සෑම නගරයකටම සිනමා ශාලාවක් අපි යෝජනා කළා

ජුනි 22, 2023

 

සිංහල සිනමා වංශකතාවේ අතීතය මනරම්ය. ඒ වරින් වර විචිත්‍ර කළෝ ද බොහෝය. සිනමාවේ දැවැන්ත චරිත සමඟ මුසු වෙමින් සිය සිනමා අනන්‍යතාව සටහන් කොට තැබූ රංගන ශිල්පින් අපට කොතෙකුත් හමුවේ. එලෙස මින් දශක කිහිපයකට පෙර සිනමාවාට පිවිස අදටත් එහි රුව ගුණ පෝෂණය කරනට දායක වන සිනමා ශිල්පියකු වන ශාන්ත ගුණවර්ධන සිය සිනමා දිවියේ ඉතා සුවිශේෂී ඉසව් පිළිබඳ කළ කතාබහකි මේ.

ප්‍රථමයෙන් ඔබේ සිනමා දිවියේ ආරම්භය පිළිබඳ කතාබහ කරමු.

පාසල් අවධියේමයි මගේ කලා දිවියේ ආරම්භය සිදුවන්නේ. එතොකොට මම හිටියේ නවය වසරේ විතර. මොරටුව වේල්ස් කුමාර විදුහලේ මම ඉගෙනුම ලැබුවේ. ඒ දිනවල සරසවිය පුවත්පතේ පළ කරලා තිබුණා, වසන්ත ඔබේසේකර මහත්තයා ඇතුළු පිරිසක් මෙහෙයවන රංගන පුහුණු වැඩමුළුවක් පිළිබඳ. ධම්ම ජාගොඩ මහත්තමයාගේ රංග ශිල්ප ශාලිකාවෙ පුහුණු වැඩමුළුව පැවැත්වුණේ. එයට අයදුම් පතක් යොමු කිරීමෙන් තමයි මූලිකව මේ ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ අතර තමයි වසන්ත අබේසේකර මහතාගේ ‘ළමයෙක්’ කියන චිත්‍රපටයට මාව තෝරගනු ලැබුවේ.

ඊළගට පාසල් අවධියේම හේමසිරි සෙල්ලප්පෙරුම මහතාගේ ‘ජීවන්ති’කියන චිත්‍රපටියේ රඟපෑමට අවස්ථාවක් හිමි වුණා. එහි ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ රුක්මණී දේවිත් සිටියා. ඉතින් එය මට එකල හිමිවූ විරල අවස්ථාවක් විදිහටයි අදත් පිළිගන්නේ.

ඊට පස්සේ සෙල්ලප්පෙරුම මහතාගේම ‘චණ්ඩින්ගෙත් චණ්ඩියා’ චිත්‍රපටයේත්, ඊට පසු දිනේෂ් ප්‍රියසාද් මහතාගේ ‘කම් ඕ ගෝ’ හා තවත් චිත්‍රපට කිහිපයක, කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාගේ ‘දුර්ගා’ චිත්‍රපටයේ ආදී වශයෙන් චිත්‍රපට ගණනාවක් රඟපෑමට අවස්ථාව හිමි වුණා.

ඉන්පස්සෙ තිමති වීරරත්න මහතාගේ ‘වන බඹරා’ චිත්‍රපටය හා ‘රන්මුසු උයන’ ටෙලිනාට්‍යයෙත් රඟපෑමට හැකි වුණා. ඊළඟට රෝයි ද සිල්වා මහතාගේ ‘විජේ සහ අජේ’ චිත්‍රපටයේ වැඩ කළා.

 

විජේ සහ අජේ  චිත්‍රපටය අංශ කිහිපයකින් ඔබට විශේෂ වූවා නේද?

ඔව්. එහි රංගනයට අමතරව දෙවන සහාය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරමින් කලා අධ්‍යක්ෂණයටත් යොමු වුණා. පසුව චිත්‍රපට කිහිපයක පසු කාලයේ සහාය අධ්‍යක්ෂකවරයෙකු කලා අධ්‍යක්ෂකවරයෙකු,හා කැමරා ශිල්පියෙකු විදියට කටයුතු කරන්න අවස්ථාව හිමි වුණා. ඒ අතර ජයන්ත රත්නායකගෙ පුනරුත්පත්තිය චිත්‍රපටයේ, ඩැනී ඩබ්ලිව් පතිරණගේ පිළි කඩතුරාව ඇතුළු තවත් ටෙලිනාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා.

 

ඔබේ සිනමා ගමන් මඟ හෙළිපෙහෙළි කළේ කවුද?

උදය ෆොන්සේකා මගෙ හොඳම මිත්‍රයා. මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න මූලිකව මඟ පෙන්වූයේ ඔහුයි. එතැනින් පසු වසන්ත ඔබේසේකර මහතා තමයි මගේ සිනමා ගමන් මග සැකසුවේ. ඔහුගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් දෙමින් මාව ක්ෂේත්‍රයට ඇතුළු කරමින් විශාල මාවතකට මාව යොමු කළා. ඒ වගේම මේ වෙලාවේ ඩොනල්ඩ් කරුණාරත්න, ධම්ම ජාගොඩ, ධර්මසේන පතිරාජ, සුගත් සමරකෝන් ආදීන් පිළිබඳත් මගේ ඈත මතකය අලුත් වනවා ඒ හැමකෙනාම හරිම ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කරනවා.

 

ඔබ මේ වනවිට තවත් සුවිශේෂී කටයුත්තක නියැළී සිටිනවා නේද?

ඔව්. මම දේශීය සිනමා ශිල්පිනීන්ගේ සංධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ.

 

සිනමාවේදී රොබින් තම්පෝ සමග කාලයක් කටයුතු කළ අයකු ලෙස ඒ මතකය අවදි කරන්නේ කොහොමද?

එතුමා සමඟ වසර ගණනාවක් කටයුතු කළා. සහාය කැමරා ශිල්පියකු ලෙස ඒ යටතේ චිත්‍රපට කිහිපයක සහාය කැමරා ශිල්පියකු ලෙස කටයුතු කරන්න කරන්න අවස්ථාව හිමිවුණා.

 

නමුත් වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නේද ඔබ දිගු කාලීනව නියැළී සිටියේ.

ඔව්. පෞද්ගලික ආයතනයක තාක්ෂණ ශිල්පියකු ලෙස දිගුකාලීනව සේවය කළේ. කාර්ය බහුලත්වයත් සමඟ අනිකුත් අංශ අතහැර රඟපෑමට පමණක් යොමුවීම කටයුතු කරන්න තමයි පෙලඹුණේ.

 

සිනමාවේ සාධනීය පැතිකඩ පිළිබඳ අවධානය යොමු කළොත් කුමන කාරණා ගැන ද සැලකිලිමත් විය යුත්තේ?

සිනමා කර්මාන්තයේ වර්ධනය උදෙසා නම් නිවැරදි විය යුතු කාරණා ගොඩක් තියෙනවා කියලයි මම හිතන්නේ.

මුදල් මූලික වටපිටාවක මේ කර්මාන්තය විශාල බලපෑමකට නතුවී තියෙනවා. මේ වනවිට බොහෝ සිනමාහල් වැහී ගිහින්. ඊට පිළියමක් ඇති බවත් පෙනෙන්නට නෑ. මේ කරුණු සලකා අපේ දේශීය සිනමා ශිල්පීන්ගේ සංවිධානය මඟින් සෑම නගරයක් මූලික කරගනිමින් සිනමා ශාලාවක් බැගින් ඉදිකිරීමේ වැදගත්කම සලකා නගර සභාවක විමධ්‍යගත අරමුදල් යොදනවා ස්ථානපනය කළ හැකි සිනමාශාලා ගොඩනැඟීම් යෝජනාවකුත් ඉදිරිපත් කළා. මොකද ඒකත් විශාල ගැටලුවක් විදියට අපි දැක්ක නිසා. ඒ වගේම තමයි සිනමා ශාලා පමණක් විවෘත වූවත් වැඩක් නැහැ. හොඳ නිර්මාණත් බිහිවිය යුතුයි. ඒ නිසා දැන් මේ සමස්ත කර්මාන්තයේම තියෙන අර්බුද ටික මැනැවින් කළමනාකරණය කරගන්නා තුරු අපට තවදුරටත් බලාපොරොත්තු සහිතව බලා ඉන්න වෙයි.

 

නිර්මාණ ක්ෂේත්‍රයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

කොච්චර බාධා තිබුණත් ඉදිරියෙදීි තව නිර්මාණ කරන්න ආසයි. එහෙම බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. හොඳ ටෙලි නාට්‍යයක් කරන්නත් ඒ අතර බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මෙතෙක් රංගනය පැත්තෙන් දායක වූ නිර්මාණ කිහිපයක් එන්නත් තියෙනවා.ඉතින් ඒ බලාපොරොත්ත සමඟයි කාලය ගතවෙන්නේ.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]