වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
බලන ඔළු ගණන නෙමෙයි පිරෙන ඔළු ගණනයි වැදගත්

සාහිත්‍ය කලාව කවිය ඔස්සේ ජන මනස බුබුදාලන්නට ඔහු වෙර වීරිය දරනුයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ යුග මෙහෙවරක් ඉටු කරමිනි. පුරා වසර විසි තුනක සිය මාධ්‍ය මෙහෙවර ඔහු නියැලියේ හරවත් නැණවත් දේ සමාජ ගත කරන්නටය. කවදත් බලන අසන ඔලුගෙඩි ගණනට වඩා පිරෙන ඔලුගෙඩි ගණන වැදගත් කොට සැලකූ මේ පුරකයා ජනහදවත් දුශ්‍ය මෙන්ම ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්සේ හද බැදගත්තේ තමන්ට අන්‍ය වූ හඬ පෞරුෂයක් සමඟිනි. නිවේදකයකු පිටපත් රචකයකු සිංහල නිර්මාණ අධ්‍යක්ෂවරයකු මහජන සම්බන්ධතා අංශ නියෝජිතයකු මාධ්‍ය සහ සන්නිවේදන කළමනාකරුවකු ආදී බොහෝ තනතුරු තානාන්තර හෙබ වූ ඔහු අද වැඩසටහන් කළමණාකරුවෙකුගේ භූමිකාවේ නිරත වනුයේ මෙරට පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනු චරණ ටී.වී. හා එක්වෙමිනි. රයිගම් හා සුමති සම්මාන උලෙළ හයකදී හා රාජ්‍ය රූපවාහිනි සම්මාන උලෙළ දෙකක දී හොඳම නිවේදකයා ලෙස නිර්දේශිත නාමාවලියේ ලේඛන ගත වූ ඔහු 2013 වසරේ රයිගම් හා සුමති සම්මාන උලෙළවලදී හොඳම නිවේදකයා ලෙස සම්මාන ලැබුවේ තම මාධ්‍ය මෙහෙවරෙහි සාර්ථක ගමනේ ඇගැයුම් පැසසුම් ලබමිනි. ජාතික ගුවන් විදුලිය ජාතික රූපවාහිනියත් ඔහුගේ නිවේදන කලාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය මහ ගෙවල් විය. උසස් පෙළ ලියා පාසලෙන් සමුගත් හැටියේම ජාතික ගුවන් විදුලියේ මාධ්‍යමෙහෙවරේ කොටස් කරුවකු වනුයේ හඬ අනුමත ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසිනි. ජාතික තරණ සේවා සභාවේ තුරුණු ශක්ති වැඩසටහන ඔස්සේ පුරකයකු ලෙසින් සිය මාධ්‍ය මෙහෙවර අරභන ඔහු නමින් වජිර ජයවර්ධනය.
වජිර මේ දවස් වල මොන වගේ කටයුතු වල ද යෙදිල ඉන්නේ?
සාහිත්‍ය, කලාව, කවිය තුළ මේ දවස්වල මගේ දවස් ගෙවෙනවා කිව්වොත් වඩාත් නිවැරදියි. චරණ ටී.වී ඔස්සේ වෙනත් වැඩසටහනුත් කරනවා. ඒත් වැඩි නැඹුරුවක් තියෙන්නේ සාහිත්‍යයට කලාවට, කවියට. අපේ අවධානය අඩුවෙන්ම යොමු වෙන පැත්තකට තමයි අපි අවධානය යොමු කළ යුත්තේ කියන පෞද්ගලික න්‍යායේ මම ඉන්නවා. එළියට බැස්සම සමාජයේ බහුලව අපිට පේන දේට වඩා එළියේ නොපෙනෙන දුලබ වැඩේ කරගෙන යන එක තමයි මගේ ගමන විධියට විශ්වාස කරන්නේ.
සුලබ දේට වඩා දුබල දේ සොයා යාම අද සාර්ථකයි කියා ඔබ හිතනවාද?
සෑහෙන්න සාර්ථකයි. අපි හිතනවාට වඩා අපි ලංකාවේ පේ‍්‍රක්ෂකාගාරය කියලා හිතාගෙන ඉන්න තැන නෙමේ ලංකාව තියෙන්නේ. වෙළෙඳ සහ මුසාවෙන් වැහිච්ච වටපිටාවක් තමයි තියෙන්නේ. කුමක් හෝ හේතුවක් මත සමහරවිට ආර්ථික කාරණා බලපානවා වෙන්න පුළුවන්. වෙළෙඳපොල කාරණා බලපාන්න පුළුවන් කොහොම හරි අපිට පේන දේ නොවෙයි ඇත්ත. හැංගිච්ච තැනක් තියෙනවා. අන්න ඒ තැන හොයාගෙන යාම තමයි අපි මිනිස්සු විධියට කරන්න ඕනේ. ඒ හැංගිච්ච තැන නිරාවරණය කරගැනීම පහසු නෑ අමාරුයි. අමාරු දේ කළාට පස්සේ වටිනාකම වැඩියි. ඒක කැණීම් කරල තමයි අපි මතු කරගන්න ඕනේ. කැණීම් කරන මොහොත අනතුරු වෙන්න පුළුවන් නමුත් බොහොම පරිස්සමින් ගියොත් අපිට මේ සොයායාම පහසුවක් වේවි.
සාහිත්‍ය කලාව කවිය අපේ රූපවාහිනී මාධ්‍ය බැහැර කරල තිබුණු දෙයක් ඔබ මේ වනවිට කරපින්නා ගෙන යනවා නොවේද?
මේක තනිව යන ගමනක් නොවේ. අපි කණ්ඩායමක් සාමුහිකව ගන්නා උත්සාහයක් මම වැඩසටහන් පැත්තට සැලසුම් හැදුවට මේක ටීම් වර්ක් එකක්. ප්‍රවීණ ආධුනික නවීන කියා භේදයකින් තොරව අපේ ළාබාල වයසේ ඉඳලා වැඩි විය දක්වා මේ සඳහා එකතු වෙලා ඉන්නවා. සමාජය පැත්තෙනුත් මේ සඳහා හොඳ දායකත්වයක් ලැබෙනවා. අපේ ආයතනික පැත්තට වඩා තරුණ පිරිසක් තමයි අද වෙනකොට මේ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සාහිත්‍ය ගවේෂණය කියන්නේ අපේ කණ්ඩායමක සාමුහික ප්‍රයන්තයක්.
තරුණ ජවයක් සමඟ තමයි ඔබ නිවේදන ක්ෂේත්‍රය ස්පර්ශ කරන්නේ?
මගේ පාසල වූ වීර කැටිය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ පටන් මම නිවේදන කටයුතු කළා. තරුණ සේවා සභාව තුරුණු ශක්ති ඔස්සේ තමයි මම ගුවන් විදුලියේ නිවේදන කටයුතු වලට එක් වන්නේ. ඊට පස්සේ රූපවාහිනියට මගේ තාරුණ්‍ය පිරි ජවය එක් වෙනවා.
තරුණ ජවය ස්පර්ශ කළ කෙනෙක් ඔබ ක්ෂේත්‍රයේ පුරාවට?
ගුවන් විදුලියේ තැටි ගබඩාවට ගිහින් පරණ වැඩසටහන් අහලා තැටි පටි අත පතගාලා. රූපවාහිනියට ගොස් ඒ වැඩසටහන් ස්පර්ශ කරලා තොරතුරු සෙව්වා. නිෂ්පාදකවරු ඇසුරු කළා. දැනුම ගත්තා. මේ හැමදෙයක්ම කරගන්න දැනුමත් අද මේ ඉන්න වජීරව නිර්මාණය කරල තියෙන්නේ. ප්‍රබල මිත්‍ර සමාගමක් ගොඩනැඟුණා. ඔවුනොවුන් අතර දැනුම හුවමාරු වුණා. ඇසුරු කළ අයගෙන් දැනුම ලබාගත්තා. ගවේෂණය කළා. මේ සෑම දේකින්ම තමයි මගේ වර්තමානය ගොඩනැගිලා තියෙන්නේ.
අද ඔබට හිතෙන්නේ නැද්ද නිවේදකයා හැටියට ඔබ කොටුවෙලා කියලා.
මම දකින නිවේදකයා අලුත්වන කෙනෙක් ඔහු ගවේෂකයෙක්, නිවේදකයාට හැම දවසේම අලුත් යමක් හම්බ වෙනවා. අලුත් මාතෘකා හම්බ වෙනවා අලුත් පිරිස් හමුවෙනවා. නිවේදකයා පරණ දැනුමෙන් වැඩකරන්න ගියොත් තමයි එක තැන පල්වෙන්නේ. අලුත් මාතෘකාවලට අලුත් දැනුම හොයාගෙන යන්න ඕනේ. අන්න ඒ වෙනස අත්දකින තාක්කල් නිවේදකයා කොටුවෙන් නෑ.
අද ආයතනික ගතව බැලුවොත් නිවේදකයෝ වැඩසටහන්වලට කොටුවෙලා නේද?
එහෙම චරිතවලට රාමු හදල තියෙන්නේ ඒ වැඩසටහන් ජනපි‍්‍රය කරවිමේ විධි ක්‍රමයක් විධියට මටත් එහෙම අසාධාරණකම් වෙලා තියෙනවා. මම රූපවාහිනියේ වැඩසටහන් කරනකොට විශේෂයෙන් පෝය වැඩසටහන් කරනකොට විශේෂයෙන් ඒ සඳහා කොටුවුණා. චරණ පටන් ගත්තාට පස්සේ සාහිත්‍ය කවිය මෙන්ම අනෙකුත් හැකියාවන්ට මම ඉඩහරසර විවෘත කරගත්තා. චරණ කියන්නේ අලුත් නාළිකාවක් අලුත් වැඩපිළිවෙළට අවශ්‍ය හැඩය හදාගන්න මට ඒ අවස්ථාව ලැබුණා. රූපවාහිනියේ මම විවිධ වැඩසටහන් කළා. හැබැයි මාව බොහෝවිට රාමු ගත වුණේ පොහොය වැඩසටහන් වලින්. ඒ නිසා මට බාහිරව ලැබුණු බොහෝ අවස්ථාවන් මඟහැරි ගියා. මම හැබැයි ඒ ගැන අතිශයින් තෘප්තිමත් ඒකට හේතුව අවුරුදු 15ක් හැම පෝයකටම බණ අහන්න ලැබෙනවා කියන්නේ එයින් එහාට තවත් සම්පතක් නැති තරම්.
පෝය වැඩසටහන් වල කොටුවීම තුළින් එළියට යන්න ඔබ උත්සාහ ගත්තේ නැද්ද?
උත්සාහ ගත්තා. රූපවාහිනියේ නිෂ්පාදක කණ්ඩායම අලුත් ආකාරයේ වැඩසටහන් ආකෘතියකට ගමන් කරමින් අත්හදා බැලීමක් කරන්න කියල මම ඉල්ලීමක් කළා. ටික කාලෙකින් ඔවුන් මට එයින් නිදහස් වෙන්න ඉඩ දුන්නා. මම දකින්නේ හැමදාම එකම අකෘතියේ සිටීම මටත් ආයතනටත් වැඩක් නෑ කියලා. මම කියන්නේ මම දැන් කරන දේ වුණත් අවුරුදු දෙකකින් වෙනස් වෙන්න ඕනෙ කියලා. මම ඇතුළේ කළමනාකාරවරයෙක් ඉන්නවා. ඒ යුතුකම් ඉටුකරන්නත් මම බැඳිල ඉන්නවා. ඒ අතරේ බාහිර පරිසරයට පෙන්නේ මම නිවේදකයෙක් විධියට විතරයි. ඒ නිසාම තමයි නිවේදකයාට මතුවෙලා පෙන්නේ මම හිතනවා නිවේදකයාට එහා ගිය චරිතයක් මා තුළ ඉන්නවා කියලා.
ඔබ නිවේදකයෙක් කියන භූමිකාවට එහා ගිය පුද්ගලයෙක් කිව්වොත්?
ඒක ඇත්ත. මාව දකින කෙනෙක් එක එල්ලේ හඳුනා ගන්නේ නිවේදක කියන භූමිකාව තුළ. නමුත් මම අලෙවිකරණ ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාලාභියෙක්. අලෙවිකරණය පිළිබඳ ඒ වගේම මේ මෑතකදී මම ලන්ඩනයේ රෙක්සම් විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ එම්.බි.උපාධිය ලබාගත්තා.
පේ‍්‍රක්ෂක ආකර්ෂණය යහමින් ජයගත් නිවේදකයකු වූ ඔබ ඇයි මේ අලෙවි කරණය පිළිබඳ හැදෑරීමක් සොයා යන්නේ?
අලෙවිකරුවා හඳුනාගත්නේ නැතිව නිවේදකයා හඳුනා ගන්න යනවා නම් එතැන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම නිවේදකයා හඳුනාගත්තා. මා කළ ගවේෂණය අනුව මම දැක්ක දෙයක් තමයි. අපේ මාධ්‍ය පන්තියටම තිබුණේ නැති දෙයක් තමයි පර්යේෂණය. සමාජයම මුළා කරපු තැනක තමයි අපි ඉන්නේ. අද ඒ නිසා හැම නිවේදකයෙක්ම අලෙවි කරුවෙක් වෙන්න ඕනේ. හැම නිවේදකයෙක් ඇතුළේම අලෙවිකරණ ගුණාංග තියෙන්න ඕනේ. මොකද අපි මොන කතා කිව්වාත් අලෙවි කරණ සමාජයේ තමයි අපිට යැපෙන වෙලා තියෙන්නේ. අලෙවිකරණ සමාජයත් එක්ක ගනුදෙනු කරනවා කියන එක වැඩසටහන් සැලසුම් කිරීමේදී අවශ්‍ය වන දෙයක්. සමාජයට යන්න ගුණාත්මක සාධකයි. අලෙවි කරන සාධකයි. මුහු කරවන්න දැනුමක් අවශ්‍යයි එකට අලෙවිකරණය හැදැරීම අත්‍යවශ්‍ය දෙයක්.
ඔබ සොයාගත් ඒ නව මාවත තුළ ජයග්‍රහණ මේ වන විට අත්කරගෙන තියෙනවාද?
කවුරු හරි අද චරණ ටී.වී ගැන කතා කරපු දෙයක් නිසයි අද ඒ ගැන කතාකරන්නේ. මම හිතන්නේ අනාගතයේ මේ තමයි අලෙවි වන මාධ්‍ය සාහිත්‍ය කලාව කවිය තමයි. අනාගතයේ අලෙවිවන්නේ. අනෙක් සියල්ල වටිනාකමින් තොර දේවල් බවට වර්තමානයේ මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා අලෙවිකරණය හැදැරීම තමයි නිවේදකයෙකුට අවශ්‍යම දේ.
ඔබ මහත් අභිරුචියෙන් කතා කරන සාහිත්‍ය කලාව කවියට අද අනුග්‍රාහකයෝ එක් වෙනවාද?
මේ සඳහා අනුග්‍රාහකයෝ එනවා අපිට යම් තාක් පිරිසක් ඉන්නවා. අනුග්‍රාහකයෝ අපිට එන්නේ දැන්වීම් ආයතන හරහා. දැන්වීම් ආයතන තුළ ඉන්න අයගේ දැනුම මතනම් මුළු මහත් සමාජ පද්ධතියම තීරණය වෙන්නේ ඒ දැන්වීම් ආයතන කීපයක් දෙන රිසච් එක අනුව බලන රූපවාහිනිය නොබලන රූපවාහිනිය තීරණය කරන්නේ. මෙන්න මෙතන ප්‍රශන්යක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නයට උත්තර හොයන්නේ නැතුව සමාජය කඩා වැටෙනවා. සමාජයට මෙහෙම වෙනවා. අපිට අනුග්‍රාහකයෝ නෑ කියන පුහුමතයේ ඉන්න වෙලා තියෙනවා. මම හිතන්නේ අද මාධ්‍ය ආයතන මුළාවෙලා තියෙන්නේ මෙතන මේ මුළාවෙන් එළියට ලෝකය අරන් යන්න ඕනේ අපිත් එකට යම් උත්සාහයක් ගනිමින් ඉන්නවා. ගොඩක් මාධ්‍ය ආයතන ඒ උත්සාහයෙන් නියැළී ඉන්නවා. එකිනෙකාටගේ වැඩ පිළිවෙළ වෙනස් නමුත් අපි හොයන්නේ වෙන පාරක්.
ඔබ සොයන ඔය පාර ගැන ඔබටම විශ්වාස ද?
තමන් පිළිබඳව තියන විශ්වාසය මත තමයි ඒක තීරණය වෙන්නේ. තමන්ගේ දැනුම මත තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කිරීම, එහි ගුණාත්මක භාවය ගැන විශ්වාසය තියනවා නම් ඒකට බිය වියු යුතු නෑ. සමාජය ඉල්ලන්නේ හොඳ දේවල් මිනිස්සු ඉල්ලන්නේ හොඳ දේවල්. ඇත්තටම බලන්න ඔලු ගණනට වැඩිය පිරෙන ඔහු ගාණයි වැදගත්. බලන ඔලු ගණන ඒ තරම් වැදගත් නෑ.
ඔබ බලන ඔළු ගණන හදන පුද්ගලයෙක්ට වඩා පිරෙන ඔළු ගාණ ගනින පුද්ගලයෙක් වගෙයි ?
රටක් සමාජයක් පවතින්නේ පිරෙන ඔළු ගණන මතයි
අද වෙනකොට ඔබට හැකිවෙලා තියෙනවාද පිරෙන ඔළු ගාණ වැඩි කරන්න.
ඔව්. මට එහෙම දෙයක් කරන්න පුළුවන් වුණ නිසා තමයි මටත් අද ඉල්ලුමක් ගොඩනැගිල තියෙන්නේ. මේ අවුරුදු කීපය තුළ චරණ ටී.වී. ආයතනයේ තේමාව ගත්තොත් දශක හතරක් වටින හතරක් කියල මේ අවුරුදු හතර පුරාවට මට ලැබිච්ච අවස්ථා මට මිනිස්සුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර අපේ සමාජයේ වියත් පිරිස් හා කතා බහෙන් ද ඒ උත්සාහය සාර්ථක වෙලා කියලා අපිට දැනිලා තියෙනවා. අපේ පවුලක වුණත් තීන්දු තීරණ ගන්නෙත් පිරුණු ඔළුවක් පරම්පරාවක වුණත් මඟුලක් අවමඟුලක් මෙහෙයවන්නේ ඒ පරම්පරාවේ පිරිච්ච මනුස්සයා. පිරිච්ච මනුස්සයයි අපිට වැදගත්. අලෙවිකරණ සමාජයටත් අපි පණිවිඩයක් දෙන්න ඕනේ. පිරෙන ඔලුව ඉලක්ක කරගන්න. පිරෙන ඔළුව ඉලක්ක කලොත් තමයි ඔබේ පණිවිඩය හරියට සමාජ ගත කරන්න පුළුවන් නැරඹුුම් වාර ගණන මත පදනම් වෙලා කවදාවත් බෑ නිෂ්්පාදනයකට සාධාරණයක් කරන්න.
නිවේදකයා කියන වෘත්තිය අද ඔබේ රැකියාව වෙලාද?
නිවේදකයා කියන කෙනා මම කවදාවත් මගේ ස්ථාවර වෘත්තිය කරගෙන නෑ. මම අවුරුදු හතක් දැන්වීම් ක්ෂේත්‍රයේ වැඩකළා. ඊට පස්සේ ටෙලි කොම්ආයතනයේ ඊට පස්සේ ටෙලි කොම් ආයතනයට සම්බන්ධව විෂන් කොම් ආයතනයේ වැඩ කරනවා. මම කවදාවත් නිවේදකයා මත යැපුණේ නෑ. මම වෙන රැකියාවක් කරන ගමන් තමයි මා තුළ ඉන්න නිවේදකයාව නඩත්තු කළේ. මම හිතන්නේ ඒ්ක තමයි විය යුත්තේ නැත්තම් එහෙම නිවේදකයාට නිදහස නෑ. තමන් කැමති දේවල් තෝරගන්න.
ඔබේ ස්ථාවර රැකියාව?
මම දැන්වීම් ආයතනයක පිටපත් රචකයෙක් ලෙස කටයුතු කළා. සිංහල නිර්මාණ අධ්‍යක්ෂවරයක් ලෙස කටයුතු කළා. මහජන සම්බන්ධතා අංශයේ වැඩ කළා. මාධ්‍ය සහ සන්නිවේදන කළමනාකරුවෙකු ලෙස වැඩකළා. අද වෙනකොට වැඩසටහන් කළමානාකරුවකු ලෙස වැඩකරනවා. මේ සියල්ල ආයතන වෘත්තීය පැත්ත මෙහි නිවේදකයා කිසි තැනක නෑ. නිවේදකයා මගේ එළියේ තියෙන දෙයක්. එත් මාව පෙන්නේ නිවේදකයෙක් විධියට මම අවුරුදු 23 පුරාවට නිවේදකයෙක් ලෙස වැඩ කරල තියෙන්නේ වෙනත් රැකියාවක් කරන ගමන්.
අවුරුදු විසි තුනක් පුරාවට ඔබ නිවේදකයෙක්?
පාසලෙන් නික්මෙලා ගිය දා පටන් මම නිවේදකයෙක් ගුවන් විදුලියේ රූපවාහිණියේ.
ගුවන් විදුලියෙත් ඔබ ජනපි‍්‍රය නිවේදකයෙක්?
ගුවන් විදුලි සංස්ථාවේ මම වැඩ කරනවා. ගුවන් විදුලි සංස්ථාවේ හඬ අනුමත ප්‍රවෘත්ති නිවේදකයෙක්. මම කාලයක් ප්‍රවෘත්ති නිවේදන ඉදිරිපත්කළා. අදටත් මම වී එෆ් එම්. එකේ රාත්‍රී හතත් නමයත් අතර යන මී බැදී කළුවර වැඩසටහන ඉදිරිපත් කරනවා දිනපතා. ඒ ගුවන් විදුලි නිවේදකයා මම අදටත් නඩත්තු කරනවා. ගුවන් විදුලි නිවේදකයාත් රූපවාහිනි නිවේදකයාත් මේ අවුරුදු විසි තුන පුරාවට අඛන්ඩව නඩත්තු වෙනවා.
රාජකාරි අතරතුර මෙවැන්නකට දායකවෙන්නෙ කොහොමද?
මම බොහෝ විට පටිගත කිරීම් වැඩසටහන් වලට තමයි වැඩිපුර දායක වෙන්නේ. සති අන්තය වෙන් කරලා තියෙන්නේ ගුවන් විදුලියට අනික් වෙලාවල් අනෙකුත් වැඩ සඳහා.
ජාතික ගුවන් විදුලිය ජාතික රූපවාහිනිය ඔබව රටට හඳුන්වා දෙනවා නොවේද?
මගේ ශ්‍රව්‍ය දෘශ්‍ය මහගෙවල් දෙක ජාතික ගුවන් විදුලිය, ජාතික රූපවාහිනිය. ඒ හරහා තමයි මම නිර්මාණය වෙන්නේ. මාව නිර්මාණය කරන්නේ ඒ සාහිත්‍ය සාරය තමයි වර්තමානයේ වැඩසටහන් කරන්න උදව් වෙන්නේ.
ඔබේ මේ මහ ගෙවල් දෙකම අද මුහුණපාන තත්ත්වය?
ඒක ආයතනවල තියන ප්‍රශ්නයක් නොවෙයි. රටේ තියෙන ප්‍රශ්නයක්. මේ ආයතනවල ඉන්නේ අති දක්ෂයෝ ඒ අය මතු කරගන්න තිබුණොත් මේ ආයතන දෙක නැගිට්ට වන එක අමාරු කාර්යක් නොවෙයි.
ඔබ අද වෙනකොට සම්මානීය නිවේදකයෙක්?
මම දැන් හොඳම නිවේදකයා ලෙස සම්මානයට පාත්‍රවෙලා ඉවරයි. මම තීරණය කරල තියෙනවා යලිත් ඒ සඳහා ඉල්ලුම් නොකරන්න. ඒකට හේතුව මම ඒ වසරේත් ඒ සඳහා ඉල්ලුම් කළොත් තව කෙනෙකුට හොඳම නිවේදකයා වීමේ අවකාශ නැතුව යන නිසා. මම විසින් මාව අවතක්සේරු කරගන්න කැමති නෑ. මම සාමාන්‍යයෙන් පවතින දෙයින් ලැබෙන දෙයින් තෘප්තිමත් වන කෙනෙක්. ඒ මොහොතෙන් තෘප්තිමත් වෙනවා හැර තෘප්තියේ අනන්තයට යන්න මම උත්සාහ ගන්නේ නෑ. ගත්තොත් ආයෙ ගන්නේ හොඳම නිවේදකයා ලෙස රාජ්‍ය සම්මානය තමයි.
අත්දැකීම් බහුල තරුණ නිවේදකයෙක් වශයෙන් අද බිහිවෙන නිවේදකයන් ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක් ද?
අද බිහි වන නිවේදක නිවේදිකාවෝ අතීශය දක්ෂයි. හැබැයි ඔවුන්ට නිසි ආයතනික මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. මේ මගපෙන්වීම දුන්නොත් විතරයි ඔවුන්ගේ හැකියාවන් නිසි ලෙස සමාජගත කරන්න පුළුවන් වන්නේ. ඔවුන් දක්ෂ වෙලා වැඩක් නෑ. ඔවුන් යැපෙන්නේ ආයතන මත ආයතන මඟ පෙන්වීම අවශ්‍යයයි කියන්නේ ඒකයි.
නවකයන්ට චෝදනාවක් තියෙනවා. කථිකත්වය හැරෙන්න වෙනත් කිසිවැඩක් නෑ. ඔවුන් ගිරා පෝතකයෝ කියලා?
අපිට පේන දේනෙ ඒ. නමුත් ඔවුන්ගෙන් ආයතනය ඉල්ලන දේ ඒක. නැතුව නිවේදක නිවේදිකාවන්ගේ වරදක් නොවෙයි. සාරයක් නැති කථිකත්වය මත පමණක් කියන කෙනෙක් අරන් බලන්න ඔහුට හෝ ඇයට වෙනත් වැඩසටහනක් දිලා. ඒක සාර්ථකව කරනවා. ඔහුව මෙහෙයවීමේ ප්‍රශ්නයක් මිසක් ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්නයක් නොවෙයි තියෙන්නේ. නිවේදක නිවේදිකාවන් ගේ ප්‍රශ්නයක් රටේ නෑ තියෙන්නේ ඔවුන්ව මෙහෙය වන දොරටු පාලකයන්ගේ ප්‍රශ්නයක්. අපි හැමදාම කරන්නේ පුද්ගලයන් මත සිට විවේචනය කරන එක මිසක් ආයතන පද්ධති ගැන සොයා බැලීමක් කරන්නේ නෑ.
වජිර ජයවර්ධන කියන චරිතය මෙරට පේ‍්‍රක්ෂකයෝ හඳුනාගත්තේ කොතනින් කියා ද සිතන්නේ?
මාව තුරුණු ශක්ති ඉඳලා අද වෙනකන් විවිධ පිරිස් හඳුනා ගනිමින් ඉන්නවා. මට අවුරුදු විසි තුන පුරාවට වටින චරිත හමුවෙලා තියෙනවා. කාලයකට සීමා කරන්න බෑ. මට මාව හොයාගන්න හඳුන ගන්න විධියක් තියෙනවා. මගේ ඉදිරිපත් කිරීම භාෂාව කියන කොටසට පිරිච්ච මිනිස්සු කැමැතියි. බලන ඇස් ගණනට වැඩිය ට්‍රෙන්ඩින් වන චරිතයකට වඩා සැඟව සිට මිනිස්සු විසින් ට්‍රෙන්ඩින් කරන චරිතය හරි වැදගත්. සමාජයට යමක් කළොත් ලැබෙන ප්‍රතිචාරය පරක්කු වෙන්න පුළුවන් හැබැයි ඒ ප්‍රතිචාරය ස්තිරයි.
චරණ ටී.වී. තුළ ඔබ නිවේදකයෙක් ද?
නෑ. මම චරණ ටී.වී. කළමනාකරුවෙක්. මම වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නිෂ්පාදකයට යටයි. වැඩසටහනේ නිවේදක භූමිකාවට මම ආවට පස්සේ මට ඉහළින් ඉන්නවා නිෂ්පාදකයා. ඔවුන්ගේ අවසරයෙන් තමයි මම සියලු දේ කරගන්නේ. ආයතන භූමිකාව තුළ මම කළමනාකරුවෙක්.
නිවේදකයාට දොස් නගනවාට ඔබ විරුද්ධ කෙනෙක්?
වෙළෙඳ දැන්වීම් හඬ මුසු කරන්නෙක්. විවිධ මාධ්‍ය ආයතනවල වැඩ කළ කෙනෙක් අලෙවිකරණය පිළිබඳ හොඳින් හදාරපු කෙනෙක් විධියට මම කියන්නේ නිවේදකයන්ට දොස් නැගීම හරියට මුව හමට තඩි බෑම වගේ දෙයක් කියල මම ඕනෙම සභාවක ඕනෙම තැනක දැඩිව පෙනී සිටිනවා නිවේදකයන් සඳහා නඟන චෝදනාව වෙනුවෙන්.
නිවේදකයෙක් වීම ගැන අද ආපස්සට හැරිල බලන කොට ඔබට හැඟෙන්නේ මොන වගේ දෙයක්ද?
මට ලැබෙන්න ඕනෙ දේ ලැබිල ඉවරයි. මම ප්‍රාර්ථනය කරන්නේ යළිත් මතු ආත්මයක මේ වගේ හඬක් මට ලැබෙන්න කියලා. මම හඬෙන් තමයි වැඩ අරන් තියෙන්නේ. හඬ නිසා තමයි මම සියල්ල නෙළාගෙන තියෙන්නේ. මම ඒ හඬට ණය ගැතියි. ඒ හඬටම සැමදා ගෞරව කරනවා. නිවේදකයා කියන භූමිකාව තමයි මට සියල්ල දීල තියෙන්නේ. මට වගේම මගේ අනාගතය මත මගේ දරුවන්ටත් යම් දෙයක් දිලා තියෙනවා නම් ඒ දීල තියෙන්නෙත් මේ නිවේදකයාම තමයි.
ඔබේ පවුලේ තොරතුරු කිව්වොත්?
මගේ බිරිය අමල්කා ජයවර්ධන. ඇය තමයි මගේ නිවේදකයාව මතුවෙන්න මගෙන් ඉටුවිය යුතු වගකීම් අරගෙන මට නිදහස් පරිසරයක් හදල දීල තියෙන්නේ. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. තිමෙත් ජයවර්ධන රිවින් ජයවර්ධන නමින්. දියණියක් ඉන්නවා. රූ අමෙලියා තුන්දෙනාම ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නවා.
අමල්කා ඔබට හමුවෙන්නේ මේ නිවේදකයා නිසාමද?
නෑ. අමල්කාට නිවේදකයා වැඩක් නෑ. ඒ නිවේදකයා පිළිබඳව අල්ප මාත්‍රයක්වත් ඈ තැතීමක් කරන්නේ නෑ. එදත් එහෙමයි. අදත් එහෙමයි. මට හමුවන මිනිස්සු අතර වජිර ජයවර්ධන කියන නිවේදකයා වැදගත් නැති එකම කෙනත් අමල්කා විතරයි. එයා හමුවෙන කොටත් මම නිවේදකයෙක් ලෙස ස්ථාවර වෙලත් නෑ. මගේ හඬ නිසා නොවෙයි එයා මට ආදරය කරන්නේ.
නිවේදකයකු වන්නට ඔබට ගුරුවරු වුණේ කවුද?
මගේ පියා රියදුරෙක්. මව පෙර පාසල් ගුරුවරියක්. පියා වුණත් ගමේ පොදු වැඩවලදී නිවේදන කටයුතු කරල තියෙනවා. ඒ ආභාෂයත් මට එකතු වෙන්න ඇති. මට නිවේදන කලාවේ ගුරුවරු නෑ. මම ආදර්ශයට ගත් චරිත තිබුණා සමන් අතාවුදහෙට්ටි, හේමනලින් කරුණාරත්න කියන චරිත මට ශෛලියක් ගොඩ නගාගන්න උදව් වු චරිත. ඒ පාර ඔස්සේ තමයි මට අනන්‍ය වූ පාරක් මම සොයාගියේ. අද මට ඕනෙ පාර මම හදන් තියෙනවා. මම දකින කොට මතක් වෙන්නේ මගේ හඬ නම් මගේ හඬ ඇහෙන කොට මතක් වෙන්නෙත් මගේ රූපය නම් ඒ කියන්නේ මම සාර්ථකයි කියන එක ඒක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයෝ ශ්‍රාවකයෝ.
අද වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවේදක නිවේදිකාවන්ගේ හැසිරීම හොඳක් හැටියට ද නරකක් හැටියට ද ඔබ දකින්නේ?
නිවේදක නිවේදිකාවට චෝදනා කිරීමට මම විරුද්ධයි. ඔවුන් වෙනස් වෙන්න ඕනෙ හැදෙන්න ඕනේ. ඔවුන්ට මඟ පෙන්වන්න ඕනේ. ඒ සඳහා හන්දි හන්දි ගානේ පන්ති තියල වැඩක් නෑ. නිවේදක නිවේදිකාව ගොඩ නැගෙන්න නම් ඊට වඩා ප්‍රබල දැනුම් පද්ධතියක් ගොඩනැගෙන්න ඕනේ. මේක පාසලෙන් පටන් ගන්න ඕනෙ. එකක් කියවීම හරහා මතුවෙන්න ඕනෙ දෙයක් පුුළුල් සමාජ කතිකාවක් දක්වා වර්ධනය විය යුතු දෙයක්. හන්දි හන්දි ගාණේ පන්ති පවත්වල නිවේදක නිවේදිකාවන් හදන්න බෑ. මම විවේචනය කරනවා නොවෙයි දරුවන්ගෙන් සල්ලි අරන් දරුවන්ට උගන්වනවා කියන එක නිවේදකයන් හදන පාරක් නොවෙයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න