වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
ප්‍රියන්ත-ඇන්ටන් එකමුතුවෙන් නත්තල් ගී එළිදැක්වේ

මේරියන්ස් සංගීත කණ්ඩායමේ ආරම්භක ලීඩ් ගිටාර් වාදකයා වූ ප්‍රියන්ත නාවලගේ වර්තමානයේ ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ නිත්‍ය බේස් ගිටාර් වාදකයා ලෙස කටයුතු කරයි. සංගීත අධ්යක්ෂවරයකු හා ගායන ශිල්පියකු ද වන ඔහු ‘පබා’, ‘වැස්ස නුඹ වගේ’, ‘නිල් නෙතු’, ‘දේවි’, ‘ආදරෙයි මං සමණලී’ ඇතුළු ටෙලි නාට්‍ය රැසක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායකව ඇති අතර ජනප්‍රිය ගීත රාශියක සංගීත නිර්මාණකරුවාද වන ඔහු සංගීතවත් කළ ගී අතර සශිකා නිසංසලා ගයන ‘ඔබ ඇස් පිය නොහෙලා බැලුවා’, චාමර වීරසිංහ ගායනා කරන ‘මතකයන් ඔබේ, ‘සමා වෙලා’, ‘මගෙ ආදර අම්මා’, ’ඈතින් ඈතට’, ‘අඩි සීයේ පාර ගාව, ‘චන්දන ලියනාරච්චි ගයන ‘මගේ ආදරේ තරම්’, ‘සමරු පොතේ සොඳුරු කවි’, භාතිය - සන්තුෂ් ගායනා කරන ‘බයිලා ගමුද රීමික්ස් කරලා’ ඇතුළු ජනප්‍රිය ගීත රාශියක්ම ඇත. කඳාන ඩී මැසනඩ් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ඔහු උපතින්ම කිතුනුවකි. ඒ නිසාම ඔහු අතින් නිම වූ කිතුනු සහ නත්තල් ගීත ප්‍රමාණය අති විශාලය.
එලෙසම කිතනු ගීත රචකයෙකු වන ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ද ජනපි‍්‍රය ගායක ගායිකාවන් හට කිතුනු නත්තල් ගීත රාශියක් නිර්මාණය කර ඇත්තෙකි. විශාරද නන්දා මාලිනී ගායනා කරන ‘සඳ වට කරගෙන තරු කැට නට නට, ජූඩ් රොගන්ස් ගායනා කරන ’සාමය පැතිරී ලොව දන සිත් සැනසේවා’, ටී. එම්. ජයරත්න ගයන ‘දිනක මැදියම රැයක කඳු යායේ’, විශාරද නිරෝෂා විරාජිනී ගායනා කරන ‘සුරඟනන් අතර සුරඟනව ඉන්නට තිබුණා නම්, ලක්ෂ්මන් හිල්මි ගායනා කරන ‘ජුදා පුරේ වගේ දිලුණු’ මාරියෝ ආනන්ද ගායනා කරන ‘දුගියෙකි ඔහු ලොව දිනු ජේසු’ හා ‘සැබෑ නත්තල දුගී පැල්පතේ’ ජෝ බී. පෙරේරා ගායනා කරන ‘පාළු රෑ යාමේ’ කීර්ති පැස්කුවල් ගායනා කරන ‘රන් තරුව ඔබයි’, කලාශූරී ලතා වල්්පොල ගායනා කරන ‘මට කියන්න සමිඳුනි එකම වරක්’, රූකාන්ත ගුණතිලක ගායනා කරන ‘දයා විරහිත නොවූ, සුදත් නාවලගේ ගායනා කරන ‘සුබ නත්තලක් වේවා’ ඇතුළු කිතුනු ගීත රාශියකි.
මේ දෙදෙනාගේ එකතුවෙන් නිර්මාණය වූ නවතම නතතල් ගීතාවලියයි මේ.
සාමයේ කුමරුන් සමරන දින ඇවිදින්
තරු පොකුරු පොකුරු පායලා නිල් අහසේ
සුදු සේල වාගේ දිළි දිළි හිම ආකරයේ
තුරු අග පිනි මල් පිපිලා මුතු සේ දිළිසේ
සුසිත් දනන් සනසාලු
සාමය කුමරුන් සමරන දින ඇවිදින්
කටු කොහොළින් පිරි මාවතේ ජේසු ගියා නම්
වැටි වැටි යළි නැගිට කුරුසෙ කර ගැසුවා නම්
අපෙ පවු නැසුමට කුරුසියෙ දිවි පිදුවා නම්
ජේසු සදා සිහි කරනට අපි සැමදා සූදානම්
දුප්්පත් පොහොසත් කාටත් නත්තල සමවේ
සිටු මැදුරෙත් දුගී පැලෙත් නත්තල හිනැහේ
වෛර ක්‍රෝධ හිත් නොහොදත් නත්තලෙ දුරුවේ
උස් මිටිකම් නැති නත්තල මුළු ලෝකයෙම සැමරේ
මෙය ගායනා කරනු ලබන්නේ ගැලැක්සීස් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයින් වන රෝයි ප්‍රනාන්දු, අජිත් පෙරේරා, ප්‍රියන්ත නාවලගේ සමඟින් චමින්ද විමලසේනයි. ‘මගෙ හද අඹරට තරුවක් වී පායනවද ඔබ ජේසු
මගෙ හිස් හද වෙත ගඟුළක් වී ගලනවදෝ ඔබ ජේසු
මගෙ දිවි කතරට අරමුණ වී මඟ පෙන්වනු මැනවි ජේසු
මා තනි වෙනදා සුළඟක් වී තනි නොකරනු මැනවි ජේසු
සෝ තැවුල් ළතැවුල් සදාකල් නිවාලනු මැන ජේසු
ගායනය - අජිත් බණ්ඩාර, ප්‍රදීප් රංගන, ශානිකා මධුමාලි, තිසර චානක, දසුන් මදුෂාන්, ගයාන් අරෝෂ
ජුදා පුරේ එදා වගේ අදත් ගැයේවී ගීතිකා
අහස් කුසේ ගමන් මඟක් සේ ඈතින් දිලේවි තාරුකා
පහන් පෙලක් වගේ ඇදී රජුන් හඹාවි දෙව් පුතා
සදාතනේ සෙනෙහෙ ගඟක සේ ගලාවි ප්‍රේමය මිහිතලේ
නත්තල් උදා වුණා - නත්තල් උදා වුණා - නත්තල් උදා වුණා
ලෝකෙට සාමය උදා වුණා
ගායනය - අමිල හේරත්
සුළඟට සුවඳක් දීලා වසන්තයක් වගේ
ලොව දස අත පැතිරේ සුමියුරු සත්සර ගී රාවේ
සත පොබ කළ කිරි මුහුදක සුදු මුදු රළ වාගේ
උඳුවප් මහා ලොව සැනසෙන මඟුල් තුලා ආවේ
නත්තලේ නත්තලේ සුමිහිරි නත්තලේ
සිතතුළේ සිතතුළේ සාමය පැතිරුණේ
ගායනය - දුමාල් වර්ණකුලසූරිය, රුක්මන් අසිත, පියත් රාජපක්ෂ, නදිනි ප්‍රේමදාස, භාෂි මධුභාෂනී, ශිරෝමි රත්නායක
ගණ අඳුර මැදින් පාර කියයි යන්න ඒ දිහා
මඟ පෙන්වා දෙමින් පෙර ගමනක යෙදෙයි තාරුකා
සිහි ගන්වා පෙමින් උඳුවප් මහේ කාරණා
සාමයේ අරුත සමරමු අපි සැම එක්වෙලා
නත්තල් නත්තල් නත්තල් නත්තල් නත්තල් නත්තල් ආවා
නත්තල් නත්තල් නත්තල් නත්තල් නත්තල් නත්තල් ආවා
ගායනය - බුද්ධික උෂාන්, ගාමිණී සුසිරිවර්ධන, උදිත සංජය, මීනා ප්‍රසාදිනි, මංජුලා නිවන්ත
ලොව සනසා සිරිය ගේන උඳුවප් මාසේ
පුංචි අපිත් කල්බලමින් මොහොතක් ගානේ
නිදි වරමින් රැය ගත වන මැදියම් යාමේ
නත්තල් රෑ එන අමුත්තා කවුරුද දන්නේ
නත්තල් සීයා මම නත්තල් සීයා
පුංචි නංගි මල්ලිලාට තෑගි ගෙනාවා
නත්තල් සීයා මම නත්තල් සීයා
එන්න එන්න මෙන්න ගන්න තෑගි ගොඩක් ගෙනාවා
පුංචි බබාලාට තෑගි ගොඩක් ගෙනාවා
ගායනය - ගාමිණී සුසිරිවර්ධන, ප්‍රියන්ත විජේසිංහ, ළහිරු චතුරංග සමරසිංහ, බී. රන්දිමා හංසනී කුමාරි, මුතුමැණික් ධර්මරත්න, ඉසුරු සෙව්වන්දි ධර්මරත්න
තරු පිරුණු රැයේ තරු මල් පරදනා තරුවකි
එය කවදාවත් පෙර නොදුටුව අමුතු එළියකි
සිකුරු තරුව නොවෙයිලු එය වළිග තරුවකි
මඟ පෙන්වන්නට පෑයූ පෙර ගමන් තරුවෙකි
ගායනය - ගරු සමන් මැක්ෂිමස් පියතුමා
කුරුසියක් ඔබ කර මත තියා
කටු ඔටුන්නක් හිස පලදලා
දුන් දෙතිස් වද සෑම විඳ දරා
මගෙ පවට ඔබේ දිවි පුද කලා
ආදරෙයි මම මගෙ ජේසුනෙ
ආදරෙයි මට ඔබ ජේසුනෙ
ගායනය - ප්‍රියන්ත නාවලගේ
ප්‍රසාද් සමරතුංග