ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ ස්වර්ණ ජයන්තියට

ගම්පෙරළිය
අගෝස්තු 22, 2019

 

 

 

ලොව ප්‍රධාන පෙළේ සිනමා උලෙළක් ලෙස ගැනෙන ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළේ පනස් වැන්න මෙම නොවැම්බර් 20 – 30 වැනිදා දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පංජිත් නගරයේ පැවැත්වෙන විට ආරම්භක චිත්‍රපටය ලෙස එහි මුල්ම අන්තර් ජාතික සම්මාන දිනූ චිත්‍රපටය වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටය තිරගත වනු ඇත. 1953 වසරේදී එවකට ඉන්දීය ප්‍රවෘත්ති ඇමැති වු ඉන්දිරා ගාන්ධි මැතිනියගේ මෙහෙයවීම යටතේ නවදිල්ලියේ ඇරැඹුණු ඉන්දීය අන්තර් ජාතික සිනමා උලෙළ ජාත්‍යන්තර හොඳම චිත්‍රපටය උදෙසා සම්මාන ප්‍රදානය ඇරැඹුයේ 1965 වසරේදී තුන්වැනි සිනමා උලෙළේදීය.

එවකට එය හඳුන්වනු ලද්දේ නවදිල්ලි අන්තර් ජාතික සිනමා උලෙළ යනුවෙනි. මුල්ම අන්තර් ජාතික රණමයුර සම්මානය දිනා ගත්තේ ගම්පෙරළිය චිත්‍රපටයයි. 2004 වසරේ සිට මෙම සිනමා උලෙළ ගෝව ප්‍රාන්තයේ පැවැත්වෙන අතර එය වර්තමානයේ හැඳින් වෙන්නේ ඉන්දීය අන්තර් ජාතික සිනමා උලෙළ යනුවෙනි. 2000 වසරේ එම උලෙළේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා කලාවට කළ මෙහෙය උදෙසා යාවජිව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙවර උලෙළ සඳහා සුමිත්‍රා පීරිස් මහත්මිය සහභාගී වීමට නියමිතය.