රැකියා විරහිත ඇමරිකාව Nomadland

මාර්තු 18, 2021

2011 දී නෙවාඩා ප්‍රාන්තයේ ජිප්සම් කම්හල වසා දැමීමත් සමඟ ෆර්න් නම් කාන්තාවට සිය රැකියාව අහිමි වෙයි. ෆර්න් මෑතකදී මියගිය ඇගේ සැමියා සමඟ වසර ගණනාවක් එහි සේවය කළාය. තමා සතුව ඉතිරි වී ඇති බඩු බාහිරාදිය බොහෝමයක් විකුණා වෑන් රථයක් මිලදී ගන්නා ෆර්න් රට පුරා සංචාරය කරමින් රැකියා සොයා යාමට තීරණය කරයි. 2000 දශකයේ අග භාගයේ ලෝකය මුහුණ දුන් මහා ආර්ථික අවපාතය නිසා සිය රැකියා අහිමි වුණු මහලු ඇමෙරිකානුවන් ගැන මාධ්‍යවේදී ජෙසිකා බ්රූඩර් විසින් රචනා කෙරුණු Nomadland: Surviving America in the Twenty-First Century ප්‍රබන්ධ නොවුණු (non-ficton) නවකතාව ඇසුරු කරගෙන තිරයට නැගුණු Nomadland  චිත්‍රපටය මෙසේ ඇරඹේ.

චීන ජාතික ක්ලෝයි ෂාඕ විසින් රචනා කර අධ්‍යක්ෂණය කර, සංස්කරණය කරන ලද මෙම චිත්‍රපටය විචාරකයන්ගේ ඉහළ පැසසුමට ලක් වූ චිත්‍රපටයක් වේ. 2020 දී ඇමෙරිකානු ජාතික සමාලෝචන මණ්ඩලය සහ ඇමරිකානු චිත්‍රපට ආයතනය විසින් වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කෙරුණු මෙය 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී නාම යෝජනා 4 ක් ලබා හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මාන ලැබීය. මෙම සම්මානය සමඟ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළකදී හොඳම අධ්‍යකවරයාට හිමි සම්මානය දිනාගත් පළමු ආසියානු කාන්තාව ලෙස ක්ලෝයි ෂාඕ ඉතිහාස ගතවිය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයන්ට අමතරව වැනිස් චිත්‍රපට උලෙළේදී 'ගෝල්ඩන් ලයන්' සම්මානයද, ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී 'පීපල්ස් චොයිස්' සම්මානයද, ඇතුළුව සම්මාන ගණනාවකට මෙම චිත්‍රපටය උරුමකම් කීය.

සර්ච්ලයිට් පික්චර්ස් බෙදා හැරීමක් වන මෙය පෙබරවාරි 19 වන දින තිරගත වීම ඇරඹි අතර ඇමරිකානු ඩොලර් මිලියන 5 ක පිරිවැයකින් තනා නිමකර ඇත. ඇමෙරිකානු නිළි ප්‍රාන්සෙස් මැක්ඩොමන්ඩ් මෙහි ප්‍රධාන චරිතය වන ෆර්න් ගේ චරිතයට පණ පොවන්නීය. ප්‍රාන්සෙස් ඇතුළු පස් දෙනෙකු විසින් නිෂ්පාදනය කෙරී ඇති මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේ ලුදොවිකෝ එයිනොඩි විසිනි. රොට්න් ටෝමාටෝස් අඩවියේ විචාරකයින් 340 දෙනෙකුගෙන් 94%ක් දෙනා අනුමත කර ඇති මෙම චිත්‍රපටයට ලැබී ඇති ලකුණු ප්‍රමාණය 8.8/10 කි. එහි පොදු විචාරයේ චිත්‍රපටය ගැන මෙලෙස සටහන් වේ. "මහා ආර්ථික අවපාතය සමඟ ඇතිවුණු (වත්මනෙහි) අමතක කර දැමුණු අතිශය දුෂ්කර කාල පරිච්ඡේදය මැනවින් හසුකර ගත්තා වූ චරිත අධ්‍යයනයකි".