‘රටට දෙන්න පුළුවන් දේ දෙන්න, එතැන නිසි තැන නොවේ නම් යන්න’ තාත්තා කීවා

ඔස්ටින් මුණසිංහගේ ගේ පුතු තරුපති මුණසිංහ කියයි
නොවැම්බර් 16, 2023

"අපෙ තාත්තාගෙ දිවිපැවැත්මට මගේ හිතේ අදත් තියෙන්නෙ ලොකුම ගෞරවයක්...සරල ජීවිතයකට ප්‍රිය කළ ..හිතට එකඟව ම ජීවත් වුණු අපෙ තාත්තාගෙන් මගෙ ජීවිතයට ලැබුණු මඟ පෙන්වීම ..ආදර්ශය අදටත් මම ගෞරවයෙන් සිහිපත් කරනවා.."

මෙවර අප කතාවේ සොඳුරු කතා නායකයා ජනතා සිත්සතන්හි අව්‍යාජ ව ජීවත් වූ නිවුණු ගතිපැවතුමින් යුතු වූ අපූර්වතම සැබෑම මිනිසෙකි...ජනප්‍රියත්වය..මිල මුදල්..තනතුරු පසුපස්සේ හඹා නොයමින් අවිහිංසක සිතුම් පැතුම් කරපින්නාගත් සුවහසක් සංගීත රසකාමීන්ගේ ආදරයටම පාත්‍රවූ හෙතෙම තිරය පිටුපස සිට පෑ විසල් මෙහෙවර අදටත් අගනේමය...

වයලීනයෙන්..තබ්ලාවෙන්..බෙර වාදනයෙන්ද විවිධ සංගීත භාණ්ඩ වාද්‍ය විසිතුරෙහි උපන් හපන්කම් පෑ මේ සොඳුරු ගාන්ධර්වයාණෝ අනිකකු හෝ නොව දහසක් සිසු දරු දැරියන් සංගීත ලොවට දායාද කළ ඔස්ටින් මුණසිංහ නම් ගුරු පියාණන්ය..

නොඑසේනම් රටක් දෝතින් වැලඳගත් මිනිස් ගුණින් පිරිපුන් විශිෂ්ට සංගීතවේදියාය..

තවත් අයුරකින් කිවහොත් රටට දැයට හිතකාමී සෞන්දර්යය විෂයෙහි සමත්.. උගත්කමින් පිරිපුන් වටිනා පුත්‍රරත්නයක්ද රටට තිළිණ කළ සාඩම්බරණීය පියාණන්ය..

ඔස්ටින් මුණසිංහ නම් අපේ ආදරණීය කතා නායකයාගේ එකම පුතු රටක් හඳුනන තරුපති මුණසිංහයන් සුහද පිළිසඳරකට එක්වෙමින් දැන් මා සමීපයේමය..

මම ඔහුට සවන් දෙමින් නිහඩවම පසුවෙමි..

" රටට අහිමිව ගිය රටට වැඩදායී යමක් ඉටුකළ සෞන්දර්යයවාදී විශිෂ්ටයන් නැවතත් රටට මතක් කරදෙන්නට අපේ සරසවිය පුවත්පත ඉටුකරනා අගනා මෙහෙවර ගැන සරසවියටත් එහි කර්තෘතුමාටත්..ඔබටත් ස්තුතිවන්ත වෙනවා.." යැයි අප පිළිසඳරට මුලපුරමින් සතුට එකතු කළ හේ මෙසේද කියන්නේය..

"තමන් උගත් දේ රටට දෙන්න..පුළුවන් දේ දෙන්න..එය ඉටු කරන්නට එතැන නිසිතැන නොවෙයි නම් වහා එතැනින් ඉවත්වන්න.."

මෙන්න මේ දේ තමා අපෙ තාත්තා අපටත් නිතරම කියා දුන්නේ..."

අපේ සොඳුරු ගාන්ධර්වයා උපන්නේ කටුබැද්ද ..මොරටුවේ ය..උපන් දවස 1941 ක්වූ සැප්තැම්බර් මස 03 වනදාය...ඔහුගේ උප්පැන්නයේ නම මුණසිංහ ආරච්චි ලේකම්ලාගේ ඔස්ටින් මුණසිංහ ය..මෝමිස් මුණසිංහ සහ කර්ලැයින් මෝනා ඔහුගේ මවුපියන් ය...තාත්තා මොරටුවේ ය..අම්මා අවිස්සාවේල්ලේ යාලගම ග්‍රාමයේය..ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු වන තාත්තා තම දරුවනට දැක්වූයේ නොමඳ ආදරයක්මය..

අපේ සොඳුරු කතා නායකයා මූලික අධ්‍යාපනයට ඇතුළත් වූයේ කටුබැද්ද තෙලවල ශ්‍රී රාහුල විදුහලටය..සංගීතයට මහත්සේ ඇලුම් පානා බව දත් තාත්තා තම පුතු වෙත දිනෙක ඩෝල්කියක් තිළිණ කළේය..ගුරුහරුකම් නැතිද පුතු ඔස්ටින් එක එක හැඩ තාලයෙන් ඩොලැක්කිය වයන්නේය..මේ අතරේදී අක්කා මැහුම් පන්තියකට යාමට අයදුම් පතක් ගෙදර ගෙනාවාය..එහි සංගීත පන්තියක් ගැනද සඳහන් ව තිබිණි ..

මේ ගෙවී යන්නේ 61 දශකයයි..එවක රජයේ ලලිත කලායතනයේ විදුහල්පතිධූරය හෙබැවූයේ ලයනල් එදිරිසිංහ මහතාය. එහි පසුකලෙක නම් පතළ පී.වී නන්දසිරි ..ඩී.ආර් පීරිස් ආදීහූ ගුරුවරුද වූහ..

ගෙමිදුලේ ගසක් උඩ නැඟී මහහඬින් තාලයට ගී ගැයූ ඔස්ටින් දරුවා දැන් සංගීතය හදාරන්නේය..

අනතුරුව හෙතෙම රජයේ ලලිත කලායතනයේ පළමු වසරේ සිට වසර හයක කාලයක් මැනවින් සංගීතය හදාරා උපාධියකටද හිමිකම් කියන්නේය..

වික්ටර් රත්නායක..සුජාතා අත්තනායක ..විජයරත්න රණතුංග ..අමරසිරි පීරිස් ..මර්වින් පෙරේරා ..සරත් දසනායක ඔහුගේ සමකාලීනයන්ය..පවුල් පසුබිමින් සංගීතය හදාරා තිබුණේ මේ අතුරින් අපේ වික්ටර් රත්නායකයන් පමණි. වික්ටර් නුවර එම්.ජී.බී කලායතනයේ සංගීතය හදාරා පසුව ලලිත කලායතනයට පිවිසියේය. .

" අද කාලයේ කෙනකුට එකපෙළට කවි හතරක් පහක් කියන්නට අපහසු වුවත් එදා එක විෂයයකට දායකත්වය ලබාදීමට පිරිසක් ම බිහිවීම ඇත්තෙන්ම ආශ්චර්යයක්.."

මදෙස බලා හුන් අපේ ආදරණීය තරුපති එසේ කියන්නේය..

අපේ කතා නායකයාට වයලීනය හදාරන්නට තිබූ ආසාව සුළු නැති..වයලීන වාදනය ඉගෙනුමට එක්වූ හෙතෙම සංගීත ගුරුතුමා සමීපයේය..වයලීනය පිළිබඳව මූලික හැඳීන්වීමක්ද කළ ගුරුතුමා මොනම හේතුවක් නිසාවත් වයලීනයේ බෝ එක ඇල්ලීම සපුරා තහනමි ය..එහෙත් ඉගෙනුමට පැමිණි මුල්ම දවසේම එය කඩකිරීමෙන් කුපිත ව ගිය ගුරුතුමා "මං කිව්වනෙ බෝ එක අල්ලන්න එපා කියලා..

තේරුණාද.."

ගුරුතුමා කෑ ගෑවේය..විදුහල්පති පිටව ගිය වහා අපේ කතා නායකයා පහළ ශාලාවක පැවැත්වෙන තබ්ලා වාදනය ඉගෙනුමට දිව ගියේය..විජේරත්න රණතුංගයන්ද ඔහු සමගම තබ්ලා පුහුණුවේය..

අපේ තරුපති මීට තවත් වටිනා යමක් මෙහිදී එකතු කර කීවේය..

" මේ ටික මම කිවයුතුමයි..වෘත්තීය අධ්‍යාපනය පිහිටවපු තැන එහි ප්‍රතිඵල අදත් රටක් හැටියට තියෙනවා.."

"ඉතිං අමල්..තාත්තාගෙ තාත්තා ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙක්නෙ..පවුලේ බරත් වැඩියි..පහළ පන්තියේ අයනෙ..අනික් සහෝදරයො තමයි සෝමදාස මුණසිංහ ..ගුණදාස මුණසිංහ..වින්සන්ට් මුණසිංහ ..පවුලේ සිව්වැනියා තමා තාත්තා ..ඉන්පස්සෙ ලීලා මාගරට්..රංජනි...සුසිලා..තමයි තාත්තාගෙ සහෝදරියෝ ..පවුලේ අන් සහෝදරයො වඩු කර්මාන්තයේ ..වින්සන්ට් මහප්පා ගුරුවරයෙක් වුණා..පසුව ලංකා සමසමාජ පක්ෂයෙ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වුණා..99 දි එතුමා මියගියා.."

අපේ ආදරණීය තරුපති මුණසිංහ කියන්නේය.

කලායතනයට එක්වූ දා සිට අපේ ආදරණීය කතා නායකයාගේ සවනත වැකෙන්නේ බෙර වාදන රටාය..එතැනටද ආසක්ත ව ඔහු සිත නැවතුණේය..තම ජීවන ගමන් මගෙහි පදනම මේ ශිල්පයන් යැයි ඔහු ඉඳුරා දැනසිටියේදැයි නොදනිමි.

අපේ ආදරණීය කතා නායකයාගේ මව උදයේම කඩයප්පන් හදන්නීය.ඒවා කඩයට ගෙනයන කුඩා ඔස්ටින් ට පෙනෙන්නේ තමන්ට පෙර පාසලට යන සිසු සිසුවියෝය..සිය මවට මහත්සේ ප්‍රේම කළ හෙතෙම සිය පියාගේ ගොඩනැගිලි තැනීමේ තැන්වලටද යන්නේය..සරමකින් සැරසී එහි කුමක් හෝ වැඩෙක යෙදී මුදලක් උපයාගත්තද මේ මගේ පුතා යැයි තාත්තා කිසිවිටෙක සෙසු සේවකයනට හඳුන්වා දී නැති..එතැනින් නික්ම කලායතනයට ඉගෙනුම පිණිස යන ගමනට සරම හැඳ යාමට නොහැකිය..හුදකලා තැනකට ගොස් සරමින් කලිසමකට මාරුවන හේ කලායතනයට යන්නේය..අපේ විශිෂ්ට සංගීතඥයකු වන කේමදාසයන් දුම්රියේ එහා මෙහා යමින් බටනළාව වාදනය කරන අයුරුද ඔහුදැක ඇත්තේ මේ යන අතරමගකදීය..

අපේ තරුපති යමක් කියන්නට සැරසෙයි.

"අපෙ තාත්තා අකුරු කියවා තියෙන්නෙ සරස්වතී යෝගයෙන්..ඒ ගැන වඩාත් සතුටු වෙලා තියෙන්නෙ තාත්තාගේ මවුපියන් .තාත්තා කලා ශිලිපයන් ඉගෙන ගන්න ලොකු ජීවන අරගලයක් කළාය කීවොත් එය ඇත්තක්මයි.."

60 දශකයේදී රජයේ ලලිත කලායතනයේ දී හෙන්රි ජයසේනයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වන්නට හෙතෙම අවස්ථාව ලද්දේය..ඒ බෙර වාදනයෙනි..තබ්ලාව ද..දවුල ද සංකීර්ණ වාද්‍ය වෙනුවෙන් ඔහු මොනවට සිය දක්ෂතා විදහා දැක්වූයේය..තවත් උදෑසනක්...කුවේණි..ආදී තවත් නාට්‍යවලටද සම්බන්ධ වූ ඔහුට වසන්ත කුමාර ගුරුතුමා යටතේ දේශීය නැටුම් කලාවට වාදකයකු ලෙසින් එකතුවන්නට හැකි වූයේය..පහතරට බෙරය..ගැට බෙරයකින් ..විශාල ශබ්දයක් මතුවෙයි.එහෙත් ගුරු වසන්ත කුමාරට අවශ්‍ය අයුරින් බෙර වාදනය මටසිළුටුව වැයීමෙහි හපන් අපේ ඔස්ටින් ගැන ගුරුතුමා බොහෝසේ පැහැදුණේය..හුණුවටයේ කතාවේ පළමු පුහුණුවේ සිටම බෙරය වාදනය කළේ ඔහුය..තවත් වාද්‍ය ශිල්පීන් අතර මූලික සංගීත භාණ්ඩ මෙහෙයවූයේ අපේ ආදරණීය ඔස්ටින් ය..

පසුව වැඩිදුර ඉගෙනුම පිණිස හේ ඉන්දියාවේ භාත් ඛණ්ඩේ විද්‍යාලයට ගියේය.. විෂය දක්ෂතාවයෙන් පිරිපුන් ඔහු පිළිබඳව තැන තැන තුඩ තුඩ රැව්දුණි. නාට්‍ය කලාවටම බද්ධ වූ හේ නාට්‍ය වෙනුවෙන් සරල ගීත සංගීතය නිර්මාණයට අත ගැසූවද..ගායකයකු වීමේ සිහිනයක් හෝ අපේක්ෂාවක් නම් තිබුණේම නැති..

වරෙක මෙලෙසින් ද සිදුවී තිබේ.."දම්පාටින් ළා සඳ බැස යනවා.."ගීතයට සංගීතය මුසුකරමින් අනුලා බුලත්සිංහල සමඟ ගුවන් විදුලියට ගැයුවේ ඔහුය..එහි පටිගත කළ ශිල්පියා වූයේ අපේ ගුණදාස කපුගේ ය..

"ඒ ගීතය ගැයුවාට තැටි කැපුණෙ නැහැ. පස්සෙ කපුගේ ඒ ගීතය ඉල්ලාගෙන මාලනී බුලත්සිංහල සමග ගායනය කළා.."

අපේ තරුපති කියන්නේය.

"මේ රට මගෙ රට..මා ඉපදුණු රට.."ගුවන් විදුලියේ අධ්‍යාපන සේවයට ඔහු සංගීතය නිර්මාණය කළේය..තවද ගුවන් විදුලි අධ්‍යාපන සේවයට හෙතෙම ඉමහත් වැඩ කොටසක් ඉටු කරන්නටද සමත් වූයේය..අනතුරුව හේ ගුවන් විදුලියේ වාදක මණ්ඩලයට එක්වූයේය..ගුරු වෘත්තීයට අපේ සොඳුරු ගාන්ධර්වයා එක්වූයේ ඉන් අනතුරුව ය..ඒ 1973 කාල සමයේදීය..තෝලංගමුව ම.ම.විද්‍යාලයේද..තෝලංගමුව කටුබැද්ද සුනන්දෝපනන්ද සහ මහානාම විදුහල්වලද අපේ ආදරණීය ඔස්ටින් සංගීත ගුරුවරයා වූයේය..

ගුරු උපදේශක ..පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු වන්නට තරමේ සුදුසුකම් තිබුණිද අල්පේච්ඡ දිවිපෙවෙතකට සැබැවින්ම ඇලුම් කළ ඔහු තම ගුරු වෘත්තියෙන් පමණක් ඉහවහා ගිය සතුටක් වින්දනය කළේය..වාමාංශික අදහස් වලින් පිරි සමසමාජ පාක්ෂිකයකු වූ හෙතෙම සමසමාජ පක්ෂයේ 43 වන සංවත්සරයට ඇන්.ඇම්..කොල්වින්ලාගේ ඇසුරද ලබමින් එහි සංගීත නිර්මාණ කටයුතු මෙහෙය වූයේය..

"අපෙ තාත්තා ප්‍රතිපත්ති ගරුක උතුම් මනුෂ්‍යයෙක්..සිතිවිලි හරිම සරලයි..කිසිවක් වෙත හඹායාමක් ඇත්තේම නැහැ..තාත්තාගෙ වෘත්තියේ නියැළෙන එහෙම අය කවදත් විරලයි.."

පුතු තරුපති කියන්නේය..

"අපෙ තාත්තා කවදාවත් අපට කියල නැහැ එයා යන මාර්ගයේම අපත් ආ යුතුයි කියලා..මගේ සංගීත ගුරුවරයා මගේ තාත්තා ..

තාත්තා නිවුණු පුද්ගලයකු වුවත් දඬුවම් දෙන අවස්ථාවකදි නම් ඒ නිවුණු ගති නැහැ..අසාධාරණයකදි නම් ඊට සෘජුව මුහුණ දෙන කෙනෙක්..අදීන බව ගැබ්ව තිබුණේ තාත්තාගෙ ජීවන රටාව තුළමයි..

"මගේ ජිවිතයේ ආචාර්ය වරයාද..සංගීත ගුරුවරයාද මගේ තාත්තායි..

දිනෙක අපේ සොඳුරු ගාන්ධර්ව තෙමේ වෙත පැමිණි එක් රූමත් යුවතියක් තම අතැති වයලීනය දිගුකර වයලීනය ටියුන් කරදෙන්නැයි ඉල්ලා සිටියාය..හේ ඇයගේ වයලීනය ගෙන 'ටියුන් " කර දී කතාබහකට ද යොමු වූයේය.. මහානාම විද්‍යාලයේ සංගීතය පිළිබඳ ගුරුතුමිය ඇයය..කතාවෙන් ඈ පිළිබඳව වඩ වඩාත් පැහැදුණු අපේ ආදරණීය ඔස්ටින්ගේ සිතද ඈ කෙරෙහි නැවතුණාය..ඇය ඔහුගේ ජීවන සහකාරිය වූයේ එලෙසිනි..ඕ තොමෝ අචිරවතී යාලේගමය..

එම විවාහයෙන් ඔහු පුතකුගේ දියණියකගේ පියෙකු විය..පුතු මා සමඟ පිළිසඳරේ පසුවන තරුපති මුණසිංහ ය....දියණිය ස්වේතකී නිරංජලා මුණසිංහය...ඇය උපාධිධාරිනියකි..මේ වනවිට ඕ විවාපත්ව වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ ය..පුතු තරුපති ද වෙසෙනුයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරය..ඉගෙනුමින් ඉහළටම පැමිණි අපේ ආදරණීය තරුපති කුරණෑගල විශ්වවිද්‍යාලයේ ද..ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ..ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ශබ්ද සැලසුම්කරණය පිළිබඳ පර්යේෂණ උපාධිය සමත්වූවෙකි. මෙල්බර්න් ඩීකින් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියටද හිමිකම් කියනා හෙතෙම මානව සංගීතවේදයද හදාරා ඇත්තේය..

ආචාර්ය තරුපති මුණසිංහයන් මදෙස බලාගත්වනමය ..

ඔහු සිනාසෙයි.

"අපෙ තාත්තා එයාගෙ අත්දැකීම් නිතර මා එක්කමයි බෙදාහදා ගත්තේ..ගෙදර ජීවිතය එක්ක පුදුම සබඳතාවක් තාත්තා ට තිබුණේ..මා එක්කල විවිධ සිදුවිම් අත්දැකීම් කීම තාත්තාගෙ සිරිතක්..ජීවිතය ගැන වගේම වෘත්තීයමය පැත්ත ගැනත් තාත්තා නිතර කතා කරනවා..

තාත්තා නිතර කියූ දෙයක් මට තවමත් මතකයි..

"එකම සිදුවීම ලොවේ නැවත වරක් සිදුවෙනවා..පාර්ශ්වයන් වෙනස් විය හැකියි..නමුත් සිද්ධිය එලෙසමයි..අප ඉගෙන ගන්නේ පළපුරුද්ද.."

මෙහෙම තාත්තා නිතර කියල තියෙනවා..

නන්දා මාලනියගේ "පවන" ප්‍රසංගයේදීද වැඩිම ගීත රැසකට සංගීතය නිර්මාණය කළේ ඔහුය..තමන්ගේ ප්‍රතිපත්තිය සෘජුව කියනා පුරුද්දකින් හෙබි අයකු වූ අපේ කතා නායකයා තම මතය සෘජුව කියූ අවස්ථාද ඇත්තේය..සමහර තීන්දු තීරණ සෘජුව ගත යුතුමය..ප්‍රතිපත්ති ගරුක බව නිසාම අපේ ආදරණීය ඔස්ටින් නොපැකිළව කිවයුත්ත කියන්නේමය..

තම බිරිඳට හිත ළඟින්ම ආදරය කළේය..ඕ සිය හිමි ඇමතුවේ "පැටියෝ" යන ආදරබර ඇමතුමිනි.මේ දෙදෙනා අසමගි වූ දවසක්ද නැති..

"අපෙ තාත්තා නළුවකු වුණා..ඒ විජිත ගුණරත්නගේ දැති කියන නාට්‍යයේ ..පූරකගේ චරිතයද රඟපාමින් තාත්තා එහි සංගීතය සැපයුවා.."

අපේ ආචාර්ය තරුපති මුණසිංහයන් කියන්නේය.

රතු හැට්ටකාරි..රට බාරයි නුඹට පුතේ..ආදී වේදිකා නාට්‍ය විශාල සංඛ්‍යාවකට හේ සංගීතයෙන් දායක විය...ඇතැම් විට ගැයුමින්ද එකතු විය...ටෙලි නාට්‍ය රැසකටද සංගීතය සැපයූ ඔහුගේ ගෝල පරපුරද අති මහත්ය..හේ විවිධ අවස්ථාවන් වලදී සිය නිපුණ බව විදහා දක්වමින් සම්මානිත වූයේය..

මධුවිතටත් දුම්වැටියටත් හෙතෙම ප්‍රේම කළේය..තම එකම පුතු තරුපති තම වාදක මණ්ඩලයේ බෙර වාදන ශිල්පියකු ලෙස සමත්කම් පෑමේදී ඔහු තම පුතුගේ අත අල්වා පැසසුම් පුද කළේය..

පියාණන්ගේ මඟ ඔස්සේ පියවර මැන යන පුතු තරුපති 95 වසරේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයට නවක නළුවන් බඳවා ගන්නා බවට දැන්වීමක් දැක පුතු එහි ගියේය..තම පුතුට කිසිවිටෙකවත් තමන් විසින් හඳුන්වා දී නිර්මාණ වලට දායක කරවීමට නොසිතූ හේ පුතු විසින්ම මග සොයා යනු දැක සතුටින් ඉපිළුණේය. සම්මුඛ පරීක්ෂණ තුළින් පුතු සමත්ව නිර්මාණ අතර පසුවීම ඒ තාත්තාට අපමණ සතුට ගෙනදෙන්නක්ම විය..නාට්‍ය නිර්මාණ රැසකටම තරුපති ගායනයෙන් හා වාදනයෙන්ද දායක වූයේය..චරිත නිරූපණයේහි ද සමත් බව පුතු තරුපති ප්‍රකට කළේය.. තවත් නාට්‍ය නිර්මාණයන්හීදි පුතු තරුපති වාදකයකු වෙමින් සංගීතය මෙහෙයවනු දැක තාත්තා සතුටින් පිනා ගියේය..

උපාලි ආරියසිරි "මියුරුසර වසන්තයේ ගී.." රූපවාහිනී ප්‍රසංගයකි.එය ගීතමය වැඩසටහනකි.රත්න ශ්‍රී විජේසිංහයන් ගී රචනා කර තිබිණි ..සංගීතය අපේ කතා නායකයා වෙතිනි.රොඩ්නි ..රත්නා ලාලනී..ජැක්සන්..ගායනයේය...

"මං බදුල්ලේ පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයට එදා ගිහින් ආවෙ..

තාත්තා නිවසේ ග්‍රිල් එකෙන් එළිය බලාගෙන කල්පනාවක මෙන් හිටියා.කුමක් හෝ තාත්තා ට හැඟී..දැනී තිබුණු බව මට ඒ වෙලාවෙත් දැනුණා.

අපේ තරුපති ගේ මුහුණෙහි පෙර පැවති සතුටුසේයා අතුරුදන් වී ඇතිවාසේය..ඔහුගේ දෑස් බිමටම බරවී තියේ...

"මට ඒ වෙද්දී හිතිල තිබුණෙවත් දැනිල තිබුණෙවත් නැහැ..තරුපති මුණසිංහ කියන මම නක්ෂත්‍රය හෝ වෙනත් කලා කටයුතු වලින් අද වගේ නමක් අරන් ප්‍රසිද්ධ කෙනෙක් වෙලා හිඳීවි කියලා..

මට හිතට දැනුනෙ මහ බයක්..තාත්ත ට මොනව හරි සිද්දවුණොත් මට මොනව වේවිද කියලා..මට මහ අසරණ හැඟිමක් එදා මා තුළ ඇතිවුණා.."

අපේ ආදරණීය කතා නායකයාගේ එකම පුත් තරුපතිගේ කටහඬ බිඳුණු ස්වරයකි ...ඔහු වචන අපහසුවෙන් මෙන් ගළපන්නේ යැයි මට සිතේ.

අපේ සොඳුරු ගාන්ධර්වයා හෘදරෝගී තත්ත්වයකින් පෙලෙන්නේය..මේ වනවිට පුතු තරුපති විශ්වවිද්‍යාලයේ පළමු වසෙර්ය..දියණිය ද තවම ගෙදරය..තනියට ඉතිරි වන අම්මා මේ හැම බරක්ම . ඉසිලිය යුතුය..තාත්තාට මුකුත්ම වෙන්න එපා.."පුතුගේ සිත එලෙසින්ම හඬගා කියැවෙන්නේය.

අහෝ...අපේ විශිෂ්ට ගාන්ධර්වයාණෝ එක්තැනට වැටුණේ හදිසියේ අංශබාග රෝගයට ගොදුරුවීමෙනි..

වාසනාවෙකි.

ඉන් ඔහු සුවපත් වූයේය..

තවත් දිනක් දෙකක් ගතවී අපේ කතා නායකයා අසනීපව රෝහල් ගත කළේය..ගතවූයේ තවත් දින තුනකි..වෛද්‍යවරුන් බලවත් උත්සහයක යෙදුණි. සියලු උත්සාහයන් ව්‍යර්ථව ගියාසේය..

අපේ ආදරණීය ඔස්ටින් මුණසිංහ ගාන්ධර්වයා කිසිවකුට හෝ නොදන්වා..නොකියාම දෑස් පියාගත්වනම නික්ම කොහේදෝ යන්නටම ගියේය...

"තාත්තා තම ජීවිතයේ හොඳම කාලයේ හොඳම දේවල් රටට තිළිණ කළා කියලයි මම විස්වාස කරන්නෙ.."

"කලාකරුවකුට වඩා පියෙකු විදිහට තාත්තා තවත් කල් ජීවත්ව සිටියානම් ඒ ධෛර්යය අතිමහත් සමාජයට දෙන්න ඉඩ තිබුණා .."

පුතු සෙමින් කියන්නේය.

වින්සන්ට් මුණසිංහ තම මහප්පා ට පුතු තරුපති තම පියාණන් තමන්ද අතැර ගිය බව දැනුම් දුන්නේ ඉකිබිඳුමෙනි..මහමග අයිනක ලයිට් කණුවක් පාමුල ඒ මහරාත්‍රියේ හිඳගත් තරුපති පුතු හඬන්නට දැවෙන්නට වන්නේය.

"දැන් මට මොකද වෙන්නේ"

පුතු දහස්වරක් තමාගෙන්ම ප්‍රශ්න කරන්නට වූයේ හද ගැහෙනා මහත් සෝකයකිනි..

තම හිමිට නිසි අගැයීමක් ..කෘතවේදී බවක් කිසිවකු වෙතින් නොලද බවද සඳහන් කරමින් සිත සිරකරගත් වෙිදනාවද සමඟින් ඔහුගේ ආදරණීය බිරිඳ අචිරවතී යාලේගම මහත්මිය "සොඳුරු ගාන්ධර්වයා" නමින් කෘතියක් එළි දැක්වූවාය..

මම පුතු තරුපති දෙස බලමි..

ඔහු මුහුණ විඩාපත්ව සේ මට පෙනෙයි..ඒ තම පියාණන් පිළිබඳ ශෝචනීය මතකයන් තුළින් සිත හඬවන නිසා යැයිද මට සිතේ..

1997ක්වූ අප්‍රේල් මස 28 වනදා අපේ ප්‍රේමණීය සොඳුරු ගාන්ධර්වයා නික්ම ගියද..පියාණන් නැවතූ තැනින් නැවත රටට යමක් ඉටු කරන්නට තමන් සැලසුම් කර තිබෙනවා යැයි ....පියාණන්සේම නිපුණ බවින් පිරිපුන් අපේ ආචාර්ය තරුපති මුණසිංහයන් වෙතින් සමුගන්නා මොහොතේ එලෙසින් මා සමඟ පැවසුවේ තිර හඬකිනි...

 

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

[email protected]