දිරිය මවකට කළ උපහාරය ජීවිතය යළි ලදිමි

මාර්තු 11, 2021

දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර 74ක් පමණ ගෙවී ගියද තවමත් ඒ අඳුරු මතකයන් මානව සංහතියටම අමතක කළ නොහැකිව ඇත. ඒ නිසාම දෝ 2019 වසරේ වැඩියෙන්ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදානය බවට පත් වන්නේ ‘රෙස්කියුඩ් ෆ්‍රොම් ද ඈෂස්‘ (Rescued from the Ashes)  නමින් ලියෝකාඩියා ෂ්මිට් නැමැති යුදෙව් කාන්තාවක විසින් සිය මතක සටහන් එක් කොට ලියූ කෘතියයි. ඇය දෙවැනි ලෝක සංග්‍රාමයට මැදි වන්නේ 28 හැවිරිදි විවාහක ගැබිණියක ලෙසය. එමෙන්ම ෂ්මිට් උසස් අධ්‍යාපනය මෙන්ම ලිපිකරු පුහුණුවද ලැබූ මධ්‍යම පාන්තික කාන්තාවක් විය. ඇගේ ඒ මතක පොත ‘ජීවිතය යළි ලදිමි‘ - වෝර්සෝ ගෙටෝවේ සිර වූ මවකගේ දිනපොතින් ලෙස සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ විසිනි. 

සිළුමිණ පුවත්පතේ සම කර්තෘවරයකු සහ රසඳුන පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස ලේක්හවුස් ආයතනයේ සේවය කළ රෝහණ වෙත්තසිංහ පුවත්පත් කලා ජීවිතය ආරම්භ කළේ 1978 වසරේ ටයිම්ස් ආයතනයෙනි. පසුකලෙක ඔහු උපාලි පුවත්පත් සමාගමේද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේද සේවය කළේය. අද ඔහු සරසවි පොත්හලේ ප්‍රකාශන උපදේශකවරයකු ලෙස කටයුතු කරයි. මෙරට මුල්ම මුද්‍රිත තිරනාටකය වූ සතර දිගන්තය කෘතියේ තිරකතා රචකයා ද ඔහුය. එරන්ගේ ලෝකය හා ගිනිගත් සඳ ඔහු මීට පෙර පරිවර්තනය කළ කෘතීන් වේ.

ජර්මන් හමුදාවේ කෲරත්වය පිළිබඳ ෂ්මිට්ගේ මතක පරිවර්තක අතින් මෙසේ සිංහලට නැඟෙයි. "අප හැම කෙනකු තුළම බියජනක හැඟීම් ඇති කරමින් මුළු රැය පුරාම නිරන්තරව ඇසුණේ රයිෆල හා මැෂින් තුවක්කු වෙඩි හඬයි. හිටි අඩියේම හිතුවාට වඩා බොහෝ දේවල් සිදු වෙමින් තිබූ බැවින් බියෙන් අපගේ නහරවැලි හිරිවැටුණු ගානය. මා තුළ කිසිදු පණ නලක් නැති හෙම්බක් ස්වභාවයක් දැනිණි... වෝර්සෝ ගෙටෝව කඩාබිඳ දමන කාලය තුළ ජර්මානුවන් මෙම ස්ථානය උපයෝගී කරගත්තේ මිනිස් ගාලක් ලෙසිනි."

රෝහණ වෙත්තසිංහ සිය පරිවර්තන කටයුතු සඳහා කාන්තාවන් මූලික වූ කෘති වැඩි වශයෙන් තෝරා ගැනීමට හේතුව සිය මවගේ භූමිකාව තම මනස තුළ ඇති කළ ගෞරවය යැයි ඔහු සිතයි.

“මගේ අම්මාගේ චරිතය මම අගය කරනවා. අපිව නාලන්ද විද්‍යාලයට ඇතුළත් කරලා, ජීවිතයේ ඉහළට ගන්න ඇය දරපු වෑයම වගේම පවුලේ අවශ්‍යතා නොපිරිහෙළා ඉටු කරන්න ගත් උත්සාහය අතිශය ධෛර්යවන්තයි. එය සමහර විට දිරිය කාන්තාවන් කෙරෙහි මට ඇති ගෞරවණීය හැඟීමට මූලික වෙන්න පුළුවන්. ඒ වගේම මට ඉන්නෙත් දූවරු දෙදෙනෙක් නිසා කාන්තාවන්ගේ දිරිය, ඔවුන් දැඩි බාධය ජය ගන්නා ආකාරය පිළිබඳ මට විශාල හැඟීමක් තිබෙනවා.“

ලියෝකාඩියා ෂ්මිට්ද අතිශයින් දිරිය කාන්තාවකි. ගර්භණී සමයේ ඇරැඹි යුද්ධයට මුහුණ දෙමින්, පස්මස් දරුවකු කරපින්නාගෙන ජීවත්විය නොහැකි තැන්වල පවා නාසීන්ගෙන් බේරීමට දිවිගෙවමින්, ට්‍රන්කපෙට්ටි තුළ ගුලි වී හුස්ම නැතිව යනතුරු මඟ ගෙවා ගනිමින් දිවි රැකගන්නට තරම් දිරියක් තිබුණු කාන්තාවකි.

"... දරුවාද නොනින්දේම පසුවෙයි. ඔහු කුසගින්නේ සිටියද දෙන්නට කිසිවක් මා ළඟ තිබුණේ නැත. මෙම සීතල හිස් නිවෙසේ පොළොව මත තබා සිටි දරුවා ළඟ වාඩි වී මම මුළු රැය පුරාම හැඬුවෙමි. මා ඔළුවේ නහරවැල් ගැටගැහෙනතුරුම කල්පනා කළේ කළ යුත්තේ කුමක්ද- යා යුත්තේ කොහාටද යන කාරණයයි.... ඉතිරිව ඇත්තේ විසඳුම් දෙකක්ය යන අවසන් නිගමනයකට මම එළඹියෙමි. මා ස්වේච්ඡාවෙන්ම ජර්මානුවන්ට බාරවිය යුතුය. නැත්නම් සියදිවි නසා ගත යුතුය. මේ දෙකේම අවසන් පලය මරණයයි. මා කැමැති කුමන අන්දමේ මරණයකටද යන්න මම මා සමඟ තර්ක කරන්නට වීමි..."

තවත් අවස්ථාවක ඇයට සියදිවි නසාගන්නට තරම් සිතුණද එය මැඩගෙන ජීවිතය කෙසේ හෝ ජය ගන්නට, දරුවා අනාථ නිවාසයෙන් මුදවාගෙන තමන්ගේත් සැමියාගේත් උණුසුමේ හොවාගන්නට කෙසේ හෝ ජීවත් විය යුතු බවට ඇය තීරණය කළාය.

"මගේ හිතට වධ දුන් ප්‍රධාන කාරණය තවමත් පුංචි පැංචෙකු වූ මගේ දරුවායි. හැම අම්මෙකුම මුළු හදවතින්ම සිහින මවන 'මමා' කියන වචනය මගේ දරුවාගේ මුවිනුත් වරක් හෝ පිටවෙනවා අසන්නට මම බලවත් ආශාවකින් පසුවීමි. මෙවන් මනාසේ පිහිටි පුංචි මුහුණක් සහිත මේ සිඟිත්තාගේ අහිංසක දෑසට මේ වනතෙක් ලෝකයේ කිසිදු දෙයක් දැක ගැනීමට ලැබී නැත. ලෝකය විනාශයේ ප්‍රපාතය අද්දරටම ගෙන ආ මස් මරන්නකුගේ, ඝාතකයකුගේ හෝ මිනිස් මෘගයකුගේ හුදු හදිසි ආශාවක් නිසා මේ අහිංසක දෑස් සදහටම වසා දැමීමට ඉඩදිය හැකිද? නැත! සියදහස්වාරයක් නැත! මටද මැරෙන්නට අවශ්‍ය නැත..."

මේ පරිවර්තනය තුළ යුද්ධයක් අතර සිදුවන විවිධ ගසා කෑම්, වංචා දූෂණ ආදිය පිළිබඳවද වරින්වර කියැවේ. "...ෆ්‍රොගියර් අප වෙත පැමිණ කීවේ රැඳවුම් පොළේ පිටව යන ගේට්ටුවේ සිටි ජර්මන් රැකවලුන්ට 'සන්තෝෂම්' දී ඇති බැවින් රාත්‍රී අටෙන් පසු අපට පිට වී යා හැකි බවයි..."

එසේම මරණය අභියස සිටියදී පවා අනෙකා පරයා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නට කැසකවන මිනිස් ගතිය පිළිබඳ උපහාසයෙන් බලන්නට ගත්කතුවරිය ගත් උත්සාහය පරිවර්තකයාටද හොඳීන් හසුවී තිබේ.

"...මුළුතැන් ගෙය තුළදී මට දැක ගත හැකි වූයේ හිනා යන දර්ශනයකි. විවිධ අන්දමේ වළන්, තාච්චි, කේතල, රැගත් ගැහැනු තම වාරය එනතුරු දිගු පෝලිමක රැඳී සිටියහ. හැම දෙනකුම ඇසගසාගෙන සිටියේ තම තමන් එක්කාසු කරගත් දර කෑලි ටික කවුරුන් හෝ හොරකම් කරාවිය යන සැකයෙනි. මෙසේ දරකෑලි සොයාගන්නට වූයේ විශාල කරදරයක් හා මහන්සියක් විඳගෙනය. දොරවල්, අත්වැටවල්, කඩාබිඳ එම ලී කපන කොටන සද්දය හැම පැත්තෙන්ම ඇසෙන්නට විය. වැඩි වෙලා යන්නට මත්තෙන් එහි මුළු නිවෙසකම දොරවල් හෝ ලීයෙන් කළ කිසිදු දෙයක් ඉතිරි වී නොතිබිණ."

ලියොකාඩියාගේ මේ සියලු ජයග්‍රහණයන් පිටුපස ඇගේ සැමියා ජෝශෆ් ෂ්මිට්ය. සිය බිරියගේ මතක ශක්තිය හා ලේඛන හැකියාව පිළිබඳ යම් ඉවක් තිබූ ඔහු පෝලන්තයේ විසූ යුදෙව්වන්ට හිට්ලර්ගේ හමුදාවෙන් සිදුවන අඩන්තේට්ටම් පිළිබඳ ලියා තබන ලෙස පැවසීය. යුද්ධය නිම වී වෝර්සෝවට පැමිණි විට ඔවුන් මුලදී විසූ බෙල්වෙඩෙස්කා වීදියේ තහඩු වැඩපොළේ ඉස්ටෝරු කාමරයේ වළවල් හාරා ටින්වල අසුරා තැබූ මේ මතක ලියැවිලි හැර අන් කිසිවක් ඔවුන්ට හමු නොවීය. ඒ තහඩු වැඩපොළේ හිමිකරු වූ සිග්මන්ට් වැනි යුදෙව්වාදී අතිජාත මිත්‍රයකු නොවන්නට ඒ ටින්වල ඇසිරූ ලියකියවිලි වුව නැවත සිය සැමියා අතට පත් නොවන්නට ඉඩ තිබිණි. 

1945 වසර වන විට පියතුමකුගේ අනාථ නිවසින් පුතු සොයාගන්නටත් දරුවන් සමඟ ඇමෙරිකාවට ගොස් බොහෝ වයසට යනතුරු දරුමුනුපුරන් සමඟ සතුටින් දිවි ගෙවන මවුපියන් යුවළක් ලෙස කටයුතු කරන්නටත්, දහසකුත් එකක් බාධා, ලෙඩරෝග, මරණ බිය මැද රැකගන්නට සමත් වූ තම පවුල පිළිබඳ කතාව ෂ්මිට් ලීවේ ලෝකයටම ආදර්ශයක් සපයමිනි.

පරිවර්තන කලාව පිළිබඳ රෝහණ වෙත්තසිංහ මහතා පවසන්නේ මෙබන්දකි. “මට තිබෙන අත්දැකීම් සහ පාඨක ප්‍රතිචාර අනුව පරිවර්තනවලදී නිර්මානාත්මක නවකතා වැනි දේටත් වඩා රසිකයන් කැමැති සත්‍ය කතා පුවත් කියවන්න. අනෙක යථාර්ථවාදී කතාවලටත් බොහෝ දෙනාගේ කැමැත්තක් තිබෙනවා. අපටත් යුද්ධය පිළිබඳ අත්දැකීම් තිබුණා. ඒත් ඒවායේ මෙවැනි අතුරුකතා මේ අයුරින් මතු වුණේ නැහැ. යුදෙව් සංහාරය ගැනත් ඕනෑ තරම් පොත් ලියැවී තිබෙනවා. ඒත් මේ එහි වෙනත් අත්දැකීමක්. පාඨකයන් වගේම මමත් ආසයි මේ වැනි දේ පිළිබඳ යම් හැදෑරීමක් එයින් ලැබෙන නිසා. මේ පොත මට ලැබුණේ එහි සාරාංශය පිළිබඳ අන්තර්ජාලයෙන් සොයාගෙන කියවූ පසුවයි. මගේ මුල්ම පරිවර්තනය ‘ඒරන්ගේ ලෝකය‘ මට බාර දුන්නේ අපේ ආයතනාධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහත්මයා. ඒ 2018 වසරේ. එය රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශ වුණා. මගේ දෙවැනි පරිවර්තනය වූ ‘ගිනිගත් සඳ‘ කෘතිය ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශ වුණා වගේම මේ වන විට එහි තුන්වැනි මුද්‍රණයත් නිකුත් වී තිබෙනවා. එයින් ලද උත්තේජනය නිසා තමයි මේ කෘතිය මම පරිවර්තනය කළේ.“

කොරෝනා සමයේ ලද විවේකය ප්‍රයෝජනයට ගනිමින් ඔහු තවත් කෘති දෙකක් පරිවර්තනයට මුල පුරා ඇත. ඒ දෙවැනි ලෝක යුද සමයේ අතිශය දුක් විඳ ජීවිතය ජයගත් තවත් කුඩා දියණියන් දෙදෙනකු පිළිබඳ කතාවක් වූ ඊවා මෝසෙස්ගේ ට්වින්ස් ඔෆ් අවුස්වික් කෘතියේ පරිවර්තනය වන අවුස්වික්හි නිවුන් සොයුරියෝ සහ චිලි දේශය පිළිබඳවත් පැබ්ලෝ නෙරුඩා සම්බන්ධවත් ඓතිහාසික තොරතුරුද ඇතුළත් කොට ඉසබෙල් අය්යන්දේ විසින් රචිත ලෝන්ග් පෙටල් ඔෆ් ද සී කෘතියේ පරිවර්තනය වන සයුරුතෙර සහන් බිම යන කෘතීන් දෙකය.

රෝහණ වෙත්තසිංහ මහතා පොත් පිළිබඳ කීවේ මෙවැන්නකි. “කොයි තරම් තාක්ෂණය දියුණු වුණත් පොත් කියවන්නන් අඩු වන්නේ නැහැ. තවමත් පොත්වලට ආදරය කරන අය ඉන්නවා. මම නව තාක්ෂණය යොදා ගන්නේ පොත් පෝෂණය කරන්න මිස පොත් කියවන්න නෙවෙයි. ඒ වගේම මුල් කෘතියට උපරිම සාධාරණයක් වන අයුරින් එහි කොටස් ඉවත් නොකර පරිවර්තනය කරන්නයි මම උත්සාහ දරන්නේ. ලිංගිකත්වය වැනි දේ ඉස්මතු කරමින් පළවන කෘතිවලට වඩා ජීවිතය පිළිබඳ ධනාත්මකව සිතන්න පොලඹවන කෘති පරිවර්තනයට මගේ වැඩි අවධානයක් තිබෙනවා. අපේ රටේත් නිර්මාණය වන පොත් වෙනත් භාෂාවලට පරිවර්තනය කරන්න අදාළ බලධාරීන් මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙළක් යොදනවා නම් සහ උනන්දුවක් දක්වනවා නම් අපේ සාහිත්‍ය කෘතිවලටත් අන්තර්ජාතික වශයෙන් ඇගයීමක් ලබන්න අවස්ථාව උදාවනවාට සැකයක් නැහැ.“