මම විඳිමි සෙනේ මහ මෙරක් වගේ

සැප්තැම්බර් 29, 2022

 

හමුවීම අහම්බෙයක් වුණත් - පේ‍්‍රමය සංසාරිකයි”

හැම දෙයක් පෙනේ

එක දෙයක් වගේ

මම විඳිම් සෙනේ

මහ මෙරක් වගේ

ඔබ යමින් නතර වුව

ගුවන් තලේ

මම සෙමින් සෙමින් එමි

නිසංසලේ...

මල් පිපෙන මහ කැලය මනරම්

වැසි වැටෙන වැලි්කතර සුපසන්

තරු මිලින කළු කුහර වුව...

පිරිනමයි මිතුදම්... පිරිනමයි මිතුදම්

භව සසර අතරමඟ සිටියෙමි...

ඔබ ලබන උරුම හැම සතුවෙමි

රළු සරෙන්, පැමිණිය ද

ඔබම වේ මට සැනසුම්... මට සැනසුම්

ගී පද - ජයන්ත චන්ද්‍රසිරි

සංගීතය - චින්තක ජයකොඩි

ගායනය - බාචි සුසාන් / සමිතා මුදුන්කොටුව

 

 

ගවේෂණාත්මක තේමා ඔස්සේ සිය නිර්මාණකරණයේ යෙදෙන විශිෂ්ට ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂකවරයකුª වූ ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කළ ’ඝරසර්ප’ චිත්‍රපටයේ ඉතාම අලංකාර ගීතයක් තමයි අද සිනමා ගී රසෝඝය සඳහා තෝරාගනු ලැබුවේ.

2018 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටයට නොමඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි විය. ලාංකේය ජනසමාජය තුළ පවතින යක්ෂ, පේ‍්‍රත, භූතාත්ම, අභිචාර විධි යම් යම් විශ්වාස, ඇදැහිලි මෙන්ම ජනශ්‍රැතියේ එන කළු කුමාරයා සංකල්පය මඟින් ඉතාම සියුම් ලෙස මානව සබඳතා හා ප්‍රේමය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් මෙමඟින් සමාජගත කර තිබේ.

මෙරට ගැමි සමාජ සංස්කෘතිය මෙන්ම ජනශ්‍රැති සාහිත්‍ය හා අභිචාර සංකල්ප ඔස්සේ ඒ ගැඹුරු, මානුෂීය හැඟුම්, මනාව ගුණ ධර්ම පිළිබඳ සමාජ කතිකාවත් ඇති කිරීමට එම චිත්‍රපටය හරහා අධ්‍යක්ෂකවරයා උත්සාහ දරා තිබේ.

චිත්‍රපටයේ දැක්වෙන පරිදි කළු කුමාරයා වැනි යක්ෂනියන් ගැහැනු ආත්මයට රිංගන්නේ, ආදරය අහිමිවීමෙන්,නිසිකලට නිසි ආදරය නොලැබීමෙන් ගැහැනු සිතේ ඇතිවන තනිකම, හිස්බව, සංකාව වැනි හිඩැස් නිසායි. ඒවා මනෝමුලික කරුණු හෙයින් ඒ තනිකම, හුදකලාව මිනිස් සිතකට නොදැනුණ ද අදෘශ්‍යමාන යක්ෂයෙක් වන කළු කුමාරයට ඉතා හොඳින් දැනේ. එවැනි හිත් සොයා ඔහු නිතර සැරිසරයි.

‘ප්‍රේමයක හිස්තැන් ඇති වුණු විට ඒ හිස්තැන් පුරවන්න යක්කු රිංගන බව“ .... ඉතාම අපූුරුවට මෙම සිනමාරූපකරණයෙන් අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කර තිබේ. එය සැබැවින්ම පේ‍්‍රක්ෂකයාට දැනෙන්නට, විඳින්න සලසා දී ඇති අයුරු විශිෂ්ටය.

මෙම ගීතය තුළින් සමස්ත චිත්‍රපටයේ කතා තේමාව ඉතා සුක්ෂමව විදහා තිබේ. මෙහි ප්‍රධාන චරිත දෙක වන්නේ සඳරුස් හා විද්‍යාය. ඔවුන් දෙදෙනාගේ අහඹු හමුවීම හරහා ගොඩනැඟෙන සංසාරික ප්‍රේමයට එහා ගිය මානව සබඳතාවල තිබෙන්නා වූ ගැඹුර මෙන්ම, මිනිස් මනස තුළ ඇතිවන අභ්‍යන්තර ඝට්ටනය පිළිබඳව ඉතාම ලස්සනට සිනමා රූපී ලෙස විවරණය කර තිබේ. ප්‍රේක්ෂකයාට රසවින්දනයට එහා ගිය, බුද්ධිමය වින්දන ඔහුගේ වෙනත් නිර්මාණවලදී මෙන්ම, මෙම සිනමා පටයෙන් ද ප්‍රේක්ෂකයා වෙත ලබා දී තිබේ.

සම්මාන රැසකින් පුද ලද මෙම චිත්‍රපටය හරහා කාවින්ද්‍යා අධිකාරි හා දෙව්නක පෝරගේ යන නවක නළු නිළියන් දෙපළ සිනමාවට හඳුන්වා දෙමින්, ඔවුන්ගේ උපරීම රංගන දක්ෂතවයන් සිනමාපටය වෙත උකහාගෙන තිබේ.

පේ‍්‍රමය, කොයි මොහොතක, කොතැනක කොහොම මුණ ගැහෙයි ද කියලා කාටවත් කියන්න බැහැ. මානව සබඳතාවල ප්‍රේමය තියෙන්නේ හුඟාක් ඉහළ තැනක අවංක හදවත් දෙකක් පේ‍්‍රමයෙන් බැඳෙන එක වළක්වන්න මේ ලෝකේ කිසිම බලවේගයකට පුළුවන් කමක් නැහැ. දෙමව්පියන්ගෙන්, සමාජයෙන් හෝ වෙන ඕනෑම හේතුවක් ප්‍රේමයට බාධයක් ඇති කළත් ප්‍රේමයෙන් බැඳුණු හදවත්වලින් ඒ පේ‍්‍රමය මිලින කරන්න කිසිවකුට හෝ පුළුවන් කමක් නැහැ.

හමුවීම අහම්බයක් වුණත් පේ‍්‍රමය සාංසාරිකයි. තමුන්ට ජීවිතයේ වැඩිපුරම දැනෙන, ආදරණීයම කෙනා වන්නේ, සංසාරේ ඔබත් සමඟ වැඩිම වාර ගණනක් ආදරයෙන් බැඳුණු කෙනා විය හැකියි. ඒ නිසා පේ‍්‍රමය කොයි මොහොතේ කොතැන, කොහොම මුණ ගැසුණ ද එය සාංසාරික බැඳිමකි. ඒ බැඳීමට ජාතිය, කුලය, ආගම, වයස, සමාජ පසුබිම මේ කිසිවක් අදාළ නොවේ. පේ‍්‍රමය නම් පේ‍්‍රමයමයි.

සඳරැස් සහ විද්‍යාගේ පේ‍්‍රමයත් අහඹු හමුවීමක ප්‍රතිඵලයක් ඔවුනොවුන් මුණගැසීම අහම්බයක්. විද්‍යා දමිළ තරුණියක්. සඳරුස් සිංහල තරුණයෙක්. විද්‍යා දුටු මොහොතේ පටන් සඳරැස්ගේ දෙනුවන් ඈ සොයා වෙහෙසෙයි. ඒ සංසාරික හුරුව විය හැකියි. කටින් නොකියා දෙනෙතින්, හදවතින් මතුවන ගැඹුරුම ආදර කතාවක, සොඳුරුම ඇරඹුමකට ඔවුන් ඉඟි කරයි.

මේ සුන්දර යොවුන් පේ‍්‍රමය, හරිම ප්‍රබලයි. බලගතුයි. පේ‍්‍රමයක හිස්තැන් ඇතිවිට ඒ හිස්තැන් පුරවන්න පැමිණෙන යක්කුන්ටවත් ප්‍රබල ප්‍රේමයක් හිමිකර ගත් හිතකට රිංගන්න බැහැ.

ඒ සොඳුරු පේ‍්‍රමය ගැන කියැවෙන මෙම ගීතය ඉතාම සුන්දරයි. ඒ වගේම එහි යටි පෙළ ගැඹුරුයි.

ආදරයෙන් බැඳුණු හිතකට හැම දෙයක්ම පෙනෙන්නේ එක දෙයක් වගෙයි. එනම් ඒ ආදරයමයි, ආදරය කරන කතාවමයි හැම දේකම, හැමමොහොතකම හදවතට දැනෙන්නේ. ඒ ආදරය ජීවිතයට මහ මෙරක් තරම්. ඒ ආදර සෙනෙහස විඳින එක තරම් අන් කිසිම සුවයක්. සතුටක් පේ‍්‍රමයෙන් බැඳුණු සිතකට නැති තරම්. පේ‍්‍රම කළ හැමෝටම තමන්ගේ ප්‍රේමය හිමිකර ගන්න වාසනාව උදාවෙන්නේ නැහැ. සඳරැස් හා විද්‍යාගේ ප්‍රේම කතාවක් ඒ වගේ එකක්. අහම්බෙන් මුණ ගැසුණු හිත් දෙකක්, නෙත් වලින් විඳ ඇති කරගත් සංසාරික ප්‍රේමය අතරමඟ අත් හරින්න සිදුවෙනවා. ඒත් ඒ පේ‍්‍රමය හදවතේ ගැඹුරුම තැනක හරි පරිස්සමට මිහිදන්ව පවතිනවා. “ඔබ යමින් නතර වුව ගුවන් තලේ. මම සෙමින් සෙමින් එමි නිසංසලේ..”

ඈ ඔහුගෙන් වෙන් වුණත්, අයිතියක් හිමි නොවුණත් ඒ සෙනෙහස, බැඳීම ඔවුනොවුන්ගේ හදවත් වල සදාකාලිකවම බැඳී තිබෙනවා.

ගහකොළින් පිරුණු, අඳුර රජයන මහා වනයකට වුණත් මල් පිපෙන තුරුලිය එක් කරනුයේ අපුරු සුන්දරත්වයක්. වැලිකතර හිරු එළියෙන් දැවෙමින් කෙතරම් පීඩා වින්දත්, වැසි වැටෙන සඳ, ඒ දාහය නිවා, ගෙනදෙන සිසිලස හරිම ප්‍රසන්නයි. සිත් සනහන සුලයි. ඝන අන්ධකාරයෙන් වැසුණු කළු කුහර, තරු මිලින කරන්නත්, අලෝකය දෙන සෑම වස්තුවක්ම, පදාර්ථයක්ම තමන් වෙතට ඇද ගනිමින් අන්ධකාරයෙන් වසාලීමක් සිදුකරනවා.

හරියට කළු කුමාරයා කරන්නෙත් ඒ වගේ දෙයක්. ප්‍රභාශ්වරව සතුටින් තියෙන සුන්දර ගැහැනු හිත්වලට රිංගලා ඔවුන්ගේ ජීවිත අඳුරට හෙළනවා. ආදරය අහිමි කරනවා. සතුට විනාශ කරනවා. ඒත් සඳරුස්ගේ ආදරණීය බැඳීම ළඟ කළුකුමරයා පරදිනවා. විද්‍යාගේ හිතට රිංගන්න ඔහුට නොහැකි වෙනවා. හැබැයි මේ ආදර කතාවේ එක තැනක දී සඳරැස්ට කළු කුමාරයාගෙ උදව් ඕන වෙනවා. ඔහුව දමා දුරු රටකට යන විද්‍යාව සොයාගන්න, ආපහු ඔහු වෙත ගෙන විත් දෙන බවට කළු කුමාරයා පොරොන්දුවක් වෙනවා. ව්‍යාංගාර්ථව ඒ අදහස පද ගළපා ඇති අයුරු හරිම අපූරුයි.

“තරු මිලින කළු කුහර මුව... පිරිනමයි මිතුදම්...”

ආනන්ත වූ සසරේ ඇයත් ඔහුත් අනේක වාරයක් හමුවන්නට ඇති. ඒ වගේම වෙන්වන්නටත් ඇති, මේ භවයෙත් ඔවුනොවුන් මුණ ගැසුණත්, යම් හේතුන් නිසා ඔවුන්ට සමු ගන්නට සිදු වෙයි. එත් මේ භවයේදීම නැවතත් ඔවුන්ට හමුවන්නට අවස්ථාව උදා වේ.

ඒ අදෘශ්‍යමාන බලවේගයක් වූ කළු කුමාරයා නැවතත් සඳරැස්ට විද්‍යාව මුණගස්වන්නට පොරොන්දු වන්නේ, සඳරුස්ගේ හදවතේ විද්‍යා කෙරෙහි ඇති අව්‍යාජ, අවංක ආදරය ගැන හිතලා.

ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරමින් ආයෙමත් අහඹු ලෙස හමුවක්. සුන්දර මුණගැසීමක් නෙමෙයි. සඳරැස්ගේ බිරිඳට ඇතිවන මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කරන වෛද්‍යවරිය ලෙසයි ඇයව ඔහුට යළිත් හමුවන්නේ.

“රළු සරෙන් පැමිණිය ද ඔබම මේ මට සැනසුම්...”

ඇයත් විවාහකයි. ඔහුත් විවාහකයි. ඔවුනොවුන් දැන් අත්ත දෙකක ජීවත් වන දෙන්නෙක්. එදා හමුව තරම් සුන්දර සොඳුරු හමුවක් නොවුණද, ඔබ තමයි මගේ ජීවිතයේ සැනසුම. මා සෙවූ ආදරය, මට හිමි ආදරය ඔබ ළඟ ඇති බව ඔහුට හැඟෙන්නේ එලෙසයි.

ජීවිතයේ විවිධ කඩඉම් පසුකර තිබුණ ද ඔවුන්ගේ සිත්වල ඇතිවුණු ප්‍රේමය මිලිනව ගොස් නැති බවත්, ඒ ආදරය හැඟීම් සියල්ල යටපත් කරගෙන ඔවුන් ජීවත්ව ඇති බව ගීතයේ අවසානය ව්‍යාංගයෙන් පවසයි. සමස්ත චිත්‍රපටයේම කතාව මෙම ගීතය තුළ ගැබ්ව ඇති බවක් හැඟේ. ජයන්ත චන්ද්‍රසිරිගේම ගේය පද රචනයෙන් හැඩවුණු මෙම ගීතයට සංගීතයෙන් හා හැඟුම්බර ගීත ගායනයෙන් භාචි සුසාන් හා සමිතා මුදුන්කොටුව විසින් ඉටුකරන සාධාරණය තුළ විශිෂ්ට ගීතයක් නිර්මාණය වී තිබේ.

හදවතට දැනෙන, නෙතට කඳුළක් නැගෙන තරම් දැනෙන විඳින ගීතයක් පේ‍්‍රක්ෂකයාට තිළිණ කර තිබේ.