වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
දළුපොතින් මතු වූ ධීවරයෝ හි ළමා රොසලින් ඉන්ද්‍රානි ප්‍රනාන්දු

මීගමු පුරවරය ගත් කල ශ්‍රී ලාංකික සිනමාව වෙනුවෙන් විශාල නළුනිළි පිරිසක් බිහිකිරීමට උරදුන් පුරවරයක් ලෙස අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකිය. සිනමාව තුළ එකිනෙකාට වෙනස් අතිදක්ෂ අධ්‍යක්ෂකවරුන්, රංගන ශිල්පිනියන්, රංගන ශිල්පීන්, චිත්‍රපට නිෂ්පාදකවරුන්, හාස්‍ය රංගන ශිල්පීන් මෙන්ම ගායක ගායිකාවන් වැනි පිරිසක් ජීවත් වන කලා පුරවරයක් ලෙස නම් දරා ඇත. රුක්මණී දේවි, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, විජය කුමාරතුංග, නීල් රූපසිංහ, ඇන්තනි සී. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, රංජන් රාමනායක, ක්ලීටස් මෙන්ඩිස්, ඇන්ටන් ග්‍රෙගරි, විජිත මල්ලිකා වැන්නවුන් මෙහි එකී උරුමක්කරුවන්ගෙන් කොටසකි. මීගමුව දළුපොත පදිංචි ඉන්ද්‍රානි ප්‍රනාන්දු ද එවැනි උරුමක්කාරියකි.
දළුපොත ශාන්ත අන්තෝනි මුනිදුගේ සිද්ධස්ථානයේ රඟ දැක්වූ නාට්‍යයක රඟපාමින් රංගනයට මුලපිරූ ඇය සිනමාවේ දැවැන්තයින් සමග රඟපෑමට තරම් කුඩාකලදීම වාසනාව උදාකර ගත්තාය. එවකට ඇයගේ වයස අවුරුදු 14 ක් පමණ වී ඇත. සිනමාව තුළ කුඩා කල ම රංගන වාසනාව උදාකර ගත් ළමා රංගන ශිල්පීන් වන වීණා ජයකොඩි - අහංකාර ස්ත්‍රිය චිත්රපටයෙන්ද, සුනිල් රණසිංහ - වනසරා චිත්‍රපටයෙන් ද ෂම්මි ප්‍රනාන්දු - ඔහොම හොඳද චිත්‍රපටයෙන් ද, අජිත් ජිනදාස - මඩොල් දූව චිත්‍රපටයෙන් ද, දමිත් ෆොන්සේකා - මයුරිගේ කතාව චිත්‍රපටයෙන් ද සිනමාවට ප්‍රවිෂ්ට වුවද ඉන් කිහිපදෙනෙකු ම යම් යම් හේතූන් මත රංගනයෙන් ඉවත්විය. ඉන්ද්‍රානි ප්‍රනාන්දු ද චිත්‍රපට 4 කට ඇගේ සිනමාදිවිය සීමා කරගත්තාය.
ඔබ ඉපදුනේ මීගමුවෙද?
ඔව් මම 1951 අප්‍රේල් 18 වෙනිදා මීගමුවේ දළුපොත ග්‍රාමයේ තමයි උපන්නේ. මගේ අම්මා, ඒ. එවුනුඩ් ප්‍රනාන්දු. තාත්තා සෙබස්තියන් ප්‍රනාන්දු. මගේ සම්පූර්ණ නම තේනගේ ජොයිස් ඇනස්ට්රා ඉන්ද්‍රානි ප්‍රනාන්දු.
සහෝදර සහෝදරියන් ඉන්නවද?
අපෝ ඔව්. මට අයියලා දෙන්නයි, අක්කලා දෙන්නයි, මල්ලිලා එක්කෙනයි, නංගිලා තුන්දෙනයි. මම පවුලේ පස්වෙනියා. ඒත් මට කියන්න ගොඩක් කනගාටුයි. අයියලා දෙන්නෙක් මේ මෑතක අපෙන් සදහටම වෙන්වුණා. නැත්නම් අපේ පවුලේ ඔක්කොම නවදෙනෙක් හිටියා.
පාසල් සමය කොහොමද ගෙවුණේ?
මම පාසැල් ගියේ මීගමුවේ ශාන්ත පීතර මිශ්‍ර විද්‍යාලයට. අපොස. උ/පෙළ දක්වාම ඒ පාසැලේම තමයි ඉගෙනීම් කටයුතු කළේ. විදුහල්පතිතුමා ස්ටැන්ලි මැල්ලව පියතුමන්. පාසැලේ විවිධ ප්‍රසංග වලදී ද මම ගීත ගායනා කළා.මම ආසම කළේ ගායනයට.
කොහොමද ධීවරයෝ චිත්‍රපටයට සම්බන්ධ වුණේ ?
අපේ පවුලම ක්‍රිස්තියානි බැතිමතුන්. හියුගෝ ප්‍රනාන්දු මහත්තයා හිටියේත් අපේ ගෙවල් ළඟමයි. මාස්ටරුත් අපේ දළුපොත ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයට තමයි එන්නේ. එක දවසක් ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ ජීවිත කතාව අලළා රඟ දැක්වූ නාට්‍යයේ තෙල් කටාරමේ වැටුණ ළමයාගේ අම්මට තමයි මම රඟපෑවේ. ඒකෙ මට ගීත කිහිපයක් ගායනා කරන්න තිබුණා. නාට්‍යය බලපු හැමදෙනාම මට ගොඩක් සුබ පැතුව විශේෂයෙන් ම හියුගෝ මාස්ටර් මගේ රංගන හැකියාව ඉතා ඉහළින් අගය කළා. මගේ අම්මවයි තාත්තවයි ඒ මහත්තයා හමුවෙලා පැත්තකට වෙලා මොනවාද කතා කළා.
මොනවද ඒ කතා කළේ.
මට හිතාගන්නවත් බැරි දෙයක් තමයි මාස්ටර් අපේ අම්මටයි තාත්තටයි කියල තියෙන්නේ.
ඒ මොකද්ද?
මගේ රංගනය ගැන බොහෝම ප්‍රශංසා කරලා කියල තිබුණා සිනමාස් සමාගමේ මීළඟට නිෂ්පාදනය කරන චිත්‍රපටයට මම දුවව දාලා දෙන්නම්, හැඳල විජයා චිත්රාගාරයට දුවවත් එක්කගෙන එන්න කියල මාස්ටර් අපේ අම්මටයි තාත්තටයි කියලා තිබුණා.
ඉතින් ඔබව එකක්ගෙන ගියාද?
අනේ ඔව්. මගේ අම්මයි තාත්තයි මාව එහෙට එක්කගෙන ගියා.
මාස්ටර් එහෙදි හම්බ වුණාද?
හමුබවුණා.... හම්බවුණා. ඒ මහත්තයා අපි තුන්දෙනාවම කේ. ගුණරත්නම් මහත්තයට හඳුන්වලා දුන්නා. මාව චිත්රාගාරයට එක්කගෙන ගිහින් පෙන්නුවා. මගේ ජීවිතේ පළමු වතාවට තමයි මම විජයා චිත්රාගාරයට ගියේ. ඒ වාසනාව මට උදාකරල දුන්නෙ හියුගෝ මහත්තයා. මම එතුමට සදා ණයගැතියි.
ගුණරත්නම් මහත්තයා මොනවද ඔබ සමග කතා කළේ?
මගෙන් ගොඩක්ම ඇහුවේ ඉගෙනීමේ කටයුතු ගැනයි. ඊට පස්සේ රංගනය, ගායනය ගැනත් ගොඩක් දේවල් ඇහැව්වා. මම හිතන්නෙ මගේ ගැන මාස්ටර් මුලින්ම ගුණරත්නම් මහත්තයට කියල වෙන්න ඕනේ, හියුගෝ මහත්තය මගේ රංගන හැකියාව ගැන ඉතාම ඕනෑකමින් ගුණරත්නම් මහත්තය එක්ක අපි ඉන්න තැනම කතා කළා. බොහෝම ඕනෑකමින් එතුමා හියුගෝ මහත්තයට ඇහුම්කන් දුන්නා.
මේවා ඔක්කොම මතක හිටින්න ඔබට වයස කීයද එතකොට?
අවුරුදු 14 යි. මට හොඳටම කියන දේවල් මතකයේ තබා ගැනීමේ ශක්තියක් දෙවියන් වහන්සේ දීලා තිබුණා. අදටත් එදා වුණ සිද්ධීන් අද වගේ හොඳට මතකයි.
එතැනට යනකොට ඔබතුමිය දැනගෙන හිටියද ධීවරයෝ චිත්‍රපටය සඳහායි ඔබ මේ යන්නෙ කියල?
අනේ නැහැ. චිත්‍රපටය මොකද්ද කියලවත් දන්නෙ නැහැ. ගියාට පස්සේ ගුණරත්නම් මහත්තයා මගෙන් නොයෙක් විදියේ ප්‍රශ්න අහලා මට දෙබස් කාණ්ඩයක් දුන්නා කියන්න. මම ඒ වෙනකොට ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ නාට්‍ය කිහිපයක රඟපෑ පන්නරයත් එක්කම අර දුන්න දෙබස් කාණ්ඩය රංගනයත් සමගම ඉදිරිපත් කළා. ඊට පසසේ ගුණරත්නම් මහත්තයා මගේ ඔළුව අතගාලා “දුව ඔයාට ගොඩක් හොඳ අනාගතයක් තියෙනව කියල මට පේනවා. මම ඔයාව මගේ මීළඟ නිර්මාණය කරන චිත්‍රපටයට තෝරා ගන්නවා. හැබැයි හොඳට ඉගෙන ගන්නත් ඕනේ” කියලා තාත්තා කෙනෙක් වගේ උපදෙස් දුන්නා.“ මේක ධීවර ගමක කතාවක්. ලංකාවේ ජනප්‍රියම නළු නිළියන් සමග තමයි ඔයාට රඟපාන්න තියෙන්නෙ.” කියන ගමන් එයාගෙ කමිස සාක්කුවට අත දමා ලියුම් කවරයක් මගේ අතට දුන්නා. දෙන ගමන් කිව්වා “මෙන්න අපේ පුංචි රොසලින්ට මගෙන් පොඩි තෑග්ගක්”. ඒත් මම ඒක ගත්තෙම නැහැ. අපේ අම්මයි තාත්තයි දිහා බැලුවා. ගුණරත්නම් මහත්තයා කිව්වා මේක මම සතුටින් දෙන දෙයක්නේ. ගන්න කියලා. අම්මාගේ නියෝග මත මම ඒක අරගෙන අම්මට දුන්නා.ගෙදර ආවම තමයි අම්ම කිව්වේ ඒකෙ තිබුණෙ මුදල් කියලා.
මුලින්ම රඟපෑ දර්ශනය මතකද?
මුලින්ම මම රඟපෑවේ රුබී ද මෙල් එක්ක. විජයා චිත්‍රාගාරය තුළ ඉදිකර තිබූ පසුතලයේ තමයි මේ දර්ශනය රූ ගැන්වූයේ. උදේ 9 ට 10 ට පමණ තමයි මුල් දර්ශනය ගැනීම ආරම්භ කළේ. මම රූබි ද මෙල් හදල දෙන රොටියක් කන අවස්ථාවක් තමයි කැමරාවක් ඉදිරියේ කළ ප්‍රථම සිනමා රංගනය වූයේ. චිත්‍රපටයේ හැටියට සන්ධ්‍යා කුමාරිගේ කුඩාකල රඟපෑම කිරීමට බාරවුණේ මටයි. ඒකේ මගේ නම රොසලින්. මගේ තාත්තා මත්පැන් බීමට ගොඩක් ලොල් වී තිබුණා. ඔහු වෙරිමතින් ඇවිත් මට හොඳටම ගහනවා. බණිනවා. අම්මා (රූබි ද මෙල්) මාව බේර ගන්න හදන කොට අම්මටත් තාත්ත හොඳටම ගහනවා. මේ වගේ තත්ත්වයකට තමයි රොසලින් පොඩි කාලේ මුහුණ දෙන්නෙ.
ධීවරයෝ චිත්‍රපටයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් මොනවගේ සහයක් ද ඔබට ලැබුණේ?
ඇත්තම කියනවානම් බොහෝම සමගියෙන් තමයි ඒ හැමෝම දර්ශන තලයේ වැඩ කළේ. ගාමිණී ෆොන්සේකා මහත්මයා මගේ ළඟට ඇවිල්ල කිව්වා බොහෝම හොඳ අනාගතයක් ඔයාට තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න කියලා. විජිත මල්ලිකා මහත්මිය ද ගොඩක් හොඳ කෙනෙක්. මම එයාට අක්ක කියල තමයි කතා කළේ. ඒ වගේම සුහදව එකතු වුන කෙනෙක් තමයි සන්ධ්‍යා කුමාරි මහත්මිය. එයා මට කිව්වෙ රොසලින්ගේ පොඩි කාලේ චරිතය ඔයා හොඳටම රඟපාලා දෙන්න ඕන කියලා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක එම්. මස්තාන් මහත්තයා දෙමළ බසින් කියන දෙබස් හියුගෝ මහත්මයා සිංහලට පරිවර්තනය කරල මට කියන්න දුන්නා. ඒ හැමෝගෙම ආදරය මට නොඅඩුව ලැබුණා.
රූපගත කිරීමේ දී අමතක නොවන සිදුවීම් ඇතිනේද?
එක අවස්ථාවක් තියෙනවා තාත්ත හොඳටම බීලා වෙරි මරගාතේ මගේ පස්සෙන් දුවගෙන එනවා. මම තාත්තගෙන් බේරෙන්න වැල්ල දිගේ දුවනවා. පිටිපස්ස බල බල තමයි දුවන්න ඕනේ. මේ දර්ශනය රූගත වුණේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී. එකවරම මාව විසිවෙලා ගිහින් වැටකෙයියා ගාලකට වැටුණා. එතනදි මගේ අතපය දෙක තුවාල වුණා. වැටකෙයියා කොළවලට හීරිලා දර්ශන තලයේ හිටිය හැමෝම වටවෙලා මට ගොඩක් උදව් කළා. අන්න ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ එයාලා බොහෝම සුහදශීලීයි කියලා.
මංගල දර්ශනයට ආරාධනා ලැබුණද?
කේ. ගුණරත්නම් මහත්තයයි, එම් මස්තාන් මහත්මයයි අපිට ආරාධනා පත්‍ර එවල තිබුණා. අම්මයි තාත්තයි මමයි වැල්ලවත්තේ සැෆයාර් සිනමා ශාලාවට චිත්‍රපටය බලන්න ගියා. ආරාධිත අමුත්තා වුණේ වෙළෙඳ ඇමතිතුමා වුණ ටී. බී. ඉලංගරත්න මහත්තයයි. එදා තමයි පළමුවතාවට මම ඒ මහත්තයව දැක්කේ.
කොහොමද ලැබුණ ප්‍රතිචාර?
කියන්න සන්තෝසයි. අද කාලෙ වගේ නෙමෙයි එදා. ප්‍රේක්ෂකයන් නළු නිළියන්ට දේවත්වයන් තමයි සැලකුවේ. මගේ රංගනයට ගොඩක් පැසසුම් ලැබුණා. සිනමා ශාලාවෙන් එළියට එනකොට චිත්‍රපටය නැරඹූ බොහෝ අය මාව වටකරගෙන මගේ රංගනය ගැන නොයෙකුත් විස්තර අහනවා.
ඒව දැක්ක ගමන් මගේ අම්මා මං ගැන ගොඩක් සතුටු වෙලා අම්මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා මම දැක්කා.
ධීවරයෝ චිත්‍රපටයට සම්බන්ධ අය අද ජීවතුන් අතර නැහැ. ඒ අය ගැන ඔබට මොනවගේ හැඟීමක්ද ඇති වෙන්නේ?
ඇත්තටම ඒ අතීතය මතක්වෙනකොට ගොඩක් දුකයි. අදට චිත්‍රපටයට සම්බන්ධ කිසිම කෙනෙක් ජීවතුන් අතර නැහැ. මම දන්න විදියට දැනට ජීවත්වෙලා ඉන්නේ මමත් කලාශූරී ලතා වල්පොල මහත්මියත් විතරයි. ගාමිණි” ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, රුබී ද මෙල්, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනී සී පෙරේරා, එම්. මස්තාන්, කේ. ගුණරත්නම්, අල්හාජ් මොහිදීන් බෙග් යන ශිල්පීන් ශිල්පිනියන්ගේ මතකයන් පමණයි තියෙන්නේ.
ඔබේ දෙවෙනි රංගනය දුප්පතාගේ හිතවතා ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
මස්තාන් මහත්මයා තමයි බැප්ටිස්ට් ප්‍රනාන්දු මහත්තයට මාව හඳුන්වා දුන්නේ. ඒ අනුව තමයි දුප්පතාගෙ හිතවතා චිත්‍රපටයට සම්බන්ධ වුණේ.
මොනවගේ චරිත නිරූපණයකට ද ඔබ පෙනී සිටියේ ?
ෆරීනා ලායි සමග සමාජශාලා දර්ශනයකට තමයි පෙනී සිටියේ.
ඊට පස්සේ දිගටම රඟපෑවද?
ඔව් තවත් චිත්‍රපටි දෙකක රඟපෑවා.
මොනවද ඒ චිත්‍රපට දෙක?
බී. එස්.පෙරේරා මහත්මයාගේ රොඩීගම චිත්‍රපටයේ රොඩී කෙල්ලෙකුගෙ චරිතයක් තමයි මම රඟපෑවේ. ඒ අවස්ථාව මට ලැබුණේ හියුගෝ ප්‍රනාන්දු මහත්තය නිසයි. ඒ මහත්මයා මට බී.එස්.පෙරේරා මහත්තයව හඳුන්වලා දුන්නා. ඒ අනුව චිත්‍රපටයට දායක වෙන්න මට අවස්ථාව උදා වුණා. හලාවත, නාරම්මල, දැදුරුඔය ආශ්‍රිතව රූපගත කිරීම් සිදුවුණා. මගේ ඊළඟ චිත්‍රපටය වුණේ දමයන්ති චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ මම ගීතා කුමාරසිංහගේ යෙහෙළියක් හැටියට දර්ශන කිහිපයක රඟපෑවා. වත්තල ප්‍රදේශයේ රූ ගැන්වුණේ.
ඒ ඔබගේ අවසාන චිත්‍රපටය ද?
ඔව්....
රඟපෑමෙන් ඉවත් වුණාද?
රඟපෑමට පොඩි සමුදීමක් කළා. ඒ වෙනකොට මම මගේ ගීත ගායනය පැත්ත හදාගෙන එමින් තිබුණා. ස්ටැන්ලි ඕමාර් මහතා යටතේ එම සංගීතය ගායනය පුරුදු වුණා. දෙවස්ථානයේ ගීතිකා කණ්ඩායම නියෝජනය කළ මම ගායනය පැත්තට ගොඩක් නැඹුරු වුණා. රෙඩ් රෝස් ද බර්ඩ්, ස්වීට් හාට්, ස්පයිඩර් යන සංගීත කණ්ඩායම් මම නියෝජනය කළා.
වැඩියෙන් ම ගායනා කළේ අනුන්ගේ ගීතද? තමන්ගේ ගීතද?
ඒ වෙනකොට මම ගායනා කළේ ඉන්ද්‍රානි පෙරේරා, සුජාතා අත්තනායක යන ජ්‍යෙෂ්ඨ ගායිකාවන්ගේ ගීත තමයි මගේම ගීතයක් කියලා මම ගායනා කළේ “අවුරුදු කුමරිය එන බව දැනිලා” කියන ගීතය විතරයි.
ඇයි තමන්ගේම ගීත තැටියක් නිර්මාණය නොකළේ?
මම ඒකට ගොඩක් ආසාවෙන් තමයි හිටියේ. විවාහයත් එක්කම ඒ හැමදේටම නැවතීමක් තියන්න සිද්ධ වුණා. මම මල්පියලි මගින් සංවිධානය කළ ආධුනික ගීත තරගයෙන් ලංකාවෙන් ම පළමු තැනට පත්වුණා. ජයග්‍රාහී කුසලානයක් පවා මට හිමිවුණා.
නැවතත් රංගනයට හෝ ගායනයට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
දැනට මම ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම නියෝජනය කරනවා. මගේ වයසට ගැළපෙන පරිදි නිර්මාණයකට දායක වෙන්න ලැබුණොත් සිංහල සිනමාව වෙනුවෙන් දායක වෙනවා.
ඔබ දරු දෙදෙනා ගැන හැඳීන්වීමක් කරන්න කැමතිද?
අනේ ඔව්. මට මගේ දරු දෙදෙනාව මගේ ඇස් දෙක වගේ වටිනවා. එයාලට පොඩි හරි අඩුවක් ඇතිවෙයි කියලයි මම කලා ජීවිතයෙන් ඉවත් වුණේ. මගේ පුතා චන්දන ටිරෝන් සිරිවර්ධන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල්වරයෙක්. මගේ දුව ඉනෝකා නිශානි සිරිවර්ධන. ඒ වගේම මුනුපුරු මිනිබිරියන් හත් දෙනකුගේ අත්තම්මා කෙනෙක්. මගේ ආදරණීය නංගිලා, මල්ලිලා, අක්කලා
එයාලගේ දරුවො, අද වෙනකොට මට බොහොම හොඳට සලකනවා. මගේ දුකට සැපට පිහිට වෙනවා. මට කිසිම අඩුපාඩුවක් වෙන්න මගේ දරු දෙන්නත්, සහෝදරයොත් ඉඩ තියල නැහැ.
ඔබට උදව් උපකාර කළ අය ගැන සඳහන් කළොත් ...
මුලින්ම මම මතක් කරන්න කැමතියි ම මේ කලා ජීවිතේට ප්රවිශ්ඨ වීමට මග පෑදූ හියුගෝ ප්‍රනාන්දු මහතා, ඒ වගේම කේ. ගුණරත්නම් මහතා, එම් මස්තාන් මහතා, බැප්ටිස්ට් ප්‍රනාන්දු, බී. එස්. පෙරේරා, ස්ටැන්ලි ඕමාර්, ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ ප්‍රධාන පියතුමන් වන ගරු සරත් අබේසිරිවර්ධන හා සහයක පියතුමන් වන ගරු තිලිණ පියතුමන්ට ද තිලක් චන්ද්‍රසේන වැලිකල මහතාට සහ ශමල් අතපත්තු මහතාට ද ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන් ම මා සඳහන් කරන්නේ මේ මම ආපු කෙටි කාලය තුළ කලා පුවත්පතක පළවන පළමු පුවත් පත් සාකච්ඡාව මෙය බවත් මේ අවස්ථාව මා හට ලබා දුන් සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා ඇතුළු සරසවිය කාර්යය මණ්ඩලයට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා.
අවසන් වශයෙන් ඔබේ ආදරණීය රසික රසිකාවන්ට ඔබව ඇමතීමට අවස්ථාවක් තියෙනවද?
අනේ ඔව්. නො. 67/1, දළුපොත, මීගමුව යන ලිපිනයේ මම පදිංචිව ඉන්නේ.
ඡායාරූප : අරුණ ශාන්ත