1972 වසරේ චිත්‍රපට සංස්ථාව බිහි වූ අයුරු

ජනවාරි 20, 2022

 

හෙළ සිනමාව රිදී ජයන්තිය සැමරූ දින රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටු වුයේය. රිදී ජයන්තියේ කැපී පෙනෙන නළු නිළි යුවළ යැයි කිව හැකි එඩී ජයමාන්න හා රුක්මණී දේවි ඇතුළු චිත්‍රපට නළු නිළියන් නිෂ්පාදකරුවන් හා අධ්‍යක්ෂවරුන් රැසක් මැද්දේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමති ආර්.ඇස්. පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ තරංගනී සිනමාහළ විවෘත කිරීමේ උත්සවයෙහිදී කථා කරමින් ඒ මහතා මේ බව පළ කළේය.

ප්‍රවෘත්ති ඇමති ආර්.ඇස්.පෙරේරා මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සරත් අමුණුගම මහතා ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍යාංශයේ ස්ථාවර ලේකම් සෝමසාර දසනායක මහතා ගුවන් විදුලි අධ්‍යක්ෂ ජනරාල් සුසිල් මුණසිංහ මහතා රජයේ චිත්‍රපට අංශයේ අධිපති ඩී.බී.නිහාල්සිංහ මහතා ආදීහු උත්සවයට සහභාගි වූහ. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ගී එදා සවස් වරුවේ සිටම වාදනය වීම මෙහි එක් විශේෂාංගයක් විය.

 

අධ්‍යක්ෂක මණ්ඩලය

ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමතිතුමා පිහිටුවා ඇති අභිනව රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අධ්‍යක්ෂ සරත් අමුණුගම මහතා පත්කොට ඇත.

හෙළ චිත්‍රපට නළු නිළි හවුලේ සභාපති ඩොමී ජයවර්ධන මහතා පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ කථිකාචාර්ය සත්සමුදුර රන්වන් කරල් අධ්‍යක්ෂ ආචාර්ය සිරි ගුනසිංහ, විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ඉංගී‍්‍රසි අංශයේ පීඨාධිපති හා චිත්‍රපට හා විචාරක ලේඛක සංගමයේ උප සභාපති ඒ.ජේ. ගුණවර්ධන මහතා හිටපු දේශීය ආදායම් කොමසාරිස් ඇල්.පියසේන මහතා, මහනුවර නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉස්මායිල් කුද්දුත් මහතා හා නීතිඥ වික්‍රම වීරසූරිය යන අය මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව සිටිති.

ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සුසිල් මුණසිංහ මහතා, හා සංස්කෘත අධ්‍යක්ෂක එච්.ඒ.පී.අබේවර්ධන මහතා නිලබලයෙන් මෙම සංස්ථාවේ අධ්‍යක්ෂවරු වෙති.

 

කඩවුණු පොරොන්දුව අශෝකමාලා පිටපත් දෙකක් සොයාගනී

අපේ මුල් චිත්‍රපටිය වු කඩවුණු පොරොන්දුව හා දෙවැනි චිත්‍රපටය ලෙස හැඳින්වෙන ‘අශෝක මාලා’ චිත්‍රපට දෙකේම පිටපත් දෙකක් සොයාගැනීමට නිහාල්සිංහට හැකි වී ඇත.

‘අශෝකමාලා’ චිත්‍රපටයේ අන්තිම ‘රීල් එක’ නිහාල්සිංහ මට පෙන්නුවා. ශාන්තිකුමාර්, එමලින් දිඹුලාන, මයිකල් සන්නස් ලියනගේ එහි රඟ පෑහ. අවසානයේ ශාන්තිකුමාර්ගේ කඩු පහරකින් මයිකල් මියයන හැටිත් පසුව සාලිය අශෝකමාලා එක්වන හැටිත් එහි මම දුටුවා.

කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ පිටපතක් සොයාගෙන ඇතත් එය බොහෝ වෙහෙස වී සකස් කළ යුතු තත්ත්වයක පවතී.

රජයේ චිත්‍රපට අංශයේ රසායනාගාරයේ ශිල්පීහු දිවා රෑ වෙහෙසමින් මෙම අගනා චිත්‍රපට දෙක යථා තත්ත්වට ගැනීමේ කටයුතු වල නිතර වී සිටින බව නිහාල්සිංහ කීවා.

මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් රාජ්‍ය චිත්‍රපට සංරක්ෂණාගාරයක් අපට අවශ්‍ය වුවද අපේ මුල් චිත්‍රපටිවල පිටපත් නොමැතිව ඉන් වැඩක් නොවන නිසා හෙළ සිනමාවේ මුල් චිත්‍රපට දෙක ලෙස හැඳින්වෙන ‘කඩවුණු පොරොන්දුව‘ හා ‘අශෝකමාලා’ චිත්‍රපට දෙකේ පිටපත් ලැබෙනතුරු චිත්‍රපට සංරක්ෂණාගාරයක් ගැන කිසිවෙකු නොසිතු නමුදු එම චිත්‍රපට දෙකේ පිටපත් ලැබුණ නිසා චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවීමේ කාර්යය එදා සිහින මායාවක් වුවද අද එය කළ හැක්කක් බවට පත් වී තිබේ යැයි නිහාල් සිංහ මා සමඟ කීවා.

මෙම රාජ්‍ය චිත්‍රපට සංරක්ෂණගාරය ළඟ දී බිහිවනු ඇතැයි නිහාල්සිංහ බලාපොරොත්තු වෙයි. මෙම රාජ්‍ය චිත්‍රපට සංරක්ෂණාගාරය පිහිට වූ පසු මෙරටේ තිරගත වූ හැම සිංහල චිත්‍රපටයකම පිටපත් පමණක් නොව ඒවායේ දැන්වීම් නිශ්චල ඡායාරූප කථා කෙටුම්පත් තිරෙන් පිටුපස ඡායාරූප ආදී හැම විස්තරයක්ම සංරක්ෂණාගාරයේ තැන්පත් කෙරෙනු ඇතැයි නිහාල්සිංහ තවදුරටත් කීය.

 

සංරක්ෂණාගාරය ළඟදීම

හෙළ සිනමාවේ රිදී ජුබිලිය නිමිත්තෙන් චිත්‍රපට සංරක්ෂණාගාරයක් බිහි වන්නට යයි. හෙළ සිනමාවේ දියුණුවට බොහෝ සේ බලපාන මෙම සංරක්ෂණාගාරය පිහිටුවීමේ මුලික වැඩ දැනටමත් කෙරීගෙන යයි.

මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් වෙහෙස වී කටයුතු කරනුයේ රජයේ චිත්‍රපට අංශයේ අධිපති ඩී.බී. නිහාල්සිංහය.

 

රජයේ සිනමා හල

සිංහල සිනමා රිදී ජයන්තිය පැවැත් වූ ගිය 24 වැනිදා රජය ‘තරංගනී’ සිනමාහල විවෘත කිිරීමෙන් මෙරටේ ප්‍රථම රාජ්‍ය සිනමා හළ බිහි කළාය. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ගම්පෙරළිය’ ඇතුළු සුගතපාල සෙනරත් යාපාගේ ‘මිනිසා හා කපුටා’ හා නිහාල්සිංහගේ ‘භක්ති’ හා පුරා කියා එහි දී තිරගත විය.

 

ඩී.බී. නිහාල්සිංහ සාමාන්‍යාධිකාරී වෙයි.

ප්‍රථම වරට ඉකුත් 24 වෙනි දින රැස් වූ චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය සංස්ථාවේ සාමාන්‍යධිකාරිවරයා වශයෙන් රජයේ චිත්‍රපට අංශයේ අධිපති ඩී.බී.නිහාල්සිංහ මහතා පත්කර ගන්නා ලදී.

 

 

 

50 වසරකට පෙර රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ පුවත සරසවිය වාර්තා කළ අයුරු.