වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
සිනමා රංගනයේ අලුත් අස්වැන්න

සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රේක්ෂකයෙක් හෝ රසිකයෙක් චිත්‍රපට වලට ආකර්ෂණය වෙන්නේ ළමා අවදියටත් වඩා නවයොවුන් වයසේදී යයි සිතන්නට පුළුවන්. ළමා කාලයේදීත් අප කවුරුත් චිත්‍රපටවලට කැමති වුණත් ‘චිත්‍රපට නැරඹීම’ නම් අත්දැකීම් නිසියාකාරව අවබෝධ කරගෙන ඒ චිත්‍රපට සිහින ලෝකයට ස්වාධිනව ඇතුල්වෙන්න අපට හැකියාව ලැබෙන්නේ නව යොවුන් වයසේදී තමයි. (මීට දශක දෙකකට පමණ පෙර යුගයේ නම් වයස දහතුනක දහහතරක ගැටවරයකුට නිවෙසටත් හොර රහසේ සිනමා ශාලාවකට ඇතුළු වී චිත්‍රපටයක් නරඹන එක අපුරු ආස්වාදනීය ආකර්ෂණීය අත්දැකීමක්. විශාල ප්‍රේක්ෂක පිරිසක් සමඟ එකට වාඩි වී අඳුරේ විශාල තිරයක් මත පතිත වෙන චිත්‍රපට රූප මාලාවක් මේ ගැටවර වයසේ දරුවකුට දැනෙන ආස්වාදය වගේම හිතට ඇතුලු වෙන ස්වාධීනත්වය මුසු පෞරුෂයත් ඉතාම වැදගත් වෙනවා. ඒත් අද වන විට නම් තත්ත්වය තරමක් වෙනස් වී ඇත්තේ අද දරුවන් මුලින්ම වගේ වීඩියෝ ක්‍රීඩාවලටත් ජංගම දුරකථනයට හා අන්තර්ජාලයටත් හුරුවන නිසායි. එහෙත් ඒ මාධ්‍යයන් ඔස්සේ වුණත් මේ දරුවෝ කෙටි කලකින් චිත්‍රපට බැලීමේ අත්දැකීමට ආශාවෙන් එක්වෙනවා).
කෙසේ හෝ චිත්‍රපට නරඹන්නට ඒ අත්දැකීම ආස්වාදනය කරන්නට කෙමෙන් එක්වෙන මේ නවයොවුන් පිරිස මුලින්ම ආකර්ෂණය වෙන්නේ සිනමාවේ කුමන අංශයකට දැයි කිව හැකිද? බොහෝ දෙනාගේ තම අත්දැකීම් මත පවසා සිටින්නේ ඒ රංගනය බවයි. විශේෂයෙන්ම ආකර්ෂණීය සිනමා තරු හඳුනාගන්නා රංගන අවස්ථා ඔස්සේ මේ යොවුන් පිරිසගේ චිත්‍රපට ආස්වාදනයේ පරිමාව හා හැඩතල සකස් වෙනවා. මෙරට සිනමාවේ ඉහළම ප්රේර්ක්ෂක සහභාගීත්වයක් පැවති හැත්තෑව අසූව දශකවල දී එවක නව යොවුන් හා තරුණ පිරිස් චිත්‍රපටය නම් විනෝද සහ කලා මාධ්‍යය වෙත තදින්ම ආකර්ෂණය වුයේ ගාමිණී, මාලිනී, විජය, ටෝනි, ජෝ තිස්ස, ශ්‍රියාණි ඇතුළු සිනමා තරු ප්‍රකට කළ රංගන අවස්ථා නිසා නොවේද? අනෙක් අතින් ඒ සිනමා රංගන අවස්ථා මඟින් මෙන්ම විශේෂයෙන්ම ප්‍රබල චිත්‍රපට ඡායාරූපකරණය, රූප ශබ්ද සැලසුම හා කතා වින්‍යාසය මතුකරන සංස්කරණය හා සංගීතය ඔස්සේ මතුව එන නාට්‍යමය කතා රසයක් තවදුරටත් තරුණ හෝ මැදිවියේ පේ්රක්ෂකයා චිත්‍රපට මාධ්‍යය වෙත ඇද බැඳ තබාගන්නවා. ජනපි‍්‍රය විනෝදාත්මක වුවත් කලාත්මක තාත්විකවාදී චිත්‍රපට වුවත් එදා අපේ පේ්රක්ෂකයා දැඩි ලෙස අවධානය යොමු කළේ චරිත නිරූපණය කුතුහලය මුසු කතා රටාව වෙතයි. මෙරට පමණක් නොව ලොව ඕනෑම රටක පොදු ප්‍රේක්ෂකයින් චිත්‍රපටයට ආකර්ෂණය වන්නේ සිනමා තරු සහ ඔවුන්ගේ සිත් ඇඳබැඳ ගන්නා රංගනය නිසා බවත් ලෝකයේ බොහෝ සිනමා කර්මාන්ත හා සිනමා සංස්කෘතීන් විමසා බැලීමෙන් පැහැදිලිව පෙනී යනවා. මෙසේ සිනමාකරු හෝ ප්‍රබල චිත්‍රපට රංගන ශිල්පීන් ගේ රංගනයන් වලටත්, ජනපි‍්‍රය ප්රතිරූපවලටත් ආදරය කරමින් සිනමාව ඇසුරු කරන ප්‍රේක්ෂකයින්ගේ ඇතැමුන් තුළ ඇතිවන සිහින සිතිවිල්ලක් වන්නේ තමාට ද සිනමා රංගන ශිල්පියකු ලෙස ජනපි‍්‍රයත්වයක් ලබාගත හැකි ද යන්නයි. එහෙත් සිනමා රංගනයට එක්වීම පිළිබඳ සිහිනය දකින පේ්රක්ෂකයින්ගෙන් කී දෙනෙක් ඒ සිහිනය සැබෑකර ගන්නේ ද? සිනමා රංගනයට එක් වූ පමණින් එය අවබෝධ කරගැනීමත් මෙන්ම චිත්‍රපට රංගනය දෙස බලා සිටින පේ්රක්ෂකයාට තමා රඟපාන චරිතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් හෝ ඒ පිළිබඳ භාව වින්දනයක් ලබා දීම පහසු කාර්යයක් වන්නේ නැහැ. (චිත්‍රපට රංගනය වරදවා වටහාගත් රංගන ශිල්පීන් මෙන්ම කිසිසේත් එය හඳුනානොගත් ශිල්පීන් ද ඇතැම් විට අපට විවිධ සිනමා සංස්කෘතින්වල ද හමුවෙනවා)
රංගනයේදී ශිල්පියකු මුහුණ දෙන තත්ත්වය වන්නේ තමා මෙතෙක් නොදැන සිටි කල්පිත චරිතයකට පිවිසිීමට තමාට අදාළ සාමාන්‍ය අනන්‍යතාව යම් දුරකට අමතක කිරීමයි. තමාගේම කටහඬ ශරීර චලන හෝ ශරීර භාෂාව මඟින් නළුවා එම තමා නොවන ආගන්තුක චරිත ලක්ෂණයන් මතුකර දැක්විය යුතුයි. එය පැහැදිලිව අසීරු කාර්යයක්. අනෙක් අතින් සිනමා රංගනය පේ්රක්ෂකයා ඉදිරිපිට සජීවි ලෙස අඛණ්ඩව කරන චරිත නිරූපණයක් නොවෙයි. එය කැමරාව සඳහා වරින් වර කොටස් වශයෙන් කරන රංගනයක්. වේදිකාවේ මෙන් නොව ස්වභාවික මිනිස් හැසිරීම් වලට වඩාත් සමීපව පවතිමින් වුවද කැමරාවේ සටහන් වීම සඳහා භාව නිරූපණය කිරිම් පාලනය කරමින්, අඩු වැඩි කරමින් දැක්වීමේ එක් විධි ක්‍රමයක් ලෙස සිනමා රංගනය හඳුන්වන්න පුළුවනි. විවිධ කාර්මික යන්ත්රසූත්ර බහුල යම් යාන්ත්‍රික පරිසරයක පවතිමින් වරින් වර තමා ලද චරිතයේ මනෝභාවයන් බාහිර චර්යාවන් වලට එළඹෙමින් චරිතයක් විකාශනය වන අයුරින් රංගනයේ යෙදීම දුෂ්කර කාර්යයක්. වේදිකාවේදී ‘අඛණ්ඩතාව’ මත රංගනය පැවතීම ප්‍රධාන වන අතර සිනමාවේදී අඛණ්ඩ රංගනයක් වන්නේ නැහැ. සිනමා රංගනයේදී නළුවා හෝ නිළියගේ සමස්ත සිරුරෙන් කරන ප්රකාශනය ද කැමරාවේ දුර හෝ මධ්‍යම රූප දර්ශනවලදී වැදගත් වුවද ඇතැම් විට මුහුණෙන් හෝ දෙනෙතින් පළ වන භාව ප්රකාශනය වඩාත් ප්‍රබල වෙනවා. සමීප රූපයකදී චිත්ත අභ්‍යන්තරයේ බලපවත්වන යම් හැඟීමක් පවත්වා ගනිමින් හුදු නොසෙල්වෙන බැල්මක් රඳවා තබාගෙන සිටීමෙන් පමණක් වුව ද සිනමා රංගනයේදී වැදගත් දායකත්වයක් සේ දැක්විය හැකියි. සිනමා රංගනයේදී සැබෑකාලයට සමීපව පවතින අතර අධ්යක්ෂවරයාගේ හා කැමරාවේ අවශ්‍යතාව අනුව අදාළ චරිතයේ චර්යාවන් තරමක් මතුකර පෙන්වීමයි. චිත්‍රපට රංගන ශිල්පියා කළ යුත්තේ ඔහුගේ ප්රකාශනය එපමණකින් වුවද පූර්ණත්වයක් අත්පත් කරගන්නවා. සිනමා නළුවා තමාගේ භාව නිරූපණය යම් අවමතාවාදී (ර්ඪදඪථචතඪඵබ) මට්ටමක පවත්වා ගැනීම මගින් චිත්‍රපටය අධි රංගනයේ හෝ අධි ප්රකාශනයේ අනතුරට ලක් වීමෙන් බොහෝ දුරට වළකිනවා. ඉන් සිදුවන වඩා යහපත් ධනාත්මක ලක්ෂණය වන්නේ චිත්‍රපටයේ අත්දැකීමත් නළුවා නිරූපණය කරන චරිතයත් ප්‍රේක්ෂකයාට විශ්වාසනීය හා සමීප වීමයි.
චිත්‍රපට කලාවට රසිකයින් වහා ආකර්ෂණය කරගන්නා ප්‍රධාන මෙවලමක් වන ‘චිත්‍රපට රංගනය’ නැත්තම් ‘චිත්‍රපට චරිත නිරූපණය’ පිළිබඳ තරමක් විමසුමක් කළේ එවැනි ජීවිතයේ සැබෑවට මෙන්ම සිනමා රංගනයේ සැබෑවටත් සංවේදී වෙමින් පේ්රක්ෂකයාගේ රසවින්දයත්, චරිත අවබෝධයත් පුළුල් කරන සිනමාරංග ශිල්පීන් පරපුරක් අපේ සමීපතම සංස්කෘතික අසල්වාසියා වන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බිහි වී මුළුමහත් ආසියාව පුරාම ජන ප්‍රසාදයත් ආකර්ෂණයක් දිනාගනිමින් සිටින නිසායි. ඒ වසර දෙහසින් පමණ පසුව මලයාලම් සිනමා වට ඇතුල් වී එහි අතුපතර විහිදා වැඩෙන නව සිනමා රංගන පරපුරයි. මලයාලම් සිනමාවේ නව ප්රවණතාවේ අධ්යක්ෂවරුන්, තිර රචකයින් සමඟම එකට එක්ව වර්ධනය වුණු මේ රංගන පරපුර ද ඒ නව සිනමා කරුවන්ගේ යථාර්ථවාදී හා නව නූතන ආකල්ප සමඟ ඉතාම සමීපව කටයුතු කළ රංගන ශිල්පී පරපුරක් එවැනි නව යථාර්ථවාදී සිනමා ආකල්ප වලින් ද මනා අභාසයක් හා අවේශයක් ලැබූ මේ නව රංගන පරපුර ජනපි‍්‍රය මලයාලම් චිත්‍රපට සමඟ ද විවිධත්වයකින් යුතුව එක් වුණා. ඒ සමඟ ජනපි්රයවාදී මලයාලම් චිත්‍රපට වල ද ප්‍රකාශන රීතියත් රංගන රීතියක් පැහැදිලිව වෙනස් වූ බව පැහැදිලියි. අසූව දශකයේ ආරම්භ වී පැතිර ගිය මලයාලම් සිනමාවේ ‘තරු’ මූලික කරගත් යම් තරමක අධිරංගන ලක්ෂණ වලින් වුවමනාවෙන්ම බැහැර වෙමින් ජීවිතයේ සැබෑ තත්ත්වයන්ට සමීප තාත්විකාවාදී රංගනයක් තමාට හැකි අයුරින් අත්හදා බලන්නටත් එවැනි රංගන රීතියක් මලයාලම් සිනමාවේ ස්ථාපිත කරන්නටත් මේ නව රංගන පරපුර බොහොී දුරට සමත් වූ බවක් පෙනී යනවා. ඒ ව්‍යායාමය සාර්ථක නොවුණේ යයි මෑත කාලීන මලයාලම් චිත්‍රපට විමසා බලන්න ප්‍රේක්ෂකයින්ට හෝ විචාරකයින්ට කිව හැකිද? අප මේ උත්සාහ කරන්නේ තවමත් විවිධ රංගන පිවිසුම් සමඟ දිනෙන් දින වැඩෙන නව මලයාලම් සිනමා රංගන පරපුරේ පුරෝගාමීන් කිහිපදෙනෙකු ඔබට හඳුන්වා දෙන්නටයි.
2009 වසරින් පසු සිනමා රංගනයට එක්ව තම රංගන හැකියාව දිගින් දිගටම මනාව මුවහත් කරගෙන මේ වනවිට පොදු ඉන්දීය සිනමාවේ විශිෂ්ට රංගවේදියකු ලෙස ඉහළ නමක් දිනා ගත් ‘ෆහාඩ් ෆසීල්’ මේ නව පරපුරේ පුරෝගාමීයෙක්. 2002 තම මුල්ම චිත්‍රපටයේ රංගනයේදී අසාර්ථක වූ ෆහාඩ්, වසර ගණනාවක විදෙස් අධ්‍යාපනයකින් පසු නැවත සිනමාවට එක් වන්නේ 2009 වසරේ ‘කේරළ කැෆේ’ චිත්‍රපටයත් සමඟයි. ‘කේරළකැෆේ’ චිත්‍රපටයේ මාධ්‍යවේදීයකු ගේ චරිතයෙන් පේ්රක්ෂයින්ගේ අවධානය දිනාගත් ෆහාඩ් වෙතින් මෙතෙක් මලයාලම් සිනමාවේ හමුනොවූ සරලකම ජීවිතයට සමීප රංගන ශිල්පියකු පේ්රක්ෂකයින්ට හමුවුණා. එතැන් පටන් චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවක රංගනයේ යෙදුණු ඔහු තම චරිත වලට එළැඹෙන්නේ හුදෙක් භාව නිරූපණයක් මඟින් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය ලබාගෙන ඔවුන්ගේ දෙනෙත් හා සිත තමා වෙත රඳවා තබා ගැනීමේ අරමුණින්ම නොවෙයි. එවන් සිත් බැඳගන්නා ඉරියව් චලන හා චර්යා රටා ඔහු වෙතින් පළ වුණත්, ඔහුගේ රංගනය දෙස බලා සිටින්නට අදාළ චරිතයේ කළු සුදු ගුණංග විනිවිද දැකිය හැකි දෘෂ්ටියක් ද එන්නත් කරන්නට ඔහුගේ සරල නිරවුල් රංගන චර්යාව සමත් වෙනවා. විශේෂයෙන්ම තම දෙනෙත් ඇහිබැමවලින් ඉසියුම් භාව නිරූපණයන් එළි දක්වන්නට ප්‍රබල හැකියාවක් දක්වන ෆහාඩ්ට ඇතැම් විචාරකයින් හඳුන්වන්නේ චරිතයේ හදවත දෙනෙත් මතට, රැගෙන එන්නකු ලෙසයි. ‘22 ෆීමේල් කෝටායම්, ‘ආර්ටිස්ට්, අන්තයුම් රසූලම්, මහේෂින්තේ ප්‍රතිකාරම්, තොන්සිමුතුලාම් දෘශාක්යම්, ජෝජි, ‘කුම්බලාංගි නයිට්ස්, මලික් බඳු මෑතකාලීන චිත්‍රපටවල රංගනයන් මඟින් ඔහු මලයාලම් ප්‍රේක්ෂකයාගේ රංගනය හා සිනමා භාෂාව පිළිබඳ සාක්ෂරතාව ඉහළ දැමීමට ප්‍රබල දායකත්වයක් දක්වා තිබෙන බැව් පැහැදිලියි. මේ වන විට පස් වතාවක් හොඳම නළුවාට හා හොඳම සහාය නළුවට හිමි කේරළ ජාතික සම්මානය ලබා ඇති ෆහාඩ් චිත්‍රපට නිෂ්පාදකයකු ලෙසත් චිත්‍රපට අටක් පමණ නිපදවා ඇති අතර දෙමළ තෙළිඟු හා හින්දි චිත්‍රපටවල ද රංගනයෙන් දායක වී තිබෙනවා. ‘පුෂ්පා’ වේලයික්කරන් හා ‘වික්‍රම්’ ඊට සාක්ෂි සපයනවා.
වත්මන් මලයාලම් හා ඉන්දීය සිනමාවේ අතිශය ජනපි‍්‍රය සිනමා තාරකාවක් මෙන්ම සම්මාන ලාභී රංගන ශිල්පියකු වන ‘පී‍්‍රති විරාජ් සුකුමාරන්’ මෑත කාලීන මලයාලම් නව චිත්‍රපට ප්රවණතාවට අනුව මනාව අනුවර්තනය වුණේ තම ජනපි‍්‍රය ප්‍රතිරූපය ද රැකගනිමින් මෙන්ම එය ප්‍රයෝජනයට ද ගනිමින්. 2002 දී ‘නන්දනම්’ චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ පී‍්‍රති විරාජ් ඒ චිත්‍රපටයෙන්ම පේ්රක්ෂක ආදරය දිනාගත්තා. මේ වන චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී ඇති ඔහු ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයකු ද වෙනවා. 2006 දී පළමුවරට ‘වාස්කවම්’ චිත්‍රපටය සඳහා හොඳම නළුවා සඳහා කේරළ ජාතික සම්මාන උළෙලේ දී සම්මාන ලැබු ඔහු එවිට වයස 24ක් වුණා. මීට අමතරව ‘සෙලියුලොයිඩ්’, කාවියා, ‘ඉන්දියන් රූපී’ යන චිත්‍රපට සඳහා ජාතික සම්මානයෙන් පිදුම් ලද ඔහු මේ වන විටත් විචාරක අගැයිමට ලක්ව සිටින්නේ ජනපි‍්‍රයත්වයත්, කීර්තියත් රැගෙන කේරළ ජනසමාජයේ යථාර්ථය අවුස්සා බලන සිනමා ප්‍රතිරූපයක් ලෙසයි. ‘ලුසිෆර්’ හා බ්‍රෝ ඩැඩී යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ පී‍්‍රති විරාජ්, තම නිෂ්පාදන සමාගම මඟින් නිපද වූ චිත්‍රපට මඟින් කේරළයේ සමාජයේ යටිතලයේ ද වෙන බිහිසුණු සමාජ දේශපාලන තත්ත්වයන් පිළිබඳ තියුණු දැක්මක් හෙළි කරනවා. ‘කුරුති (2021) ඩ්‍රයිව් ලයිසන්ස් (2019) සහ ‘ජනගනමන (2022)යන චිත්‍රපටවලදී ඔහු රංගනයේ ඉහළ මට්ටමක් මෙන්ම සමාජ අසාධරණය ජාතිවාදී හැඟීම් හා වෛරය මෙන්ම ජනමාධ්‍යයේ අවභාවිතාවන්වල ඛේදජනක තත්ත්වයන් විවරණය කරන චිත්‍රපට නිෂ්පාදනයෙන් බලවත් දායකත්වයක් දක්වන සිනමා ප්‍රතිරූපයක් ලෙස කීර්තියට බඳුන් වෙනවා.
‘ජෝජු ජෝර්ජ්, අනුව දශකයේ මැදභාගයේ පළමුව සිනමා රංගනයට එක්වන්නේ ළමා නළුවකු ලෙසයි. ඒ 1995 ‘මෂාවිල් කූඩරුම්’ චිත්‍රපටයෙන් පසුකලෙක ඔහු චිත්‍රපට අධ්යක්ෂ ලැල් ජෝසේ අවධානයට ලක්ව ‘පාටාලම් (2003) චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකට තෝරාගැනෙනවා. එතැන් සිට මලයාලම් චිත්‍රපට ගණනාවක සහායක චරිත රංගනයේ යෙදෙන ජෝජි 2014 වසරේ ‘ඔරුසෙකන්ඩ් යාත්‍රා’ සහ ‘කසින්’ චිත්‍රපටවලින් රසික විචාරක අවධානයට ලක්වෙන අතර කේරළ ජාතික සිනමා සම්මාන උළෙලේ විශේෂ ගෞරව සඳහනක් ලබාගන්නවා. එතැන් සිට මේ දක්වා චිත්‍රපට සියයකට සමීප ප්‍රමාණයක් රංගනයේ දී යෙදී ඇති ඔහු චිත්‍රපට හයක් පමණ නිෂ්පාදනයෙන් දායක වී තිබෙනවා. ජෝජි විසින් රංගනයේ යෙදී නිෂ්පාදනය කළ ‘ජෝශ්ප්’ (2018) චිත්‍රපටය සඳහා මේ වනවිට කේරළ ජාතික සම්මාන ඇතුළු සම්මාන විස්සකට අධික ප්‍රමාණයක් ලබාගත් ඔහු “මාර්ටින් ප්රක්කාත්ගේ ‘නයාතු’ (2020) චිත්‍රපටය සඳහා ‘ඩයෝරුම, ‘ අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම නළුවා’ සඳහා වූ සම්මානය ද දිනාගත්තා. මෑත කාලීනව ඔහු ‘ට්‍රාන්ස් චෝලා’ උදාහරණම් සුජාතා, ඔරු තාත්වික අවලෝක නම්, ‘නයාතු’ ‘පාඩා’ බඳු චිත්‍රපටවලදී ප්‍රබල රංගනයෙන් දායද කළේය. සම්මත සිනමා තරුවක ලක්ෂණ වලින් මුළුමනින් බැහැර වූ ස්ථුල සිරුරක් ඇති ජෝජි ජෝර්ජ් වත්මන් මලයාලම් සිනමාවේ රංගන සම්පතකි.
බොහෝ කාලයක් විවිධ අධ්‍යක්ෂකවරු සමඟ සහාය අධ්යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ ‘සුබීන් ෂාහීර්’ පළමුවරට සැලකිය යුතු චරිතයකට එක්වන්නේ ‘අන්නයූම් රසුලම්’ (2013) චිත්‍රපටයෙන්, එසේම 2015 ‘පේ්රමම්’ චිත්‍රපටයේ ශාරීරක පුහුණු ගුරුවරයාගේ චරිතයෙන් වඩාත් ජනපි‍්‍රය වන ‘සොබීන්’ එතැන් සිට චිත්‍රපට විශාල ප්‍රමාණයකට එක්වන්නේ මලයාලම් නව පරපුරේ සිනමාවේ හා කර්මාන්තයේ එක් අත්‍යවශ්‍ය ශිල්පියකු බවට පත්වෙමින් ‘චාලි, මහේෂින්ගේ ප්‍රතිකාරම්’ කුම්බලාංගි නයිට්ස්, “සී.අයි.ඒ. ‘සුඩානි ෆ්‍රොම් නයිජිරියා (ප්‍රධාන චරිතය) ‘ඇන්ඩ්‍රොයිඩ් කුංප්පන්’ (ප්‍රධාන චරිතය) වැනි චිත්‍රපට වල අති ප්‍රබල චරිත නිරූපණ ඉදිරිපත් කළ සොබීන්ගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ‘පරාවා’ (2018) චිත්‍රපටයයි. ‘සුඩානි ෆ්‍රොම් නයිජිරියා’ චිත්‍රපටයේ රංගනයටත් ‘සිය ‘පරාවා’ චිත්‍රපටයේ අධ්යක්ෂයටත් මේ වන විට කේළර ජාතික සම්මානය ඇතුළු සම්මාන දහයක් පමණ දිනාගත් ‘සොබීන් ෂාහීර්’ සම්ප්‍රදායික සිනමා තරු ස්වරූපයෙන් මුළුමනින් බැහැර වූ නැවුම් රංගන ප්‍රතිරූපයක් ලෙස මලයාලම් සිනමා සංස්කෘතියේ පිළිගැනි තිබෙනවා. මීට අමතරව තවත් තාත්විකවාදී රංගශෛලියක් ප්‍රකට කරන සිනමා රංගන ශිල්පීන් ගණනාවක් මලයාලම් සමකාලීන සිනමාව අලංකාර කරමින් සිටින බව පෙනී යනවා.
වසර දෙදහෙන් පසුව ශ්‍රී ලාංකීක සිනමාවටත් වන රංගන ශිල්පීන් පරපුරක් එක්ව සිටිනු පෙනෙනවා. ඔවුන් ද තම සිනමා රංගනයේ ඇති කුසලතාවන්, මාධ්‍යයේ ස්වභාවයත් මනාව තේරුම් ගැනීමත් ප්‍රකට කරනවා. ධර්මපි‍්‍රය, ඩයස්, රොෂාන් රවීන්ද්‍ර, සරත් කොතලාවල, කුමාර තිරමාදුර වගේම හේමාල් රණසිංහ, උද්දික පේ‍්‍රමරත්න, කලණ ගුණසේකර, ජගත් මනුවරණ, ෂ්‍යාම් ප්‍රනාන්දු වැනි නව පරපුරක සිනමා රංගශිල්පීන් අපටත් අලුත් චිත්‍රපට අත්දැකීම් උපදවමින් සිටිනවා නොවේද? ඔවුන්ට ලැබෙන අවස්ථා අඩුවුණත් ඔවුන්ගේ දක්ෂතාවයන් ‘ෆහාඩ් ෆසීල්, ජෝජු, ජෝජ්හෝ පී්රතිවිරාජ් සුකුමාරන්ලා සමඟ සංසන්දනය කර බලන්නට අපට නොහැකිද? පිළිතුර ධනාත්මක විය හැකියි.