ළයාන්විතයාගේ ආදර්ශවත් උපන් දිනය

පෙබරවාරි 6, 2020

දිනය හරියටම පසුගිය විසි නව වැනිදාය. අපේක්ෂා රෝහලේ ‘ රසාවි‘ ගොඩනැඟිල්ලේ බිම් මහල අමුතු සිරියක් ගෙන තිබුණි. හෙද හෙදියන් මෙන්ම වෛද්‍යවරුන්ද වෙනදා නැති රාජකාරියකට සූදානම් වනු දක්නට ලැබිණ.මැද මිදුල වටේට වූ ආසන සියල්ල මත නොයෙක් දෙනා වාඩි වී සිටියහ. අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් , හෙද හෙදියන් මෙන්ම වෛද්‍යවරුන්ද, සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිස්ද ඒ අතර විය.ඉදිරි පෙල තබා තිබූ විවිධ සංගීත භාණ්ඩ අපට කියා පෑවේ කිසියම් වූ රසාලිප්ත සංගීත වැඩසටහනක්ද මෙතැනදී රස විඳීය හැකි බවයි.මේ උත්සවයේ ප්‍රධාන චරිතය වූයේ අපේ සංගීත ක්ෂේත්‍ර ‍යේ ප්‍රවීණ , ජනප්‍රිය ගායකයෙකු මෙන්ම වාදන ශිල්පියෙකුද වන කීර්ති පැස්කුවල්ය.

‘අද කීර්ති පැස්කුවල් ගේ උපන්දිනය‘.... පැමිණ සිටි අමුත්තෝ කිහිප දෙනෙක්ම කතා බහ කරනවා ඇසුණි.සොයා බලන කළ සැබැවින්ම එදින ඔහුගේ උපන්දිනය විය. ඒ නිමිතිකොට ගෙන ඔහු සංවිධානය කොට තිබුණේ විශේෂ කටයුත්තකි. මිනිසෙකු ලෙස උත්පත්තිය ලබන්නට අපට පෙර පිනක් තිබිය යුතුය. එසේම මනුසත් බව ලැබීමද ධර්මයට අනුව අසීරු කාරණාවකි. එසේ අසීරුවෙන් ලැබූ මිනිස්කමෙන් මිනිසා වෙනුවෙන්ම සේවය කිරීමට හැකි වීමද එක්තරා ආකාරයක වාසනා මහිමයකි. ඒ වාසනා මහිමය කීර්ති විසින් එදින අත්පත් කර ගත්තේය.

කීර්ති සිය සංගීත චාරිකාව තුළ දීර්ඝ ගමනක නියුතු වූවෙකි. එදා සිට මේ දක්වා ඔහු සිය ආදරණීය කට හඬින් රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරමින් නොමද රසික ආදරයට ලක් වූයේය. මෙකී ආදරයක් සමඟ ඔහු සාර්ථක කලා කරුවෙකු වශයෙන් පමණක් නොව යුතුකම්, වගකීම් හොඳීන් හඳුනන, මනුෂ්‍යත්වයේ නාමයෙන් පිහිටක් විය යුතු තැන් වලදී පිහිට වීමට කිසි විටකත් නොපැකිලෙන සත් පුරුෂයෙකු වශයෙන් අති භාරදූර කාර්යයකට පසු ගිය කාලය පුරා වෙහෙස මහන්සි වූයේය. පසුගිය කාලයේ ඔහු කොතලාවල ආරක්ෂක පීඨයේ ඇට මිඳුළු බද්ද කිරීමේ ඒකකයට මිලියන 3000 ක් වටිනා උපකරණ ලබා දීම සඳහා ‘ ප්‍රාර්ථනා ‘ නමින් අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණේය.මෙම අරමුදලට මහජනයා පරිත්‍යාග කල ලක්ෂ75 ක මුදල අපේක්ෂා රෝහල වෙත බාරදීමේ උත්සවය ඔහු මේ ආකාරයට සංවිධානය කර තිබුණි.

අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන් මෙන්ම කාර්යය මණ්ඩලයේද, එයින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේද අසීමිත ආදරය හා ප්‍රශංසාව මධ්‍යයේ ඔහු මෙම මුදල එදින රෝහල වෙත පරිත්‍යාග කළේය.

තමන් මෙලොවට ජනිත වූ දිනය නිමිති කරගෙන නොයෙකුත් වෛවාර්ණ උත්සව , සාද, තරුපහේ හොටල්වල පවත්වන්නට පුරුදු වී සිටින අපේ සමාජයේ බොහොමයක් දෙනා අතර කීර්ති වෙනස් විදියට හිතන කෙනෙක් බව මෙතැනට පැමිණි සිටි හැමදෙනාම කතා බහ කරන්නට විය. ජීවිතය අයදින දස දහස් ගණන්වූ රෝගී ජීවිත සුවපත් කරලීමේ මෙහෙයට දිරි දෙන්නට මෙත් සිතින් ඉදිරිපත් වූ කාරුණික හදවතක ධෛර්යය කෙතරම්දැයි අපට මෙහිදී පසක් විය.

මුදල් පරිත්‍යාගයෙන් පසුව ඇරඹි සංගීත සුයාමය කාගේත් නෙතට කඳුලක් නංවන්නට සමත් විය. මට මතක් වූයේ කීර්තිගේ ‘‘ කදුළ ඉතින් සමාවෙයන් ගීතයය. කීර්ති ඒ ගීතය ගැයුවේ සිය සංගීත චාරිකාවේ දිගු නිහැඩියාව බිඳීමින් යළි සංගීත ක්ෂේත්‍රයට පැමිණීම සනිටුහන් කරගෙන ප්‍රේමනීය සංකල්පනා මවමිනි. එදා කාගෙත් හද දිනූ මේ ගීතය මෙදා ඔහු අපේක්ෂා රෝහලේ සුවහසක් රෝගීන් ගේ සිත් සතුටු කරනු පිණිස ගායනා කළේය.මීට මාස දෙක තුනකට කලින් ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘ සිහිනයකි රෑ‘‘ වැඩසටහනෙන් ගී ගැයූ රෝගී තරුණිය හසිනි ඔබට මතක ඇති. පිලිකා රෝගයට ගොදුරු වුවද ඇය සිය සිතේ ශක්තියක් , ධෛර්යයත් සමඟ ජීවිතයට මුහුණ දෙමින් රෝගී තත්වය සමඟ සටන් කරමින් සිටින්නීය. ඇගේ සුමදුර හඬින් කීර්ති සමඟ ‘ කවිකාරියේ ‘ගීතයක් , සුජාතා අත්තනායක මහත්මිය ගායනා කළ ‘‘ පරවුණු මල්වල සුවඳ අතීතේ ‘ ගීතයත් ඇය ගායනා කලේ සියළු හදවත් තුළට කිව නොහැකි ශෝකයක් ඇති කරමින්.

එසේම බෙහෙත් අතරම ජීවිතය ගෙවනා අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් රැසක්ද එදින ගීත ගායනයට එක් වුනේ ඔවුන් සතු වූ සියළු දුක්ඛ දෝමනස්සයන් හා සියළු රෝගී තත්වයන් මදකට අමතක කරමින්. පැමිණි සිටි සියළු දෙනාගේ ආකර්ශනය නිතැතින්ම දිනාගත්තේ අනුරාධපුරයේ සිට පැමිණ නේවාසිකව ප්‍රකිකාර ගන්නා පුංචි දියණිය වෙතය. ඇය විසාලාය. පුංචි විසාලා ඉතාමත්ම අලංකාර නර්තනයක් සමඟ‘ පායනා ඉරපාන‘ ගීතය ගායනා කළාය. විසාලා කොයි තරම් අලංකාරව ගීතය ගායනා කළාද කිවහොත් ඇයට එදින සුවිශේෂ ත්‍යාගයක්ද හිමි වූවාය. ප්‍රවීන ගීත රචකයෙකු මෙන්ම මාධ්‍ය වේදියකුද වන ඇන්ටන් .ජේ ප්‍රනාන්දු ඇයට ඇයගේම ගීතයක් නිර්මාණය කර පටිගත කරලීමට මේ අවස්ථාටව්දී පොරොන්දු වූවාය.

ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදරද අතිශය සංවේදී මොහොතක් මේ මොහොතේ උදාකර දුන්නේය . ගීත කිහිපයක්ම ගායනා කළ ඔහු ගීත ගායනයට පෙර පවසා සිටියේ තමන්ද මෙම රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගියෙකු බවයි.ගායන ශිල්පිනී මැණික් චන්ද්‍රිකා, ප්‍රවීණ සංගීතඥ සරත්ද අල්විස් , ප්‍රවීණ ගීත රචක, මාධ්‍ය වේදී ආනන්ද පද්මසිරි ඇතුළු පිරිසක් මෙයට සහභාගී වී සිටියහ.

අතීතය දෙස ආපස්සට සිතා බලද්දී කිර්තිද සිය ගමන් මඟ නොයෙකුත් බාධක වැට කඩොළු මතින් සාර්ථකත්වය කරා ගමන් ගත්තෙකි. පසුගියදා ඔහු මේ ගමන්මඟ දෙස නැවත හැරී බැලුවේ සිය ජීවන වෘත්තාන්තය එළි දැක්වීමෙනි. ‘‘කීර්ති - සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව නමින් එය රචනා වූයේ නාට්‍ය කරුවෙකු මෙන්ම නවකතාකරුවෙකු වූ උපාලි කුමාරවංශ විසිනි.කීර්ති ගේ ජීවන ගමන්මගේ සියල්ල පරිච්ඡේද කිහිපයකට වෙන් කර ඇත. කීර්ති ජීවන වියමන පරිච්ඡේදය තුළ ඔහු ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳවදසංගීත මෙහෙවර හා සමාජ මෙහෙවරෙන් පරහිතකාමී සමාජ සේවකයෙකුගේ රුව ගුණ තේජසද, ලියැවී ඇත.කිර්ති පිළිබඳ විවිධ තරාතිරම්වල සුවිශේෂී පුද්ගලයන් විසින් තබන ලද සහෘද සටහන් රාශියක්ද මෙයට ඇතුළත් වේ.කිර්තිගේ ගීත 30 පදමාලා හා ස්වර රටාද, එදා මෙදා තුර ඔහු විසින් ගායනා කරන ලද ගීත නමාවලියක් හා ඔහුගේ ළමා වියේ සිට වර්තමානය දක්වා වූ ඡායාරූප එකතුවක්ද මේ ග්‍රන්ථයට ඇතුළත් වේ.

නිශ්ශංක විජේරත්න