වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
ඒ පෙව් කිරිවල පව් අරවන්නට අම්මේ මදි මම පින් කෙරුවා

බිලිඳුනේ දරුවනේ මගේ
පැළෙත් රජ මැදුරේ
අම්මා...පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේ...
හැඩ වෙවි රස පිරිතිරි
ලොවක් නළවන සේ
අම්මා... පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේ...
කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරිවල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා....
පුර සඳ පායන පුන් පෝදා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක හිඳ පුතා කියා මට
අමතන්න ... එන්නම් සොයා....
ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
ගී නද - සෝමපාල රත්නායක
ගී හඬ - ග්‍රේෂන් ආනන්ද
චිත්‍රපටය - රජ දරුවෝ
මෙලොව පවතින ‘බැඳීම්’ අතර අතිශය විස්මිත බැඳීම නම් මාතෘ දාරක ප්‍රේමයයි. දස මසක් කුස දරාගෙන අනේක විධ දුක්ගැහැට උහුලමින්, මෙලොවට බිහිකරන දරුවා තරම් සම්පතක් මවකට නොමැත. ඒ උත්තරීතර දාරක ප්‍රේමය හමුවේ ඇයගේ රක්ත වර්ණ රුහිරු, ශ්වේත වර්ණයට හැරී, ලේ කිරි බවට පත්වේ. එය මේ ලොව ඇති විශ්මිතම ස්වභාවික නිමැවුමකි.
රජ මැදුරක ඉපදුණත්, දිළිඳු පැලක ඉපදුනත් දරුවකු වෙනුවෙන් මවක් තුළ උපදින සෙනෙහස එක සමානයි. ඇය රැජිනක් වුවත්, දිළින්දියක් වුවත්, සිය දරුවා වෙනුවෙන් උපදින කිරි කඳුළ සමානයි. ඒ අසම සම කිරි කඳුළෙන් තමයි බිළිඳුන් පෝෂණයකර උස් මහත්කොට හැඩ කළේ.
1992 වසරේ දී රීදී තිරය හැඩ කරමින් ප්‍රදර්ශනය වූ “රජ දරුවෝ “සිංහල සිනමාවේ 728 වැනි චිත්‍රපටයයි.
දයා විමලවීරයන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූ මෙම චිත්‍රපටය ඉතා ම සාර්ථක ලෙස තිරගත වූ ජනප්‍රිය තලයේ චිත්‍රපටයකි.
අනෝජා වීරසිංහ, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ජීවන් කුමාරතුංග, ශෂි විජේන්ද්‍ර, බන්දු සමරසිංහ, ලීනා ද සිල්වා, ක්ලීටස් මෙන්ඩිස්, මාක් සැම්සන් ඇතුළු දක්ෂ ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූහ. මෙය සංවේදී කතා තේමාවක් පසුබිම් කරගත් පවුලේ චිත්‍රපයටකි. මෙය ඉතා සාර්ථක ලෙස ප්‍රදර්ශනය කරමින් වාණිජ සිනමාවේ රජගමනක් යෑමට සමත් විය.
ප්‍රේමයට උස් පහත්, දුප්පත් පෝසත්, උගත් නූගත් වැනි කිසිම සීමා මායිමක් අදාළ නොවන බව පසක් කරමින්, සෙනෙහසින් බැඳෙන තරුණ පෙම්වතුන් යුවළක් උත්සාහයෙන්, ආදරයෙන් ජීවිතය ගොඩනගාගනිති. දරුවන් හදාගෙන සියලු දුක සැප සමසේ බෙදාගනිමින් ඔවුන් ඉතා ම ආදරයෙන් සමගියෙන් ජීවත් වෙයි.
ඒත් ඒ ආදරණීය කැදැල්ලේ සෙනෙහස සතුට කුරිරු මිනිසුන් විසින් සොරා ගනිමින්, ඒ ආදරණීය කැදැල්ල නොසිතූ නොපැතූ ලෙස සුණු විසුණු කර දමමින් පුංචි පුතුන් තිදෙනෙකුට සිය දෙමාපියන් අහිමි කරයි. සිය දෑස් මානයේම පියා මරා දමන අතර, ඔවුන්ගෙන් බේරී පලා යන දරුවන් තිදෙනා විසිරී යති. කාලය ගෙවී විවිධ දුක් ගැහැට විඳීමින් ඔවුන් උස් මහත් තරුණයින් බවට පත්වේ. එක් පුතකු දක්ෂ ගායන ශිල්පියෙක් බවට පත් වී ජනප්‍රිය තරුවක් බවට පත්වේ. ඔහු සිය හදවතේ කිසි දා සුව නොවූ සදා වේදනාවක් , කඳුළක් බවට පත් වූ මව් සෙනෙහස පිළිබඳව ගයන අපූර්ව ගායනය අවසානයේ විසිරුණු සොයුරන් මෙන්ම අහිමි වූ මව් සෙනෙහස හිමිකර ගැනීමට වාසනාව උදා වේ.
මෙම චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය මෙම ගීතය උදෙසා 1993 වසරේ හොඳම ගායන ශිල්පියාට හිමි සරසවිය සම්මානය ග්‍රේෂන් ආනන්දයන් හට හිමි වේ.
මේ ලොව අන් යමකට සම කළ නොහැකි අසම සම මාතෘත්වයේ ගුණ සිහිකරමින් ගයන මෙම ගීතය අද ද ඉතා ම ජනප්‍රිය ගීතයකි. චිත්‍රපටය පිළිබඳ නොදන්නා, එය නරඹා නොමැති අයෙකුට වුව ද මෙම ගීතය සාමාන්‍ය සරල මව්ගුණ ගීතයක් ලෙස රසවිඳීමට හැකිය. මෙහි පද රචනය මෙන්ම සංගීතයත්, ගායනයත් ගීතයට උපරීම සාධාරණයක් ඉටුකොට තිබේ.
කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරිවල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා....
දරුවකු මෙලොවට බිහිකර, ලේ කිරිකර පොවා සෙනෙහසින් හදාවඩාගත් සෑම මවකටම, මෙලොව උපන් සියලු දරුවන් සදා ණයගැති ය. ඒ උදාර මව්ගුණ නිමා නොවන මහ සයුරක් වැනි ය. සදා මතකයේ රැඳී ඉතා ම ජනප්‍රිය චිත්‍රපට ගීතයක් ලෙස මෙම ගීතය දශක තුනකටත් වැඩි කාලයක් පුරා රසික සිත් සතන් සනහාලයි.
එසේම වසරේ ජනපි‍්‍රය චිත්‍රපටයට හිමි සම්මානයත් සංගීතය වෙනුවෙන් සෝමපාල රත්නායකට කුසලතා සම්මානයක්ද මේ උදෙසා හිමිවිය.