වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
අපේ ගෙදර පිරිලා ඉතිරිලා යන්න ආදරය තියෙනවා

විසිත්ත කාමරේ පුටුවකට බරවුණු මට ඈ කීව දේවල් ගැන යළි යළිත් මෙනෙහි කරන්න හිතුණා. මේ විසල් ලොව තුළ මේ තරම් ආදරණීය ගැහැනුන් මිනිසුන් සිටීම ගැන මට ඇතිවුණේ විශාල සතුටක්. භෞතික දේවල් කිසිවක් ප්‍රාර්ථනා නොකරමින් , සැබෑ ප්‍රේමයේ යදමින් බැඳුණු සවිමත් දෙසිතක සිතුවිලි මම ආශ්වාදයෙන් යුතුව අහගෙන හිටියා. මේ හමුවීම සිදුවුණේ අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ගායන ශිල්පිනියකගේ නිවසේදීයි. කලාවත් දේශපාලනයත් එකට එක්වුණු මේ නිවස ප්‍රදීපා ධර්මදාස අපේ ආදරණීය මිතුරියගේ නිවහනයි. වර්තමාන අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සොඳුරු නිවහනයි.
ප්‍රදීපා අපව අමතන්නේ බොහෝ කලකට පසුවයි. ගෙවුණු කාලය පුරා ඇය නව නිර්මාණ රාශියක් ගීත ක්ෂේත්‍රය වෙත තිළිණ කර තිබුණත් වත්මනෙහි පවතින නව ගී රිද්මය සමඟ මෙකී නිර්මාණ හරියාකාරව ජනගත වූවාද යන්න පිළිබඳ අපට ඇත්තේ සැකයක්. එහෙත් දශක ගණනාවක් පුරා මෙරට ගී කෙත සුපෝෂිත කරන්නට ඇය වැනි ගායන ශිල්පිනියක ගෙන් ඉටු වූ මෙහෙවර මෙතෙකැයි කියා නිම කළ නොහැක.ඉතින් අපි කතා කරමු . තවත් අලුත් ගීත ගැන. ජීවිතේ ගැන. කලාව ගැන.
‘‘ මේ අවුරුද්දේ මගේම ප්‍රසංගයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. මම මීට ඉස්සර කරපු ‘ හැන්දෑවට කලින් එන්න‘ ප්‍රසංගය කළේ 2012 වසරේදී. ඒ මීට අවුරුදු අටකට කලින්. මම කොච්චර ප්‍රසංග වලට සහභාගී වුණත් , අලුත් නිර්මාණ කලත් , රසිකයන් තවමත් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ පරණ ගීතම තමයි. ඉතින් මේ ගීතත් අලුත් නිර්මාණත් එකතු කරලා මගේ ප්‍රාසංගික බවත් ඉදිරිපත් කරලා අලුත් විදියේ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා.‘‘
ඇය කියන්නේ ලොකු බලාපොරොත්තුවකින්. නව මානයකින් ඇගේ ගීත රසවිඳීන්න අපේ රසික ජනතාවත් ආදරයෙන් බලාගෙන ඉන්නවා.ඇගේ නිවස තුළ ඈට තිබෙන්නේ කලා ජීවිතයක් විතරක් නොවෙයි. ඈට දේශපාලන ජීවිතයකුත් තිබෙනවා. මේ හැම පැත්තෙම සුඛ දුක්ඛයන් ඈ කරාත් පැමිණෙනවා.තම ආදරණීය සැමියාට බලපාන සියලු දේශපාලන බලපෑම් අඩු වැඩි වශයෙන් ඈටත් බලපානවා. ඒත් මේ සියලු දේ සම සිතින් විඳ ගැනීමේ අපූරු සිතක් ඇයට හිමියි. ඒ නිසාම ඇය සියලු පරාජයන් ජයක් ලෙස සිතමින් ජීවිතය දිනූ කලාකාරිනියක්. ආදරණීය බිරිඳක්, දයාබර මවක්. සොඳුරු හිතැති කාන්තාවක්.
ඇත්තටම පසුගිය කාලේ මට අලුත් නිර්මාණ කරන්න අවස්ථාව හුඟාක් ලැබුණා. 2015 පරාජයත් සමඟ අපි ගිහින් නැවතුණේ අපේ මල්ලිගෙ ගෙදර. අපිට නිදහසේ ටිකක් කාලය ගත කරන්න අවස්තාව ලැබුණා. මම අලුත් නිර්මාණ කරන්න වගේම මගේ උසස් අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්න පටන් ගත්තා. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා.ගෙවුණු අවුරුදු පහට මම අලුත් සින්දු විසි පහක් විතර කළා. ඉතින් මට සතුටුයි මම ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තා කියලා.මිය ගිය රණවිරු සෙබළෙකුගේ මවක් රණවිරු ස්මාරකය අබියසට පැමිණ තමා පුතු සිහිපත් කිරීම පිළිබඳ ලියවුණු ලස්සන ගීතයක් මම කළා .ෂර්මිලා තමයි ගීතය රචනා කරලා තිබුණේ.ඒ අතර ප්‍රේම ගීත කිහිපයකුත් කළා. නමුත් තවමත් මට විරෝධාකල්ප ගීත වැඩියෙන් ලැබෙනව කියලා මට දැනෙනවා. මට හිතෙන්නේ මගේ පළමු ගීත එකතුවේ ඉඳලා එවැනි ප්‍රතිරූපයක් මට ගොඩනැඟිලා තියෙනවා කියලා.
ගායකයෙකුට හෝ ගායිකාවකට සැබැවින්ම අනන්‍යතාවයක් තිබිය යුතුයි.ඒ අනන්‍යතාවය ඈ මෙහි සම්ප්‍රාප්ත වන විටම රැගෙන ආ දෙයක්. ඒ මඟින් ඇය මේ රටේ බොහෝ ප්‍රේක්ෂක සිත් සතන් ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු කරන්නට සවි බල සැපයුවා.තම නිර්මාණ කාර්යයන් වෙතින් සමාජයට යම් මෙහෙවරක් කිරීම කලා කරුවෙකු හෝ කලාකාරියක ලබන සුවිශේෂ භාග්‍යයක්.එකී භාග්‍යය ඇය උදා කර ගත්තා. එහෙත් නිර්මාණ ජීවිතේ ආපස්සට හිතත්දි ඇයට දුක හිතෙන කාරණාත් බොහොමයි.
මම මේ ක්ෂේත්‍රයේ රුඳුණේ ගායිකාවක් වශයෙන්ම පමණක් නොවෙයි. මම රංගන ශිල්පිනියක්. මට හිතෙනවා මගේ ප්‍රසාංගික කලාවෙන් මේ රට ප්‍රයෝජන ගත්තා මදි කියලා . දැන් අපේ වයසත් එක්ක තරුණ කාලේ කරපු දේවල් ඒ ජවයෙන්ම කරන්න අමාරුයි. නමුත් මට ජවය තිබුණු කාලේ ඒ දේවල් කරන්න තිබුණු අවස්ථා මඟ හැරී ගියා. ඒකට තවත් හේතුවක් වුණා මම ඩලස් අලහප්පෙරුමගේ බිරිඳ වීමත්. විවිධ දේශපාලන මාරුවීම් අවස්ථාවල නිර්මාණකරනයට ඉඩ ප්‍රස්ථා අහිමි වූ අවස්ථාවන් තිබුණා.මම විශ්වාස කරනවා ඩලස් අලහප්පෙරුම ගේ බිරිඳ වීම නිසා යම් යම් අසාධාරණ කම් මට සිද්ධ වුණා කියලා. ඒත් මම කරපු නිර්මාණ දිහා ආපස්සට හැරිලා බලත්දි මට ලොකු සතුටක් ඇති වෙනවා. මම මහා නිර්මාණ ගොන්නක් කරලා නෑ. නමුත් කරපු අල්පය වුණත් ජනතාව ආදරයෙන් වැලඳ ගත්තා. ඒක මට සතුටක්.
ප්‍රදීපා යනු අපට සිටි විශිෂ්ට රංගන ශිල්පිනියකි. වේදිකාව තුළ ඈ ගොඩනඟා ගත් අනන්‍යතාවය අතීත මතක අතරට පිවිසෙන අපට ආශ්වාදයකි. ඈ වේදිකාවට පැමිණෙන්නේ මෙරට සිටි අති විශිෂ්ටම නාට්‍යවේදිනියකගේ ගුරු පාමුලෙනි. ඈ සෝමලතා සුබ සිංහ විසින් වේදිකාවට සොයා දුන් මැණිකකි. වේදිකාවට ඇය සොබාමත් වූයේ ඈ සතු වූ විනි විදින කටහඩය. වත්මනෙහි ඇය අප පිනවන්නේ ගීතයෙන් පමණි.ඇත්තමට ඇයට රංගන ජීවිතය මඟහැරුණාද?
‘ඒක මම විසින්ම පාලනය කරගත් දෙයක්. මම රඟපානවට සැමියාගෙන් වත් මට බලපෑමක් තිබුණෙ නෑ. මම හිතුවා පවුල් ජීවිතයත් එක්ක ඒක කරන එක පහසු නෑ කියලා. ඒ නිසයි මම දුරස් වුණේ. නමුත් අදටත් මම වැඩියෙන්ම ආදරේ වේදිකාවට තමයි. නමුත් මට අතපසු වුණු දේ ගැන මට කනගාටුවක් නෑ.ජීවිතේ විවිධ කාලවලදි අපට විවිධ දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මට මතකයි එක්තරා කාලයකදි ඩලස් අයියා දේශපාලනයෙන් ඉවත් වෙනවා.ඊට පස්සේ එයා ඇමරිකාවට යනවා.මගේ ජීවිතේ හැම දෙයක්ම බෙදා හදා ගත් එක පැත්තක් මගේ ළඟින් දුරස් වෙනවා. ඊට පස්සේ මට ස්වාධීන වෙන්න වෙනවා. ඉස්සර දෙන්න එක්ක ගත්ත තීරණ මට තනියෙම ගන්න වෙනවා. දරුවෝ දෙන්නෙකුත් එක්ක මට ලොකු වගකීමක් පැවරෙනවා. නමුත් මම සැලුණෙ නෑ. ඒ වගකීම මම ගත්තා. ඊටපස්සේ මට දරුවොත් එක්ක ඇමරිකාවට යන්න වෙනවා. මම ගිහින් ටික දවසකින් අයියට එන්න වෙනවා. මම දරුවොත් එක්ක නොදන්න රටක ඉඳගෙනත් ජීවිතේට මුහුණ දුන්නා. ජීවිතේ කළමණාකරණය කර ගත්තා. ආයෙත් නැගිට්ටා.මේ අභියෝගත් එකක් මට ලොකු ආත්ම ශක්තියක් ආවා.
ගංගාවකට වුණත් බාධක ගල්පර හමුවෙන තරමටලු ලස්සන වෙන්නේ. ජීවිතෙත් ඒ වගෙයි. බාධක කම්කටුලු මැදින් ඇය ආදරේ විතරක් හරියට පරෙස්සම් කර ගත්තා. මේ ගත කරන්නේ ඇගේ විවාහ දිවියේ විසි පස්වෙනි වසර. බිරිඳක් ලෙස ඇය අතිශයින්ම තෘප්තිමත් ගැහැනියක්. ආදරණීය මවක්. විසි පස් වසරක විවාහ ජීවිතේ පුරා ඇය රැස්කර ගත් එකම ධනය දෙදෙනා අතර වන අන්‍යෝන්‍ය ප්‍රේමය හා සෙනෙහසයි.
‘‘ අපි දෙන්න විවාහ වුණේ 1994 වසරේදීයි . දැන් වසර විසි හතක් පමණ වෙනවා. ගෙවුණු අවුරුදු 25 ක් වනතුරු අපට කියලා ස්ථිර ලිපිනයක් තිබුනේ නෑ. අපි ජීවත් වුණේ තාවකාලික ලිපිනවල. මීට අවුරුදු දෙකකට උඩදි තමයි මේ ගේ හදා ගෙන පදිංචියට ආවේ . දැන් අපිට ස්ථිර ලිපිනයක් තියෙනවා.ඒ කාලය ඇතුළත අපි අනන්ත වාරයක් ගෙවල් මාරු කරන්න ඇති. ගැහැනියක් බිරිඳක් විදියට ඕන කෙනෙකුට ප්‍රාර්ථනා තියෙනවා. නමුත් මම ඒ ප්‍රාර්ථනා වෙනුවෙන් කවදාවත් මැසිවිලි නැගුවේ නෑ. ඩලස් අයියා හැම වෙලේම කිව්වේ එයාට මැසිවිලි නොනගන බිරිඳක් හා දරුවෝ දෙන්නෙක් ඉන්න එක සැනසීමක් කියලයි. ඇත්තටම කිවුවොත් මම හිතන්නේ මම මගේ ස්වාමියාව රට වෙනුවෙන් පූජා කරල ඉන්නවා කියලයි. අපිට භෞතික සම්පත් නොතිබුණාට අපේ ගෙදර පිරිලා ඉතිරිලා යන්න ආදරය තියෙනවා. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගෙදරක පහනක් පත්තු කරන්නේ බුදුහාමුදුරුවන් වෙනුවෙන්නේ. බුදුන්ට පසු මට පහනක් තියන්න කෙනෙක් ඉන්නවනම් මම ඒ පහන තියෙන්නේ ඩලස් අයියා වෙනුවෙන්. එයා කෙරෙහි මට තියෙන්නේ අසීමිත භක්තියක් හා ගෞරවයක්. ඒකට ආදරයක් සෙනෙහසක්, ප්‍රේමයක් කියනවාට වඩා ගෞරවයක් , භක්තියක් කියන්න මම ආසයි. එයා මට ආදරණීය දරුවෝ දෙන්නෙක් දීලා තියෙනවා. ඒ වගේම ඒ දරුවෝ දෙන්නට අසීමිතව ආදරය කරන තාත්තා කෙනෙක්. ඒ වගේම තමයි දරුවෝ දෙන්නට කියලා තියෙන්නේ වැරැද්දක් කළොත් ඉස්සරලම අල්ලගෙන ගිහින් පොලීසියට බාර දෙන්නෙත් මේ තාත්තම තමයි කියලා . එයා කතාවෙන් කියන දේයි ක්‍රියාවෙන් කරන දේයි එකක් මිසක් දෙකක් තියෙන කෙනෙක් නොවෙයි.
දැන් ලොකු පුතා නම් උපාධිය ඉවර කරලා රැකියාවක නියුතු වෙනවා. පොඩි පුතාත් උපාධිය ඉවර කරලා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දෙන්නම දේශපාලනය ගැන එච්චර උනන්දු නෑ. තාත්තා දේශපාලනය කරන එක ගැන අකමැත්තකුත් නෑ. ගෞරවනීය තාත්ත කෙනෙක ඉන්න එක ගැන ඒ ගොල්ල හැමවෙලේම ආඩම්බර වෙනවා.
ප්‍රදීපා ගේ ගීත මේ රටේ ජනතාවගේ හිත පහන් කරා . අපට තාමත් මතකයි ඇගේ දූවිල්ලෙන් සැදුන ලියේ ගීතය
දූවිල්ලෙන් සැදුන ලියේ
බාලොලියේ බාල ලියේ...
ඒ විතරක්ද ? ඇය ප්‍රේමයේ මියුරු සංකල්පනා මැව්ව හැටි.
සුපෙම් හැඟුමි ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ...
මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ
ඊළඟට නාඩන් පුංචි හිරමනේ, නෙක උයන් වතු මැදින්, කොළොම් තොටින් නැවි නැග්ගා, ආදී වූ ගී අලංකාරය කෙතරම් මනරම්ද?
ඇය අතීතය දෙසම බලමින් සිටින්නියක නොවන වග පසක් කරමින් නවක ශිල්පීන් හා එක්වෙමින් කල නිර්මාණ ද බොහොමයකි.
අද නව පරපුරේ ඉතාමත් දක්ෂ ගායක ගායිකාවන් ඉන්නවා. නමුත් මා දකින එකම දෙය නම් ඔවුන්ට සංයමය හා ඉවසීම කියන එක අඩුයි. ඒ නිසා කාලය හොඳට අරගෙන ඉවසීමෙන් නිර්මාණකරණයට පෙළඹුණොත් ඔවුන්ට හොඳ කලක් උදා වේවි.
හේමාලි විජේරත්න
නිශ්ශංක විජේරත්න