වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
කොවිඩ් නැති කාලේ ඒඩ්ස් ගැන කිව්ව තාලේ

කොවිඩ් වසංගතය අවසන් වන ලකුණු පහළ වෙමින් තිබෙනවාය කියන එක එක්තරා ආකාරයක සතුටු දායක කතාවක්. ඉතින් අපට හිතුණා මේ පාර යාං හෑල්ලට මෙයට අවුරුදු තිහකට විතර ඉස්සර ඒ කියන්නේ 1981 -82 විතර කතාවක් කියන්න. ඒ කාලෙත් මේ වගේ රෝගයක් පැතිරෙනවා කියලා කට්ටිය ගල් ගැහිලා හිටියා. ඒකට රටවල් නම් වැහුවේ නෑ. හැබැයි කට්ටිය තමන්ම ලොක්ඩවුන් කරගත්තා. ඒ තමයි ඒඩ්ස් රෝගය ලෝකයට හදුන්වා දුන් අවස්ථාව. ඒඩ්ස් නමින් රෝගයක් ලෝකය පුරා පැතිර යනවාය ඒකට ගොදුරු වුණොත් අනිවාර්යනේම මැරෙනවාය කියලා කතාවක් ඒ දවස්වල පැතිරුණා. ඒක හැදුණ කෙනෙක් තව කෙනෙකුට ඒක බෝ කරලා තමයි මැරෙන්නේ ආදි වශයෙන් කටකතා හැමතැනම පැතිරුණා. එයටත් වඩා ඒ කාලයේ එය සමාජයේ එළිපිට කතා නොකරන ලෙඩක් නිසා තවත් ඒ ගැන මත හැමතැනම පැතිරුණා.
ඉස්සර කොණ්ඩෙ කපන්න ගියාම තිබුණ දැලි පිහිය කාගෙත් වෙනසක් නෑ කාගෙ කොණ්ඩෙ ඒකෙන් කැපුවත්. හැබැයි ඒඩ්ස් රෝගියකුගේ ලේ එහි තැවරුණොත් අනිත් එකාටත් ඒඩ්ස් හැදෙනවා කියන කතාව නිසා ඉතිහාසයක් පුරා තිබුණ දැලි පිහිය බාබර් සාප්පුවෙන් ඉවත් වුණා. ඉස්සර තිබුණේ කාගේ හරි කොණ්ඩෙ කැපුවට පස්සේ දැලි පිහිය අර ගෙන බාබර් සාප්පුවේ තිබුණු හම්පටියක ගාලා ආපහු ඒක මුවහත් කරවා ගන්නා වගේ වැඩක්. චටස් පාටස් ගාලා ඒක මුවහත් තියන විධියත් සුලභ කාරණයක්. එයිට පස්සේ බ්ලේඩ් එක දැලි පිහියට හයි කරලා එකිනෙකාට වෙන වෙනම බ්ලේඩ් කෑලි හයි කරන්න පටන් ගත්තේ ඒඩ්ස් පැතිරෙනවා කියන කතාවත් එක්ක. නිකම් ගෑවුණත් ඒඩ්ස් හැදෙනවා කියලා තමයි කතාව ගියේ. ඔය මෑතකත් කුලියාපිටිය පැත්තේ හාදයෙනක් ඒඩ්ස් හුළඟින් බෝවෙනවා කියලා ලෝකෙටම ඇහෙන්න කියලා මුළු ගම් පළාතටම ඉතිහාසයේ නැති නම්බුවක් අරන් දුන්නා මතකනේ. එතකොට ඒ ලෙඩේ ලෝකෙට ආපු කාලේ කොහොම ඇතිද කියලා මතක් කර ගන්න හොඳයි. අද වගේ විස්තර කියන්න ක්‍රම තිබුණෙත් නැහැ. පත්තරේක ගියොත් විතරයි. ඒ කාලේ ඉතින් ඔය මාධ්‍ය සාකච්ඡා තිබුණෙත් නෑ. කවුරු කවුරුත් කියන එක තමයි ලොකුම ප්‍රවෘත්තිය. මේ හින්දාම ඒඩ්ස් කිව්වම හුළඟෙන් වතුරෙන් පවා බෝවෙන ගතියක් තමයි තිබුණේ. ඔන්න ඒ කාලේ අපේ අග්‍රගණ්‍ය රංගවේදියකු වූ ජයලත් මනෝරත්න පදිංචි වෙලා සිටියේ නාරාහේන්පිට, පොල්හේන්ගොඩ නිවහනක. නවාතැන මොකෝ ඕක බෝඩිමක්. නැත්නම් චමරියක්. ඒ කාලයේ ඔය වගේ චමරි වැහි වැහැලා. බෝඩිමක් කියන්නේ බොහෝ විට කවුරු හරි පාලකයකු ඉන්නවා. හැබැයි චමරියක එයට වඩා වෙනස්. ඒක කවුරු හරි අර ගන්නවා. ඉතින් එතැන ඉන්න ගාණට වඩා වැඩියි නිතර එහි යන එන අය. සාමාන්‍යයෙන් බෝඩිමක හදිසියේවත් යාළුවෙක් මිත්‍රයෙක් නෑයෙක් නවාතැන් ගන්නට බැරිවුණාට චමරියක එහෙම නැහැ. දන්නා කියන ඕනෑම කෙනෙකුට දොර ඇරිලා. ඒ වගේම ඒවායේ තියෙනවා ඔය අහසින් කඩන් පාත් වෙන අයට ඇඳගන්න සරමක් එහෙම. ඔය රාජගිරිය පැත්තේ එහෙම තැනක් තිබුණා. ඒකේ තිබුණේ එක ඇඳයි. සාමාන්‍යයෙන් නිදා ගන්න පුළුවන් දෙන්නයි. සමහරවිට අට දෙනෙක් විතර නිදා ගන්නවා. හැමදාම හැම විටම ලිපේ අල ගෙඩියක්වත් තැම්බෙනවා. ඒකෙ හිටපු අය දැන් රටේ ලොකු ලොකු තැන්වල වැජඹෙනවා.
ඉතින් මේ කියන චමරිය අර ගෙන තිබුණේ මනෝරත්න මහත්තයා. ඒ වගේම කලක් ජාතික රූපවාහිනියේ ඉහළම තැනකත් හිටපු දක්ෂ මාධ්‍යවේදියකුත් වුණ සිසිර කොතලාවල මහත්තයාත්. අද මේ දෙන්නාම ජීවතුන් අතර නැහැ. මේ කියන කාලයේ මනෝරත්නයන් සේවය කළේ මහවැලි කේන්ද්‍රයේ. ඒ වන විටත් වේදිකාවේ හොඳ නමක් මනෝරත්නයන්ට තිබුණා. ඒ විතරක් නෙවේ. ලේඛකයකු හැටියටත් නමක් තිබුණා. ජාතික රූපවාහිනියේ ආරම්භක සේවකයකු වූ සිසිරත් ඒ වන විට හිටියේ පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයේ සංස්කරණ ශිල්පියකු හැටියට. මේ චමරියේ තව දෙන්නෙක් විතර හිටියා. එයින් එක් අයෙක් එවකට තරුණ නාට්‍යකරුවකු වූ සෝමපාල පතිරගේ. මේ නිත්‍ය සාමාජිකයන්ට අමතරව එහේ රෑ ගත කරන්නට ඉඳහිට එන කිහිප දෙනෙක් හිටියා. ඒ අයත් ඔය ගම් පළාත්වල ඉඳලා හදිසි වැඩකට කොළඹ ආවාම ආපහු යන්ඩ විධියක් නැතිව එහෙ රෑ ගත කරන යාළු මිත්‍රයො. එහෙම ඇවිත් ගිය කෙනෙක් ඒ වන විට දවස පත්තරේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක්. නැත්නම් රිපෝටර් කෙනෙක්. පසුව ඔහු ජාතික පුවත්පතක සේවයට ඇවිත් එතැනින් තවත් ආයතනයකට ගිහින් එහි ජාතික පුවත්පතේ ප්‍රධාන කර්තෘ වෙලා දැන් විශ්‍රාමිකයි. ඒ වගේම ඔහු ඉහළම ජනප්‍රිය සිනමා විචාරකයෙක්. තවත් පොඩ්ඩක් ඉඟියක් දෙනවා නම් ලංකාවේ රාජ වංශයේ වැඩියෙන්ම රජවරුන්ගේ නමට තියෙන්නේ මේ මහත්තයාගේ නමේ කෑල්ලක්. ඉතින් එක් දවසක රිපෝටර් මහත්තයා කොළඹ රාජකාරි වගයකට ඇවිත් රෑ බෝවුණාම පුරුදු තැන හින්දා වැටිලා නිදාගන්න හිතාගෙන මේ චමරියට ආවා. රිපෝටර් මහත්තයාගේ මෙතැන යාළුකම තිබුණේ සිසිර කොතලාවලත් එක්ක. එක ගමේ. හැබැයි දැන් එතැනට ඇවිත් පුරුදු කම කොච්චර ද කිව්වොත් එයත් එතැන සාමාජිකයෙක් වගේ ඒ වගේම නෑ වගේ. ඉතින් එදා වැහි දවසක් . අපේ මහත්තයා මේ චමරියට ආවා. වට පිට බැලුවා. වැලක සරමක් තිබුණා. අයිතිකරයෙක් පේන්න හිටියෙත් නෑ. සාමාන්‍යයෙන් මේ වගේ ඇදුම් මෙහෙම තියෙන්නේ ජනතා සන්තක පොදු දේපොළ නිසා බව අත්දැකිමෙන් දන්න මහත්තයා කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඇඳ ගත්තා. ඊට පස්සේ රෑට කෑම ටිකක් කාලා එහෙම ගෙදර ඉස්සරහ තියෙන පුටුවක වාඩිවෙලා සිසිරත් එක්ක ආගිය කතා කිය කියා හිටියා. ඔන්න ඒ ටික වේලාවක් යනකොට ජයලත් මනෝරත්න මහත්තයා ගෙදරට ආවා.
මනෝ අපේ මිත්‍රයෝ දැක්ක ගමන් බොහොම සතුටු වුණා.
අම්මේ මේ දැන් ද ආවේ .
නෑ මනෝ ටිකක් වේලා.
මට හම්බ වෙන්නත් වුවමනාවක් තිබුණා. .
මනෝරත්නයන් පැවසුවා.
ඉතින් මේ සුහද කතා බහෙන් පස්සේ මනෝරත්නයන් ගියේ ඇඳුම් මාරු කරගෙන මේ කතාබහට එනවායි කියාගෙන. හැබැයි එහෙම යන්න ගිය මනෝරත්නයන් එක පාරටම නැවතුණා.
මේ ඔයා අරං ඇදන් ඉන්නේ මෙහෙ හිටපු රන්ජිත්ගේ සරමක් නේද?
එක්වරම මනෝ ඇහුවා. අපේ පත්තර මිතුරා හිනාවුණා. රන්ජිත් කියන්නේ එහේ හිටපු තවත් නිත්‍ය පදිංචි කාරයෙක්. හැබැයි අද එයා හිටියේ නැහැ.
ඔව් මනෝ අය්යා තිබුණා මං ඇඳ ගත්තා
වෙනදා එය සාමාන්‍ය දෙයක් බව මනෝරත්නත් දන්නවා. ඒ නිසා මිතුරාට එය ගාණක් නෑ.. නැවතත් නිවෙස ඇතුළට යන්නට ගිය මනෝ ආපහු නැවතුණා.
නෑ මං කිව්වේ මේ රන්ජිත්ගේ සරම නේද ? සිසිර උඔ යාළුවාට කිව්වේ නැත්ද?
මනෝ එහෙම ඇාහුවාම අපේ රිපෝටර් මහත්තයාටත් නිකම් මොකද්ද වගේ හිතුණා.
මට ඒක කියන්ඩ බැරි වුණා මචං
සිසිර පැවසුවේ පශ්චාත්තාප වන ආකාරයෙන්.
මනෝ අය්යා මේ සරම ඇන්ද එක ලෙඩක්ද?
බැරිම තැන කුතුහලයත් එක්ක රිපෝටර් මහත්තයා ඇහුවා.
නෑ. නෑ කිසිම ප්‍රශ්නයක් නෑ
මනෝ ගේ ඇතුළට ගියේ ඒකත් නිකම් අමුතු විධියට කියාගෙන. දැන් රිපෝටර් මහත්තයාට තවත් ප්‍රශ්නයක්. ඒ කියපු විධිය මිනිහාගේ හිතට ඇල්ලුවේ නෑ. ඒගමන් ටික වේලාවක් හිටපු සිසිර ගේ ඇතුළට ගියා.
ටික වෙලාවකින් රිපෝටර් මහත්තයාත් ගේ ඇතුළට යන කොට සිසිර කොතලාවලත්, සෝමපාල පතිරගේත්, මනෝරත්නත් කාමරයකට වෙලා බැණ ගන්නවා ඇහුණා.
ඇයි උඔ ඒ අහිංසකයට කිව්වේ නැත්තේ.
මනෝරත්නයන් අනිත් දෙදෙනාට තදින් දොස් කියනවා.
මම කියන්න කලින් ඌ ඒක ඇඳගෙන.
මම කිව්වනේ බං අර ඒඩ්ස් කියලා රිපෝට් එක ආපු ගමන් ඌව මෙහෙන් පැන්නුවා. මං කිව්වෙ උගේ බඩු ටික පුච්චන්න කියලා උඔල ඒක කරන්නේ නැතිව අර ආපු එකාට ඒක අඳීන්න දුන්නා. දැන් ඒ යකාට මොකද වෙන්නේ.
මේක කනින් කොනින් අහපු ගමන් රිපෝටර් මිත්‍රයාට හීං දාඩිය දැම්මා.
පව් යකෝ. උඹලට ඒ අහිංසකයට කියන්ඩ තිබුණනේ. දැන් ඌ දන්නේ නැතුව ඒ සරම ඇඳන් ඉන්නවා. ඔය ඒඩ්ස් විෂබීජේ එක්ක හෙට මූ ගමට යනවා. ගමත් ඉවරයි නේ.
මනෝරත්නයන් සිසිරටත් සෝමපාල පතිරගේටත් ලවක් දෙවක් නැතුව දෙහි කපනවා. සිසිර අස්වසන්න හදනවා.
සිසිර කොතලාවල
මචං ඌ මෙහේ එන්නේ මගේ යාළුකමට. ඉතින් මට අරූට ඒඩ්ස් කියලා කියන්න බැරි වුණා. මගේ වැරැද්ද
සිසිර එහෙම කියන්නේ වරදක් කළාය කියන හැඟිමෙන්.
රිපෝටර් මහත්තයාට උන් හැටි තැන් අමතක වුණා. මේ තිදෙනාගේ කතාව අහං ඉන්නවා කියලා කිවුවෙත් නෑ. කෙලින්ම නාන කාමරේට ගිහින් නෑවා. එතැන තිබුණ ඔක්කොම සබන් ජාති ගෑවා. අන්තිමට ඇඳගෙන ආපු ඩෙනිම් කලිසම ඇදගෙන අර සරම විසි කරලා දැම්මා.
නාගෙන ආපු මිතුරා දිහා අනික් කවුරුවත් බැලුවේ නෑ. සියල්ලන්ම හැසිරුණේ වරදක් කළා වගේ හැඟීමකින්. රිපෝටර් මිතුරාටත් දුකයි. බයයි. මුළු ජීවිතේම ඉවරයි. හෙට හිත හදාගෙන ගෙදර යන විධිය කල්පනා කරන්නට වුණා. නිදා ගන්නට ගියත් නින්ද අහලක වත් නෑ . කට්ටිය ගොරවා ගොරවා නිදි. හැබැයි රිපෝටර් මහත්තයාට නින්ද අහලකවත් නෑ. දැන් සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? අනාගතය කොහොමද? ඇයි ඉතින් ඒඩ්ස් හැදුණා කියන්නේ මරණ සහතිකේ අතින් ගත්තා වගේ වැඩක්. එයිට වඩා ලැජ්ජාව අවමානය.
පහුවදා උදේ වුණා. යාළුවො ටික නැගිටල රාජකාරිවලට යන්න ලෑස්ති වෙනවා. මනෝරත්නයන් රිපෝටර් මිතුරා ළඟට කිට්ටු වෙනවා.
මල්ලී ඊයේ රෑ උඹට නින්ද ගියාද?
කිසිදු වගේ වගක් නැති වගේ අහනවා.
ඉතින් අපේ රිපෝටර් මිතුරා යාන්තම් හිනාවුණා. මොන හිනා වෙන්නද? රෑ තිස්සේ පේන්නේම මාරයා දත් විලිස්සාගෙන එන අන්දමනේ.
අපි උඹට ඊයේ ලණුවක් දුන්නේ. කෝ අරූගේ සරම ?
මම ගලවල විසි කළා.
ඌට එහෙම අසනීපයක් නෑ. අපි උඹට ලණුවක් දුන්නේ.
මනෝරත්න ඇත්තම කිව්වා. හැබැයි රිපෝටර් මහත්තයා නෙමෙයි විශ්වාස කළේ.
ඒ වුණාට මං අහගෙන හිටියේ. ඊයේ ඔය ගොල්ලන් වුණ කතාව.
රිපෝටර් මහත්තයා අඬන්නට ආසන්න ගාණයි.
ඒ ඔක්කොම ලණුවක් අන්තිමට එහි සිටි සියල්ලෝම ඇවිත් අපේ රිපෝටර් මහත්තයාගේ හිත හැදුවත් හිතේ ඇති වුණ සාංකාව නැති වුණේ ඊළඟ දවසක සිදුවුණ දෙයක් ආරංචි වෙලා. එදා මේ චමරියට කඩා පාත්වුණේ ඒ වන විට නැගී එමින් සිටි ගායකයෙක්. නළුවෙක්. අද නම් නළුවා කොයි හැටි වෙතත් මෙරට සිටින ඉහළම ගායකයෙක්. කෑගල්ලේ ඉදන් ඇවිත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු මේ විශාරද මහත්තයා ඒ දවස්වල හොඳ නාට්‍ය කිහිපයකටම ගායනයෙන් මෙන්ම රංගනයෙනුත් දායක වී සිටියා. හොඳ මහත්තයෙක්. කොහොම හරි එයාත් මේ චමරියට එක් රැයක ගොඩ වුණා. ඒ වගේම ජනතා සන්තක සරමක් ඇන්දා. ටික වේලාවකින් මනෝරත්නයන් නිවෙසට පැමිණියා. රිපෝටර් මහත්තයා ඉදිරියේ සිදුවුණ නාට්‍යය ඒ අන්දමටම සිද්ධ වුණා. මුල් වතාවේ පිටපත් කැතිවුණත් දැන් එක් වාරයක් හරි පුහුණු වෙලා තියෙන නිසා වැඩේ හොඳටම ගියා. කාමරේ රණ්ඩුවත් ඇහුණා. එකපාරටම කාමරේ හිටපු කට්ටිය එළියට පැන්නේ ඇහුණ මර ලතෝනියක් එක්ක.
'මං මගේ ජීවිත කාලෙට ගෑණු ළමයෙක්ගේ අතින්වත් අල්ලලා නෑ. ඇයි දෙය්යනේ මං මගේ අම්මා තාත්තාට මුහුණ දෙන්නේ කොහොමද දෙයියනේ. මේ වගේ පවුකාර දෙයක්.' මම කෝච්චියට පැනලා මැරෙනවා.
දැන් අපේ විශාරද මහත්තයා අඬනවා විතරක් නෙවේ. ජීවිතෙත් නැති කර ගන්න හදනවා. අන්තිමට කරගෙන ගිය නාට්‍යය සම්පූර්ණයෙන්ම අවලංගු කරන්නට මනෝරත්නයන්ට සිදුවුණා. ඒ විතරක් නෙවේ විශාරදගේ හිත හදන්න අලුත් නාට්‍යයක් හදන්න මනෝරත්නටත්, සිසිරටත් සිදුවුණා.