන් සඳහා දායක වන්නට අවස්ථාව ලැබුණා. මේ දිනවල විකාශය වන මැටි කඩුලු නාට්‍යයත් එහෙමයි. ඉතින් මම හිතනවා මේ කෙටි කාලය තුළදී මම හුඟක් සාර්ථක වුණා කියලා. නමුත් තව දුර යන්න තියෙනවා.

 

මැටි කඩුලු නාට්‍යයේදී දීපා ගැනයි මම ඊළඟට වැඩි විස්තර ඔබෙන් අහන්නේ?

දීපා කියලා කියන්නේ දඟකාර සෙල්ලක්කාර චරිතයක්. ඇය නපුරු චරිතයක් කියලා කියන්න පුළුවන්. කාට හරි ප්‍රශ්න ඇති කරමින් හෝ තමන්ගෙ අරමුණ කරා යන කෙනෙක්. සමහරක් විට ඒ කරන දේවල් නිසා තවත් අය අපහසුතාවයට පත් වෙනවා.

 

දීපා හා ඔබේ සමානකම් තිබෙන්වාද?

එක සමාන කමක් වත් නෑ. මම හිතන්නේ මගේ ගතිගුණයන්ට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි දීපා. ඇගේ ගතිගුණ අමුතුවෙන් මවා ගන්න වුණා. මම කවදාවත් දීපා තරම් නපුරු වෙලා නම් නැහැ.අනික මට කේන්ති යනවා අඩුයි. හැබැයි අසාධාරණකමක් දැක්කොත් මම එතැනදි කතා කරනවා.

 

ඇතැම් විට එය ඔබට අවාසියක් නොවේද?

මම කියන්නේ පුළුවන් හැම වෙලාවකම අසාධාරණයට විරුද්ධව කතා කරන්න ඕනේ. මම අසරණ පුද්ගලයින්ට අසාධාරණකම් වෙච්ච අවස්ථාවන්වලදී කතා කරනවා. ඒ වගේම ගැහැනු ළමයෙකුට යම් අසාධාරණයක් වුණාම ඒ වගේ කතා කරපු අවස්ථා තියෙනවා.

 

මැටි කඩුලු නාට්‍යය කරන්න ගිහිල්ලා ඔබට කුරුණෑගල, මාවතගම තෙක්ම බස් එකේ යන්න සිදු වෙච්ච කතාව තමයි මම ඊළඟට අහන්නේ?

ඒක වුණේ මෙහෙමයි. මට මුලින්ම ෂූටිං තිබුණ දවසේ මම ඉතින් අලුත් කෙනෙක් නිසා ට්‍රාන්ස්පෝට් එකට මාව මග හැරිලා.

නාට්‍යයේ දර්ශන තල තියෙන්නෙ කුරුණෑගල මාවතගම. එහෙ ඉඳලා මං වෙනුවෙන් තව වාහනයක් එවන්නත් බැහැනෙ. ඉතින් මම තීරණය කළා බස් එකේ යන්න. මොකද එදා තමයි මම හා හා පුරා කියලා ඒ චරිතය රඟපාන්න හිටියේ. ඉතිං කොහොමටවත් නොයා ඉන්න බෑනේ.ඉතින් මම පදිංචි පිළියන්දලින් හයිවේ එකේ කඩවතට ඇවිල්ලා එතනින් කුරුණෑගලට ගිහින් කුරුණෑගලින් මාවතගමට ගියා. කොහොම හරි මට රඟපාන්න තිබුණේ වෙලාවට කලින් මම එතෙන්ට යන්න පුළුවන් වුණා.

 

දැන් දිගින් දිගටම නිළියක් විදිහට ඉන්නට ඔබේ කල්පනාව?

ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට එන්නේ මෝස්තර නිරූපණ ශිල්පිණියක් විදිහට. ඒ පැත්තෙන් දිගු ගමනක් යන්න අපේක්ෂා කළත් රඟපෑමට කිසිසේත්ම කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම අහම්බෙන් මේ සඳහා යොමු වුණා. දැන් ඒ රංගනය සඳහා ලොකු ඇල්මක් සිතේ ඇතිවෙලා. තියෙනවා ඒ නිසා දිගටම නිළියක් විදිහට ඉන්නයි මම අදහස් කරගෙන ඉන්නේ.

 

ඔබව වෙනත් කෙනෙකු අගයද්දි තවත් නිළියකට සමාන කරලා තියෙනවද?

මංජුලා කුමාරි ඒ කියන්නේ අපේ ඕලු, ඇය වගේ කියලා මට කියලා තියෙනවා. එතකොට නම් මට ලොකු සතුටක් දැනෙනවා.

 

ඔබ බොහොම චාමෙට ඉන්න නිළියක් වග පේනවා?

ඔව් ඒක ඇත්ත. මම කොට ඇඳුම් අඳීන්නේ නැහැ. එක මගේ ප්‍රතිපත්තියක්. එහෙම අඳීන අයට මම දොස් කියන්නෙත් නෑ. ඒක ඒගොල්ලන්ගෙ කැමැත්ත. මේක මගේ කැමැත්ත බොහොම සරලව ජීවත් වෙන්න තමයි මම ආස කරන්නේ.

 

මොන වගේ ඇඳුම් අඳීන්නද ඔබ වඩා ප්‍රිය කරන්නෙ?

මම හිතනවා මට ගවුම තමයි වඩා ගැළපෙන්නෙ කියලා. බොහොම ගැමි විදියට අඳීන්න පලඳීන්න මම හරිම ආසයි.

 

මේ නිසා ඔබට යම් යම් චරිත මඟ හැරෙනවා ඇති. විශේෂයෙන්ම බටහිර පන්නයේ ඒවා?

ඇත්තටම එහෙම චරිත මගහැරුණා. මේ ළඟදි දවසකත් මට නාට්‍යයක ප්‍රධාන චරිතයකට කතා කළා. ඒක ටිකක් බටහිර පන්නයේ චරිතයක්. ෂෝට් කොස්ටියුම් තමයි අඳීන්න තිබුණෙ. මම ඉතින් මගේ තත්ත්වය කාරුණිකව පැහැදිලි කරලා දීලා ඒ චරිතය ප්‍රතික්ෂේප කෙරුවා. මම හිතනවා මට මගේ ස්වරූපයට චරිත ලැබෙයි කියලා.

 

 

සේයාරූ - දීපාල් ගෝමස්