වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
මිහිලියගේ තුනු සපුව පුරා

ඩබ්. ප්‍රේමරත්නගේ තෙවැනි ගුණ සමරුව වෙනුවෙනි
ඩබ් ප්‍රේමරත්න යන නාමය ගැන ඔබට මට ඇත්තේ විචිත්‍ර මතයකයකි. ඉතා සුන්දර ගිත නිර්මාණ දෙසීයකට වැඩි ගණනක් රටට දායද කළ මේ නිහඬ මිනිසාගේ සමු ගැනීම සිදුවී අගෝස්තු 8 වැනිදාට වසර තුනකි. මේ මිහිමත ගෙවූ වසර 75 පුරාම ඔහු ජීවත් වූයේ ගීතය සමඟිනි. පුහු ආටෝප යාන වාහන විසල් මන්දිර ආදි සැප සම්පත් ඔහු ගොඩනැඟූ දිවියේ අහලකවත් තිබුණේ නැත. අදරණීය බිරිය හා දියණියන් දෙදෙනා හැර මේ මිහිමත හැර දමා යන්න බැරි සම්පත් වූවා නම් ඒ ඔහු ඒක්රැස් කළ ඔහුගේම ගීත පමණි. අම රස ගී රසයෙන් රසිකයා පිනවමින් ඉතා නිහඬ දිවියක් ගත කළ සුරම්‍ය හඩකට හිමිකරුවා නිහඩවම යන්නට ගියේය. නික්මයාමෙන් පසු ඔහු වෙනුවෙන් මේ මිහිමත විසල් ස්මාරක ගොඩ නැගුණේ ද නැත. ජිවත්ව සිටියදී එවන් දෙයට ලොබ නොබැඳී ඩබ්. ප්‍රේමරත්නයන් මරණින් මතු ඒවන් දේ නොපතන්නට ද ඇත. සංගීතය හැර බොහෝ දේ නොපැතුවා සේම බොහෝ දේ නොලද ඔහු නිහඬ දිවියක් ගත කර නිහඩවම යන්නට ගියේය. ඒ ලෙසින් යන්නට ගිය ද ඔහු ඉතිරිකර ගිය ගීත කිසිදාක නිහඬ වන්නේ නැත. එම ගී කිසිදා අප හැර යන්නේ ද නැත. වටිනාකම එයයි. මරණින් මතුව ද උපන් බිමෙහි මිනිසුන් වෙත දෙයක් ඉතිරි කර යන්නේ සුවිශේෂී මිනිසුන් පමණි. ඩබ්. ප්‍රේමරත්නයන් ද එවන් සුවිශේෂී මිනිසෙකි. අප යළි යළිදු ඔහු ගැන කතා කරන්නේ ද එබැවිණි.
1943 කොළොන්නාව ප්‍රදේශයේ උපත ලබන ඩබ් ප්‍රේමරත්න ගොතටුව කජුගහවත්ත ප්‍රදේශයේ සිය දිවිය ගෙවන්නට විය. ඔහු ගායන දිවියට පිවිසෙන්නේ ජනප්‍රිය සංගීතයේ සුවිශේෂ චරිත බිහිවූ 60 දශකයේය. එවකට අතිශය ජනප්‍රිය ගායිකාවක වූ ජි.එස්. බී. රාණි පෙරර්රා ඩබ්. ප්රේමරත්නගෙ ගායන දිවියේ පළමු සහාය ගායිකාව විය. ඩබ්. ප්‍රේමරත්න, ජි.ඒස්. බී. රාණි පෙරේරා සමඟ ගැයූ 'අපි පොඩි කාලේ සිට බැඳී ආලේ' ගීතය 60 දශකයේ අතිශයින්ම ජනප්‍රිය විය. එම යුගයේ එක් ගීතයක් ජනප්‍රිය වූ පමණින් එක රැයකින් ජනප්‍රිය ගායකයන් බිහිවීමේ ක්‍රමයක් නොපැවතුණි. අපූර්ව ගායන හැකියාවක් උරුම කරගත් ප්‍රේමරත්න වටා රසික රසිකාවියන් පොදි ගැසුණේ ද නැත. මාධ්‍ය ඔහු පසුපස හඹා ආවේ ද නැත. අද කාලේ මෙන් ඔහුගේ පෞද්ගලික ජීවිතය අලළා ගොසිප් නිර්මාණය වූයේද නැත. ඒ් එම යුගයේ හැටිය. සැබෑව නම් එක් ගීතයක් ජනප්‍රිය වූවාට තව දුරටත් ඔහු පෙර සිටි සරල සාමාන්‍ය මිනිසාම විය. ඉන් ඉක්බිතිව ඔහුට ගමන් කරන්නට පාවඩ ඇතිරූ මාවතක් නම් ඉදි වූයේ නැත. ඔහු එවන් දෙය අපේක්ෂා කළේ ද නැත. ගීතයක් ගයා ලබන ආත්ම තෘප්තිය කිසිදාක මුදලට සම නොකළ ඩබ්. ප්‍රේමරත්න අර්ථපරිසමාප්තියෙන්ම සැබෑ කලාකරුවෙක් ම විය . උපතින් ගෙනා ගායන හැකියාව ඩී. ඩී. ඩැනී සහ ආර්. ඒ චන්ද්‍රෙස්න යන ගුරුවරුන් යටතේ ඔප දමාගත් ප්‍රේමරත්නයන් ගමනාගමන මණ්ඩලයේ ටිකට් පරීක්ෂකවරයෙකු ලෙස රැකියාවක් තෝරා ගන්නා ලදී. ගීත ගායනය කිසිදා ජිවන වෘත්තිය කර නොගත් මේ මිනිසා ගීත ගායනය සිය මුළු දිවියම කර ගත්තේය.
ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකු ලෙස සමත් වන ඩබ්. ප්‍රේමරත්න ස්වදේශීය සේවයේ බී ශ්‍රේණියේ ගායන ශිල්පියකු බවට පත්විය. සිය ජිවිත කාලය පුරා 250 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගයා ඇති ප්‍රේමරත්නයන් ගැයූ ගී වලින් බොහොමයක් රසිකයන් ආදරයෙන් වැලඳගත් ගීත බවට පත්විය. මිරිඟුව චිත්‍රපටයේ 'මිහි ලියගේ තුණු සපුව පුරා' ගිතයෙන් චිත්‍රපට ගායනයට පිවිසෙන ඔහු සැපත සොයා, නයනා, කිංකිණි නාද, යළි ඉපිදේ, සෙලීනාගේ වළව්ව, හිත හොඳ නම් වරදින්නෙ නෑ, අකුණුපහර ආදී චිත්‍රපට 11 පසුබිම් ගායනයෙන් එකවී ඇත. ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් වෙනුවෙන් පසුබිම් ගායනයේ යෙදුණ ඔහු එවකට සුවිශේෂ ගායන තරුවක් විය. එහෙත් ඔහු ඈත අහසේ දිලෙන තරුවක් නොව මේ මහ පොළොව මත දිවි ගෙවූ තරුවක් විය . එකී සරලත්වය ඔහුගේ අනන්‍යතාවයි. ජී. එස්. බී. රාණි පෙරේරා, ලතා වල්පොල පටන් ස්වර්ණලතා කවීෂ්වර, යමුනා විනෝදනී, මායා දමයන්ති, උරේෂා රවිහාරි යන ගායිකාවන් දක්වා ප්‍රේමරත්න සමඟින් යුග ගී ගයා ඇත . එපමණක් නොව මොහිදින් බෙග්, හරූන් ලන්ත්‍රා, මිල්ටන් පෙරේරා, ප්‍රියා සූරියසේන, ආදී ගායන ශිල්පීන් සමඟත් ප්‍රේමරත්න යුග ගී ගයා ඇත. ගීත කැසට් පට ජනප්‍රිය සමයේ ගීත කැසට් පට වෙත යොමු වුණ බඩ් ප්‍රේමරත්න පුන්කලස, රිදී කුමාරි, භක්තිපූජා ප්‍රෙම් ගී මදාරා මල්මද කුමාරි, ජෝති ගී රස, ඈත චන්දන හිමේ, සාගර මත සෑ කිරණ, ආදී රසාලිප්ත ගී ඇතුළත් ගීත කැසට් 8 ක් රසිකයන් වෙත තිළිණ කර ඇත. සුදු සුව සුදු ඇඳලා, ඈත චන්දන හිමේ, මිහි ලියගේ තුණු සපුව, යන ගීත සංයුක්ත තැටි ද ප්‍රේමරත්න විසින් නිකුත් කර ඇත.
චාම් දිවියක් ගතකළ ප්‍රේමරත්නයන්ගේ දිවිය ආදරයෙන් සහ දයාවෙන් හැඩකරන්නිය දයා අමරසේකරයි. සිය දිවිය සරි ප්‍රිය බිරිය හා ඩබ්. හංසි ප්රභාෂිනි, ඩබ්. චානිකා සංදීපනී යන දියණියන් දෙදෙනා සමඟ ගෙවූ දිවිය ද ඔහු තරම් ම සරල සුන්දර එකක් විය. 2004 වර්ෂය එක් දවසක මේ සුන්දර පුංචි පවුල අරා වියෝගයක ගිනි ඇවිළෙන්නේ නොසිතූ ලෙසින් ය. සිය ජීවිතය තරම්ම ආදරය කළ බාල දියණිය 2004 දී ඩෙංගු රෝගයෙන් මිය යෑම ඔහුට දරාගත නොහැකි දුකක් ම විය. කීර්ති ප්‍රශංසා දුක සැප සම සිතින් විදගත් චාම් මිනිසාගෙ සුපුරුදු නිහඬ දිවිය තවත් නිහඬ වූයේ ඉන් පසුවය. සිත පිරුණ දුක දරාගෙන ඩබ්. ප්‍රේමරත්න ගැයූ සුදු දුව සුදු ඇඳලා ගීතයේ අද ද ඔහු සිත තුළ පොදි ගැසුණ දුක්බර හැඟුමක සුවඳ ඇත. සිය දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය ගුරු සේවයට දායාද කළ ප්‍රේමරත්නයන් රැකියාවෙන් ද විශ්‍රාම ලැබූව ද ප්‍රාසංග වේදිකා පසුපස හඹා ගියේ නම් නැත. ඉඳහිට
ලැබෙන ඇරැයුමක් නිහමානී සිතින් බාරගන්නා කුමන විදිහේ ජීවිතයක් ගත කළත් අප මෙලොවට ආවා සේම ආපසු යන්නට සිදුවනවා යන දහම ශපථ කරමින් 2018 අගෝස්තු 8 වෙනිදා කොළඹ ජාතික රෝහලේදී ප්‍රේමරත්නයන් සිය දිවිය නිමා කළේය. ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්. ප්‍රේමරත්නයන්ගේ වියෝගයෙන් තුන් වසරක් සපිරෙන 2021 අගෝස්තු 8 වෙනිදා ඔහුගේ බිරිය, දියණිය, බෑනා සහ පවුලේ සමීපතමයන් විසින් ඩබ් ප්‍රේමරත්නයන්ගේ ගුණ සමරා තෙවර්ෂපූර්ණ ගුණ සමරු පිංකමක් සංවිධානය කර ඇත.
තොරතුරු සැපයිම වෙනුවෙන් ස්තූතිය -
ශ්‍යාම් සංජීව කනගරත්න මහතාට