පරිභෝජනවාදී සමාජයක ගොදුරු

ජූලි 8, 2021
“Josef and Maria”  නාට්‍යයෙන්

 

 

පූර්වයෙහි කී ලෙසින් බුද්ධික දමයන්තගේ "පුංචි ආදර බලකිරීමක්" සේමිණි ඉද්දමල්ගොඩගේ රංගන දිවියෙහි සංධිස්ථානයකි. එහෙත් වේදිකාවේ ඇයගේ කුලුඳුල් රැඟුම මෙය නොවීය. සේමිණි ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වා දෙන ලද්දේ එම්.සෆීර් විසිනි. ඒ ඔහු අධ්‍යක්ෂණය කළ "මම ඉපදුණේ ඊයේ නෙමෙයි" (2004) නාට්‍යයෙනි. එම්.සෆීර් වූ කලී දශකත්‍රයක කාලයක් පුරා මෙරට නාට්‍ය කලාවට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ නාට්‍යවේදියකි. ලාංකේය නාට්‍ය කලාවට නව්‍යාංග රැසක් එක් කිරීමට පුරෝගාමී වූ සෆීර්, නූතන අන්තර්ජාතික නාට්‍ය ප්‍රවණතා අරභයා පෘථුල අවබෝධයකින් සවිඥානක වෙමින්ද ඒවා වරින්වර මෙරට වේදිකාවේ අත්හදා බලමින්ද සහෘද පරිමණ්ඩලය (ර්‍ථභඡතඪජ ඵනඩඥපඥ) සම්ප්‍රසාරණය කිරීමට උත්සුක වූයේය. ඔහුගේ "මම ඉපදුණේ ඊයේ නෙමෙයි" නාට්‍යය සහෘදයාට නවමු සහානුභූතියක් රැගෙන ආවේය. මේ වූ කලී ඔස්ට්‍රියානු ජාතික පීටර් ටුරේනිගේ "බ්ධඵඥට චදඤ ර්චපඪච" (1980) (1999 වසරේ යළිත් මේ නාට්‍යය සංශෝධනය කෙරිණ) නාට්‍යයේ පරිවර්තනයකි. ආචාර්ය අශෝක ද සොයිසා මෙය සිංහලයට නැඟූවේය. ජර්මානු බසින් සෘජුවම මෙය සිංහල බසට පරිවර්තනය වූ නාට්‍යයකි. "ධ්දබපචජබ"අන්තර් ක්‍රියාකාරී රංග කලා සාමූහිකයේ ඉදිරිපත් කිරීමක් වූ "මම ඉපදුණේ ඊයේ නෙමෙයි" නාට්‍යයෙහි දක්නා ලැබුණේ ජෝසෆ් සහ මරියා නම් වූ චරිත ද්වය පමණි. මේ නාමකරණය සහෘදයාට සිහිපත් කරනුයේ ක්‍රිස්තුන් වහන්සේගේ දෙමවුපියන්ය. එහෙත් කිතුනු සමය හා මේ නාට්‍යයෙහි තේමාවෙහි සෘජු සබඳතාවක් නැති. මෙහි ජෝසෆ් සහ මරියා වූ කලී සුපිරි වෙළඳසැලක සුළු සේවකයන් දෙදෙනෙකි. නාට්‍යය ඇරැඹෙනුයේ නත්තල් දිනට පෙර දිනය එනම් දෙසැම්බර් 24 වැනිදාය.

සුපිරි වෙළෙඳසැලේ සෙසු සියලු සේවක සේවිකාවෝ නත්තල් දිනය හේතුකොට නිවාඩු ලබා සිටියහ. සමාජීය ජීවිතයෙන් හුදෙකලා වූ ජෝසෆ් සහ මරියා යන මේ මහලු යුවළ පමණක් නිවාඩු නොගෙන එහි සේවය කරනු පිණිස තනි වෙති. ඔවුන්ට අවශේෂ සේවක, සේවිකාවන්ට මෙන් නත්තල සැමරීමට පතිරූපදේස වාසයක් නොමැත. ජෝසෆ් මේ සුපිරි වෙළෙඳසැල හි මුරකරුය. මරියා මෙහි ශෝධිකාවකි. සුපිරි වෙළඳසැල ඇතුළත හුදෙකලා වූ මේ මහලු යුවළ එකිනෙකාගේ අදහස්, අත්දැකීම් හුවමාරු කොට ගනිති. ජෝසෆ් වූ කලී මාක්ස්වාදී මතවාදවලින් මඩනා ලද්දෙකි. ජෝසෆ් තම ජීවිතයෙන් වැඩි කාලයක් පුරා සමාජවාදී දේශපාලන නායකයන්ගේ හොරණෑවක් බවට පත්වෙමින් ඔවුන් හට ගැතිකම් කළා විනා ඔහුට ඉන් අත් වූ සෙතක් නොමැත.

මරියා හිට්ලර්ගේ නාසි හමුදාවේ සේවය කළ ගැහැනියකි. එහිදී ඇගේ රැකියාව වූයේ හමුදා නිලධාරීන්ගේ රෙදි මැදීමය. විවාහයෙන් මරියාට පුතකු ලැබුණු නමුත් ඔහු වැඩිවියට පත්වීමෙන් පසුව මව නොතකා හැරියේය.එහෙයින් මරියා හුදෙකලා වූ ස්ත්‍රියක බවට පත්විය. මේ දෙදෙනාගේ සුසංවාදය ඔස්සේ ජීවිතය,ප්‍රේමය හා දේශපාලනය පිළිබඳ ගැඹුරින් විවරණය කිරීමට සෆීර් සමත් වේ. ඒවා අන්‍යෝන්‍ය ප්‍රතිබාධන (ර්භබභචත පඥඵබපචඪදබ) ස්වරූපයේ මතවාද වූවත් තර්ක, විතර්ක, විසංවාද නැඟීමෙන් දෙදෙනාටම එකඟ විය හැකි පොදු මතවාදයකට ළඟා වීමට අවසන ඔවුන් හට හැකි වේ. ධනේශ්වර පරිභෝජනවාදී දිශානතියෙහි (ඛ්ධදඵභථඥප ධපඪඥදබඥඤ) සමාජ ව්‍යුහයක විෂමතාවෙන්, පීඩනයෙන්, ආර්ථික සූරාකෑමෙන් මිනිස් ජීවිත වෙනස් වන ආකාරය මෙයින් මැනවින් නිරූපිත වේ. දෙසැම්බර් 25 වැනිදා උදෑසන නත්තල් දිනය උදාවත් සමඟ නාට්‍යය අවසන් වේ. මහලු වියට එළඹුණු පසුව බොහෝ දෙමවුපියන් වැඩිහිටි නිවාසවල හෝ තමන්ගේම නිවෙස්වල හෝ හුදෙකලා වීම මෙරටද දක්නා ලැබෙන සමාජ ගැටලුවකි.

"මම ඉපදුණේ ඊයේ නෙමෙයි" හී ජෝසෆ් සහ මරියා යන මේ භූමිකා ද්වය නිරූපණය කළෝ උදේනි අල්විස් සහ සේමිණි ඉද්දමල්ගොඩය. උදේනිටත් සේමිණිටත් මෙය අභියෝගාත්මක භූමිකා වූ බැව් පෙනේ. ඊට එක් හේතුවක් වූයේ එවක තාරුණ්‍යයේ සිටි ඔවුන් හට මහලු යුවළකගේ භූමිකා මේ ඔස්සේ රඟපෑමට සිදු වූ නිසාවෙනි. සතර අභිනය මහලු විය මැනවින් කුළුගන්වනු පිණිස ඔවුහු උපයුක්ත කොට ගත්හ.

අංග රචනයෙන් සුමේධ හේවාවිතාරණ, හඬ පාලනයෙන් සංජීව උපේන්ද්‍ර,නර්තන නිර්මාණයෙන් නිලාන් මලිගැස්පේ, වේදිකා කළමනාකරණයෙන් නාලක ජිතේන්ද්‍ර, ඇඳුම් නිර්මාණයෙන් හේමන්ත ප්‍රසාද්, ඡායාරූපකරණයෙන් උදේනි අල්විස්, රංගාලෝක රචනයෙන් වසන්ත කුමාර මේ නිර්මාණය උදෙසා දායක වූහ. අධ්‍යක්ෂණය හැරුණු විට පසුතල නිර්මාණයද එම්. සෆීර්ගෙනි. සුපිරි වෙළෙඳසැලක පසුතලයක් මුළු නාට්‍යය පුරාම දක්නට ලැබෙන අතර එය මුළුමනින්ම සුදු පැහැති වස්ත්‍රවලින් පමණක් සරසා තිබීම විශේෂත්වයකි.

ප්‍රවීණ නාට්‍යවේදී, සාහිත්‍යවේදී කපිල කුමාර කාලිංගයන් "මම ඉපදුණේ ඊයේ නෙමෙයි" නාට්‍යය අරභයා ලියූ විචාරයෙහි මේ උද්ධෘතය උපුටා දක්වනු වටී.

පීටර් ටුරේනි

"උණුසුම් වූ මානව දයාවෙන් යුතු වූ ඔවුන්ගේ පාපොච්චාරණ දෙස බලා සිටිය හැකිය. මේ සීතල සැන්දෑවේ පාළු වෙළඳසැල තුළ මරියා හා ජෝසෆ් එකිනෙකා වැලඳ රඟන්නට වෙද්දී ජීවිතයේ අන්ධකාර පැතිකඩක් වෙත ආලෝක ධාරාවක් එල්ල කිරීමට ටුරේනි සමත් වෙයි. එය මිනිස් ස්වභාවය පිළිබඳ සංවේද ජාලයක් අවුළුවා සත්‍යය සාක්ෂාත් කර ගැනීමට දරන ප්‍රයත්නයක් බවට පත් වෙයි. කුසීතව මුළුගැන්වී සිටි මිනිස් හැඟීම් ආදරයේ උණුසුම් සුසුමින් ස්පර්ශ කරන්නට ආරාධනා කරයි. මරියා සහ ජෝසෆ් දේශ සීමා පැන අවුත් අපගේ අසල්වැසියන් හෝ අපේ වැඩිමහල් දන්නා හඳුනන අය බවට පත් වන්නේ මෙතැනදීය. පීටර් ටුරේනිගේ නාටකය, අශෝක ද සොයිසාගේ සිංහල පරිවර්තනය, අපූර්ව නාටකීය අත්දැකීමක් බවට පත් කරන්නට එහි නිෂ්පාදක එම්. සෆීර් සමත්ව සිටියි. වේදිකාවේදී පෙන්වා ඇති ගති ස්වභාවය අනුවද දඩබ්බරයකු වන සෆීර් මෙම නාටකයේ දී තරමක් විනයගරුක,වියපත් පුරවැසියකු බවට පත්ව සිටියි. පාරිභෝගික සමාජයේ ගොදුරු බවට පත්ව,අබල දුබලව සිටින ජෝසෆ්ලා සහ මරියාලා ප්‍රේක්ෂකාගාරයේ තැන තැන සිට නැගිටිති. සරදම් සිනාවක් ආලේප වූ සියුම් ශෝකයක් මසිත පුරා තැන්පත් වෙයි. ජීවිතය පිළිබඳ ගැඹුරු අත්දැකීමක් සමඟ මම රඟහලෙන් පිටවෙමි. පීටර් ටුරේනිද මා මා අත් නොහැරම මා පසෙකින් හැව්ලොක් ටවුම දෙසට ගමන් කරන්නාක් මෙන් දැනෙයි."

ඉතිරි කොටස ලබන සතියේ...