අපට හිතෙන හැටි

ත්‍රාසය තිරයට ගෙනා රොබින්
මාර්තු 3, 2022

58 වසරක සිනමා මතකයන් අවසන් කරමින් රොබින් ප්‍රනාන්දු නම් වූ චිත්‍රපට රසික රසිකාවන්ගේ තවත් හදබැඳි චරිතාංග රංගවේදියා වසර 85ක් ආයු වදා දුරුතු මස 8 වෙනිදා ශනිදා දිනයෙහිදී දිවියෙන් සමුගත්තේය.

තිරය දෙවනත් කරමින් ගිගුම් දෙන ලද රොබින්ගේ රඟපෑම් පේ‍්‍රක්ෂක නරඹන්නන් කුල්මත් කළේය. එදෙස ඔවුහු ඇසිපිය නොහෙලා බලා සිටියහ. ඔහුගේ චිත්‍රපට ඉතිහාසය විශ්ලේෂණය කළ විටදී චන්ඩියා හි මවන ලද සටන්, සිරිපාල හා රන් මැණිකා, වීර පුරන් අප්පු හා සංඛපාලි හි අසුපිට නැඟ කඩු ශිල්පයෙහි යෙදී සටන් ජවනිකා ඔහුගේ දක්ෂතාවට කදිම සාක්ෂිය. රොබින් වූ කලී හැඩකාර පෙනුමැති ප්‍රවීණ නළුවෙකු පමණක් නොව චිත්‍රපට රැසක සටන් අධ්‍යක්ෂණය කරමින්, තිරගත වූ සුර දූතියෝ හා නින්ජා ශ්‍රී ලංකා අධ්‍යක්ෂණය කරමින් රඟපාමින් එහි සටන් අධ්‍යක්ෂවරයෙක්ද විය.

සරත් ලියනගේ - රන්මුතුගල

 


මීනාට ඇගැයුමක් නැද්ද?

දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක වන මීනා කුමාරි මේ දක්වා ඇති උසස් රංගනයන්ට නිසි ඇගැයිමක් ලැබුනද යන්න සැක සහිතය. කොතැනක හෝ වරදකින් බොහෝ විට එකම චරිතයකට කොටු වන ගතියක් පෙණුනත් ඇය එම චරිත තුළින්ද ඇයගේ ප්‍රතිභාව පෙන්වීමට සමත් වීම ඇය සතු සුවිශේෂි දක්ෂතාවයක්, නාඩගම්කාරයො හි චරිතය තුළින් ඇය ඒ බව සියුම් ලෙස ඉතා ආකර්ශනීය ලෙස ප්‍රබල ලෙස මතු කරයි. ඇය චරිතාංග රංගන ශිල්පිණියක් බව අධ්‍යක්ෂතුමාට වැටහේවි.

නිමල් කුලසේකර - අඟුලාන

 


හදවත වශී කළ රුක්මණී දේවි

සිංහල සිනමා වංශ කතාවේ එකම නිළි රැජින ඔබයි. ඔබගේ රුවට සමාන රූපයක් තවම සිංහල සිනමාවේ නොපෙනේ. ශෝක දුක් චරිත වලට පණ දුන් එකම නිළිය ඔබයි. ඔබගේ පැරණි චිත්‍රපට පෙළක් රූපවාහිනියෙන් බලාගන්න අපි ඉතා ආසාවෙන් බලා සිටිමු. ඔබට සදා මොක් සුව පතමි.

ඩබ්.පී. ජෝර්ජ් පෙරේරා 
වයික්කාල


චිරං ජයතු වික්ටර්

සංගීත විශාරද ආචාර්ය “ වික්ටර් රත්නායක” මහතාගේ 80 වැනි උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණි. පුරා මාස කීපයක් දැඩිව රෝගාතුරව සිට ඉන් පුර්ණ සුවය ලබා ඔබතුමා සිය 80 “ වන උපන් දිනය සැමරූ බව දැනගත් පසු අප හදට දැනුණේ පුදුමාකාර සතුටක්.

ජයන්ත අමරතුංග - පොලොන්නරුව


ධර්මදාස වල්පොල කෝකිලයාට

1927 සැප්තැම්බර් මස විසිහත්වෙනි දින මහනුවර උපත ලද ගායනයට පෙර වාදනයට නැඹුරු වූ හෙතෙම සර්පිනාව හා බටනලා වාදනයේ ප්‍රවීණයෙකු විය. විවියන් ද සිල්වා බොරලැස්ස සමඟ ගැයූ නිදි යහනේ ඇයිද ශෝක සිතින් ගීතය ධර්මදාස වල්පොල මහතා ගැයූ පළමු ගීය ලෙස හඳුන්වයි. පේ‍්‍රම තරඟය චිත්‍රපටයේ ගී ගයමින් පසුබිම් ගී ගායනයට එක්වූ ඔහු සමඟ එහි යුග ගී ගැයූ ගායිකාව සිය සහකාරිය කර ගත්තේය. ඇය මෙරට ගීත කෝකිලාවිය විය. සුජාතා චිත්‍රපටයේත් කුරුලු බැද්ද, සැඩසුළං වැනි චිත්‍රපට රැසක ගී ගැයූ ඔහු සිනමාවේ සුපෙම් හඬ විය. එළිමහන් ප්‍රසංග වෙනුවෙන් ගී නොගැයූ ඔහු වෘත්තීය ගරුත්වය මැනවින් රැකගත් ගායන ශිල්පියෙකි. නමුත් එක් වසරක නත්තල් දින ඒ ආදරණීය හඬ කෝකිලයා අප හට නැති විය.

සරත් රණසිංහ - මාළිද


සිරිල් වික්‍රමගේට දීර්ඝායුෂ

පසුගිය දුරුතු මසේ අගභාගයේදී 90 වෙනි උපන් දිනය සැමරූ දශක පහක පමණ කාලයක් විවිධ චරිත සමඟ අප හමුවට පැමිණි සිරිල් වික්‍රමගේ නම් රංගන වේදියාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු.

අලව්වේ ඉඹුල්ගොඩ අබේසිංහ සහ ශි‍්‍රයානි ජයසිංහ


ගයාන් අයි.ආර්.සී මරු

කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාටකයේ ගයාන් වික්‍රමතිලකගේ අයි.ආර්.සී චරිතය ඉතාමත් තාත්වික මෙන්ම හරිම අපුරුයි. සීනිබෝල චරිතවලට වඩා එවැනි චරිතවල ඔබේ හැඟීම් දැනීම් කටහඬ ඉතා උසස් මට්ටමක ඇතැයි මට සිතේ. ඔබවන් නළුවන් එවැනි විවිධ චරිත රඟපෑම රසික අපේ කැමැත්තයි.

පියුම් වික්‍රමසිංහ - කඳාන


සම්පූර්ණ ගීතයම වාදනය කරන්න

සෑම ඉරිදාවකම දහවල් 11 සිට 12 දක්වා ස්වර්ණවාහිනියේ විකාශය වන රිදී නිම්නය පැරණි චිත්‍රපට සිංහල හා හින්දි ගීතාවලිය හරිම සුන්දර දසුනක්. අපි පුල පුලා බලා සිටින්නේ 11 වනතෙක් ඒ ගීත සම්පූර්ණ වශයෙන් ප්‍රචාරය නොවී අතර මඟ නැවතීම අපට මහත් දුකක්. ඒ නිසා සම්පූර්ණ ගීතයම වාදනය කරන්න. රංජිත් එදිරිසිංහ මහතාට හා ප්‍රවීණ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාටත් මෙය දීර්ඝකාලයක් ප්‍රචාරය කිරීමට ලැබේවා.

පේ‍්‍රමසිරි නාරසිංහ - මාතර