වීරයා ගෙදර ඇවිත්, රාජ්‍ය රූපවාහිනී උලෙළේ සම්මාන දිනයි

දෙසැම්බර් 2, 2021

ශ්‍රි ලාංකේය රූපවාහිනි මාධ්‍යයේ උන්නතියට සහ ප්‍රේක්ෂකයින්ගේ රසවින්දනය දියුණු කිරීමට ස්වකීය විශිෂ්ට නිර්මාණ කුසලතාවයෙන් පෙළහර පෑ කලාකරුවන් සහ මාධ්‍යවේදින්ට රාජ්‍ය ගෞරව සම්මාන පිරිනමන 'රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය' පෙරේදා (29) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණි.

ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීණ රංගවේදී කමල් අද්දරආරච්චි මහතාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් සම්මාන ප්‍ර⁣දානෝත්සවය පැවැත්වුණි.

රූපවාහිනි මාධ්‍ය ඔස්සේ 2020 වසරේ විකාශිත ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් රැගත් රුපවාහිනි වැඩසටහන්, ටෙලිනාට්‍ය ඇතුළු රසවින්දනාත්මක වැඩසටහන් ආකෘති රැසක් ඔස්සේ සම්මාන 69ක් පිරිනැමීම මෙහිදි සිදුවිය.

එමෙන්ම සිය ප්‍රතිභාපූර්ණ නිර්මාණ කුසලතාවය ඔස්සේ මෙරට මෙන්ම විදේශ රටවල් තුළද ශ්‍රි ලාංකේය නාමය බැබළවූ විශිෂ්ට කලාකරුවන් දෙදෙනකු වන ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ එම්.ඩී.මහින්දපාල මහතාට සහ නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් කැපවූ ප්‍රවීණ ටෙලිනාට්‍ය පිටපත් රචක කේ.බී හේරත් මහතාට ජීවිතයේ එක්වරක් පුදකරන යාවජීව සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුවිය.

රූපවාහිනි මාධ්‍ය තුළ 2020 වසරේ විකාශනය වූ ප්‍රශස්තම ටෙලිනාට්‍ය වශයෙන් ජාතික රූපවාහිනියේ විකාශනයේ වූ ආනන්ද අබේනායක මහතා අධ්‍යක්ෂණය කළ 'වීරයා ගෙදර ඇවිත්' ටෙලිනාට්‍ය අංශ රැසක් ඔස්සේ සම්මාන 12කින් පිදුම් ලැබීය.

ඉන් වසරේ ප්‍රශස්තම නළුවාට සහ නිළියට හිමි සම්මාන ජාතික රූපවාහිනියේ විකාශය වූ 'වීරයා ගෙදර ඇවිත්' ටෙලිනාට්‍යයේ චාමර කුලරත්නගේ චරිතය නිරූපණය කළ රොෂාන් රවීන්ද්‍රට සහ නිලන්තිගේ චරිතය නිරූපණය කළ ජයනි සේනානායකට හිමි විය.

තවද රූපවාහිනි වැඩසටහන් අංශය වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන දෙකක් ජාතික රූපවාහිනියේ පූජිත දිසානායකට සහ සිරස ටීවී ආයතනයේ රොහාන් ඩිරෙක්ස්ටද, ටෙලිනාට්‍ය වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන දෙකක් ප්‍රවීණ රංගන ශිල්පිනී නෙතලි නානායක්කාරට සහ සංජය මුරමුදලිට පිරිනැමිණ.

එමෙන්ම රූපවාහිනි මාධ්‍ය පිළිබඳව ලියැවුණු හොඳම ශාස්ත්‍රීය සහ පර්යේෂණාත්මක ග්‍රන්ථය සඳහාද මෙහිදී සම්මාන පිරිනැමීම සිදුවූ අතර එම සම්මානය ' ශ්‍රි ලංකාවේ රූපවාහිනි දෘශ්‍ය සංඥාර්ථ සහ සමාජ විසංයෝජනය' නැමැති ග්‍රන්ථය සම්පාදනය කළ බර්ට්‍රම් නිහාල් මහතාට හිමිවිණි.

ජන සංස්කෘතිකාංග ඇතුළු විශේෂ කලාංග රැසකින් වර්ණවත් වූ මෙම උලෙළට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය රූපවාහිනි උපදේශක සභාවේ සභාපති ටියුඩර් වීරසිංහ, ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා වීරසිංහ යන මහත්ම මහත්මීන් සහ ප්‍රවීණ මෙන්ම නවක කලාකරුවෝ රැසක් සහභාගී වූහ.

සම්මාන ප්‍රදානෝත්සවයේදී පිරිනැමුණු සෙසු සම්මාන මෙසේය

 

ප්‍රශස්ත ප්‍රාසාංගික ටෙලිනාට්‍ය නිෂ්පාදනය සඳහා- ජාතික රූපවාහිනියේ විකාශය වූ 'වීරයා ගෙදර ඇවිත්' නිෂ්පාදනය කළ ආනන්ද අබේනායක සහ ෆාහීම් මව්ජුඩ්

 

ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක - ටීවි දෙරණ නාලිකාවේ වසන්ති නානායක්කාර

 

ප්‍රශස්ත සම්ප්‍රවේශක- ස්වාධීන රූපවාහිනියේ එස්.ඒ. ඩී.ජී.සුරවීර

 

ප්‍රශස්ත වාර්තාමය වැඩසටහන- ජාතික රූපවාහිනියේ විකාශය වූ කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ'ගොවිරජසිරි'

 

ප්‍රශස්ත කැමරා අධ්‍යක්ෂණය- ' වීරයා ගෙදර ඇවිත්' ටෙලිනාට්‍ය කැමරා අධ්‍යක්ෂණය කළ තිසර තුල්වන්‍

 

ප්‍රශස්ත සංස්කරණය:- ජාතික රූපවාහිනියේ විකාශය වූ 'වීරයා ගෙදර ඇවිත්' සංස්කරණය කළ ජගත් වීරතුංග

 

ප්‍රශස්ත තිර රචනය- ජාතික රූපවාහිනියේ විකාශය වූ 'වීරයා ගෙදර ඇවිත්' තිර රචනය කළ නාමල් ජයසිංහ

 

ප්‍රශස්ත සහය නළුවා- 'වීරයා ගෙදර ඇවිත්' ටෙලිනාට්‍යයේ ත්‍රිරෝද රථ රියදුරාගේ චරිතය නිරූපනය කළ සේවියර් කණිෂ්ක

 

ප්‍රශස්ත සහය නිලිය- 'වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ විශාඛාගේ චරිතය නිරූපණය කළ දිනූපා කෝදාගොඩ

 

ප්‍රශස්ත ටෙලිනාට්‍ය ගීත රචනය- ජාතික රූපවාහිනියේ 'ඉඩෝර වැස්ස' ටෙලිනාට්‍යයේ තේමා ගීතය රචනා කළ රශීප්‍රභා සංදීපනි

 

ප්‍රශස්ත සංගීත අධ්‍යක්ෂණය- ජාතික රූපවාහිනියේ 'දූවිලි අහස' නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළ දිනේෂ් දිසානායක

 

ප්‍රශස්ත ගායනය- ජාතික රූපවාහිනියේ 'ඉඩෝර වැස්ස' ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනය කළ ⁣නිරෝෂා විරාජිනි

 

ප්‍රශස්ත ළමා වැඩසටහන- ජාතික රූපවාහිනියේ විකාශය වූ තුසිත විදානපතිරණ අධ්‍යක්ෂණය කළ 'පුංචි අපේ ලෝකය'

 

ප්‍රශස්ත දෙබස් කැවූ වැඩසටහන- ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ප්‍රාන් වාකිස්ට අධ්‍යක්ෂණය කළ 'මෞග්ලි'

 

ප්‍රශස්ත වාර්තාමය වැඩසටහන- ජාතික රූපවාහිනයේ විකාශය වූ නාමල් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ'වුල්ෆ් නොකී බැද්දේගම'

 

ප්‍රශස්ත සංගීතමය වැඩසටහන- ජාතික රූපවාහිනියේ විකාශය වූ රංග ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ 'ටෝන් පොයම්'

 

ප්‍රශස්ත බහුකැමරා නිර්මාණය- ටීවි දෙරණ නාලිකාවේ විකාශය වූ කැලුම් දර්ශන සහ ක්‍රිෂාන්තා රාජිකා අධ්‍යක්ෂණය කළ 'දෙරණ ඩ්‍රීම් ස්ටාර් 8 වන අදියරේ අවසන් මහා තරගය

 

ජන සංස්කෘතිකාංග ඇතුළු විශේෂ කලාංග රැසකින් වර්ණවත් වූ මෙම උළෙලට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය රූපවාහිනි උපදේශක සභාවේ සභාපති ටියුඩර් වීරසිංහ, ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා වීරසිංහ මහත්ම මහත්මීන් සහ ප්‍රවීණ මෙන්ම නවක කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 

 

ඡායාරූප - සුදත් මලවීර